විශ්ව විද්‍යාල අනධ්‍යන සේවක වර්ජනයට දහස් ගනනක් සහභාගිවෙති

අපේ වාර්තාකරුවන් විසිනි , 2019 අගෝස්තු 30

වැටුප් විෂමතාවයන් ඉවත් කිරීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයෝ බදාදා සහ බ්‍රහස්පතින්දා දෙදින සංකේත වර්ජනයක නිරත වුහ. උතුරු සහ නැගෙනහිර ඇතුලුව ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල 15 ක සහ අනුබද්ධ ආයතනවල 15,000 කට අධික සේවකයෝ ඊට සහභාගී වුහ. වර්ජනය නිසාවෙන් විශ්ව විද්‍යාල කටයුතු අඩාල විය. ඔවුන්ගේ මූලික ඉල්ලීම් වන්නේ 2016 අයවැය මගින් රජයේ සේවකයන්ට ලබා දුන් රුපියල් 10,000 වැටුප් වැඩිවීමට සාපේක්ෂ ඇතිවී තිබෙන වැටුප් විෂමතාවය ඉවත් කිරීම සහ විශ්විද්‍යාල අනධ්‍යන සේවකයන් සඳහා නිවැරිදි විශ්‍රාම වැටුප් ක්‍රමයක් සකස් කිරීම ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීම වේ. වර්ජනය කැඳවුම් කලේ විශ්ව විද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව (විවෘඒක) විසිනි.

කම්කරුවන් අකර්මන්‍ය කිරීම පිනිස ඔවුන් විශ්ව විද්‍යාල වෙතට පැමිනීමමත් සමිති විසින් දුර්මුඛ කර ඇත. යාපනය විශ්ව විද්‍යාලයේ සහ ඊට අනුබද්ධ වවුනියාවේ සහ කිලිනොච්චියේ පීඨවල කම්කරුවන් 600 ක් පමන වර්ජනයට සහභාගී වූ නමුත් බදාදා විශ්ව විද්‍යාලය වෙත පැමින සිටියේ ඉන් 20-25 අතර සංඛ්‍යාවක් පමනි. පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ 3000 ක් පමන සේවකයෝ සිටිති. ඉන් පැමින සිටියේ 150-200 අතර පිරිසකි. මොරටුවේ 150 ක් පමන පැමින සිටි අතර ඔවුහු පිකට් උද්ඝෝෂනයක යෙදී ගත්හ. වාර්තාවන ආකාරයට බදාදා මොරටුව විශ්ව විද්‍යාලයේ හැර අනෙක් කිසිදු තැනක කිසිදු පන්ති ක්‍රියාවක් සංවිධානය කර නැත.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට පැවති පිකට් උද්ඝෝෂනය

සමිතිවල එම දුස්ප්‍රයත්නයන් නොතකා බ්‍රහස්පතින්දා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට පැවති පිකට් උද්ඝෝෂනයට දිවයිනේ සියලු විශ්ව විද්‍යාල හා අනුබද්ධ ආයතන නියෝජනය කරමින් 3000 ට අධික සේවකයන් සහභාගිවිම මගින් පෙන්නුම් කෙරෙන්නේ තම අයිතීන් වෙනුවෙන් සටන් කිරීමට ඔවුන් තුල පවතින බරපතල උවමනාව සහ අධිෂ්ඨානයයි.

පැයකට අධික කාලයක් පිකට් උද්ඝෝෂනය පැවති අතර වැටුප් විෂමතාවය ඉවත් කරන ලෙස හා නිවැරැදි විශ්‍රාම වැටුප් ක්‍රමයක් ස්ථාපිත කරන ලෙස ඉල්ලා සිටින සටන් පාඨ ඔවුහු හඬ නැගූහ.

සේවක ඉල්ලීම් ඉටු නොකලොත් දැඩි ක්‍රියා මාර්ගවලට එලඹෙන බවට උද්ඝෝෂනය අවසානයේ සමිති නායකයෝ පුච්චානම් කතා කීහ. “අද මෙතනට ආවේ සුලු කොටසක්. ඉල්ලීම ඉටු නොකලොත් මීට වඩා ගෙනල්ලා මහ ජනතාවගේ සහයෝගය ඇතිව කොලඹ වටලන” බව විවෘඒක සම සභාපති ධම්මික එස්. ප්‍රියන්ත පැවසීය. මෙය හුදෙක් ම සේවකයන්ගේ ඇස්වලට වැලි ගැසීමේ හුදු කයිවාරුවක් පමනි. ඇත්තට ම ඔවුන් කරන්නේ විශ්වවිද්‍යාලවල බලධාරීන් හා ආන්ඩුව සමග එක්ව සේවකයන්ගේ අරගල කඩාකප්පල් කිරීමය. ඉහතදී මෙන් ම මෙවර අරගලය ද ඔවුන්ට කැඳවීමට බල කෙරුනේ විශ්ව විද්‍යාල සේවකයන් අතර බලධාරීන් සහ ආන්ඩුව කෙරෙහි මෙන් ම වෘත්තීය සමිතිවලට එරෙහිව ද දැඩි අප්‍රසාදයක් සහ වෛරයක් වර්ධනය වන කොන්දේසි යටතේ ය.

විවෘඒක විසින් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති වෙත 2019.8.23 දාතමින් යවන ලද ලිපියක දී ඔවුන්ට වර්ජනය කැඳවුම් කිරීමට සිදුව ඇත්තේ “විශ්ව විද්‍යාල අනධ්‍යන කාර්ය මන්ඩල සාමාජිකයන්ගේ දැඩි පීඩනය නිසා” බව සඳහන් කර ඇත. එයින් ගම්‍ය වන අනෙක් කාරනාව වන්නේ තමන් වර්ජනයට විරුද්ධ බව සහ එය මර්දනය කිරීමේ ආන්ඩුවේ සහ විශ්ව විද්‍යාල බලධාරීන්ගේ ක්‍රියාවන්ට සහයෝගය දීමට පවතින සූදානමය.

විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයන්ගේ අරගලය ධනපති පාලක පන්තීන්ගේ ප්‍රහාරවලට එරෙහිව ගෝලීයව වර්ධනය වන පන්ති අරගලය සමග අත්‍යන්තයෙන් බැඳුනු හා සිරිසේන “වික්‍රමසිංහ ආන්ඩුවේ ප්‍රහාරවලට එරෙහිව ශ්‍රී ලංකාවේ කම්කරු පන්තිය තුල වර්ධනය වන පන්ති සටන් වල කොටසකි.

සියයට 20 ක වැටුප් වැඩි වීමක් රක්ෂන හා විශ්‍රාම වැටුප් ක්‍රමයක් ස්ථාපිත කරන ලෙස ඉල්ලා පසුගිය වසරේ පෙබරවාරි හා මාර්තු මාසවල දී ඔවුහු දින 44 ක් වර්ජනයේ යෙදුනි. එහෙත් කිසිදු ඉල්ලීමක් දිනා ගැනීමෙන් තොරව ම ආන්ඩුවේ බොරු පොරොන්දු වලට යටත් කොට සමිති නිලධරය විසින් එම අරගලය පාවා දුන්නේ ය.

වෘත්තීය සමිති වල ද්‍රෝහී පාවාදීම් කෙරෙහි සේවකයන් තුල ඇත්තේ බරපතල කෝපයකි. ලෝසවෙඅ වාර්තාකරුවන් සමග කතා කල බොහෝ විශ්ව විද්‍යාල සේවකයෝ සමිති වල මෙම ද්‍රෝහිත්වය හෙලා දුටු අතර තම ඉල්ලීම් වෙනුවෙන් අරගලය කිරීමට පවතින සූදානම ප්‍රකාශ කලහ.

ශ්‍රී ජයවර්ධපුර විශ්ව විද්‍යාලයේ වර්ජනයට සහභාගි වූවන්ගෙන් කොටසක්

ශ්‍රී ජයවර්ධපුර විශ්ව විද්‍යාලයේ කාර්යාල ලිපිකරුවෙකු වන මහින්ද මෙසේ පැවසීය. “අරගල සිදුවන ආකාරයෙන් මට හැඟෙන්නේ ඒවා නිශ්ඵලයි කියල. ගිය අවුරුද්දේ අපි දවස් 44 ක් වර්ජනයේ හිටියා. නමුත් කිසිදෙයක් වෙනස් වුනේ නැහැ. කම්කරුවන් සඳහා කිසිම ජයග්‍රහනයක් නැතිවම වෘත්තීය සමිති වර්ජනය නතර කලා. මේ වර්ජනයෙන් පස්සෙත් වෙන්නේ ඒකමයි. වෘත්තීය සමිති වල සාකච්චාවලදී අපේ අදහස් නියෝජනය නොවන නිසා පහල මට්ටමේ සේවකයන්ගේ සමිතියක් හැදීම ගැන මම අනෙකුත් කම්කරුවන් සමග කතා කලා. අපි සූදානම් අඛන්ඩ වර්ජනයක යෙදෙන්න. නමුත් විශ්වාස කල හැකි කිසිම සංවිධානයක් අපිට නැහැ.”

පවතින වෘත්තීය සමිති වලින් තම අදහස් නියෝජනය නොවීම නිසා ඒ වෙනුවට ආදේශකයක් ලෙස තවත් වෘත්තීය සමිතියක් හැදීමෙන් ප්‍රශ්නය නොවිසඳෙයි. විශ්ව විද්‍යාල හෝ අවශේෂ කම්කරුවන් කල යුත්තේ වෘත්තීය සමිතිවලින් ස්වාධීනව කම්කරුවන්ගේ ඡන්දයෙන් පත් කර ගන්නා ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගනිමින් ධනපති ආන්ඩුවේ ප්‍රහාරවලට එරෙහිව පොදු අරගලයක් සංවිධානය කිරීමට පියවර ගැනීමයි.

මොරටුව විශ්ව විද්‍යාලයේ වර්ජනයට සහභාගි වූවන්ගෙන් කොටසක්

මොරටුව විශ්ව විද්‍යාලයේ මනෝජ් මෙසේ සඳහන් කලේ ය: “වෘත්තීය සමිති නායකයෝ කියනවා යූඑන්පී ශ්‍රී ලංකා සමිති වර්ජනයට සම්බන්ධ නිසා අපේ අරගලය දිනන එක පහසුයි කියල. නමුත් කිසිම ඉල්ලීමක් දිනන්නේ නැතිවම මේ වතාවෙත් අපට වැඩට යන්න වෙනවා. කලින් අරගලයට සම්බන්ධ වෙන්න සමහර සමිති ප්‍රතික්ෂේප කලා. කම්කරුවන් වර්ජනයට සම්බන්ධ වෙන්නේ නැහැ කියල ඔවුන් කිව්වා. මේ වතාවේ වර්ජනයට ඔවුන් සම්බන්ධ වුනේ කම්කරුවන් අතර අපකීර්තියට පත්වෙලා ඉන්න නිසා.”

මොරටුව විශ්ව විද්‍යාලයේ තවත් සේවකයෙකු මෙසේ පැවසීය: “ඇමති මංගල සමරවීර ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන්ට වැටුප් වැඩිකරපු බව දැනගෙන ඒවා කපන්න කියල තියෙනවා. ඒ කියන්නේ අපට කිසිවක් නොලැබෙන බව. මීට කලින් ඇමතිවරයෙක් කිව්වා රුපියල් දහදාහකින් රජයේ සේවකයන්ට වැටුප් වැඩිකරපු එක මෝඩකමක් කියල. ඒවගේම ඔහු කිව්වා විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ට රුපියල් 3000 කින් ජිවත් වෙන්න පුලුවන් කියල. ආන්ඩුවේ ඇමතිවරු දැන් කියනවා දාසය ලක්ෂයක් වන රජයේ සේවකයන් ආන්ඩුවට බරක් නිසා ලක්ෂ පහකට විතර අඩුකරන්න ඕනේ කියල. රජය මෙහෙමයි ප්‍රශ්න ගැන කතා කරන්නේ. ඉදිරියට ජනාධිපතිවරනයක් එන්න ඉඩ තිබෙනවා එහෙම වුනොත් අපේ ඉල්ලීම් අපේක්ෂකයන්ගේ පොරොන්දුවක් බවට පත්වෙනවා. වෘත්තීය සමිති ඊට පස්සේ වැඩවර්ජනය අතහැරලා අපේක්ෂකයන් පස්සේ යන්න පටන් ගනීවි”

ආන්ඩුවට ආයාචනය කොට කිසිම ඉල්ලීමක් දිනා ගත නොහැකි බව ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ රසායනික විද්‍යා දෙපාර්තමේන්තුවේ ජගත් සඳහන් කලේ ය.: “හැම ආන්ඩුවක් ම කම්කරුවන්ට සලකන ආකාරය වඩ වඩා නරක අතට හැරෙනවා. කම්කරු පන්තියේ හැම කොටසකින් ම වර්ජන මතු වුනා. නමුත් ආන්ඩුව ඉල්ලීම් දීම ප්‍රතික්ෂේප කලා. මා හිතන්නේ කම්කරුවන් එක තනි බලවේගයක් ලෙස සංවිධානය වෙලා මහ වර්ජනයකට යා යුතුයි. ආන්ඩුවට ආයාචනා කරලා කිසිම ඉල්ලීමක් දිනා ගන්න බැහැ”.

ලෝසවෙඅ වාර්තාකරුවන් විශ්ව විද්‍යාල සේවකයන් සමග කතා කිරීම වැලැක්වීමට සමිති නායකයන් කිහිප පොලක දී මංමුලා සහගත උත්සාහයක නිරත විය. වයඹ විශ්ව විද්‍යාලයේ දී ඔවුන් අප වාර්තා කරුවන්ට පහර දීමට උත්සාහ කලේ ය. ලෝසවෙඅ ලිපි වලින් සමිති නායකයන් විවේචනය කරන නිසා සේවකයන් අතර භේද ඇතිවන බවට පේරාදෙනියේ සමිති නායකයෝ චෝදනා කලහ.

කම්කරුවන් භේද කරන්නේ සහ ඔවුන් දුර්මුඛ කරන්නේ වෘත්තීය සමිති විසිනි. ජුලි මාසයේ පැවති එක් දින වර්ජනයට සහභාගිවීම ප්‍රතික්ෂේප කල වෘත්තීය සමිති මධ්‍යම කමිටුවට, සම්බන්ධ ජනතා විමුක්ති පෙරමුනේ, එක්සත් ජාතික පක්ෂයේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ වෘත්තීය සමිති විවෘතවම එයට හොරිකඩකම් කලහ.

ලෝසවෙඅ සහ සමාජවාදී සමානතා පක්ෂය කෙරෙහි ඔවුන් වෛර කරන්නේ එමගින් ඔවුන්ගේ ද්‍රෝහී ක්‍රියාකලාපය එලිදරව් කරන නිසා සහ විශ්ව විද්‍යාල කම්කරුවන් ඇතුලු සමස්ත කම්කරුවන්ගේ අරගලවලට ජාත්‍යන්තර සමාජවාදී ක්‍රියා මාර්ගයක් සම්පාදනය කිරීමට සටන් කරන නිසාවෙනි. සමිති නායකයන්ගේ මංමුලා සහගත හැසිරීම පෙන්නුම් කරන්නේ ඔවුන් ඒ කෙරෙහි දක්වන අතිශය භීතියයි

කම්කරු පන්තියේ සියලු කොටස් වල අරගල මගින් යලි යලිත් තහවුරු කෙරුනේ ධනපති ආන්ඩුවට සහ ආයතන බලධාරීන්ට බලපෑම් දැමීම මගින් ඔවුන්ගේ කිසිදු ඉල්ලීමක් දිනාගත නොහැකි බව ය. කම්කරුවන් ඉදිරියේ ඇත්තේ ධනපති පන්ති පාලනය අහෝසි කිරීමේ හා සමාජවාදී පාලන ක්‍රමයක් ස්ථාපිත කිරීමේ දේශපාලන අරගලයකි. එයට හතුරු වෘත්තීය සමිතිවලින් බිදී කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩ නගමින් කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩ නැගීමට විශ්ව විද්‍යාල සහ සෙසු කම්කරුවන් මූලිකත්වය ගත යුතුය.

Share this article: