ෆෙඩරල් මහ බැංකුව සමග ට්‍රම්ප්ගේ ගැටුම පිටුපස: ලඹ දෙමින් ඇති ආර්ථික අර්බුදය සහ පන්ති ගැටුම

Behind Trump’s clash with the Fed: Looming economic crisis and class conflict

2019 අප්‍රේල් 18

තම මූල්‍ය ප්‍රතිපත්තිය ලිහිල් කරන ලෙසටත් කොටස් වෙලඳපොල තවතවත් වර්ධනය කරන ලෙසටත් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් විසින් ඇමරිකානු ෆෙඩරල් මහ බැංකුවට කෙරෙන නිරන්තර ඉල්ලීම් හරහා නිල දෘෂ්ටිවාදය පිටුපස ඇති වෙස්පෑම් හි ආර්ථික සහ දේශපාලන යථාර්තය එලිදරව් කරනු ලැබෙයි.

පසුගිය ඉරිදා ට්වීට් පනිවුඩයක අඩංගු සිය මෑතම ප්‍රකාශයන් තුල ට්‍රම්ප් සඳහන් කර තිබුනේ, පසුගිය වසරේ පොලී අනුපාතය ෆෙඩරල් බැංකුව විසින් තද නොකලේ නම් මේ වනවිට ආසන්න වාර්තාගත මට්ටමක ඇති ඩව් ජෝන්ස් කාර්මික දර්ශකය ඒකක 5,000 හෝ ඇතැම් විට 10,000 ක පවා ඉහල මට්ටමක පවතිනු ඇත යනුවෙනි. “ප්‍රමානාත්මක ලිහිල්කිරීමේ” වැඩපිලිවෙල මහ බැංකුවට යලි ආරම්භ කරන ලෙසට ඔහු බල කර සිටියේය. මේ යටතේ 2008 දී මූල්‍ය බිඳවැටීමෙන් අනතුරුව මූල්‍ය වෙලඳපොල තුලට ඩොලර් ට්‍රිලියන ගනන් පොම්ප කෙරිනි.

දශක තුනකටත් වඩා කොටස් වෙලඳපොල සේවය කර ඇත්තේ වැඩ කරන ජනතාවගේ සිට ධනවතුන් වෙත පෙරනොවූවිරූ ලෙස ධනය මාරු කිරීම සඳහා ඇමරිකානු පාලක ප්‍රභුවේ මූලික මූල්‍ය යාන්ත්‍රනය ලෙසිනි. ඩිමොක්‍රටික මෙන්ම රිපබ්ලිකානු පාලනාධිකාරයන් යටතේ කම්කරුවන්ගේ රැකියාවලට සහ වේතනවලට එල්ල කෙරුනු රුදුරු ප්‍රහාර ද අධ්‍යාපනය සෞබ්‍යය ආරක්ෂනය සහ අනෙකුත් සමාජ සේවාවන් කප්පාදුවද මත පදනම්ව 1985 සිට ඩව් දර්ශකය 17 ගුනයකින් වැඩිවී ඇත.

ඔබාමා යටතේ සියයට 250 කින් වැඩිවූ ඩව් දර්ශකය ට්‍රම්ප් යටතේ තවත් සියයට 32 කින් වැඩිවිය.

අද දින නවීන පන්නයේ වංශවත් රදලයින් සඳහා යොට් යාත්‍රා ද පුද්ගලික දූපත් ද සහ මෑන්හැටන්හි ඉහල මාලයන් ද සමග නව මහා මිලිටරි ඝට්ටනයක් සඳහා නවීන වඩා මාරක වූ සම්ප්‍රදායික සහ න්‍යෂ්ටික ආයුධ සූදානම් කිරීම සඳහා, අසීමිත සම්පත් කොල්ලකනු ලබන අතරවාරයේ පාසැල් ද සෞඛ්‍යය ආරක්ෂනය ද නිවාස සහ විශ්‍රාම වැටුප් ද සඳහා “මුදල් නැත” යන මුසාව නිල මැසිවිල්ල වී ඇත.

ඇමරිකානු සමාජ සහ දේශපාලන ජීවිතයේ සෑම අංශයක්ම මත මූල්‍ය කතිපයාධිකාරයේ පාලන බලය තහවුරු කර ගනිමින් ධනය සහ ආදායම් අසමානතාවය වාර්තාගත මට්ටම්වලට ලඟා වී ඇත.

“අපක්ෂපාතීත්වය” සහ “ස්වාධීනත්වය” යන්නෙහි නිල මවාපෑම පිටුපස කාලාන්තරයක් පුරා ෆෙඩරල් මහ බැංකුව විසින් කරගෙන යන ලද්දේ කුමක්ද යන්න, විවෘතව ද සරලව ද ට්‍රම්ප් ප්‍රකාශ කරමින් සිටින අතර ඔහු එය තවදුරටත් කරන ගෙන යන ලෙස බල කර සිටියි.

ෆෙඩරල් මහ බැංකුවෙ හි “ස්වාධීනත්වය” ට්‍රම්ප්ගේ අදහස් විසින් උල්ලංඝනය කෙරෙයි යන පදනම් මත ඒවාට නිව්යෝර්ක් ටයිම්ස් සහ දේශපාලන සහ මාධ්‍ය ස්ථාපිතයේ අනෙකුත් ප්‍රධාන අංශවල විරෝධතාවන් පවතින්නේ නම් ඊට හේතුව වන්නේ ඔහුගේ ප්‍රතිපත්තීන් හි මූලික දිශාවනතිය සමග කුමන හෝ නොඑකඟතාවක් නිසා නොවේ. මොවුන් සැලකිලිමත් වන්නේ ඇමරිකානු මහ බැංකුව පාලක පන්තියේ උපකරනයක සිට තම කල්ලියේ උපකරනයක් බවට පරිවර්තනය කිරීමට ට්‍රම්ප් විසින් මාන බලමින් සිටීද යන්න ගැනයි. එහෙත් ජනාධිපති බවට පත්වූ දේපල වෙලඳාම් වංචාකාරයා ආමන්ත්‍රනය කරන කල්ලියේ එම මූල්‍ය පරපුටුවාදී රූපාකාරයන් මතමයි පාලක ප්‍රභූව තුල ට්‍රම්ප්ගේ කල්ලිවාදී ප්‍රතිමල්ලවයින් ද පදනම් වන්නේ.

කොටස් වෙලඳපොලේ උච්චාවචනයන් පැවතියද ස්ථාවර මිල සහ උපරිම සේවා නියුක්තිය සහතික වන පරිදි මූල්‍ය ප්‍රතිපත්තිය සැකසීම ෆෙඩරල් මහ බැංකුවේ නීතිමය වරම වන්නේය. එහෙත් 1987 ඔක්තෝබර් මස කොටස් වෙලඳපොල බිඳවැටීමේ පටන් මූල්‍ය වෙලඳපොලට මුක්කු ගැසීමට ෆෙඩරල් බැංකුව සෘජුවම ප්‍රතිපත්ති හැඩගස්වමින් සිටියේය. එවක වෝල්වීදියේ කොටස්වල වටිනාකම එක් දිනකදී සියයට 22 න් කඩා වැටුනු අතර හිටපු ෆෙඞ් බැංකු සභාපති ඇලන් ග්‍රීන්ස්පෑන් නිවේදනය කලේ මූල්‍ය ඇබ ගැලවී ගියේය යනුවෙනි.

මෙය මෙහෙයවූයේ ග්‍රීන්ස්පෑන් පුට් යනුවෙන් හැඳින්වූ සංසිද්ධියකටය: [ග්‍රීන්ස්පෑන් පුට් වනාහි ඇලන් ග්‍රීන්ස්පෑන් විසින් 1987 අග සහ 2000 අතර ක්‍රියාත්මක කල මූල්‍ය ප්‍රතිපත්තියකි- පරිවර්තක] එනම් වෙලඳපොල ඇන හිටීම ආරම්භ වූ විට එයට පන පෙවීමට ලාභ මුදල් සපයමින් ෆෙඩරල් බැංකුව විසින් පිලියම් කිරීමේ සූදානමයි. 1996 දී තමන් විසින් නම්කල “අතාර්කික සමෘද්ධිය” යටපත් කිරිමට ග්‍රීන්ස්පෑන් වරක් තැත් කල නමුත් මූල්‍ය ප්‍රභූව ඊට දැක්වූ දරුනු ප්‍රතිචාරය කෙතරම්ද යත් එය නැවත වරක් කෙදිනකවත් තැත් නොකෙරිනි.

මෙතැන් පටන් නිල මන්ත්‍රය වූයේ තම [මූල්‍ය ප්‍රභූවේ] සමපේක්ෂන ක්‍රියාවන් විසින් අර්බූදයක් මතුවූ විට තමන්ගේ සහයට ෆෙඩරල් බැංකුව මැදිහත් වන තතු යටතේ මූල්‍ය බුබුලක් නිර්මානය වෙමින් පවතීද, වෙලඳපොල මුල්‍ය ප්‍රභූවට නිදහස ලබාදිය යුතුද යන්න පැවසීමට නොහැකියි යන්නයි.

2008 දී මූල්‍යය බිඳ වැටීමෙන් අනතුරුව මෙම වැඩපිලිවෙල තීව්‍ර කරන ලදී. මේ අනුව ආන්ඩුව බැංකු බේරාගැනීම සඳහා ඇපකරය වෙනුවෙන් ඩොලර් බිලියන සිය ගනන් මුදා හැරි අතර සමපේක්ෂනීය බඩජාරීකම දිගටම ගෙනයාමත් ව්‍යාප්ත කිරීමත් සහතික කරනු පිනිස ඩොලර් ට්‍රිලියන ගනන් අති-ලාභ මුදල් සපයමින් ෆෙඩරල් මහ බැංකුව තම ප්‍රමානාත්මක ලිහිල්කිරීමේ ප්‍රතිපත්තිය ආරම්භ කලේය.

එවිටම සංගත බදු දිගටම අඩු කල යුතුව තිබූ බවට අවධාරනය කෙරිනි. මෑත විශ්ලේෂනයක් පෙන්වා ඇති පරිදි, මේ විසින් දැන් නිර්මානය කර ඇති තත්වය වනාහි, ඇමරිකානු සංගත 60 ක් දල වසයෙන් ඩොලර් බිලියන ගනන් ලාභ ලැබුවද, 2018 දී බදු නොගෙවූ අතර සමහරෙකුට බදු ආපසු ගෙවනු ලැබූ බවයි.

ෆෙඩරල් බැංකුව බාධා නොකරන්නේ නම් පමනක් ඇමරිකානු ආර්ථිකය වැඩි දියුනු වෙමින් වඩා වේගයෙන් පවා වර්ධනය විය හැකියි යන කියාපෑම ට්‍රම්ප්ගේ මෑතම ප්‍රකාශයන් තුල අන්තර්ගත වේ. එහෙත් ශක්තිමත් වීමක් පෙන්නුම් කරනවාට වඩා ගැඹුරු වෙමින් පවතින අර්බූදය සහ පද්ධතියට තවත් මුදල් පොම්ප නොකරන්නේ නම් අඩමාන මූල්‍යය පද්ධතිය බිඳ වැටෙනු ඇතැයි යන බිය ට්‍රම්ප්ගේ අවසාන නිවේදනය තුලින් ප්‍රකාශයට පත් වෙයි.

ඇමරිකානු ආර්ථිකයේ යටින් පවතින ශක්තිය පිලිබඳ කියාපෑම් මූලික කාරනා මගින් නිශ්ප්‍රභ කෙරෙයි. සියයට 2.25 සහ 2.5 අතර ඇති වත්මන් පොලී රේට්ටුව ආර්ථික ඉතිහාසයේ අවමයන්ගෙන් එකකි. එහෙත් ට්‍රම්ප් පාලනයට මෙය අඩු තරමින් සියයට 0.5 කින් කපා දැමීමට අවශ්‍යය.

මූල්‍ය සමපේක්ෂනය මගින් පුම්බන ලද කොටස් වෙලඳපොල තමන්ගේ සෞඛ්‍ය තත්වය පිරිහෙමින් තිබියදීත් තව තවත් මත්ද්‍රව්‍ය ඉල්ලන ඇබ්බැහිකාරයෙක් වැනිය. මෙම වසර මුලදී ඇමරිකානු මූල්‍ය වෙලඳපොල කඩා වැටෙන වෙලඳපොලවල මායිම කරා ලඟා වන විටත්, ෆෙඩරල් මහ බැංකුව විසින් පොලී රේට්ටු වැඩි කිරීමේ ප්‍රතිපත්තිය නැවැත්විය යුතු යයි වෝල් වීදිය ඉල්ලා සිටින විටත් ෆෙඩරල් මහ බැංකුව ඊට අනුගත විය. සභාපති ජෙරම් පොවෙල් නිවේදනය කලේ බැංකුව පොලී රේට්ටු “සාමාන්‍යකරන” ප්‍රයත්නය අත්හරින බවය. මෙය තුඩු දුන්නේ ඩව් ඒකකය එහි වාර්තාගත මට්ටමේ සීමාව ආසන්නයටම තල්ලු කරනු ලැබූ මෑතම උත්පාතයටය.

2017 අවසානයේදී ට්‍රම්ප් කියාපෑවේ බදු කපා හැරීම මගින් සංගතවලට ලැබෙන ඩොලර් ට්‍රිලියන ගනන් මුදල් විසින් ආයෝජන ව්‍යාප්ත වන පරිදි හා වැඩි වැටුප් ලැබෙන රැකියාවන් උත්පාදනය වන පරිදි ආර්ථිකය ප්‍රවර්ධන වනු ඇති බවයි. මෙය මුසාවක් බව එලිදරව් වී ඇත්තේ බදු කැපීම මගින් ඉතිරි වී ඇති අති දැවැන්ත ධනස්කන්ධය, කොටස් නැවත මිලදී ගැනීමටත් ධනවතුන්ගේ පසුම්බිවලට තවතවත් මුදල් පොම්ප කිරීමේ අනෙකුත් පරපුටු මාධ්‍යයන් වලටත් භාවිතා වී ඇත යන්න මගිනි.

තම “ඇමරිකාව පලමුව” වැඩසටහනේ සාර්ථකත්වය පිලිබඳ ට්‍රම්ප්ගේ කයිවාරුව තිබියදී ඇමරිකානු ආර්ථිකය පදනම් වී ඇති භූගෝලීය ආර්ථිකය 2017 දී සිදුවූ කෙටි ඉදිරි පිම්මකින් අනතුරුව දැන් සැලකිය යුතු පසුබැසීමක් අත්දකිමින් සිටියි.

තම මෑතම ආර්ථික විශ්ලේෂනය තුල, එක්සත් ජනපදය ඇතුලුව දියුනු රටවල සංකේන්ද්‍රනය වී ඇති ප්‍රපංචයක් වන ලෝක ආර්ථිකයේ සියයට 70 ක් මන්දගාමීත්වයේ ඇතැයි අනතුරු අඟවමින්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගෝලීය වර්ධනය පිලිබඳ සිය පුරෝකතනය කපා හැරියේය. 2019 දී ආර්ථික වර්ධනය සිය පුරෝකතනයෙන් අඩක් වු සියයට 0.5 කට අඩුකරමින් ජර්මානු ආන්ඩු බදාදා නිකුත් කල නිවේදනය මගින් මෙම අනතුරු ඇඟවීම් අවධාරනය කෙරින.

තමා ජනාධිපති බවට පත්කීරීමට ඡන්ද ලැබුනු ඊනියා මලකඩ තීරුවේ පෙදෙස් [පරිහානිගත කාර්මික තීරුව-පරිවර්තක] පමනක් නොව මුලු රට පුරාම සමාජ පිපිරීමක් දක්වා පරිවර්තනය විය හැකි වැඩෙන වැඩ වර්ජන රැල්ල සහ විරෝධතාවන් අවුලුවනු ලැබීමට තුඩු දෙන ආර්ථික පසු බැසීමක නැතහොත් සැලකිය යුතු ආර්ථික අවපාතයක් ඇති වීමේ හැකියාවට ට්‍රම්ප් පාලනාධිකාරය බිය වී ඇත.

මෙම භීතිය ධවල මනදිරය ඉක්මවා ගමන් කරයි. බි්‍රජ්වෝටර් ඇසොෂිඒට් හෙජ් අරමුදලේ ප්‍රධානියා වන ප්‍රකෝටිපති රේ ඩලියෝ මෑත ලිපියක මහජනතාවගේ ආර්ථික කොන්දේසිවල “ඉතා විශාල පරතරයක්” පවතින විට, ආර්ථිකයේ අඩාලවීමක් ගැටුම්වලට සහ “එක් හෝ තවත් වර්ගයක විප්ලවයකට” මග පාදනු ඇති බවට අනතුරු ඇඟවිය.

පොලී රේට්ටු දැනටමත් ඓතිහාසික පහල මට්ටමක පවතින තතු තුල ඩලියෝ පැවසුවේ තමා “ඊලඟ ආර්ථික කඩාවැටීම ආපසු හැරවීමට මහා බැංකුවට ඇති හැකියාව සීමිත නිසා එවැන්නක් කුමන රූපාකාරයක් ගත හැකිදැයි තමන් බියවී සිටින්නේයැ”යි යනුවෙනි.

සමාජවාදයට එරෙහි තමන් විසින්ම ප්‍රකාශිත යුද්ධය සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහි පාලක ප්‍රභූවේ ද්විපක්ෂ ප්‍රහාරය යන දෙකෙහිම යටින් ඇත්තේ කම්කරු පන්තිය තුල වැඩෙන සමාජවාදී මනෝගතීන් කෙරෙහි සියල්ලටමත් වඩා පාලක ප්‍රභූව තුල පවතින භීතියයි.

නික් බීම්ස්

Share this article: