බොල්සොනාරෝගේ ජයග‍්‍රහනය හා බ‍්‍රසීල කම්කරු පක්ෂයේ ඇද වැටීම

Bolsonaro’s victory and the debacle of Brazil’s Workers Party

2018 ඔක්තෝබර් 31

පසු ගිය ඉරිදා ෆැසිස්ට්තාලයේ විගඩම්කාර හිටපු හමුදා කපිතාන් මෙන් ම රියෝ ඩි ජනෙයිරෝවේ හත්වෙනි වරටත් ෆෙඩරල් ව්‍යවස්ථාදායකු වන ජෝයිර් බොල්සොනාරෝ මැතිවරනය ජය ගැනීම, බ‍්‍රසීලය තුල මෙන් ම ලතින් ඇමරිකාව පුරා කම්කරු පන්තියට බරපතල අනතුරක් මතු කරයි.

ඡන්දවලින් සියයට 55ක් ජය ගත් බොල්සොනාරෝ, 1964 එක්සත් ජනපදය අනුබල දුන් කුමන්ත‍්‍රනයෙන් බලයට පැමිනි දශක දෙකක් දීර්ග මිලිටරි ඒකාධිපතිත්වයේ අවසානයෙන් පසු විවාද රහිතව ඉතාමත් අන්ත දක්ෂිනාංශික බ‍්‍රසීල ආන්ඩුව පිහිටු වීම දැනට මත් අරඹා ඇත. ඔහුගේ විරුද්ධවාදීයා වන කම්කරු පක්ෂයේ (පීටී) අපේක්ෂක ෆර්නැන්ඩෝ හඩාඩ් ජය ගත්තේ ඡන්දවලින් සියයට 44කි.

ඉදිරියේ එන ආන්ඩුව පිලිබඳ වඩාත් ම කැපී පෙනෙන දෙය වන්නේ එය තුල බ‍්‍රසීල මිලිටරියේ ජ්‍යෙෂ්ට නිලධාරීන් ලබා ගනිමින් සිටින අතිප‍්‍රමුඛ භූමිකාව යි. ඔහුගේ උප ජනාධිපති වනු ඇත්තේ හිටපු දක්ෂිනාංශික ජනරාල්වරයෙකු වන හැමිල්ටන් මොරා ඕ ය. පසු ගිය වසරේදී ඔහු විශ‍්‍රාම ගියේ “නීතිය හා සාමය” ආරක්ෂා කිරීමට “මිලිටරි මැදිහත්වීමක්” සඳහා ඔහුගේ සහයෝගය ප‍්‍රකාශ කරමිනි. මැතිවරනයට පසු දින, ප‍්‍රකාශ කෙරුනේ විශ‍්‍රාමික ජනරාල් ඔගොස්ටෝ හෙලෙනෝ අනාගත ආරක්ෂක ඇමති වනු ඇත බව යි. මෙම පත් කිරීම ඒකාධිපතිවාදී පාලනයෙන් පසු එම තනතුරේ සිවිල් පුද්ගලයන් තැබීමේ භාවිතය කැඞීමකි.

බොල්සොනාරෝගේ උද්ඝෝෂනයේ ආධාරකරුවන් ලෙස සේවය කල ජ්‍යෙෂ්ඨ මිලිටරි නිලධාරීන්ගේ කුමන්ත‍්‍රන කන්ඩායමක් වන ඊනියා “බ‍්‍රසීලියා කන්ඩායමේ” හෙලෙනෝ සාමාජිකයෙක් විය. වාර්තාවන පරිදි මෙම කන්ඩායම බොල්සොනාරෝගේ සංක‍්‍රාන්ත කන්ඩායමට නම් 25ක් යෝජනා කර ඇත, පිලිගැනුන හොත් එය පාලක මඩුල්ලේ සම්පූර්න අර්ධයක් පුරවනු ඇත.

අඟහරුවාදා රූපවාහීනී සම්මුඛ සාකච්ඡාව ඇතුලූව ඔහුගේ දේශපාලන වෘත්තියේ ගමන් මග තුල දී, බොල්සොනාරෝ අවධාරනය කර ඇත්තේ කම්කරුවන්, ගොවීන්, ශිෂ්‍යයින් හා වාමාංශික ක‍්‍රියාකාරීන් දසදහස් ගනනක් ඝාතනය කිරීම, වධ හිංසා පැමිනවීම හා හිරේ දැමීමට වග කිව යුතු බ‍්‍රසීල මිලිටරි තන්ත‍්‍රය ඒකාධිපතිත්වයක් නො වූ බව යි.

1999දී, රූපවාහිනී සම්මුඛ සකච්ඡාවක දී ඔහු පැවසුවේ කොංග‍්‍රස් මන්ඩලය වසා දැමිය යුතු බව හා රට වෙනස් වනු ඇත්තේ “30,000ක් මරා දමමින්, මිලිටරි තන්ත‍්‍රය නොකල වැඩ” සම්පූර්න කරන සිවිල් යුද්ධයක් මගින් පමනක් බවත් ය. ඔහුගේ උද්ඝෝෂනයේ අවසන් දිනවල දී, ඔහු “රතු කොල්ලකරුවන්” යැයි නම් කල ඔහුගේ දේශපාලන විරුද්ධවාදීන්ට, හිරගෙය හා පිටුවාහල් කිරීම අතර එකක් තෝරා ගැනීමට සිදුවනු ඇති බව ඇඟවී ය.

අපේක්ෂක බොල්සොනාරෝ විසින් යොදා ගැනුනු, හා ඔහුගේ ආධාරකරුවන් විසින් අනුකරනය කෙරුනු, දෘෂ්ටාන්ත උද්ඝෝෂන හැසිරීම වූ ඔහුගේ ඇඟිල්ල තුවක්කුවක් ලෙස උලුක් කිරීමේ අර්ථය වන්නේ, අපාරාධ සම්බන්ධ සැකකරුවන් සඳහා ඉක්මන් දඬුවම් ක‍්‍රියාත්මක කිරීමට වන තම සහයෝගය සංකේතවත් කිරීමකි. පසු ගිය වසරේ පොලිසිය 5,000ට වඩා පුද්ගලයන් මරා දැමූ රට තුල ( එක්සත් ජනපදයේ මෙන් පස් ගුනයකි) ඔහුට පොලීසිය මුදා හැරීමට අවශ්‍ය ය. නිවාඩු පිට ඉන්නා පොලිස් ඝාතක කල්ලි විසින් තව බොහෝ අය ඝාතනය කෙරුනි.

ආරක්ෂක හමුදා හා අධිකරනයේ ප‍්‍රතිගාමී කොටස් වලට පනිවුඩය පැහැදිලිව ලැබෙමින් පවතී. මැතිවරනය ආසන්නයේ, මැතිවරන උසාවි විනිසුරුවන්ගේ නියෝග මත ක‍්‍රියාකරමින් මිලිටරි පොලීසිය රට පුරා විශ්වවිද්‍යාල 17ක් ආක‍්‍රමනය කලේ ෆැසිස්ට්වාදයට විරුද්ධත්වය ද ප‍්‍රජාතන්ත‍්‍රවාදයට පක්ෂපාතිත්වය ද ප‍්‍රකාශ කරන බැනර් හා පෝස්ටර් ඉරා දමමින්, උදුරා ගනිමින් හා ෆැසිස්ට්වාදයේ ඉතිහාසය පිලිබඳ පන්තියකට බාධා කරමිනි, ඒ සියල්ල කෙරුනේ ඒවා බොල්සොනාරෝගේ උද්ඝෝෂනයට එරෙහි නීතිවිරෝධී උදඝෝෂන වී යැයි යන පදනම මත ය.

ආසන්න වසයෙන් මිලියන 210ක ජනගහනයක් ද, ලෝකයේ අටවැනි විශාල ම ආර්ථිකය ද ඇති ලතින් ඇමරිකාවේ විශාල ම රටේ එවැනි පුද්ගලයෙකුට බලයට ආ හැකි වූයේ කෙසේ ද?

එය 1988 ව්‍යවස්ථාව ක‍්‍රියාවට දැමීමත් සමග, 30ස් වසරකට පෙර මෙම මාසයේ ස්ථාපිත කෙරුනු ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදී පර්යායේ, ආර්ථික අර්බුදය හා උතුරන සමාජ ආතතියේ බලපෑම යටතේ, ඇතිවූ පරිහානියේ ඵලයයි. මිලිටරි ඒකාධිපතිත්වයේ සිට සිවිල් පාලනය දක්වා පරිවර්තන ක‍්‍රියාදාමය “මන්දගාමී, ක‍්‍රමානුකූල හා සුරක්ෂිත” යැයි එහි ආවතේව කාරයෝ තොරොම්බල් කලෝ ය. එය බ‍්‍රසීල මිලිටරියේ ඝාතන හා වධ හිංසා වසන් කෙරුන පොදු සමාවක් ද ඒකාධිපතිත්වයට සහාය දී තිබුනු ධනපතීන්ගේ දේපල හා ලාභ ආරක්ෂා කිරීමක් ද සහතික කලේ ය.

මෙම පරිවර්තනය තුල ප‍්‍රධාන ක‍්‍රියාකලාපයක් ඉටු කරන ලද්දේ කම්කරු පක්ෂය විසිනි. එය 1970 ගනන්වල අවසානයේ ඒකාධිපතිත්වය දෙදරවාලනු ලැබූ බ‍්‍රසීල කම්කරු පන්තියේ විප්ලවවාදී සටන්කාමිත්වය හා වැඩවර්ජන ධනේශ්වර ආන්ඩුවේ ආධිපත්‍ය යටතේ හරවා යැවීමට උදව් කලේ ය.

මෙම පක්ෂයේ හැඩගැස්මට තීරනාත්මක වූයේ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයෙන්, එනම් හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවෙන් කැඩී ගොස් සිටියා වූ ද, එමෙන් ම කම්කරු පන්තියේ විප්ලවවාදී හැකියාව ප‍්‍රතික්ෂේප කලා වූ ද කන්ඩායම්වල දේශපාලන ක‍්‍රියාකාරකම් ය. ඉන් ඇතමෙකු දැවන්ත විප්ලවවාදී සමාජවාදී කම්කරු ව්‍යාපාරයක් වර්ධනය කිරීමට ආදේශ වසයෙන් කැස්ත්‍රෝවාදය හා සුලු ධනේශ්වර ගරිල්ලාවාදය ප‍්‍රචාරය කර තිබුනේ, ලතින් ඇමරිකාව පුරා විනාසකාරී ප‍්‍රතිවිපාක සමගිනි. කම්කරු පක්ෂය ආරම්භ කිරීමේ දී, ඔවුහු වෘත්තීය සමිතිවලට බැඳීම් ඇති ධනේශ්වර ප‍්‍රතිසංස්කරනවාදී පක්ෂයට සමාජවාදය කරා සුවිශේෂ බ‍්‍රසීලියානු මාවතක් සපයා දිය හැකිය යන සංකල්පයට පැද්දී ගියහ.

නගර සභා හා ප‍්‍රාන්ත ආන්ඩුවල පාලනය දිනා ගනිමින් හා පාර්ලිමේන්තුව තුල ආසන සංඛ්‍යාව වැඩි කරගනිමින් කම්කරු පක්ෂයේ මැතිවරන වාසනාව ඉහල යත් ම, එහි දේශපාලනය ස්ථාවර ලෙස දකුනට හැරුනි. 2002දී හිටපු ලෝහ කම්කරු වෘත්තීය සමිති නායක ලූලා ඩි සිල්වා ජනාධිපතිකම දිනූ අවස්ථාව වන විට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නියෝග කෙරුනු තම පූර්වගාමියාගේ ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කිරීමට සම්පූර්නයෙන් කැප වුන අතර, කම්කරු පන්ති අරගල මැඩලීමට යහතින් සූදානම් බව පෙනුනි.

ඉහල යන භාන්ඩ මිල ගනන් වලින් හා මතුවෙන වෙලඳ ප‍්‍රාග්ධනයේ ගසා කෑම් වලින් කුඩා පංගුවක් අවම සමාජ සත්කාර වැඩසටහන් වලට හරවා යැවීම පැවතියද, කම්කරු පක්ෂය පාලන කලේ ලෝකයේ ඉතාමත් සමාජ අසමානතාවෙන් යුත් රටකි. එහි පුද්ගලයෝ හයදෙනෙක් දුප්පත්ම බ‍්‍රසීල ජාතිකයන් මිලියන 100ගේ ආදායමට වඩා වැඩි ධනයක් පාලනය කලෝ ය.

එරට ඉතිහාසයේ දරුනුම ආර්ථික අර්බුදයේ පැමිනීමත් සමග, කම්කරු පක්ෂ ආන්ඩුව කම්කරු පන්තිය මත අර්බුදයේ බර පැට වූ ප‍්‍රතිපත්ති හඹා ගියේ, මූල්‍ය ප‍්‍රභූවේ අශ්ලීල ධනය ආරක්ෂා කරන අතර ය. සාමාන්‍ය මූර්ත වැටුප් සියයට 30න් පහත වැටීම හා පුද්ගලයන් මිලියන 14ක් නිල විරකියා ලැයිස්තුවට එක්වීමත් සමග, බ‍්‍රසීල බිලියනපතියන්ගේ ධනය පමනක් වැඩුනේ, ඉහල සියයට 1 ධනය සියයට 12.3 දක්වා ඉහල යමිනි.

සියලු අනෙකුත් ධනේශ්වර පක්ෂ මෙන් ම, කම්කරු පක්ෂය ද, අල්ලස් හා සන්තෝසම් ගෙවීමට මහජන මුදලින් ඩොලර් බිලියන 4ක් උරා ගත් දැවන්ත දූෂනයකට අසු කෙරුනි.

බොල්සොනාරෝ ට ලැබුන ඡන්දය විශාල වසයෙන් නියෝජනය කලේ සමාජ ව්‍යසනය හා බොහෝ පැතිරුනු දූෂනය සඳහා මූලිකත්වය ගත් සියලූම සංස්ථාපිත පක්ෂ, විශේෂයෙන් ම ව්‍යාජ “වාම” පමනක් නො ව “සමාජවාදී” සලුපිලවෙලින් තම ප‍්‍රතිගාමී ප‍්‍රතිපත්ති සැරසීමට උත්සාහ කල කම්කරු පක්ෂය සඳහා වන මහජන වෛරය යි. මෙම වෛරය ම ප‍්‍රකාශ වූයේ එක් පක්ෂයකට හෝ ඡන්දය දීම ප‍්‍රතික්ෂේප කල වාර්තා ගත ඡන්ද සංඛ්‍යාවෙනි. එය මුලු ඡන්ද සංඛ්‍යාවෙන් සම්පූර්න තුනෙන් එකක් විය.

නාමික “වම” විසින් හඹා යනු ලබන කම්කරු පන්ති විරෝධී ප‍්‍රතිපත්ති හේතුවෙන් දක්ෂිනාංශය වර්ධනය වීම කිසිදු අර්ථයකින් සුවිශේෂ බ‍්‍රසීල ප‍්‍රපංචයක් නොවන්නේය. එක්සත් ජනපදය තුල වෝල් වීදිය හා මිලිටරි ඔත්තුසේවාවල උත්සුකයන් සමග ඩෙමොක‍්‍රටිකයන්ගේ උත්සුකයන් සමග හිලරි ක්ලින්ටන් අනන්‍ය වීම ට‍්‍රම්ප්ට ධවල මන්දිරයේ දොර විවෘත කලේ ය.ඉතාලිය තුල, දක්ෂිනාංශික සංක‍්‍රමන විරෝධී මටේ ඕ සල්විනී බලයට පැමිනීම සූදානම් කෙරුනේ, ඉතාලි කොමියුනිස්ට් පක්ෂයේ අනුගාමී සංවිධාන මත පාදක, “වාම” ආන්ඩු විසින් පදනම් වනු ලැබූ ධනේශ්වර ගැති කප්පාදු ප‍්‍රතිපත්ති විසිනි. යුරෝපය පුරා ඒ ආකාරයේ දක්ෂිනාංශික වර්ධනයක් දැකිය හැකි අතර, ලතින් ඇමරිකාව තුල ඊනියා “රෝස රැල්ල” පසු බැස ඇත්තේ, දක්ෂිනාංශික ආන්ඩු පෙලක නැගීම ඇති කරමිනි.

බොල්සොනාරෝගේ පාලනාධිකාරිය ද බ‍්‍රසීලය තුල දේශපාලන හා සමාජ ජීවිතය මත මිලිටරිය ඩැහ ගනිමින් සිටින ග‍්‍රහනය ද මගින් ඇති කරනු ලබන තර්ජනයට කම්කරුවන්ට මුහුන දිය හැකි වන්නේ කෙසේ ද? කම්කරු පක්ෂයට සහය දීම මගින් නම් එය කල නොහැකිය. කම්කරු පක්ෂ අපේක්ෂක හඩාඩ් ෆැසිස්ට්වාදී හිටපු කපිතාන්ගේ මැතිවරන ජයග‍්‍රහනයට ප‍්‍රතිචාර දක්වා ඇත්තේ, ඔහුගේ ආන්ඩුව ඇටවීම සඳහා “සාර්ථකත්වය” හා “වාසනාව” ප‍්‍රාර්ථනය කරමිනි. ලූලා ඇතුලු පක්ෂ නායකයින් “සන්සුන්” වන්නැ යි ඉල්ලා ඇත්තේ, බොල්සොනාරෝගේ ජනාධිපතිත්වයේ සුජාත බව අවධාරනය කරන අතර ය.

කිඳා බසිමින් තිබෙන පක්ෂයේ සම්පත් බේරා ගැනීමේ උත්සාහයක් ලෙස, කම්කරු පක්ෂය “ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුනක” සටන්පාඨයක් ඉස්මතු කර තිබීමේ අර්ථය වන්නේ, මීට පෙර බොල්සොනාරෝ සමග ම එයට තිබුනා වැනි තවත් කුනුවූ පාර්ලිමේන්තු සන්ධානයකි. නොයෙකුත් ව්‍යාජ වාම කන්ඩායම් මෙම එකම ප‍්‍රතිපත්තිය “ෆැසිස්ට්වාදයට එරෙහිව එක්සත් පෙරමුනක්” ලෙස සලුපිලි ගන්වා ඇත්තේ, කම්කරු පක්ෂයට වන තම සහාය යුක්තිසහගත කිරීමේ උත්සාහයක් ලෙස ය. මුලුමනින් ම අනන්‍යතා දේශපාලනයේ පදනම මත ඔවුන් තම අභියාචනය දමා ගසා ඇත්තේ, ඔවුන්ගේ සමාජ පදනම සමන්විත වන ඉහල මධ්‍යම පන්තික ස්ථරයකට ය.

ජර්මනිය තුල ෆැසිස්ට්වාදයේ නැගීම සමග, 1930ස් ගනන්වල ලියොන් ට්‍රොට්ස්කි ප‍්‍රකාශ කලේ “සමස්තයක් ලෙස දේශපාලන තත්වය ප‍්‍රධාන වසයෙන් නිරූපනය කෙරෙන්නේ කම්කරු පන්ති නායකත්වයේ ඓතිහාසික අර්බුදයක් විසිනි.” අද බ‍්‍රසීලය තුල හා ග‍්‍රහ ලෝකය පුරා මෙම තක්සේරුව මුලුමනින් ම තම වලංගු බව දරා සිටී.

කම්කරු පක්ෂය හා එහි ව්‍යාජ වාම ක්ෂමාලාපකයින්ගේ ඇද වැටීම සමග, තීරනාත්මක දේශපාලන කර්තව්‍යය වන්නේ කම්කරු පන්තිය වෙතට හැරීම හා එය තුල සමාජවාදය හා ජාත්‍යන්තරවාදය මත පදනම් විප්ලවවාදී පක්ෂයක් ගොඩනැගීම යි. මෙහි අර්ථය වන්නේ බ‍්‍රසීලය හා ලතින් ඇමරිකාව සිසාරා හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තරය කමිටුවේ ශාඛා ගොඩනැගීම යි.

බිල් වෑන් ඕකන්

Share this article: