ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය මධ්‍යයේ වතු වෘත්තීය සමිති වැටුප් අරගලය නතර කිරීමේ තැතක

Plantation unions move to shut down wage struggle amid Sri Lankan political crisis

ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි, 2018 නොවැම්බර් 6

රුදුරු ගැටුමක පැටලී සිටින පාලක ප්‍රභුවේ විවිධ කන්ඩායම් සමග පෙල ගැසී සිටින ශ්‍රී ලංකාවේ වතු වෘත්තීය සමිති දෛනික වැටුප සියයට සියයකින් වැඩි කරන ලෙස ඉල්ලා වතු කම්කරුවන් ගෙනයන සටන යටපත් කිරීමේ ප්‍රයත්නයක දැන් යෙදී ගෙන සිටිති.

ඔක්තෝබර් 26 වෙනිදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අගමැති රනිල් වික්‍රමසිංහ බලයෙන් පහකර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අගමැති තනතුරට පත්කලේ ය. රාජපක්ෂට වහාම සහයෝගය පලකල ලංකා කම්කරු කොන්ග්‍රසයේ (සීඩබ්ලිව්සී) නායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකු වන අරුමුගම් තොන්ඩමන් කඳු රට නව ගම්මාන හා යටිතල පහසුකම් ඇමති ලෙස පත් කරනු ලැබී ය.

එක්සත් ජාතික පක්ෂය (එජාප) විසින් මෙහෙයවනු ලබන ජාතික වතු කම්කරු සමිතියේ (එල්ජේඊඩබ්ලිව්සී) හිටපු ලේකම් වඩිවේල් සුරේෂ් පක්ෂය අතහැර රාජපක්ෂ ට එකතු විය. ප්‍රධාන තනතුරකින් උපහාර ලත් ඔහු වැවිලි කර්මාන්ත රාජ්‍ය ඇමති තනතුරට පත් කෙරුනි.

ඔවුන්ගේ නින්දිත දේශපාලන ක්‍රියාවන් කෙරෙහි කම්කරුවන්ගේ කෝපය අපගමනය කිරීමේ උත්සාහයක් ලෙස වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 500 සිට 1,000 දක්වා වැඩි කිරීමට රාජපක්ෂ පොරොන්දු වූ බව තොන්ඩමන් සහ වඩිවේල් යන දෙදෙනාම සඳහන් කලහ.

සෙසු වතු කම්කරු සමිති වන ජාතික කම්කරු සමිතියේ (එන්යූඩබ්ලිව්), ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුනේ (ඩීපීඑෆ්) සහ කඳුරට ජනතා පෙරමුනේ (යූපීඑෆ්) නායකයන් වන පී. දිගම්බරම්, මනෝ ගනේෂන් සහ පි. රාධක්‍රිස්නන් වර්තමානයේ සහයෝගය දෙමින් සිටින්නේ බලයෙන් පහකල අගමැති වික්‍රමසිංහට ය.

වික්‍රමසිංහ ආන්ඩුවේ හිටපු ඇමතියන් වන මෙම සමිති නායකයන් තුන්දෙනා තමන්ට අහිමි වූ වරප්‍රසාද යලි ලබා ගැනීමේ බලාපොරොත්තුව ඇතිව යලි බලයට පත්වීමේ ඔහුගේ ප්‍රයත්නයන්ට සහයෝගය දෙති. වැටුප් වැඩිවීමක් ඉල්ලා සැප්තැම්බර් මාසයේ මුල විරෝධතාවයන් ආරම්භ කල වතු කම්කරුවෝ මෙම උපාමාරු නොතකා අඛන්ඩව ඔවුන්ගේ අරගලහි යෙදී සිටිති.

සැප්තැම්බර් මාසයේ තලවකැලේ නගරයේ විරෝධතාවයේ යෙදුන වතු කම්කරුවන්

පසුගිය සතියේ නෝර්වුඞ්, අයිරාවී, නල්ලතන්නි, හපුගස්තැන්න වතුවල සිය ගනනක් කම්කරුවෝ වැටුප් වැඩිවීමක් ඉල්ලා විරෝධතා වල නිරත වුහ. වැටුප් අරගලය පාවාදීම සඳහා සමිති නිලධරයට ඇමතිකම් දී ඇති බව ප්‍රකාශ කරමින් විරෝධාතාවය තුල දී කම්කකරුවෝ තොන්ඩමන් සහ වඩිවේල් හෙලා දුටුවහ. එදින ම කලුතර දිස්ත්‍රික්කයේ මතුගම නගරයේ ද කම්කරුවන් 100 පමන උද්ඝෝෂනයක යෙදුනි.

වතු කම්කරුවන්ගේ අඛන්ඩ අරගලය තරුන ජනයාගේ සහ ශ්‍රී ලංකාවේ කම්කරු පන්තියේ සෙසු කොටස් වල සහයෝගය දිනා ගෙන ඇත.

උදාහරන වශයෙන්, ඔක්තෝබර් 26 වෙනිදා කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරිනියගල සහ දෙහිඕවිට වතු පාසල්වල 1000 ට ආසන්න ගුරුවරු ද, නුවර එලිය කොටගල ගුරු අභ්‍යාස විද්‍යාලයේ පුහුනුව ලබන ගුරුවරු සියයක් පමන ද වතු කම්කරුවන්ගේ අරගලයට සහයෝගය පල කරමින් පිකට් උද්ඝෝෂනවල නිරත වුහ.

එදින ම, යාපනේ දිස්ත්‍රික්කයේ කෝපායි ගුරු විද්‍යාලයේ අභ්‍යාසලාභී ගුරුවරු සහ කයිතඩි වෛද්‍ය විද්‍යාලයේ සිසුහු ද වතු කම්කරුවන් වෙනුවෙන් උද්ඝෝෂනය කලහ. කෝපායි ගුරු විදුහලේ ගුරුවරයෙක් මෙසේ ප්‍රකාශ කලේ ය: “අපේ ශිෂ්‍යයන්ගේ දෙමව්පියන් වතු කම්කරුවෝ. ඔවුන්ගේ අධ්‍යාපනය දිගටම කරගෙන යන්න නම් වතු කම්කරුවෙකුට අවම වශයෙන් රුපියල් 1000 ක දෛනික වැටුපක් ගෙවිය යුතුයි. එම නිසා අප මේ අරගලයට සහයෝගය දෙනවා”.

සිරිසේනගේ දේශපාලන කුමන්ත්‍රනයට යම්තම් දින දෙකකට පෙර, ඔක්තෝබර් 24 වෙනිදා කොලඹ නගරයේ සහ ඒ ආසන්න ප්‍රදේශ වල රැකියාවල නියුතු 5,000 ට අධික සිංහල, මුස්ලිම් සහ දෙමල තරුන කම්කරුවන් වතු කම්කරුවන්ට සහයෝගය පල කරමින් ගාලු මුවදොර පිටියේ දී විරෝධතාවක යෙදුනි. පලමු වතාවට මුහුනු පොත උපයෝගී කරගෙන සංවිධානය කෙරුන මෙම විරෝධතාවය ශ්‍රී ලංකාවේ පාලක ප්‍රභුව කම්කපනයට පත් කලේ ය.

ඇත්ත වශයෙන් ම, සිරිසේන-වික්‍රමසිංහ පාලන තන්ත්‍රයේ අර්බුදය අවුලුවාලීමේ ප්‍රධාන සාධකය වන්නේ සමාජ අයිතීන් සහ ජීවන කොන්දේසි තලාදමා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කප්පාදු පිලිවෙත් ආන්ඩුව විසින් ක්‍රියාවට දැමීමට එරෙහිව මතු වූ මහ ජන විරුද්ධත්වයයි. මෙම වැඩෙන මහ ජන ව්‍යාපාරයේ තීරනාත්මක කොටසක් වන වතු කම්කරුවන්ගේ අරගලය නතර කිරීම සඳහා වෘත්තීය සමිති වියරු උත්සාහයක යෙදී සිටිති.

වතු කම්කරුවන්ට වැටුප් වැඩිවීමක් දෙන බවට තමන්ට පොරොන්දු වූ නිසා ඇමතිකම් භාර ගත් බව තොන්ඩමන් සහ වඩිවේල් ප්‍රකාශ කරන නමුත් වාර්තාවන ආකාරයට වැටුප් ප්‍රශ්නය ගැන භාන්ඩාගාර නිලධාරීන් සමග සාකච්චා කරන ලෙස රාජපක්ෂ ඔවුන්ට කියා ඇත.

එහෙත්, භාන්ඩාගාර නිලධාරීන් සමග නොවැම්බර් 5 වෙනිදා පැවති සාකච්චාවේ දී සියයට සියයක වැටුප් වැඩි කිරීමේ ඉල්ලීම වැවිලිකරුවන්ගේ සංගමය නැවතත් මුලුමනින් ම ප්‍රතික්ෂේප කර ඇත. වැවිලිකරුවන්ගේ සංගමයේ නිලධාරීන් යලිදු කියා ඇත්තේ වතු සමාගම් වලට දිය හැකි සියයට 20 ක හෝ රුපියල් සියයක වැඩිවීමක් පමනක් බවත් නිෂ්පාදනය ඉහල දැමීමට ගැට ගැසුනු අතිරේක දීමනා මගින් කම්කරුවන් ට රුපියල් 400 ක් පමන උපයා ගත හැකි බව ය.

දීපාවලි උත්සවය වෙනුවෙන් ඉල්ලන ලද රුපියල් 10,000 ප්‍රසාද දීමනාව ද ප්‍රතික්ෂේප කල වැවිලිකරුවන්ගේ සංගමය වතු සමාගම්වලින් බහුතරය අලාබ පිට පවත්වාගෙන යන නිසා රුපියල් 1,000 වැටුප් ඉල්ලීම මුලුමනින් ම අයතාර්ථවාදී බව ද අවධාරනය කලේ ය.

රුපියල් 1,000 දෛනික වැටුප කර්මාන්තයට “ව්‍යසනයක්” වනු ඇති බවත් කවර හෝ වැටුප් වැඩිවීමක් “නිෂ්පාදනයට සහ පැමිනීමට” සම්බන්ධ කල යුතු බවත් තේ කම්හල් හිමියන්ගේ සංගමය ද ප්‍රකාශ කර ඇත.

වතු කම්කරුවන් ගනන් ගැනෙන්නෙ ලංකාවේ කම්කරු පන්තියේ වඩාත් දුප්පත් කොටස් අතරට ය. යටත් විජිත පාලන කාලය තුල බි්‍රතාන්‍ය විසින් වසර 150 පමන පෙර දකුනු ඉන්දියාවෙන් ගෙනෙන ලද වතු කම්කරුවන් සහ ඔවුන්ගේ පවුල් වලින් බහුතරය තවමත් ජීවත් වන්නේ මූලික පහසුකම් හා ප්‍රමානවත් තරම් සෞඛ්‍ය සහ අධ්‍යාපන පහසුකම් පවා නැති කුඩා ලයිම් කාමර වල ය. ඔවුන්ගේ වර්තමාන දෛනික වැටුප මූලික ආහාර ද්‍රව්‍ය මිල දී ගැනීමටවත් නො සෑහෙයි.

සාමාජිකයන් 4-5 න් යුත් පවුලක් සඳහා සාමාන්‍ය ජීවිකා වේතනය රුපියල් 44,711 විය යුතු බව රාජ්‍ය නොවන සංවිධානයක් වන මහනුවර සමාජ සංවර්ධනය පිලිබඳ ආයතනය මෑත දී නිකුත් කල වාර්තාවක සඳහන් වේ.

කම්කරුවන්ගේ ඉල්ලීම පිලිගත නොහැකි බවත් එය දුන්නොත් කර්මාන්තය “බිඳ වැටෙන” බවත් පසු ගිය මාසයේ දේශපාලන කුමන්ත්‍රනයට පෙර හිටපු වැවිලි කර්මාන්ත ඇමති නවීන් දිසානායක පැවසුවේ ය. රාජපක්ෂ කඳවුරේ ආස්ථානය වන්නේ ද මෙයයි.

කම්කරුවන්ගේ උත්සුකතාවයන් ආරක්ෂා නොකරන ධනේශ්වර දේශපාලකයන් ද වන වතු වෘත්තීය සමිති නායකයන් ක්‍රියාත්මක වන්නේ සමාගම්වල සහ ආන්ඩුවේ කාර්මික පොලීසියක් ලෙසය.

පොරවැදී සිටින පාලක ප්‍රභුවේ කන්ඩායම් සමග වතු වෘත්තීය සමිති වල පෙල ගැසීම ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන අර්බුදයට හෝ වැවිලි කර්මාන්තයට සීමා වන්නේ නැත. සෙසු වෘත්තීය සමිති ද රිජුව හෝ වක්‍රව වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂයට හෝ සිරිසේනගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හේත්තු වී සිටිති.

අවසානයේ දී ශ්‍රී ලංකා ධනේශ්වරයේ කවර කන්ඩායම හෝ දේශපාලන සන්ධානය විසින් පාලන බලය අල්ලා ගනු ලැබුවත් නව ආන්ඩුව මහ ව්‍යාපාරිකයේ සහ ජාත්‍යන්තර ආයෝජකයන් ගේ ලාබ සුරක්ෂිත කිරීමේ ඉල්ලීම් රුදුරු ලෙස ක්‍රියාවට දමනු ඇත. වෘත්තීය සමිති සහ ව්‍යාජ වාම සංවිධානවල සහයෝගය ඇතිව එය කම්කරු පන්තියේ සියලු ප්‍රතිරෝධයන් මැඩීමට ක්‍රියා කරනු ඇත.

වෘත්තීය සමිති සහ ධනේශ්වරයේ සියලු කන්ඩායම් වලින් ස්වාධීනව විශාල වතු වල, වැඩ පලවල සහ අසල්වැසියන්හි ක්‍රියාකාරී කමිටු ගොඩ නැගීමට හා සමාජවාදී ප්‍රතිපත්ති සහ කම්කරුවන්ගේ සහ ගොවියන්ගේ ආන්ඩුවක් සඳහා කම්කරුවන් සටන් කල යුත්තේ මේ නිසාය.

Share this article: