චිකාගෝවේ සංධ්වනී වාද්‍ය වෘන්දයේ වැඩවර්ජනය

සමාජවාදය හා සංස්කෘතියේ ආරක්ෂාව

Chicago Symphony Orchestra strike - Socialism and the defense of culture

2019 අප්‍රේල් 22

තම වැඩවර්ජනයේ හත්වැනි සතියේ සිටින, චිකාගෝවේ සංධ්වනී වාද්‍ය වෘන්දයේ (සීඑස්ඕ) සංගීතවේදීන්ට එක්සත් ජනපදය තුල මෙන් ම ජාත්‍යන්තර ව සමස්ත කම්කරු පන්තියේ ක්‍රියාකාරී සහාය අවශ්‍ය ය. පරදුවට තැබී ඇත්තේ ඔවුන්ගේ ම වැටුප්, සෞඛ්‍ය රැකවරන ප්‍රතිලාභ හා විශ්‍රාම වැටුප් පමනක් නො ව, ලෝක තත්වයේ වාද්‍ය වෘන්දයක් ලෙස සීඑස්ඕවේ ඇතුලුව, සංස්කෘතියේ ඉරනම යි.

එහි පවතින මූලික පන්ති උත්සුකයෝ වෙති. සීඑස්ඕවේ ක්ලැරිනට් වාදක ජෝන් බෘස් නිවැරදි ව ප්‍රකාශ කල පරිදි, “එය පෙනෙන්නේ පන්ති යුද්ධයක් ලෙස යි, එමෙන් ම අපි එය පිලි නො ගන්නෙමු.” සංගීතවේදීන් නැගී සිටින්නේ වාද්‍ය වෘන්ද මන්ඩලය වන චිකාගෝවේ සංධ්වනී වාද්‍ය වෘන්ද සංගමයට(සීඑස්ඕඒ) එරෙහිව යි, මෙහි ප්‍රධානත්වය ගනු ලබන්නේ උපයෝගිතා සමාගම් විධායකයින්, ආයෝජන බැංකුකරුවන් හා දේපල වෙලඳාම් ආයෝජකයින් ඇතුලු සංගත ප්‍රධානීන් විසිනි.

සීඑස්ඕවේ වසර 128 සුරැකිය යුතු සංස්කෘතික උරුමයක වාර්තාවකි. වාද්‍ය වෘන්දකයෝ ඉහලින් පුහුනු වූ වෘත්තිකයන්ගේ ජාත්‍යන්තර, බහුවාර්ගික සංසඳයක් ගොඩ නගා තිබේ. මේ මට්ටමේ සංගීතඥයෝ සීඑස්ඕව වැනි වාද්‍ය වෘන්දයක ආසනයක් සඳහා කුසලතා පරීක්ෂනයට වසර ගනනාවක් ගත කරති. ආසන ජය ගන්නා අය, බොහෝ අවස්ථාවල දී, තම කලාත්මක ජිවිතයේ සෙසු කාලය කැප කරන්නේ වාද්‍ය වෘන්දය හා එහි සංගීතයට යි.

ජෝජ් සොල්ටි, ඩැනියෙල් බරෙන්බෝයිම්, ක්ලෝඩියා අබාඩෝ හා පියරේ බෝලෙස් වැනි සීඑස්ඕ අධ්‍යක්ෂවරුන් හා සංගීතය මෙහෙයවන්නන් 20වැනි සියවසේ සංගීත ප්‍රසංග තුල ඉතාම ප්‍රකට වූවන් අතර සිට ඇත. වර්තමාන සීඑස්ඕ සංගීත අධ්‍යක්ෂ රිකාඩෝ මටී, “මම මගේ සංගීතඥයින් සමග මෙහි ඉන්නවා” යැයි පවසමින් ප්‍රසංශනීය ආස්ථානයක් ගෙන ඇත්තේ, චිකාගෝ ටි්‍රබියුන් වැනි, සංගත මාධ්‍ය තුල ප්‍රතිගාමී මොට්ටයන්ගේ විවේචන නොතකමිනි.

1950ස් ගනන්වල ෆ්‍රිට්ස් රේයිනර්ගේ උත්සාහයන් මගින් ජාත්‍යන්තර ප්‍රමුඛත්වයට පැමිනි මෙම වාද්‍ය වෘන්දය, බාක්, බීතෝවන්, බ්‍රාහ්ම්ස්, රිමිස්කි-කොර්සකෝව්, ඩෙබූසි හා වෙනත් නිර්මාපකයින් දුසිම් ගනනාවකගේ සංස්කෘතික උරුමයන් වසරකට සියයකට වඩා පවත්වනු ලබන වැඩ සටහන් ඔස්සේ ජීවමාන කරනු ලබයි.

ලෝක ශ්‍රේනියේ වාද්‍ය වෘන්දයක් ගොඩනැගීමට හා පෝෂනය කිරීමට අවශ්‍ය වැටුප් හා ප්‍රතිලාභ පවත්වාගෙන යාමට ප්‍රමානවත් සම්පත් නැත යි පැවසීම අවඥාව නමැති කෙවිටෙන් බැහැර කල යුතු ය. සීඑස්ඕව මෑත දී ප්‍රවේශපත්‍ර අලෙවියේ වාර්තාගත වසරක් සැමරී ය. සීඑස්ඕ කලමනාකරනයට ඩොලර් මිලියන 300ක පරිත්‍යාග අරමුදල් ද ඩොලර් මිලියන 60ක ආයෝජන අරමුදලක් ද ඇත.

මෙම නගරයේ ඉතිහාසයේ මීට පෙර කවදාටත් වඩා චිකාගෝවේ බොහෝ ධනය සමුච්චනය වී ඇත්තේ, ප්‍රධාන වසයෙන් ම නිර්කාර්මිකකරනය සහ පාසල් හා අනෙකුත් මහජන දේපල පුද්ගලීකරනයෙන් වාසි ලබා ගෙන ඇති අයගේ සාක්කු උතුරා යන අයුරිනි.

ෆෝර්බස් වාර්තාව අනුව චිකාගෝ ප්‍රදේශය බිලියනපතියන් 17දෙනෙකුගේ වාසස්ථානය යි. මොවුන් අතරට සිටඩෙල් ආයෝජන ප්‍රධාන විධායක නිලධාරී කෙන් ග්‍රිෆින් (දල වටිනාකම ඩොලර් බිලියන 10යි); සීඑස්ඕඒ අධ්‍යක්ෂ මන්ඩල සාමාජිකා හෙලෙන් සෙල්ගේ සැමියා වන, විපතට පත් වත්කම් ආයෝජක සෑම් සෙල් (ඩොලර් බිලියන 5.5); දේශපාලනිකව සම්බන්ධ ප්‍රිට්ස්කර පෙලපතේ, හ්යාට් හෝටල් දේපල උරුමක්කාරයන් වන තෝමස් (ඩො.බි. 4.2), ගිගී (ඩො.බි.3.2), පෙනී (ඩො.බි. 2.7); හා දැන් ඉලිනොයිස් ආන්ඩුකාර ජේ.බී. (ඩො. බි. 3.4) ජෝසෆ් ග්‍රෙන්ඩිස් ගේ කොච් ෆුඞ්ස් (ඩො.බි. 2.8); බලවත් දේපල වෙලඳාම් හා කැසිනෝ ව්‍යාපාරිකයෙකු මෙන් ම ඩෙමොක්‍රටික් පක්ෂ අරමුදල් රැස්කරන්නෙකු වන නීල් බ්ලූහ්ම් (ඩො.බි. 4)අයත් ය.

ඉලිනොයිස් ප්‍රාන්තයේ ආන්ඩුකාරවරයාගේ ධනයෙන් වසර 45ක් සඳහා සීඑස්ඕවේ ක්‍රියාකාරී වියදම් (ඩොලර් මිලියන 72.7ක් පමන) ආවරනය කල හැක. ඔහුගේ සහෝදරිය වන, බරක් ඔබාමාගේ මැතිවරනයට අත දිගහැර වියදම් කල පෙනීට තවත් වසර 36ක් එකතු කල හැක. මෙය සීඑස්ඕව, ප්‍රවේශ පත්‍ර අලවිය වැනි අනෙකුත් ආදායම් නොලබන බව උපකල්පනය කරන්නේ නම් ය. එක්සත් ජනපදය පුරා මෙන් ම ලෝකය වටා නගරවල ප්‍රතිබිම්බිත චිකාගෝවේ සමාජ අසමානතාවේ තතු එබඳු ය.

පලාත්, ප්‍රාන්ත හා මධ්‍යම ආන්ඩු පොහොසතුන් වෙනුවෙන් බදු කප්පාදු කිරීම හා වියදම් කප්පාදු කිරීම සමග, වාද්‍ය වෘන්ද හා අනෙකුත් සංස්කෘතිකමය ආයතන “වංශාධිපති ප්‍රතිපත්ති“ අනුව වඩ වඩා නයගැති කරමින් සිටිති. වාද්‍ය වෘන්ද, කෞතුකාගාර හා අනෙකුත් සංස්කෘතිකමය ආයතනවල පැවත්ම වඩ වඩා යැපෙන්නේ අත්‍යාධික ලෙස පොහොසත් අයගේ උපකාරය මත ය.

(එක්සත් ජනපද) කලාව සඳහා ජාතික අනුරක්ෂනයේ “එක්සත් ජනපදය තුල කලාවට අරමුදල් සැපයෙන්නේ කෙසේ ද” නම් 2012 වාර්තාවට අනුව, ලාභය සඳහා නොවන රඟදක්වන කලා සංවිධාන තම අරමුදල් සඳහා මධ්‍යම ආන්ඩුවෙන් ලැබුවේ යන්තම් සියයට 1.2ක මුදලක් හා පලාත් හා ප්‍රාන්ත ආන්ඩුවලින් අතිරේක සියයට 5.5ක් පමනි. ලාභය සඳහා නොවන කලා අරමුදල්වලින් පහෙන් එකකට (සියයට 20.3ට) වඩා ලැබෙන්නේ පුද්ගලයන්ගෙනි.

සම්පත් හිඟයෙන් පෙලෙන ෆිලඩෙල්ෆියා, හොනලුලු හා සයිරක්‍යුස්, නිව් යෝක් වාද්‍ය වෘන්ද මෑත වර්ෂවල දී බංකොලොත් බව ප්‍රකාශයට පත් කර ඇත. ෆිලඩෙල්ෆියා බංකොලෙත්කම ප්‍රකාශ කලේ තම සංගීතවේදීන්ගේ විශ්‍රාම වැටුප් ගෙවීමෙන් බේරීමේ උත්සාහයක් ලෙස ය. ඩෙට්‍රොයිට් සංධ්වනි වෘන්දයේ සංගීතවේදීන් 2010-11 අතර නිර්භීත සටනක් මෙහෙය වූ නමුත් වැඩවර්ජනය හුදකලා කෙරුනු බැවින්, වාද්‍ය වෘන්දයට හානි කෙරුනු සහන බාර ගැනීමට අවසානයේ දී ඔවුන්ට බල කෙරුනි.

චිකාගෝවේ කම්කරු පන්තිය තුල සංගීතඥයින් සඳහා පුලුල් සහයෝගයක් තිබේ. සීඑස්ඕ සංගීතඥයින් නගරයේ එක් එක් ප්‍රදේශවල, ඕනෑම අයෙකුට නොමිලේ නැරඹිය හැකි සන්දර්ශන පවත්වා ඇති තැන්වල (කම්කරු පන්තික දකුන හා බටහිර පැති ඇතුලත්) ඔවුන් ප්‍රේක්ෂකාගාර පිරී තිරී යන සන්දර්ශන ඉදිරිපත් කර ඇත. සංගීතවේදීන් තම අරගලයේ සාර්ථකත්වය පුලුල් මහජනතාවට ආයාචනා කිරීමක් සමග බැඳෙන බව නිවරදි ව දැක ඇත.

පෙර දැකිය හැකි සේම, වෘත්තීය සමිති, වැඩවර්ජනය කරමින් සිටින සංගීතවේදීන් පසුපස සහාය බලමුලු ගැන්වීමට කිසිවක් කර නැත. කම්කරුවන්ගේ චිකාගෝ ෆෙඩරේෂනය තම වෙබ් අඩවියේ පලමු පිටුවේ වැඩවර්ජනය ගැන සඳහන් කර නැති අතර සංගීතවේදීන්ට සහාය සඳහා ප්‍රකාශනයක් නිකුත් කර නොමැත. ඒඑෆ්එල්-සීඅයිඕ ව මසකට වඩා ඉහත දී නො සැලිකිලිමත් ප්‍රකාශනයක් නිකුත් කර, එතනින් නතර වී ඇත.

ඒ ආකාරයෙන් ම ඩෙමොක්‍රටික් පක්ෂ දේශපාලඥයින් කිසිවක් පවසා නැත. බර්නී සෑන්ඩර්ස්, තම දෙවැනි ජනාධිපතිවරනය මධ්‍යයේ, සීඑස්ඕ වැඩවර්ජනය ගැන නිශ්ශබ්ද වී සිටී. චිකාගෝව තම දේශපාලන නිජබිම වන බරක් ඔබාමා ප්‍රකාශයක් නිකුත් කර නැත. ඩෙමොක්‍රටිකයන් විසින් චිකාගෝව පාලන කරන අතර, ඔවුන් රිපබ්ලිකානුවන් හා ට්‍රම්ප් පාලනාධිකාරියට අඩු නැතිව, කම්කරු පන්තිය මත ප්‍රහාරයට මෙන් ම පොහොසතුන්ට ධනය යලි බෙදා හැරීමට සහාය දෙති.

සංස්කෘතියේ ආරක්ෂාව හා ව්‍යාප්තිය සඳහා සමාජ පදනම වන්නේ කම්කරු පන්තිය යි. සීඑස්ඕ සංගීතවේදීන් ආරක්ෂා කිරීම සියලුම කම්කරුවන්ට සංස්කෘතික කටයුතුවලට අයිතිය තිබිය යුතු ය යන ඉල්ලීමට සම්බන්ධ කල යුතු ය.මෙයට කලාව හා සංගීතයේ වැදගත් වැඩසටහන් තුරන් කර දැමීමට සම්බන්ධ වී ඇති, මහජන අධ්‍යාපනය මත ප්‍රහාරය අවසන් කිරීම ද ඇතුලත් වෙයි.

මූලික ප්‍රශ්නය වන්නේ ධනවාදය (ලාභය හා සුලු පිරිසක් විසින් ධනය රැස්කිරීම හා අතිවිශාල බහුතරය සූරා කෑම මත පදනම් වන සමාජයක්) සහ සංස්කෘතිය සුරැකීම හා ව්‍යාප්ත කිරීම නො ගැලපීම යි.

සංස්කෘතිය කරා ප්‍රවේශය ආරක්ෂා කිරීම හා ව්‍යාප්ත කිරීමට සමාජවාදය සඳහා සටන අවශ්‍ය වන්නේ ය. සංගත හා මූල්‍ය කතිපයාධිකාරියේ ධනය අස්වාමික කර, සමාජ අවශ්‍යතාවන් ඉටු කිරීමට යොමු කල යුතු ය. සෑම දෙනාට ම පවේශය ඇති කල යුතු, වාද්‍ය වෘන්ද හා කෞතුකාගාර ඇතුලු සියලු සංස්කෘතික අයාතනවලට සම්පූර්නයෙන් අරමුදල් සැපයීම සඳහා බිලියන ගනන් වෙන් කල යුතු ය. සෑම කම්කරුවෙකුට ම ජීවත් විය හැකි ආදායමක්, විවේක කාලයක්, හා මානව වර්ගයාගේ ශ්‍රේෂ්ට සංස්කෘතික උරුමයන්ට ප්‍රවේශ වීම හා අත්දැකීමේ සියලු ආර්ථික හා සමාජ පූර්වාවශ්‍යතා තිබිය යුතු ය.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය එක්සත් ජනපදය තුල හා ජාත්‍යන්තර ව සියලු කම්කරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ සීඑස්ඕ සංගීතවේදීන්ගේ වැඩවර්ජනයට සහාය දක්වන ලෙස හා සංගීතවේදීන්ගේ සටන සමාජ අසමානතාව හා ධනේශ්වර පද්ධතියට එරෙහි සියලු කම්කරුවන්ගේ අරගල සමග සම්බන්ධ කල යුතු බව යි.

ක්‍රිස්ටිනා බෙටිනිස්

Share this article: