වත්තේ ජල මූලාශ්‍ර විකුනා දැමීමට එරෙහි ව ටිලරි වතු කම්කරුවෝ විරෝධය පල කරති

එම්. දේවරාජා විසිනි, 2019 අප්‍රේල් 26

දික්ඔය වැවිලි සමූහයේ ටිලරි වතු යායේ කම්කරුවෝ තම වතු යායේ ජල මූලාශ්‍ර පෞද්ගලික සමාගමකට විකිනීමට එරෙහි ව දිගට ම විරෝධතාවේ යෙදී සිටිති. එම පෞද්ගලික සමාගමේ ෆැක්ටරිය වතු යායට ආසන්න ව පිහිටා ඇති අතර, එහි මාර්තු 13 වැනි දා සිට තේ ටැබ්ලට් නිෂ්පාදනය කෙරෙනු ලැබේ. ටිලරි, පොයිස්ටන්, නෝර්වුඞ් සහ කර්කස්වෝල්ඞ් වතු යායන්හි ජීවත් වන 15,000කට ආසන්න වතු කම්කරු පවුල්වලට අයත් ජනතාවක් මෙම ජල මූලාශ්‍රයන්ගෙන් යැපෙති.

වෘත්තීය සමිතිවලින් ස්වාධීනව, කම්කරුවෝ විරෝධතාවය දියත් කර ඇත. මේ වතු යායේ ලංකා කම්කරු කොංග්‍රසය, ජාතික කම්කරු සමිතිය (එන්යූඩබ්ලිව්), සහ කඳුරට ජනතා පෙරමුන (යූපීඑෆ්) යන වෘත්තීය සමිති තුන ක්‍රියාත්මක ය. එහෙත් මේ සියල්ල ම ටිලරි වත්තේ කම්කරුවන් ගේ සහයට සෙසු වතුවල කම්කරුවන් සංවිධානය කිරීම ප්‍රතික්ෂේප කර, ඔවුන් ගේ අරගලය හුදෙකලා කර දමා ඇත. කම්කරු විරෝධය විසුරුවා හැරීමට යත්න දරමින් ලංකා කම්කරු කොංග්‍රසය යෝජිත ජල ව්‍යාපෘතියට එරෙහි ව රැවටිලිකාර පැමිනිල්ලක් ගොනු කර ඇත.

“මේ වියලි කාලගුනය අස්සේ වතුර ෆැක්ටරියට හරවල යැවුවොත්, අපිට උග්‍ර ජල හිඟයකට මුහුන පාන්න වෙනවා. අන්න ඒ නිසයි, අපි මේ ව්‍යාපෘතියට විරුද්ධ වෙන්නෙ” යි ටිලරි කම්කරුවෝ ලෝක සමාජවාදී වෙබ් අඩවියට (ලෝසවෙඅ) පැවසූ හ.

හැටන් මහේස්ත්‍රාත් අධිකරනයේ නියෝගයකට අනුව මෙම ව්‍යාපෘතියේ වැඩකටයුතු නතර කර දමා ඇති වුව ද, වතු පරිපාලනය එහි වැඩකටයුතු දිගට ම කර ගෙන යාමට උත්සහ දරන බව ඔවුහු වැඩි දුරටත් පැවසූ හ. “පරිපාලනය අපට ව්‍යාපෘතියේ වැඩට යන්න බලපෑම් දැම්මත් අපි එය ප්‍රතික්ෂේප කලා. ඒ හින්දා අප්‍රේල් 11 වැනි දා ඉඳං වතුයායේ වැඩ අපට ලබා දෙන්නෙ නෑ.” යි ඔවුහු පැවසූ හ.

වතු පරිපාලනය වෘත්තීය සමිතිවල සහයෝගය ඇති ව, කම්කරුවන් අසමගි කර වත්ත කැබලි කර දැමීමට කටයුතු කරමින් සිටී. ජල මූලාශ්‍ර විකිනීම එම අරමුනේ එක් කොටසකි. පසු ගිය වසරේ දී වත්තට “ආදායම් බෙදා ගැනීමේ ක්‍රමය” හඳුන්වා දෙනු ලැබුනි.

ටිලරි වත්ත, කැලනිවැලි වැවිලි සමාගම විසින් පාලනය කෙරෙයි. වත්තේ ඉහල සහ පහල ඩිවිෂන්වල කම්කරුවෝ 280 ක් පමන වෙසෙති. “ආදායම් බෙදා ගැනීමේ ක්‍රමය” හඳුන්වා දීමෙන් පසු කම්කරුවන්ට ගැටලු ගනනාවකට මුහුන දීමට සිදු ව ඇත. තවමත් පැරනි දෛනික වැටුප් ක්‍රමයට වැඩ කරන්නේ කම්කරුවන් සුලු පිරිසක් පමනි. ශ්‍රම සූරා කෑම ඉහල දැමීමෙන් වැවිලි සමාගම 2017-18 මූල්‍ය වර්ෂය සඳහා රුපියල් මිලියන 160 ක ලාභයක් උපයා ගෙන ඇත.

කැලනිවැලි වැවිලි සමාගමේ සාමාන්‍යාධිකාරී රොෂාන් රාජදුරෙයි, ජල ප්‍රශ්නය ගැන යූපීඑෆ් නායක වී. රාධක්‍රිෂ්නන් සමඟ පැවැත් වූ දුරකතන සංවාදයක දී, ටිලරි වත්ත දුවන්නේ පාඩු පිට බව පවසා “කම්කරුවන් පරිපාලනයේ උපදෙස් අනුව වැඩ කිරීමට ලෑස්ති නැත්නම් වතු යාය වසා දැමීමට සිදු වනු ඇති” බවට තර්ජනය කලේ ය. රාධාක්‍රිෂ්නන් ද ආන්ඩුවේ රාජ්‍ය ඇමතියෙකි.

ලංකාවේ තේ කර්මාන්තයේ ගැඹුරු වන අර්බුදය සමඟ ලෝක වෙලඳපොලේ ඉහල යන තරගකාරීත්වය සහ දිගින් දිගට ම ලාභ කඩා වැටීම යන තත්ත්වයන්ට මුහුන දීමට, ශ්‍රම ඵලදායීත්වය මත පාදක වූ “ආදායම් බෙදා ගැනීමේ ක්‍රමය” හඳුන්වා දීමට ප්‍රාදේශීය වැවිලි සමාගම් පසු ගිය වසර තුනක කාලය පුරාවට උත්සාහ දරා ඇත. කෙසේ වුවද, කම්කරුවන් ගේ උග්‍ර විරෝධය හමුවේ එය මුලුමනින් ම ක්‍රියාවට දැමීමට සමාගම් අසමත් ව සිටිති. වැවිලි සමාගම් සහ වෘත්තීය සමිති ජනවාරියේ දී අස්සන් කල නවතම සාමුහික ගිවිසුමට අනුව, වෘත්තීය සමිති “ආදායම් බෙදා ගැනීමේ ක්‍රමය” ක්‍රියාවට දැමීමට එකඟ ව ඇත.

දෙසැම්බරයේ දී, වතු කම්කරුවෝ සියයට සියයක වැටුප් වැඩි වීමක්-එනම් දෛනික වැටුප රුපියල් 500 සිට 1000 දක්වා ඉහල දමා ගැනීමට-ඉල්ලා වෘත්තීය සමිතිවලින් නිදහස් ව අධිෂ්ඨානශීලි අරගලයක් දියත් කල හ. එහෙත් වෘත්තීය සමිති විසින් ඔවුහු පාවා දෙනු ලැබූ හ. වැවිලි සමාගම් ලබා දුන්නේ සියයට 40 ක වැටුප් වැඩි වීමක් පමනි. සැබැවින් ම සිදු වූයේ කම්කරුවකු ගේ දෛනික වැටුප රුපියල් 20ක් බඳු සොච්චමකින් ඉහල යාම පමනි.

එම ගිවිසුමට අස්සන් තැබූ වෘත්තීය සමිතියක් වන ලංකා කම්කරු කොංග්‍රසයේ නායකයකු වන මුතු සිවලිංගම්, අප්‍රේල් 19 වැනි දා,වීරකේසරී පුවත්පතේ පල කල නිවේදනයක, “වතු කඩා වැටීමකට ලක් ව ඇති බැවින් ඒවා ගම්මාන බවට පෙරැලිය යුතු යයි ලංකා කම්කරු කොංග්‍රසය යෝජනා කරන බව සඳහන් වෙයි.” තේ වගා කරනු ලැබ ඇති ඉඩම් කම්කරුවන් අතරේ බෙදා දිය යුතු ය. අපේ සමාජය ඉඩම් හිමි සමාජයක් බවට පත් කල යුතු ය.” යි නිවේදනය කියා සිටියේ ය.

මෙය වතු කම්කරුවන් අඳ ගොවීන් බවට පෙරලා, තෙරක් නොපෙනෙන අර්බුදයකට ඔවුන් ඇද හෙලන ප්‍රතිගාමී ඉල්ලීමකි. අර්බුදයෙන් ගොඩ ඒමට ඇති එක ම මාවත වන්නේ කම්කරුවන් ගේ පාලනය යටතේ මහා වතුයායන් ජනසතු කොට පුලුල් සමාජවාදී වැඩපිලිවෙලක කොටසක් වශයෙන් නිශ්පාදනය තාර්කික ආකාරයකින් සංවිධානය කිරීම ය.

පසු ගිය වසරේ දී “ආදායම් බෙදා ගැනීමේ ක්‍රමය” හඳුන්වා දෙනු ලැබූ විට, ටිලරි වතු කම්කරුවන්ට පවසනු ලැබ ඇත්තේ පියවරෙන් පියවර ඔවුන් ලබාදුන් ඉඩම් කැබැල්ලේ අයිතිකාරයන් බවට පත් වනු ඇති බවටයි. එහෙත් සිදු ව ඇත්තේ ඊට ඉඳුරා ම අනික් පැත්ත යි; එනම් දෛනික වැටුප් ක්‍රමය යටතේ ලබා ගත් සොච්චම් වැටුප ද අහිමි ව යාමයි.

“ආදායම් බෙදා ගැනීමේ ක්‍රමය” යටතේ කිසිදු දිනක කම්කරුවන්ට ඉඩම්වල හිමිකාරීත්වයක් උරුම නොවනු ඇත. ඒ වෙනුවට වෘත්තීය සමිති නිලධරයත්, සුලු පරිමාන ව්‍යාපාරිකයනුත් ඉඩම් අයිතියක් ලබා ගන්නා අතරේ ම කම්කරුවන්ට තම රැකියා සහ සෞඛ්‍ය පහසුකම්, ලමා සුභසාධන සේවා, ඊපීඑෆ්, ඊටීඑෆ් ඇතුලු සෙසු සමාජ සහන ද අහිමි ව ගොස්, අඳ ගොවියන් ගේ තත්ත්වයට ඇද වැටෙනු ඇත; තම අයිතීන් දිනා ගැනීම සඳහා සමාජවාදී වැඩපිලිවෙලකට සටන් කිරීමට කම්කරුවන්ට ඇති පදනම වන ඔවුන් ගේ සාමුහික කාර්මික ශක්තිය මෙම ක්‍රමය යටතේ කඩා විසුරුවා දුර්වල කර දැමෙනු ඇත.

Share this article: