යාපනයේ සිනමා උලෙලකදී ලංකාවේ සිවිල් යුද්ධය අලලාගත් චිත්‍රපටයක් වාරනය කෙරෙයි

ප්‍රදීප් රාමනායක විසිනි, 2018 ඔක්තෝබර් 17

ඔක්තෝබර් 3 වනදා ආරම්භ වූ හතරවන යාපනය ජාත්‍යන්තර සිනමා උලෙලේ සංවිධායක මන්ඩලය එහිදී තිරගත වීමට නියමිතව තිබූ දෙමල ජාතික සිනමාකරුවකු වූ ජූඞ් රත්නම් විසින් අධ්‍යක්ෂනය කල “ඩීමන්ස් ඉන් පැරඩයිස්” (පාරාදීසයේ යක්ෂයෝ) වාර්තා චිත්‍රපටය ප්‍රදර්ශනය වාරනයට ලක්කලේය.

“ප්‍රජාව වෙතින් එල්ල වූ පීඩනයක්” නිසා චිත්‍රපටය ප්‍රදර්ශනයෙන් ඉවත් කිරීමට සිදුවූ බව සංවිධායකයින් තමන්ට පැවසූ බව සඳහන් කරන රත්නම් චෝදනා කරන්නේ සිය චිත්‍රපටය වාරනය කිරීම සම්බන්ධයෙන් නිසි පැහැදිලි කිරීමක් තවමත් ලැබී නොමැති බවටයි. “මට හැඟෙන්නේ මෙය වාරනයක් වගේම නිදහස් භාෂනය පිලිබඳ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් ලෙස” යැයි ඔහු පවසයි.

සිනමා උලෙලේදී ලංකාව ඇතුලු රටවල් 30 ක් නියෝජනය කල චිත්‍රපට ගනනාවක් ප්‍රදර්ශනය කෙරුනු අතර ඒවා ආශ්‍රයෙන් සංවාද පැවැත්වීමට එහි ඉඩකඩ වෙන්වී තිබින. රත්නම්ගේ චිත්‍රපටය උලලෙන් වාරනය වීමට සිය විරෝධය ප්‍රකාශ කිරීමක් ලෙස චින්තන ධර්මදාස සහ මාලක දේවප්‍රිය යන අධ්‍යක්ෂකවරු තමන්ගේ චිත්‍රපට උලෙලෙන් ඉවත්කරගන්නා බව නිවේදනය කලහ.

1983 දී දෙමල ජනයා ඉලක්ක කරගත් වර්ගවාදී ප්‍රහාරවලින් ගැලවීමට සිය පවුලේ සාමාජිකයන් සමග කොලඹ හැරගිය රත්නම් තම චිත්‍රපටයට පාදක කරගෙන ඇත්තේ තමන්ගේ එම අත්දැකීම්ද ඇතුලත් වර්ගවාදී යුද්ධයේ සිදුවීම්ය. ප්‍රමුඛ ජාත්‍යන්තර සිනමා උලෙලක් වන ප්‍රන්සයේ කෑන් සිනමා උලෙලෙහි ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වාර්තා චිත්‍රපට අංශයේ තරග වැදුනු පලමුවන නිර්මානය මෙය වන අතර චිත්‍රපටය විදේශ සිනමා උලෙල කිහිපයකට ඉදිරිපත් කරනු ලැබ සම්මාන දිනාගැනීමෙන් ජාත්‍යන්තර අවධානයට පාත්‍ර වුවකි.

චිත්‍රපටය අවස්ථා කිහිපයකදී දකුනේ ප්‍රදර්ශනය කෙරී තිබුනු අතර, ප්‍රථම වරට එය උතුරේ ප්‍රදර්ශනය කිරීමට නියමිතව තිබුනේ යාපනය ජාත්‍යන්තර සිනමා උලෙලේ දී ය.

සංවිධායකයින් පවසන අන්දමට චිත්‍රපටය වාරනය කිරීමට බලපෑම් කලේ කවුරුන්ද යන්න පිලිබඳව ඔවුන්ට පැහැදිලි අදහසක් නැත. චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයාගේ චෝදනාව සම්බන්ධයෙන් මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් චිත්‍රපට උලෙලේ අධ්‍යක්ෂිකා අනෝමා රාජකරුනා පවසන්නේ චිත්‍රපටය වාරනය වීමෙන් අනතුරුව “විකල්ප ක්‍රමයකින් හෝ එය සිනමා උලෙලට සම්බන්ධ කරගැනීමට සිදුකල ක්‍රියාදාමය තුල අධ්‍යක්ෂකවරයා අදාල සාකච්ඡාවෙන් ඉවත් වී ගිය” බැවින් “එම සාකච්ඡාවට යොදාගත් අවකාශය අත්හැරදමා මාධ්‍ය වෙත අදහස් පලකිරීම පිලිගත නොහැකි ” බවයි.

මෙය චිත්‍රපටය වාරනය වීමට බල පෑ සැබෑ හේතු මගහැර යමින් එහි ප්‍රජාතන්ත්‍ර විරෝධී ස්වභාවය වසන් කිරීමට දරන ප්‍රයත්නයකි. කලා නිර්මානයක අන්තර්ගතය කුමක් වුවත් ඒවාට එරෙහි වාරන පැනවීම කලාකරුවන්ගේ භාෂනයේ නිදහස පැහැර ගැනීමකි. එය සපුරාම ප්‍රජාතන්ත්‍ර විරෝධීය.

බීබීසී සිංහල වෙබ් අඩවියේ සැප්තැම්බර් 18 වන දා පලවූ වාර්තාවකට අනුව, තම නිර්මානයේ ප්‍රධාන වශයෙන් ඉස්මතු කිරීමට යත්න දැරුවේ යුද්ධයේ විනාශයට බොහෝ සෙයින් වගකිව යුත්තේ එල්ටීටීඊය (දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානය) බව සහ “දෙමල ජන වර්ගයට එරෙහිව වඩාත් කෲරත්වය පල කලේ ඔවුන් ආරක්ෂා කලයුතුව තිබූ කොටි කැරලිකරුවන්” බව, රත්නම් විසින්, බීබීසී ආසියානු ජාලයේ නලිනී සිවදාසම් ට පවසා ඇත.

කෙසේ නමුත්, දෙමල ධනපති පන්තියේ අවශ්‍යතාවයන් වෙනුවෙන් එල්ටීටීඊ ය ගෙනගිය බෙදුම්වාදී දේශපාලනයේ ප්‍රතිගාමිත්වය සහ එය යොදාගත් ත්‍රස්ත විධික්‍රමයන් තිබියදීම යුද්ධයේ විනාශයට අති මූලිකව වගකිව යුත්තේ කොලඹ සිංහල පාලක පන්තිය යි. ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය, කොලඹ සිංහල පාලක ප්‍රභූව ආරම්භයේ සිටම ගෙනගිය සිංහල ස්වෝත්තමවාදී දේශපාලනයේ සහ දෙමල ජනයාට එරෙහිව සිදු කරන ලද දැනුවත් වෙනස්කම් වල ප්‍රතිඵලයකි.

දෙමල ධනපති ප්‍රභූව ද ආරම්භයේ සිටම තම දේශපාලනය පදනම් කර ගත්තේ ප්‍රතිගාමී දෙමල ජාතිකවාදය මතයි. එම දේශපාලනයේ ම දිගුවක් වන එල්ටීටීඊ යේ බෙදුම්වාදී දේශපාලනය ආරක්ෂා කිරීම සඳහා දෙමල ධනපතියන් දිගටම යෙදී සිටින්නේ එබැවිනි.

මේ අනුව රත්නම් ගේ චිත්‍රපටය වාරනය කිරීම සඳහා “පීඩනය” එල්ල කල “ප්‍රජාව” මූලික වශයෙන් සමන්විත වනුයේ, දෙමල ජාතිකවාදී ධනපති ප්‍රභූවෙන් බව ඉතා පැහැදිලිය. ඓතිහාසික වශයෙන් එහි ප්‍රගතිශීලී අන්තර්ගතය අහිමි කරගත් “පීඩිත ජාතීන්ගේ ස්වයං නිර්නය අයිතිය” යන සටන් පාඨයට මුවා වෙමින් දෙමල බෙදුම්වාදයට සහාය දෙන දකුනේ ව්‍යාජ-වම්මු සහ රැඩිකල් ලිබරලුන් ද මෙම ප්‍රජාවට අයත් වෙති. අනෝමා රාජකරුනා නියෝජනය කරන්නේ ද මෙම “ප්‍රජාව” යි. ඔවුනගේ දේශපාලනය සිංහල සහ දෙමල කම්කරු පන්තියේ ජාත්‍යන්තරවාදී එකමුතුවට මුලුමනින්ම සතුරු ය.

වාරනය එල්ල වන්නේ කාගේ අවශ්‍යතාවයක් මතදැයි ඉඟි කරමින් අධ්‍යක්ෂකවරයා මාධ්‍ය වෙත පවසා තිබුනේ දෙමල ජනයා අතර එල්ටීටීඊ සංවිධානය පිලිබඳ විවෘත සංවාදයක් ඇතිවීම වැලැක්වීමට උතුරේ දෙමල ප්‍රභූ පන්තිය පමනක් නොව දකුනේ සාමය වෙනුවෙන් හඬ නගන ලිබරල් යයි හඳුන්වා ගන්නා පිරිස් වෙතින් ද බාධා එල්ලවන ආකාරයක් වාරනය හරහා පෙනී යන බවයි.

රත්නම් කරන මෙම චෝදනාවන් අභූතයන් නොවේ. මේ වනවිට දෙමල ජාතික සන්ධානය ඇතුලු ධනපති සංවිධාන කීපයක් උතුරේදී දෙමල කම්කරුවන් හා තරුනයන් සූරාකෑම තියුනු කිරීම සඳහා කොන්දේසි සකස් කර ගැනීමට “සංහිඳියාව” සහ “ප්‍රජාතන්ත්‍රවාදය” යන නමින් කොලඹ දේශපාලන තන්ත්‍රය සමග බලය බෙදා ගැනීමේ වැඩපිලිවෙලකට ප්‍රවිෂ්ට වී ඇත.

තවත් කොටසක් උතුරේ දිගටම ගෙනයන පොලිස්-මිලිටරි මර්දනයන්, මිලිටරිය විසින් අත්පත් කරගත් ඉඩම් නැවත ලබා නොදීම ආදියට එරෙහිව දෙමල මහජනතාව අතර වැඩෙන කෝපය වඩාත් බෙදුම්වාදී රේඛාවන් ඔස්සේ හරවා යැවීමේ නිරත වී සිටිති. එල්ටීටීඊ සංවිධානය උත්කර්ෂයට නැංවීමේ වැඩකටයුතු එහි ලා ප්‍රමුඛ වී ඇත. රත්නම්ගේ චිත්‍රපටය එම වැඩකටයුතු වලට බාධකයක් ලෙස ඔවුන් සැලකූ බවට සැක නැත.

මිලිටරිය යොදාගෙන දෙමල මහජනතාවට එරෙහිව දියත් කල කුරිරු ප්‍රහාරයන් හෙලිදරව් වීම ගැන බිය වූ කොලඹ අනුප්‍රාප්තික ආන්ඩු දකුනේදී ද, එවැනි හෙලිදරව් සහිත චිත්‍රපටයන්ට වාරන පනවා ඇත. ප්‍රසන්න විතානගේ ගේ “පුරහඳ කළුවර” සහ “ඔබ නැතුව ඔබ එක්ක”, විමුක්ති ජයසුන්දර ගේ “සුලඟ එනු පිනිස”, අශෝක හඳගම ගේ “මේ මගේ සඳයි” ආදී චිත්‍රපට එවන් වාරනයන්ට ලක්විය.

උතුරේදී වුවත් දකුනේදී වුවත් පාලක ප්‍රභූහු කම්කරු පන්තිය බෙදීම සඳහා වර්ගවාදය යහමින් දිගේලි කිරීමේ නිරත වී සිටිති. මෙවැනි චිත්‍රපට හරහා කෙරෙන හෙලිදරව්වන් එම වැඩපිලිවෙලට හරස්වන බව දැකගන්නා ඔවුහු ඒවා මහජනතාව වෙත ලඟාවීම වැලකීම සඳහා සෑම අයුරකින්ම වෑයම් කරති. මෙම චිත්‍රපටය වාරනය කිරීම පිටුපස පවතින සැබෑ හේතුව එයයි.

Share this article: