ලෝකය විනාශයේ අද්දරට පැමින ඇති බවට දේශගුනික විපර්යාස වාර්තා අනතුරු අඟවයි

Climate change reports warn of a world on the brink

2019 අගෝස්තු 12

දේශගුනික විපර්යාස පිලිබඳ එක්සත් ජාතීන්ගේ අන්තර් රාජ්‍ය මන්ඩලය සහ ලෝක සම්පත් ආයතනය පසුගිය සතියේ නිකුත් කරන ලද වාර්තා, බිලියන ගනනක ජනතාවට කිව නොහැකි දුක් වේදනා ගෙන දෙමින්, දේශගුනික විපර්යාස හේතුවෙන් ඇති වන පාරිසරික ව්‍යසනය ඉහල යාමේ අවදානම පෙන්වා දෙයි.

එක්සත් ජාතීන්ගේ, “දේශගුනික විපර්යාස සහ ඉඩම්” වාර්තාව පෙන්නුම් කරන්නේ, දැනටමත් කුසගින්නෙන් පෙලෙන මිලියන 821 ක් මිනිසුන් හට ආහාර නිශ්පාදනයට තිබෙන භූමියේ කෘෂිකාර්මික යටිතල පහසුකම් සඳහා ඇති හැකියාව දේශගුනික විපර්යාස හේතුවෙන් අහිමි වීමෙන් දුර්භික්ෂයකට මුහුන දිය හැකිබවයි. ඉදිරි දශක කිහිපය තුල ඛාදනය, ගංවතුර, කාන්තාර බවට හෝ ලැව්ගිනි, සුලි කුනාටු හෝ සුලි සුලං මගින් විනාශ වන ප්‍රදේශවල ජීවත්වන බිලියන 3.2 ක් වන පුලුල් ජනගහනයේ කොටසකි මෙම පිරිමින්, කාන්තාවන් සහ ලමුන්.

ලෝක ජනගහනයෙන් හතරෙන් එකක් ජිවත් වන මැදපෙරදිග, උතුරු අප්‍රිකාව සහ දකුනු ආසියාවේ රටවල් 17 ක මහ ජනයා එම රටවල පවතින පිරිසිදු ජලය භාවිතා කිරීමට නොහැකි වීමේ අනතුරට මුහුනපා සිටින බව ලෝක සම්පත් ආයතනයේ ජලජීවී ව්‍යාපෘති වාර්තා පෙන්නුම් කරයි. මෙම “දින ශුන්‍යය” තත්ත්වය ගංවතුර මෙන් හතර ගුනයක අධිකහානියක් සහිත නියඟයන් ට හේතුවේ. එමගින් බෝග විනාශය, විදුලිය ඇනහිටීම්, වැලැක්විය හැකි රෝග අවදානම වැඩි වීම සහ මිලියන සිය ගනනක් ජනයා විශාල වශයෙන් ප්‍රදේශ හැර සංක්‍රමනය වීමට ඉඩ ඇති අතර, ඊටත් වඩා, ලෝකයේ බොහෝ කොටස්වල ජල සැපයුම අවදානමට ලක් කරයි.

සියවසකට වැඩි කාලයක් තිස්සේ ගල් අඟුරු, තෙල් හා ස්වාභාවික ගෑස් දහනය කිරීමෙන් ඇති වූ ගෝලීය උෂ්නත්වය ඉහල යාම මෙම සමාජ අර්බුද වලට හේතු වී ඇති බවට සැකයක් නැත. වගා කල හැකි භූමිය කාන්තාරයක් බවට පරිවර්තනය කිරීම, සාගර ජල මට්ටම් ඉහල යාම හේතුවෙන් ඇති වන වෙරලබඩ ප්‍රදේශ අතුරුදහන් වීම සහ පෘතුවියේ අයිස් තට්ටු දියවීම හේතුවෙන් නගර ගිලී යාම දේශගුනික විපර්යාස සමඟ සම්බන්ධ බව සිය ගනනක් අධ්‍යයනයන් මගින් තහවුරු කරනු ලැබ ඇත. මේවා පුලුල් ක්‍රියාදාමයන්ගේ කොටසක් වන අතර එමගින් පසුගිය දශකය තුල වඩාත් තීව්‍ර තාප තරංග නිපදවා ඇති අතර ග්ලැසියර දියවීම වේගවත් කර ඇත.

එවැනි ප්‍රවනතා 1896 තරම් ඈත කාලයක සිදු කරන ලද සංඛ්‍යාත්මක අනාවැකි වලට අනුකූල වන අතර එයින් පෙන්නුම් කලේ පොසිල ඉන්ධන දහනය කිරීම හා එහි ප්‍රතිඵලයක් ලෙස කාබන් ඩයොක්සයිඞ් මුදා හැරීම මගින් පෘථිවි පෘෂ්ඨය උනුසුම් කරන බවයි. 1912 දී නවසීලන්තයෙන් නිකුත් කරන ලද කෙටි පුවත්පතක මෙය පිලිබිඹු විය. එහි දක්වා තිබුනේ සෑම වසරකම ගල් අඟුරු ටොන් බිලියන දෙකක් පිලිස්සීම නිසා වායුගෝලයට කාබන් ඩයොක්සයිඞ් ටොන් බිලියන හතක් පමන එකතු කරන අතර එමඟින් පෘථිවියේ වායුගෝලය වටා තාප පරිවාරක ආස්තරනයක් නිර්මානය වී උෂ්නත්වය ඉහල නැංවීම සිදුවන බවයි.

හරිතාගාර වායු විමෝචනය පිලිබඳ මෙම මුල් ඇස්තමේන්තු 1958 සිට සෑම වසරකම හවායි හි මෞනා ලෝවා නිරීක්ෂනාගාරයේ මිනුම් මධ්‍යස්ථානය විසින් පෘථිවි වායුගෝලයේ කාබන් ඩයොක්සයිඞ් සාංද්‍රනය අඛන්ඩව ඉහල යාම වාර්තා කිරීමට පටන් ගත් දා සිට සත්‍යාපනය කර යාවත්කාලීන කර ඇත. යන්ත්‍ර ක්‍රියා කිරීමේ දි වැඩි වැඩියෙන් හරිතාගාර වායු වායුගෝලයට මුදාහැරීම මගින් පෘතුවියේ මධ්‍ය ගෝලීය උෂ්නත්වය ඉහල යාම සිදුවු අතර 1980 දශකයේ සිට මෙම ප්‍රවනතාවය ඉහල ගියේය.

නූතන යුගයේ වැඩි අවධානයක් යොමු වී ඇත්තේ, පෘථිවියේ දේශගුනය ගුනාත්මකව වෙනස් අවධියකට පිවිසීම කෙරෙහිය. පසුගිය අඩ සියවස පුරා, මානව වර්ගයාගේ කාර්මික ක්‍රියාකාරකම් භූ භෞතික ක්‍රියාවලියට ප්‍රතිවිරුද්ධ සිදුවී ඇති අතර එහි බලපෑම පෘථිවි පරිසරයේ සිදුවන වෙනස්කම් වලට හේතු වී ඇත. එක්සත් ජනපදයේ ජාතික විද්‍යා ඇකඩමියේ (පීඑන්ඒඑස්) පල වූ ලිපියකින් “මානව විද්‍යාවේ පෘථිවි පද්ධතියේ ගමන් පථයන්” යන මාතෘකාව යටතේ පෘථිවි දේශගුනයේ වර්තමාන වෙනස්වීම් වේගවත් කෙරෙනු ඇති බවට අනතුරු අඟවයි.

හිම දියවීමත් සමග ගෝලීය උෂ්නත්වය ඉහල යාම කාබන් ඩයොක්සයිඞ් විමෝචනයට සෘජුව සම්බන්ධ නොවන නමුත්, සැම දා හිම යට තිබු පස් තට්ටු තුලින් මීතේන් විශාල වශයෙන් මුදා හැරීම වැනි වෙනත් භූ භෞතික ක්‍රියාවලීන් නිසා පෝෂනය වේ. මෙම අභිසාරීතාවය ගෝලීය උනුසුම වේගවත් වන පොසිල ඉන්ධන දහනය සමඟ සෘජුව සම්බන්ධ නොවන තාපාගාර (තාපය අභ්‍යවකාශයට ඉවත් නොවන) පෘථිවියක් නිර් මානය වීමට තර් ජනය කරයි. නූතන විද්‍යාත්මක තාක්ෂනය මගින් එවැනි සිදුවීමක් මැඩපැවත් වීම දැඩි ලෙස දුෂ්කර වනු ඇත.

එවැනි වර්ධනයක ප්‍රතිවිපාක විනාශකාරී වනු ඇත. පසුගිය දශකය තුල පැවති ආන්තික කාලගුනික සිදුවීම් ඉදිරියේ දී සිදුවීමට නියමිත, වඩාත් විනාශකාරී කුනාටු, දිගු තාප තරංග, ඵීයලුම් නියඟ සහ නොනවතින ලැව්ගිනි වල පූර්වගාමී සිදුවීම් පමනකි. ආහාර දාමයේ සැලකිය යුතු කොටස් ඉවත් කරමින් ලොව පුරා කොරල් පර මිය යනු ඇත. ග්ලැසියර දියවීම සහ මුහුදු මට්ටම ඉහල යාම ලෝක ජනගහනයෙන් තුනෙන් එකක් පමන වාසය කරන පෘථිවියේ සෑම වෙරලබඩ නගරයක්ම ගංවතුරට ගොදුරු වනු ඇත. පෘථිවියේ ජිව විශේෂ වලින් අවම වශයෙන් මිලියනයක් වත් මිය යනු ඇති අතර ලෝක පෘෂ්ඨයේ මහාද්වීප පරිමානයේ භුමි ප්‍රදේශ ජීවින්ට ජීවත් වියනොහැකි බිම් බවට පත් වේ.

පීඑන්ඒඑස් වාර්තාව, පසුගිය දශකය තුල ලෝකයේ බලශක්ති නිෂ්පාදනය හා ප්‍රවාහන යටිතල පහසුකම් ප්‍රතිසංවිධානය කිරීම සහ කාබන් විමෝචනය වහාම නතර කිරීම සඳහා නව තාක්ෂනයන් සංවර්ධනය කිරීම ඉල්ලා සිටින බොහෝ පලකිරීම් වලින් එකකි. එක්සත් ජනපද ජනාධිපති ට්‍රම්ප් විසින් විවිධ ෆෙඩරල් ආයතනවල දේශගුනික පරීක්ෂන කප්පාදු කිරීම 2020 මුදල් වර්ෂය සඳහා යෝජිත අයවැයෙන් සියයට 84 ක් දක්වා වැඩි කිරීමේ පියවර, එවැනි දත්ත හෙලිදරව් කිරීම මගින් නතර කල නොහැක.

තමන් සහ සෙසු කතිපයාධිකාරීන් තවදුරටත් පොහොසත් කිරීමේ ජාවාරම් වෙනුවෙන් ධවල මන්දිරයේ දේශපාලන නියැන්ඩර්තාල්වරු සහ ලොව පුරා සිටින ඔවුන්ගේ ෆැසිස්ට් සම-චින්තකයින් වන බ්‍රසීලයේ ජෙයාර් බොල්සොනාරෝ වැන්නෝ, පිරිමින්, කාන්තාවන් සහ ලමයින් බිලියන ගනනක් මිය යාම මහා ව්‍යසනකාරී සිදුවීමක් ලෙස නොසලකති.

ඇලෙක්සැන්ඩ්‍රියා ඔකාසියෝ-කෝර්ටෙස් සහ ඇගේ “හරිත නව ගනුදෙනුව” වැනි දේශපාලනඥයන් දේශගුනික අර්බුදයට විසඳුමක් ලබා දෙන බව මින් අදහස් නොවේ. ඔවුන් තනිකරම මෙය ජාතික පදනමක් මත විසඳිය හැකි ගැටලුවක් ලෙස ඉදිරිපත් කරන්නේ රේගු මුරපොලකින් වායුගෝලයේ වායු ධාරාවක් ගලායාම නැවැත්විය හැකි ලෙසයි. මීට වසර දෙකකට පෙර ට්‍රම්ප් බලයට පත්වීම මගින් පෙන්නුම් කරන පරිදි, දේශගුනික විපර්යාසයන් නැවැත්වීමේ ජාත්‍යන්තර ගිවිසුමක් යැයි කියනු ලබන පැරිස් ගිවිසුම පවා ප්‍රමානවත් නොවන අතර බලරහිත වේ.

ඒ අතරම, පාලක ප්‍රභුන් විසින් යෝජනා කරන ලද ක්‍රියාමාර්ග ඔවුන්ගේ භූ-දේශපාලනික ප්‍රතිවාදීන්ට එරෙහිව භාවිතා කල යුතු ආයුධ ලෙස සැලකේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රවර්ධනය කරනු ලබන කාබන් වෙලඳ යෝජනා ක්‍රම වලින් හරිතාගාර වායු විමෝචනය සීමා කිරීමට වඩා අරමුන කරන්නේ, තම ආර්ථිකයන් ශක්තිමත් කිරිමට ගල් අඟුරු සහ තෙල් විශාල ප්‍රමානයක් පුලුස්සා දමනු ලබන,සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන් යටපත් කිරීම සඳහා පැරනි කාර්මික රටවලට නව මාධ්‍යයන් සැපයීමයි. චීනය මැඩපැවත් වීමට හා දුර්වල කිරීමට එක්සත් ජනපදය දරන උත්සාහයේ දී එවැනි යෝජනා කූටෝපාන් ප්‍රධාන කාර්යභාරයක් ඉටු කර ඇත.

කෝරි බුකර්, ජෝන් ඩෙලනි, ජේ ඉන්ස්ලී සහ පීට් බුටිගිග් ඇතුලු ඩිමොක්‍රටික් ජනාධිපති අපේක්ෂකයින් ගනනාවක් “හරිත නව ගනුදෙනුවේ” දිගුවක් ලෙස “දේශගුනික බලකායක්” ප්‍රවර්ධනය කරති. එමඟින් ඔවුහු, එක්සත් ජනපදයේ “ජාතික ආරක්ෂාව” වෙනුවෙන් පෙනී සිටිම සඳහා තරුනයින් බලමුලු ගැන්වීමට උත්සාහ කරති. දේශගුනික විපර්යාසයන්ට එරෙහිව සටන් කිරීමේ මුවාවෙන්, මෙම සංකල්පය 21 වන සියවසේ සාම බලකායේ අනුවාදයක් ලෙසත් රුසියාවට හා චීනයට එරෙහිව “මෘදු බලයක්” ලෙසත් ප්‍රචාරය කෙරේ.

පාලක පන්තියේ “ප්‍රගතිශීලී” යැයි කියනු ලබන නියෝජිතයන්ගේ ආකල්පවලින් පෙනී යන්නේ, ගෝලීය උනුසුම පාලනය කිරීම සඳහා කිසිදු වැඩපිලිවෙලක් ඔවුන්ට නොමැති බවයි. තාර්කික, විද්‍යාත්මකව මඟ පෙන්වනු ලබන ජාත්‍යන්තර ආර්ථික සම්බන්ධතා පරිවර්තනය කිරීම සහ කාබන් විමෝචනය නැවැත්වීමට හා ආපසු හැරවීම සඳහා ප්‍රධාන සාධක දෙක වන, ඔවුන් වැඩ කරන ජාතික රාජ්‍ය පද්ධතියේ සීමාවන්ට හා නිෂ්පාදනයේ පෞද්ගලික අයිතියට, ඔවුන් කිසි විටෙකත් අභියෝග නොකරයි.

“වානරයාගේ සිට මිනිසා දක්වා පරිනාමනය වීමේදී ශ්‍රමය විසින් ඉටු කරන ලද කොටස” කෘතියේ ෆ්‍රෙඞ්රික් එංගල්ස් විසින් පූර්වයෙන් පෙන්වා දී ඇති පරිදි, ස්වාභාවික පරිසරයට එල්ල වන තර්ජන විසඳීමට ධනවාදයම මූලික බාධකය බව මෙයින් පෙන්නුම් කෙරේ.

“මේ දක්වා පවතින සියලුම නිෂ්පාදන ක්‍රමවල ඉලක්කය වී ඇත්තේ, ශ්‍රමයේ වඩාත්ම ක්ෂනික හා සෘජුවම ප්‍රයෝජනවත් ඵලදායි ප්‍රතිඵල අත්කර ගැනීමයි” යනුවෙන් ඔහු ලිවීය. එමෙන් ම “ක්‍රමානුකූලව පුනරාවර්තනය වීමෙන් හා සමුච්චය වීමෙන් පසුව ඇතිවන තවත් ප්‍රතිවිපාක මුලුමනින්ම නොසලකා හරින ලදි. සොබාදහම සම්බන්ධයෙන් ගත් කල, සමාජය සම්බන්ධයෙන් ගත් කල, වර් තමාන නිෂ්පාදන ක්‍රම ප්‍රධාන වශයෙන් සැලකිලිමත් වන්නේ ක්ෂනික, වඩාත්ම පැහැදිලි ප්‍රතිඵල ගැන පමනි.” යනුවෙන් ද ඔහු සඳහන් කලේය.

එංගල්ස්ගේ විශ්ලේෂනය අවධාරනය කිරීමට මෙන්, 2017 කාබන් ප්‍රධාන වාර්තා පෙන්නුම් කරන්නේ, 1988 සිට 2015 දක්වා නිකුත් කරන ලද හරිතාගාර වායු වලින් 70% ක්ම විමෝචනය කර ඇත්තේ හරියටම සමාගම් 100 කින් බවයි. පැරිස් ගිවිසුමට අත්සන් කිරීමට සමගාමීව ප්‍රකාශයට පත් කරන ලද ඔක්ස්ෆෑම් වාර් තාවකින් පෙන්නුම් කලේ ලෝකයේ කාබන් ඩයොක්සයිඞ් විමෝචනයෙන් සියයට 50 ක් සඳහා ලෝක ජනගහනයෙන් ධනවත්ම සියයට 10 වගකිව යුතු බවත්, දුප්පත්ම සියයට 50 වගකිව යුත්තේ විමෝචනයෙන් සියයට 10 කට පමනක් බවත්ය.

ගෝලීය උෂ්නත්වය ඉහල යාම කම්කරුවන්ගේ “ජීවන රටාවන්,” “ආහාර” සහ “පාරිභෝගික සංස්කෘතිය” නිසා ඇති වන බවට ධනේශ්වර දේශපාලඥයින්, සංස්ථාපිත මාධ්‍ය ආයතන, පශ්චාත් නූතනවාදීන් සහ ව්‍යාජ වාම කන්ඩායම් විසින් කරන ලද ප්‍රකාශයන්ට අපහාසයක් ලෙස මෙම අධ්‍යයනයන්ගේ හෙලිදරව් කිරීම් නැඟී සිටියි.

ධනවාදී පංතිය විසින් කරමින් සිටින, පෘථිවි පරිසරය දූෂනය කිරීම, විස සහිත බවට පත්කිරීම සහ පුලුස්සා දැමීම මෙම පරපෝෂිත හා විනාශකාරී සමාජ ස්ථරය අහෝසි කරනතුරු නතර කල නොහැක. මෙම කාර්යය ඉටු කිරීම සඳහා වන සමාජ බලවේගය වන්නේ ජාත්‍යන්තර කම්කරු පන්තියයි. එය ඉටු කරගත හැකි ක්‍රියාමාර්ගය ලෝක සමාජවාදී විප්ලවයයි.

බ්‍රයන් ඩයින්

Share this article: