ඇමසන්හි ඩොලර්15 වැටුප් වංචාව

The fraud of Amazon’s $15 wage

2018 ඔක්තෝබර් 4

අවම වැටුප වැඩි කිරීමේ ඇමසන්හි තීරනය සංගත ප්‍රභූවට සහ කම්කරු පන්තියට සාමයෙන් ජීවත් විය හැකි බව සනාථ කරන උදාරත්වය පෙන්නුම් කරන්නක් ලෙස සංගත මාධ්‍යය සහ දේශපාලන සංස්ථාපිතය මගින් ඔජවඩවා ඇත.

යථාර්ථයෙන් ගත්කල, සොච්චම් වැටුප් වැඩිවීම ඇමසන්හි ප්‍රතිරූපය නංවාලීම සඳහාත් ඉහල වැටුප් සහ වැඩපොල වහල් කොන්දේසි අවසන් කිරීමට ඉල්ලීම් දමන කම්කරුවන්ගේ වර්ධනය වන ව්‍යාපාරයක් සමනය කිරීම සඳහාත් සැලසුම් කරන ලද ප්‍රචාරක මෙහෙයුමකි.

“මෙසේයි ප්‍රජාතන්ත්‍රවාදය සහ ධනවාදය ක්‍රියාත්මක වීමට අපේක්ෂා කරන්නේ,” යනුවෙන් නිව්යෝර්ක් ටයිම්ස් “ඇමසන්හි යටත් වීම ආවේශය ඇති කරයි” යන හිසින් යුතු ලිපියක ප්‍රකාශ කලේය. ජෝ බිඩන්ගේ හිටපු ආර්ථික උපදේශකයකු වූ ජාඞ් බර්න්ස්ටයින් විසින් ඇමසන්හි විධායක නිලධාරී ජෙෆ් බෙසොස්ට හිමි වොෂින්ටන් පෝස්ට් “නිසැකවම හොඳ ප්‍රවෘතියක්” සැපයීම වෙනුවෙන් සමාගම සඳහා ප්‍රශංසා ලිපියක් පල කලේය.

පක්ෂ දෙකේම නායකයෝ ඇමසන් පිලිබඳව ඔජවැඩූහ. එජයේ පැයක වැටුප ඇඩො 15 දක්වාත් සහ එක්සත් රාජධානියේ පවුම් 9.50 (ඇඩො12.39) සහ පවුම් 10.50 (ඇඩො13.39) අතර දක්වාත් වැඩි කිරීමේ යෝජනාව ගැන ට්‍රම්ප්ගේ ධවල මන්දිරයේ ආර්ථික උපදේශකයෙක් වන ලැරී කුඞ්ලෝව් බෙසොස් “හොඳ ව්‍යාපාරිකයකු” සහ “වැඩකාරයකු” යනුවෙන් පැවසීය. හිලරි ක්ලින්ටන්ගේ හිටපු උපදේශකයෙක් වූ ජෝන් පොඩෙස්ටා ට්වීට් පනිවිඩයක් මගින් “ස්තුතියි සෙනෙට් සභික සෑන්ඩර්ස්” යනුවෙන් ඩිමොක්‍රටික සෙනෙට් සභික බර්නි සෑන්ඩර්ස්හට ප්‍රශංසා කලේ ඔහු විසින් වැටුප් වැඩිවීම පිලිබඳව කල මැදිහත්වීම නිසාය.

නිව්යෝර්ක් ටයිම්ස්, වොෂින්ටන් පෝස්ට්, හිලරි ක්ලින්ටන්, ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජෙෆ් බෙසොස් උද්‍යෝගිමත්ව එකමුතුවී ඇතැයි යන කාරනාව කම්කරුවෝ බරපතල ලෙස අවධානයට ගත යුතුය. ඔබගේ පසුම්බිය වෙත නෙත් යොමුව තබා ගන්න!

ඇමසන්හි වැඩි කිරීම වනාහි ඇත්තෙන්ම කම්කරුවන්ටම එරෙහිව අවසානයේදී වියදම් ඉතිරි කිරීම බව මූල්‍ය විශ්ලේෂකයෝ සහ ආයෝජකයෝ අවබෝධ කරගත්හ. වෝල් ස්ට්‍රීට් ජර්නල්සඳහන් කලේ ඇමසන් නිෂ්පාදන ඵලදායිතාව ඉහල දැමීම මගින් මෙම වියදම් වැඩිවීම හිලව් කරනු ඇත යනුවෙනි - එනම් වැඩ වේගවත් කිරීම් සහ ඉහල නිෂ්පාදන රේට්ටු බලපැවැත්වීමයි.

ඇමසන් “වැටුප් සඳහා වැඩියෙන් වැය කරනවා නොව අඩුවෙන් මිනිසුන් කුලියට ගැනීම දක්වා යනු ඇත” යනුවෙන් කර්මාන්ත විශ්ලේෂකයකු, ඬේවිඞ් බාන්සන්, සීඑන්බීසී මාධ්‍යයේදී පිලිගත්තේය. මක්නිසාදයත්, පිරිවැටුම සහ පුහුනුවීම් සඳහා වියදම් අඩු කරමින්, යන්තම් වැඩි වැටුප්, අනතුරු සිදුවීම් නොතකා කම්කරුවන්ට වැඩ කිරීමටත් සහ දීර්ඝ කාලයක්, අනාරක්ෂිත තත්වයන් යටතේ වැඩ කිරීමටත් බල කෙරෙනු ඇති නිසාය. ඇමසන් විසින් මෑතදී අත්පත් කර ගන්නා ලද හෝල් ෆුඞ්ස් වෙලඳ සංකීර්නවලද ඇතුලුව, සූරාකෑම උග්‍ර කිරීමට දැවැන්ත වියදම් ඉතිරි කිරීමේ පියවරන් හඳුන්වා දීමටත් එහි ශ්‍රම බලකාය අඩු කිරීමටත් ඇමසන් ආරම්භ කර ඇත.

ලූප් කැපිටල් මාකට්හි ඇන්තනි චුකුම්බ යෝජනාව “මහජන සබඳතා ජයග්‍රහනයක්” ලෙස ප්‍රශංසා කලේ මෙමගින් සමාගමට ගෙවීමට නියමිත විශාල බදු අඩු කරනු ඇති නිසාත් හෝ සමාගමට එරෙහි උග්‍ර වැඩපොල ආරක්ෂක රෙගුලාසි පැනවීම ලිහිල් කරනු ඇති නිසාත්ය. “ඇමසන් විසින් ගෙවීම් ඉහල දැමීම නිසා දිගු කාලීන වශයෙන් විශාල මූල්‍ය අඩු කිරීම් ලැබෙන රෙගුලාසි අඩු කර ගැනීමේ වාසියකට හිමිකම් ලැබෙනු ඇතැ“යි වෝල් ස්ට්‍රීට් ජර්නලය කියා සිටියේය.

තවදුරටත්, අන්තර්වාර මැතිවරනයට යන්තම් මසකට පෙරාතුව සිදුවන මෙම ක්‍රියාවට ගනන් බලා කරනු ලබන දේශපාලන මානයක් පවතී. වොෂින්ටන් පෝස්ට්හි හිමිකරු සහ ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රමූඛ පෙලේ ආධාරකරුවකු වන බෙසොස් විශේෂයෙන් හමුදා පසුබිමක් සහිතවූවන් ඩිමොක්‍රටික අපේක්ෂකයින් ලෙස තෝරා ගැනීම සඳහා මිලියන (ඇඩො) ගනන්වලින් දායක විය. සමාගම විසින් පෙන්ටගනයට ක්ලවුඩ් සේවාවන් සැපයීමේ ඇඩො බිලියන 10 ක කොන්ත්‍රාත්තුවක් සඳහා වත්මනේදී වෙර දරමින් සිටියි.

ඇමසන්ට එරෙහිව ඉහල බදු පනවන ලෙස මොරදෙමින් සිටි ඩිමොක්‍රටික සෙනෙට් සභික බර්නි සෑන්ඩර්ස් වහාම සමාගමට එරෙහි විවේචන අත් හලේය: “මම කෙනෙකුට නම්බුව හිමි තැනකදී නම්බුව දෙමි, ඒ අනුව බෙසොස් සහ ඇමේසන් නිවැරදි දෙය කර ඇතැ”යි ඔහු ලැදිකමින් යුත් ප්‍රකාශනයක පැවසීය.

ජෙෆ් බෙසොස් තමාම සෑන්ඩර්ස්ට ට්වීට් පනිවිඩයකින් ස්තුති කලේය. “අපි මේ ගැන උද්දාමයට පත් වූයෙමු”යැයි බෙසොස් ලිවීය. වොක්ස් පැවසුවේ සෑන්ඩර්ස් සහ බෙසොස් “අරුම පුදුම අන්‍යෝන්‍ය ලෙස වර්නනා කරගන්නා සමාජයකට” එකතු වී ඇති බවයි.

ඇමසන්ට එරෙහිව සෑන්ඩර්ස්ගේ ගැටුමේ කර්තව්‍යය මුල සිටම මහත් ප්‍රෝඩාවකි. ප්‍රථමව තමන්ව ඇමසන්ට එරෙහිව විවේචකයකු ලෙස මවාපාමින් සිටි සෑන්ඩර්ස් දේශපාලන උත්තේජකයකු ලෙස සේවය කරමින් සමාජ විරෝධය තමා වෙතට දිනා ගති. මෙම විරෝධය දේශපාලන සංස්ථාපිතයේ රාමුව තුල හසුරුවනු ලබමින් හා වාෂ්ප කරනු ලබමින්, එය මගින් සංගත ලාභවලට බල නොපෑමටත් වර්ධනය වන කොටස් වෙලඳපොල පීලි නොපැන්වීමටත් වගබලා ගැනිනි.

බෙසොස්, සෑන්ඩර්ස්ගේ සිනහව සහ සමස්ථ දේශපාලන සංස්ථාපිතයේ ප්‍රශංසාවම ලාබෙට මිලට ගත්තේය. කෙටි කලකට ඔහුට වැයවනු ඇති සොච්චම් ඩොලර් බිලියන 1 සිට 2 ක (වැටුප්) වැඩි කිරීම, දල වශයෙන් සමාන වන්නේ සෑම සතියකම ඔහු නිවසට ගෙන එන මුදලටය. එජය සහ එක්සත් රාජධානියට පිටස්තර කම්කරුවන්ට වැටුප් වැඩි නොවනු ඇත. බ්ලූම්බර්ග් බිස්නස් පැවසුවේ වියදම ඇමසන්හි වෙලඳපොල පිරිවැටුමෙන් සියයට 0.001 නිරූපනය කරන බවයි.

වැඩිවූ වියදමෙයි වැඩි කොටස ගෙවනු ලබන ඇස්තමේන්තුගත ඇඩො මිලියන 789 ඇමේසන් වෙතට මෙම වසරේ බදු කපා හැරීම මගින් හිමි විය. ඇමසන් 2017 දී ඇඩො 0 ක බදු ගෙවීය.

මීට අමතරව, ඇමසන් කම්කරුවෝ ලෝක සමාජවාදී වෙබ් අඩවියට වාර්තා කලේ වේරියබල් කොම්පෙන්සේෂන් පලෑන් සහ මයි රිවෝඞ් බෝනස් වැඩපිලිවෙල මෙන්ම රෙස්ට්‍රික්ඩ් ස්ටොක් යුනිට් සැලසුම අහිමි වීමක් බලාපොරොත්තු විය යුතු බව සමාගම තමන්ට පැවසූ බවයි. වැඩිවීමක් ලෙස වාර්තා වන දෙය ඇත්තෙන්ම වැටුප් කප්පාදුවකට මග පාදනු ඇත.

සමාජ සේවාවන් මත කම්කරුවන්ගේ විශ්වාසය හීනවීම මගින් මෙම යෝජනාව ආන්ඩුවට මුදල් ඉතිරි කරන නිසා රිපබ්ලිකානුවෝ සහ ඩිමොක්‍රටිකයෝ සැනසෙති. මෙයයි බර්නි සෑන්ඩර්ස්ගේ “බෙසොස් පනත නවතනු” හි පැහැදිලි අරමුන වූයේ. සමාගමේ සේවකයින් විසින් භාවිතා කෙරෙන පොදු සේවාවන්හි වියදම් සඳහා ඇමසන් වෙත මෙම පනත විසින් බදු පනවන්නට ඉඩ තිබින

එහෙත් අධ්‍යයනයන් පෙන්නුම් කරන්නේ පැයකට ඇඩො 10 - 13 සිට ඇඩො 15 දක්වා වැටුප වැඩිවූ විට, කම්කරුවන්ගේ මෙම වැඩිවූ ආදායම සමාජ වැඩපිලිවෙලවල් ලබා ගැනීම සඳහා බාධාවක් වන බවයි.

දරිද්රතාවයේ ඇති දරුවන් සඳහා ජාතික මධ්‍යස්ථානයේ කර්ටිස් ස්කිනර් තක්සේරු කලේ පැයකට ඇඩො 15 දක්වා (වැටුප) වැඩිවීම නිසා වසරකට මවකුට හෝ පියකුට ඇඩො 10,000 ක් ඉක්මවා වියදම් වන බවය. සෙන්ටර් ෆො කොමියුනිටි සොලුෂන්ස් ට අනුව, ඇඩො 11.50 සිට ඇඩො 15 දක්වා වැටුප වැඩිවූ ඔහියෝ හි කම්කරුවකුට, ආහාර මුද්දර, නිවාස සහනාධාර සහ මෙඩිකේඩ් අහිමි වීම නිසා සෑම මසකම ඇඩො 29 ක් අඩුවෙන් ආදායම ලබයි. මෙයයි ඇමරිකානු ධනවාදයේ අමනත්වය.

සියල්ලටමත් වඩා ඇමේසන්හි ක්‍රියාවන් සෑන්ඩර්ස්ගේත් සහ ඩිමොක්‍රටික් පක්ෂය තුල සහ වටේ සැරිසරන බොහෝමයක් ව්‍යාජ වාම සංවිධාන සහ වෘත්තීය සමිතිවලත් කර්තව්‍යයේ දේශපාලන හෙලිදරව්වක් වෙයි. බෙසොස් තම කේන්ද්‍රීය ආර්ථික ඉල්ලීම වටහාගෙන ඇත, “ඇඩො 15 සඳහා සටන් කරනු”. ඇමේසන් කම්කරුවන්ගේ දරිද්‍ර මට්ටමේ තත්වයන් අතුගා දැමීමට කිසිවක් සිදු නොකරන, ගනන් බලා සකසනු ලැබූ ව්‍යාපාරික මූලෝපායක කොටසක් ලෙස, ලොව ධනවත්ම මිනිසා විසින් මෙවැන්නක් (ඇඩො 15 ක් දක්වා වැටුප් වැඩි කිරීම) කරනු ලැබ ඇත්තේ යයි යන කාරනාව පවසන්නේ, මෙම පැවසෙන ප්‍රධාන ප්‍රතිසංස්කරනයෙහි සැබෑ හරය ගැන කිව යුතු සියල්ලම එතුල කියවී ඇති බවයි.

කම්කරුවෝ තමන්ම කඹ ඇදිල්ලක සිරවී සිටිති. එක් පසෙකින්, බෙසොස්, සෑන්ඩර්ස් සහ සමස්ථ දේශපාලන සහ මාධ්‍යය සංස්ථාපිතයම ඔවුන් (කම්කරුවන්) ආපස්සට හැරවීම සඳහා මංමුලා ලෙස පොරබදමින්ද, ඔවුන්ගේ වෛරය හසුරවමින් පන්ති අරගලයේ පිපිරීමක් වලක්වාලීමේත් නිරතවී සිටිති. මූල්‍ය ප්‍රභූව බියවී ඇත්තේ සියලුම කර්මාන්ත පුරා පැතිරී යනු ඇති දැවැන්ත වැටුප් වැඩිවීම් සඳහා ඉල්ලීම් මහා වැඩ වර්ජනයක දිශාවට වර්ධනය වනු ඇත්ද යන්නය.

අනෙක් පසෙන්, ඇමසන් කම්කරුවෝ, දිනපතා තමන් මුහුන දෙන ඇදහිය නොහැකි මට්ටමේ සූරාකෑමත් සහ අසමානතාවයත් මගින් ඉදිරියට ධාවනය කෙරෙමින් සිටියි.

තමන් පසුපසට අදින බලවේගවලින් බිඳීම සඳහා කම්කරුවන්ට ස්වාධීන සංවිධානයක් සහ දේශපාලන වැඩපිලිවෙලක් අවශ්‍ය කෙරෙයි.

ඇමසන් සහ විවිධ කර්මාන්තවල බොහෝ කම්කරුවෝ වැඩපොල කොමිටි ගොඩනැගීම සඳහා සමාජවාදී සමානතා පක්ෂයේ කැඳවුමට ප්‍රතිචාර දනවමින් සිටිති. සමාගම්වලින්ද, ධනපති පක්ෂවලින්ද සහ වෘත්තීය සමිතිවලින්ද ස්වාධීන විය යුතු මෙම නව සංවිධාන කම්කරුවෝ තමන් විසින්ම ප්‍රජාතන්ත්‍රවාදීව ක්‍රියාත්මක කල යුතුය. මේවාහි අරමුන වන්නේ එකිනෙකා සමග ඒකාබද්ධ වෙමින්, සමාජ සමානතාවය සඳහා අරගලයේදී ඒකාබද්ධ කම්කරු පන්තියේ දැවැන්ත සමාජ බලය මුදාහැරීමයි.

තම සමස්ථ සෞභාග්‍යය කම්කරු පන්තිය අඛන්ඩව රුදුරු සූරාකෑමට ලක් කිරීම මත පදනම් කර ඇති බෙසොස් වැනි බිලියනපතියන්ගේ පැවසෙන ත්‍යාගවන්තකම මගින් කම්කරුවන්ගේ අවශ්‍යයතාවයන් ඉටු නොවනු ඇත. කම්කරු පන්තියේ අයිතීන් දිනාගනු ඇත්තේ සංවිධිත පන්ති අරගලය තුලින් පමනි. අවශ්‍ය වන්නේ ලාභය සඳහා වන ධනපති ක්‍රමය අහෝසි කිරීමේ අරගලයත් එය සමාජවාදයෙන් විස්ථාපනය කිරීමත්ය. මෙය තුඩු දෙන්නේ සංගත ප්‍රභූවේ සම්පත් අස්වාමික කිරීමටත් සහ මහජනතාවගේ අවශ්‍යතාවන් ඉටුකර ගැනීමට කම්කරුවන්ගේ පාලනය යටතේ සමාජ ආයතන බවට ඇමසන් වැනි සමාගම් පරිවර්තනය කිරීමටත්ය.

එරික් ලන්ඩන්

Share this article: