වැඩෙන ආතතීන් මැද නේටෝ ප්‍රධානියා, රුසියාව සමග ගැටුම එක්සත් ජනපද කොංග්‍රසය ඉදිරියේ දිගහරියි

Amid rising tensions, NATO chief pitches confrontation with Russia to US Congress

බිල් වෑන් ඕකන් විසිනි, 2019 අප්‍රේල් 4

එක්සත් ජනපදය මෙහෙය වන අධිරාජ්‍යවාදී සන්ධානයක නායකයෙකු වන නේටෝවේ ප්‍රධාන ලේකම් ජෙන්ස් ස්ටොල්ටෙන්බර්ග් එක්සත් ජනපද කොංග්‍රස් මන්ඩලයේ ඒකාබද්ධ සැසිවාරයකට ඉදිරිපත් කල එවන් පලමු කතාව, පසු ගිය බදදා පැවත් විය. නේටෝව ම ද කෑලිවලට ඉරා දැමීමට තර්ජනය කරන, පෙර නො වූ විරූ තරම් විශාල ගැඹුරු විවරයන් මතුව එන තතු හමුවේ ඔහු, රුසියාවට එරෙහි මිලිටරි තර කිරීම් පිලිබඳ අවශ්‍යතාව මතු කලේය.

රැස් වූ එක්සත් ජනපද සෙනේට් සභිකයන් හා කොංග්‍රස් මන්ඩල නියෝජිතයින් විසින් 18 වතාවක් හිටගෙන අත්පොලසන් නැගීමෙන් ස්ටොල්ටෙන්බර්ග්ගේ නීරස කතාවට බාධා කෙරුනි. තමා නව සීතල යුද්ධයක් ගැන බල කරමින් කථා නොකරන නමුත්, නේටෝ සන්ධානයේ කේන්ද්‍රීය අක්ෂය මොස්කෝව සමග මිලිටරි ගැටුමක් සඳහා සූදානම් වීම බව පැහැදිලි කලේ ය.

නේටෝවේ ප්‍රධාන ලේකම් ජෙන්ස් ස්ටොල්ටෙන්බර්ග් කොංග්‍රස් මන්ඩලය අමතයි [ ඡායාරූපය/ අනුග්‍රහය: සී-ස්පාන් , Photo Credit: C-Span]

“පලමු වතාවට අපි, ප්‍රහාරක යුද භටයින් අප සන්ධානයේ නැගෙනහිර (පෙරමුනේ) රැඳවූවා” යි ඔහු පැවසී ය.“අප අපගේ හමුදාවන්ගේ සූදානම වැඩි කර තියෙනවා, නේටෝ ප්‍රතික්‍රියා හමුදාවන්ගේ ප්‍රමානය තුන් ගුනයක් කලා, අපගේ අන දෙන ව්‍යූහය නවීකරනය කලා, අපගේ සයිබර් ආරක්ෂාවන් වැඩි කලා, එමෙන් ම ස්වාධීන ජාතීන් මෙන් ම තමන්ගේ ම මාවත තෝරා ගැනීමට අයිතියක් තියෙන, අපගේ කිට්ටු හවුල්කරුවන් වන ජෝර්ජියාව හා යුක්‍රේනයට දෙන සහයෝගය අපි වැඩි කරලා තියෙනවා.”

රුසියානු දේශසීමාව ආසන්නයේ ම සන්නද්ධ භටකායන් රෑඳවීම ගැන මෙම කයිවාරු ගැසීම කෙරුනේ, වොෂින්ටනයේ පැවත්වෙමින් තිබෙන නේටෝ විදේශ ඇමතිවරුන්ගේ සමුලුව කර් ච් සමූද්‍රසන්ධියට නේටෝ යුද නැව් පිටත් කර යැවීම සඳහා සැලැසුම් අනුමත කිරීමත් සමගිනි. කලු හා ඇසෝව් මුහුදු අතර මෙම පටු නාවික මාර්ගය, රුසියාව විසින් යුක්‍රේනියානු නැව් තුනක් හා නාවිකයන් දුසිම් දෙකක් පමන අල්ලා ගත්තා වූ සන්නද්ධ ගැටුමකින් අවසන් වූ, පසු ගිය නොවැම්බරයේ යුක්‍රේනයේ ප්‍රකෝපකරනයක රංග භූමිය විය.

“බෙහෙවින් ආක්‍රමනකාරී රුසියාවට බාධා කිරීමේ හැකියාව අපිට ඇති බව අපි සහතික කරමින් ඉන්නවා” යැයි එක්සත් ජනපද නේටෝ තානාපතිනී බේලි හචිසන් අඟහරුවාදා නේටෝ විදේශ ඇමතිවරුන්ගේ රැස්වීම අතරතුර වාර්තාකරුවන්ට පැවසූවා ය. එලඹෙන නේටෝ මැදිහත් වීම සැලැසුම් කෙරුනේ, “කර් ච් සමූද්‍ර සන්ධිය ඔස්සේ යුක්‍රේන නැව් වලට ආරක්ෂාකාරීව යාත්‍රා කල හැකි පටු නාවික මාර්ගයක් ඇති බව තහවුරු කිරීමට” යැයි ඇය පැවසුවා ය.

ක්‍රෙම්ලින ප්‍රකාශක ද්මිත්‍රි පෙස්කෝව් සැලැසුම්ගත ක්‍රියාව හෙලා දුටුවේ මෙසේ ප්‍රකාශ කරමිනි: “එය රිනාත්මකයි. ඔවුන් අදහස් කලේ කුමක්දැයි අපට තේරෙන්නේ නෑ. කර් ච් සමූද්‍රසන්ධිය හා නාවික කටුයුතු වටා තත්වය ප්‍රසිද්ධ කාරනයක් වන අතර එය, ජාත්‍යන්තර නීති සම්පාදනය හා ජාත්‍යන්තර නීතී සමග ගැලපෙනවා. රුසියාවේ ආස්ථානය බොහෝම ස්ථීරයි වගේම බොහෝ ප්‍රසිද්ධයි.”

ට්‍රම්ප් පාලනාධිකාරිය විසින් 1987 අන්තර්-මධ්‍ය-දුර න්‍යෂ්ටික බලයන් (අයිඑන්එෆ්) පිලිබඳ ගිවිසුම ඉරා දැමීමේ ක්‍රියාවට ස්ටොල්ටන්බර්ග් ද සහයෝගය දැක්වූයේ “නේටෝ මිතුරන් ද ඒ ගැන එක්සත් ජනපදයට දැඩි ලෙස සහාය දුන්නා” යයි සඳහන් කරමිනි. රුසියාව ගිවිසුම උල්ලංඝනය කර ඇතැ යි යන ඔප්පු නො කෙරුනු ප්‍රකාශ මත පදනම් ව යුක්ති සහගත කෙරුනු වොෂින්ටන් ක්‍රියාව, භයානක නව න්‍යෂ්ටික අවි තරඟයකට මාවත විවෘත කරයි.

ගිවිසුම සමග බැඳී නැති චීනය, “ආසියාවට හැරීමේ” ධජය යටතේ වොෂින්ටනය විසින් ගෙන යනු ලබන මිලිටරි වට කිරීම පිටු දැකීමට මිසයිල රඳවමින් සිටිතැ යි යන්න වොෂින්ටනයේ ක්‍රියාව සඳහා ප්‍රධාන පෙලැඹවීම වන බව එක්සත් ජනපද නිලධාරීන් පිලිගෙන ඇත.

එක් රුසියානු රූපවාහිනී ප්‍රකාශකයෙකු ස්ටොල්ටෙන්බර්ග්ගේ කතාව විස්තර කලේ, “රුසියාව තම දේශසීමා ඕනෑවට වඩා නේටෝවට කිට්ටුවෙන් තබා ඇතැ”යි යන උත්සුකයන් මත පදනම් වූ, “තර්ජන හා භීතිකාවන්ගේ හුරුපුරුදු මොඩලයක්” ලෙස ය.

නියෝජිත මන්ත්‍රී මන්ඩල කතානායක නැන්සි පෙලෝසි (ඩිමොක්‍රටික) ස්ටොල්ටන්බර්ග් සමග ඡායාරූපයකට පෙනී සිටි අතර, එහි දී ඇය කැපිටල් හි (කොංග්‍රස් මන්ඩලය තුල) නේටෝ ප්‍රධානියා පෙනී සිටීම “ප්‍රීතිමත් අවස්ථාවක්” වී යැයි සතුටින් ඉපිල ගිය අතර, “ලෝකය වඩා සාමකාමී තැනක් කිරීමේ දී නායකත්වය දීම” වෙනුවෙන් ඔහුට ස්තුති කලා ය.

නේටෝ ප්‍රධාන ලේකම්ට ඔල්වරසන් දීමේ දී ඩෙමොක්‍රටික් කොංග්‍රස් සභිකයන් ද ඉතාමත් උද්‍යෝගීමත් අය වූ අතර, ඔහු වෙනුවෙන් වූ ඔවුන්ගේ ප්‍රශංසාව පැහැදිලි ව පෙනුනේ රිපබ්ලිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට කෙරුනු තරවටුවක් ලෙස ය. ට්‍රම්ප් 2016 මැතිවරන උද්ඝෝෂනයේ දී නේටෝ සහචරයන් “යල් පිනූ” අය ලෙස විස්තර කල අතර, එක්සත් ජනපදයේ මිලිටරි ශක්තිය මත වාරු වෙමින්, යුරෝපීය සාමාජිකයන් වාසිය ගනිමින් සිටින්නේ, අසාධාරන වෙලඳ වාසි අත්පත් කර ගන්නා අතර යැයි ඔහු යලි යලිත් චෝදනා කර ඇත.

ඒ අතර ම, 2016 මැතිවරනය තුල මැදිහත් වූ බවට චෝදනා කරමින්, ක්‍රෙම්ලිනය සමග ට්‍රම්ප්ගේ “කුමන්ත්‍රනය” පිලිබඳ ඩෙමොක්‍රටිකයන්ගේ අවසානයක් නැති ප්‍රකාශ තහවුරු කිරීමට විශේෂ නීති උපදේශක රොබට් ම්‍යුලර්ගේ වාර්තාව අසමත් වීමත් සමග, ඩෙමොක්‍රටිකයන් ස්ටොල්ටන්බර්ග් වැලඳ ගැනීම්, රුසියාවට එරෙහිව ඊටත් වඩා ආක්‍රමනකාරී ප්‍රතිපත්තියක් සඳහා වන දක්ෂිනාංශික ඉල්ලීම් සමගින් ට්‍රම්ප්ට විරුද්ධත්වය දැක්වීමට පක්ෂය විසින් යොදනු ලබන තල්ලුවේ කොටසකි මෙය.

නේටෝව තුල වඩ වඩා කටුක බෙදීම් “ශක්තියේ සලකුනක්” හා “ප්‍රජාතන්ත්‍රවාදය” ලෙස මවා පෑමට ස්ටොල්ටන්බර්ග් උත්සාහ කල අතර, එක්සත් ජනපද උප ජනාධිපති මයික් පෙන්ස්, වොෂින්ටනයේ නේටෝ වාර්ෂික උත්සවයක දී, වොෂින්ටනයේ නියෝගයන්ට යටත් වනු, එසේ නැත්නම්.. යයි පවසමින් තුර්කියට හා ජර්මනියට අවසන් නිවේදනයක් නිකුත් කලේ ය

“ඉතිහාසයේ ඉතාමත් සාර්ථක මිලිටරි සන්ධානයේ තීරනාත්මන හවුල්කරුවෙකු ලෙස සිටීමට එයට අවශ්‍ය ද, නැත්නම් අපගේ මිත්‍රත්වයට වල කපන එවැනි ඔලමොට්ටල තීරන ගැනීමෙන් එම හවුල්කාරිත්වයේ ආරක්ෂාව අවදානමට ලක් කිරීමට එයට අවශ්‍ය ද යන්න තුර්කිය තෝරා ගත යුතු ය” පෙන්ස් පැවසී ය.

එක්සත් ජනපද උප ජනාධිපති පෙන්ස් සඳහන් කලේ, රුසියාවෙන් එස්- 400 මිසයිල පද්ධතියක් මිල දී ගැනීමට ඇන්කාරාව ගත් තීරනය ගැනය. එයට විරුද්ධව වොෂින්ටනය පලිගැනීමක් වශයෙන්, අනෙකුත් නේටෝ ජාතීන්ට සපයන එෆ්-35 ප්‍රහාරක ගුවන් යානා (තුර්කියට) සැපයීම නවතා දැමීය.

තුර්කි උප ජනාධිපති, ෆුආට් ඔක්ටේ පෙන්ස්ගේ අවසන් නිවේදනයට දැඩි ලෙස ප්‍රතිචාර දක්වමින් ට්වීටර් සටහනක් නිකුත් කලේය. “එක්සත් ජනපදයට තුර්කියේ මිතුරෙකු ලෙස සිටීමට අවශ්‍ය ද නැතහොත්, තම හතුරන්ට එරෙහි තම නේටෝ මිත්‍රයාගේ ආරක්ෂාට වල කැපීම සඳහා ත්‍රස්තවාදී කන්ඩායම් සමග එක් වී අපගේ මිත්‍රත්වය අවදානමට ලක් කිරීමට අවශ්‍ය ද.”

ඔක්ටේගේ සඳහන සිරියානු කුර්දි බෙදුම්වාදී වයිපීජී මිලීෂියාව සඳහා පෙන්ටගනය දිගට ම අවි සැපයීම හා සහයෝගය දැක්වීම ගැන කෙරුනකි. ඇන්කාරාව වයිපීජී මිලීෂියාව දකින්නේ තමන්ට විරුද්ධ ව දශක ගනනාවක් තිස්සේ ප්‍රතිත්‍රස්තවාදී උද්ඝෝෂනයක් ගෙන ගොස් ඇති තුර්කියේ කුර්දි පීකේකේ ව්‍යාපාරයේ ශාඛාවක් ලෙස ය.

ඊට පෙර, තුර්කි විදේශ ඇමති මෙව්ලුට් කවුසොග්ලූ, වොෂින්ටනයේ තවත් රැස්වීමක කතා කරමින් පැහදිලි කලේ, ඇන්කාරාව වොෂින්ටනයේ ඉල්ලීම්වලට නැමෙන්න සූදානම් නැති බව යි. එස්-400 (ගුවන් යානා නාශක මිසයිල් පද්ධති) සම්බන්ධන්ධයෙන් ඔහු පැවසුවේ “එය සිදුවන ගිවිසුමක්” කියා ය. “තුර්කියට රුසියාව හා වෙනත් කව්රුන් හෝ අතර තෝරා ගැනීමක් අවශ්‍ය නෑ. එමෙන් ම රුසියාව සමග අපේ සම්බන්ධය අනෙකුත් අයට වික්ලපයක් ලෙස අප දකින්නෙත් නෑ.”

පෙන්ස් තම ආවේගය බර්ලිනය වෙත ද හැර වූයේ, “අපගේ පොදු ආරක්ෂක ක්‍රියාවලිය සඳහා ජර්මානු දල දේශීය නිෂ්පාදනයෙන් සියයට 2ක් ආයෝජනය කිරීම” ප්‍රතික්ෂේප කිරීම වෙනුවෙනි.

ජර්මානු ආන්ඩුව හිට්ලර්ගේ තුන්වැනි රයිකයේ ඇද වැටීමේ සිට නො දුටු පරිමාවකින් යලි සන්නද්ධ වෙමින් සිටින අතර (2014 සිට මිලිටරි වියදම් සියයට 40කින් වැඩි කරමින්) පෙන්ස් කියන්නේ, බර්ලිනය තම වගකීම් පැහර හරිමින් සිටින බව යි.

කෙලින් ම කිවහොත් ඔහු ජර්මානු ආන්ඩුව හෙලා දුටුවේ, බෝල්ටික් මුහුද හරහා රුසියානු ස්වාභාවික ගෑස් ජර්මනියට ගෙන එන, නෝර්ඞ් ස්ට්‍රීම් 2 නල ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාම සම්බන්ධයෙනි. පෙන්ස් අවධාරනය කලේ “රුසියාවේ සිරකරුවෙකු” වීමේ අවදානමට ජර්මනිය පැන ගෙන සිටින බව යි. රුසියානු ගෑස්වලට විකල්පයක් ලෙස, එක්සත් ජනපද සමාගම් විසින් බෙදා හරිනු ලබන ද්‍රවීකාරක ස්වාභාවික ගෑස් බාර ගන්නා ලෙස වොෂින්ටනය ජර්මනියට බල කර ඇත.

ස්ටොල්ටෙන්බර්ග් සමග අඟහරුවාදා පැවති තම හමුවේ දී ට්‍රම්ප් එම ප්‍රශ්නම මතු කලේ, වොෂින්ටනය අනුගමනය කරන විවෘත අධිරාජ්‍යවාදී උත්සුකයන්ගේ හඬ මෘදු කිරීමට පැහදිලි උත්සාහයක් දරමිනි. ජර්මනිය වෙත තම “දැඩි ගෞරවය” ඔහු ප්‍රකාශ කලේය.

“මගේ පියා ජර්මානුවෙක්, ඔහු ජර්මානුවෙක් වුනා” යැයි ට්‍රම්ප් පැවසී ය. “ජර්මනියේ බොහෝ ආශ්චර්යමත් තැනක ඉපදුන නිසා, මට ජර්මනිය ගැන විශාල හැඟීමක් තියෙනවා.” ට්‍රම්ප්ගේ පියා 1905දී නිව් යෝක් නගරයේ උපන් බවට ප්‍රසිද්ධ වාර්තා තිබේ. තම පියා වූ ෆ්‍රෙඞ් ට්‍රම්ප් ජර්මනියේ ඉපදුන බව ට්‍රම්ප් ප්‍රසිද්ධියේ කියා ඇති තුන්වැනි වතාවයි මේ.

Share this article: