සිරිසේනගේ පාර්ලිමේන්තුව විසුරුවීමේ තීරනය ශ්‍රේෂ්ඨාධිකරනයෙන් ආපසු හැරවීමත් සමග ශ්‍රී ලංකාවේ අර්බුදය උත්සන්න වෙයි

Sri Lanka crisis escalates as Supreme Court overturns Sirisena’s dissolution of parliament

කේ. රත්නායක විසිනි ,2018 නොවැම්බර් 14

ශ්‍රී ලංකාවේ පාලක ප්‍රභූව ඇතුලත කන්ඩායමික ගැටුම නාටකාකාර ව උත්සන්න කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගත් තීරනය ආපසු හරවන අතුරු නියෝගයක් ශ්‍රේෂ්ඨාධිකරනය විසින් ඊයේ පනවනු ලැබී ය. ශ්‍රේෂ්ඨාධිකරනයේ අවසන් තීන්දුව දෙසැම්බර් 7දා ලබාදෙනු ඇත.

නොවැම්බර් 9 දා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සිරිසේන ගත් තීරනය අභියෝගයට ලක්කරමින් ඉදිරිපත් කෙරුනු මූලික අයිතිවාසිකම් පෙත්සම් 12ක් විභාගයට ගත් ශ්‍රේෂ්ඨාධිකරනය එහි තීන්දුව ලබාදුන්නේ ය. පෙත්සම්කරුවන් අතර දේශපාලන පක්ෂ කිහිපයක් -එක්සත් ජාතික පක්ෂය (එජාප), ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) හා දෙමල ජාතික සන්ධානය (ටීඑන්ඒ)- මෙන් ම “සිවිල් සමාජ” කන්ඩායම් හා තනි පුද්ගලයෝ සිටිය හ. සිරිසේනගේ තීන්දුවට සහයෝගය පලකරමින් පෙත්සම් පහක් ගොනු කරනු ලැබිනි.

සිරිසේන හා ශ්‍රේෂ්ඨාධිකරනය අතර මෙන් ම ඔහු මෑතකදී පත්කල අගමැති මහින්ද රාජපක්ෂ හා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ අතර ද ගැටුමක් ජනනය කරමින්, ඉහත අධිකරන තීන්දුව මගින් පාලක ප්‍රභූව තුල කාකොටාගැනීම ප්‍රධාන පෙලේ ව්‍යවස්ථා අර්බුදයක් බවට ඔසවනු ලැබෙයි. අද යලි කැඳවන පාර්ලිමේන්තුවේ දී විශ්වාසය පලකිරීමේ යෝජනාවක් ජයගැනීමට වික්‍රමසිංහට හැකියාව ඇත.

ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් පසුගිය සිකුරාදා පාර්ලිමේන්තුව විසිරවූ සිරිසේන ජනවාරි 5 දා මහ මැතිවරනයක් පැවැත්වෙන බවත් නව පාර්ලිමේන්තුව ජනවාරි 17 දා රැස්වන බවත් ප්‍රකාශ කලේ ය. ශ්‍රේෂ්ඨාධිකරනය ඊයේ ලබාදුන් අතුරු තහනම් නියෝගය මැතිවරන දිනය හා නාමයෝජනා කැඳවීමට නියමිත ව තිබූ නොවැම්බර් 19 සිට 26 දක්වා කාලයට ද අදාල වේ.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සිරිසේන ගත් තීරනයට විරුද්ධ වූ නීතිඥයන් එය ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බවට තර්ක කරද්දී, නීතිපති ජයන්ත ජයසූරිය අවධාරනය කලේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට විරුද්ධ මූලික අයිතිවාසිකම් විභාගයට ගැනීමට අධිකරනයට නෛතික ප්‍රතිපාදන නැති බව යි. මේ සම්බන්ධ ජනාධිපතිගේ බලතල “නිශ්චිත” බව ඔහු ප්‍රකාශ කලේ ය. එහෙත් අගවිනිසුරු නලීන් පෙරේරා සභාපතිත්වය දැරූ ත්‍රී-පුද්ගල විනිසුරු මඩුල්ල පෙත්සම් විභාගයට ගැනීමට තීන්දු කලේ ය.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගත් තීරනය පසුගිය සති දෙක පුරා ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා සිදුකල ප්‍රජාතන්ත්‍ර-විරෝධී කටයුතු මාලාවකින් එකකි. ඔක්තෝබර් 26දා දේශපාලන කුමන්ත්‍රනයක් සිදුකරමින් අගමැති රනිල් වික්‍රමසිංහ නෙරපා දැමූ ඔහු, එම තනතුරට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පත් කොට පාර්ලිමේන්තුව නොවැම්බර් 16 දා දක්වා කල්දැමී ය. දේශීය හා ජාත්‍යන්තර විවේචන හේතුවෙන් පාර්ලිමේන්තුව කැඳවීමේ දිනය සිරිසේන විසින් නොවැම්බර් 14 ට වෙනස් කලේ ය.

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව කල්දැමීම, රාජපක්ෂට පාර්ලිමේන්තු බහුතරයක් ලබාගැනීමට අවස්ථාව සලසා දීමට දැමූ උපාමාරුවකි. තීව්‍ර කෙරුනු අතයට ගනුදෙනුවලින් පසුව ද තමන්ට අවශ්‍ය මන්ත්‍රී සංඛ්‍යාව එකතු කරගැනීමට නො හැකි වූ බව රාජපක්ෂ පසුගිය සතියේ ප්‍රකාශ කලේ පාර්ලිමේන්තුව විසිරවීමට සිරිසේන ව පොලඹවමිනි.

ඊයේ ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරන තීන්දුවෙන් පසුව එජාපය සහ අනෙකුත් විරුද්ධ පක්ෂ හා කන්ඩායම්, අතුරු නියෝගය ප්‍රජාතන්ත්‍රවාදය හා මහජනයා ලබාගත් “ජයග්‍රහනයක්” බවට උද්‍යෝගීමත් ව ප්‍රකාශ කල හ.

කම්කරුවන් හා තරුනයන් මෙම කියාපෑම් ප්‍රතික්ෂේප කල යුතු ය. අතුරු තහනම් නියෝගය වඩා ඉහල හා පුපුරනසුලු මට්ටමකින් ශ්‍රී ලංකාවේ දේශපාලන ප්‍රභූව අරක්ගෙන ඇති ගැඹුරු බෙදීම්වල ප්‍රකාශනයකි. ධනේශ්වරයේ දේශපාලන නියෝජිතයන් හා ධනපති රාජ්‍යයේ තවත් මර්දනීය උපකරනයක් වන අධිකරනය යන කිසිවක් හරහා කම්කරුවන්ට හා දුගීන්ට තමන්ගේ සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කරගත නො හැක.

අතුරු තහනම් නියෝගය පිලිබිඹු කරන්නේ, සිරිසේන විසින් නග්න ලෙස ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම කම්කරුවන් හා ගම්බද ජනයා අතර වර්ධනය වන වර්ජන හා විරෝධතා ව්‍යාපාරයකට වැඩිදුර ඉන්ධන සපයතැයි පාලක කවයන් තුල පවතින භීතිය යි. එලඹෙන සති තුන ඇතුලත තියුනු දේශපාලන අර්බුදය අවසන් කර ගැනීමේ ක්‍රමයක් සොයා නොගතහොත් සිරිසේනට පක්ෂ ව අධිකරන තීන්දුව ලබාදීමේ ඉඩකඩ තවමත් පවතී.

අධිකරන නියෝගයෙන් පසුව එජාප නායක වික්‍රමසිංහ ට්විටර් පනිවුඩයක මෙසේ සඳහන් කලේ ය: “අපි ඉදිරියට ගොස් අපගේ ආදරනීය රටේ ජනතාවගේ ස්වෛරීත්වය යලි ස්ථාපිත කරමු.” ප්‍රජාතන්ත්‍රවාදය, පාර්ලිමේන්තුවේ පරමාධිපත්‍යය හා ව්‍යවස්ථාව ආරක්ෂා කිරීම සඳහා තම පක්ෂයිඅවසානය දක්වා සටන් කරන’ බව ඔහු මාධ්‍යයට පැවසී ය.

වික්‍රමසිංහගේ ව්‍යාජ පූච්චානම්, තමා ආඥාදායක පියවරයන් ගත්තේ “ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට” යැයි පැවසෙන සිරිසේනගේ තකතීරු කියාපෑම් ප්‍රතිරාවය කරයි.

ශ්‍රී ලංකාවේ ධනවාදය මුහුන දෙන ගැඹුරු වන ආර්ථික ගැටලු හා භූ-දේශපාලනික ආතතීන් ද කම්කරුවන් හා දුගීන් අතර ඔවුන්ගේ සමාජ අයිතීන්ට එරෙහි ආන්ඩුවේ ප්‍රහාර පිලිබඳ ව ගැඹුරු වන සමාජ ප්‍රතිරෝධය ද සම්බන්ධයෙන් කුමක් කල යුතුද යන්න මත පාලක ප්‍රභූවේ සෑම කන්ඩායමක් ම අර්බුදයට ඇද දමා ඇත. ශ්‍රී ලංකාවේ ප්‍රතිමල්ලව ධනේශ්වර පක්ෂ මහජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජ අයිතීන් කිසිදා ආරක්ෂා කොට නැත; ඔවුන්ගේ වාර්තාව වන්නේ මහජනතාවට එරෙහි ක්‍රමානුකූල මර්දනයකි.

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ප්‍රසිද්ධ රැස්වීමක දී කල කතාව ශ්‍රේෂ්ඨාධිකරන තීන්දුව නිවේදනය කිරීම සඳහා ජයග්‍රාහී ලීලාවෙන් මඳකට නතර කලේ ය. සිරිසේන හා රාජපක්ෂගේ “කුමන්ත්‍රනය” පරාජය කර ඇති බව ඔහු ප්‍රකාශ කලේ “තවත් කුමන්ත්‍රන” තිබිය හැකි අතර ඒවා පැරදවීමට ද තම පක්ෂය සූදානම් බව කියමිනි.

යථා දෙය වන්නේ සිරිසේන හා රාජපක්ෂගේ යාන්ත්‍රනයන්ට එරෙහි එජාපයේ ව්‍යාජ “ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමේ” උද්ඝෝෂනය ජවිපෙ විසින් නරුම ලෙස වැලඳගෙන ඇති බව යි. 2015 ජනවාරියේ දී ආඥාදායකත්වයට එරෙහි ව ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට බව කියමින් එක්සත් ජනපදය පිටුබලය දුන් තන්ත්‍ර-මාරු මෙහෙයුමේ දී ජවිපෙ, සිරිසේන හා වික්‍රමසිංහ සමග පෙලගැසුනි.

අද දින පාර්ලිමේන්තුව කැඳවන බව කථානායකවරයා මන්ත්‍රීවරුන්ට දැනුම් දී තිබුන ද න්‍යාය පත්‍රය පැහැදිලි නැත. තමන්ට බහුතරයක් තිබෙන බව පාර්ලිමේන්තුව විසින් පෙන්වනු ඇතැයි වික්‍රමසිංහ මාධ්‍යයට කීවේ ය. “සත්‍ය ආන්ඩුව අප බව අපි පෙන්වනවා” යයි කී ඔහු “රජයේ සේවකයන් ව්‍යවස්ථාව අනුගමනය කරන” ලෙස ඉල්ලා සිටියේ ය. පොලීසිය ද තමන්ගේ උපදෙස් “පිලිපැදිය යුතු” බව ඔහු ප්‍රකාශ කලේ ය.

පාර්ලිමේන්තුව කැඳවීමට කථානායකට බලයක් නැති බව ඊනියා නව රාජපක්ෂ ආන්ඩුවේ ඇමතිවරු කිහිප දෙනෙක් ඊයේ රාත්‍රියේ පැවති මාධ්‍ය හමුවක දී කියා සිටිය හ.

වඩාත් අර්ථභාරී ලෙස, ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂක සභාව හා මිලිටරි ප්‍රධානීන් සමග විශේෂ රැස්වීමක් කැඳවමින් සිරිසේන අධිකරන තීන්දුවට ප්‍රතිචාර දැක්වී ය. ඔහු නිකුත් කල උපදෙස් කවරක්දැයි සවිස්තර ව හෙලී වී නැතත් මාධ්‍ය වාර්තා කර ඇත්තේ රටපුරා ආරක්ෂාව තර කරන ලෙස ඔහු ප්‍රධානීන්ට කී බව යි. පොලිස්පති පූජිත ජයසුන්දර ද ඇති විය හැකි ඕනෑම ප්‍රචන්ඩත්වයක් පාලනය කරන ලෙස පොලීසියට උපදෙස් දී ඇත.

පාර්ලිමේන්තුව විසිරවීමෙන් පසු එක්සත් ජනපදය හා අනෙකුත් ජාත්‍යන්තර මහා බලයන් සිරිසේන මත ඔවුන්ගේ පීඩනය තීව්‍ර කර ඇත. ජාත්‍යන්තර උත්සුකතාවන් සංසිඳවීමට සිරිසේන හා රාජපක්ෂ යන දෙදෙනා ම උත්සාහ දරා තිබේ.

විදේශ ඇමති සරත් අමුනුගම සියලු විදෙස් රාජ්‍යතාන්ත්‍රිකයන්ගේ රැස්වීමක් කොලඹ දී කැඳවූව ද රොයිටර් වාර්තාවන්ට අනුව බ්‍රිතාන්‍යය, නෙදර්ලන්තය, නෝර්වේ, ප්‍රන්සය ඕස්ට්‍රේලියාව, දකුනු අප්‍රිකාව, ඉතාලිය හා කැනඩාව යන රටවල තානාපතිවරු එයට සහභාගි නො වූ හ. යුරෝපා සංගමය, එක්සත් ජනපදය හා ජර්මනිය නියෝජිතයන් එවූ අතර ඉන්දියාව කනිෂ්ඨ නිලධාරියෙකු එවී ය.

“ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාර්ලිමේන්තුව විසිරවීමට ගත් තීරනය ශ්‍රී ලංකාවේ ප්‍රජාතාන්ත්‍රික ආයතනවලට තීරනාත්මක තර්ජනයක්” යයි විසිරවීමේ තීරනය විවේචනය කරමින් එක්සත් ජනපදය නිකුත් කල ප්‍රකාශයක් සඳහන් කල අතර, “මුලුමනින් ක්‍රියාකාරී වන පාර්ලිමේන්තුවක් ප්‍රජාතන්ත්‍රවාදයේ අත්‍යවශ්‍ය කුලුනකි” යනුවෙන් යුරෝපා සංගමයේ ප්‍රකාශයක් කියා සිටියේ ය.

දේශපාලන අර්බුදය හා “පාර්ලිමේන්තුව විසුරුවා හැරීම” ගැන ජපානය ඊයේ සිය උත්සුකතාවන් පලකලේ ය. ශ්‍රී ලංකාවේ වේවා වෙනත් කවර හෝ තැනක වේවා වැඩකරන ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හෝ සමාජ අයිතීන් ගැන මහා බලයන් උත්සුක වන්නේ නැත.

සිරිසේන ජනාධිපති ලෙස පත්කල 2015 ජනවාරි තන්ත්‍ර-මාරු මෙහෙයුමට පිටුබලය දුන් වොෂින්ටනය ශ්‍රී ලංකාව සමග මිලිටරි හා දේශපාලනික සබඳතා ශක්තිමත් කරගත්තේ ය. කොලඹ දැන් පුපුරා යන අර්බුදයට එහි මැදිහත්වීම්වල ඉලක්කය මෙම සබඳතා පවත්වා ගැනීම යි.

එක්සත් ජනපදය හා අනෙකුත් ප්‍රධාන බලයන් දැන් වික්‍රමසිංහට පිටුබලය දෙමින් සිටිය ද රාජපක්ෂ ඇමරිකානු අවශ්‍යතාවන්ට සේවය කිරීමට සූදානම් නම් ඔහු සමග වැඩකිරීම වොෂින්ටනය ප්‍රතික්ෂේප කරන්නේ නැත.

පාලක පන්තියේ කිසිදු පක්ෂයක් තුලින් හෝ අධිකරනයට කරන ආයාචනා හරහා හෝ ශ්‍රී ලංකාවේ කම්කරු පන්තියට හා ගම්බද ජනතාවන්ට ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජ අයිතීන් ආරක්ෂා කරගත නො හැක. අවශ්‍ය වන්නේ, පාලක ප්‍රභූවේ සෑම කන්ඩායමකට ම එරෙහි ව සමාජවාදී සමානතා පක්ෂය විසින් ඉදිරිපත් කරන විප්ලවීය සමාජවාදී ක්‍රියාමාර්ගයේ පදනම මත කම්කරුවන් හා තරුනයන් ස්වාධීන ව බලමුලුගැන්වීම යි.

Share this article: