උත්සන්න කරමින් පවතින තර්ජන හමුවේ කම්කරු පන්තිය ජූලියන් අසාන්ජ් ආරක්ෂා කල යුතුයි

In the face of mounting threats, the working class must defend Julian Assange

2018 ඔක්තෝබර් 25

ඉරාකය සහ ඇෆ්ගනිස්ථානයට එරෙහි යුද අපරාධ සහ එජ බලධාරීන් සහ ලොව පුරා තානාපති කාර්යාල විසින් සිදුකරන කුමන්ත්‍රන එලිදරව් කරන රහසිගත ලිය කියවිලි ප්‍රසිද්ධ කිරීමට එඩිතරවීම නිසා වොෂින්ටනයේ ලුහු බැඳීමට ගොදුරුවී ඇති විකිලීක්ස් නිර්මාතෘ ජූලියන් අසාන්ජ් ආරක්ෂා කිරීමේ සටන දැන් තීරනාත්මක අවධියක පවතී. ලොවපුරා වෙසෙන කම්කරුවන්ගේ සහ තරුනයින්ගේ පැත්තෙන් සටන්කාමී සහ ක්‍රියාශීලී සහයෝගීතාවයේ බලමුලුගැන්වීම අතිශය වැදගත්කමක් දරයි.

අසාන්ජ් බ්‍රිතාන්‍ය බලධාරීන්ට භාර දීමේත්, පසුව ජීවිතාන්තය දක්වා සිරගත වීම නැතහොත් මරන දන්ඬනය මගින් පවා දඬුවම් ලැබිය හැකි ඔත්තු බැලීම පිලිබඳ ගොතන ලද චෝදනාවලට මුහුන දීම සඳහා එක්සත් ජනපදයට අවසානයේදී පිටුවහල් කරනු ලැබීමේත්, උත්සන්න වෙමින් පවතින තර්ජනයට මුහුන දෙමින් සිටියි.

එජ බ්‍රිතාන්‍ය සහ ස්වීඩන ආන්ඩුවල කුමන්ත්‍රනයෙන් බේරීමට 2012 දී සරනාගත තත්වය ලබමින් ලන්ඩනයේ ඉක්වදෝර තානාපති කාර්යාලයේ සිරකරුවකු මෙන් ඔහු පසුගිය වසර හය පුරා කාලය ගත කලේය. එජට පිටුවහල් කිරීම සඳහා ගොතන ලද ලිංගික අපචාර චෝදනා මත ඔහු අත්අඩංගුවට ගැනීමට ස්වීඩන ආන්ඩුව වෑයම් කලේය. ස්වීඩනය අසාන්ජ්ට එරෙහි තම පදනම් විරහිත චෝදනා අත්හැර ඇති අතර, ඔහු එජ ආන්ඩුවේ දඬු අඬුවෙන් බේරීම සඳහා තානාපති කාර්යාලයට ඇතුලු වීම මගින් තම ඇප කොන්දේසි උල්ලංඝනය කිරීම නිසා ඔහු අත්අඩංගුවට ගැනීමට බ්‍රිතාන්‍ය ආන්ඩුව තවමත් මං සොයමින් සිටියි.

ඔහු එනතෙක් මානබලා සිටින බ්‍රිතාන්‍යය දේශපාලන පොලීසියේ අත්අඩංගුවට පත් වන පරිදි ඔහු ලන්ඩන් තානාපති කාර්යාලයෙන් නෙරපීමට මං සොයමින් සිටින බවට හා අසාන්ජ්ගේ ආරක්ෂාව ඉවත් කරමින් සිටින බවට ඉක්වදෝර් ආන්ඩුව කෙදිනකටවත් වඩා අද විවෘතව සංඥා කරමින් සිටියි. මෙම ආස්ථානය රොයිටර් පුවත් සේවයට ඉක්වදෝර් විදේශ ඇමති ජොසේ වැලෙන්සියා විසින් අඟහරුවාදා දුන් සම්මුඛ සාඛච්ඡාවකදී සඳහන් කෙරින.

“කුමන හෝ වැඩිදුර පියවරයන් ගැනීමේ වගකීමක් ඉක්වදෝරයට නැත” යනුවෙන් වැලෙන්සියා පැවසීය. “අප අසාන්ජ් මහතාගේ නීතිඥයින්ද, බ්‍රිතාන්‍ය ආන්ඩුවේ නියෝජිතයින්ද නොවෙමු. මෙම කාරනාව අසාන්ජ් සහ මහා බ්‍රිතාන්‍යය අතර විසඳා ගත යුත්තකි.”

වැලෙන්සියා තව දුරටත් පැවසුවේ ඔහුට (අසාන්ජ්ට) එරෙහිව පනවා ඇති සරනාගත කොන්දේසිවලට අභියෝග කරමින් අසාන්ජ් වෙනුවෙන් ඉක්වදෝර් උසාවියක ගොනුකර ඇති නඩුව කෙරෙහි තම ආන්ඩුව “කලකිරී” සිටින බවයි. “අසාන්ජ් මහතාගේ රෙදිපිලි ඇපුල්ලුම් වැනි දේවල් සඳහා වැය කිරීමට ඉක්වදෝරය ජාත්‍යන්තර ගිවිසුම්වලින් බැඳී නොමැත.” යනුවෙන් ඔහු පැවසීය.

සුරතල් පුසෙකු පිලිබඳ කතාවලින් පසු ඉක්වදෝරියානු ආන්ඩුව ඇපිල්ලුම්, පිරිසිදු කිරීම් ආදිය පිලිබඳ දමන තහංචි වැනි වැදගම්මකට නැතිදෑ පිලිබඳව එක්සත් ජනපද හා බි්‍රතාන්‍ය මාධ්‍ය පල කරමින් සිටිති. යථා වශයෙන් ගත් කල මාර්තු 28 සිට ගතවූ මාස පහ තුල අසාන්ජ් මුහුන දුන්නේ උපරිම ආරක්ෂාව සහිත සිපිරි ගෙයක හුදෙකලා සිර මැදිරියක සිරකරුවෙකුටත් වඩා අන්ත තත්වයකටය.

විකිලීක්ස් සංස්කාරක නිහඬ කිරීමේත්, ලෝක දේශපාලන වර්ධනයන් ගැන කුමන හෝ සඳහනක් කිරීම වැලැක්වීමේත් වෑයමක් ලෙස, ඉක්වදෝර බලධාරියෝ අසාන්ජ්ට තම දරුවන් හෝ දෙමව්පියන් සමග පවා සන්නිවේදනය කිරීම වලක්වාලමින්, තම නීතිඥයින් මගින් හැර, තම සියලුම සන්නිවේදනයන් සහ මුනගැසීම් කපා දැමූහ.

වසර හයක් පුරා හිරු ආලෝකයට සෘජු ප්‍රවිෂ්ටයක් නොමැතිව කුඩා තානාපති කාර්යාලය තුල සිරවී සිටින තතු මතට මෙම සමස්ත හුදකලාවීම කඩාපාත් විය. පැහැදිලි අභිලාශය වන්නේ අසාන්ජ්ගේ දිරි සුන්කර බලහත්කාරයෙන් නෙරපා දැමීමයි.

ආහාරපානාදිය, දුරකථන පනවිඩ, සෞඛ්‍ය පහසුකම් සහ රෙදිපිලි ඇපුල්ලුම් සඳහා වියදම් අසාන්ජ් විසින් ගෙවිය යුතුය යන සොච්චම් ඉල්ලීම්වලට අමතරව, ඉක්වදෝර් ආන්ඩුව මගින් නියම කෙරුනු “විශේෂ පිලිවෙතක්” මගින් ලොව කිසිදු ආන්ඩුවක “දේශපාලන කාරනාවන්” ගැන “අතපෙවීම්” අඩංගුවන කුමන හෝ මතයක් ප්‍රකාශ කිරීමෙන් වලක්වනු ලැබ ඇත. මෙයින් තවත් පැහැදිලි වන්නේ, ඔහු සහ ඔහුගේ සංනිවේදනයන් මෙන්ම ඔහු බැහැදැකීමට පැමිනෙන පුද්ගලයින් පිලිබඳව අනවරතව සෝදිසි කෙරෙන අතර, මේවාහි ප්‍රතිඵල එජ සහ බි්‍රතාන්‍යය ඔත්තු සේවා ඒජන්සිවලටද සැපයෙන බවයි.

වෙනත් වචනවලින්, ක්විටෝ ආන්ඩුව ක්‍රියාකරන්නේ එජ අධිරාජ්‍යවාදයේ හීන දීන ක්‍රියා කරුවන් ලෙසය. එය, විකිලීක්ස් නිහඬ කිරීමේ වොෂින්ටනයේ එල්ලයන් ක්‍රියාත්මක කරන අතර, දිරියසම්පන්න සහ විචක්ෂන මාධ්‍යවේදියකු ලෙස අසාන්ජ් හඳුන්වනු ලැබීම කරගෙනයාම දිගටම වලක්වමින් සිටියි. ධනේශ්වර ආන්ඩු සහ මූල්‍ය කතිපයාධිකාරය ආරක්ෂා කරන, යුද්ධය, මහජන ඔත්තු බැලීම් සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී කුමන්ත්‍රන වැනි ලොවපුරා මහජනයාගෙන් සඟවනු ලැබ තිබුනු රහස් එලිදරව් කිරීමට අසාන්ජ් තම ජීවිතයම කැප කලේය.

අසාන්ජ්ට 2012 දී සරනාගත තත්වය ලබාදුන් ඉක්වදෝරයේ ජනාධිපති ලෙස රෆායෙල් කොරෙයාට තමන් විසින් තෝරා ගත් අනුප්‍රාප්තිකයාය වන ජනාධිපති ලෙනින් මොරිනෝගේ අවසාන එල්ලය ගැන සැකයක් නැත. “මම විශ්වාස කරන්නේ ඔවුන් අසාන්ජ්ව එජ ආන්ඩුවට භාර දීමටයි යන්නෙ” යනුවෙන් කොරෙයා, ආර්ටී මාධ්‍යයට දුන් සම්මුඛ සාකච්ඡාව බදාදා ඵල විය.

අසාන්ජ් මත පනවනු ලැබ පැවැති කොන්දේසි ඔහු හෙලා දැක්කේය. “ඔවූහු අසාන්ජ් අවමානයට පත් කිරීමට වෑයම් කලද ඔවුන්මයි අවමානයට පත්වන්නේ.” ඔහු පැවසීය. “මෙම නීති සැබවින්ම මානව අයිතීන්වලට එරෙහිවයි යන්නේ. ඔවූහු වෑයම් කරන්නේ අසාන්ජ් හුදකලා කරමින්, අපගේ තානාපති කාර්යාලය හැරයාමට ඔහු පෙලඹවීමටයි.”

කොරෙයා ඉස්මතු කර පෙන්වා දුන්නේ එය (ආන්ඩුව) සරනාගත තත්වය ලබාදුන් කෙනෙකු මෙන් පමනක් නොව 2017 දී පුරවැසිභාවය ලැබූවායින් පසුව ඉක්වදෝර පුරවැසියකු ලෙසද අසාන්ජ් ආරක්ෂා කිරීමේ වගකීම කුයිතෝහි ආන්ඩුව සතු බවයි.

මෙවැනි මූලධර්ම ලෙනින් මොරිනෝගේ ආන්ඩුව තුල අධිකාරයක් දරන බව නොපෙනේ. ඊනියා “රෝස නැගිටීම්” සහ “බොලිවේරියානු විප්ලවය” සමග අනන්ය වී ඇති අනෙකුත් ලතින් ඇමරිකානු ආන්ඩු සමග මොරිනෝගේ ආන්ඩුවද තියුනු ලෙස දකුනට ගමන් කොට ඇත. මෙහි ප්‍රමූඛ උත්සුකය ලෙස පෙනෙන්නට ඇත්තේ තමන්ව පිලි ගැනීමේ ලංසුව ලෙස අසාන්ජ්ගේ ගෙල ඉල්ලා සිටින එජ අධිරාජ්‍යවාදය සමග සමගි සන්ධානයක් ගොඩනගා ගැනීම යි.

මෙය, රාජ්‍ය සභා විදේශ සම්බන්ධතා කමිටුවෙහි රිපබ්ලිකානු සභාපතිනියද නියෝජිතවරියකුද වන ඉලීනා රෝස්-ලේටිනන් සහ කොමිටියේ ප්‍රමූඛපෙලේ ඩිමොක්‍රටිකයකුද වන එලියට් එන්ගල් විසින් කෙටුම්පත් කෙරුනු මොරිනෝට සතියකට පෙර යවන ලද ද්විපාර්ශ්වික ලිපියක කෙලින්ම සඳහන් කර තිබිනි. දෙපලම සහතික කලේ කොන්ග්‍රසය “ඔබගේ ආන්ඩුව සමග සහයෝගීව පෙරට යාමට මහත් ඕනෑ කමින් සිටින” නමුත් “ජූලියන් අසාන්ජ් පිලිබඳ තත්වය” විසඳීම පූර්ව කොන්දේසියක් වන බවය.

ලිපිය තව දුරටත් සඳහන් කලේ, අසාන්ජ් “භයානක අපරාධකරුවකු සහ ලෝක ආරක්ෂාවට තර්ජනයකි, ඔහු නීති පොතට ගෙන ආ යුතුයි.” එය නිගමනය කලේ “අදාල බලධාරීන්ට අසාන්ජ් මහතා භාරදෙන තුරු අපගේ ද්විපාර්ශ්වීය සබඳතාවන් වර්ධනය කර ගැනීමට එක්සත් ජනපදයට ඉතාමත් අසීරුය.”

යැංකි අධිරාජ්‍යවාදය තම නියෝග ඉදිරිපත් කර ඇති අතර, සෑම ඇඟවීමකින්ම ලෙනින් මොරිනෝ එහි පදයට නටමින් සිටියි.

අසාන්ජ් අත්අඩංගුවට ගැනීමේ තවත් පීඩනය දැමීමක් වන්නේ ට්‍රම්ප් මැතිවරන උද්ඝෝෂනය සහ රුසියාව අතර ඇති වූවායැයි කියන “රහස් සන්ධානයක්” පිලිබඳ වූ චෝදනාවන් සම්බන්ධයෙන්, විශේෂ උපදේශක සහ එෆ්බීඅයි අධ්්‍යක්ෂක රොබර්ට් මුලර්ගේ නායකත්වය යටතේ කෙරෙන පරීක්ෂනය යි. මෑත වාර්තාවලට අනුව පරීක්ෂනය වඩාත්ම එල්ල වන්නේ විකිලීක්ස්, රුසියාව සහ ට්‍රම්ප් උද්ඝෝෂනයට සම්බන්ධවූ දක්ශිනාංෂික රිපබ්ලිකානුවකු වන රොජර් ස්ටෝන් අතර පැවතියායි කියන සම්බන්ධය වෙතට යි.

2016 දී එජ ජනාධිපතිවරනයට උපාමාරු දැමීමට හවුල්වූයේ යයි පැවසෙන රුසියානු කුමන්ත්‍රනයට අසාන්ජ් ඈඳා ගැනීමේ වෑයම බොරු ගෙතීම්, විකෘතීන් සහ රිජු ප්‍රලාප මත පදනම් වෙයි. මේවා මතුවී ආවේ විකිලීක්ස් විසින් ප්‍රසිද්ධියට පත් කෙරුනු ඩිමොක්‍රටික් ජාතික කොමිටියේත් (ඩිජාකො), ක්ලින්ටන් උද්ඝෝෂනයේ ප්‍රධානියා වූ ජෝන් පොඩෙස්ටාගේත් අභ්‍යන්තර ඊමේල් පනිවිඩ තොගයකින් පසුවය. ඩිජාකොහි ඊමේල් පනිවිඩවලින් එලිදරව් වූයේ හිලරි ක්ලින්ටන්ට වාසිදායක වනසේ තම ප්‍රතිමල්ලවයා වූ බර්නි සෑන්ඩර්ස්ට එරෙහිව ඩිජාකො විසින් 2016 දී ජනාධිපති ප්‍රාථමික වටයේදී වංචා කිරීමේ වෑයමක් තිබූ බවත්, පොඩෙස්ටාගේ ඊමේල් පනිවිඩවලින් එලිදරව් වූයේ වෝල්වීදියේ නියෝජිතවරියක සහ යුද උද්ඝෝෂනියක් ලෙස ක්ලින්ටන්ගේ කර්තව්‍ය ලේඛනගත කරමින් බැංකුවලට පැවැත්වූ කථාවල පිටපත් ය.

රුසියානු මූලාශ්‍රවලින් ඊමේල් පනිවිඩ විකිලීක්ස් විසින් ලබාගත් බවට කුමන හෝ සාක්ෂියක් නැත. අසාන්ජ්ට එරෙහි චෝදනා පසුපස ඇත්තේ රහසිගතව පවත්වාගතයුතු යයි සැලකෙන කටුක දේශපාලන සත්‍යයන් ඔහු ඇමරිකානු මහජනතාවට දැන ගැනීමට සැලැස් වී යයි යන කාරනාවයි.

අසාන්ජ්ට එරෙහි එජ ආන්ඩුවේ ලුහු බැඳීම උත්සන්න කිරීමට, රුසියානු “රහස් සන්ධානයක්” පිලිබඳ කථාන්දරය තම යුද්ධ ගැති න්‍යායපත්‍රයේ මධ්‍ය ලක්ෂය ලෙස යොදා ගත් ඩිමොක්‍රටිකයන්, සහ විකිලීක්ස් නිර්මාතෘ ඝාතනය කිරීමට හෝ ගුවන්තනාමෝ සිරකඳවුරට යැවීමට හඬ තැලූ සමහර රිපබ්ලිකානුවන් යන දෙගොල්ලම සහය දුන්හ.

ජාත්‍යන්තර සමාජවාදී සංවිධානය සහ ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදීන් ඇතුලුව, ව්‍යාජ වාම සංවිධානවල සමස්ථ කල්ලියම විකිලීක්ස් කතෘ විසින් එලිදරව් කිරීමට උපකාරී වූ එජ තන්ත්‍ර වෙනස් කිරීමේ මෙහෙයුම් වැනි දේවලට තම සහය පුද කරන අතර, අසාන්ජ්ගේ ආරක්ෂාව අත්හැර දමමින්, මහා ව්‍යාපාරිකයින්ගේ පක්ෂ දෙකෙන් තම එල්ලය ලබා ගෙන ඇත.

අසාන්ජ් යටත් කිරීමට වොෂින්ටනය පීඩනය උත්සන්න කරමින් සිටින්නේ මන්ද? එය වනාහි එජ අධිරාජ්‍යවාදීන්ගේ අපරාධ එලිදරව් කිරීමෙන් විකිලීක්ස් ජනමාධ්‍යවේදියා විසින් යම් අලුත් “වරදක්” සිදු කිරීමේ ප්‍රතිඵලයක් නිසා නොවේ. ඔහු ඉක්වදෝර තානාපති කාර්යාලය තුල මාස ගනනාවක් හුදකලා කරනු ලැබ, අන්‍යයන් සමග කථා කිරීම පවා වලක්වාලනු ලැබ පැවතුනි.

තවදුරටත්, එය බැඳී ඇත්තේ යුද විරෝධී, ආන්ඩු විරෝධී සහ සමාජවාදී අදහස් වෙත පුලුල් මහජනතාවට ප්‍රවිෂ්ටවීම අවහිර කිරීමට අන්තර්ජාල වාරනය පැනවීමේ එජ ආන්ඩුව සහ ප්‍රධාන තාක්ෂනික සංගතවල ධාවනයත් සමගය. විදේශ රටවල යුද්ධයත් සහ තම රට තුල මර්දනයත් සූදානම් කරමින්, පාලක සංස්ථාපිතයන්ට අවශ්‍ය වී ඇත්තේ අසාන්ජ්ට බැට දෙමින් තම රහස් හෙලිදරව් කිරීමට එඩිතර වන පුද්ගලයින්ට දඬුවම් දෙන්නේ මෙසේ යයි ආදර්ශයක් දීමට යි. මෙහි එල්ලය වන්නේ යුද්ධයට, සමාජ අසමානතාවට සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහි ප්‍රහාරවලට එරෙහි සටන් කරන සියල්ලන්ම නිහඬ කිරීමත්, බිය ගැන්වීමත් ය.

ඔහු වහාම, කොන්දේසි විරහිතව නිදහස් කිරීමේ ඉල්ලීම මත පුලුල්ම හැකි ජාත්‍යන්තර බලමුලු ගැන්වීම සංවිධානය කරමින් ජූලියන් අසාන්ජ්ට එරෙහි උත්සන්න කරමින් පවතින තර්ජනවලට ප්‍රතිචාර දැක්විය යුතුය. ඔහු අත්අඩංගුවට ගැනීමේ හෝ පිටුවහල් කිරීමේ ඕනෑම වෑයමකට එරෙහිව මහජන විරෝධතා සහ වර්ජන සූදානම් කල යුතුය.

සමාජ අයිතීන් ආරක්ෂා කිරීමටත්, යුද්ධයට, අසමානතාවයට සහ ධනපති ක්‍රමයට එරෙහි වීමටත් කෙරෙන පුලුල් අරගලයක කොටසක් ලෙස ප්‍රජාතන්ත්‍ර අයිතීන් ආරක්ෂා කර ගැනීමේ ස්ථීරසාර අරගලයක් කල හැකි එකම පන්තිය වන ජාත්‍යන්තර කම්කරු පන්තිය මත පමනක් එවැනි උද්ඝෝෂනයක් පදනම් කල හැකිවනු ඇත.

බිල් වෑන් ඕකන්

Share this article: