ප‍්‍රන්සයේ හා යුරෝපයේ අනිවාර්ය යුද සේවය එපා!

No to the draft in France and Europe!

2018 නොවැම්බර් 23

තම කප්පාදු පිලිවෙත්වලට එරෙහි මහජන විරෝධතා මධ්‍යයේ, ප‍්‍රන්ස ජනාධිපති එම්මෑනුවෙල් මැක්රොන්ගේ අතිශයින් වෛරයට පාත‍්‍ර ආන්ඩුව, අනිවාර්ය මිලිටරි සේවය හඳුන්වා දීමේ සැලැස්මක් නොවැම්බර් 19 දා නිවේදනය කලේ ය. පලමු භට පිරිස මාස හතක් ඇතුලත සේවයේ යෙදවීමට නියමිත වැඩසටහනට අනුව, 2026 වසරට ප‍්‍රථමයෙන් ඒ වන විට වයස 16 සපිරෙන 800,000ක් බඳවා ගැනීමට අපේක්ෂා කරයි.

මෙම ආරම්භකත්වය, ජාතිකවාදයට හා මිලිටරි ගොඩනැංවීමට කරන ආයාචනයක් හරහා කම්කරු පන්තියේ විරෝධය මර්දනය කිරීම ඉලක්ක කරගන්නා බව මාධ්‍ය එකපැහැර පිලිගත්තේ ය. “ප‍්‍රන්සයේ සමගියට තර්ජනය කරන බෙදීම් මගින් එය ඉරා දමන කාලයක, ජාතික යුද සේවය ආපසු පිහිටුවීම කාලානුරූපී ආරම්භකත්වයක් බව පෙනේ” යයි ල පැරිසියන් ලීවේ ය. ඉන් දෙදිනකට පසුව නොවැම්බර් 21දා රාත‍්‍රීයේ ප‍්‍රන්සයේ රියුනියන් දිවයිනේ විරෝධතා මර්දනය කිරීම සඳහා මිලිටරි හමුදාවන් දිගේලි කරන බව මැක්රොන් නිවේදනය කලේ ය.

යුරෝපා සංගමය හරහා පාලක ප‍්‍රභූන් අනිවාර්ය යුද සේවය යලි හඳුන්වා දීම සූදානම් කරමින් සිටී. 1991 දී සෝවියට් සංගමය ස්ටැලින්වාදීන් විසින් බිඳ විසුරුවීමෙන් හා සීතල යුද්ධයේ අවසානයෙන් පසුව, ප‍්‍රන්සය 1997 දී අනිවාර්ය යුද සේවය අවසන් කල අතර, ඉන්පසු ස්පාඤ්ඤය (2001), ඉතාලිය (2005), පෝලන්තය (2008) හා ජර්මනිය (2010) එයම අනුගමනය කල හ. එහෙත් මෙය කෙටි විරාමයක් පමනක් බව සනාථ විය. ස්වීඩනය පසුගිය වසරේ හා ප‍්‍රන්සය මේ වසරේ අනිවාර්ය යුද සේවය යලි හඳුන්වා දීමෙන් පසු, ජර්මනිය ඇතුලූ අනෙකුත් ප‍්‍රධාන යුරෝපා බලයන් එයම කල යුතු ද යන්න අරබයා විවාද කරමින් සිටී.

රුදුරු ලෝක යුද්ධ දෙකකට පසුව, යුරෝපීය කම්කරු පන්තිය තුල අනිවාර්ය යුද සේවයට ආපසු යාම කෙරෙහි ගැඹුරු හා ඓතිහාසික ව පදනම් වූ විරෝධයක් පවතී. ගැලප් නම් වූ ඇමරිකාව පදනම් කොටගත් සමීක්ෂන ආයතනයක් මගින් 2015 දී කරන ලද මත විමසුමක දී ප‍්‍රන්ස ජනයා අතරින් තම රට වෙනුවෙන් සටන් කිරීමට එකඟතාව ප‍්‍රකාශ කොට ඇත්තේ සියයට 29 ක් පමනකි. 2017 දී පැවැත්වූ යුරෝපීය තරුනයන්ගේ “ජෙනරේෂන් වට්” මත විමසුමට අනුව සියයට 60ක් රට වෙනුවෙන් සටන් කිරීම ප‍්‍රතික්ෂේප කරයි.

අනුමත කරන ප‍්‍රතිශතය යන්තම් සියයට 20ක් වෙද්දී, තමන් අනිවාර්ය යුද සේවය යලි පන ගන්වමින් සිටින බව පිලිනොගෙන සිටීමට මැක්රොන් ආන්ඩුව පරිස්සම් සහගත වෙයි. එහි නිලධාරීහු මුග්ධ ව්‍යාජ හේතු ඉදිරිපත් කරති: ලබන වසරේ වැඩසටහන මාසයක් පමනක් පැවැත්වෙන අතර එයට සම්බන්ධ වනු ඇත්තේ 16 හැවිරිදි අය පමනි; සෑම තරුනයෙක් ම සටන් රෙජිමේන්තුවල සේවය නො කරනු ඇත; අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීහු සහභාගි වනු ඇත. හමුදාව නව යොවුන් තරුනයන්ට “අර්බුද කලමනාකරනය” හා “තිරසාර සංවර්ධනය” උගන්වනු ඇත.

එහෙත් 1930 ගනන්වල දී යුරෝපය ෆැසිස්ට්වාදයට හා ඉන්පසු යුද්ධයට ලුහුටා යාම එක් අමතක කල නො හැකි පාඩමක් උගන්වයි: පන්ති අරගලය මර්දනය කිරීමට දරන ප‍්‍රයත්නයේ දී ධනේශ්වරය ජාතිකවාදයට හා මිලිටරිවාදයට හැරීමේ ව්‍යසනකාරී වෛෂයික ගතිකයක් පවතී. අනිවාර්ය මිලිටරි සේවය කරා ආපසු යාමේ ගම්‍යයන්, නිල ආලාපයන් හා මඩකිරීම්වල පදනමින් තේරුම් ගත නො හැක. ඒවා ගලාගෙන එන්නේ, 1991 දී ස්ටැලින්වාදීන් විසින් සෝවියට් සංගමය බිඳ විසුරුවන ලද තැන් පටන් ගත වූ සියවස් කාල පුරා අනවරත අධිරාජ්‍යවාදී යුද්ධ දැකගෙන ඇති ලෝක ධනේශ්වර පද්ධතියේ වැඩෙන වෛෂයික අර්බුදයෙනි.

සෝවියට් සංගමයේ අවසානය ඉතිහාසයේ අවසානය සලකුනු කලේ ය කියන කියාපෑම කීතුවෙමින් පවතී. ඒ වෙනුවට සෝවියට් සංගමය බිඳ විසුරුවීම සංඥා කලේ ලෝකය දෙවරක් ලෝක යුද්ධයන්ට ඇද දැමූ සියලූ ඓතිහාසික ගැටුම් ආපසු ඒම යි. ඇෆ්ගනිස්තානය, සිරියාව හා මාලි වැනි රටවල යුද්ධවල දී වේවා, රට තුල “සාමකාමී” නගරවල දී වේවා තමන් මෙන් ම තම දරුවන් ද සටන් කිරීම හා මියයාම දැකගැනීම අවශ්‍ය නො වන අයට තීරනාත්මක ප‍්‍රශ්නය වන්නේ කම්කරු පන්තියේ යුද-විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීම යි.

පසුගිය වසර 25 තුල යුද්ධයන් හා යටින් දිවෙන අන්තර්-අධිරාජ්‍යවාදී ප‍්‍රතිමල්ලතා පුපුරා යාම ධනේශ්වර අර්බුදයේ නව ගුනාත්මක අවධියක් නිෂ්පන්න කොට ඇත. තම ලෝක ආධිපත්‍යයේ බිඳවැටීමට මුහුන දෙන වොෂින්ටනය, “ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධය” වෙනුවට එක්සත් ජනපද විදෙස් පිලිවෙත පදනම් වන්නේ “මහා බල ගැටුම්” මත බව පැවසෙන ජාතික ආරක්ෂක මූලෝපායක් පසුගිය වසරේ සම්මත කරගත්තේ ය. එක්සත් ජනපද-යුරෝපා සංගම් වෙලඳ යුද්ධයන් පුපුරා යද්දී, බර්ලිනය හා පැරීසිය ඇමරිකාව සමග තරඟ කිරීමට යුරෝපා සංගමයේ හමුදාවක් කැඳවීම් දැඩි කරමින් සිටිති.

එක්සත් ජනපද මිලිටරිය ඇතුලත අනිවාර්ය යුද සේවය සඳහා කැඳවීම් වැඩි දියුනු කෙරෙමින් තිබේ. “පැනනගින ප‍්‍රශ්නය: පූර්න-ස්වේච්ඡා බලකායකට කැඳවීම සඳහා පිලිතුරු දිය හැකි ද?” යන හිසින් Military.com වෙබ් අඩවිය ලියූ ලිපියක 2001 පටන් අවම වසයෙන් රටවල් 76 කට එරෙහි ව යුද්ධ දියත් කිරීමට එක්සත් ජනපද හමුදා ඩොලර් ටි‍්‍රලියන 5.6 ක් වැයකර ඇති බව කීවේ ය. අනිවාර්ය යුද සේවයට සහාය දෙන්නෙකු වන විශ‍්‍රාමික මේජර් ජනරාල් ඩෙනිස් ලයිච් ව එය උපුටා දැක්වී ය: “ඔබ ගනනය කර බැලුවහොත් සේවය සඳහා සුදුසුකම් ලබන්නේ ඇමරිකානුවන් 10 දෙනෙකුගෙන් තුන්දෙනෙකු පමනක් වන අතර, සේවය කල හැකි අයගෙන් එයට කැමති වන්නේ සියයට 15ක් පමනි. මෙය දැරිය හැකි තත්ත්වයක් නො වේ ...”

සති දෙකකට පෙරාතුව පලමු ලෝක යුද්ධය අවසන් වීමේ ශතසංවත්සරය සැමරීමට එම යුද්ධයේ ඝාතක භූමීන් හි සංචාරය කරමින්, යුරෝපා සංගමයට හුදෙක් රුසියාව හා චීනය සමග පමනක් නො ව එක්සත් ජනපදය සමග ද තරඟ වැදිය හැකි හමුදාවක් අවශ්‍ය බව මැක්රොන් කීවේ ය.

එක්සත් ජනපදයේ මිලිටරි බලය සමග තරඟ වැදීම සඳහා පෙලගැසීමට උත්සාහ දරන යුරෝපා සංගම් අධිරාජ්‍යවාදීන්ට ෆැසිස්ට්වාදී ජාතිකවාදය කරා ආපසු යාමට ද බලකරනු ලැබේ. මිලිටරි සේවය කරා ආපසු යාම පිලිබඳ ව විවාදයේ යෙදී සිටින ජර්මනියේ මහා සභාග ආන්ඩුව අන්ත දක්ෂිනාංශික ජර්මනිය සඳහා විකල්පය (ඒඑෆ්ඩී) දිරිමත් කරමින් සිටී; යුදෙව් අවන්හලකට පහර දෙමින් කෙම්නිට්ස්හි පැවති නව-නාසිවාදී කැරැල්ලකට සහභාගි වූවන්ට ස්වදේශ ඇමති හෝසට් සීහෝෆර් හුරේ දැමී ය. ප‍්‍රන්සයේ දී, නාසීන් සමග සම්මුතිවාදී වූ යුදෙව්-විරෝධී ආඥාදායක ෆිලිප් පෙටේන් ව මැක්රොන් විසින් උත්කර්ෂයට නැංවූයේ පලමු ලෝක යුද්ධයේ ඔහුගේ වාර්තාව ගෙනහැර දක්වමිනි.

යුරෝපය පුරා කප්පාදුවට හා සමාජ අසමානතාවට එරෙහි මහජන විරෝධය පුපුරා යද්දී, තීරනාත්මක ප‍්‍රශ්නය වන්නේ එහි ඓතිහාසික කර්තව්‍යයන්ගේ මට්ටමට කම්කරු පන්තිය විඥානය එසවීම යි. ජාත්‍යන්තරවාදී හා සමාජවාදී ඉදිරිදර්ශනයක් මත පදනම් විය යුතු නව යුද-විරෝධී ව්‍යාපාරයකට, එම ඉදිරිදර්ශනයට සටන් වදින දේශපාලන පෙරටු බලඇනියක් විසින් නායකත්වය දිය යුතු ය. මෙහි අර්ථය වන්නේ, ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය වන හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවත් (හජාජාක) එහි ප‍්‍රන්ස ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂයත් (සසප) ගොඩනැගීම යි.

සසප, 1968 ශිෂ්‍ය ව්‍යාපාරයෙන් පසුකාලයේ ඉස්මතු වූ ප‍්‍රතිගාමී මධ්‍යම පාන්තික “වාම” කන්ඩායම් පිලිබඳ ව තියුනු ම අනතුරු ඇඟවීම් නිකුත් කරයි. එම කන්ඩායම් යුද්ධයට හා ජාතිකවාදයට සහයෝගය දෙති. ස්වීඩනයේ යුද සේවයට වාම පක්ෂය ඡන්දය දෙන අතරතුර, ෂෝන්-ලූක් මෙලෙන්චොන්ගේ නොනැමෙන ප‍්‍රන්සය (අන්සබ්මිසිව් ප‍්‍රාන්ස් -එල්එෆ්අයි) පක්ෂයේ නියෝජිතයෝ ප‍්‍රන්ස ජාතික සභාවේ මිලිටරි කමිටුවෙන් දුන් යුද සේවා ලියවිල්ල සැලසුම් කරමින් සිටිති. රහස්‍ය භාවය සඳහා දිවුරුම් දී සිටින ජර්මනියේ වාම පක්ෂයේ ඉහල ම නිලධරයෝ පාර්ලිමේන්තුවේ මිලිටරි කොමිසමේ වාඩි වෙති.

දේශපාලන විකල්පය වන්නේ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) යි. යුද්ධයට එරෙහි ව සමාජවාදය සඳහා සටන නම් වූ හජාජාක 2016 ප‍්‍රකාශයේ විස්තාරනය කල මූලධර්ම සසප විසින් යලි සනාථ කරයි:

* යුද්ධයට එරෙහි අරගලය, සමාජය තුල සිටින මහා විප්ලවවාදී බලවේගය වන කම්කරු පන්තිය මත පදනම් විය යුතුය. කම්කරු පන්තිය ජනගහනයේ අවශේෂ සියලූ ප‍්‍රගතිශීලී ජනතාවන් තමන් පසුපස පෙලගස්වා ගන්නවා ඇත.

* නව යුද විරෝධී ව්‍යාපාරයක් ධනේශ්වර විරෝධී හා සමාජවාදී විය යුතුය. මක්නිසා ද යත්, මූල්‍ය ප‍්‍රාග්ධනයේ ආඥාපතිත්වය හා මිලිටරිවාදය ද යුද්ධය ද සඳහා වන මූලික හේතුව වන, යල් පිනූ, ආර්ථික ක‍්‍රමය අවසන් කිරීමේ සටනකින් තොරව, යුද්ධයට එරෙහි බැ?රුම් අරගලයක් ගෙන යා නොහැකි බැවිනි.

* එබැවින්, නව යුද විරෝධී ව්‍යාපාරය අවශ්‍යයෙන්ම, මුලූමනින්ම හා පැහැදිලිවම ධනපති පන්තියේ සියලූ දේශපාලන පක්ෂ හා සංවිධාන වලට සතුරු හා ඒවායින් ස්වාධීන විය යුතුය.

* සියල්ලටත් වඩා නව යුද විරෝධී ව්‍යාපාරය, ජාත්‍යන්තර විය යුතුය. එය කම්කරු පන්තියේ දැවැන්ත ශක්තිය, අධිරාජ්‍යවාදයට එරෙහි එක්සත් ගෝලීය අරගලයක් තුල බලමුලූ ගැන්විය යුතුය. ධනවාදයේ නොනවතින යුද්ධයට, කම්කරු පන්තිය, නොනවතින විප්ලවයේ ඉදිරිදර්ශනයෙන් පිලිතුරු දිය යුතුය. එහි මූලෝපායික එල්ලය වන්නේ, ජාතික රාජ්‍ය පද්ධතිය අහෝසි කිරීම හා ලෝක සමාජවාදී සමූහාන්ඩුවක් ගොඩනැගීමයි. ගෝලීය සම්පත් සහේතුක හා සැලසුම්ගත සංවර්ධනයකට එමගින් කොන්දේසි සැකසෙන අතර, එම පදනම මත, දුප්පත්කම තුරන්කර මානව සංස්කෘතිය නව ඉහලකට ඔසවා තැබෙනු ඇත.

සමාජවාදී සමානතා පක්ෂය

Share this article: