විදුලිය කප්පාදුව හා ධනේශ්වර පන්ති පාලනය

2019 අප්‍රේල් 03

නොනිල වසයෙන් පටන්ගෙන මාර්තු 25 සිට නිල වසයෙන් ක්‍රියාත්මක කොට දැන් දිගට ඇදී යන විදුලිය කප්පාදුව සාමාන්‍ය මහජනයා ඉමහත් අපහසුතාවකට පත් කර තිබේ. දැඩි නියඟය නිසා විදුලි බලාගාර සඳහා අවශ්‍ය ජලාශවල ජලය සිඳීයාම හේතුව ලෙස දක්වා ආන්ඩුව විදුලිය කප්පාදුවේ වගකීමෙන් අත සෝදාගැනීමේ වෑයමක යෙදී සිටියි.

එහෙත්, විදුලිය කපා හැරීම, ආන්ඩුවේ ද එය නියෝජනය කරන සමස්ත ධනේශ්වර ක්‍රමයේ ද අසමර්ථතාව මෙන්ම පවත්නා පද්ධතිය සාමාන්‍ය මහජනතාවන් කෙරෙහි දක්වන අශීලාචාර නොතැකීම විදහා දක්වන තවත් සංසිද්ධියකි.

අධික උෂ්නත්වය හා නියඟ ද පවතින කාලයක, දිනකට පැය හතර බැගින් (කොලඹ නරගයේ හැර) රටපුරා විදුලිය කප්පාදුව නිසා සිදුවන දැඩි දුෂ්කරතා හේතුවෙන් මහජනයා කෝපයට පත්ව සිටිති. මාර්තු 31දා හල්දුම්මුල්ල හා වීරකැටිය යන ප්‍රද්ශවල මහජනයා විරෝධතා පැවැත්වූ බව ජන මාධ්‍ය වල වාර්තා විය.

සන්ඬේ ටයිම්ස් පලකල වාර්තාවකට අනුව, විදුලිය කපාහරින කාලය තුල විදුලි උත්පාදන ජෙනරේටර් භාවිතා කිරීමට හැකියාවක් නැති මාලු වෙලන්දන්, සුලු පරිමාන හෝටල්, සැලෝන් හා වාහන සේවා මධ්‍යස්ථාන ආදී තැන්වල වැඩකටයුතුවලට ද ඒවායේ සේවය කරන්නට ද මෙම කප්පාදුව දැඩි ලෙස බලපා තිබේ.

මෙය, ඇතම් ග්‍රාමීය රෝහල්වල වැඩකටයුතු හා රෝගීන්ට ද දරුනු ලෙස බලපා ඇත්තේ කෙසේද යන්න, මහනුවර දිස්ත්‍රික්කයේ මුරුතලාව ග්‍රාමීය රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය රවින්ද්‍ර, ටයිම්ස් වෙත විස්තර කලේ ය. ඔහුට අනුව, ස්වශන අපහසුතා සඳහා ප්‍රතිකර්මයක් වන නෙබ්‍යුලයිස් කිරීම සහ විද්‍යුත් කන්තු නිරීක්ෂක සටහන් (ඊසීජී) ලබා ගැනීම සඳහා පැමිනෙන රෝගීන්ට අදාල කාර්යයන් කරගැනීමට නොහැකිවීමෙන් පැය ගනනක් දැඩි වේදනාව හා අපහසුතාව විඳගැනීමට සිදුව තිබේ.

විදුලි බල, බලශක්ති හා වෙලඳ සංවර්ධන ඇමති රවි කරුනානායක විස්තර කලේ දැඩි නියඟය හේතුවෙන් ප්‍රධාන විදුලි බලාගාර ආශ්‍රිත ජලාශ සිඳීයාම නිසා විදුලි බල උත්පාදන හැකියාව මෙගාවොට් 4200 සිට මෙගා වොට් 1950 දක්වා පහත වැටී ඇති බවයි. දෛනික විදුලි අවශ්‍යතාව මෙගා වොට් 2300කි. ජල විදුලි බලාගාරවල විදුලි නිෂ්පාදනය සියයට 15 දක්වා අඩකින් අඩු වී ඇත. අර්බුදයට තුඩුදී ඇති තවත් නොයෙකුත් හේතුන් ගෙනහැර දක්වන කරුනානායක සිංහල හා හින්දු අලුත් අවුරුදු දින කීපයේ හැර ඊලඟ මෝසම් වැසි වසින මැයි මාසය දක්වා මෙම කප්පාදුව සිදුවීමට ඉඩ ඇති බව ප්‍රකාශ කර තිබේ.

පොදු මහජනයා මුහුන දෙන දුෂ්කරතා සම්බන්ධයෙන් පාලක ප්‍රභූවේ නොතැකීම ඔවුන් මේ ප්‍රශ්නය අරභයා ඉදිරිපත් කරන ”විකල්ප වැඩපිලිවෙලවල්” පිලිබඳ කතාවලින් පැහැදිලි වේ. කරුනානායකට අනුව ”ප්‍රශ්නයෙන් සියයට 60කට හේතුව වන්නේ නියමිත කාලයේදී නිවැරැදි දේශපාලන තීන්දු ගැනීමට නොහැකිවීමයි.” මෙම ”නිවැරැදි තීන්දු” මොනවාදැයි කරුනානායක විස්තර කලේ නැතත්, ලංකා විදුලි බල මන්ඩලය (ලංවිම) ඇතුලු රාජ්‍ය ආයතන පෞද්ගලීකරනය කරන ලෙස අනවා ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදෙල් තීන්දු ක්‍රියාත්මක කිරීමට සහාය දීමෙහිලා පෙරමුනේම සිටින්නෙකි ඔහු.

දැන් ඔහුගේ යෝජනාවක් අනුව ආන්ඩුව පුද්ගලික විදුලි උත්පාදන සමාගම්වලින් මෙගාවොට් 100ක් මිලදීගැනීමට තීන්දු කර ඇත. පුද්ගලික ධනපති සමාගම් තරකිරීමේ පියවරක් වන එහි බර දැරීමට ද සිදුවනු ඇත්තේ කම්කරුවන්ට හා දුගීන්ටමයි.

දේශපාලන සංස්තාපිතය නියෝජනය කරන්නන් සහ රාජ්‍ය නිලධාරින් අර්බුදයේ වගකීම ඒකිනෙකා වෙත පටවමින් චෝදනා හා ප්‍රතිචෝදනා නගමින් සිටී. සූර්ය පැනල නිෂ්පාදකයන් ඔවුන්ගේ විදුලිබල උත්පාදන ව්‍යාපෘතීන් ප්‍රමාද කරතැයි ලංවිම චෝදනා නගයි. නිවේදනය නොකර විදුලිය කැපීමෙන් විදුලි බල පනත උල්ලංඝනය කල බවට මහජන උපයෝගිතා කොමිසම (මඋකො) ලංවිමට එරෙහිව නඩු පවරා ඇත. මේ අතර ජනාධිපතිවරයා මඋකො හා ලංවිම අතර ඇතිව තිබෙන ගැටුම අර්බුදයට හේතුව බව කියා ඇත.

අගමැති රනිල් වික්‍රමසිංහ, මෙම අර්බුදය සිංහල හා හින්දු අලුත් අවුරුද්දට කලින් “විසඳන” බවට ව්‍යාජ පොරොන්දු දෙමින් විදුලිය “පිරිමසින” ලෙස රාජ්‍ය ආයතනවලින් ඉල්ලා සිටියේ ය. මේ අතර පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වත්මන් එක්සත් ජාතික පක්ෂ ආන්ඩුවට චෝදනා නගමින් “තමන්ගේ කාලයේදී” මෙවන් ගැටලුවක් ඇති නොවූ බව ප්‍රකාශ කර ඇත්තේ, සිය පාලන සමයේදී --එල්ල කල අනෙකුත් ප්‍රහාර ගැන මෙන්ම--නොරොච්චෝලේ තාප විදුලි බලාගාරය විවෘත කල තැන් පටන් අඛන්ඩව සිදුවන බිඳවැටීම් ගැන ද මහජනයාට අමතකවී ඇතිවාක් මෙනි.

සෙසු නගරවල ක්‍රියාත්මක වන දෛනික විදුලි කැපීම, දිවයිනේ සුපිරි ධනපතියන් හා දේශපාලනඥයින් වැඩි වසයෙන් වෙසෙන කොලඹ නගරයට වලංගු නැත. එය සාධාරනීකරනය කරමින් අගමැති වික්‍රමසිංහ පවසනුයේ කොලඹ නගරයේ බොහෝ නිවාස ජෙනරේටර් මගින් විදුලිය ලබා ගන්නා නිසා විදුලිය කැපීමක් අවශ්‍ය නැති බව යි.

මහජනයාගේ මූලික අවශ්‍යතාවක් බවට පත්ව ඇති විදුලිය නිසිපරිදි සම්පාදනය කිරීමට තමන්ගේ නොසමත්කම වසන් කිරීම සඳහා විසඳුම් සොයා මිත්‍යා ලෝකයේ පමනක් වෙසෙන දෙවියන්ට කන්නලව් කිරීමට පාලකලයෝ ද නිලධාරීයෝ ද නොපැකිලෙත්. “නිසිකලට වැසී ලැබී විදුලි බලාගාර ආශ්‍රිත ජලාශ ජලෙයන් පිරී විදුලි බල උත්පාදනය අඛන්ඩව පවත්වා ගැනීමට හැකිවේවා” යි ප්‍රාර්ථනා කරමින් ලංවිම ඉංජිනේරුවරුන් අනුරාධපුර ශ්‍රී මහා බෝධිය අබියස මාර්තු 28 හා 29 දිනවල සංඝ ආශිර්වාද මධ්‍යයේ කලවල පිරවූ වතුර වත් කල බව වාර්තා විය. ගුඩවාදය සරනයාම හා අඥානකම කැලතුනු මෙවන් ක්‍රියා මගින් පාලක පන්තියේ කන්ඩායම් දැනුවත් වංචාවක යෙදී සිටිති.

විදුලිය අර්බුදය විසඳීම සඳහා විවිධ “මත” ඉදිරිපත් වී ඇත. මාර්තු 29දා ලංකාදීප පුවත්පතේ කතුවැකිය එවැනි සුලභ මතයක් ගොනුකර ඇත. “විදුලි බලය පමනක් නොව, සන්නිවේදනය, මාර්ග වැනි වැනි සියලුම යටිතල පහසුකම ලබාදීම සඳහා... දුර දක්නා නුවනින්” ක්‍රියා කල යුතු බව සඳහන් කරන කතු වැකිය ජලයෙන් නැත්නම් සුර්යා ලෝකයෙන් විදුලිය ජනනය කිරීමට ලංකාවට විකල්ප සම්පත් ඇතිබව ප්‍රකාශ කරයි. කතුවැකිය අවසන් කර ඇත්තේ, “අද අපට අවශ්‍ය වන්නේ එම සම්පත් මනාව කලමනාකරනය කොට රට ඉදිරියට ගෙන යාම” බව යෝජනා කරමිනි.

පාලක පන්තියට හා නිලධරයාට “මනා කලමනකරනය” නොහැකිවී ඇත්තේ මන්දැයි මේ කිසිවෙකුත් නොඅසති. මානව වර්ගයා අත්පත් කරගෙන ඇති විද්‍යාවේ හා තාක්ෂනයේ විප්ලවීය වර්ධනයන් විදුලිය මෙන්ම මනුෂ්‍යයාගේ මූලික අවශ්‍යතා ගෝලීය වශයෙන්ම සැපිරීමට අවශ්‍ය කොන්දේසි පවතින බව අවිවාදිත ය. එහෙත්, ඒවා නිසිපරිදි කලමනාකරනය කර ගැනීමට පාලක පන්තියට නොහැකිවී ඇත්තේ මන්ද?

විදුලි බලය කප්පාදු කිරීමට හේතුවී ඇති මූලික ප්‍රශ්න විසඳීමට විදුලිය නිපදවීම සඳහා නව හා විකල්ප ක්‍රම සහිත ශක්තිමත් හා කල්පවත්නා වැඩපිලිවෙලක් ඉදිරිපත් කිරීමට මෙම බංකොලොත් පාලකයන් අසමත්ව තිබේ. එබඳු ව්‍යාපෘතීන් සඳහා විද්‍යාත්මක හා තාක්ෂනික ක්‍රම ඇති බව ද ඒවා ක්‍රියාත්මක කිරීමට බිලියන ගනන් මුදල් හා සම්පත් මෙහෙයවිය යුතු බව ද එවන් ධනයක් ගෝලීයව ඇති බවද නොරහසකි.

එහෙත් ලාභ හඹා යන, පුද්ගලික දේපොල අයිතිය මුල්තැන ගත්, ජාතික රාජ්‍ය සීමාවන්ගේ විලංගු සහිත ධනපති ක්‍රමය තුල එවන් මෙහෙයවීමක් කල නො හැකිය. මහා සංගත සහ ඒවා අයිති ධන කුවේරයන් විද්‍යාවේ හා තාක්ෂනයේ වර්ධනයන් තම පුද්ගලික අයිතියට නතු කරගෙන ඇත. ඒවා යෙදවෙන්නේ ලාභ තරකර ගැනීමට සහ විනාශකාරී අවි නිපැයුම සඳහා ය. නිෂ්පාදන බලවේග යථාර්ථවත් ලෙස ප්‍රතිසංවිධානය කල හැක්කේ ඒවා ධනපති ක්‍රමයේ විලංගුවලින් මුදා ගැනීමෙන් පමනකි. මෙය ජාත්‍යන්තර කම්කරු පන්තියේ ප්‍රයත්නයක් තුලින් පමනක් ම සිදුකල හැක්කකි.

වැසි නොලැබීම බැලුබැල්මට ස්වභාවික කරුනකි. එහෙත් එය අද බොහෝකොට ම මිනිසා විසින් නිෂ්පාදිත තත්වයක් බවට පත්වී තිබේ. වැසි නොලැබීම හා වායුගෝලීය උෂ්නත්වයේ නැගීම දැවැන්ත කාලගුනික විපර්යාසයන් ය. එය ඉවක්බවක් නැතිව ලාභය සඳහා නිෂ්පාදනයේ දී සිදු කෙරෙන වන සංහාරයේ හා හරිතාගාර වායු විමෝචනයේ අනිටු ප්‍රතිවිපාකයයි.

මෙම ප්‍රශ්න මොනම ආකාරයෙන් වත් ජාතිකවාදීව විසඳීමට නොහැකිය. ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයේ ඒජන්තයන් ලෙස ක්‍රියා කරන ලංකාවේ පාලක ප්‍රභුවේ සෑම කොටසක්ම යෝජනා කරන්නේ විදුලිබල මන්ඩලය පුද්ගලිකරනය, පුද්ගලික අංශය ශක්තිමත් කිරීම, විදේශ ආයෝජන කැඳවා ගැනීම ආදිවූ ධනපතියන්ගේ ලාභ හා කොමිස් පොදිගසා ගැනීම පහසු කරන “විසඳුම්” ය. මේ “විසඳුම්” වලින් කම්කරුවන් හා දුගීන්ගේ සමාජ අයිතීන් තවදුරටත් කප්පාදුකර මහජනයා පරිපීඩනයේ හෙලීම උග්‍ර කෙරෙයි.

විසඳුම ඇත්තේ ලංකාවේ කම්කරු පන්තිය, දුගීන්ගේ නායකත්වය ගනිමින් ජාත්‍යන්තර සමාජවාදය පාදක කරගත් වැඩපිලිවෙක් මත සටන් කිරීම තුල ය.

වසන්ත රූපසිංහ

Share this article: