ජූලියන් අසාන්ජ්ගේ ජීවිතය අනතුරේ

Julian Assange’s life is in danger

2019 අප්‍රේල් 13

විකිලීක්ස් ආරම්භක ජූලියන් අසාන්ජ් ව බ්‍රහස්පතින්දා ලන්ඩනයේ දී අත්අඩංගුවට ගැනීමෙන් ඉක්බිති ව, එක්සත් ජනපදයේ, බ්‍රිතාන්‍යයේ හා ඉක්වදෝරයේ ආන්ඩු, අනතුරු අඟවන්නා (විස්ල්බ්ලෝවර්) එක්සත් ජනපදය වෙත අත්‍යසාමාන්‍ය ලෙස බාර දීම පහසු කිරීමට කුමන්ත්‍රනයක යෙදී සිටිති. ජූලියන් අසාන්ජ්ගේ ජීවිතය හා නිදහස පවතින්නේ ආසන්නතම අනතුරක ය. ඔහු ඇමරිකානු ආන්ඩුවේ අතට පත්වීම වැලැක්වීමට නිදහස් ප්‍රකාශනයේ සියලු ආධාරකරුවන් බලමුලුගැන්වීම අවශ්‍ය ය.

40 වසරකට වැඩි කලකට පෙරාතුව රෑන්ඞ් කෝපරේෂන්හි විශ්ලේෂක ඩැනියෙල් එල්ස්බර්ග් වියට්නාම් යුද්ධය තුල එක්සත් ජනපද ආන්ඩුවේ නීතී-විරෝධී ක්‍රියාකාරීත්වය පිලිබඳ සාක්ෂි වොෂින්ටන් පෝස්ට් වෙත සම්පාදනය කලේ ය. ඊයේ එල්ස්බර්ග් පහත දැක්වෙන ප්‍රකාශය නිකුත් කලේ ය:

“එය පලමු සංශෝධනය මත එල්ල කරන ගැඹුරු ප්‍රහාරයකි. එය මාධ්‍යයේ නිදහස අවලංගු කිරීමට දරන පැහැදිලි උත්සාහයකි...මෙය ජනමාධ්‍යවේදියෙක් හා කතුවරයෙක් හෝ ප්‍රකාශකයෙක් වන ජූලියන් අසාන්ජ්ට එරෙහි පලමු අධිචෝදනාව යි. එය සාර්ථක වුවහොත් අවසන් එක නො වනු ඇත. පැහැදිලි ව ම මෙය ජනාධිපති ට්‍රම්ප් රාජ්‍යයේ හතුරකු යයි කියන මාධ්‍ය මත ඔහුගේ යුද්ධයේ කොටසකි. ජූලියන් අසාන්ජ් හිරගෙට දැමීමේ දී ඔහු (ට්‍රම්ප්) සාර්ථක වුවහොත්, මා හිතන්නේ ඔහු ජීවිතාන්තය දක්වා එහි ගතකරනු ඇති බව යි, අසාන්ජ් හිරගෙට යන්නේ නම්, බොහෝ විට විය හැකි පරිදි ඔහුට එරෙහි පලමු චෝදනාව වසර කිහිපයකට පමනක් ඔහු ව එහි දමනු ඇත. එහෙත් එය බොහෝ දේවල ආරම්භය විය හැක.“

අසාන්ජ් උදර්පනය කිරීමට යොදා ගනිමින් තිබෙන නිල කඩතුරාව විනිවිද පෙනෙන බොරුවකි. බ්‍රහස්පතින්දා ප්‍රසිද්ධ කල කලින් නියම කරගත් අධිචෝදනාවක් තුල එක්සත් ජනපද අධිකරන දෙපාර්තමේන්තුව අසාන්ජ්ට චෝදනා කලේ, ආන්ඩුවේ පරිඝනකවලට ඇතුල් වන මුරපද අනාවරනය කරගැනීමට කුමන්ත්‍රනය කරමින් මධ්‍යම නීතියක් උල්ලංඝනය කිරීම ගැන පමනි.

මෙම අපරාධය පමුනුවන්නේ වසර 5ක සිරදඬුවමක් පමනක් ය යන්නේත් රාජ්‍ය රහස් එලිදරව් කිරීමේ පනතට අයත් නො වන්නේ ය යන්නේත් අර්ථය වන්නේ අසාන්ජ් ඇමරිකානුවන්ට බාර දීම සඳහා අදාල සියලු පාර්ශවයන් වෙත ආවරනයක් සම්පාදනය කිරීම යි. විශේෂයෙන් ම එක්සත් ජනපද-එක්සත් රාජධානි උදර්පන ගිවිසුම, රාජ්‍ය රහස් එලිදරව් කිරීමේ ඇතුලු “දේශපාලන වැරදි” සඳහා උදර්පනය කිරීම බැහැර කරයි. අධිකරන දෙපාර්තමේන්තුවේ ලේඛනය උපුටමින් බ්‍රිතාන්‍ය ආන්ඩුව අධිකරනයේ දී කියා සිටිනු ඇත්තේ අසාන්ජ් ව උදර්පනය කිරීම මෙම බැහැර කිරීම මගින් නො වලක්වනු ඇති බව යි.

අධිචෝදනය හේතුවෙන් අසාන්ජ් මරන දඬුවමට මුහුන නො පාන නිසා තමන්ට අසාන්ජ්ගේ රැකවරනය අවලංගු කල හැකි බව ඉක්වදෝර ආන්ඩුව වැඩිදුරටත් කියා සිටී.

සත්‍යය වන්නේ අසාන්ජ් එක්සත් ජනපදය අතට පත් වූ විට රාජ්‍ය රහස් එලිදරව් කිරීම ද ඇතුලු අමතර චෝදනාවන්ට ඔහු ක්ෂනික ව මුහුන දෙනු ඇත යන්න යි. මහජන නිදහසට පවතින තර්ජනය පහත හෙලීමේ උත්සාහයන් හා නිදහස් ප්‍රකාශනය පිලිබඳ මූලික කරුනු වලින් ඉවත හැරීම පරදුවට තැබී ඇති කරුනු ය.

අධිචෝදනාවේ භාෂාව මත් පැහැදිලි කරන්නේ, නිල චෝදනාවේ නිගමනය කුමක් වුවත් ආන්ඩුව දේශපාලන හේතූන් නිසා අසාන්ජ් ව ඉලක්ක කරමින් සිටින බව යි. එය මෙසේ අවධාරනය කරයි: “කුමන්ත්‍රනයේ මූලික අභිප්‍රාය වූයේ, විකිලීක්ස්ට එහි වෙබ් අඩවිය මත ප්‍රසිද්ධියේ පලකල හැකි වන පරිදි එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂාවට සම්බන්ධ රහසිගත තොරතුරුවලට ප්‍රවිෂ්ට වී සම්ප්‍රේෂනය කිරීමට (චෙල්සී) මෑනිංට පහසුකම් සැලසීම යි.”

විකිලීක්ස් මහජනයාට නිකුත් කල තොරතුරුවලට “ඇෆ්ගනිස්තාන යුද්ධයට සම්බන්ධ වැදගත් ක්‍රියාකාරී වාර්තා 90,000කට ආසන්න ගනනක්, ඉරාක යුද්ධයට සම්බන්ධ වැදගත් ක්‍රියාකාරී වාර්තා 400,000ක්, ගුවන්තනාමෝ බේ රැඳවියන් ගැන තක්සේරු කරන කෙටි වාර්තා 800ක් හා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ කේබල් පනිවුඩ 250,000ක්” අඩංගු වූ බව අධිචෝදනාව සඳහන් කරයි. මෙම වාර්තාවලින් බොහොමයක් 2009 දී බැරැක් ඔබාමා විසින් අත්සන් තැබූ “නියෝග අංක 13526ට” අදාල රහසිගත ඒවා ය. මෙම නිකුත් කිරීම් “ජාතික ආරක්ෂාවට ගැඹුරු අන්තරායක් ඇති කරනු ඇතැයි හේතු සාධක සහිත ව අපේක්ෂා කල හැකි වී” යි අධිචෝදනාව කියා සිටී.

මෙම භාෂාව දර්ශනය කරන්නේ “ජාතික ආරක්ෂාවට සම්බන්ධ” තොරතුරු නිදහස් කිරීම වලකන රාජ්‍ය රහස් එලිදරව් කිරීමේ පනතෙහි අන්තර්ගතයයි. එවැනි තොරතුරු “සන්නිවේදනය කරන, බෙදාහරින, සම්ප්‍රේෂනය කරන හෝ සන්නිවේදනය, බෙදාහැරීම හෝ සම්ප්‍රේෂනය කිරීම ජනනය කරන” ඕනෑම අයෙකු රාජ්‍ය රහස් එලිදරව් කිරීමේ පනත විසින් අපරාධකරනය කරයි.

අධිචෝදනාවේ භාෂාවට අනුව අසාන්ජ් හා මෑනිං යන දෙදෙනාට ම මෙම නීතිය යටතේ අපරාධ චෝදනාවලට මුහුන දිය හැක. අසාන්ජ්ට චෝදනා ඉදිරිපත් කරන්නේ පැහැදිලි ව ම මෑනිංගේ ක්‍රියාකාරීත්වය මත යයි නිවේදනය කිරීම මගින් ආන්ඩුව ප්‍රදර්ශනය කරමින් සිටින්නේ ඇගේ අනාගතය ද අනතුරේ බව යි. අධිචෝදනාවේ මුල් වචන දෙක වන්නේ “චෙල්සී මෑනිං” යන ඒවා ය.

අසාන්ජ්ට එරෙහි “චෝදනා” (බහුවචන) නිසා ඔහු ව උදර්පනය කල යුතු යයි තර්ක කරමින් චෝදකයන් විසින් පසුගිය වසරේ “නො සැලකිලිමත්” ලෙස නිදහස් කල ලේඛන ද මෙම භාෂාව විසින් තහවුරු කෙරේ. අවම වසයෙන් 2011 තරම් ඈත දී වත් අසාන්ජ් ව විමර්ශනය කිරීමට රහසිගත ප්‍රධාන ජූරි සභාවක් චෝදකයන් විසින් කැඳවුනු අතර, 2012 දී ඉදිරිපත් කල “රාජ්‍ය රහස් එලිදරව් කිරීමේ ” චෝදනා මත විකිලීක්ස් සේවකයන් පිලිබඳ ව ඔත්තු බැලීමේ වරෙන්තු එක්සත් ජනපද ආන්ඩුව විසින් අපේක්ෂා කලේ ය.

මුරපද පරිහරනය පිලිබඳ එක් චෝදනාවක් පිලිබඳ ව පමනක් අසාන්ජ්ට චෝදනා නැගීමට රහසිගත මහා ජූරියක් වසර අටකට වඩා ගතකලේ යයි පිලිගත හැක්කේ අපසහායකයන්ට හෝ නිවටයන්ට පමනි.

එක්සත් ජනපදයේ ප්‍රධාන දේශපාලන චරිතවල ප්‍රතිචාරය මෙන් ම ඔවුන්ගේ පූර්ව ප්‍රකාශන පැහැදිලි කරන්නේ, අසාන්ජ් ව අල්ලාගෙන ඔහු ව දිවි ඇති තෙක් රඳවා තැබීම හෝ ඊටත් වඩා දරුනු දඬුවම් පැමිනවීමට පාලක ප්‍රභූව මහත් ලොල් බවින් සිටින බව යි.

ඩිමොක්‍රටික් සෙනෙට් සුලුතර නායක චාල්ස් ෂූමර් ට්විටර් පනිවුඩයක කී පරිදි: “පුටින් හා රුසියානු ආන්ඩුව වෙනුවෙන් අපගේ මැතිවරන අවුල් කිරීම හේතුවෙන් ඔහුට ඉක්මනින් නීතිය ක්‍රියාත්මක කරනු ඇතැයි මම අපේක්ෂා කරමි.” ඩිමොක්‍රටික් සෙනෙට් සභික මාක් වෝනර්, අසාන්ජ් වනාහි “බටහිර දුර්වල කිරීමේ හා ඇමරිකාවේ ආරක්ෂාවට වල කැපීමේ රුසියානු උත්සාහයට ඍජු ව සහභාගි වූ අයෙක්” යි කීවේ ය. “ඔහුට සුදුසු සාධාරනය ලැබීමට හැකි වන පරිදි බ්‍රිතාන්‍ය උසාවිය ක්ෂනික ව ඔහු එක්සත් ජනපද අත්අඩංගුවට පත් කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.”

පදනමක් නැති “අවුල් කිරීමේ” චෝදනා මත අසාන්ජ්ට අභිචෝදනා නැගීමෙහි තේරුම වනු ඇත්තේ රාජ්‍ය රහස් එලිදරව් කිරීමේ චෝදනාවන්ට ලක්කිරීම යි.

තම නවතම ගොදුර අතට පත් කරනු ලැබ ඇති වධකාගාර පාලකයෙක් මෙන් ඩිමොක්‍රටික සෙනෙට් සභික ජෝ මැන්චින් ප්‍රකාශ කලේ: “ඔහු අපේ දේපොලක් වන අතර අපට ඔහුගෙන් කරුනු හා සත්‍යය ලබාගත හැකි යි.” මෙම ප්‍රකාශයේ පදනම මත අසාන්ජ් එක්සත් ජනපදයට මාරු කරනු ලබන්නේ ප්‍රශ්න කිරීම පිනිස වන අතර, එය අයත් වන්නේ අත්‍යසාමාන්‍ය අත්හැරදැමීම යන ප්‍රවර්ගයට ය, උදර්පනයට නො වේ.

පසුගිය වසර කිහිපය තිස්සේ මාධ්‍ය තුල හා ආන්ඩුව වෙතින් අසාන්ජ් මරන තර්ජනයන්ට ද මුහුන දී ඇත. දක්ෂිනාංශික ගුවන් විදුලි නිවේදක රෂ් ලිම්බෝ අසාන්ජ්ගෙන් “හිසට උන්ඩයක්” පිලිගන්නා ලෙස කැඳවුම් කලේ ය. “අපි ඔබ ව එල්ලනවා” යි අසාන්ජ්ට කීවේ හිටපු ෆොක්ස් නිව්ස් සත්කාරක බිල් ඕරියෙලි ය. “අසාන්ජ් ත්‍රස්තවාදයේ නිරත අතර සතුරු සටන්කරුවෙකු ලෙස සැලකිල්ලට ගත යුතු” යි කීවේ හිටපු රිපබ්ලිකානු කොංග්‍රස් කථානායක නිව්ට් ගින්ග්‍රිච් ය. ඩිමොක්‍රටික් උප ජනාධිපති ජෝ බයිඩන්, අසාන්ජ් “ඉහල තාක්ෂනික ත්‍රස්තවාදියෙක්” යි කීවේ ය. “මේ තැනැත්තා ද්‍රෝහියෙක්” යි කියූ ඩිමොක්‍රටික් සාමාජික බොබ් බෙකල්, එක්සත් ජනපදය “නීති-විරෝධී ලෙස බැල්ලිගෙ පුතාට වෙඩි තැබිය යුතු” යැයි කීවේ ය.

අධිචෝදනාවේ තවත් කාර්යයක් වන්නේ අසාන්ජ් අත්අඩංගුවට ගැනීම ගැන හුරේ දමන දූෂිත හා බොරු කියන මාධ්‍යවලට ආවරනයක් සම්පාදනය කිරීම යි. අසාන්ජ්ට පහල චෝදනාවක් ඉදිරිපත් කිරීමෙන් නිදහස් ප්‍රකාශනයට තර්ජනයක් නො වේ යයි කියාපාමින් අධිචෝදනාවේ බර පහත හෙලීමේ දී නිව් යෝක් ටයිම්ස් හා වොෂින්ටන් පෝස්ට් සුවිශේෂී අපරාධකාරී භූමිකාවක් ඉටුකර තිබේ.

නිව් යෝක් ටයිම්ස් ඊයේ පලකල කර්තෘ මන්ඩල ප්‍රකාශයක් තුල ලීවේ: “විකිලීක්ස් ආරම්භක ජූලියන් අසාන්ජ්ට ආන්ඩුව චෝදනා කලේ ආන්ඩුවේ රහසිගත තොරතුරු පලකිරීම පිලිබඳ ව නො ව, ඒවා හොරකම් කිරීම, දැනට වාටියේ පිහිටන තීරනාත්මක පලමු සංශෝධනයේ ප්‍රශ්න පිලිබඳ ව යි.”

අසාන්ජ්ට එරෙහි මෙම තනි චෝදනාව “ටයිම්ස් වැනි සාම්ප්‍රදායික පුවත්පත් සෑම විට ම කර ඇති දෙයක් වන කාන්දු වූ ලේඛන හරහා බලය අයුතු ලෙස භාවිතා කිරීම හෙලිදරවු කරන ජනමාධ්‍යවේදියෙක් සහ හොරකම හෝ කූටෝපාය හරහා එක්සත් ජනපදයේ ආරක්ෂාවට වලකැපීමට උත්සාහ කරන විදේශීය ඒජන්තයෙක් අතර වෙනසට ඍජු ව අභියෝගයක්” එල්ල නො කරතියි ටයිම්ස් ලීවේ ය. “අවිවාදනීය අපරාධයක් පිලිබඳව අසාන්ජ් මහතාට චෝදනා නැගීම මගින් පරිපාලනය හොඳ ආරම්භයක් ගෙන තිබේ.”

වොෂින්ටන් පෝස්ට්හි කතුවැකියේ මාතෘකාව වූයේ “ජූලියන් අසාන්ජ් නිදහස් මාධ්‍ය වීරයෙක් නො වේ. පුද්ගලික වගකීම සඳහා ඔහු බොහෝ කාලයක සිට අවශ්‍ය ව තිබුනි” යන්න යි.

“අසාන්ජ් මහතා පිලිබඳ සිද්ධිය නීතියේ පාලනයෙහි ජයග්‍රහනයක් ලෙස නිගමනය කරනු මිස ඔහුව ආරක්ෂාකරන්නන් වැරදි ලෙස අනතුරු අඟවන පරිදි සිවිල් අයිතිවාසිකම්වල පරාජයක් ලෙස නිගමනය කල නො හැකි යැ” යි පෝස්ට් ලීවේ ය. අසාන්ජ්ගේ ආරක්ෂාව පිලිබඳ උත්සුකයන් “විකිලීක්ස්-හිතවාදී ප්‍රචාරනය” ලෙස පෝස්ට් විසින් හංවඩු ගසනු ලැබිනි. අසාන්ජ් රාජ්‍ය රහස් එලිදරව් කිරීමේ පනත උල්ලංඝනය කිරීම පිලිබඳව අධිචෝදනය විසින් චෝදනා නොකරනු ලැබීම සනාථ කරන්නේ “සීඅයිඒ ඝාතකයන් හෝ උදර්පනය හරහා එක්සත් ජනපද මරන දඬුවම නිසා ඔහුගේ ජීවිතය පිලිබඳ සාධාරන බියක් නො තිබෙන” බව යි.

“තොරතුරුවල නිරවද්‍යභාවය ස්වාධීන ව තහවුරු කරගැනීමට කිසිදු උත්සාහයක් නො දරමින් හා නම් සඳහන් පුද්ගලයන්ට අදහස් දැක්වීමට අවස්ථාවක් නො දෙමින් ඒවා මහජන විෂයපථයට මුදාහල” නිසා අසාන්ජ් “සදාචාර විරෝධී” හා “සැබෑ ජනමාධ්‍යවේදියෙක්” නො වන නිසා “අනවසර ලෙස (හැක් කිරීම මගින්) දත්ත ලබාගැනීමෙන් ප්‍රකාශනයේ නිදහස අනතුරට ලක් කිරීමේ චෝදනාව මත උසාවියට ඉදිරිපත් කිරිමට ඔහු ව එවීමට බ්‍රිතාන්‍යය බිය නො විය යුතු ය” යි පෝස්ට් විස්තර කලේ ය.

“සැබෑ ජනමාධ්‍යවේදය” පිලිබඳ දේශන පැවැත්වීමට නිව් යෝක් ටයිම්ස් හා වොෂින්ටන් පෝස්ට් කවුද? මෙම ප්‍රකාශයන් හෙලිදරවු කරන්නේ ටයිම්ස් හා පෝස්ට් ආන්ඩුවේ ප්‍රචාරක හොරනෑවන් මිස වෙන කිසිවක් නො වන බව යි.

ටයිම්ස් පත්‍රය ඉරාකය තුල “මහජන සංහාරක අවි” පිලිබඳ බුෂ් පරිපාලනයේ ව්‍යාජ කියාපෑම විකිනීම සමග සමනාමික වන අතර, පෝස්ට් පත්‍රය අයත් වන්නේ මෑත දී පෙන්ටගනය සමග ඩොලර් මිලියන 600ක සේවා කොන්ත්‍රාත්තුවක් කරා එලඹුනු ඇමසොන් සංගතයේ ප්‍රකෝටිපති ප්‍රධාන විධායක නිලධාරී ජෙෆ් බෙසෝස්ට යි.

අසාන්ජ්ට එරෙහි කුමන්ත්‍රනය අවධාරනය කරන්නේ දේශපාලන සංස්ථාපිතය හා සංගත මාධ්‍ය තුල ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ගේ ආරක්ෂාව රකින්නාවූ කිසිදු කන්ඩායමක පැවතීම බිඳවැටීම යි. පෙන්ටගනය නියම කල යුද්ධය පිලිබඳ රෑන්ඞ් වාර්තාවල ඡායා පිටපත් සමගින් එල්ස්බර්ග් අද දින පෝස්ට් පත්‍රයට ප්‍රවිෂ්ට වුවහොත් එෆ්බීඅයි වෙත කතා කරන පෝස්ට් “ජාතික ආරක්ෂාවට” තර්ජනය කිරීම ගැන ඔහු ව අත්අඩංගුවට ගන්නා ලෙස කියනු ඇත.

බැංකුකරුවන්ගේ හා ප්‍රධාන විධායකයන්ගේ ශ්‍රාවකත්වයන්ට, තමන් ජනාධිපති ධූරයට පත් වුවහොත් ඔවුන්ගේ අවශ්‍යතා නියෝජනය කරන බව හිලරි ක්ලින්ටන් රහසේ කීම සඳහා ඩොලර් ලක්ෂ ගනනින් ලබාගත්තේ යයි පෙන්වන සාක්ෂි ප්‍රසිද්ධ කිරීම මගින් අසාන්ජ් රුසියාවට උදවු කලේ යයි ටයිම්ස් හා පෝස්ට් පත්‍රවලට තම ධනවත් පාඨකයන් ඒත්තු ගැන්විය හැකි වනු ඇත. ඒ අතර ම, අසාන්ජ් හෙලිදරවු කර ඇති අපරාධවලට වගකිව යුතු මිලිටරියේ හා ඔත්තු සේවා ඒජන්සීන්ගේ නායකයන් සමග ඩිමොක්‍රටිකයන්ට පොදු මාවතක් තනා ගෙන තිබේ. ට්‍රම්ප් කෙරෙහි ඩිමොක්‍රටිකයන් දක්වන විරෝධයේ දක්ෂිනාංශික ස්වභාවය, ඔහුගේ පරිපාලනය අසාන්ජ්ට එල්ල කරන ප්‍රහාරවලට ඩිමොක්‍රටිකයන් දෙන සහයෝගය විසින් හෙලිදරවු කරනු ලබයි.

චෙල්සී මෑනිං හා එඞ්වඞ් ස්නෝඩන් ද සමගින් ජූලියන් අසාන්ජ් ආරක්ෂා කිරීම කම්කරු පන්තිය දැන් මුහුන දෙන කේන්ද්‍රීය දේශපාලන ප්‍රශ්නයකි. මෙම අකටයුතු නිවේදකයන් කෙරෙහි ආකල්පයන් බොහෝ කොට පන්ති රේඛා ඔස්සේ බෙදී යයි. පාලක පන්තිය නිදහස් ප්‍රකාශනය හා මාධ්‍ය නිදහස මත කඩා පනිද්දී ලොව පුරා පන්ති ගැටුම් තීව්‍ර වෙමින් පවතී.

සමාජවාදී සමානතා පක්ෂය හා ලෝක සමාජවාදී වෙබ් අඩවිය, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීම පිලිබඳ ව බැරෑරුම්ව සිතන සියලු දෙනාට අසාන්ජ්, මෑනිං හා ස්නෝඩන් ආරක්ෂා කිරීමේ සටන සමග බද්ධ වන ලෙස පුලුල්තම කැඳවුම නිකුත් කරති. මෙම පන්ති යුද සිරකරුවන් ආරක්ෂා කිරීමට කම්කරුවන් හා තරුනයන් ජාත්‍යන්තර ව බලමුලුගැන්විය යුතු ය. ඔවුන්ගේ ජීවිත රැඳී ඇත්තේ ඒ මත යි.

අධිරාජ්‍යවාදී මිලිටරිවාදයට හා ධනවාදයට එරෙහි ව ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීමේ දේශපාලන අරගලයෙහි හී තුඩ වන්නේ අසාන්ජ්ගේ නිදහස සඳහා සටන යි. කම්කරු පන්තියේ බලය ඒකාග්‍ර කල හැකි පමනට මෙම අකටයුතු නිවේදකයන්ගේ ආරක්ෂාව ගොඩනැගිය හැකි ය.

සිකුරාදා සිඞ්නිහි දී පැවති හදිසි රැලියේ දී ඕස්ට්‍රේලියානු සමාජවාදී සමානතා පක්ෂයේ ජාතික කමිටු සාමාජික නික් බීම්ස් ප්‍රකාශ කල පරිදි “ප්‍රජාතන්ත්‍රවාදය මත ප්‍රහාරය ප්‍රගාඪ රෝගයක රෝග ලක්ෂනය යි. එහි ඓතිහාසික භූමිකාව අවසන් කර ඇති, වරෙක එය ම පෙනී සිටි ප්‍රජාතන්ත්‍ර අයිතීන් ඉරා දමන, පාගා දමන හා කෙලෙසන අර්බුද ග්‍රස්ත ක්‍රමයක් වන ගෝලීය ධනවාදයේ ලාබ පද්ධතිය නමැති මූලික ප්‍රභවය සමග පොරබදන්නේ නැතිව ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමක් තිබිය නො හැකි ය. මෙම අරගලයේ කොටසක් ලෙස සමාජවාදී ඉදිරිදර්ශනයක් සඳහා අරගලය අපි ආරම්භ කල යුත්තෙමු. ධනවාදය මගින් නිර්මිත සියලු සන්ත්‍රාසයන්ගෙන් ලෝකය මුදාගත හැක්කේ එවිට පමනි.”

එරික් ලන්ඩන්

Share this article: