ශ්‍රී ලංකා ප්‍රභුවේ ප්‍රතිවාදී කන්ඩායම් අතර කා කොටා ගැනීම ගැඹුරුවෙයි

Infighting deepens between rival factions of Sri Lankan elite

දීපාල් ජයසේකර විසිනි, 2018 ඔක්තෝබර් 30

පසුගිය සිකුරාදා දේශපාලන කුමන්ත්‍රනයකින් ශ්‍රී ලංකාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් අගමැති තනතුරට පත් කල මහින්ද රාජපක්ෂ ඊයේ උදෑසන ඔහුගේ රාජකාරි භාර ගත්තේ ය. ව්‍යවස්ථා විරෝධී උපාමාරුවක් මගින් බලයෙන් පහ කල රනිල් වික්‍රමසිංහ තමන් තවමත් රටේ අගමැති බව සඳහන් කරමින් මාධ්‍යයට එදින සවස ප්‍රකාශයක් නිකුත් කලේ ය.

සිකුරාදා කුමන්ත්‍රනයෙන් පසුව කොලඹ දේශපාලන සංස්ථාපිතය ආරාවුලක පැටලී ඇත. කලින් සම්මුති ආන්ඩුවට සම්බන්ධ වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ශ්‍රීලනිප) සිරිසේනගේ කන්ඩායම එකල එහි විරුද්ධවාදීන් වූ 2015 ට පෙර දිවයිනේ ජනාධිපති වූ රාජපක්ෂ විසින් නායකත්වය දෙන ශ්‍රීලනිප කන්ඩායම සමග දැන් එකමුතු වී ඇත.

ශ්‍රී ලංකාවේ පාලක ප්‍රභුව තුල පිපිරී ඇති රුදුරු කා කොටා ගැනීම වැඩකරන ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය සහ සමාජ අයිතීන් සමග ප්‍රතිවාදී කන්ඩායම් විසින් ප්‍රකාශ කරනු ලබන ආකාරයේ කිසිවක් සමග කවර හෝ සම්බන්ධයක් නැත. ඇත්තෙන් ම එය, ගැඹුරුවන ගෝලීය අර්බුදය විසින් තීව්‍ර කර ඇති රටේ පුපුරන සුලු ආර්ථික ප්‍රශ්න සහ තම ජීවන හා සමාජ කොන්දේසිවලට එල්ල කරන ප්‍රහාරයන්ට එරෙහිව කම්කරු පන්තිය සහ දුගී ජනයාගෙන් මතුවන විරෝධය තුල සංගත ප්‍රභුවේ උත්සුකයන්ට වඩාත් හොඳින් ප්‍රතිචාර දක්වන්නේ කෙසේ ද යන්න පිලිබඳ ගැටුමකි.

නව පාලන තන්ත්‍රය තහවුරු කිරීමේ ප්‍රයත්නයේ කොටසක් ලෙස සිරිසේන ඊයේ කැබිනට් සහ රාජ්‍ය ඇමතිවරු දස දෙනෙකු පත් කලේ ය. මුල්‍ය හා ආර්ථික කටයුතු පිලිබඳ ප්‍රධාන ඇමති තනතුර රාජපක්ෂට පැවරුවේ ය. සෙසු අමාත්‍ය පත්වීම් ගැන ඇඟවුමක් නො වී ය.

කලින් ආන්ඩුවේ සියලු කැබිනට් ඇමතිවරුන්ගේ ධුර කාලය අවසන් වූ බව සෙනසුරාදා සිරිසේන සියලු අමාත්‍ය ලේකම් වරුන්ට දැනුම් දුන්නේ ය. ඉන් වඩ වඩා පෙන්නුම් කෙරෙන්නේ සිරිසේන, රාජපක්ෂ සහ කුඩා කල්ලියක් විසින් නව පාලන තන්ත්‍රය මෙහෙයවනු ඇති බවය.

ඒ සමගම, ආන්ඩුව පුද්ගලයන් 1,000 ක් පමන වූ වික්‍රමසිංහගේ ආරක්ෂකයන්ගේ සංඛ්‍යාව 10 දෙනෙකු දක්වා බරපතල ලෙස අඩු කර ඇත. සිරිසේන විසින් වික්‍රමසිංහ පදිංචිව සිටින අගමැති නිල නිවස වන අරලිය ගහ මන්දිරයේ විදුලිය විසන්ධි කිරීමෙන් පසු ඔහුගේ ආධාරකරුවන් විසින් එයට විදුලි උත්පාදක යන්ත්‍ර ගෙනවිත් තිබේ. එජාප ආන්ඩුවේ පාර්ලිමේන්තු සාමාජිකයන් සහ ආධාරකරුවන් විශාල සංඛ්‍යාවක් ගොඩ නැගිල්ල තුල කඳවුරු බැඳගෙන සිටිති.

වික්‍රමසිංහට අරලිය ගහ මන්දිරයෙන් ඉවත්වීම සඳහා ආන්ඩුව අවසන් නිවේදනයක් නිකුත් කිරීමේ සහ ඔහු එසේ කිරීමට අසමත් වුවහොත් ඊට එරෙහිව “පියවර” ගන්නා බවට අනතුරු ඇඟවීමක කොන්දේසි යටතේ ප්‍රචන්ඩ ගැටුම් වර්ධනය විය හැකිය. සිරිසේන විසින් වික්‍රමසිංහ නෙරපීමට සහ පාර්ලිමේන්තුව කල් තැබීමට විරුද්ධව අද වීදිවලට එන ලෙස එජාපය එහි සාමාජිකයන්ට සහ ආධාරකරුවන්ට කැඳවුම් කර ඇත. තමන් ට බහුතරයක් ඇති බව පෙන්විම සඳහා පාර්ලිමේන්තුව කැඳවන ලෙස වික්‍රමසිංහ ඉල්ලයි.

කුමන්ත්‍රනය සාධාරනීකරනය කිරීමට උත්සාහ කරමින් කලින් දිනයේ සිරිසේන ජාතිය අමතා කල කතාව බොරුවලින් පිරී තිබුන බව වික්‍රමසිංහ සඳුදා මාධ්‍ය වලට ප්‍රකාශ කලේ ය. (සබැඳිය: තම දේශපාලන කුමන්ත්‍රය පිලිබඳව ශ්‍රී ලංකාවේ ජනාධිපතිගේ නරුම සාධාරනීකරනයන් ) බලයෙන් පහ කල ආන්ඩුව යහපත් ආන්ඩුවක් ලෙස පින්තාරු කිරීමට වික්‍රමසිංහ තමන්ගේම මුසාවන් සහිත උත්සාහයක යෙදුනි.

ආන්ඩුව “පෙර කෙදිනකවත් නොතිබුන ප්‍රජාතන්ත්‍රවාදී නිදහසක් ඇති කල” බවත්, මානව හිමිකම්, මාධ්‍ය නිදහස ආරක්ෂා කල අතර ජීවන හා සමාජ කොන්දේසි වර්ධනය කල බවත් වික්‍රමසිංහ ප්‍රකාශ කලේ ය.

මේ සියලු ප්‍රකාශයන්හි එල්ලය වුයේ ආන්ඩුවේ සැබෑ වාර්තාව වසන් කිරීමය.

කලින් පැවති රාජපක්ෂ ආන්ඩුව සහ බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි යුද්ධය කාල පරිච්චේදයේ සිදුකල ම්ලේච්ච ක්‍රියාවන් ඇතුලු ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එල්ල කල එහි රුදුරු ප්‍රහාරයන් කෙරෙහි පුලුල්ව පැතිර පැවති විරුද්ධත්වය ගසාකමින් 2015 සිරිසේන බලයට පත් විය.

කෙසේ නමුත් තීව්‍ර වන ආර්ථික අර්බුදයකට මුහුන දුන් සිරිසේන සහ වික්‍රමසිංහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් නියෝග කරන ලද කප්පාදු පියවරයන් ක්‍රියාවට දැමූහ. අත්‍යාවශ්‍ය බඩු මිල ඉහල දැමු ආන්ඩුව විරෝධතාවල යෙදුන කම්කරුවන්, ශිෂ්‍යයන් හා ගොවීන්ට විරුද්ධව පොලිස් ප්‍රචන්ඩත්වය මුදාහල අතර රටේ උතරු සහ නැගෙනහිර පලාත්වල මිලිටරි වාඩිලා ගැනීම අඛන්ඩව පවත්වාගෙන ගියේය.

ඔහුගේ ප්‍රකාශය අවසානයේ වික්‍රමසිංහ “ප්‍රජාතන්ත්‍රවාදය යලි තහවුරු කිරීම සඳහා ස්ථීරසාරව පෙනී සිටිමු” යැයි පවසමින් මේ රට තුල ව්‍යවස්ථා විරෝධී ආඥාදායක පාලනයකට කිසිසේත් ඉඩ නොදෙන” බව සඳහන් කලේ ය.

මෙම ප්‍රකාශයන් කිසිදු වැදගැම්මකට නැත. කම්කරු පන්තිය බෙදීම සහ දුර්වල කිරීම මගින් ධනපති පන්ති පාලනය ආරක්ෂා කිරීම අරමුනු කර ගනිමින්, රටේ දෙමල සහ මුස්ලිම් ප්‍රජාවන්ට එරෙහි අසාධාරනකම් ඇතුලු ප්‍රජාතන්ත්‍රීය අයිතීන් මැඩලමින්, වික්‍රමසිංහගේ එජාපය සහ ශ්‍රීලනිපය පසුගිය 70 වසර තුල ශ්‍රී ලංකාව පාලනය කර තිබේ.

“මෙම කුඩා දිවයිනේ ජනතාව පමනක් නොව, සෙසු ලෝකය ද මෙම මොහොතේ අප සමග සිටින” බව ප්‍රකාශ කරමින් තන්ත්‍ර මාරුව කෙරෙහි අසතුටින් සිටින එක්සත් ජනපදයේ, සෙසු බටහිර බලයන්ගේ සහ ඉන්දියාවේ සහයෝගය තමන්ට ඇතැයි වික්‍රමසිංහ ඉඟි කලේ ය. කලින් දින සවස අරලිය ගහ මන්දිරයේ දී ඔහු එක්සත් ජනපදයේ, ප්‍රධාන බටහිර රටවල, ජපානයේ සහ ඉන්දියාවේ රාජ්‍යතාන්ත්‍රිකයන් හමු විය.

සාමාන්‍ය මහ ජනතාව අතර බෙහෙවින් ම, අපකීර්තියට පත්ව සිටින වික්‍රමසිංහ එක්සත් ජනපදය සහ ඉන්දියාව ඇතුලු ප්‍රධාන බලයන්ගේ සහයෝගය ඇතිව යලි ආන්ඩු බලය අල්ලා ගැනීමේ තැතක යෙදී සිටියි.

අර්ථභාරීව, එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිකා හෙදර් නොයර්ට් මෙසේ සඳහන් කලාය: “සියලු පාර්ශවයන් ත්‍රස්ත කිරීම් සහ ප්‍රචන්ඩ ක්‍රියාවන්ගෙන් වැලකිය යුතු ය”. ඉක්බිතිව “කතානායක සමග සාකච්චා කර වහාම පාරිලිමේන්තුව යලි කැඳවීමට සහ තම ආන්ඩුව මෙහෙයවන්නේ කවුරුන් ද යන්න තහවුරු කිරීමේ ඔවුන්ගේ වගකීම ඉටු කිරීමට ප්‍රජාතන්ත්‍රවාදීව තෝරා පත් කර ගත් ශ්‍රී ලංකාවේ මහ ජනතාවගේ නියෝජිතයන් ට ඉඩ දෙන ලෙස අපි ජනාධිපතිගෙන් ඉල්ලා සිටිමු” යයි ඇය සඳහන් කලා ය.

මෙම ප්‍රකාශය වොෂින්ටනය වික්‍රමසිංහට සහ පාර්ලිමේන්තුව යලි රැස් කල යුතුය යන ඔහුගේ කැඳවුමට සහයෝගය පල කිරීමේ පැහැදිලි සංඥාවකි.

වොෂින්ටනයේ උත්සුකයන්ට ප්‍රජාතන්ත්‍රීය අයිතීන් සමග කිසිදු සම්බන්ධයක් නැත. බලයේ පැවති ඇමරිකානු ආන්ඩු 2005 සහ 2015 අතර එහි රුදුරු දෙමල ජන විරෝධී යුද්ධයට සහ වඩ වඩා ආඥාදායක පාලනයක් දෙසට හැරුන රාජපක්ෂගේ කලින් ආන්ඩුවට සහයෝගය දුන්නේ ය. කෙසේ නමුත්, එල්ටීටීඊ ය 2009 පරාජය කිරීමෙන් පසුව බෙයිජිනය සමග රාජපක්ෂ ආන්ඩුවේ සමීප ආර්ථික සහ මිලිටරි සම්බන්ධකම් කෙරෙහි එක්සත් ජනපදයේ සතුරුකම වඩ වඩා වර්ධනය විය.

මෙම බැඳීම් බිඳ දැමීමට සහ මුලෝපායිකව වැදගත් පිහිටිමක් සහිත දිවයින යලි තම අනුහස යටතට ගැනීම සඳහා 2015 ජනාධිපතිවරනයේ දී සිරිසේන බලයට ගෙන ඒමට එක්සත් ජනපදය නවදිල්ලියේ සහයෝගය ඇතිව තන්ත්‍ර මාරු මෙහෙයුමක් කලේ ය. මෙම මෙහෙයුමේ දී එහි මූලික සගයන් වූයේ වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග ය.

බලයට ඒ මෙන් පසු, සිරිසේන වික්‍රමසිංහ ආන්ඩුව කොලඹ විදේශ පිලිවෙත චීනයෙන් දුරස්ථව එක්සත් ජනපදය සහ ඉන්දියාව දෙසට යොමු කලේ ය.

සිකුරාදාට පසුව නිකුත් කෙරුන ට්‍රම්ප් ආන්ඩුවේ ප්‍රකාශයන් පෙන්නුම් කරන්නේ චීනය වෙතට නැඹුරු වූ තන්ත්‍රයක් ඉස්මතු වීමට ඉඩ දීමට එය සූදානම් නැති බව ය. විරෝධතාවයන් ප්‍රචන්ඩ වනු ඇතැයි සඳහන් කරමින් වොෂින්ටනය ශ්‍රී ලංකාවේ සිටින තම පුරවැසියන් ට ඊයේ සංචාරක අනතුරු ඇඟවීමක් නිකුත් කලේ ය. එක්සත් රාජධානිය සහ යුරෝපා සංගමය විසින් ද එබඳුම සංචාරක අනතුරු ඇඟවීම් නිකුත් කොට ඇත.

ඉන්දියාව වඩාත් ප්‍රවේසම් සහගත පිලිවෙතක් අනුගමනය කරමින් රාජපක්ෂ ඔහුගේ පාලනය තහවුරු කර ගැනීමට සමත් වුවහොත් ඔහු සමග වැඩ කිරීමේ මනාපය විවෘතව තබා ගන්නා අතර සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව යලි ස්ථාපනය වීම කෙරෙහි වැඩි කැමැත්තක් ඇඟවුම් කර ඇත.

ආන්ඩුව මාරුවීම ඔවුන්ගේ මූලෝපායාත්මක උත්සුකතාවයන්ට හානියක් නොවන බව එක්සත් ජනපදයට, බටහිර බලයන්ට සහ ඉන්දියාවට සහතික කිරීමේ උත්සාහයක් ලෙස සිරිසේන ඊයේ සවස ජනාධිපති ලේකම් කාර්යාලයේ දී විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ රැස්වීමක් කැඳවීය.

විපක්ෂයේ පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) සිරිසේන, වික්‍රමසිංහ සහ රාජපක්ෂට විරුද්ධව හෙට විරෝධතාවක් කැඳවුම් කරමින් ප්‍රතිවාදී කන්ඩායම් වලින් දුරස්ථ වීමේ ව්‍යාජ උත්සාහයක් දරා ඇත. “ජන බලයක්” ගොඩ නැගීම සඳහා සියලු ප්‍රතිවාදී කන්ඩායම් වල ප්‍රගතිශීලී කොටස් ඒකාබද්ධ කරන බව ජවිපෙ කියයි.

2005 ජනාධිපතිවරනයේ දී රාජපක්ෂ බලයට ගෙන ඒම සඳහා ජවිපෙ කේන්ද්‍රීය භූමිකාවක් ඉටු කල අතර එල්ටීටීඊ ට එරෙහිව යලි ආරම්භ කෙරුන ඔහුගේ වාර්ගික යුද්ධයේ සහ කම්කරු පන්තියේ සහ පීඩිත ජනයාගේ මූලික ප්‍රජාතන්ත්‍රීය අයිතීන් මත එල්ල කෙරුන රුදුරු ප්‍රහාරයන්ගේ උද්‍යෝගිමත් සහකරුවෙක් විය. හිටපු හමුදා ප්‍රධානි සරත් ෆොන්සේකාගේ ජනාධිපතිවරන උද්ඝෝෂනයට සහයෝගය දෙමින් 2010 දී ජවිපෙ එජාපය සමග සන්ධාන ගත විය.

සිරිසේන බලයට ගෙන ඒම පිනිස ජවිපෙ 2015 ජනවාරි මාසයේ යලි එජාපය සමග පෙල ගැසුනි. හෙට ඔවුන්ගේ උද්ඝෝෂනයේ එල්ලය පාලක ප්‍රභුවේ වර්තමාන අර්බුදය පිටුපසින් පවතින සැබෑ ප්‍රශ්න වසන් කිරීම සහ මතුවෙමින් පවතින කම්කරු පන්තියේ සමාජ සහ දේශපාලන අරගලය යටපත් කිරීම ය.

කම්කරු පන්තිය මෙම සියලු උගුල් ප්‍රතික්ෂේප කරමින් සමාජවාදී ක්‍රියාමාර්ගයක් මත පාදක වූ කම්කරු-ගොවි ආන්ඩුවක අව්‍යාජ විකල්පයක් සඳහා සටනට ගම්බද දුගීන් සහ පීඩිත ජනයාට නායකත්වය දීම සඳහා පාලක පන්තියේ සියලු ප්‍රතිවාදී කන්ඩායම්වලින් ස්වාධීන වූ සමාජවාදී ව්‍යාපාරයක් ගොඩ නැගිය යුතුය.

Share this article: