ජනාධිපතිවරයා මහජනයා ගැන ඔත්තු බැලීමේ තාක්ෂනයෙන් හමුදාවන් සන්නද්ධ කිරීමට යයි

2019 අප්‍රේල් 05

සිය මත්ද්‍රව්‍ය විරෝධී සටන හුවා දක්වන දැවැන්ත ප්‍රචාරක ව්‍යාපාරයේ කොටසක් ලෙස ශ්‍රී ලංකාවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පොලිසිය විසින් අල්ලා ගත් මත්ද්‍රව්‍ය කිලෝ 800ක් පමන කොලඹට ආසන්න ගෝනවල ප්‍රදේශයේ දී ප්‍රසිද්ධියේ විනාශ කිරීමේ අවස්ථාවක් සඳුදා සංවිධානය කලේය.

එහිදී මත්ද්‍රව්‍ය මැඩීමට කරගෙන යන හමුදා පොලිස් මෙහෙයුම ඔජවැඩවූ සිරිසේන මෙම බලකායන්ට එම කාර්ය සඳහා ”අධික මිලකින් යුත් අධිතාක්ෂන උපකරන ශ්‍රී ලංකාව සතුව නොමැති බැවින් ඉදිරි මාසය තුල ඇමරිකා එක්සත් ජනපදයෙන් සහ ඊස්රායලයෙන් ඒවා ගෙන්වීමට පියවර ගෙන තිබෙන” බව ප්‍රකාශ කලේය.

හිතන මතන කිසිවෙකු රැවටීමට ලක් විය යුතු නැත. සිරිසේන මත්ද්‍රව්‍ය විරෝධී යුද්ධයක නමින් සැබවින්ම තවත් යුද්ධයකට සුදානම් වේ. එය නම්, තම අයිතීන් සඳහා අරගලයට එන කම්කරුවන්ට, තරුනයන්ට හා දුගීන්ට එරෙහි යුද්ධයට පොලිස් රාජ්‍ය සූදානම වේගවත් කිරීමයි.

කලම්බු ටෙලිග්‍රාෆ් වෙබ් අඩවියේ මාර්තු 21 දා පලවූ රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ධුරයේ බලතල ප්‍රකාර ව සන්නිවේදන අන්තර්බාධක උපකරන මිලට ගැනීමට ජනාධිපති ඉදිරිපත්කල කැබිනට් පත්‍රිකාව මේ සම්බන්ධයෙන් තීරනාත්මක පියවරකි. ඔහු එයින් ඉල්ලා සිටියේ එම උපකරන මිල දී ගැනීමට රුපියල් බිලියන 6.9ක (ඇමරිකානු ඩොලර් මිලියන 38.9ක) දැවැන්ත මුදලක් සඳහා අනුමැතියයි. කැබිනෙට්ටුවෙන් නොපමාව එම අනුමැතිය ලැබී ඇත.

මෙ බඳු ගනුදෙනුවක දී විනිවිදභාවය සඳහා අනුගමනය කල යුතු ප්‍රසම්පාදන පටිපාටීන් අනුගමනය නොකරන ඇමතියන්ට අනතුරු අඟවන අතරේ ජනාධිපතිවරයා ඒවා මග හැර යාමට මත් ද්‍රව්‍ය ජාවාරම් මැඬලීමේ “හදිසිභාවය” සහ “ආරක්ෂාව” සම්බන්ධ උත්සුකයන් දක්වා ඇත. “මෙම ව්‍යාපෘතියේ සංවේදී ස්වභාවය සලකා රහස්‍ය බව සහ හදිසි භාවය අනුව මෙහි දී සාමාන්‍ය ප්‍රසම්පාදන පටිපාටීන් අනුගමනය කල නොහැකි ය. එම හේතූන් මත ම මේ මොහොතේ දී මේ උපකරන සහ ඒවායේ තාක්ෂනය සහ ඒවා සපයන සමාගම ගැන තොරතුරු එලිදරවු කල නො හැකි ය.”

ආරක්ෂක අමාත්‍යංශයේ නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ අන දෙන නිලධාරියා සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ප්‍රධානියා ඇතුලත් වන කමිටුවක් අදාල උපකරන මිල දී ගැනීමට අපේක්ෂිත ඊස්රායල සමාගම සමඟ සිදු කල දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව මූලික අදියරේ තාක්ෂනික වාර්තාවක් පිලියෙල කර ඉදිරිපත් කර ඇත. එම වාර්තාව මෙම උපකරන මිල දී ගැනීමට දැඩි ලෙස නිර්දේශ කරන බව ජනාධිපති ගේ පත්‍රිකාව කැබිනට් මන්ඩලයට දන්වා ඇත. නමුත් එම වාර්තාව ද “රහස්‍යභාවය” පිලිබඳ කාරනා මත ජනාධිපති අමාත්‍ය මන්ඩලයට ඉදිරිපත් කලේ නැත.

මේ ස්ථාපිත කිරීමට යන්නේ දේශපාලන එදිරිවාදීන්, කම්කරුවන් හා තරුනයන්ගේ ක්‍රියාකාරකම් දෙස හොරෙන් ඇස ගසා ගෙන ඔත්තු බැලීමේ පද්ධතියකි.

ලංකාවේ අතීත ආන්ඩු හා වත්මන් පාලනය කලෙක සිට අන්තර්ජාල වාරනය ඉලක්ක කරගෙන සිටියේය. පසු ගිය වසරේ මුස්ලිම් ජනතාවට එරෙහි වාර්ගික ප්‍රකෝපකරනයන් වැලැක්වීමට යයි කියමින් සති දෙකකට ආසන්න කාලයක් ප්‍රධාන පෙලේ සමාජ ජාල අඩවි කීපයක් අවහිර කර තැබුනි. අනතුරුව ෆේස්බුක් ප්‍රතිපත්ති වෙනස්කම් සමඟ සමීප ව වැඩ කිරීමට ඇති කැමැත්ත පල කරමින් එය “ව්‍යාජ පුවත් වාරනය“ යනුවෙන් ගෙන යන ප්‍රජාතන්ත්‍ර-විරෝධී වැඩසටහනට බද්ධ ව ආන්ඩුව කටයුතු කලේ ය. ෆේස්බුක් වාරන කාර්යාලයක් කොලඹ පිහිටුවා ගැනීමට ද සිරිසේන මූලිකවී සාකච්ඡා වට කීපයක් පැවැත් වුනි.

මේ ක්‍රියාදාමයේ දිගුවක් වශයෙන් ජනාධිපති සිරිසේන මාර්තු 8 වැනි දා ගැසට් නිවේදනයක් මගින් විදුලි සංදේශ නියාමන කාර්යාලය ද තමන් ගේ යටතට පවරා ගත්තේ ය. එම කාර්යාලය ආරක්ෂක අමාත්‍යාංශයේ විෂය පථය යටතට ගෙනෙනු ලැබ ඇත. “මහජනතාවගේ අවශ්‍යතාවන් රැකෙන පරිදි නියාමන ක්‍රියාවලිය හැඩ ගැස්වීමට” එම පවරා ගැනීම සිදුකල බව ගැසට් නිවේදනයේ සඳහන් වේ.

එහෙත් දැන් සිරිසේන විසින් ගනු ලබමින් තිබෙන පියවර, ත්‍රිවිධ හමුදා මෙහෙයුමද සමග එකට ගත් කල, පාලක පන්තිය පොලිස් රාජ්‍යයක් දිසාවට ගන්නා වූ ක්‍රියාවන්හි ගුනාත්මක ඉහල අවධියක් සටහන් කරයි.

වර්ගවාදී යුද්ධයෙන් දස වසරකට පසු ප්‍රථම වතාවට ජනාධිපතිවරයා ත්‍රිවිධ හමුදා හා පොලිසිය මත්ද්‍රව්‍ය මැඩලීමේ නමින් මුලු රටම අලලාගත් ක්‍රියාන්විතයන්ට කැඳවා ඇත. මාර්තු 8 දා පුවත්පත් සාකච්චාවක් කැඳවූ ත්‍රිවිධ හමුදාපතිවරු තමතමන් යටතේ යුද්ධය සඳහා දායකත්වයේ විවිධ පැතිගැන කරුනු දැක්වූහ. ශ්‍රී ලංකා යුද හමුදාපති මහේෂ් සේනානායක පැවසුවේ “මේ ඒකාබද්ධ ක්‍රියාන්විතය ත්‍රිවිධ හමුදා ඊලම් විමුක්ති කොටි සංවිධානයට එරෙහිව ගෙන ගිය යුද්ධයට සමාන” බවයි.

මත්ද්‍රව්‍ය රටට රැගෙන එන්නන්, අලෙවි කරන්නන් හා භාවිත කරන්නන් යන සියලු මට්ටම් ග්‍රහනයට ගතහැකි ආකාරයේ රහස් ඔත්තු ජාලාවක් එලීමට හමුදා බුද්ධි අංශ මගින් තීන්දු කර ඇති බව සේනානායක කිවේය. සිරිසේන තරකරන්නේ එම ජාලයයි.

එම රැස්වීමේදීම, ත්‍රිවිධ හමුදා මාන්ඩලික ප්‍රධානී ජෙනරාල් රවීන්ද්‍ර විජේගුනරත්න පැවසුවේ ත්‍රිවිධ හමුදා බල ඇනිවලට පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම ආදිය පිලිබඳ සිවිල් නීතිමය බලතල අවශ්‍ය බවත් ඒවා කෙටි කලකදීම ලැබෙනු ඇති බවත් ය.

ඔත්තු සන්නිවේදන තාක්ෂනය ලබාගැනීමේ ඉහලම සමාගම් සලකා බැලුබව සිරිසේන කැබිනෙට්ට්ටුවට කිවේය. “කැපුම් මුවාත” ඇති රට ඇමරිකාවේ පිටුබලය ලබන ඊස්රායලය බව ඔහු කිවේය. දැන් මේ දෙරටින් තාක්ෂනය ලබා ගන්නට යයි. එය අහම්බයක් නොවේ.

2013 දී ඇමරිකාවේ ජාතික ආරක්ෂක ඒජන්සියෙන් පලා ගොස් එහි ඔත්තු සේවා වන්හි ක්‍රියා හෙලිදරව් කිරීමේ දැවැන්ත මෙහෙවරක් ඉටුකල එඞ්වඞ් ස්නෝඩන්, ගූගල්, ෆේස්බුක්, මයික්‍රොසොෆ්ට් ඇතුලු සන්නිවේදන ක්ෂේත්‍රයේ අධිකාරය දරන සංගත සහ සෙසු දුරකථන සේවා සපයන ආයතන සමඟ සහයෝගී ව එක්සත් රාජධානිය ඇතුලු සෙසු රාජ්‍යයන් සමග ද තොරතුරු බෙදා හදා ගනිමින් මහජනයා ගැන මහාපරිමාන ඔත්තු බැලීමේ ජාලයක් පවත්වා ගෙන යන ආකාරය හෙලිදරවු කලේ ය. එක්සත් රාජධානිය පනතක් මගින් පිහිටුවා ඇති මහජන ඔත්තු බැලීමේ ජාලයන් මූලික ප්‍රජාතන්ත්‍රවාදී හා මානව අයිතීන් කඩකරන බවට පලල්ව චෝදනාවට ලක්වී ඇත.

පොලිස් රාජ්‍යයන් දිසාවට ගනු ලබන පියවර සෑම රටක් තුලම සිදුවෙමින් පවතී. ඔවුන් හැම එකෙක්ම තැති ගැනී සිටින්නේ ලෝක ධනවාදයේ අර්බුදය ගැඹුරු වී යද්දී සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් තලා දැමීමට විරුද්ධව ජාත්‍යන්තරවම කම්කරු පන්තියේ අරගල නැගී ඒම ගැනයි. ඇමරිකාවේ ට්‍රම්ප් ආන්ඩුව ෆැසිස්ට් දක්ෂිනාංශික බලවේග වලට ආයාචනා කරන අතර ඩිමොක්‍රටික් පක්ෂය මිලිටරිය හා රහස් ඔත්තු සේවා උසිගන්වයි. ජර්මනියේ ආන්ඩුවේ අධාරය ඇතිව ෆැසිස්ට් බලවේග තරවේ. මේ උදාහරන කිහිපයක් පමනකි.

කම්කරුවන්ගේ, සිසුන්ගේ හා දුගීන්ගේ අරගල පුපුරා එන තත්වයේදී ලංකාවේ පාලක ප්‍රභුවේ සෑම පක්ෂයක්ම අපකීර්තියට පත්ව ඇත. සමගි ආන්ඩුව ලෙස අවුරුදු තුනක් පාලනය කල සිරිසේනගේ පතුරුගිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ අගමැති රනිල් වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂය ගිය අවුරුද්දේ පලාත්පාලන චන්දයේදී පරාජයන්ට පත්වීම එම අපකීර්තිය තියුනුව ප්‍රකාශයට පත්වූ අවස්ථාවකි. අර්බුදය දේශපාලන යුද්ධයකට පෙරලීයාම ප්‍රකාශයට පත්වූයේ සිරිසේන විසින් වික්‍රමසිංහ අගමැතිකමින් අස්කර එතනට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පත් කරනු ලැබීමෙනි.

චීන හිතවතෙකු ලෙස සලකන රාජපක්ෂ පත්කිරීමට ඇමරිකාවේ විරුද්ධත්වය සහ සිරිසේන පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ගත් ක්‍රියා මාර්ග නීති විරෝධී බව ශ්‍රේෂ්ඨාධිකරනනය තීන්දු කිරීම හේතුවෙන් ඔහුට වික්‍රමසිංහ යලි අගමැති කිරීමට බලකෙරී දේශපාලන කුමන්ත්‍රනය වැරදී ගියේය. එසේ වුවද පාලක පන්තියේ සෑම කල්ලියක්ම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කප්පාදු කොන්දේසි මුලුමනින් ක්‍රියාවට දැමීමට කම්කරු පන්තිය තලා දැමීමේ ක්‍රම හා විධි පිලිබඳ පිඹුරුපත් සකසති. සිරිසේනගේ මත්ද්‍රව්‍ය විරෝධී සටනින් ප්‍රකාශයට පත්වන්නේ එයයි.

අර්බුදය මධ්‍යයේ ජනවාරි මාසයේ පිලිපීනයේ සංචාරය කල ජනාධිපතිවරයා, එරට ජනාධිපති රොද්‍රිගෝ දුතර්තේ ගේ “මත්ද්‍රව්‍යවලට එරෙහි යුද්ධය” නමින් මුදා හැර ඇති භීෂනය පැසසුමට ලක් කලේ ඒ හා සමාන පියවර ලංකාව තුලද ගන්නා බවට දිවුරමිනි. දුතර්තේ කම්කරුවන්ගේ හා දුගීන්ගේ සමාජ අරගල තල දැමීමට යොමුවූ පොලිස් මැර පාලනයක් ගෙනයයි.

පසුගිය සතියේ සිරිසේන රාජ්‍ය පරිපාලන සේවයේ නිලධාරීන්ගේ වාර්ෂික සම්මේලනයට සහභාගිවී රාජ්‍ය අංශයේ සේවකයන් වෙත කඩාපනිමින් ඔවුන් අකාර්යක්ෂම බවට චෝදනා කරමින් කල කතාව ඔහුගේ දුෂ්ට සැලසුම් ගැන ඉඟි කරයි. බරපතල ආර්ථික අර්බුදයක් මධ්‍යයේ සිදු කෙරන රජයේ සේවකයන්ගේ වර්ජන හා ඉල්ලීම් ඔහු හෙලා දැක්කේය.

කවර ආන්ඩුවක් බලයට පත් වුවද එහි න්‍යාය පත්‍රය කුමක් වන්නේදැයි මතක් කරමින් සිරිසේන තම කතාව අවසන් කලේ මෙසේය: “කවුරු 2020දි ජනාධිපති වුනත්, කවර ආන්ඩුවක් බලයට පත් වුනත්, ඔවුන්ට මේ රට යන විදිහේ විප්ලවීය වෙනසක් කරන්න බැරි වුනොත් ශ්‍රී ලංකාව අභියෝග රැසකට මුහුන දෙනවා.”

ඔහුගේ හා පාලක පන්තියේ සෑම කොටසකම න්‍යාය පත්‍රය එල්ල වී ඇත්තේ ප්‍රතිවිප්ලවීය වෙනසක් කිරීම සඳහාය. කම්කරුවන් සූදානම් වියයුත්තේ ජාත්‍යන්තර කම්කරු පන්තිය සමග සමාජවාදී එකමුතුව ගොඩනගමින්, තරුනයන් හා දුගීන් තමන් වටා රැලිකරගෙන සමාජවාදී විප්ලවය සඳහා ය. එනම්, සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාවට දමන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා සමාජවාදී සමානතා පක්ෂය ගෙනයන අරගලයට එක්වීමයි.

නවීන් දේවගේ සහ කේ. රත්නායක

Share this article: