ජුලියන් අසාන්ජ් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ලොව පුරා මහජන කෝපය ඇවිලෙයි

Worldwide outrage over arrest of WikiLeaks publisher Julian Assange

නයිල්ස් නීමුත් විසිනි, 2019 අප්‍රේල් 12

බ්‍රහස්පතින්දා උදෑසන, ලන්ඩනයේ ඉක්වදෝර තානාපති කාර්යාලයේ දී, මාධ්‍යවේදී, විකිලීක්ස් ප්‍රකාශක ජුලියන් අසාන්ජ් අත්අඩංගුවට ගනු ලැබීම සම්බන්ධයෙන් විරෝධය ඉහල නැගෙමින් පවතී. ඉක්වදෝර ජනාධිපති ලෙනින් මොරීනො, ඔහුට සපයා තිබූ දේශපාලන රැකවරනය නීතිවිරෝධී ආකාරයෙන් අවසන් කිරීමෙන් පසු, බ්‍රිතාන්‍ය පොලිස් නිලධාරීන් කල්ලියක් ඔහු තානාපති කාර්යාලයෙන් එලියට ඇද ගෙන විත්, බලාත්කාරයෙන් ජංගම සිර මැදිරියකට පටවා ගත් හ.

වසර හතකට ආසන්න කාලයක් තානාපති කාර්යාලයේ කොටු වී සිටි අසාන්ජ්, දැන් එක්සත් රාජධානි බන්ධනාගාරයක වසරක රැඳවුම් කාලයකට සහ එක්සත් ජනපදයට උදර්පනය කරනු ලැබීමට මුහුන පා සිටී. අධිකරනමය නොවන මරනීය දන්ඩන පැනවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු ඇග්නස් කැලමාර්ඞ් අසාන්ජ් පිටුවහල් කරනු ලැබීමේ සහ එක්සත් ජනපදයට උදර්පනය කරනු ලැබීමට ගනු ඇති පියවර නිසා ඔහු ගේ “‍මානව හිමිකම් බරපතල ආකාරයෙන් උල්ලංඝනය වීමේ”‍ අන්තරායකට ඔහු හෙලනු ඇති බවට අනතුරු හැඟවූවා ය.

අසාන්ජ් ගේ මව් රට වන ඕස්ට්‍රේලියාවේ දී, සමාජවාදී සමානතා පක්ෂය කැඳවුම් කල විරෝධතාවලට සිඞ්නි සහ මෙල්බර්න් නගරවල ජනතාව සිරගත කිරීම හෙලා දැකීමටත් ඔහු නිදහස් කරන්නැයි බල කිරීමටත් සිය ගනනින් රැස් වූ හ. සමාජවාදී සමානතා පක්ෂයේ රැලි ෆෙස්බුක් හරහා සජීවී ව විකාශනය කරනු ලැබුනි. ඒවා පැය ගනනක් ඇතුලත දහස් ගනන් ජනයා විසින් නරඹනු ලැබුනි. වොෂින්ටනයේ බි්‍රතාන්‍ය තානාපති කාර්යාලය ඉදිරිපිට ද විරෝධතාවක් පැවැත් වුනි.

ජුලියන් අසාන්ජ් ගේ ආරක්ෂා කිරීම උදෙසා ඕස්ට්රේලියාවේ සමාජවාදී සමානතා පක්ෂය පැවැත්වූ රැලිය

ඇමරිකානු සිවිල් අයිතිවාසිකම් එකමුතුවේ භාෂනය, පෞද්ගලිකත්වය සහ තාක්ෂනය ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ බෙන් විස්නර් මෙසේ අනතුරු හැඟවී ය: “‍විකිලීක්ස් ප්‍රකාශන මෙහෙයුම් ගැන අසාන්ජ් මහතා සම්බන්ධයෙන් එක්සත් ජනපදය විසින් කරනු ලබන ඕනෑ ම නඩු විභාගයක් පෙර නුවූවිරූ එකක් වන අතර ම ව්‍යවස්ථා විරෝධී වෙයි. එය සෙසු ප්‍රවෘත්ති සංවිධානයන්ට එරෙහි ව ද අපරාධ පරීක්ෂන සිදු කිරීමට පූර්වාදර්ශයක් සම්පාදනය කරනු ඇත. තව ද එක්සත් ජනපද රාජ්‍ය රහස් ආරක්ෂාවට ඇති නීති කඩ කිරීමේ චෝදනාවන් සම්බන්ධයෙන් විදේශීය ප්‍රකාශකයෙකුට එරෙහි ව ගනු ලබන නඩු විභාගයක්, මහජන සුභසිද්ධියට තීරනාත්මක තොරතුරු හෙලිදරවු කිරීමට විදේශයන් ගේ රාජ්‍ය රහස් සම්බන්ධ නීති උල්ලංඝනය කිරීමේ යෙදී සිටින එක්සත් ජනපද මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් විශේෂයෙන් ම, භයානක පූර්වාදර්ශයක් සම්පාදනය කරනු ඇත.”‍

ඇමරිකානු නිදහස් මාධ්‍යවේදී ක්‍රිස් හෙජස් අසාන්ජ් සිරගත කිරීම “‍නීතියේ ආධිපත්‍ය සහ මාධ්‍ය නිදහස ගැන කෙරෙන මවා පෑම්වල සැබෑ අන්තර්ගතය හෙලිදරවු කරන්නක්”‍ යැයි ලිවී ය. ඕස්ට්‍රේලියානු මාධ්‍යවේදී, වාර්තා වැඩසටහන් නිෂ්පාදක ජෝන් පිල්ජර් අසාන්ජ් තානාපති කාර්යාලයෙන් බලාත්කාරයෙන් එලියට ඇද දැමීම සහ ඉක්වදෝර ආන්ඩුව එයට අනුබල දීම “‍ස්වභාවික යුක්තියේ මූලධර්මයන්ට එරෙහි අපරාධයක්”‍ බවත්, එය සියලු‍ ම මාධ්‍යවේදීන්ට කෙරුනු අනතුරු හැඟවීමක් බවත් ප්‍රකාශ කලේ ය.

බ්‍රහස්පතින්දා, බ්‍රිතාන්‍යයේ මහේස්ත්‍රාත්වරයෙක් අසාන්ජ් ඇප කොන්දේසි කඩ කිරීමේ චෝදනාවන්ට වැරදිකරු බව ප්‍රථමයෙන් තීන්දු කලේ ය. එම ඇපය ස්වීඩනයේ දී එල්ල කෙරුනු ගොතනු ලැබූ ලිංගික අඩන්තේට්ටම් චෝදනාවන් සම්බන්ධයෙන් ඔහුට එරෙහි ව සිදු කෙරුනු, චෝදකයන් කලකට ඉහත දී ම ඉල්ලා අස් කර ගත් පරීක්ෂනයේ දී ලබා දුන්නකි. ඔහුට දඬුවම් පැමින වීමේ දිනය තවම තීන්දු කෙරී නොමැත.

පසු ව ඇප චෝදනාවන් උඩ ඔහු අත්තඩංගුවට ගනු ලැබීමට මත්තෙන්, අසාන්ජ් ඉක්වදෝර තානාපති කාර්යාලයේ රැකවරනය සෙවීමට මෙහෙය වනු ලැබූ කාරනාවන් නිවැරදි යැයි සනාථ කරමින්, ට්‍රම්ප් පාලනාධිකාරිය ඔහුට එරෙහි ව අපරාධ අධිචෝදනා පත්‍රයක් එල්ල කලේ ය. වසරකටත් පෙර, 2018 වසරේ මැයි 6 වැනි දා, අභිචෝදකයෝ එම අභිචෝදනා පත්‍රය ගොනු කල හ.

“‍ජුලියන් අසාන්ජ්ට නඩු විභාගයකටත්, එක්සත් ජනපදයට භාර දෙනු ලැබීමකටත් මුහුන දෙන්න වේ යැයි, 2010 සිටම අපි අනතුරු හැඟවුවා. ... අවාසනාවකට වගේ අද එය හැබෑවක් වෙලා තියෙනවා,”‍ යැයි අසාන්ජ් ගේ නීතිඥ ජෙනිෆර් රොබින්සන් බ්‍රහස්පතින්දා සවස පොලිස් භාරයේ දී, අසාන්ජ් මුන ගැසීමෙන් පසු ව, මාධ්‍ය හමුවක දී, වාර්තාකරුවන්ට ප්‍රකාශ කලා ය. “‍පොලිස් සිර මැදිරියේ දී මම අසාන්ජ් මහතාව මුන ගැසුනා. එයාට මේ වන විටත් තමන් වෙනුවෙන් සහයෝගය පල කරමින් ඉන්න ආධාරකරුවන්ට ස්තූතිය පල කිරීමට අවශ්‍යයි. ‘මෙසේ වන බව මම කීවා’ යයි ඔහු සඳහන් කලා.”‍

අසාන්ජ්ට මැයි 2 දා උදර්පනය පිලිබඳව නඩුව විමසන තෙක් සිරගතවී සිටීමට සිදුවේ. එම නඩුවේදී ඔහු එක්සත් ජනපදයේ නඩු විමසීමට ගෙන යා හැකිද යන්න තීන්දු කෙරෙනු ඇත.

එක්සත් ජනපද අධිකරන දෙපාර්තමේන්තුව විසින් ඔහුට චෝදනා ගොනු කර ඇත්තේ පරිගනක වංචා සහ අවභාවිතය පිලිබඳ පනත උල්ලංඝනය කරමින් පරිගනකයට බලෙන් ඇතුලුවීමට කුමන්ත්‍රනය කල බවටයි. එම චෝදනාව එල්ල කලේ, ආරක්ෂක දෙපාර්තමේන්තුවේ පරිගනක ජාලයේ රහසිගත තොරතුරුවලට ඇතුලුවීමේදී සිය අනන්‍යතාව සඟවාගත හැකිවනසේ මුරපදය බිඳීමට, ප්‍රකාශකයා ඤඅසාන්ජ්%, චෙල්සි මෑනින්ට උදව් කිරීමට තැත් කලේ යයි --එය අසාර්ථක විය-- දෝෂාරෝපනය කරමිනි.

චෝදනාව මතු කොට ඇත්තේ එක්සත් ජනපද ආන්ඩුව සතුව ඇතැයි කියන, නමුත් ප්‍රකාශයට පත්කර නැති, මෑනින් සහ විකිලීක්ස්හි පුද්ගලයෙකු අතර වෙබ්කතිකා සටහන් අනුවය. ඔක්ස් (Ox) සහ “‍පුර්ව-සමාගමය”‍ යන නම්වලින් හැඳින්වුනු එම පුද්ගලයා අසාන්ජ් බව ආන්ඩුව කියයි. මෙම රහස් සටහන් වල ඇති පිලිසඳර පාදක කර ගනිමින් ආන්ඩුව ප්‍රකාශ කරන්නේ, “‍වර්ගීකරනය කෙරුනු වාර්තා අත්පත් කර ගෙන ඒවා බෙදා හැරීම සඳහා සහයෝගී වීමට”‍ අසාන්ජ්, මෑනින් සමග සාපරාධි කුමන්ත්‍රනයකට එලඹීමට තැත් කල බවයි.

සසප මෙල්බර්න් රැලියේ කොටසක්

ඉලෙක්ට්‍රොනික් ෆ්‍රන්ටියර් පදනම ප්‍රකාශයක් නිකුත්කරමින් සඳහන් කර ඇත්තේ අසාන්ජ්ට එරෙහිව මතු කර ඇති අධිචෝදනා වල මූලය අනාවරනය කෙරුනු ලියවිලි ප්‍රසිද්ධියට පත්කිරීමයි. ඉතා මෑතම ක්‍රියාව සිදුවී ඇත්තේ දශකයක් තරම් ඈතදිය. එය අනතුරු අඟවන්නෙකුට (මෑනින්) හා ඇය නිකුත් කල ලේඛන ප්‍රසිද්ධ කල තැනැත්තාට (අසාන්ජ්) දඬුවම් කිරීමට යොදාගෙන ඇත. ... සැබවින්ම අසාන්ජ් උදර්පනය කරන්නේ නම් ආන්ඩුවට බරපතල අධිචෝදනා ගොනුකිරීමට හැකිවේ. එය නොකල යුතුය. අපගේ ප්‍රජාතන්ත්‍රවාදයට අත්‍යවශ්‍ය වන්නාවූ නිදහස් තොරතුරු ගලායාමේ ප්‍රානභුත අංගයක් වන්නේ අනාවරනය කිරීම් ය.

2010 දී එක්සත් ජනපදය ඉරාකයේ සහ ඇෆ්ඝනිස්තානයේ සිදුකල යුද අපරාධ හෙලිකල රහස් තොරතුරු සමුදායක් මෑනින් විසින් විකිලීක්ස් වෙත අනාවරනය කලාය. බැග්ඩෑග් නගරයේ දී රොයිටර් වාර්තාකරුවන් දෙදෙනෙකු ද ඇතුලු‍ව සිවිල් වැසියන් අඩුම ගනනේ 12ක් වත් ඝාතනයට ලක්කල හෙලිකොප්ටර් ප්‍රහාරයක් පෙන්වන කුප්‍රකට සමූහ ඝාතන වීඩියෝව ද ඊට ඇතුලත් විය.

එක්සත් රාජධානිය අසාන්ජ් එක්සත් ජනපදයට උදර්පනය කිරීම හෝ “‍වෙනත් ආකාරයකින් යැවීම”‍ ප්‍රතික්ෂේප කලයුතු බව ඉල්ලා සිටිමින් ජත්‍යන්තර ක්ෂමා සංවිධානයේ යුරෝපයේ උප පර්යේන අධ්‍යක්ෂක මස්සිමෝ මොරාට්ටි ප්‍රකාශයක් නිකුත් කලේය. “වධහිංසා පැමිනවිම හා අනෙකුත් හිරහැරකිරීම් ආදී රඳවා ගැනීමේදී සපුරා තහනම් කොන්දේසි බිඳ අවසානයේ මරන දන්ඩනයට ලක්කිරීම ඇතුලු‍ මානවහිමිකම් උල්ලංඝනයන්”‍ සිදුකිරීමේ සැබෑ අනතුරට ඔහු මුහුන දෙන බව මොරාට්ටි සඳහන් කලේය.

අසාන්ජ් වධහිංසාවට හෝ මරන දන්ඩනයට පාත්‍රවන රටකට උදර්පනය නොකරන බවට එක්සත් රාජධානියේ ආන්ඩුව මොරෙනෝ ආන්ඩුවට දී ඇති පොරොන්දුව සතයක් වත් නොවටී.

කුමන්ත්‍රනය කිරීමේ චෝදනාවට උපරිම වසයෙන් පස් වසරක සිර දඬුවමක් නියම කල හැකිය. එහෙත්, අසාන්ජ් එක්සත් ජනපද අත්අඩංගුවට පත්වූ කල, මරන දඬුවම ගෙන එන රාජ්‍ය ඔත්තු බැලීමේ චෝදනාව ඇතුලු‍ අධිචෝදනා ඉදිරිපත් කිරීමේ අන්තරාය තිබේ. ඔබාමා පාලනය මෑනින් හුදකලා සිරදඬුවමකින් වධහිංසාවට ලක්කර තිබුනේ කිහිපවිටක්ම ඇය සිය දිවිනසා ගැනීමට තල්ලු‍වන ලෙස ය.

අසාන්ජ්ට විරුද්ධව බොරු චෝදනා ගොනු කිරීම අරමුනු කරගත් මහා ජුරි සභාව ඉදිරියේ සාක්ෂිදීම ප්‍රතික්ෂේප කල නිසා මෑනින් මාර්තු 18 සිට වර්ජිනියාවේ ඇලෙක්සැන්ඩ්‍රියාහි සිරගත කර සිටින්නීය. අගේ සිරගත කිරීමට දින 28ක් හුදකලා සිරකිරීමක් ද ඇතුලත්විය. අසාන්ජ්ට එරෙහි චෝදනාවල මුද්‍රා ඉවත්කිරීම මත පදනම්ව, මෑනින්ගේ නීතිඥයා ඇපෑලක් ගොනු කර ඇත. එහි තර්ක කර තිබුනේ ඇය සාක්ෂි දුන්නේ නම් එය මහා ජූරිය සතුව දැනටමත් ඇති සාක්ෂි පුනරුච්චාරනයක් විය හැකිව තිබු බවට ය. එපමනක් නොව, ඉන් පෙන්නුම් කෙරුනේ ඇය දිගටම සිරගත කර තිබීම බලහත්කාරී පමනක් නොව නීතිය උල්ලංඝනය කොට සිදුකර තිබෙන “තරයේම දන්ඩනීය”‍ පියවරක් වන බවයි.

Share this article: