ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදයෙන් වාසි ගැනීමට ජවිපෙ දරන ප්‍රෝඩාකාරී උත්සාහය

The JVP’s fraudulent attempt to capitalise on Sri Lanka’s political crisis

වසන්ත රූපසිංහ විසිනි, 2018 නොවැම්බර් 2

රනිල් වික්‍රමසිංහ ක්ෂනික ව අගමැති ධුරයෙන් ඉවත් කොට එම තනතුරට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පත්කිරීම මගින් ජනිත කෙරුනු ගැඹුරු වන දේශපාලන අර්බුදයක් මධ්‍යයේ, ශ්‍රී ලංකාවේ ප්‍රධාන පක්ෂ දෙක කෙරෙහි පවත්නා පුලුල් විරෝධය ගසාකෑමට ජාතිකවාදී විරුද්ධ පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) උත්සාහ දරමින් සිටී.

පාලක ප්‍රභූවේ තරඟ වැදී සිටින කන්ඩායම් කෙරෙහි ජවිපෙ පෙන්වන ව්‍යාජ විරෝධය, සාමාන්‍ය ජනයා අතර පැතිර පවතින කෝපය, බිඳවැටෙමින් තිබෙන පාර්ලිමේන්තු සංස්ථාපිතය පිටුපසට ගාල් කිරීම ඉලක්ක කරගනී.

ඔක්තෝබර් 26දා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ශ්‍රීලනිප) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එක්සත් ජාතික පක්ෂයේ (එජාප) වික්‍රමසිංහ ව නෙරපා දැමුවේ ය. එම පියවර හේතුවෙන්, 1948 නාමික නිදහස ලත් තැන් පටන් ශ්‍රී ලංකාව පාලනය කර ඇති ප්‍රධාන ධනේශ්වර පක්ෂ දෙක 2015 දී ස්ථාපිත කල “සමගි” ආන්ඩුව අවසන් විය.

වික්‍රමසිංහ සමග හවුලේ ජනාධිපතිවරනයට තරඟ කිරීම සඳහා ශ්‍රීලනිපයේ ම ජනාධිපති රාජපක්ෂගෙන් 2015 දී සිරිසේන බිඳී වෙන් විය. එම ක්‍රියාව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග සම්බන්ධීකරනය කරන ලදුව වොෂින්ටනය විසින් ක්‍රියාවට දැමූ තන්ත්‍ර-මාරු මෙහෙයුමක කොටසක් විය.

ආසියා-පැසිෆික් කලාපය පුරා බීජිනය සමග එක්සත් ජනපදයේ මුනගැටුමක් මධ්‍යයේ රාජපක්ෂ ආන්ඩුවට චීනය සමග තිබූ සමීප සබඳතාවන්ට වොෂින්ටනය හතුරු විය. සියලු මධ්‍යම පාන්තික ව්‍යාජ-වාම කන්ඩායම් සහ වෘත්තීය සමිති සමගින් බුද්ධිමතුන් හා ශාස්ත්‍රාලිකයන් ස්ථරයක් මෙම දේශපාලන යාන්ත්‍රනයන් හා සිරිසේනගේ පත්වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහනයක් ලෙස උත්කර්ෂයට නැංවූ හ. ජවිපෙ සිරිසේනට වක්‍ර ව සහයෝගය දුන්නේ ය.

නව ආන්ඩුව පත්වීමෙන් ක්ෂනික ව ඉක්බිත්තේ, විධායක සභාවක් ස්ථාපනය කිරීම මගින් එහි “ප්‍රජාතන්ත්‍රවාදී අක්තපත්‍ර” තහවුරු කිරීම සඳහා උත්සාහ ගත්තේ ය. එජාපය ද සමගින් එම සභාවට සහභාගි වූ ජවිපෙ එම ප්‍රෝඩාවට අනුමැතිය දුන්නේ ය.

එයට ප්‍රති-උපකාර වසයෙන්, එජාපය වැඩිම ආසන සංඛ්‍යාව ලබාගෙන වික්‍රමසිංහ ව යලි අගමැති ධූරයට පත් කල 2015 අගෝස්තු මහ මැතිවරනයෙන් පසුව පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂයේ නිල ප්‍රධාන සංවිධායක ධුරයට ජවිපෙ ඔසවා තැබුනි.

පුලුල් කප්පාදු පියවර පැටවූ හා වර්ජිත කම්කරුවන්ටත් ශිෂ්‍යයන්ටත් එරෙහි ව පොලීසිය හා මිලිටරිය මුදා හල සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුවේ ප්‍රජාතන්ත්‍ර-විරෝධී ස්වභාවය පිලිබඳ ව සමාජවාදී සමානතා පක්ෂය (සසප) කල අනතුරු ඇඟවීම්වලට ජවිපෙ එකහෙලා විරුද්ධ විය.

පසුගිය සතියේ දේශපාලන කුමන්ත්‍රනයට විරුද්ධ ව ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම පිලිබඳ ව ජවිපෙ දැන් කරන කියාපෑම් නරුම සහ තමන්ගේ ම ස්වාධීන ඉදිරිදර්ශනයක පදනම මත ගැඹුරු වන දේශපාලන අර්බුදයට කම්කරු පන්තියේ මැදිහත් වීම වැලැක්වීම ඉලක්ක කරගනී.

“ජනතාවගේ පරමාධිපත්‍යය” නියෝජනය කරන රටෙහි “ඉහල ම ආයතනය” ලෙස පාර්ලිමේන්තුව විස්තර කරමින් “එය වහා ම කැඳවන” ලෙස ඉල්ලා ඔක්තෝබර් 29 දා ජවිපෙ විසින් කථානායක වෙත යවන ලද ලිපියක් තුල මෙය අවධාරනය කෙරුනි.

“පාර්ලිමේන්තුව කතිකාවෙන් ඉවත් කර තැබීම රටෙහි ප්‍රජාතන්ත්‍රවාදයට අයහපත්” බවට අනතුරු ඇඟවූ ලිපිය, දේශපාලන අර්බුදය “රටට හතුරු විදේශීය බලවේගවලට වක්‍ර ව උපකාර කරනු” ඇතැයි වැඩිදුරටත් කීවේ ය.

මෙම ලිපිය ප්‍රදර්ශනය කලේ, සෑම විට ම කම්කරු පන්තියට එරෙහි ව සංගත ප්‍රභූවේ අවශ්‍යතා ඉදිරියට දමා ඇති, ජවිපෙ ද පාර්ශවයක් වන අර්බුද ග්‍රස්ත පාර්ලිමේන්තු යාන්ත්‍රනයට මුක්කුව දීම සඳහා එය දරන මංමුලා සහගත වෑයම යි. ගැඹුරු වන අර්බුදය සමස්ත දේශපාලන සංස්ථාපිතය ම තවදුර අපකීර්තියට ලක්කරමින් සියලු නිල පක්ෂ කෙරෙහි මහජන විරෝධය වැඩිදියුනු කරතැයි ජවිපෙ උත්සුක වේ.

අර්ථභාරී ලෙස, පාර්ලිමේන්තුව කැඳවන ලෙස කරන ආයාචනය, වික්‍රමසිංහගේ හා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ආස්ථානය ප්‍රතිරාවය කලේ ය. තම අගමැති ධුරයට පාර්ලිමේන්තුව තුල බහුතරයේ සහාය පෙන්වීම සඳහා එජාප නායකයාට එය කැඳවීම අවශ්‍ය ය. රාජපක්ෂ යලිත් චීනය දෙසට වාරුවනු ඇතැයි බිය වන වොෂින්ටනය මෙම ඉල්ලීම සමග පෙලගැසී සිටී. “විදේශීය බලවේග” පිලිබඳ ව ජවිපෙ කරන සැඳහුම, සමාජ කෝපය ප්‍රතිගාමී සිංහල දේශප්‍රේමයේ නාලිකාවන් ඔස්සේ හරවා යැවීමට එය දරන උත්සාහය පෙන්නුම් කරයි.

1966 දී ජවිපෙ ආරම්භ කරන විට, මිලිටරිය විසින් ලේවැකි ලෙස මර්දනය කල ව්‍යසනකාරී සන්නද්ධ නැගිටීමකට මග පාදමින් ග්‍රාමීය තරුනයන්ගේ පරම්පරාවක් අවමංගත කිරීම සඳහා මාඕවාදයේ හා කස්ත්‍රෝවාදයේ සුලුධනේශ්වර මිශ්‍රනයක් යොදාගත්තේ ය. මෙම පක්ෂය දැන් ධනේශ්වර පාර්ලිමේන්තුවට “ජනතාවගේ පරමාධිපත්‍ය බලය” ලෙස වන්දනාමාන කිරීම, පැරනි සුලුධනේශ්වර රැඩිකල් ව්‍යාපාරවල දක්ෂිනාංශික ගමන් මාවත ලාක්ෂනික ව ප්‍රදර්ශනය කරයි.

ධනේශ්වර පාලනයේ විවෘත ආරක්ෂයෙකු ලෙස ජවිපෙ දිගුකාලයක් තිස්සේ ක්‍රියාකර ඇත. ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනගේ විවෘත ආර්ථික පිලිවෙත්වලට හැරීමට විරුද්ධ ව 1980 ජූලියේ කම්කරු පන්තිය දියත් කල මහා වැඩ වර්ජනය පාවාදීමේ දී ජවිපෙ මූලික භූමිකාවක් ඉටුකලේ ය.

1983 සිට 2009 දක්වා අනුප්‍රාප්තික කොලඹ ආන්ඩු විසින්, බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහි ව ගෙනගිය රුදුරු යුද්ධයේ වඩාත් ම ඝෝෂාකාරී සහකරුවන් අතර ජවිපෙ සිටියේ ය. 1980 ගනන් අගභාගයේ විරුද්ධ කන්ඩායම්, ජනමාධ්‍යවේදීන්, දෙමල ජනයා හා කම්කරු පන්තික සංවිධානවලට විරුද්ධ දුෂ්ට උද්ඝෝෂනයක් එය විසින් ගෙනගිය අතර, එයට සසප පූර්වගාමියා වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ සාමාජිකයන් තිදෙනෙකු මරා දැමීම ද ඇතුලත් විය.

1990 ගනන්වල ජවිපෙ නීත්‍යානුකූල කිරීමෙන් පසු, 1994 ජනාධිපතිවරනයේ දී ශ්‍රීලනිපයේ චන්ද්‍රිකා කුමාරතුංග විසින් ජයවර්ධනගේ ප්‍රජාතන්ත්‍ර-විරෝධී 1978 ව්‍යවස්ථාව වෙනස් කරන බවට දුන් ව්‍යාජ පොරොන්දුව සිවිල් අයිතිවාසිකම් සඳහා ඉදිරි පියවරක් යයි කියමින් ඇයට සහයෝගය පිනිස ජවිපෙ සිය ජනාධිපති අපේක්ෂකයා ඉවත් කරගත්තේ ය.

කුමාරතුංගගේ දෙවන පාලන සමයේ පාර්ලිමේන්තුවේ බහුතරය අහිමි වී යාමේ තර්ජනයකට මුහුන දුන් විට, ඇයගේ ආන්ඩුවට අවශ්‍ය ඡන්ද ලබාදුන් ජවිපෙ එහි කැබිනට්ටුවට ඇතුලත් විය. එමගින් ඔවුහු ආන්ඩුව විසින් ගෙනගිය සිවිල් යුද්ධයට හා වෙලඳපොල හිතැති පියවරයන්ට ඍජු වගකීම භාරගත්තේ ය.

2005 ජනාධිපතිවරනයේ දී රාජපක්ෂගේ ජයග්‍රහනය තහවුරු කිරීම සඳහා ඔහු සමග ගිවිසුමකට එලඹුනු ජවිපෙ, යුද්ධය තීව්‍ර කිරීමට හා ප්‍රජාතන්ත්‍ර අයිතීන් මත ප්‍රහාරයන්ට පාර කැපී ය.

මෙය ජවිපෙ ගඳගසන ඉතිහාසයේ කොටසකි.

අද වන විට, 2008 මූල්‍ය අර්බුදය විසින් ඇතිකරන ලද ගෝලීය ධනේශ්වර අර්බුදය මධ්‍යයේ ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදය බිඳවැටෙමින් තිබේ. කොලඹ කුනාටුව මෙම ජාත්‍යන්තර ප්‍රවනතාවේ තියුනු ප්‍රකාශනයකි. පාලක ප්‍රභූව තුල දැන් පවතින සිවිල් යුද්ධය කෙලෙසින් විසඳා ගත්ත ද එය සලකුනු කරන්නේ කම්කරු පන්තියේ හා දුගීන්ගේ කොන්දේසි මත ප්‍රහාරය තීව්‍ර කිරීම සඳහා වඩ වඩා ආඥාදායක පාලන රූපාකාරයන් කරා වන මාරුවකි.

ජවිපෙ ද ඇතුලු දේශපාලන සංස්ථාපිතයේ සියලු කන්ඩායම්වලින් බිඳී වෙන් වන ලෙස සසප කම්කරු පන්තියෙන් ඉල්ලා සිටින්නේ මේ නිසා ය.

කම්කරු පන්තිය සමාජවාදී හා ජාත්‍යන්තරවාදී ඉදිරිදර්ශනයකට සටන් වැදිය යුතු අතර සිංහල, දෙමල හා මුස්ලිම් යන සියලු වර්ගවල ගම්බද දුගීන් හා තරුනයන් තමන් වටා රැලි කරගත යුතු ය. දකුනු ආසියාවේ ඒකාබද්ධ සමාජවාදී සමූහාන්ඩු සංගමයක කොටසක් ලෙස සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට දමන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් ගොඩනගා ගැනීමේ අරමුනෙන් නිල පාර්ලිමේන්තු යාන්ත්‍රනයන්ට විරුද්ධ ව ක්‍රියාකාරී කමිටු ඇතුලු තමන්ගේ ම පන්ති ආයතන කම්කරුවන් විසින් ගොඩනගා ගත යුතුය.

Share this article: