ඉස්තන්බුල්හි ඝාතනය

Murder in Istanbul

2018 ඔක්තෝබර 11

කවුරුත් හොඳින් දන්නා සව්දි ජාතික මාධ්‍යවේදී ජමාල් ඛෂොගි තුර්කියේ ඉස්තන්බුල්හි සවුදි කොන්සියුලේට් කාර්යාලයට ඇතුලුවූවායින් පසුව ඔකතෝබර් 2 දා අතුරුදහන් වීම පිලිබඳව තොරතුරු වඩවඩාත් මතුවෙමින් තිබියදී, බරපතල ලෙස ලොව පරිමාන ඇඟවුම් සහිත බියකරු අපරාධයක් කරනු ලැබ ඇති බව පැහැදිලි වෙමින් පවතී.

සාමාජිකයින් 15 කින් සමන්විත සවුදි ඝාතක කනඩායමක් - ඛෂොගි අතුරුදහන් වූ දිනයේම - අතාතුර්ක් ගුවන්තොටුපලට පැමිනීම ලේඛනගත කෙරුනු ඡායාරූප සහ වීඩියෝ දර්ශන තුර්කි මාධ්‍යය විසින් ප්‍රසිද්ධියට පත්කර ඇත. එයට ගුවන් හමුදා නිලධාරීන් දෙදෙනෙකුද, ඔත්තුසේවා ක්‍රියාධරයින්ද සහ සවුදි රාජාන්ඩුවේ ප්‍රභූ පුද්ගලික ආරක්ෂක බලකායේ සාමාජිකයින්ද ඇතුලත් විය. ඔවුන් අතර, තුර්කි බලධරයින්ට අනුව, ඇටකටු කපන කියතක්ද අතැතිව වෝහාරික විශේෂඥයකුද සිටි බව වාර්තා විය.

තුර්කි මාධ්‍ය වාර්තා දැක්වූයේ ඛෂොගි තුර්කි කාන්තාවක් සමග විවාහ වීමේ තම සැලසුමේ ලිපිලේඛන ලබා ගැනීමට සතියකට පෙරාතුව කොන්සියුලේට් කාර්යාලයට පැමින ඇති බවයි. එහිදී ඔහුට පවසනු ලැබ ඇත්තේ ඔක්තෝබර් 2 දා පස්වරු 1 ට නැවත පැමිනෙන ලෙසටයි. රාජ්‍ය ඝාතකයින් 15 දෙනා පැමිනි විට කාර්යාල සේවකයින්ට අපරභාගයේ වැඩ නිමා කොට යන ලෙස උපදෙස් දෙන ලදී. තමන්ගේ නම් හෙලිදරවු නොකල තුර්කි ආරක්ෂක නිලධාරීන් විසින් පැවසූ පරිදි, ඛෂොගි කොන්සියුලේට් කාර්යාලයෙන් ඇදගෙන ගොස්, ඝාතනය කරනු ලැබ අනතුරුව ඔහුගේ ශරීරය කියතකින් කොටස් කරනු ලැබ ඇති බවයි.

ගොදුරුවූ පුද්ගලයාගේ අනන්‍යයතාවය නිසා මෙන්ම, මෙම අපරාධයෙහි නින්දිතභාවය සහ කෲරත්වය හේතුවෙන්, මෙය ලොව පුරා අවධානය දිනාගෙන ඇත. රාජධානියේ සමහර වඩාත්ම ප්‍රබල නිලධාරීන් සහ බිලියනපතියන් සමග සමීප සබඳතා පැවති ඛෂොගිගේ මාධ්‍යවේදී වෘත්තීමය ජීවිතය සවුදි පාලක කව සමග බැඳී තිබින. සවුදි බුද්ධිඅංශ ප්‍රධානී සහ එජයේ හිටපු තානාපති තුර්කි බින් ෆයිසාල්ගේ දීර්ඝ කාලීන ආධාරකරුවකු ලෙස සේවය කල ඔහු රාජාන්ඩුව සහ බටහිර මාධ්‍යයන්ද සහ නිලධාරීන්ද අතර සංවාදකයකු ලෙස ප්‍රකටය.

බටහිර මාධ්‍යයන් විසින් ශ්‍රේෂ්ඨ “ප්‍රතිසංස්කරනවාදියකු” ලෙස ඔජවඩවනු ලැබූද සහ ට්‍රම්ප් පරිපාලනය මෙන්ම ඇමරිකානු මූල්‍යය ප්‍රභූව විසින් සංග්‍රහයට පාත්‍ර කරනු ලැබූ රාජාන්ඩුවේ තත්වාකාර පාලක ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මන් (එම්බීඑස්) විසින් 2017 සැත්තැම්බරයේදී රාජකීය පවුලේ සාමාජිකයින්ටද, ප්‍රමුඛ පෙලේ ව්‍යාපාරකයින්ටද සමහර මාධ්‍යවේදීන්ටද එරෙහි රුදුරු කඩාපැනීමක් දියත් කලේය. මෙම ඒකාධිපති පියවරයන් බටහිර මාධ්‍යයන් විසින් පුලුල් ලෙස නොතකා හරින ලදී, නැත්නම් මේවාට සහය දෙන ලදී. නිව්යෝර්ක් ටයිම්ස්හි විදේශ කටයුතු පිලිබඳ ශුද්ධවන්ත තීරුලිපිකරුවකුද වන, රියාද්හි රාජකීය මාලිගාවේ කෑමෙන් බීමෙන් සන්තර්පනය කෙරුනු තෝමස් ෆ්‍රීඞ්මන්, එම මොහොතේ “මෙහිදී දින තුනකට වැඩි කාලයක් තුල මා කථා කල එකුදු සව්දි පුද්ගලයකුවත් මෙම දූෂන විරෝධී මෙහෙයුම කෙරෙහි සහය පල කලා මිස අන්දෙයක් නොකීවේ යැයි ලීවේය.

සිරභාරයට පත්වීමෙන් මග හැරීමට තමන් විසින්ම පනවාගත් පිටුවහල් වීමක් මගින් එජට පැමිනි ඛෂොගිට වොෂින්ටන් පෝස්ට්හි තීරු ලිපියක් සඳහා අවසර ලැබුනු අතර ඔහු එජ පුරවැසියකු බවට පත්වීමේ ක්‍රියාවලිය ආරම්භ කලේය. රාජකීය පවුල තුලම ඇති භේදයන් පිලිබිඹු කිරීමේ ස්ථාවරයෙන් ඔහු තීරු ලිපිය මොහොමඞ් බින් සල්මන් විවේචනය කිරීමට භාවිතා කලේය. ඉතාමත් මෑතදී, ඔහු එම්බීඑස් විසින් ආරම්භ කරන ලද මැදිහත් වීමක් වන යෙමනයට එරෙහි සව්දි ආන්ඩුව විසින් සිදු කරගෙන යන යුද්ධය හෙලා දකිමින් ලිවීය.

ඔහුගේ ප්‍රසිද්ධිය කෙසේවෙතත්, ඛෂොගිගේ අතුරුදහන්වීම කෙරෙහි යම්ලෙස අවධානය කැඳවීමට ඉතාමත්ම අදිමදි කරඇති ට්‍රම්ප් පරිපාලනය කුමන හෝ ප්‍රකාශයක් නිකුත් කිරීමට සතියක් බලා සිටියේය. ට්‍රම්ප් අඟහරුවාදා ධවල මන්දිරයේ වාර්තාකරුවන්ට මාධ්‍යවේදියාගේ ඉරනම ගැන පැවසුවේ තමන් දන්නේ “අනෙක් අය දන්නා දෙයමයි-කිසිවක් නැත” යනුවෙනි. මේ අතරතුර, රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සව්දි රාජාන්ඩුවට තමන්ගේම අපරාධ ගැන “ගැඹුරු පරීක්ෂනයක්” සඳහා සහය දෙන ලෙස කැඳවුම් කරමින් ප්‍රකාශයක් නිකුත් කලේය.

කෙසේවෙතත්, පැහැදිලි වන්නේ ඛෂොගි තුරන් කිරීම පිලිබඳ සව්දි සැලසුම් එජ ආන්ඩුවට මනාව දැනුවත් කරන ලද බවයි. මක්නිසාදයත්, ඔහු අතුරුදහන් වීමට පෙරාතුව, මාධ්‍යවේදියා පැහැර ගැනීම පිලිබඳ සැලසුමක් හෙලිදරව් කරන සව්දි නිලධාරීන් අතර පැවැති සන්නිවේදනයක් එජ ඔත්තුසේවා විසින් රහසේ ලබාගත් බව වොෂින්ටන් පෝස්ට් විසින් වාර්තා කිරීම හේතුවෙනි.

සිද්ධීන් කෙසේ සිදුවූවද, සව්දි අරාබියේ දුෂ්ට රාජාන්ඩුව මැදපෙරදිග පුරා අධිරාජ්‍යවාදී ආධිපත්‍යයේද සහ දේශපාලන ප්‍රතිගාමීත්වයේද කඩ ඇනය වී ඇත. 2017 දී පමනක් 150 ක් කඩුවට බිලි කරමින් දේශපාලන විරුද්ධවාදීන් සහ අවිහිංසාවාදී වරදකරුවන්ගේ ගෙල සිඳ නිරන්තර ඝාතනය කරන අතරතුර රිපබ්ලිකානු සහ ඩිමොක්‍රටික් පරිපාලනයන් යන දෙකෙහිම යටතේ රාජාන්ඩුව සමග පැවැති සබඳතාවන් දෘඩතරව පැවතී ඇත.

ඛෂොගිගේ අතුරුදහන්වීමට පෙරාතුව, තක්සේරුවලට අනුව සව්දි මාධ්‍යවේදීන් 30ක් ඒ වනවිටත් සිරගත කරනුලැබ නැතහොත් අතුරුදහන් කරනුලැබ තිබිනි. රාජාධානියට ඩොලර් බිලියන ගනන් වටිනා ආයුධ අලෙවි කරමින්ද, තෙල් සම්පත්වලින් ලාභ ගරමින්ද සිටින ඇමරිකාව හෝ බටහිර බලයන්, මීට එරෙහිව කිසිදු විරෝධයක් නොපැවේය.

යේමන මහජනතාවට එරෙහි ආසන්න ජන ඝාතක යුද්ධය දිගටම කරගෙන යාමට සහ එය ව්‍යාප්ත කිරීමට එජය ආධාර කරන අතර, සව්දි අරාබිය සහ ඊස්රායලය මත පදනම්ව ඉරාන විරෝධී කඳවුරක් ගොඩනැගූ ට්‍රම්ප් පරිපාලනය යටතේ එජය සහ සව්දිය අතර සබඳතාවය වඩවඩාත් වැඩිදියුනු වූවා පමනි.

මෙම සබඳතාවය (ඛෂොගිගේ අතුරුදහන්වීමට වොෂින්ටනයේ නිලධාරීන්ගේ ප්‍රතික්‍රියාව මගින් නැවත වතාවක් අවධාරනය කෙරින) ඇමරිකානු අධිරාජ්‍යවාදයේ “මානව අයිතීන්වල” මවාපෑම්වල නොඅඩු නරුමත්වයත් කුහකත්වයත් හෙලිදරව් කරන අතර එජ ආන්ඩුව තමන්ගේ මූලෝපායික ප්‍රතිමල්ලවයන් ලෙස දකින නැතහොත් තමන් විසින් රුසියාවේ සහ චීනයේ සිට ඉරානය, සිරියාව සහ වෙනිසියුලා දක්වා පෙරලා දැමීමට කුරුමානන් අල්ලන ආන්ඩු විසින් සිදු කරනවායයි කියාපාන අපරාධ පිලිබඳව බොරු කෝපයද හෙලිදරව් කරයි.

ඛෂොගිගේ සිද්ධියෙහි පුලුල් ජාත්‍යන්තර වැදගත්කමක් ඇත. එය සාහසික අපරාධ වඩ වඩාත් සාමාන්‍ය සහ පිලිගනු ලබන බවට පත්වෙමින් පවතින ලෝක දේශපාලනයේ අශුභ මාරුව පිලිබඳ සංකේතයකි. මෙය සිහියට නංවන්නේ ෆැසිස්ට්වාදී සහ ස්ටැලින්වාදී ඝාතක නඩ විසින් යුරෝපය පුරා සමාජවාදීන් සහ හිට්ලර්ගේත් ස්ටැලින්ගේත් විරුද්ධවාදීන් හඹායමින් ඝාතනය කල 1930 දශකයේ අඳුරු දිනවල පැවැතී තත්වයයි.

මාධ්‍යවේදීන්ට ලෝක දේශපාලනයේ මෙම වෙනස්වීමේ ආනිශංසවලට මුහුනපෑමට සිදුවී ඇත. මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීමේ කමිටුව (Committee to Protect Journalists) වාර්තා කලේ 2017 ට වඩා සියයට 50 ක වර්ධනයක් ලෙස මෙම වසරේ 48 කු ඝාතනවලට ගොදුරු වූ අතර ලොව පරිමාන තවත් 60 කු “අතුරුදහන්වී ඇත” යනුවෙනි.

රාජ්‍ය ප්‍රතිපත්තියේ කේන්ද්‍රීය මෙවලමක් ලෙස ඊස්රායලය විසින් යොදාගැනුනු තෝරා බේරා කෙරුනු ඝාතන වොෂින්ටනය විසින් තම ඊනියා “ත්‍රස්තවාදයට එරෙහි ගෝලීය යුද්ධය” තුලදී මහා පරිමානයකින් යොදා ගැනින. ඝාතන, වදදීම් හා “අසාමාන්‍ය පිටුවහල් කිරීම්” බුෂ් පරිපාලනය යටතේ ආරම්භ වූ අතර ඒ පිලිබඳව කිසිවකු දඬුවමට ලක් නොවීය. (“අඳුරු කලාප” වද දෙන්නෙකු සීඅයිඒ අධ්‍යක්ෂක තනතුරට ඔසවා තැබීම ඒ වෙනුවට සිදුවිය) ඔබාමාගේ ධවල මන්දිරය විසින් සංවිධානය කරන ලද ඊනියා “ත්‍රස්ත අඟහරුවාදා” දිනවලදී ජනාධිපති සහ ඔහුගේ ආධාරකරුවන්ට ඉදිරිපත් කෙරුනු ලිපිගොනු සහ ඡායාරූපවලින් ඝාතන සඳහා ඉලක්කයන් තෝරා ගැනීම මගින් එය ඔබාමා යටතේ සංස්ථාපිත කෙරිනි.

මිලියන ගනනකගේ ජීවිත විනාශ කරමින්ද, “ත්‍රස්තවාදීන්” යයි හඳුන්වමින් නිරන්තරව ඝාතනයට ලක් කරමින්ද සහ ඇමරිකානු අවශ්‍යතාවන්වලට බාධාකාරීවන ජාත්‍යයන්තර නීති සමස්ථයක් ලෙස පිලිගතනොහැකි යැයි ප්‍රතික්ෂේප කරමින්ද සිදු කෙරෙන එජ යුද ප්‍රකෝපකරනයන් විසින් ඛෂොගිට සිදුකරන ලද අපරාධ වැන්නක් විය හැකිවා පමනක් නොව අනිවාර්යද වන දුගඳ හමන ලෝක දේශපාලන පරිසරයක් නිර්මානය කරනු ලැබ ඇත.

ලෝක ධනවාදී ක්‍රමයේ අර්බූදය තුල මුල්බැස ඇති උත්සන්න වෙමින් ඇති සමාජ ආතතීන් සහ තියුනුවෙමින් පවතින පන්ති අරගලය හමුවේ, එජයේ ට්‍රම්ප්ගේ නැගීමේ සිට යුරෝපයේ අන්ත දක්ශිනාංෂික බලවේගවල ශක්තිය වැඩිදියුනුවීම දක්වාත්, බ්‍රසීලයේ ෆැසිස්ට් ගැති හිටපු හමුදා කපිතාන්වරයකු මැතිවරනයෙන් ආසන්න ලෙස තෝරා පත්කරනු ලැබීම දක්වාත් ධනේශ්වර දේශපාලනය දකුනටත් සහ ආඥාදායකත්වය දිශාවටත් තියුනු හැරීමක් ගෙන ඇත. මෙම කොන්දේසි යටතේ, පවතින ආන්ඩුවලට හෝ සමාජ පර්යායට එරෙහිවන්නන් සමග ගනුදෙනු බේරා ගැනීමේ මාධ්‍යයක් ලෙස ඝාතනයේත් අතුරුදහන් කිරීමේත් ක්‍රමවේදයන් කෙදිනකටත් වඩා ප්‍රචලිත වනුඇත.

තමන්ට පැවැති ඉහල මට්ටමේ සබඳතාවන් මගින් තමන්ට පැහැදිලිවම ආරක්ෂා වීමට නොහැකිවූ ජමාල් ඛෂොගිගේ ඉරනම බැරෑරුම් අනතුරක් ලෙස ගත යුතුය. සැබවින් ම ඕනෑම රටක ජනතාව රජයේ අත්වල තම ඉරනම රඳවන්නන්ට, තමන්ට කිසිවක් සිදු නොවේ යයි විශ්වාසවන්තව බලාපොරොත්තු විය නොහැක.

මෙම තර්ජනයට සහ, ෆැසිස්ට්වාදයට සහ ලෝක යුද්ධයට ලෝකය ඇද වැටීම සඳහා ඇති එකම පිලිතුර සමාජ අසමානතාවයට, ඒකාධිපතිවාදයට සහ යුද්ධයට එරෙහිව ජාත්‍යන්තර කම්කරු පන්ති අරගලය සඳහා එක්සත් කිරීමට මහජන විප්ලවවාදි සමාජවාදි ව්‍යාපාරයක් ගොඩ නැගීම මත රඳා පවතී.

බිල් වෑන් ඕකන්

Share this article: