කාෂ්මීරය වටලෑම: ජාත්‍යන්තර කම්කරු පන්තියට අනතුරු ඇඟවීමක්

State of siege in Kashmir: A warning to the international working class

2019 අගෝස්තු 17

ඉන්දියාවෙන් පාලනය කරන ජම්මු කාෂ්මීරයේ මිලියන දහතුනක් වන ජනයා, පසුගිය දවස් 13 ගතකර ඇත්තේ, ඉන්දියාවේ හින්දු අධිපතිවාදී භාරතීය ජනතා පක්ෂ (බීජේපී) ආන්ඩුවේ අත්‍යසාමාන්‍ය මර්දනයේ හා සාමූහික දඬුවම් කිරීමේ තන්ත්‍රයක් යටතේ ය. මෙම ක්‍රියාවන්ට ඇත්තේ ඓතිහාසික ව කුප්‍රකට පූර්වාදර්ශ කිහිපයක් පමනි.

බෙල්ජියම, ග්‍රීසිය හා පෘතුගාලය වැනි සමස්ත යුරෝපීය රටවල හෝ පෙන්සිල්වේනියාව, ඉලිනොයි හා මිචිගන් වැනි එක්සත් ජනපදයේ ප්‍රධාන ප්‍රාන්තවල සමස්ත ජනගහනයට වැඩි ජනගහනයක්, දිනය පුරා ඇඳිරි නීතිය පැනවීම හා ක්ෂය වන ආහාර සම්පාදනයන් සහිත ව පුද්ගලයන් ඔවුන්ගේ නිවෙස්වල කූඩු කිරීම ඇතුලු “ආරක්ෂක අගුලුලෑමකට” භාජනය කරනු ලැබ ඇත.

පුද්ගලයන් හතරදෙනෙකුට වැඩි එක්රැස් වීම් තහනම් කරමින් නිදහසේ කතා කිරීම හා රැස්වීම අහෝසි කරනු ලැබ ඇත. මාධ්‍ය වෙත කතා කරමින් මර්දනය හෙලා දුටු විවේචකයන් ව සිරගත කර තිබේ. කලාපයේ ආර්ථිකය ඇනහිට ඇති අතර, රාජ්‍ය ප්‍රවාහන සේවය වසා දමා ඇත.

ලෝකයේ විශාලතම ප්‍රජාතන්ත්‍රය ලෙස ආකාරගත ව විස්තර කරනු ලැබෙන ඉන්දීය ආන්ඩුව ජම්මු කාෂ්මීරයේ බොහෝ දේශපාලනඥයන් ව “නිවාරක රඳවාගැනීමට” භාජනය කර ඇත. 1947 බි්‍රතාන්‍යයෙන් නිදහස ලබාගැනීම සමග සිදු වූ උප-මහාද්වීපය මුස්ලිම් පකිස්තානයක් හා හින්දූන් ප්‍රධාන ඉන්දියාවක් බවට ප්‍රතිගාමී ලෙස වාර්ගික ව බෙදුනු තැන් පටන් බෙදනු ලැබ ඇති සුවිශාල කාෂ්මීර කලාපයේ ඉන්දියාවෙන් පාලනය කරන කොටස ජම්මු කාෂ්මීරය යි. දැනට න්‍යෂ්ටික ව සන්නද්ධ ප්‍රතිමල්ලවයන් වන දෙරට අතර යුද්ධ දෙකක් හා ගනන් නැති යුද අර්බුද සඳහා ජ්වලනාංකය වී ඇත්තේ මතභේදයට තුඩු දී ඇති මෙම භූමි ප්‍රදේශය යි.

ජම්මු කාෂ්මීරයේ හිටපු මහ ඇමතිවරු දෙදෙනෙකු හා අනෙකුත් ප්‍රමුඛ පෙලේ දේශපාලනඥයන් දුසිම් ගනනක් ඇතුලු පුද්ගලයන් 500කට අධික පිරිසක්, කිසිම වග විභාගයකින් තොරව රඳවා ගනු ලැබ ඇති අතර, ඔවුන්ගේ පවුල් ඔවුන් ව සිරගත කර ඇත්තේ කොහේදැයි නො දනී. බොහෝ දෙනා ව මිලිටරි ගුවන් යානා මගින් කලාපයෙන් පිටත බන්ධනාගාර වෙතට ප්‍රවාහනය කරනු ලැබ ඇත. පූර්ව ආන්ඩු-විරෝධී විරෝධතාවලට සහභාගි වූ බව දන්නා පුද්ගලයන් හෙවත් “ගල් ගැසීමට පෙලඹිය හැකි වූවන්ද” එම ඉරනමට ම මුහුන දී ඇත.

සමස්ත ජනකායක් යටත් කර තැබීම ඉලක්ක කරගන්නා මෙම ආධිපත්‍යය සම්පූර්න කරමින්, ඉන්දීය ආන්ඩුව ගෘහස්ත දුරකථන, ජංගම දුරකථන හා අන්තර්ජාල සබඳතා ඇතුලු සියලු සන්නිවේදන මාර්ග කපා හැර ඇත්තේ, විරෝධය සංවිධානය කිරීම පිනිස සමාජ මාධ්‍ය උපයෝගී කරගැනීම පසෙක තැබුවත් ඥාතීන්, මිතුරන් හා සම-කම්කරුවන් සමග කතා කිරීම පවා නො හැකි කරමිනි.

කිසිදු පූර්ව අනතුරු ඇඟවීමකින් තොර ව කාෂ්මීර ජනගහනය මත අගෝස්තු 5දා හදිසියේ පනවන ලද මෙම මහා පරිමාන මර්දනය බලාත්මක කිරීමට, දසදහස් ගනනක අතිරේක ඉන්දීය භටයන් කලාපය තුලට එවනු ලැබ ඇත. ව්‍යවස්ථාවට පරිබාහිර කුමන්ත්‍රනයට එරෙහි කිසිදු විරුද්ධත්වයක් පූර්වභංග ලෙස මැඩපැවැත්වීමට ඉන්දීය ආන්ඩුවේ ෆැසිස්ට්තාලයේ බීජේපී අගමැති නරේන්ද්‍ර මෝදි මෙම කඩාපැනීම ක්‍රියාවට දැමී ය. ඉන්දියාවේ මුස්ලිම් බහුතරයක් වෙසෙන එකම ප්‍රාන්තය වන ජම්මු කාෂ්මීරයට ව්‍යවස්ථාවෙන් සහතික කර තිබුනු සුවිශේෂී, අර්ධ-ස්වාධීන තත්ත්වය නීති-විරෝධී විධායක නියෝගයක් මගින් අහෝසි කල ආන්ඩුව, සාරභූත වසයෙන් මධ්‍යම ආන්ඩුව විසින් පාලනය කරන මධ්‍යම යටත් භූමි ප්‍රදේශ දෙකකට වෙන් කලේ ය.

කඩාපැනීම කෙරෙහි විරෝධය පලකරන ඕනෑම ඉඟියක් ම්ලේච්ඡ මර්දනයට ලක් කර ඇත. බ්‍රහස්පතින්දා පමනක්, කලාපයේ විශාලතම නගරය වන ශ්‍රීනගර්හි ප්‍රධාන රෝහලක වෛද්‍යවරු, තුවක්කු වෙඩි වැදීම් හා රබර් උන්ඩ හේතුවෙන් හටගත් තුවාලවලට ප්‍රතිකාර පතා අවම වසයෙන් පුද්ගලයන් 50ක් පැමිනි බව වාර්තා කලහ.

ශ්‍රීනගර්හි සිකුරාදා යාඥා මෙහෙයන් සඳහා සහභාගි වීමෙන් පසු, විරෝධතාකරුවන් වීදිවලට බැස “කාෂ්මීරයේ සංහාරය නවතනු, ලෝකය අවදි වනු” යන පාඨ රැගත් පුවරු ප්‍රදර්ශනය කල අගෝස්තු 16දා අගුලුලෑමට එරෙහි ප්‍රධාන විරෝධතාවක් දැකගත්තේ ය. ඔවුන්ට ප්‍රතිචාර ලැබුනේ කඳුලු ගෑස් වලින් හා අත් තුවක්කු වලිනි.

කාෂ්මීරය තුල මහා පරිමාන මර්දනය, වාඩිලාගත් බටහිර ඉවුරේ හා ගාසා තීරයේ පලස්තීන ජනගහනයට එරෙහි ව ඊස්රායල රාජ්‍යය හා එහි ආරක්ෂක හමුදා විසින් සිදුකරනු ලබන මර්දනය සමග සන්සන්දනය කරනු ලැබේ. එහෙත්, ජම්මු කාෂ්මීර පරිමානයේ ජනගහනයක් සන්නද්ධ බලය යොදා රඳවා ගැනීමට පූර්වාදර්ශයක් සොයාගැනීමට, යමෙක් කල යුතු වන්නේ නාසි ජර්මනිය විසින් යුරෝපයේ සෙසු ප්‍රදේශ ආක්‍රමනය කරමින් වාඩිලාගගත් කාලපරිච්ඡේදයට යාම යි.

කාෂ්මීර සිද්ධීන්ගේ වඩාත් ම අවධානයට ලක්විය යුතු අංගයක් වන්නේ, බටහිර ආන්ඩු හා මාධ්‍යවල මුලුමහත් ම පාහේ වන නිශ්ශබ්දතාව හා නො තකා හැරීම යි. එක්සත් ජනපදයේ ප්‍රධාන ප්‍රවෘත්ති ජාල මහා පරිමාන මර්දනය සමස්තයක් ලෙස ම පාහේ නො තකා හැර ඇත්තේ, ප්‍රධාන පුවත්පත්වල ආවරනය ලුහුඬු හා විරල වෙද්දී ය.

“මෙම ක්‍රියාවන් අතිශයින් ම අභ්‍යන්තර කරුනක් ලෙස ඉන්දීය ආන්ඩුව විස්තර කර තිබීම අපි අවධානයට ගනිමු” යි ප්‍රකාශ කරමින් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව දියාරු ප්‍රකාශයක් නිකුත් කලේ ය.

රුසියාවේ, චීනයේ, ඉරානයේ හෝ වෙනිසියුලාවේ එවන් මර්දනයක් සිදු වූයේ නම් ප්‍රතික්‍රියාව කවරක් වනු ඇද්ද? එවැන්නක් උරෙනුර ගැටී ආවරනය කරනු ඇති බවත්, කෝපාග්නියෙන් ජ්වලිත හෙලාදැකීම් මෙන් ම වොෂින්ටනය විසින් මිලිටරි ආක්‍රමනයක් පවා සිදුකරන බවට තර්ජනය කිරීමත් සිදු වන බවට කිසිදු සැකයක් තිබේ ද? සිද්ධීන් විසින් යලි වතාවක් සනාථ කර ඇත්තේ, “මානව හිමිකම්” අදාල වන්නේ, තන්ත්‍ර-මාරු සඳහා වන නව-විජිතවාදී යුද්ධ හෝ රුසියාව හා චීනය යන “මූලෝපායික තරඟකරුවන්ට” එරෙහි ව එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ප්‍රහාරය වෙනුවෙන් ඒවා සේවය කරන තාක් දුරට පමනක් බව ය.

එක්සත් ජනපදය සහ යුරෝපයේ ද ඉන් ඔබ්බේ ද ප්‍රධාන ධනපති ආන්ඩුවලට කාෂ්මීරයේ මහා පරිමාන මර්දනය නො තකා හැරීමට ආර්ථික හා භූ-මූලෝපායික හේතු තිබේ. වොෂින්ටනය විසින් නායකත්වය දෙන සියලු ප්‍රධාන බටහිර බලයන්, ආසියාව තුල චීනයේ ආනුභාවයට එරෙහි මිලිටරි-මූලෝපායික ප්‍රතිතුලන බලයක් ලෙස ඉන්දියාව ගොඩනැගීමට උත්සාහ දරමින් සිටී. එක්සත් ජනපදයේ යුද නැව් හා යුද යානාවලට ඉන්දියාවේ වරායන් හා මිලිටරි කඳවුරු විවෘත කිරීම, එක්සත් ජනපදය නායකත්වය දෙන ජපානය හා ඕස්ටේ්‍රලියාව ද ඇතුලත් චතුර්-පාර්ශවික මූලෝපායික සන්ධානය හා බද්ධ වීම සහ බීජිනය සමග ගැටුමේ දී එක්සත් ජනපදයේ පෙරමුනු රාජ්‍යයක් බවට ඉන්දියාව පත්කිරීම ආදිය මගින් මෝදිගේ අන්ත-දක්ෂිනාංශික ආන්ඩුව මෙම උත්සාහයන් සමග මුලුමනින් ඒකාබද්ධ වී සිටී.

එහෙත් මෝදිගේ කඩාපැනීම අරබයා බටහිර ධනපති ආන්ඩුවල නිහඬතාවට අතිමූලික හේතුවක් තිබේ. තමන්ගේ ම රටවල මහජන සමාජ අතෘප්තිය මැඩීමට ඒ හා සමාන ක්‍රම යොදාගැනීම ඔවුන් සියලු දෙනාට දැකගත හැකි අතර, නිසැක ව ම, එසේ කිරීම සඳහා විස්තීර්න සූදානම් වීම් සිදු කර ඇත.

එක්සත් ජනපදයේ ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ආන්ඩුව, අන්ත-දක්ෂිනාංශයේ හා ෆැසිස්ට් අවයවවල සහයෝගය මත පදනම් ව ජනාධිපතිමය ආඥාදායකත්වයක් සංස්ථාපිත කිරීම සඳහා වඩ වඩා ආඥාදායක විධික්‍රම යොදාගෙන ඇත්තේ, සරනාගතයන් හා සංක්‍රමනිකයන් මර්දනය කිරීමට පොලිස් රාජ්‍ය පියවරයන් උපයෝගී කරගනිමිනි. ප්‍රන්සයේ එම්මෑනුවෙල් මැක්රොන්, හදිසි බලතල “සාමාන්‍යකරනය” කොට දුරදිග යන සමාජ ප්‍රහාර පැනවීමට ඒවා යොදාගෙන, “කහ කබා” විරෝධතාකරුවන්ට විරුද්ධ ව හමුදාව යවා ඇත්තේ, නාසි-හිතවාදී ආඥාදායක ෆිලිප් පෙටේන් කෙරෙහි තමන්ගේ ආකර්ශනය ප්‍රකාශ කරමිනි. ඇන්ජලා මර්කෙල්ගේ ආන්ඩුව, ෆැසිස්ට් නඩ හා හිට්ලර්ට මුලුමනින් ක්ෂමාලාප ගොතන ජර්මනියේ අන්ත-දක්ෂිනාංශය වගාදිගා කොට ආරක්ෂා කර ඇත්තේ, බුන්ඩෙස්ටාග්හි ප්‍රධාන විරුද්ධ පක්ෂය ලෙස අන්ත-දක්ෂිනාංශික ඒඑෆ්ඩීයේ ඉස්මතු වීම බලා ගනිමිනි.

පෙර නුවූ විරූ හා ඉහල නැගෙන සමාජ අසමානතාවේ බලපෑම යටතේ සෑම තැනක ම ප්‍රජාතන්ත්‍රවාදී පාලන රූප ඇදවැටෙමින් තිබේ. ලෝක ආර්ථික අර්බුදයේ තීව්‍ර වීම, වෙලඳ යුද්ධයේ හා භූ-මූලෝපායික ගැටීම්වල වැඩීම සහ සියල්ලට ඉහලින් ලෝක පරිමාන ව පන්ති අරගලය පුනර්ජීවනය වීමට ප්‍රතිචාර වසයෙන්, පාලක ධනපති කතිපයාධිකාරීන් යලි වතාවක් කුදුමහත් ආඥාදායකත්වයට හා ෆැසිස්ට්වාදය වෙතට හැරෙමින් සිටී.

කාෂ්මීරයේ ම්ලේච්ඡ කඩාපැනීම දෙස බලන කිසිදු කම්කරුවෙක්, “එය මෙහි සිදු විය නො හැකි” යි නො සිතිය යුතු ය. ධනවාදය පෙරලා දැමීම සඳහා සමාජවාදී ක්‍රියාමාර්ගයක් මත පදනම් ව ජාත්‍යන්තර පරිමානයෙන් කම්කරු පන්තිය ස්වාධීන දේශපාලන මැදිහත් වීමක් නො කරන තැන, අන්තර්ජාලය කපාහැරීම, වීදිවලට භටයන් පිරවීම, පැය විසිහතරේ ඇඳිරි නීති පැනවීම, විරෝධතාකරුවන්ට වෙඩි තැබීම -හා ඊටත් නරක දේ- එක්සත් ජනපදය, ප්‍රන්සය, ජර්මනිය, එක්සත් රාජධානිය, හා සෑම රටක ම පාහේ සිදු විය හැකි අතර, එසේ සිදු වනු ඇත.

බිල් වෑන් ඕකන්

Share this article: