“හෙට දින යුද්ධයට” සූදානම් වෙමින් ඉන්දියාව චන්ද්‍රිකාවක් වෙඩි තබා බිම හෙලයි

Preparing for —tomorrow’s wars"˜ India shoots down satellite

දීපාල් ජයසේකර විසිනි, 2019 අප්‍රේල් 1

චන්ද්‍රිකාවක් වෙඩි තබා බිම හෙලා ඇති හතරවන රට බවට ඉන්දියාව පත්ව ඇතැයි උදම් ඇනීමට මාර්තු 27දා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි “ජාතිය අමතමින්” විශේෂ කතාවක් කලේ ය.

පෘථිවියේ පහල කක්ෂයේ දී ඉන්දියානු චන්ද්‍රි කාවක් වෙඩි තබා බිම හෙලීමට දේශීය ව වර්ධනය කල මිසයිලයක් යොදාගැනීමට ආරක්ෂක පර්යේෂන හා සංවර්ධන සංවිධානය (ඩීආර්ඩීඕ) සමත් වීම, “ඉදිරි පරම්පරාවන් කෙරෙහි ඓතිහාසික බලපෑමක් ඇති කරනු” ඇතැයි මෝදි කියා සිටියේ ය. රූපවාහිනිය, රේඩියෝව හා සමාජ මාධ්‍ය හරහා විකාශනය කල කතාවේ දී “අපි දැන් අභ්‍යාවකාශ බලයක්” යි මෝදි මොර දුන්නේ ය.

ඉන්දියාවේ “අභ්‍යාවකාශ යුද්ධ” හැකියාව ප්‍රදර්ශනය කිරීමට මෝදි නියෝග කිරීම හා ඉන්පසුව ජාතිය අමතා කල කතාවක දී පරීක්ෂනයේ සාර්ථකත්වය අතිශයෝක්තියට නැංවීම, මූලෝපායික හා ක්ෂනික මැතිවරන යන දෙකම සැලකිල්ලට ගෙන කරනු ලබයි.

1971 ඉන්දු-පකිස්තාන යුද්ධයෙන් පසු ප්‍රථම වතාවට පකිස්තානය ඇතුලතට පහර දීමට මෝදි නියෝග කිරීමෙන් පසුව පෙබරවාරි අවසාන භාගයේ ඉන්දියාව පකිස්තානය සමග මහා පරිමාන යුද්ධයක් අද්දරට ම පැමිනියේ ය.

පකිස්තානයේ අභ්‍යාවකාශ පිලිබඳ නිරීක්ෂන හා සන්නිවේදන චන්ද්‍රිකාවන් ඉවත් කිරීම මගින් එරට “අන්ධ කිරීමේ” විභවය නව දිල්ලිය විසින් ප්‍රදර්ශනය කිරීමේ නිශ්චිත අභිප්‍රාය වූයේ, ඉස්ලාමාබාදය බියවැද්දීම යි. එහෙත් පසුගිය සතියේ ප්‍රති-චන්ද්‍රිකා මිසයිල පරීක්ෂනයේ ප්‍රථම හා ප්‍රමුඛ ඉලක්කය වූයේ, එක්සත් ජනපදය හා රුසියාව හැරුනු විට චන්ද්‍රිකාවක් වෙඩි තබා බිම හෙලා ඇති එකම රට වන චීනය යි.

ආසියාව පුරා චීනයේ ආර්ථික හා මූලෝපායික බලය වර්ධනය වීමට විරුද්ධ ව, මෝදිගේ භාරතීය ජනතා පක්ෂය (බීජේපී) හෝ කොංග්‍රස් පක්ෂය විසින් නායකත්වය දෙන ඉන්දියානු ධනේශ්වරයේ මහා බල අභිලාෂයන් ලුහුබඳින නව දිල්ලියේ අනුප්‍රාප්තික ආන්ඩු, වොෂින්ටනය සමග ඉන්දියාව පෙලගස්වා ඇත්තේ න්‍යෂ්ටික ආයුධ, භූමියේ, ගුවනේ හා දිය යට සිට ක්‍රියාත්මක කල හැකි න්‍යෂ්ටික “ත්‍රිකයක්” වර්ධනය කරමින් බීජිනය “වැලැක්වීමේ” ප්‍රකාශිත ඉලක්කය සහිත ව ය.

අප්‍රේල්-මැයි මාසවල දී අදියර කිහිපයකින් පැවැත්වෙන මහ මැතිවරනයෙහි බීජේපී උද්ඝෝෂනයේ ප්‍රධාන අංශයක් වන්නේ, විශේෂයෙන් ම න්‍යෂ්ටික බලවතෙකු වන නව දිල්ලියේ පරම හතුරා වන පකිස්තානයට එරෙහි ව ඉන්දියාවේ අවශ්‍යතා ආක්‍රමනශීලී ලෙස ක්‍රියාවට නැඟීමට සූදානම් “ශක්තිමත් පුද්ගලයෙකු” ලෙස මෝදි හුවාදැක්වීම යි.

සාර්ථක ප්‍රති-චන්ද්‍රිකා මිසයිල පරීක්ෂනය නිවේදනය කිරීම සඳහා ඉන්දියාවේ ගුවන් තරංග මෙහෙයවීම, බීජේපීයේ දක්ෂිනාංශික හින්දු ප්‍රජාගනවාදී වාර්ගික පදනම බලමුලුගන්වා ගැනීමේ සහ ඉන්දියාවේ කම්කරුවන් හා පීඩිතයන් අතර වැඩෙන සමාජ කෝපය ප්‍රතිගාමී මාවත් ඔස්සේ හරවා යැවීමේ ඉලක්ක දෙක ම සහිත ව ඉන්දියාවේ මිලිටරි ශූරත්වය සමග මෝදි අනන්‍ය කිරීමේ ලජ්ජා විරහිත උත්සාහයකි.

හතුරන්ගේ චන්ද්‍රිකා බිම හෙලීමට ඉන්දියාවට ඇති හැකියාව පිලිබඳ ව ජාතිය අමතා කල කතාවේ දී උදම් අනද්දී පවා, ඉන්දියාවේ අභිප්‍රායන් මුලුමනින් සාමකාමී බව ද මාර්තු 27 පරීක්ෂනය කිසිදු රටකට එරෙහි ව එල්ල නො කල බව ද මෝදි කියා සිටියේ ය. ඊට පසුව නිකුත් කල විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශයක්, ඉන්දියාව “බාහිර අවකාශය මිලිටරීකරනයට විරුද්ධ හා අභ්‍යාවකාශ වත්කම්වල පරෙස්සම හා ආරක්ෂාව තහවුරු කිරීමට දරන ජාත්‍යන්තර උත්සාහයන්ට සහයෝගය දෙන” බව අවධාරනය කලේ ය.

එහෙත් මෝදිගේ කතාවෙන් යන්තම් පැය කිහිපයකට පසුව පැවති මාධ්‍ය හමුවකදී ආරක්ෂක ඇමති නිර්මල සීතාරාමන් සමග පෙනී සිටි මුදල් ඇමති අරුන් ජායිට්ලි වඩා සෘජු ලෙස ප්‍රකාශ කලේ, ඉන්දියාව “හෙට දින යුද්ධවලට” සූදානම් විය යුතු බව ය.

“හෙට දින යුද්ධ ඊයේ යුද්ධ මෙන් නො වන බව අප මතක තබාගත යුතු යි. සාම්ප්‍රදායික යුද හමුදාව, නාවික හමුදාව, සයිබර් අවකාශය හා අභ්‍යාවකාශය...අපි මේ සියල්ලට සූදානම් විය යුතු යි. අපගේ විශාලතම ආරක්ෂාව හා අපගේ සූදානම වන භූ-දේශපාලන තත්ත්වයක් සහිත ලෝකයක යි අප සිටින්නේ” යි ජායිට්ලි කීවේ ය.

ජායිට්ලිගේ අදහස් පිලිබඳ සිය වාර්තාවේ දී ඉන්දියන් එක්ස්ප්‍රස් පත්‍ර ය, අභ්‍යාවකාශයේදී “විනාශ කිරීමේ බලය” ඉන්දියාව විසින් ප්‍රදර්ශනය කිරීම එහි ජාත්‍යන්තර පෞරුෂයට සහාය දෙමින් අභ්‍යාවකාශය පාලනය කරන නීති නිශ්චය කරන රාජ්‍යයන්ගේ “විශිෂ්ට සමාජය” තුල නව දිල්ලිය සිටීම තහවුරු කරනු ඇති බව ආන්ඩුවේ මූලාශ්‍රයක අවධාරනය කල බව සඳහන් කලේ ය.

චන්ද්‍රිකාව බිම හෙලීම දැනට මත් ජාතිකවාදී යුදවාදය උලුප්පමින් ඇති, සිත වික්ෂිප්ත කරන මැතිවරන කතාවක් තුලට මෝදි දැන් ඇතුලු කර ඇත. මාර්තු 28දා උත්තර් ප්‍රදේශ්හි පැවති මැතිවරන රැලියක් ඇමතූ මෝදි, 2016 සැප්තැම්බරයේ දේශසීමා හරහා ගොස් පකිස්තානයට පහර දීමට හා පෙබරවාරියේ එරටට බෝම්බ හෙලීමට නියෝග කිරීම මගින් තම ආන්ඩුව “භූමිය, අහස හා අභ්‍යාවකාශය” යන සෑම අංශයකින් ම “ක්ෂනික ප්‍රහාර” එල්ල කිරීමට ඇති නිර්භීත භාවය පෙන්වා ඇතැයි උදම් ඇනුවේ ය. මැතිවරනය වනාහි “තීරනාත්මක ආන්ඩුවක් හා අතීරනාත්මක අතීතයක්” අතර තරඟයක් බවට පත්ව ඇතැයි ප්‍රකාශ කිරීම දක්වා ඔහු ඉදිරියට ගියේ ය.

කොංග්‍රසයේ පටන් ප්‍රාදේශීය හා කුලවාදී පක්ෂ සහ ස්ටැලින්වාදී ඉන්දීය මාක්ස්වාදී කොමියුනිස්ට් පක්ෂය (සීපීඑම්) දක්වා සියලු විරුද්ධ පක්ෂ, පසුගිය සතියේ මිසයිල පරීක්ෂනය සමග අත්වැල් බැඳගත් ඉන්දීය ප්‍රභූවේ ප්‍රතිගාමී භූ-දේශපාලනික අභිලාෂයන්ට සහයෝගය පලකර ඇත්තේ එය මැතිවරන වාසි සඳහා යොදාගැනීම ගැන මෝදි විවේචනය කරන අතරතුරේ ය. මෙය පෙබරවාරි 26 ගුවන් ප්‍රහාරයේ දී ඔවුන් ගත් ආස්ථානය ම ය: එනම්, ප්‍රහාරයට සහයෝගය දෙන අතරතුර එය “දේශපාලනීකරනය” කිරීම පිලිබඳ ව මෝදි විවේචනයට ලක්කිරීම යි.

පරීක්ෂනයේ සාර්ථකත්වය පිලිබඳව ඩීආර්ඩීඕවට හා ඉන්දීය අභ්‍යාවකාශ පර්යේෂන සංවිධානයට (අයිඑස්ආර්ඕ) සුභ පතමින් කොංග්‍රස් පක්ෂ සභාපති රාහුල් ගාන්ධි ට්විටර් පනිවුඩයක් නිකුත් කලේ මෝදිට හාස්‍යජනක ලෙස “සන්තෝෂජනක ලෝක රඟහල් දිනයකට” ප්‍රාර්ථනා ගෙන එන අතර ය. “අද දින පල දරා ඇති (ප්‍රති-චන්ද්‍රිකා) ඒඑස්ඒටී වැඩසටහන ආරම්භ කර තිබුනේ” කොංග්‍රසය නායකත්වය දුන් පූර්ව එක්සත් ප්‍රගතිශීලී සන්ධාන ආන්ඩුව බව ජ්‍යෙෂ්ට කොංග්‍රස් නායක අහමඞ් පටෙල් ට්විටර් පනිවුඩයක සඳහන් කලේ ය.

මැතිවරන උද්ඝෝෂනවල දී බලාත්මක වන ආදර්ශ චර්යා සංග්‍රහය මෝදිගේ රූපවාහිනී කතාව මඟින් උල්ලංඝනය කල බවට මැතිවරන කොමිසමට ලිපියක් යවමින් සීපීඑම් ප්‍රධාන ලේකම් සීතාරාම් යෙචුරි කනිපින්දම් කීවේ ය. “එවැනි මෙහෙයුමක් සාමාන්‍යයෙන් නිවේදනය කල යුත්තේ... ඩීආර්ඩීඕ වැනි අදාල විද්‍යාත්මක අධිකාරීන් විසින්” බවට යෙචුරි තර්ක කලේ ය.

බොහෝ අදහස් දැක්වීම් ඉන්දියාව මිලිටරි හැකියාවන් වර්ධනය කිරීම් මත තවදුර ආයෝජන කල යුතු යයි තර්ක කර ඇතත් මෙම පරීක්ෂනය ඉන්දියාවේ වැඩෙන මිලිටරි-තාක්ෂනික විදග්ධතාව සනාථ වීමක් යයි මාධ්‍ය විසින් පොදුවේ හුරේ දමා ඇත.

“අභ්‍යාවකාශ ආයුධ හැකියාවන් සෘජු ලෙස දිල්ලිය විසින් ප්‍රදර්ශනය කිරීම සාදරයෙන් පිලිගනිමු” යි සඳහන් කල ඉන්දියන් එක්ස්ප්‍රස් කතුවැකියක්, “එහෙත් එය ඉන්දියාවේ දේශපාලන අරමුනු හා බාහිර අවකාශීය තාක්ෂනික ඉලක්කයන් ද ඒවා ඉටුකර ගැනීමේ මූලෝපාය ද හඳුනා ගන්නා පැහැදිලි ලෙස සැලසුම් කරන ලද මිලිටරිමය අභ්‍යාවකාශීය මූලධර්මයක කොටසක් විය යුතු”යි ලීවේ ය.

ඉන්දියාවේ ප්‍රති-චන්ද්‍රිකා මිසයිල පරීක්ෂනයට වොෂින්ටනය ප්‍රතිචාර දක්වා ඇත්තේ මිලිටරි අවකාශීය හැකියාවන් ඉන්දියාව විසින් වර්ධනය කිරීමට සහයෝගය පලකරමිනි. “අභ්‍යාවකාශයේ සුරක්ෂිතතාව හා ආරක්ෂාව පිලිබඳ සහයෝගිතාව ද ඇතුලු ව (ඉන්දියාව සමග) අභ්‍යාවකාශයේ සහ විද්‍යාත්මක හා කාර්මික සහයෝගීතාවේ දී බෙදා හදා ගත් අවශ්‍යතා අපි දිගට ම ලුහුබඳිමු” යි එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා වෙත කීවේ ය. වොෂින්ටනයේ එකම උත්සුකය වන්නේ ඉන්දියානු මිසයිල පරීක්ෂනය, අවකාශයට රොඩු බොඩු විශාල ප්‍රමානයක් මුදාහැර තිබීම ගැන යි.

චීනයට එරෙහි සිය මිලිටරි-මූලෝපායික ප්‍රහාරයට ඉන්දියාව ඇතුලත් කරගැනීමේ ඉලක්කය ඇති අනුප්‍රාප්තික ඩිමොක්‍රටික් හා රිපබ්ලිකන් පරිපාලනයන්, නව දිල්ලියට මූලෝපායික වාසි ලබා දී ඇත්තේ පකිස්තානය සමග දිල්ලියේ ගැටුමේ දී එය දිරිමත් කරමිනි. මෙම වාසි අතරට, ආයුධ වර්ධනය කිරීමේ තමන්ගේ ම න්‍යෂ්ටික වැඩසටහන මත නාභිගත වීමට නව දිල්ලියට ඉඩ ලබාදෙමින් ඉන්දියාවට, අභිවර්ධිත සිවිල් න්‍යෂ්ටික තාක්ෂනය හා ඉන්ධන හා එක්සත් ජනපදය සිය වඩාත් “විශ්වාසවන්ත” සගයන්ට අලෙවි කරන අභිවර්ධිත ආයුධ පද්ධති කරා ප්‍රවේශය ලබාදීම ඇතුලත් ය.

ඉන්දියාව මෙන්ම එක්සත් ජනපදය ද බාහිර අවකාශයේ මහා බල ගැටුම් සඳහා ආක්‍රමනශීලී ලෙස සූදානම් වෙමින් සිටී. එක්සත් ජනපද මිලිටරියේ හයවන ශාඛාව ලෙස “අභ්‍යාවකාශ හමුදාවක්” තමන් විසින් නිර්මානය කරමින් සිටින බව 2018 ජුනි මාසයේ ට්‍රම්ප් නිවේදනය කලේ ය.

ඉන්දීය ප්‍රති-චන්ද්‍රිකා මිසයිල පරීක්ෂනය “අභ්‍යාවකාශය මිලිටරීකරනය” දෙසට වන පියවරක් යයි ඉස්ලාමාබාදය විසින් හෙලා දැක තිබේ. පකිස්තානය සමග “සදාකාලික” මූලෝපායික හවුල්කාරීත්වයක් පවත්වාගෙන යතත්, වොෂින්ටනයේ මූලෝපායික වැලඳගැනීම තුල නව දිල්ලිය වැඩිදුරටත් තල්ලු කිරීම කෙරෙහි කනස්සලට පත්ව සිටින බීජිනයේ ප්‍රතිචාරය වඩා ප්‍රවේසම් සහගත එකකි. මාර්තු 27 පරීක්ෂනය ගැන සඳහන් කරමින් චීන විදේශ අමාත්‍යාංශයක් මෙසේ සඳහන් කලේ ය: “අදාල වාර්තා සැලකිල්ලට ගෙන ඇති අපි සියලු රටවල් බාහිර අවකාශයේ සාමය හා සංහිඳියාව පවත්වාගෙන යනු ඇතැයි බලාපොරොත්තු වෙමු.”

Share this article: