ඔස්ට්‍රේලියාවේ සසප ජුලියන් අසාන්ජ් අත්අඬංඟුවට ගැනීම හෙලා දකී

SEP (Australia) condemns the arrest of Julian Assange

සසප දේශපාලන කමිටුව විසිනි , 2019 අප්‍රේල් 11

විකිලීස් ප්‍රකාශක ජුලියන් අසාන්ජ්ට දී තිබුන දේශපාලන රැකවරනය ඉවත්කිරීමට ඉක්වදෝරියානු ආන්ඩුව ගෙන ඇති තීරනය සමාජවාදී සමානතා පක්ෂය (ඔස්ට්‍රේලියාව) තරයේ හෙලාදකී. එය වනාහි, වචනානුසාරයෙන්ම ඔහු අත්අඬංඟුවට ගැනීම සඳහා බ්‍රිතාන්‍ය පොලිසියට අවස්ථාව සලසා දීමකි.

බ්‍රිතාන්‍යය අසාන්ජ්ට එරෙහිව ඇප කොන්දේසි කඩකිරීම පිලිබඳව ගොතන ලද චෝදනා ද ඔහු පිටුවාහල් කරන ලෙසට ට්‍රම්ප් ආන්ඩුව කර ඇති ඉල්ලීම පරිදි ද කටයුතු කරනු ඇත. එක්සත් ජනපදය විකිලීක්ස් හි නීත්‍යානුකූල ප්‍රකාශන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පිලිබඳව ඔහුට නඩු පැවරීමට සුදානම් වෙයි.

අසාන්ජ් නැවත නැවතත් “ජාත්‍යන්තර ගිවිසුම් හා දෛනික ජීවිතයේ ක්‍රියා පටිපාටීන්” උල්ලංඝනය කර ඇති බවට ඉක්වදෝරියානු ජනාධිපති ලෙනින් මොරිනෝ කර ඇති ප්‍රකාශ පැහැදිලි මුසාවන්ය. ඇමරිකාවට පිටුවාහල් කිරීමට ඉඩ සලසමින් අසාන්ජ් බ්‍රිතාන්‍ය බලධාරීන් වෙත බාරදීමට ගෙන තිබෙන තීන්දුව, ජාත්‍යන්තර නීතිය හා ප්‍රජාතන්ත්‍රීය අයිතීන් අමු අමුවේම උල්ලංඝනය කිරීමකි. මොරිනෝ හා ඔහුගේ ආන්ඩුව, එක්සත් ජනපද හා බ්‍රිතාන්‍ය රූකඩයින් ලෙස ඉතිහාසය හමුවේ හෙලාදැකීමට ලක්වනු ඇත.

අසාන්ජ් දැන් බරපතල අනතුරකට පාත්‍රව සිටී. ඔහු එක්සත් ජනපදයට බාරදෙන ලෙසට ට්‍රම්ප් ආන්ඩුව කරන බලකිරීම හමුවේ ඔහුට විරුද්ධව ගොතන ලද චෝදනා යටතේ නඩු පවරා බරපතල සිර දඩුවම් හෝ මරනීය දන්ඩනය පවා පැනවිය හැකිය. අසාන්ජ් සිදුකල එකම “අපරාධය” නම් එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ යුද අපරාධ හා රාජ්‍ය තාන්ත්‍රික කුමන්ත්‍රන ලෝකය හමුවේ හෙලිදරව් කිරීමය.

අසාන්ජ් හා විකිලීක්ස් නිහඬ කිරීමේ දැවැන්ත ජාත්‍යන්තර කුමන්ත්‍රනයේ හරි මැද සිටින්නේ එක්සත් ජනපදයයි. එක් පුද්ගලයෙකු අල්ලා ගැනීමට වොෂින්ටනය දැවැන්ත සම්පත් වැයකර ඇතැයි යන කාරනය අනතුරු අඟවන්නේ, පලිගැනීමට එය කෙතරම් තරයේ අධිෂ්ටානවත්ව සිටින්නේ ද යන්න පමනක් නොවේ. තවත් අපරාධ කිරීම සඳහා සූදානම් වන එය ඊට එරෙහිව කුමන හෝ ස්වාධීන හඬක් නැගීම මැඩපැවැත්වීමට ලැහැස්ති වෙයි.

වහාම විකිලීක්ස් ප්‍රකාශකයා නිදහස් කල යුතු යයි බ්‍රිතාන්‍ය ආන්ඩුවට බලකිරීමේ ක්‍රියාවන් සංවිධානය කරන ලෙස සසප ලොව පුරා සිටින කම්කරුවන්ට හා තරුනයන්ට කියා සිටී. කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රීය හා සමාජ අයිතීන් ආරක්ෂාකර ගැනීමේ ද යුද්ධය කරා වන ඇමරිකාවේ තල්ලුවට විරුද්ධ වීමේ ද පුලුල් අරගලය සමඟ ජූලියන් අසාන්ජ් ආරක්ෂා කිරීම සටන බැඳී ඇත.

ඔස්ට්‍රේලියාවේ විදේශ ඇමති මාරිස් පේන් තරයේම වංචනික ප්‍රකාශයක් නිකුත් කර ඇත. එමඟින් ඇය පවසන්නේ තමන් බ්‍රිතාන්‍ය පොලිසිය හා අධිකරන ක්‍රමය පිලිබඳව විශ්වාසය තබන බවයි. ලේබර් හා සභාග ආන්ඩු, ඔස්ට්‍රේලියානු පුරවැසියෙක් ලෙස අසාන්ජ්ට හිමිවිය යුතු නීතිමය රැකවරනය ලබාදීමේ වගකීම පැහැරහැර ඇත. ඔවුන් සියල්ලන්ගේම චරියාව සාරාංශගත කලේ, ලේබර් අගමැති ජූලියා ගිලාඞ් විසිනි. ඇය ප්‍රසිද්ධියේම විකිලීක්ස් සාපරාධී සංවිධානයක් ලෙස හංවඩු ගැසුවාය.

අසාන්ජ් එක්සත් ජනපදයේ උසාවි වෙත දැක්කීම සඳහා ට්‍රම්ප් ආන්ඩුව සමඟ ඇති සම්බන්ධතාවය ඔස්ට්‍රේලියානු ආන්ඩුව විසින් නතර කලයුතුබව සසප කියා සිටී.

ඔස්ට්‍රේලියානු ආන්ඩුව අසාන් ආරක්ෂා කිරීමට වහාම පියවර ගතයුතු බවට බලකරන රැස්වීම් අප විසින් අප්‍රේල් 12දා සවස 1ට සිඞ්නි නුවර මාටින් ප්ලේස්හි ඇම්ෆිශාලාවේ ද මෙල්බර්න්හි වික්ටෝරියානු රාජ්‍ය පුස්තකාලය අසල ද පවත්වන්නෙමු. කම්කරුවන්ගෙන් ද තරුනයින්ගෙන් ද ප්‍රජාතන්ත්‍රීය අයිතීන් ආරක්ෂා කරන්නන්ගෙන් ද එම රැස්වීම්වලට සහභාගීවන ලෙස අපි ඉල්ලා සිටිමු.

Share this article: