සමිතිවල හොරිකඩකම් තිබියදී අනධ්‍යන කම්කරුවන්ගේ එක්දින වැඩවර්ජනයට ඉහල සහභාගිත්වයක්

අපේ වාර්තාකරුවන් විසිනි, 2019 අගෝස්තු 5

වැඩි වැටුප් ඇතුලු ඉල්ලීම් 07 ක් මුල්කර ගනිමින් විශ්ව විද්‍යාල අනධ්‍යන කම්කරුවන් ජූලි 30 වන දා පැවැත්වූ වැඩවර්ජනයට ඉහල සහභාගිත්වයක් ප්‍රකාශ විය. කම්කරුවන් වැඩවර්ජනයට අවතීර්න වූයේ එය කැඳවූ ඒකාබද්ධ කමිටුවෙන් ඉවත්වූ වෘත්තීය සමිති ගනනාවක් විවෘතවම හොරිකඩකමේ යෙදුනු තතු තුලය.

වැඩවර්ජනය කැඳවු විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවට ලිපිකාර හා කාර්මික සේවක සංගමය, කාර්මික නිලධාරී සංගමය, විද්‍යාගාර සේවක සංගමය, යාපනය විශ්ව විද්‍යාල සේවක සංගමය සහ තවත් වෘත්තීය සමිති ගනනාවක් ඇතුලත්වේ. හොරිකඩ මධ්‍යම කමිටුවට, ජනතා විමුක්ති පෙරමුනේ, එක්සත් ජාතික පක්ෂයේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ වෘත්තීය සමිති අයත්වේ.

රජය සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් තම ඉල්ලීම් පිලිබඳව සාකච්ඡාවක් ලබාදීම දිගින් දිගටම ප්‍රතික්ෂේප කල බැවින් එයට විරෝධය පල කිරීම සඳහා ඒකාබද්ධ කමිටුව මෙම වැඩ වර්ජනය කැඳවූ නමුත් මේ දක්වා ඔවුන්ට සාකච්ඡාවක් ලැබී නැත.

මධ්‍යම කමිටුවේ හොරිකඩකමේ පරිමාව කෙතෙක්ද යත්, “30 වැනිදා පැවැත්වෙන වැඩ වර්ජනය අවලංගු කරන්නේනම් පමනක්”, තමන් 29 වැනිදා මුදල් අමාත්‍යාංශය සමග කරන සාකච්චාවට ඒකාබද්ධ කමිටුවේ නියෝජිතයන් දෙදෙනෙකුට සහභාගී විය හැකි බව, එහි නායකයන් ඒකාබද්ධ කමිටුවට දැනුම් දී ඇත.

ඒකාබද්ධ කමිටුව විසින් මධ්‍යම කමිටුවේ ප්‍රතිගාමී කොන්දේසිය ප්‍රතික්ෂේප කලේ, එය පිලිගතහොත් සාමාජික කම්කරුවන් මත තම ග්‍රහනය තවදුරටත් තබාගත නොහැකිවෙතැයි යන උත්සුකයෙනි. වැඩවර්ජන දිනයේ පිකට් කිරීමක් පවා සංවිධානය කිරීමේ පූර්ව සූදානමක් ඒකාබද්ධ කමිටුවට නොපැවතුනි. කම්කරුවන් දුර්මුඛ කිරීම සඳහා සෑම අයුරින්ම ක්‍රියාත්මක වූ එම කමිටු නිලධරය බලාපොරොත්තු වූයේ, සෑම වැඩවර්ජනයක් අවසානයේම කරන පරිදි සහභාගිත්වය අඩුවීම සම්බන්ධයෙන් කම්කරුවන්ටම දොස් පැවරීමටයි.

ඒකාබද්ධ කමිටුවේ මොරටුව විශ්ව විද්‍යාල ශාඛාව, ජුලි 28 දින පැවැත්වූ රැස්වීමේ දී, වැඩවර්ජනයට හොරිකඩකම් කල වෘත්තීය සමිති නායකයන්ගේ කථා සඳහා විශාල කාලයක් වෙන් කෙරුනු නමුත්, අනධ්‍යන කම්කරු අරගලයට සමාජවාදී ක්‍රියාමාර්ගයක් ඉදිරිපත් කිරීම සඳහා උත්සාහ කල සමාජවාදී සමානතා පක්ෂයේ සාමාජික දේහින් වසන්ත ගේ කතාවට ඉඩ නොදෙමින්, සමිති නිලධරය ස්තුති කතාව පවත්වා රැස්වීම අවසන් කලේය.

සමිති නායකයන්ගේ මෙම දුර්මුඛ කිරීම් සහ හොරිකඩකම් නොතකා අනධ්‍යන සේවකයන්ගෙන් බහුතරයක් වැඩවර්ජනයට සහභාගිවූහ. ඉන් බොහෝදෙනකු එදින විශ්ව විද්‍යාල භූමීන් හි රැඳී සිටියේ විරෝධතාවන්හි නියැලීමේ අරමුනෙනි. එනමුදු විරෝධතා සහ රැස්වීම් අවම කිරීමට නිලධරය සෑම ප්‍රයත්නයක්ම දැරුවේය.

කථා දෙකකට සීමා කල රැස්වීමක් පැවැත්වූ මොරටුව ඒකාබද්ධ කමිටු නිලධරය සේවකයන් නිවෙස් බලා යැවූහ. කැලනිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මංගල දාබරේ නම් ඒකාබද්ධ කමිටු නායකයා වර්ජිත දිනයේ නිවෙස්වලට වී සිටින්නැයි සාමාජිකයන්ට උපදෙස් දුන්නේය.

විශ්ව විද්‍යාල කීපයක කම්කරුවෝ වෘත්තීය සමිති දුර්මුඛ කිරීම් තිබියදීම විරෝධතාවයන් සංවිධානය කරමින් අරගලයට ජවයක් දීමට උත්සාහ කලහ. පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ අනධ්‍යන සේවකයෝ 3000 ක් පමන වර්ජනයට සහභාගි වූ අතර ඔවුන් අතරින් සියගනනක්, විශ්ව විද්‍යාල පරිපාලන ගොඩනැගිල්ලෙන් අරඹා ගලහ හන්දිය දක්වා පෙලපාලියකින් ගමන්කොට එහිදී පිකට් උද්ඝෝෂනයක් කලහ.

යාපනය විශ්වවිද්‍යාලයේ සිට කිලිනොච්චි කෘෂි පීඨය දක්වා පාගමන

රුහුනු විශ්වවිද්‍යාල කම්කරුවෝ වැල්ලමඩම පිහිටි විශ්ව විද්‍යාල පරිශ්‍රය ඉදිරියේ උද්ඝෝෂනය කලහ. ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කම්කරුවන් එහි ප්‍රධාන පිවිසුම අසල උද්ඝෝෂනයක නිරත වූ අතර යාපනය විශ්වවිද්‍යාලයේ කම්කරුවන් කිලෝමීටර් හැට හතක් දුර ගෙවා කිලිනොච්චි කෘෂි පීඨය දක්වා ගොස් එහි කම්කරුවන් සමග උද්ඝෝෂනයක නිරත වූහ.

ඒකාබද්ධ කමිටුවේ ඉල්ලීම වන ඇමති හෝ ප්‍රතිපාදන කොමිසම සමග සාකච්චා නොලැබුනු නමුත්, “ඉහල සාර්ථකත්වයක් සහිතව” වැඩ වර්ජනය අවසන් කිරීමට හැකිවූ බව සභාපති ධම්මික එස්. ප්‍රියන්ත ප්‍රකාශ කලේය. සාකච්ඡාවක් ලැබුනේ නම්, “සාධනීය ප්‍රතිචාරයක් ලැබුනා” යැයි පවසමින් කම්කරුවන් මුලා කිරීමට එය යොදාගනු නියතය.

ඒකාබද්ධ කමිටුවට අයත් සමිතියක පේරාදෙනිය විශ්ව විද්‍යාල ශාඛා නායකයෙකු ලෝක සමාජවාදී වෙබ් අඩවි (ලෝසවෙඅ) වාර්තාකරුවන්ට නරුම ලෙස ප්‍රකාශ කලේ “වැඩ වර්ජන කිරීමෙන් සිසුන්ගේ කාලය විනාශ වෙන බැවින් අලුත් උපක්‍රම ඒ සඳහා තෝරා ගනිමින්” සිටින බවයි. එහි අර්ථය වනුයේ, වර්ජනයන්හි දී “සිසුන්ගේ කාලය විනාශවීම” පිලිබඳව පාලකයන් විසින් කම්කරුවන්ට එරෙහිව නගන චෝදනාවටම අනුගත වෙමින් මින් ඉදිරියට වැඩවර්ජනයක් හෝ නොකැඳවීමට සමිති නිලධරය කටයුතු කරමින් සිටින බවයි.

මෙම “අලුත් උපක්‍රම” වනාහි, වර්ජන ඇතුලු කාර්මික ක්‍රියාවන්ට මුලුමනින්ම ප්‍රතිකූල වූ, පාලකයන් සමග කරන ඊනියා සාකච්ඡාවන් බව ඔහුගේ පැහැදිලි කිරීම් වලින් විශද විය.

කෙසේ නමුත් වර්ජිත බොහෝ කම්කරුවන්ගේ අදහස් සමිති නායකයන්ගේ අදහසට මුලුමනින්ම ප්‍රතිවිරුද්ධ විය. මොරටුව විශ්ව විද්‍යාලයේ වර්ජිත කම්කරුවෙකු කියා සිටියේ “එක් දින වර්ජනයකින් නොනැවතී ඉල්ලීම් ලැබෙන තුරු දිගු කාලීන වර්ජනයක නිරතවිය යුතු” බවයි. “අතීතයේ සිට කම්කරුවන් අයිතීන් දිනාගෙන තියෙන්නෙ සටන් කිරීමෙන්. සමිති නායකයන් හොරිකඩකම් කරනවනම්, අපේ කකුල් වලින් අදිනවනම් අපිට තියෙන්නේ සමිති වලින් අයින් වෙලා ඔබ කියන විධියෙ අලුත් සංවිධාන හදා ගන්න එක” යැයි ඔහු තවදුරටත් පැවසීය.

ශ්‍රී ලංකාව තුල සහ ජාත්‍යන්තරව වැඩෙන පන්ති අරගල රැල්ල තුල යලියලිත් ප්‍රකාශයට පත්වන මූලික අංග ලක්ෂන මෙම වැඩ වර්ජනය තුලදී ද දැකගතහැකි විය.

පේරාදෙනිය ඒ්කාබද්ධ වෘත්තීය කමිටු නායකයන්

සමිති වලට සහ එහි නිලධරයට එරෙහිව කම්කරුවන්ගේ කැරලිකාරිත්වයක් වර්ධනයවීම ඉන් ප්‍රමුඛ අංග ලක්ෂනයකි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමිති ශාඛාව වර්ජනයට සහභාගි නොවීමට ගත් තීන්දුවට එරෙහිව නැගීසිටි එහි මොරටුවවිශ්ව විද්‍යාල ශාඛාවේ සාමාජිකයෝ තමන් සමිතියෙන් ඉවත්වන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කලහ. මෙය අනෙක් තැන් වලද දක්නට තිබූ ලක්ෂනයකි.

හුදෙක් පාලකයන්ට බලපෑම් දැමීමෙන් කවර හෝ අයිතියක් දිනාගත නොහැකිබව මෙම අරගලයන්හි දී කම්කරුවන් පැහැදිලිවම අත් දකී. අවම වශයෙන් සමිති නායකයන් ඉල්ලා සිටි සාකච්ඡාව හෝ නොදීමට පාලකයන් ගෙනඇති තීරනයෙන් එය යලිත් සනාථ වී ඇත.

අනධ්‍යන කම්කරුවන්ගේ එක්දින වැඩ වර්ජනයෙන් යලිත් තහවුරු කෙරී ඇත්තේ ධනපති ආන්ඩුවට සහ ධනපති ක්‍රමයට එරෙහි දේශපාලන අරගලයකින් තොරව කම්කරු පන්තියට තම අයිතීන් දිනාගත නොහැකි බවයි. එම දේශපාලන අරගලයට පරම ලෙස සතුරු වෘත්තීය සමිතිවල විලංගු මුදා හරිමින්, කම්කරුවන් තමාගේම සංවිධාන රූපයන්, එනම් කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමට වහා ආරම්භකත්වය ගත යුතුය.

Share this article: