වාර්ගික වැඩි සැලකිල්ල පිලිබඳ හාවඞ් නඩුව සහ සහනදායී ක්‍රියාමාර්ගයේ ප්‍රජාතන්ත්‍ර-විරෝධී ස්වභාවය

The Harvard case on racial preferences and the antidemocratic character of affirmative action

2018 ඔක්තෝබර 19

බොස්ටන්හි මැසචුසෙට්ස් එක්සත් ජනපද මධ්‍යම දිස්ත්‍රික් උසාවියේ දී ඔක්තෝබර් 15දා හාවඞ් සංස්ථාවට එරෙහි ව සාධාරන ඇතුලත් කරගැනීම් සඳහා ශිෂ්‍යයන් යන නඩුව ඇසීම ඇරඹුනි. සති තුනක් තිස්සේ ඇදී යතැයි තක්සේරු කරන මෙම නඩුව, එක්සත් ජනපදයේ ශ්‍රේෂ්ඨාධිකරනයට යොමු වෙතැයි අපේක්ෂිත අතර, එම උසාවිය විද්‍යාලවලට ඇතුලත් කරගැනීම්වල දී කෙරෙන වාර්ගික වැඩි සැලකිලි තහනම් කිරීමට මෙම අවස්ථාව යොදාගනු ඇත.

මාධ්‍ය අවධානයක් මධ්‍යයේ පැවැත්වෙන මෙම නඩුව, නීතිය යටතේ සැම දෙනා සමාන ව ආරක්ෂිත ය යන මූලධර්මයේ ආරක්ෂකයන් ලෙස දේශපාලන දක්ෂිනාංශයට පෙනී සිටීමට ඉඩ දෙන අතර සමාජයේ පන්ති බෙදීම් සැඟවීමට උත්සාහ කරන පිලිවෙතක් වන සහනදායී ක්‍රියාමාර්ගයේ ප්‍රතිගාමී හා ප්‍රජාතන්ත්‍ර-විරෝධී ස්වභාවය අවධාරනය කරයි. හාවඩ් හා අනෙකුත් ප්‍රමුඛ පෙලේ ඇමරිකානු විශ්ව විද්‍යාලවලට ඇතුලත් කරගැනීමේ දී අවසානයේ පන්තිය මත පදනම් වන ඇතුලත් කරගැනීම් ද නඩුව විසින් අවධානයට ලක් කරයි.

හාවඩ් විශ්ව විද්‍යාලයට විරුද්ධ ව මෙම නඩුව 2014 දී ගොනු කරන ලද්දේ සාධාරන ඇතුලත් කරගැනීම් සඳහා ශිෂ්‍යයෝ (එස්එෆ්එෆ්ඒ) විසිනි. ඇමරිකානු ව්‍යවසායකත්ව ආයතනයේ සාමාජිකයෙකු වන දක්ෂිනාංශික නීති ක්‍රියාකාරික එඞ්වඩ් බ්ලම් නඩුවට මග පෙන්වයි. ඇතුලත් කරගැනීම්වල දී දක්වන වාර්ගික වැඩි සැලකිලි අරබයා ටෙක්සාස් විශ්ව විද්‍යාලයට එරෙහි ව ද මේ හා සමාන නීති ක්‍රියාමාර්ගයක් දියත් කලේ බ්ලම් ය. ශ්‍රේෂ්ඨාධිකරනය 2013 දී අසා ඡන්ද හිමිකම් පනතේ පූර්ව-නිර්බාධී ප්‍රතිපාදනයන් ඉවත දමා මැතිවරන ප්‍රදේශ මායිම් අරබයා වෙනස්කම් කිරීමේ ප්‍රමුඛත්වය දීමට රිපබ්ලිකානුවන්ට ඉඩ ලබා දුන් තීන්දුවක් කරා එලඹුනු කුප්‍රකට හෝල්ඩර්ට එරෙහි ව ෂෙල්බි ප්‍රාන්ත නඩුව ගොනු කලේ ද බ්ලම් ය.

ආසියානු පසුබිමක් සහිත සිසුන්ට එරෙහි ව හාවඩ් විශ්ව විද්‍යාලය වෙනස්කම් කරන බව (එස්එෆ්එෆ්ඒ )පැමිනිල්ල චෝදනා කරයි. පිටු 120ක පැමිනිල්ල සමග සම්පාදනය කර ඇති ලියකියවිලි, ප්‍රමුඛ පෙලේ විශ්ව විද්‍යාලයේ අසුන් වෙන්කරද්දී දශක ගනනාවක් දිවෙන වාර්ගික වෙනස්කම් කිරීම් පෙන්වා දෙයි. “සාකල්‍ය” ඇතුලත් කරගැනීමේ ක්‍රමයක් ගැන කීව ද (මධ්‍යම නීතිය වාර්ගික සලාකයන් විශද ව භාවිතා කිරීම වලක්වයි) හාවඞ් විශ්ව විද්‍යාලය කිසිදු වාර්ගිකව අපක්ෂපාතී ක්‍රමයකින් විග්‍රහ කල නො හැකි වාර්ගික සංයුක්තියක් පවත්වාගත්තේ ය. දශක කිහිපයක් පුරා සියයට 40-50ක සුදු, 17-20ක ආසියානු, 7-10ක හිස්පැනික්, 7-10ක අප්‍රිකානු ඇමරිකානු, සියයට 10ක පිටස්තර ව පදිංචි සහ සියයට 10ට අඩු ඇමරිකානු ඉන්දියානු, මිශ්‍ර හෝ වාර්ගිකත්වය නොදත් වාර්ගික සංයුතියක් එය විසින් පවත්වාගෙන ගියේ ය.

මෙම වාර්ගික තුලන ක්‍රියාව අතිශයින් දෘඪ ය. උදාහරනක් ලෙස, 1994 හා 2008 අතර අප්‍රිකානු ඇමරිකානු ඇතුලත් කිරීම් සියයට 7.8ක සාමාන්‍ය අගයක් ගත්තේ යන්තම් සියයට 0.3ක සම්මත අපගමනයක් සමගිනි. එම කාලය තුල ම හිස්පැනික් ඇතුලත් කිරීම් සියයට 7.4ක සාමාන්‍යයක් රඳවා ගත්තේ සියයට 0.4ක සම්මත අපගමනයක් සමගින් ය.

2006 හා 2014 වසරවල් අතර අප්‍රිකානු ඇමරිකානුවන්ගේ පන්තිවලට ඇතුලත් වීම් සියයට 10.2 හා 11.9 අතර පැවති අතර, හිස්පැනික්වරුන්ගේ ඇතුලත් වීම් සියයට 9.8 හා 13 අතර පැවතුනි. අප්‍රිකානු ඇමරිකානු හා හිස්පැනික් ශිෂ්‍ය සංඛ්‍යාවන් මත පවත්වාගෙන යන මෙම තුල්‍යතාව සැක රහිත විග්‍රහයක් කල නොහැක්කක් බවට පත්කරයි.

පැමිනිල්ල ප්‍රදර්ශනය කරන්නේ “පමනට වැඩියෙන් නියෝජනය වනවා” යයි කියන සුලුතරයක් ලෙස ආසියානු අයදුම්කරුවන් මෙම වාර්ගික සංයුති ක්‍රමයේ බරින් වැඩිපුර අසාධාරනයට ලක්වන බව යි. 1990 ගනන්වල සිට මේ දක්වා එක්සත් ජනපද ජනගහනයේ ආසියානුවන් ගනන දෙගුනයකට වැඩියෙන් ඉහල ගොස් තිබුන ද හාවඩ් විශ්ව විද්‍යාලයේ පන්තිවලට ඇතුලත් වන ආසියානුවන්ගේ ප්‍රතිශතය සියයට 17 ආසන්නයේ ම රැඳී සිටී. හාවඩ්හි අයදුම්කාර කන්ඩායමේ අධ්‍යයනය කිරීමට සුදුසු (එනම්, ඉහල ම සාමාර්ථයන් හා විභාග ලකුනු සහිත) ශිෂ්‍යයන්ගෙන් සියයට 40කට වඩා ආසියානු අයදුම්කරුවන්ගෙන් සමන්විත වන අතරේ ඔවුහු සාමාන්‍යයෙන් අඩු සුදුසුකම් සහිත අනෙකුත් වර්ගවල ශිෂ්‍යයන්ට වඩා සාමාර්ථය ලබති.

ආසියානු අයදුම්කරුවන්ට එරෙහි ව වෙනස්කම් කිරීම සඳහා ඇතුලත් කරගන්නා කාර්ය මන්ඩලය “පුද්ගලික ගුනාංග” හා අනෙකුත් අපැහැදිලි වර්ගීකරනයන් යොදා ගන්නා අතර, එම භාවිතාව 20වන ශතවර්ෂයේ මුල හා මැද භාගයේ දී “යුදෙව් ගැටලුවට” විසඳුම් ලෙස හාවඞ් විශ්ව විද්‍යාලය ඉදිරිපත් කල වාර්ගික පිලිතුර පිලිබිඹු කරයි. එහි දී විශ්ව විද්‍යාලයේ පරිපාලකයෝ යුදෙව්වන්ගේ “චරිතය” හා “නායකත්ව” හැකියාවන් තක්සේරු කිරීම් හරහා යුදෙව් ඇතුලත් වීම් සියයට 15කට සීමා කල හ.

මෙම අපැහැදිලි හා ව්‍යාජ මිනුම් යොදාගෙන හාවඩ් විශ්ව විද්‍යාලය ආසියානු-ඇමරිකානු අපේක්ෂකයන් ව සුදු අපේක්ෂකයන්ට වඩා අනවරත ව පහලින් තබා ගනී. අයදුම්කරුවන්ගේ ලිපිගොනු තුල ඇති සටහන්වල ආසියානුවන්ගේ හැටි ස්වාබාවය පිලිබදව “නිශ්ශබ්ද/ලජ්ජාශීලී, විද්‍යා/ගනිත ආදියට ලොල් හා අසීමිත ලෙස වැඩකරන්නන්” වැනි ලේබල හමු වේ. එක් හාවඩ් ඇගයුම්කරුවෙක් ආසියානු අයදුම්කරුවෙකු වාර්ගික භාෂිතයන්ගෙන් විග්‍රහ කලේ ය: “ඔහු නිශ්ශබ්ද තැනැත්තෙක් හා ඇත්තෙන් ම වෛද්‍යවරයෙක් වීමට උවමනා අයෙකි.”

හාවඩ් විශ්ව විද්‍යාලය ආසියානු හා කොකේසියානු අයදුම්කරුවන් සමාන ලෙස ඇගයුම් කලේනම්, එම කන්ඩායම්වල ඇතුලත් වීමේ අනුපාතයන් ක්ෂනික ව සමාන වනු ඇත. මෙය හාවඩ්හි සමස්ත වාර්ගික විවිධත්වය වැඩිකරනු ඇති වුවත්, එහි ඇතුලත් කරගැනීමේ ක්‍රියාවලිය කොකේසියානු ඇතුලත් වීම් ගනන ආසියානු-ඇමරිකානු ඇතුලත් වීම් ගනන දෙගුනයකටත් වඩා වැඩියෙන් තබා ගනී.

මේ දක්වා නඩුවේ බොහොමයක් සමන්විත වී ඇත්තේ, ධනවත් අයදුම්කරුවන්ට විශ්ව විද්‍යාලය විසින් පක්ෂපාතී ලෙස සැලකීම ආරක්ෂා කිරීමට වධ වී ඇති එහි ඇතුලත් වීම් හා මූල්‍ය ආධාර පීඨාධිපති විලියම් ෆිට්ස්සිමන්ස්ගේ සාක්ෂිවලිනි. සංවර්ධන කාර්යාලයේ සේවකයන් නිරතුරු ව හමුවීමේ ඔහුගේ භාවිතාව ප්‍රදර්ශනය කරන්නේ, ෆිට්ස්සිමන්ස් “ආයතනයේ දීර්ඝ-කාලීන ශක්තිය සඳහා වැදගත් වේ” යයි සඳහන් කල මුදල් ආධාර මත පදනම්ව ඇතුලත් කරගැනීමේ පිලිවෙත යි. මේ ආකාරයෙන් උපයාගන්නා මුදල්වලින් ප්‍රමානයක් ශිෂ්‍යත්ව සඳහා යොදාගත හැකි යයි ඔහු තවදුරටත් කීවේ ය.

හාවඩ් විශ්ව විද්‍යාලය ආසියානු අයදුම්කරුවන්ට වෙනස් ලෙස සැලකුවේ යයි සොයාගත් 2013 අභ්‍යන්තර විමර්ශනයක් පිලිබඳ ව තමන්ට අමතක යයි ෆිට්ස්සිමන්ස් කියා සිටියේ ය. ක්ෂනික ව ම විශ්ව විද්‍යාලය ශිෂ්‍ය සංඛ්‍යාවේ සංයුතිය පිලිබඳ ගනන් හිලවු පලකිරීම නතර කලේ ය. පැමිනිල්ලේ නීතිඥයාට උත්තර දෙමින් ෆිට්ස්සිමන්ස් “මා බොහෝ ලේඛන දැකගන්නවා” යයි වංක ලෙස කීවේ ය.

නෛතික ව සලකන කල හාවඞ් සරසවිය ලුහුටා යන්නේ තුනී අයිස් තට්ටුවක් මත ය. ඇතුලත් කරගැනීම්වල දී පැහැදිලි ලෙස වාර්ගික සලාක ක්‍රමය භාවිතා කිරීම තහනම් කල 1978බක්කේ තීන්දුවෙන් පසුව ශ්‍රේෂ්ඨාධිකරනය හා ප්‍රධාන විශ්ව විද්‍යාල බලලා-මීයා සෙල්ලම කරගෙන ගොස් තිබේ. ප්‍රසිද්ධ ලෙස වාර්ගික සලාක භාවිතා නො කර සුවිශේෂී වාර්ගික ශිෂ්‍ය සංයුතියක් ජනනය කරනු ඇත්තා වූ අයදුම් ක්‍රියාදාමයන් ඇතුලත් කරගැනීමේ කාර්යාල විසින් ම ආපසු හැරවී ය. 2003 ගටර් තීන්දුව වාර්ගික ව විවිධ ශිෂ්‍ය සංයුතියක “අධ්‍යාපන” ප්‍රතිලාභ අනුමත කල ද එම තීන්දුව ඇතුලත් කරගැනීම්වල දී වර්ගය භාවිතා කිරීම වැඩිදුර සීමා කලේ ය.

ඇමරිකානු ව්‍යවස්ථාදායක අධිකරන ක්‍රියාදාමය වාර්ගිකත්වය මත පදනම් වන ආන්ඩුවේ සියලු ක්‍රියාකාරකම් දැකගන්නේ සැකයෙනි. හාවඩ් වැනි මධ්‍යම අරමුදල් ලබන විශ්ව විද්‍යාලයක් විවිධත්වයෙන් යුත් ශිෂ්‍ය සංයුතියක අධ්‍යාපන ප්‍රතිලාභ වැඩි දියුනු කිරීම සඳහා ඇතුලත් කරගැනීම්වල දී වර්ගය භාවිතා කිරීම මගින් සීමා නොකෙරෙන්නේ යයි පෙන්වීමේ පීඩනයට ලක් වේ. එහෙත් එය අත් කර ගැනීම සඳහා වෙනත් ක්‍රම තිබෙන විට මෙම සීමා කිරීමේ ප්‍රතිපත්තිය අවශ්‍ය වන්නේ නැත.

සුලුතර ඇතුලත් වීම් වැඩි කිරීමටත් වාර්ගික විවිධත්වය කරා ලඟා වීමේ අධ්‍යාපනයේ අරමුන සාක්ෂාත් කරගැනීමටත් හොඳ ම ක්‍රමය ලෙස ආදි ශිෂ්‍යයන්ගේ දරුවන්ට “උරුමය” මත පක්ෂපාත වීම ඉවත් කිරීම බව අධ්‍යයනයන් මගින් පෙන්වා දෙන නිසා මෙය හාවඞ් විශ්ව විද්‍යාලයට මාරාන්තික බව තහවුරු වනු ඇත.

උරුම අපේක්ෂකයන් ව හාවඩ් විද්‍යාලයට බඳවා ගන්නා රේට්ටුව සියයට 30ක් හෝ එයට ඇතුලත් කරගන්නා අනෙක් සියලු අයදුම්කරුවන්ගේ අනුපාතය මෙන් දල වසයෙන් පස් ගුනයකි. හාවඩ් ආදි ශිෂ්‍යයන්ගේ දරුවන් වාර්ගික සුලුතරයන් වීමේ හැකියාව වඩා අඩු අතර අනෙකුත් අයදුම්කරුවන්ට වඩා ධනවත් වීමේ හැකියාව ඉහල ය.

ටෙක්සාස් ඒඇන්ඩ්එම් සරසවිය, ජෝර්ජියා සරසවිය සහ බර්ක්ලී හා කැල්ටෙක් අයත් වන සමස්ත කැලිෆෝනියා විශ්ව විද්‍යාල පද්ධතිය ඇතුලු විශ්ව විද්‍යාල කිහිපයක් ම උරුම පක්ෂපාතීත්වයන් මෙන් ම වාර්ගික පක්ෂපාතීත්වයන් යන දෙක ම අවසන් කිරීම මගින් ඒවායේ ශිෂ්‍ය සංයුතියේ වාර්ගික විවිධත්වය බොහෝ සෙයින් ඉහල දැම්මේ ය.

විවිධත්වය ඉහල දැමීමේ තවත් වර්ග-අපක්ෂපාතී ක්‍රමයක් විය හැක්කේ බොහෝ විට කොකේසියානුවන් වන ධනවත් ආධාරකරුවන්ගේ දරුවන් ඇතුලත් කරගැනීම මුල් තැන දීම තහනම් කිරීම යි. ඔවුන් බොහෝ දෙනා උරුම අපේක්ෂකයින් වීමේ හැකියාව ද ඉහල ය.

හාවඞ් නඩුවේ ප්‍රතිඵලය කුමක් වුවත් එමගින් එක්සත් ජනපදය තුල උසස් අධ්‍යාපනය, ධනය හා දේශපාලනය පිලිබඳ නිශ්චිත ව මූලික සත්‍යයන් හෙලිදරවු කරයි. වඩාත් ම ක්ෂනික ව එය පෙන්වා දෙන්නේ, හාවඞ් විශ්ව විද්‍යාලය අධ්‍යාපනයෙන් මුදල් උපයන ආයෝජන බැංකුවක් ලෙස ක්‍රියාත්මක වන බව යි. අනෙක් බොහෝ රටවල දල දේශීය නිෂ්පාදිතය ඉක්මවා යන හාවඞ් සරසවියේ ඩොලර් බිලියන 36.4ක ආධාර ප්‍රමානය සමගින් එයට වසරකට ශිෂ්‍යයන් 600,000කට වැඩි දෙනෙකුට නිදහස් අධ්‍යාපනය හා නවාතැන් පහසුකම් සම්පාදනය කල හැක. එසේ නැතහොත් ආධාර මත වාර්ෂික පිරිවැටුම සියයට හයක් යයි උපකල්පනය කල විට එයට සෑම වසරක ම ශිෂ්‍යයන් 36,000කට පූර්න ශිෂ්‍යත්ව ලබා දිය හැක. පසුව සඳහන් කල ප්‍රමානය හාවඞ්හි සමස්ත උපාධි අපේක්ෂක ඇතුලත් කරගැනීම් ගනන මෙන් ආසන්න වසයෙන් හය ගුනයක් වේ.

නඩුවේ සාක්ෂි දැනට ම දන්නා දෙය හෙලිදරවු කර තිබේ: එනම්, සෑම උත්සාහක් ම දරනු ලබන්නේ හොඳ ම හා දක්ෂ ම ශිෂ්‍යයන් ඇද ගැනීමට නො ව ධනවත් ම හා හොඳ ම සබඳතා සහිත ශිෂ්‍යයන් ආකර්ෂනය කරගැනීමට ය.

වඩා පුලුල් ලෙස නඩුව යලි වතාවක් හෙලිදරවු කරන්නේ සහනදායී ක්‍රියාමාර්ගය ධනේශ්වර පන්ති පාලනයේ යාන්ත්‍රනයක් ලෙස සේවය කරන බව යි. පරිස්සමින් නඩත්තු කරගෙන යන වාර්ගික තුලනයන් වැදගත් ආයතන තුල අඩුවෙන් නියෝජනය වන සුලුතරයන්ගේ තීරනාත්මක ශිෂ්‍ය ස්කන්ධයක් තබාගැනීමට ඉඩ ලබා දෙයි. “ව්‍යාපාර, සන්නද්ධ හමුදා, නීතිය ආදියේ දෘෂ්ටි ආස්ථානයෙන් (අ)පි හිතන්නේ, රට පුරා ප්‍රභූන් අතර විවිධත්වයක් අත්‍යසාමාන්‍ය ලෙස අවශ්‍ය බවත්, එසේ නොමැති වූ විට රට වඩා නරක අතට හැරෙන බවත් ය” යනුවෙන් 2003 ගටර් නඩුවේ වාචික විවාදයේ දී විනිශ්චය කාර ස්ටීවන් බ්‍රේයර් කීවේ ය.

ඩිමොක්‍රටික් පක්ෂය හරහා තම අවශ්‍යතා ප්‍රකාශයට පත්කරන පාලක පන්තියේ කන්ඩාම විසින් මෙතරම් දෘඪ ලෙස දරා සිටින මෙම පිලිවෙත, වඩාත් ම ප්‍රතිගාමී දේශපාලනික බලයන් විසින් පහසුවෙන් ම හසුරුවනු ලබන ප්‍රතිවිරෝධයට උඩ ගෙඩි දෙයි. බ්ලම් සම්බන්ධයෙන් ගත් විට, ඔහුගේ සංවිධානය පෙනී සිටින්නේ වවුචර් හරහා නිදහස් අධ්‍යාපනය වැඩිදුර බිඳ දැමීම වෙනුවෙනි. ඔහුගේ දේශපාලන වෘත්තීය ඇරඹුනේ, ටෙක්සාස් ප්‍රාන්තයේ ඩිමොක්‍රටික් ඡන්ද දායකයින් වීමේ හැකියාවැති අයට ඡන්දය අහිමි කරන පරිදි මැතිවරන සිතියම වෙනස් කිරීමේ උත්සාහයක් සමගිනි. රිපබ්ලිකන් පක්ෂයේ ඔහුගේ සහචරයන් චීනය සමග වන යුද්ධයක දී දෙවරක් නො සිතා ම ඉතා කැමැත්තෙන් ආසියානු ශිෂ්‍යයන් ව රැඳවුම් කඳවුරුවලට යවනු ඇත. මේ අරගලය තුල ප්‍රගතිශීලී කන්ඩායමක් නැත.

ප්‍රගතිශීලී හා සමාජවාදී අධ්‍යාපන ප්‍රතිපත්තියක පදනම වන්නේ වාර්ගික විවිධත්වය මත පදනම් වන තෝරාගත් ඇතුලත් කිරීම් වෙනුවට විවෘත බඳවාගැනීම් මත යි. අධ්‍යාපනය තෝරාගත් හා වරප්‍රසාදිත සුලුතරයක් සඳහා වන දුලභ “අවස්ථාවක්” වනු වෙනුවට සමාජ අයිතියක් විය යුතු ය. දැනුම පිලිබඳ අඩුවක් හෝ එය බෙදාහදාගෙන වැඩි දියුනු කල හැකි ගුරුවරුන්ගේ හෝ කාර්ය මන්ඩලවල අඩුවක් නැත. උසස් අධ්‍යාපනයට ඇති පුලුල් ම ප්‍රවිෂ්ටය, දිගුකාලීන සමාජවාදී සටන් පාඨය වන තනි තනි පුද්ගලයාගේ නිදහස් වර්ධනය සියලු දෙනාගේ නිදහස් වර්ධනයට කොන්දේසිය ය යන්න යථාවත් කරගැනීමේ මාවත වනු ඇත.

අධ්‍යාපනයේ පලල් තනි තනි හා සමාජීය ප්‍රතිලාභ එක් බාධාවකට මුහුන දෙයි: එනම්, මූල්‍ය වංශාධිපතිත්වය විසින් සියලු සමාජීය සම්පත් ඒකාධිකාරයකට යටත් කිරීමයි.

එඩ්. හයිටවර්

Share this article: