නව දිල්ලියේ කාශ්මීර ප්‍රහාරය සහ වාර්ගික ප්‍රතිගාමිත්වයට, අධිරාජ්‍යවාදයට සහ යුද්ධයට එරෙහි සටන

New Delhi’s assault on Kashmir and the fight against communal reaction" imperialism" and war

2019 අගෝස්තු 10

පසුගිය සඳුදා ඉන්දියාවේ හින්දු අධිපතිවාදී භාරතීය ජනතා පක්ෂය (බීජේපී) කාශ්මීර කලාපයේ ඉන්දියානු පාලිත කොටස වන සහ, න්‍යෂ්ටික සන්නද්ධ ඉන්දියාව සහ පාකිස්තානය අතර දශක 7ක් පැරනි මිලිටරි උපායමාර්ගික එදිරිවාදිකම් වල මර්මස්තානය වන ජම්මු හා කාශ්මීරයේ (ජේ ඇන්ඞ් කේ) විශේෂ, අර්ධ ස්වයං පාලන තත්ත්වය නීති විරෝධී ලෙස අවලංගු කලේය.

නව දිල්ලිය මෙතෙක් ඉන්දියාවේ එකම මුස්ලිම් බහුතර රාජ්‍ය වූ ජේ ඇන්ඞ් කේ බෙදූ අතර එය අඩු බලතල සහිත යුනියන් බල ප්‍රදේශ දෙකකට පහත හෙලීය. ජේ ඇන්ඞ් කේ මෙතැන් සිට මධ්‍යම රජයේ භාරකාරත්වය යටතේ පවතිනු ඇති අතර, එහි “තේරී පත් වූ” මන්ත්‍රන සභාව සහ රජය හුදු සැරසිල්ලක් දක්වා ලඝු කර ඇත.

මතභේදාත්මක කාශ්මීර කලාපයේ සිතියම [මුලාශ්‍රය: විකිමීඩියා කොමන්ස්]

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා, ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද් සහ ඉන්දියාවේ හමුදාවේ සහ බුද්ධි අංශවල ඉහල පෙලේ නිලධාරීන් විසින් රහසිගතව සංකල්පනය කරන ලද ව්‍යවස්ථාමය කුමන්ත්‍රනයක් මගින් මෙම වෙනස්කම් ක්‍රියාත්මක කර තිබේ. සමස්තයක් ලෙස ඉන්දියාවේ සහ ජම්මු හා කාශ්මීරයේ ජනතාවට මෙම අනතුරු ඇඟවීම් ගැන පූර්ව දැනුම් දීමක් හෝ ඒ පිලිබද අදහස් දැක්වීමට අවස්ථාවක් හෝ ලබා දී නැත. විධායකය විසින් අධිකාරීමය ලෙස ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී තිබූ ජේ ඇන්ඞ් කේ ප්‍රාන්තයේ විශේෂ තත්වය බැහැර කර ඇති බවත්, ඉන්දියාවේ කාශ්මීරය පෙර නොවූ විරූ වටලෑමකට ලක් කර ඇති බවත් දැන ගත්තේ ඔවුන් සඳුදා උදේ අවදි වූ කලය.

සතිය අන්තයේ දී, ජේ ඇන්ඞ් කේ හි සියලු ම අන්තර්ජාල, කේබල් රූපවාහිනී සහ ජංගම දුරකථන සහ දුරකථන සේවා අත්හිටුවා ඇත. දස දහස් ගනනක් සොල්දාදුවන් සහ පැරාමිලිටරි භටයින් විසින් දැඩිසේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීම සහ සිව් දෙනෙකුට වඩා වැඩි පිරිසකගේ සියලු එක් රැස්වීම් තහනම් කිරීම දිගට ම කරගෙන යයි. ඉන්දියානු මධ්‍යම රජය සමඟ ජේ ඇන්ඞ් කේ ගේ “පූර්න ඒකාබද්ධතාවය” ආරම්භ වී ඇත්තේ ඉන්දීය රජයේ ඒකාධිපතිත්වය යටතේ වන අතර, එසේ නැතිනම්, චෙන්නායි හි හින්දු පුවත්පත නිරීක්ෂනය කල පරිදි, කලාපය “රටේ සෙසු ප්‍රදේශවලින් මුලුමනින් ම කපා දමා ඇත.”

ඉන්දියානු ජම්මු හා කාශ්මීරයේ ග්‍රීෂ්ම අගනුවර වන ශ්‍රීනගර් හි ඉන්දීය ආරක්ෂක හමුදා

භාරතීය ජනතා පක්ෂයේ ව්‍යවස්ථාමය කුමන්ත්‍රනයට විවිධ ප්‍රතිගාමී අරමුනු ඇත. මේවාට ඇතුලත් වන්නේ:

1989 සිට ජේ ඇන්ඞ් කේ කැලඹීමට පත් කර ඇති පාකිස්තානයේ සහය ලබන ඉන්දියානු විරෝධී කැරැල්ලට වේගවත්, ලේවැකි අවසානයක් නවදිල්ලිය විසින් නියම කරන ලද කොන්දේසි මත ගෙන ඒම;

පාකිස්තානයට හා චීනයට යන දෙකට ම එරෙහිව උපායමාර්ගිකව හා මිලිටරිමය වශයෙන් ඉන්දියාවේ හස්තය ශක්තිමත් කිරීම;

කාශ්මීරය යටපත් කර ගැනීමට දිගු කලක් තිස්සේ හඩ නඟන හින්දු දක්ෂිනාංශය බලමුලු ගැන්වීම සඳහා හින්දු ජාතිවාදය සහ යුදවාදී ජාතිකවාදය උසිගැන්වීම සහ ඉන්දියාවේ කම්කරුවන් හා වැඩකරන ජනයා බිය ගැන්වීම සහ බෙදීම.

මෙම අවසාන ඉලක්කය විශේෂයෙන් වැදගත් වේ. භාරතීය ජනතා පක්ෂය මැතිවරන ජයග්‍රහනයක් ලබා ඇති අතරේ ම එය සමාජ පිපිරීමක් මත්තේ වාඩි වී සිටින බව හොඳින් දනී. කම්කරු පන්තියේ විරුද්ධත්වය ඉහල යන්නේ වුව ද, සමාජීය වශයෙන් ගිනි අවුලුවන ආයෝජක ගැති ප්‍රතිසංස්කරන ක්‍රියාත්මක කිරීම නාටකාකාර ලෙස වේගවත් කිරීම සඳහා මහා ව්‍යාපාරිකයින්ගේ වැඩෙන පීඩනයට එය මුහුන දෙයි.

භාරතීය ජනතා පක්ෂයේ ආන්ඩුක්‍රම ව්‍යවස්ථා කුමන්ත්‍රනය “අධි අවදානම් සූදුවක්” බව පිලිගෙන තිබෙමින් ම ඒ පිටුපස පාර්ලිමේන්තු විපක්ෂය” ඇතුලු ඉන්දියාවේ පාලක ප්‍රභූව “පෙලගැසී සිටී.

මෙය ගෝලීය ප්‍රවනතාවයකි. සෑම තැනකම, අර්බුදයෙන් ඇලලී ගොස් බියට පත් පාලක ප්‍රභූන් මිලිටරි ගැටුම් සහ ව්‍යවස්ථා විරෝධී ක්‍රියාමාර්ග වෙත යොමුවී ඇත්තේ නොවැලැක්විය හැකි දේශපාලන හා භූ-උපායමාර්ගික ගැටලු සමඟ ගනුදෙනු කිරීම සඳහා ය.

පාකිස්තානයේ දක්ෂිනාංශික ඉස්ලාමීය ජනතාවාදී අගමැති ඉම්රාන් ඛාන් අඟහරුවාදා න්‍යෂ්ටික අවි භාවිතා කිරීම ඇතුලුව “අන්තිම ලේ බින්දුව වැගිරෙන තෙක් යුද්ධයක්” කරා වේගයෙන් ගමන් කිරීමේ ඇඟ හිරිවටට්වන තත්වයක් ගෙනහැර දැක්වීය. එවැනි යුද්ධයක් අනිවාර්යයෙන් ම ගෝලීය ගැටුමක් දක්වා වර්ධනය වනු ඇත.

ඉන්දියාවේ සහ පාකිස්තානයේ කම්කරු පන්තිය මෙම අර්බුදයට සමාජවාදී ජාත්‍යන්තරවාදී වැඩපිලිවෙලක පදනම මත සහ දකුනු ආසියාව පුරා සහ ඉන් ඔබ්බෙහි ද කාශ්මීරයේ ධනේශ්වර ප්‍රභූ පැලැන්තියේ සහ ඔවුන්ගේ කුමන්ත්‍රනවලට ද එරෙහිව දැඩි ලෙස විරුද්ධව මැදිහත් විය යුතුය.

බෙදීම සහ ධනේශ්වර පාලනයේ අසාර්ථකත්වය

ජාතිවාදී ප්‍රතික්‍රියා වල වර්ධනය සහ දකුනු ආසියාවේ යුද අන්තරාය අන්තර් සම්බන්ධිත ක්‍රියාවලීන් දෙකක ප්‍රතිඵලයක් ලෙස වටහා ගත යුතුය.

පලමුවෙන් ම, අධිරාජ්‍යවාදයෙන් අව්‍යාජ ස්වාධීනත්වයක් දිනා ගැනීමට හෝ ඉඩම් හිමිකාරිත්වය සහ කුලවාදය තුරන් කිරීම වැනි දැවෙන වෙනත් ප්‍රජාතන්ත්‍රවාදී කාර්යයන් විසඳීමට ධනේශ්වර නායකත්වයෙන් යුත් ඉන්දියානු ජාතික ව්‍යාපාරයේ පැහැදිලි අසමත් වීමය. මෙම අසාර්ථකත්වය 1947 දී “නිදහස” දී උප මහාද්වීපයේ ලේ වැකි වාර්ගික බෙදීම මුස්ලිම් පාකිස්තානයක් සහ ප්‍රධාන වශයෙන් හින්දුත්ව වූ ඉන්දියාවක් බවට පත්වීම ලෙස මුර්තිමත් වීය.

ඉන්දු-පකිස්ථාන අන්තර් රාජ්‍ය එදිරිවාදිකම් අඛන්ඩ අධිරාජ්‍යවාදී ආධිපත්‍යයේ මාධ්‍යයක් ලෙසත්, යථා ආර්ථික සංවර්ධනයක් සිදු නොවීම පිලිබඳ කලකිරීමටත්, යුද්ධයේ සහ යුද සූදානමෙහි දී අසංඛ්‍යාත ජීවිත හා සම්පත් නාස්ති කිරීමටත් හේතු වී තිබේ. අද එය දකුනු ආසියාවේ ජනතාවට හා සැබවින් ම මුලු ලෝකයට ම න්‍යෂ්ටික සමූල ඝාතනයක තර්ජනය මතු කරයි.

මෙම ක්‍රියාදාමයන්හි දෙවැන්න නම් ලෝක ධනවාදයේ ක්‍රමික අර්බුදයයි. එය සෑම ජාතිකව පදනම් වූ ධනේශ්වර කල්ලියකට ම කම්කරු පන්තියේ සූරාකෑම නාටකාකාර ලෙස තීව්‍ර කිරීමටත්, පෙරමුනේ සිටින එක්සත් ජනපදය හා අනෙකුත් අධිරාජ්‍යවාදී බලවතුන් සමඟ ආක්‍රමනශීලීත්වය හා යුද්ධය තුලින් ලෝක වේදිකාවේ සිය ස්ථාවරය ඉහල නැංවීමට උත්සාහ කිරීමටත් බල කෙරෙයි.

1919 සිට 1947-48 දක්වා දශක තුනක් මුලුල්ලේ දකුනු ආසියාව කැලඹූ මහා අධිරාජ්‍ය විරෝධී ව්‍යාපාරයට විශාල විමුක්තිකාමී විභවයක් තිබුනි. එහෙත් ජාතික ධනේශ්වරයේ නායකත්වය යටතේ එය පාවා දී ගබ්සා කරන ලදී.

ජාතික ධනේශ්වරයේ ප්‍රමුඛ පක්ෂය වන මහත්මා ගාන්ධිගේ හා ජවහර්ලාල් නේරු ගේ ඉන්දියානු ජාතික කොංග්‍රසය හින්දු-මුස්ලිම් සමගිය වෙනුවෙන් පෙනී සිටින බව කියා සිටියේය. එහෙත්, තම දේපල වෙනුවෙන් තැති ගැන්වී සිටි කොන්ග්‍රස් නායකත්වය, ඔවුනගේ පොදු පන්ති අවශ්‍යතා සඳහා වූ ඉල්ලීමක් මත පදනම්ව, දකුනු ආසියාවේ කම්කරුවන් සහ පීඩිතයන් එක්සත් කිරීමට ඓන්ද්‍රීයව අසමත් වූ අතර ඊට සතුරු විය.

1930 ගනන්වල කම්කරු පන්තියේ වර්ධනය වන ශක්තිය හා ස්වාධීන මැදිහත්වීම ගැන කොන්ග්‍රස් නායකයන් භීතියට පත් වූ අතර, විශේෂයෙන් 1942 සහ 1947 අතර කාලය තුල, බි්‍රතාන්‍ය ඉන්දියාව මෝදු වන විප්ලවවාදී නැගිටීමකින් අලලා ගත් විට, ඔවුන් ලන්ඩනය සමඟ ගිවිසුමක් ඇති කර ගැනීමට අන් කවර දාටත් වඩා අලාමුලා තත්වයකට පත් වූයේ එමගින් බි්‍රතාන්‍ය යටත් විජිත රාජ්‍ය යාන්ත්‍රනය තම අතට ගෙන ධනේශ්වර පාලනය ස්ථාවර කර ගනු පිනිසය

ආරම්මනය ඉන්දියාවෙන් ඉවත්ව යන යටත් විජිත අධිපතීන්ට සහ ජාතිවාදී, ඉඩම් හිමියන්ගේ ආධිපත්‍යයෙන් යුත් මුස්ලිම් ලීගයට යටත් කල කොන්ග්‍රසය, බෙදීම පිලිගත්තා පමනක් නොව, 1947 වසන්ත සමය අගභාගයේ හා ග්‍රීෂ්මයේදී පන්ජාබය සහ බෙංගාලය වාර්ගිකව බෙදීම සඳහා අවධාරනය කරමින් හින්දු මහා සභාව සමඟ එක්වීය.

පූර්ව විශ්ලේෂනයක දී, ඉන්දියාවේ බොල්ෂෙවික් ලෙනින්වාදී පක්ෂයේ (බීඑල්පීඅයි) සංවිධානගත ට්‍රොට්ස්කිවාදීන් මෙම දැවැන්ත සිදුවීම් මධ්‍යයේ කොන්ග්‍රස් නායකත්වය බෙදීම සඳහා දක්වන සහයෝගය සාධාරනීකරනය කල ද්විත්ව මුසාවන් වන එය “වාර්ගික ගැටලුව” විසඳනු ඇති බව සහ “නිදහස සඳහා මාවත විවෘත කරන බව” හෙලි දරව් කලේය.

ඊට පටහැනිව, බීඑල්පීඅයි අනතුරු ඇඟවූයේ එය “අධිරාජ්‍යවාදී වහල්භාවයේ යදම් යලි සවිමත් කිරීමේ මාවතක්” ලෙසත්, “සෑම ප්‍රාන්තයකම“ වර්ගවාදය උද්දීපනය” කිරීමටත් සහ අන්තර් ප්‍රාන්ත ජාතික-වාර්ගික එදිරිවාදිකම් උසිගැන්වීමටත් මෙය හේතු වන බවය. දකුනු ආසියාවේ අසංඛ්‍යාත ජනයා එක්සත් කිරීමේ ප්‍රගතිශීලී කාර්ය කල හැක්කේ සියලු ආකාරයේ ධනේශ්වර-වාර්ගික අතාර්කිකත්වයට හා ධනේශ්වර පාලනයට එරෙහි අරගලයේ දී පමනි. “ධනේශ්වරය ප්‍රතිගාමී ලෙස බෙදා දමා ඇත්තේ කවුරුන් ද, ඔවුන්ව එක්සත් කල හැක්කේ කම්කරු පන්තියට පමනි” යනුවෙන් බීඑල්පීඅයි තහවුරු කලේය.

කාශ්මීරයේ විවෘත තුවාලය මෙම විශ්ලේෂනයේ නිරවද්‍යතාවය සහ බෙදීමෙන් උපත ලද රාජ්‍ය දෙකෙහි ම මුලුමනින් ම ප්‍රතිගාමී වන ස්වභාවය සනාථ කරයි. දශක හතක් තිස්සේ නවදිල්ලිය සහ ඉස්ලාමාබාදය යන දෙක ම කාශ්මීර ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් පාගා දමා ඇති අතර, 1947-48 පලමු ඉන්දු-පකිස්ථාන යුද්ධයේ සිට ලෝකයේ වඩාත්ම බලගතු සන්නද්ධ මායිම් වලින් එකකින් කාශ්මීරය බෙදා ඇත.

එහි දූෂිත මැතිවරන පැවැත්වීමෙන් පසුව ඇති වූ කැරැලි වලට එරෙහිව නැගී එන මහජන විරෝධතා මර්දනය කිරීමට 1989 සිට නවදිල්ලිය ජේ ඇන්ඞ් කේ හි “කුරිරු යුද්ධයක්” දියත් කර ඇති අතර, අතුරුදහන් වීම් සහ හිතු මනාපේ කෙරෙන ඝාතන වලින් එය පිරී තිබේ. මේ අතර, ඉස්ලාමාබාදය, ජේ ඇන්ඞ් කේ හි ඉන්දියානු පාලනය කෙරෙහි ඇති කෝපය හා අතෘප්තිය, වාර්ගික ප්‍රහාර සහ ජනවාර්ගික පිරිසිදු කිරීම්වල යෙදී සිටින ඉස්ලාමීය කාශ්මීර බෙදුම්වාදීන්ට සැපයුම් සහය ලබා දීම සදහා උපායිකව යෙදවීමට උත්සාහ කරමින් එය තමන්ගේම ප්‍රතිගාමී උපායමාර්ගික අවශ්‍යතා සඳහා යොදා ගැනීමට මාන බලයි.

නිදහසින් පසු පාකිස්තානය සෝවියට් සංගමයට එරෙහි සීතල යුද්ධ ගැටුමේ දී ඇමරිකානු අධිරාජ්‍යවාදයේ බලල් අත් රාජ්‍යයක් ලෙස සේවය කිරීමට කඩිනමින් එක් වීය. රාජ්‍යය පැවති කාලයෙන් අඩකට ආසන්න ප්‍රමානයක් එය පාලනය කර ඇත්තේ එක්සත් ජනපද අනුග්‍රහය ලද මිලිටරි ආඥාදායකත්වයන් විසිනි.

ඔවුන්ගේ පැත්තෙන් ඉන්දියානු ධනේශ්වරය, පශ්චාත් යුද සමයේ උත්පාතය සහ සෝවියට් සංගමය දුන් සහයෝගය වාසියට ගනිමින්, ජනතාව දුප්පත්කමට, දුක්ඛිත තත්වයට හා නොදැනුවත්කමට ඇද දැමුවේ වුව ද “කොන්ග්‍රස් සමාජවාදය” ලෙස නරුම ලෙස හැඳින්වූ, රාජ්‍ය ධනවාදී සංවර්ධන ව්‍යාපෘතිය ඉදිරියට ගෙන ගියේය. ඒ හා සමානවම එය “අධිරාජ්‍ය විරෝධී” නොබැඳි ව්‍යාපාරයේ නායකයෙකු ලෙස ලෝක වේදිකාවේ පෙනී සිටියේය.

කෙසේ වෙතත්, තම පාකිස්තාන ප්‍රතිමල්ලවයා මෙන්, ඉන්දීය ධනේශ්වරය ද නැගී එන සමාජ විරෝධය අපගමනය කිරීම සඳහා කුල හා වාර්ගික වෙනස්කම් උසිගැන්වීමේ බි්‍රතාන්‍ය යටත් විජිත උපායමාර්ගය ම අනුගමනය කලේය. නාමික වශයෙන් ඉන්දීය ජනරජයේ ව්‍යවස්ථාව අනාගමික බවට ප්‍රකාශිත වුව ද, කොන්ග්‍රස් පක්ෂය වැඩි වැඩියෙන් හින්දුත්වයෙන් ආටෝප ගැන්වූ ඉන්දියානු ජාතිකවාදයක් ප්‍රවර්ධනය කලේය. කොන්ග්‍රසය විසින් උසිගන්වන ලද 1984 සික් විරෝධී සංහාරය සහ 1992 දී බාබරි මස්ජිඞ් විනාශ කිරීම ඇතුලු වාර්ගික හිංසාවන්ට එය උල් පන්දම් දෙමින් අනුග්‍රහය දැක්වීය.

ඉන්දියානු ධනේශ්වරය අධිරාජ්‍යවාදය හා ප්‍රතිගාමිත්වය වැලඳ ගනී

ගෝලීයකරනය සහ ස්ටැලින්වාදී නිලධරය සෝවියට් සමාජවාදී සමූහාන්ඩුවේ ධනවාදය පුනස්ථාපනයට පත් කිරීම මගින්, එහි රාජ්‍ය ධනවාදී සංවර්ධන උපාය මාර්ගයන්ට වල කැපූ විට, ඉන්දීය ධනේශ්වරය සිය සමාජවාදී, අධිරාජ්‍ය විරෝධී සහ ඒ අනුවම අනාගමික මවාපෑම් ඉක්මනින් පසෙකට දැමීය. කොන්ග්‍රස් පක්ෂය ඉදිරියෙන් සිට, ගෝලීය ප්‍රාග්ධනය සඳහා ලාභ ශ්‍රම වේදිකාවක් බවට ඉන්දියාව පරිවර්තනය කිරීම සහ වොෂිංටන් සමඟ සමීප සබඳතා පදනම් කර ගනිමින් අධිරාජ්‍යවාදය සමඟ නව හවුල්කාරිත්වයක් ඇති කර ගැනීම සඳහා ප්‍රතිප්‍රහාරාත්මකව හැරී ගත්තේය.

1991 න් පසු ඉන්දියාවේ “නැගීමේ” මල් ඵල තනිකරම නෙලා ගෙන ඇත්තේ ඉතා කුඩා සුලු ධනේශ්වර ප්‍රභූ පැලැන්තියක් වන අතර ඔවුන් දැඩි සූරාකෑමේ ලාභ සහ රජයේ වත්කම් විකිනීම මත පදනම් වී සිටී. ඉන්දියාවේ සමාජ අසමානතාවය සහ මිනිස් කාලකන්නිත්වය ලෝකයේ ඉහල ම තැනක පවතී.

එහෙත් ධනේශ්වරය දැඩි කනස්සල්ලෙන් හා අතෘප්තියෙන් සිටී. ගෝලීය ආර්ථික කැලඹීම් සහ තීව්‍ර වන භූදේශපාලනික ගැටුම් තත්වයන් යටතේ, ඉන්දියාවට චීනයට ප්‍රතිවාදීව නිෂ්පාදන දාම කේන්ද්‍රස්ථානයක් ලෙස ඉස්මතු වීමට හා විශාල බලාධිකාරී තත්වයක් සඳහා හිමිකම් පෑමේ “අවස්ථාවේ කවුලුව” වේගයෙන් වැසෙමින් පවතින බවට ඉන්දියාව බියෙන් පසුවේ.

නව ලිබරල් ප්‍රතිව්‍යුහගතකරනය වේගවත් කිරීම සහ ලෝක තලයේ සිය අභිලාෂයන් වඩාත් ආක්‍රමනශීලී ලෙස තහවුරු කිරීම සඳහා ඉන්දීය මහව්‍යාපාරිකයන් මෝඩිව වැලඳගෙන ඔහුගේ දක්ෂිනාංශික භාරතීය ජනතා පක්ෂය රටේ ප්‍රමුඛතම දේශපාලන බලවේගය බවට පත් කර තිබේ.

ලෝක භූදේශපාලනයේ ප්‍රධාන ක්‍රියාකාරිකයකු වීමට හා ඉන්දීය ධනවාදයේ වර්ධනයට අවශ්‍ය තෙල් හා අනෙකුත් සම්පත් සඳහා හිමිකම් පෑමට නම් දකුනු ආසියාවේ කලාපීය ආධිපත්‍යයකරු බවට පරිවර්තනය විය යුතු බවට ගනනය කිරීම මත පාකිස්තානය සමඟ “ක්‍රීඩාවේ නීති” වෙනස් කිරීමට මෝඩි ආන්ඩුව අධිශ්ඨාන කරගෙන සිටී. පාකිස්තානය සමඟ ගැටුම් අවුලුවාලමින්, වැඩෙන පන්ති අරගලයේ කොන්දේසි යටතේ ඇතිවන රටේ සමාජ ආතතීන් වෙනතකට හැරවීමට ද එය උත්සාහ කරයි.

කොන්ග්‍රස් පක්ෂයේ නායකත්වයෙන් යුත් පූර්වගාමී ආන්ඩු විසින් සකස් කරන ලද ඉන්දු-එක්සත් ජනපද “ගෝලීය උපායමාර්ගික හවුල්කාරිත්වය” මත පදනම් ව මෝඩි ආන්ඩුව, චීනයට එරෙහි එක්සත් ජනපද මිලිටරි-උපායමාර්ගික ප්‍රහාරයේ දී ඉන්දියාව සැබෑ පූර්වගාමී රාජ්‍යයක් බවට පරිවර්තනය කර ඇති අතර, වොෂින්ටනයේ ගෝලීය ආධිපත්‍යයට වන උන්මාදනීය වෑයම ට ද්‍රව්‍යමය සහයෝගය සහ දිරිගැන්වීම සපයයි.

මේ අතර වාරයේ වොෂින්ටනය ඉස්ලාමාබාද් සමඟ ඇති සාම්ප්‍රදායික සබඳතා නාටකාකාර ලෙස පහත හෙලීම පාකිස්තානයට එරෙහි නව දිල්ලියේ හිතුවක්කාර ක්‍රියාකලාපයට ධෛර්ය සපයා තිබේ.

අනෙක් අතට ඉන්දු-එක්සත් ජනපද සන්ධානයේ තර්ජනය චීනය සහ පාකිස්තානය ඔවුන්ගේ දිගුකාලීන මිලිටරි උපායමාර්ගික සබඳතා ශක්තිමත් කිරීමට පොලඹවා ඇත.

යුද්ධයට හා වාර්ගික ප්‍රතිගාමිත්වයට එරෙහිව කම්කරු පන්තිය බලමුලු ගන්වනු

එක්සත් ජනපදය හා චීනය අතර වැඩෙන ගැටුම සමඟ ඉන්දු-පකිස්තාන හා චීන-ඉන්දියානු ගැටුම් උත්සන්න වීම දකුනු ආසියාවේ සහ ලෝකයේ ජනතාවට දැඩි අන්තරායන් ගෙන එයි. එය ගැටුම් තුනටම තවත් පුපුරන ද්‍රව්‍ය එකතු කර ඇති නිසා මතභේදාත්මක කාශ්මීර කලාපය භූ-උපායමාර්ගික වැදගත්කමක් එකතු කර ගනියි.

කාශ්මීරය මායිම් වන්නේ චීනයේ ස්වයං පාලිත ටිබෙට් සහ ෂින්ජියැන්ග් කලාප වලට වන අතර, චීනයේ වරායන් යුද්ධයක හෝ යුද අර්බුදයක දී අවහිර කිරීමේ වොෂින්ටනයේ සැලසුම් මගහැරීමේ මාධ්‍යයක් ලෙස බීජිනය මහත්සේ බලාපොරොත්තු තබා සිටින චීන පාකිස්තාන ආර්ථික කොරිඩෝව පාකිස්තානය පාලනය කරන කාශ්මීරය හරහා ගමන් කරයි.

පසුගිය දශක තුන තුල දක්නට තිබෙන්නේ ඉන්දියානු ධනේශ්වරය හුදෙක් දකුනට කඩා බිඳ ගෙන ගමන් කිරිම පමනක් නොවේ. ඉන්දියාවේ සහ දකුනු ආසියාව පුරා කම්කරු පන්තියේ ප්‍රමානය හා සමාජ බලය ද විශාල වශයෙන් ව්‍යාප්ත වී තිබේ. එපමනක් නොව, ගෝලීය පරිමානයෙන්, ධනේශ්වර කප්පාදුවට, සමාජ අසමානතාවයට සහ මිලිටරිවාදයට එරෙහිව වර්ධනය වන හා වැඩි වැඩියෙන් ස්වයං-සවිඥානික ජාත්‍යන්තර කම්කරු පන්තියේ නැගිටීමක් ද පවතී.

වාර්ගික ප්‍රතිගාමිත්වයට සහ යුද්ධයේ තර්ජනයට ප්‍රතිවිරෝධකය වන්නේ මෙම බලයයි. නවදිල්ලියේ සහ ඉස්ලාමාබාද්හි ප්‍රතිගාමී ධනවාදී ප්‍රභූන්ට එරෙහිව ඉන්දියාවේ, පාකිස්තානයේ සහ උප මහාද්වීපයේ කම්කරුවන් පන්ති අරගලය තීව්‍ර කල යුතුය. ලියොන් ට්‍රොට්ස්කි විසින් ප්‍රථම වරට විස්තාරනය කරන ලද නොනවතින විප්ලවයේ උපායමාර්ගයේ පදනම මත, ඔවුන් දකුනු ආසියාවේ සමාජවාදී එක්සත් ජනපදය සඳහා වන සටනට එක්විය යුතු අතර ලොව පුරා කම්කරුවන් සමඟ ඔවුන්ගේ අරගල එක්සත් කිරීමට උත්සාහ කල යුතුය.

සියලු පීඩිත වැඩ කරන ජනයා සමඟ සන්ධානගතව කම්කරු බලය ස්ථාපිත කිරීමෙන් පමනක් අධිරාජ්‍යවාදයෙන් නිදහස ලබා ගත හැකිය, දකුනු ආසියාවේ අසංඛ්‍යාත ජනයා අව්‍යාජ සමාන පදනමක් මත එක්සත් කල හැකිය, ජාතිවාදය හා කුලවාදය තුරන් කල හැකිය, සහ රැකියා සඳහා ඇති දැඩි අවශ්‍යතාවය, යහපත් ආදායමක් සහ මූලික සේවාවන් සපුරා ගත හැකිය.

මෙම වැඩපිලිවෙල සඳහා වන අරගලයට, දශක ගනනාවක් තිස්සේ කම්කරු පන්තිය ජාතිකවාදයට හා ධනේශ්වරයේ ප්‍රගතිශීලී යැයි කියනු ලබන එක් හෝ තවත් අංශයකට බැඳ දමා ඇති, එහි මාඕවාදී ප්‍රභේදය ද ඇතුලුව ස්ටැලින්වාදයට එරෙහි දේශපාලන යුද්ධයක් අවශ්‍ය වේ. මෙම සියලු පක්ෂ කම්කරු පන්තිය කොන්ග්‍රස් පක්ෂයට සහ මුස්ලිම් ලීගයට යටත් කල ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂයේ (සීපීඅයි) දේශපාලන උරුමය ආරක්ෂා කරයි.

දශක ගනනාවක් තිස්සේ සීපීඅයි සහ ඉන් බිදී ගිය වඩා විශාල ශාඛාව වන ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (මාක්ස්වාදී) ධනේශ්වර සංස්ථාපිතයේ අවියෝජනීය අංගයන් ලෙස ක්‍රියාත්මක වී තිබේ. 1991 සිට 2008 දක්වා කාලය තුල නව ලිබරල් ප්‍රතිසංස්කරනවල සහ වොෂිංටනය සමඟ සමීප සබඳතාවල හී තුඩවූ බොහෝ කොට කොන්ග්‍රස් පක්ෂය නායකත්වය දුන් දක්ෂිනාංශික ආන්ඩු වල මුක්කු බවට ඔවුන් පත් විය; ඔවුන් ලෝකයේ සිව්වන විශාලතම මිලිටරි අයවැයෙන් පෝෂනය කෙරෙන ඉන්දියාවේ මිලිටරි ගොඩනැගීමට සහාය දක්වයි; ඔවුහු 2016 සැප්තැම්බරයේ සහ මෙම පසුගිය පෙබරවාරි මාසයේ දී පාකිස්තානයට එරෙහිව මෝඩිගේ හමුදා ප්‍රහාර අනුමත කලහ.

ඔවුන් මැයි මාසයේ දී මෝඩි නැවත තේරී පත්වීමට ප්‍රතිචාර දක්වා ඇත්තේ කම්කරු පන්තිය කොන්ග්‍රසයට හා අනෙකුත් ධනේශ්වර පක්ෂවලට සහ ඉන්දියානු ධනේශ්වර රාජ්‍යයේ දිරාපත් වෙමින් පවතින “ප්‍රජාතන්ත්‍රවාදී” ආයතනවලට කුදලා දීමට දරන උත්සාහය දෙගුන කිරීමෙනි.

එහෙත් 20 වන සියවස ආරම්භය දක්වා දිවෙන සියලු මහා සමාජ අරගල මගින් පෙන්නුම් කර ඇත්තේ ප්‍රතිගාමිත්වය සහ යුද්ධය සමග සාර්ථකව සටන් කල හැක්කේ සමාජවාදී විප්ලවය සඳහා වන අරගලයේ දී කම්කරු පන්තිය දේශපාලනික වශයෙන් ස්වාධීන බලවේගයක් ලෙස බලමුලු ගැන්වීමෙන් පමනක් බවයි.

ඉන්දියාවේ සහ පාකිස්තානයේ සිටින සියලුම ලොසවෙඅ පාඨකයන්ගෙන් අප ඉල්ලා සිටින්නේ, ඔවුන්ගේ රටවල හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශාඛා ගොඩනැගීමට කටයුතු කිරීමෙන් සමාජවාදය සඳහා අරගලයට එක් වන ලෙසයි.

කීත් ජෝන්ස්

Share this article: