රබර් කම්හල වසා දැමීමට විරුද්ධව බුලත්සිංහල වතු කම්කරවෝ උද්ඝෝෂනය කරති

දිල්රුවන් විතානගේ සහ කේ.එල්. විලියම් විසිනි, 2019 අප්‍රේල් 17

කලුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල නගරයට ආසන්නව පිහිටි රබර් වතුයායක් වන මිරිස්හේන වත්ත සහ එහි කම්හල වසා දැමීමේ තීරනයකට එරෙහිව වතු කම්කරුවන් සහ ප්‍රදේශවාසින් ඇතුලු දහසකට ආසන්න පිරිසක් පසුගිය සතියේ දින තුනක අඛන්ඩ උද්ඝෝෂනයන්හි නිරත වූහ.

මෙම උද්ඝෝෂන කැඳවනු ලැබුවේ පාලක එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ වෘත්තීය සමිති කිහිපයක් විසිනි. සමාගමේ පාලකයන්ගේ ව්‍යාජ පොරොන්දු මත වෘත්තිය සමිති මේ වන විට උද්ඝෝෂන නවතා දමා ඇතත් කම්කරුවන් අතර වෛරය කැකෑරෙමින් පවතියි.

හොරන ප්ලාන්ටේෂන් සමාගමට අයත් අක්කර 1200 ක පමන වපසරියකින් යුත් මෙම වතුයායේ ක්‍රේප් රබර් නිපදවයි. දිනකට අවම වශයෙන් රබර් කිලෝ 800ක් අවශ්‍ය බවත්, එම ධාරිතාව නොලැබුන හොත් රබර් කම්හල පවත්වාගෙන යාම පාඩු සහගත බවත් පවසමින් කම්හල වසා දැමීමට සැරසෙන බව කම්කරවෝ ප්‍රකාශ කලහ. එසේ වුවද සමාගමේ වෙබ් අඩවියේ සඳහන් වන්නේ මිරිස්හේන වතූයායේ දෛනික ධාරිතාව දිනකට කිලෝ 480ක් සහ වාර්ෂිකව කිලෝ 175,000ක් බවය.

පවතින වියලි කාලගුනික තත්ත්වය සහ පාම් ඔයිල් නිපදවීම සඳහා කරගෙන යන කටුපොල් වගාව රබර් කිරි ඵලදාව පහත වැටීමට හේතු වී ඇති බවත් දිනකට කිලෝ 800 ක් යනු කිසිසේත්ම සපුරාලිය නොහැකි ඉලක්කයක් බවත් බොහෝ කම්කරවෝ සඳහන් කලහ.

මැදිවියේ පසුවන කම්කරුවෙක් තමන් මුහුන දෙන දුෂ්කර ජීවන කොන්දේසි මෙලෙස විස්තර කලේය. “අපි පාන්දර 4 ට විතර කිරි කපන්න වත්තට යන්න ඕනේ. උදේ 11.30 විතර වෙද්දි කිරි කපලා ඉවර වෙනවා. දවසකට ගෙවන්නේ රු.700යි. එතකොට මුලු මාසෙටම අතට එන්නේ රුපියල් 9000 ක් වගේ. ඒක මදි නිසා හවසට කුලී වැඩ කරනවා. ෆැක්ටරියෙන් පොඩි ටෝච් එකක් විතරක් දීලා තියනවා පාන්දරට යද්දි දාගෙන යන්න. වත්තෙදී අනතුරක් වුනොත් හරි සර්පයෙක් දෂ්ට කරොත් හරි එගොල්ලෝ වග කියන්නේ නෑ.” කිරි කැඩීමට යාමේදී කූඩැල්ලන්, සර්ප දෂ්ට කිරීම් මෙන්ම වල්ඌරන්ගේ ප්‍රහාර වලට ලක් වීම සුලභ දෙයක් බවත්, ඔහු ප්‍රකාශ කලේය.

කලුතර දිස්ත්‍රික්කයේ හොරන, ඉංගිරිය මතුගම, බුලත්සිංහල ආදී ප්‍රදේශ වල පාම් ඔයිල් වගාව විශාල වශයෙන් ව්‍යාප්ත වෙමින් පවතියි. මෙම වතුයායේද රබර් වතු වලට යාබදව කටුපොල් වගා කොට ඇති අයුරු දැක ගත හැකිය. මෙම තත්ත්වය යටතේ රබර් වගාවේ නිරත වූ කම්කරුවන්ට පාම් ඔයිල් වගාවේ නිරතවීමට බල කෙරී ඇත. මේ නිසා කම්කරුවන් දැඩි දුෂ්කරතාවන්ට මුහුන දෙන බව සසිකුමාර් නම් තරුන කම්කරුවෙක් ප්‍රකාශ කලේය. ඔහු තවදුරටත් කියා සිටියේ දිනකට කිලෝ 800 ක් අවශ්‍යය යන කඩතුරාව යටතේ රබර් ගස් විනාශ කොට ලාභදායී කටුපොල් වගාවට මාරුවීම සමාගමේ සැබෑ අරමුන බව යි.

කටුපොල් වගාවේ නිරත වන කම්කරුවන් දරුනු සීරීම් තුවාලවලට ගොදුරු වන බැවින් කටුපොල් වගාවේ යෙදීම ඉතා අසීරු බව ඔහු සඳහන් කලේය. “එක දවසක් කටුපොල් කඩන්න ගියොත් කටු ඇනිලා තුවාල වෙලා සතියක් විතර ගෙදර ඉන්න වෙනව. එයාලා අපිට ආරක්ෂක ඇඳුම් මොකක්වත් දීලා නෑ, තුවාල වලට බෙහෙත් ගන්නවත් කීයක් වත් දෙන්නෙ නෑ, බුලත්සිංහල නගරයේ තියන රෝහලට ගිහින් තමයි බෙහෙත් දාගන්නේ.” කටුපොල් කැඩීමේ නිරත වීම නිසා දරුනු තුවාල වලට ලක් වූ කම්කරුවන් ආබාධිතව විරැකියාවෙන් දිවි ගෙවන බව ඔහු කීය.

රබර් නිෂ්පාදනය දිගින් දිගටම අලාභ ලබමින් පවතින බව සමාගමේ 2017/18 වසර සඳහා වාර්ෂික වාර්තාවේ දැක්වෙයි. වාර්තාවට අනුව 2018 වසරේ මාර්තු 31 න් අවසන් වූ වසර තුල රබර් නිෂ්පාදනයේ ශුද්ධ අලාභය රුපියල් මිලියන 35 කි. පෙර වසරේ රුපියල් මිලියන 9 ක අලාභයට සාපේක්ෂව මෙය විශාල ඛාදනයකි. එමෙන්ම සමාගම පෙර වසරේ රබර් කිලෝ මිලියන 1ක් නිපදවුවද 2018 වසරේ එය කිලෝ 833,000ක් දක්වා පහත වැටී ඇත.

රබර් නිෂ්පාදනය පහත වැටීමට ගංවතුර, නියඟය ඇතුලු අනපේක්ෂිත කාලගුනික වෙනස් වීම් බලපාන බවත් එම වාර්තාවේ දැක්වෙයි. මෙම තත්ත්වය තුල 2013 වසරේදී සමාගමේ “ව්‍යාපාරික මොඩලයේ වෙනසක් සනිටුහන් කරමින්” සාම්ප්‍රදායික වගාවන් වෙනුවට පාම් ඔයිල් ද ඇතුලු වානිජ වටිනාකමකින් යුත් වගාවන් සඳහා සිය නිෂ්පාදන පදනම මාරු කල බව වාර්තාවේ දැක්වෙයි.

එමෙන්ම විවිධ පාර්ශ්වයන්ගෙන් එල්ල වුනු විරෝධය හමුවේ පාම් ඔයිල් වෙත මාරුවීම නිසියාකාරව ඉටු කර ගැනීමට නොහැකි වූවද පාම් ඔයිල් “ඉතාමත් සාර්ථක” අංශයක් වනු ඇති බවත් වාර්තාව පෙන්වා දෙයි.

මිරිස්හේන රබර් කම්හල වසා දැමීමේ උත්සාහයද සමාගමේ පුලුල් ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිලිවෙලක කොටසක් බව මෙමගින් මනාව පැහැදිලි වෙයි.

කම්හල වසා දැමීමට විරුද්ධව සහ සමාගමේ දරුනු සූරාකෑමේ කොන්දේසි සම්බන්ධව බොහෝ කම්කරවෝ දැඩි ආවේගයෙන් යුතුව කතා කලහ. රබර් කිරි වලට අමතරව, රබර් කිරි ආශ්‍රිත අතුරු නිෂ්පාදනයක් වන “ඔට්ටපාලු” නමින් හැඳින්වෙන ද්‍රව්‍යය එකතු කොට කම්හලට ලබා දීම කම්කරුවන්ගේ වගකීමකි. “ඔට්ටපාලු” කිලෝ එකක් සඳහා ගෙවනු ලබන්නේ රුපියල් 10ක් වැනි සුලු මුදලක් බව එක් කාන්තා කම්කරුවෙකු ප්‍රකාශ කලේ දැඩි පිලිකුලෙන් යුතුවය.

රැකියාව අතරතුරදී තමන්ට පරුෂ වචනයෙන් බැන වැදුනු වතුපාලකයෙකු සමග ඇතිවූ බහින්බස් වීමක් කායික ගැටුමක් දක්වා වර්ධනය වී අවසානයේ රැකියාව අත්හැර දැමීමට සිදුවූ බවත්, තරුන කම්කරුවන් බොහොමයක් එලෙස පරුෂ වචන වලින් බැන වදින පාලකයන් සමග ගැටුම් ඇති කරගෙන රැකියාවලින් ඉවත් වන බවත් ඇය ප්‍රකාශ කලාය.

ලෝක සමාජවාදී වෙබ් අඩවි (ලෝසවෙඅ) වාර්තාකරුවන් විසින් බෙදා හරින ලද පත්‍රිකා බොහෝ කම්කරුවෝ උනන්දුවෙන් කියවූහ. ජේසීලන් නැමැති වයෝවෘද්ධ පිරිමි කම්කරුවෙක් සමාගමේ අසාධාරන සේවා කොන්දේසි මෙලෙස විස්තර කලේය. “අසනීප වෙලා හරි මල ගෙයක් වෙලා හරි දවස් තුනක් එක දිගට වැඩට නාවොත් එයාලා වැඩ දෙන්න බෑ, මෙඩිකල් අරන් එන්න කියනවා.” කම්හල වසා දැමුවහොත් තමන්ද ඇතුලු විශාල පිරිසක් ආගාධයකට ඇද වැටෙන බව ඔහු කීය. “මේ ෆැක්ටරිය වහලා දැම්මොත් අපි ජීවත් වෙන්නේ කොහොමද, අපි පරම්පරා ගානක් තිස්සේ මේ රස්සාවෙන් තමයි ජීවත් වෙන්නේ.”

මැදිවියේ පසුවන තවත් කම්කරුවෙකු සඳහන් කලේ වාසය කිරීමට සුදුසු නිවාස නොමැති කම විශාල ගැටලුවක් බවයි. “පර්චස් පහේ පොඩි ලයින් කාමරයක පවුල් 5 ක් විතර ජීවත් වෙනවා, එක ගෙයක පොඩි ලමයිත් එක්ක පහලොස් දෙනෙක් විතර ඉන්නවා, ඒත් කාමර දෙකයි තියෙන්නේ. ඒ වුනාට ගෙවල් තියනවා නිකං වහල දාල, වත්තේ වැඩට නැති අයට ඒ ගෙවල් දෙන්නේ නෑ.”

තවද රැකියාව තුලදී ආබාධයන්ට ලක් වූ කම්කරුවන්ට කිසිදු වන්දි මුදලක් ලබා නොදෙන සමාගම තමන්ට හිමි ඊපීඑෆ් සහ ඊටීඑෆ් මුදල් නිසි පරිදි ලබා නොදුන් බවද ඇතැම් කම්කරවෝ චෝදනා කලහ.

සමාගමේ සේවක සංඛ්‍යාව පසුගිය වසරේ 6,477ක සිට 5,825ක් දක්වා පහත වැටී ඇත. එක් සේවකයෙක් සඳහා වාර්ෂික වියදම පසුගිය වසරේ රුපියල් 199,064ට සාපේක්ෂව මෙම වසරේදී රුපියල් 238,047ක් බව වාර්ෂික වාර්තාවේ සඳහන්වේ. 2018 වසරේ මාර්තු වන විට සමාගමේ මුලු මෙහෙයුම් වියදම් වලින් සියයට 70ක් පමන වැටුප් හා දීමනා වලට වෙන් වූ බව පවසයි. මෙයින් පෙන්නුම් කෙරෙන්නේ තවදුරටත් කම්කරුවන් මත දරුනු සූරාකෑමේ කොන්දේසි පැටවීම සඳහා වන සමාගමේ උත්සුකයයි.

මෙම තත්ත්වය එක් ප්‍රදේශයකට සීමා වූවක් නොවන බවත්, ලංකාවේ මෙන්ම ලොව පුරාම කම්කරු පන්තිය මුහුන දෙන්නේ මෙවැනිම කොන්දේසි වලට බවත් ලෝසවෙඅ වාර්තාකරුවන් පැහැදිලි කලහ.

ශ්‍රී ලංකාවේ වතු කම්කරු අරගලයද ඇතුලුව තම අයිතීන් සඳහා සටන් කිරීමට ලෝකයේ සෑම තැනකම කම්කරුවන් ඉදිරියට එමින් පවතින බවට කල පැහැදිලි කිරීම් වලට ඔවුහු සාවධානව ඇහුන්කන් දුන්හ. කම්හල වසා දැමීම නතර කොට තම රැකියා ආරක්ෂා කර ගැනීමට මෙන්ම, ප්‍රමානවත් වැටුපක් සහ යහපත් ජීවන තත්වයක් ලඟා කර ගැනීමට නම්, ධනපති පන්ති පාලනය පෙරලා දමා ජාත්‍යන්තර සමාජවාදයේ පදනම මත සමස්ත ආර්ථිකය ප්‍රතිසංවිධානය කරගතයුතු බව පැහැදිලි කලවිට කම්කරුවන් ගෙන් ලැබුනේ උනුසුම් ප්‍රතිචාරයකි. ඒ සඳහා කම්කරු පන්තිය විසින් නායකත්වය දෙන දේශපාලන සටනක අත්‍යවශ්‍යභාවය ලෝසවෙඅ වාර්තාකරුවෝ පෙන්වා දුන්හ.

වෘත්තීය සමිති වල දේ‍රා්හී ක්‍රියා කලාපය ගැන කම්කරුවෝ තම නොසතුට පල කලහ. රුපියල් 1000 ක දෛනික වැටුපක් සඳහා වතු කම්කරුවන් ගෙනගිය අරගලයේදී මෙන්ම සෑම තැනකදීම වෘත්තීය සමිති ධනපතියන් සමඟ හවුල් වෙමින් කම්කරුවන්ගේ ඉල්ලීම් පාවාදීමට කටයුතු කරන ආකාරය පැහැදිලි කල විට එක් කම්කරුවෙක් මෙසේ කීවේය: “අපේ සමිති නායකයො හැමදාම චන්දෙ කාලෙට ඇවිල්ලා අරයට මෙයාට චන්දෙ දෙන්න කියලා අපිව රවට්ටනවා විතරයි. ඊට පස්සේ හොයා ගන්නවත් නෑ. ඕගොල්ලෝ මැදිහත් වෙලා මේ මිනිස්සුන්ට මේවා තේරුම් කරලා දෙන්න ඕනේ.” එමෙන්ම තම අරගලය ඉදිරියට ගෙන යාමට මග පෙන්වීම සඳහා රැස්වීමක් සංවිධානය කරන ලෙසද කම්කරුවෝ ඉල්ලා සිටියහ.

Share this article: