රොහින්ග්යා සරනාගතයන් බංගලාදේශයේදී ඛේදවාචකයකට මුහුන දෙයි

රොහන්ත ද සිල්වා, 2019 අගෝස්තු 08

බුරුමයෙන් පලා ගොස් බංගලාදේශයේ වසන රොහින්ග්යා සරනාගතයින්ගේ තත්වය වඩාත් නරක අතට හැරෙමින් පවතී. රොහින්ග්යා පවුල් 3000 පමන දැන් පවතින මෝසම් වර්සාවෙන් පීඩා විඳින බව සඳහන් කරන යුනිසෙෆ් සංවිධානය, ලමුන්ගේ තත්වය වඩාත් නරක බව ද පෙන්වා දෙයි.

2017 අගෝස්තු මාසයේ බුරුම හමුදා සහ බෞද්ධ අන්තවාදී කන්ඩායම් විසින් එල්ල කල මිනීමරු ප්‍රහාර නිසා බංග්ලාදේශයට පලාගිය රොහින්ග්යා සරනාගතයින් 900,000 ක් පමන මේ වන විට උන බම්බු වලින් සහ එවැනි දෑ වලින් තැනූ තාවකාලික නවාතැන් වල වාසය කරති. සංක්‍රමනය පිලිබඳ ජාත්‍යන්තර සංවිධානයේ ප්‍රකාශකයකු වන ජෝර්ජ් මැක්ලියෝඞ්, පසුගිය මෙන් ම, අවදානමට ලක්විය හැකි බෑවුම් හේතුවෙන් තර්ජනයට ලක් වූ බොහෝ පුද්ගලයින් සිය ගනනක් අපි දැක ඇත්තෙමු. මෙම පුද්ගලයින්, හදිසි නවාතැන් හෝ ඥාතීන්ගේ නිවාස වෙත ගෙන යා යුතු ය.”

මෙම සරනාගතයන්, වයඹ දිග බුරුමයේ වාසය කල පීඩිත මුස්ලිම් සුලු‍තරයකි. 1982 දී බුරුම රජය විසින් ඔවුන්ගේ පුරවැසිභාවය අහිමි කල අතර, රාජ්‍ය අනුග්‍රහය ලත් මිනීමැරුම්, ස්ත්‍රී දූෂන, ගම් පිටින්විනාශ කිරීම සහ සමූහ වශයෙන් නෙරපා හැරීම ඇතුලු‍ හිංසනයන්ට හා ප්‍රචන්ඩත්වයන්ට එක දිගට ම ගොදුරුව ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව ගම් 400 කට ආසන්න සංඛ්‍යාවක් විනාශ වී ඇති අතර රෝහින්ග්යා වැසියන් හත් ලක්ෂ පනස් දාහකට පමන බුරුමයෙන් පලා යාමට බල කෙරී ඇත.

සියවස් ගනනාවක් තිස්සේ බුරුමයේ ජීවත් වූ රෝහින්ග්යා වැසියන් “බෙංගාලියානුවන්” හෝ “නීති විරෝධී සංක්‍රමනිකයන්” ලෙස බුරුම රජය හංවඩු ගසමින් අසල්වැසි බංග්ලාදේශයට පිටුවහල් කරන ලෙස ඉල්ලා තිබේ. 2017 සිදු වූ පලායාමට පෙරත් රොහින්ග්යා සරනාගතයින් 200,000 ක් පමන බංග්ලාදේශයේ වාසය කලහ.

රෝහින්ග්යා වැසියන් අසල්වැසි බංග්ලාදේශයේ රැකවරනය පතා පැමිනියේ මුස්ලිම් බහුතරයක් වෙසෙන රටක දී ඔවුන්ට සානුකම්පිතව සලකනු ඇතැයි යන බලාපොරොත්තුවෙනි. කෙසේ වෙතත්, ඩකාහි බලයට පත්වූ සියලු‍ම ආන්ඩු, ඔවුනට සැලකුවේ කුරිරු ලෙස ය.

මෙම ජනයා කෙරෙහි මහජන අනුකම්පාව නොතකා, අවාමි ලීග් රජය මුලින් ම සරනාගතයින් ගලා එද්දී ඔවුන් ඇතුලු‍වීම අවහිර කිරීම සඳහා හමුදාව භාවිතා කලේය. මෙය අසාර්ථක වූ විට ආන්ඩුව සරනාගතයින් පිරිසිදු ජලය, නිසි සනීපාරක්ෂක හා සෞඛ්‍ය පහසුකම් සහ ප්‍රමානවත් ආහාර නොමැති කඳවුරුවලට බලහත්කාරයෙන් ගාල් කිරීමට පියවර ගන්නා ලදි.

එක්සත් ජාතීන්ගේ වාර්තාවලට අනුව, මොවුන්ගෙන් අති බහුතරයක් කාන්තාවන් හා ලමුන් ය. 500,000 පමන වෙතැයි ගනන් බලා ඇති රොහින්ග්යා සරනාගත ලමුන්ගේ තත්වය අතිශය ඛේදජනක ය.

ජූලි 29දා ඒෂියා ටයිම්ස් පුවත් පතට ලිපියක් සැපයූ රූබයත් ජෙස්මින්, ජූලි මස මුල සරනාගත කඳවුරකට ගිය ගමනක අත්දැකීමක් සඳහන් කරයි. කඳවුරේ දී මුන ගැසුනු හත් හැවිරිදි දරුවකු ඇයට කියා සිටියේ වෛද්‍යවරයකුවීම තමන්ගේ සිහිනය බව යි. ඒ සමඟම, එම සිහිනය කිසිදාක සපල නොවන බව තමන් දන්නා බව ද, ඊට එකතු කිරීමට එම දරුවා අමතක නො කලේය.

බංගලාදේශ පාලක තන්ත්‍රය විසින් රොහින්ග්යානුවන් සරනාගතයන් ලෙස නිල වශයෙන් පිලිගෙන නොමැති නිසා, ඔවුනට විධිමත් අධ්‍යාපනයක් සඳහා ප්‍රවේශයක් නොමැත. “බලහත්කාරයෙන් අවතැන් කල මියන්මාර ජාතිකයන්” ලෙස නම් කර ඇති ඔවුනට රජයේ පාසැල් වලට ඇතුලු‍ වීමට අවසරයක් නැත.

අවුරුදු හතරක සිට දහ හතර දක්වා ලමුන්ට යුනිසෙෆ් හා ඔවුන්ගේ හවුල්කරුවන් විසින් සරනාගත කඳවුරු තුල තිබෙන 1,600ක් පමන ඉගෙනුම් මධ්‍යස්ථාන වල දී බුරුම, ඉංග්‍රීසි, අංක ගනිතය හා ජීවන කුසලතා පිලිබඳ පාඩම් දිනපතා පැය දෙකක කාලයක දී උගන්වයි. නමුත් මීට සම්බන්ධ වන්නේ 145,000ක් පමන වන රොහින්ග්යා ලමුන් ය. උසස් පෙල දක්වා ඉගෙන ගැනීමට හෝ වෘත්තීය පුහුනුවක් ලබා ගත හැකි විධිමත් අධ්‍යාපනයක් ඔවුනට ලැබෙන්නේ නැත.

ඒ සමඟම, අවුරුදු 15 සිට 18 දක්වා නව යොවුන් වියේ පසුවන තරුන තරුනියන්හට මොනයම්ම හෝ අධ්‍යාපන පහසුකමක් කඳවුරු තුල නැත. මෙම වාර්තාවට අනුව, විශේෂයෙන්ම පිරිමි ලමුන්ට අධ්‍යාපනය සඳහා ඉස්ලාම් ආගමික අධ්‍යාපන ආයතන හෙවත් මද්රසා වලට සම්බන්ධවී ආගමික අධ්‍යාපනයක් ලබා ගත හැකි වෙයි.

කිසිදු අධ්‍යාපනයක් නොලබන රොහින්ග්යා ලමුන්, කඩ වල වැඩ කරමින් ද, කාඞ් සෙල්ලම් කරමින් ද, නැතිනම් රස්තියාදුවෙමින්ද, කාලය ගත කරයි.

ගැහැනු ලමුන්ගේ තත්වය වඩාත් නරක ය. කඳවුරුවලින් පිට, විවිධ රැකියා පොරොන්දු දෙන මිනිස් ජාවාරම්කරුවන්, ඔවුන් ගොදුරු කර ගැනීමට මාන බලයි. රැකියා සොයායන එම තරුනියන්ට බොහෝ විට වන්නේ බලහත්කාරයෙන් ගනිකා වෘත්තීයේ යෙදීමටයි. ලමා විවාහ වැනි බලහත්කාරකම් වලට ද ඔවුනට කඳවුරු වලදී මුහුන දීමට සිදු වන අතර, සමහරක් දූෂනයට ද ලක් වේ.

මීටත් වඩා දුෂ්කර කොන්දේසි වලට පත්වීමේ තර්ජනයද මෙම සරනාගතයන් ඉදිරියේ පවතී. පසු ගිය වසර අවසන් වන විට, මොවුන් විවෘත සිරකඳවුරක් වැනි මෙග්නා ගඟ මුදුනේ පිහිටි භාසන් චාර් දූපත වෙත මාරු කර යැවීමට ඩකා රජය උත්සාහ කලේය. වානේ පොලු‍ සහිත කවුලු වලින් සමන්විත, මීටර 2ං2.5 කුඩා කොන්ක්‍රීට් කාමර සහිත මෙම නිවාස ඒකකයට රොහින්ග්යානුවන් ගාල් කිරීම, ඉදිකිරීමේ කටයුතු වල ප්‍රමාදයන් නිසා සහ මතු වූ විරෝධතාවය නිසා කල් දැමීමට අගමැති ෂීක් හසීනාට සිදු විය.

භාසාන් චාර් වෙත සරනාගතයන් පිටත් කර යැවුනි නම්, ඔවුන් මුහුන දෙන අවදානම් තත්වය තවත් වැඩි වෙයි. දැඩි මෝසම් ගංවතුර සහ සුලි සුලං වලට නිරතුරුවම ලක්වීමේ අවදානම හා හමුදා පාලනය යටතේ පවතින මෙම දූපතට බෝට්ටුවකින් යාමට පැය තුනක් පමන ගත වේ. නිතරම හැඩය වෙනස් වන මේ දූපත, දශක දෙකකටත් අඩු කාලයකට පෙර බෙංගාල බොක්කේ මඩ සහිත ජලයෙන් මතු විය.

බංගලාදේශයට එන රොහින්ග්යාවරුන් මුහුන දෙන රුදුරු කොන්දේසි නිසා, තම ජීවිත පරදුවට තබා මැලේසියාව, ඉන්දුනීසියාවට හා වෙනත් රටවලට යාත්‍රා කිරීමට උත්සාහ කිරීම් පසුගිය කාලයේ වාර්තා විය. මේ වන විට, බුරුමයෙන් පලා යාමට තැත් කිරීමේ දී සරනාගත ජීවිත සිය ගනනක් බෙංගාල බොක්ක බිලි ගෙන ඇත.

රොහින්ග්යානුවන් පලා ආ එකම දකුනු ආසියානු රට බංගලාදේශය නොවේ. සරනාගතයන් 40,000 පමන ඉන්දියාවට පලා ආ අතර, මුම්බායි, දිල්ලි හා හයිද්‍රබාද් වැනි ප්‍රධාන නගර වල දුක්ඛිත කොන්දේසි යටතේ ජීවත් වෙයි. ඔවුන් නිරතුරුවම, පාලක හින්දු ස්වෝත්තමවාදී භාරතීය ජනතා පක්ෂය උසිගන්වන මුස්ලිම් විරෝධී හිංසනයන්ට මුහුන දෙයි. ලංකාවට ද රොහින්ගියානු සරනාගතයින් කුඩා කන්ඩායමක් සරන සොයා පැමිනි අතර, ඔවුනට ද බෞද්ධ මූලධර්මවාදීන්ගේ මැර ප්‍රහාරයන්ට මුහුන දීමට සිදු විය.

රොහින්ග්යානුවන් නැවත කෙසේ හෝ බුරුමයට පිටත් කර යැවීමට බංගලාදේශ ආන්ඩුව මාන බලයි. 2018 ජනවාරියේ දී, වසර දෙකක් තුල නැවත බුරුමයට ගෙන්වා ගැනීම සම්පූර්න කිරීමට පහසුකම් සපයන බව සඳහන් කෙරුනු යෝජනාවකට දෙරට ම අත්සන් කලේය. තමන්ගෙන් නො විමසා අත්සන් කෙරුනු මෙම ගිවිසුමට සරනාගතයින් කිසිවෙකු ගේ කැමැත්තක් නොවීය. පසුගිය වසරේ නොවැම්බර් 15 දා ට, 2500ක පලමු කන්ඩායම නැවත බුරුමයට පැටවීමට සූදානම් කර තිබූ නමුත්, ඒ සඳහා කිසිවෙකුත් ඉදිරිපත් නොවීමෙන් එය ව්‍යර්ත විය.

බලගතු ජාත්‍යන්තර විරෝධය මධ්‍යයේ, බුරුම බලධාරීන් දැන් කියා සිටින්නේ, රොහින්ග්යාවරුන්ට “පාර්ශවීය පුරවැසිභාවය” ප්‍රදානය කිරීමට තමන් සූදානම් බවයි. බුරුමයේ දී, බෞද්ධ මූලධර්මවාදී මැරයන් හා ආරක්ෂක හමුදාවලින් තමන් විඳි ප්‍රචන්ඩත්වයේ කටුකත්වය තවමත් මතකයේ තිබෙන සරනාගතයන් ඒ ප්‍රෝඩාකාරී ප්‍රකාශ පිලි ගැනීමට සූදානමක් නොමැත.

බංග්ලාදේශයේ දී අසරනභාවයට පත් ව ඇති මුස්ලිම් ආගම අදහන එකම සරනාගත කන්ඩායම රොහින්ග්යාවරුන් නොවේ. “බිහාර් මුස්ලිම්වරුන්” හෝ “අතරමංවූ පකිස්ථානුවන්” ලෙස හඳුන්වන ජන කන්ඩායම ද, මේ හා සමානවම විනාශයට ලක් වූ ජන කන්ඩායමක් වෙයි. 1947 හින්දු-මුස්ලිම් ආගමික ගැටුම් වලින් හා ඉන්දියාව බෙදීමේ දී, ඝාතනයට හෝ ප්‍රහාරයට ලක් වීමෙන් වැලකී ගැනීම සඳහා, ඔවුන් නැගෙනහිර ඉන්දියානු ප්‍රාන්තයක් වන බිහාරයේ සිට එවකට නැගෙනහිර පක්ස්ථානය ලෙස හැඳින්වුන වත්මන් බංගලාදේශයට පලා ගියහ.

බෙංගාලි භාෂාව වෙනුවට උර්දු කතා කරන මෙම දුප්පත් “බිහාර් මුස්ලිම්වරුන්” උගත්කමින් අඩු වන අතර, කාර්මිකයන්, මෝල් කම්කරුවන් හා කුඩා කඩහිමියන් ලෙස තම ජීවිකාව පවත්වා ගනී. 1971, බංග්ලාදේශ නිදහස් අරගලයේ දී පකිස්ථානු හමුදාවට සහාය දුන්නේ යැයි චෝදනා ලැබූ මොවුන්, ඝාතනය කිරීම්, දේපොල කොල්ල කෑම ඇතුලු‍, විවිධාකාර ප්‍රචන්ඩත්වයන්ට මුහුන දුනි. තම නිවහන් වලින් පලවා හැරි අතර, ලක්ෂ තුනකට පමන ආසන්න ජන කන්ඩායමක් බංගලාදේශය පුරා පිහිටි කඳවුරු 116 අතිශය දුෂ්කර කොන්දේසි යටතේ, මේ වන විට, ජීවත් වෙයි. ආගම මත ඉන්දියාව බෙදීමේ ප්‍රතිගාමීත්වය මෙයින් අවධාරනය වෙයි.

ධනවාදයේ ප්‍රථිපලයක් වල සරනාගත ප්‍රශ්නයට වත්මන් සමාජය තුල කිසිදු සාධාරන විසඳුමක් නැති කම, එහි ජරපත් ස්වභාවයත්, ප්‍රතිගාමීත්වයත් පෙන්නුම් කරයි. ශ්‍රේෂ්ඨ මාක්ස්වාදී විප්ලවවාදියකු වන ලියොන් ට්‍රොට්ස්කි 1940 දී යුදෙව් ජාතිකයන් සම්බන්ධව ලියූ දෑ සරනාගත ප්‍රශ්නය සම්බන්ධයෙන් මනා ආලෝකයක් විහිදුවයි.

ට්‍රොට්ස්කි මෙසේ ලිවීය: “අද දිරාපත් වෙමින් පවතින ධනවාදී සමාජය, යුදෙව් ජනතාව එහි සියලු‍ සිදුරු වලින් මිරිකීමට උත්සාහ කරයි; ලොව පුරා වෙසෙන බිලියන දෙකෙක් පුද්ගලයන්, මිලියන 17 ක්, එනම් සියයට 1 ට වඩා අඩු අයට තවදුරටත් අපේ පෘථිවියේ ස්ථානයක් සොයාගත නොහැක! මිනිසාට මෙන්ම පෘථිවියටද අහස යටත් කර ගත් විශාල භූමි ප්රමානය හා තාක්ෂනයේ අරුමයන් මධ්යයේ ධනේශ්වරය අපේ පෘථිවිය අශෝභන සිරගෙයක් බවට පත් කර තිබේ. ”

රොහින්ග්යානුවන් මෙන් ම, දකුනු ආසියාව පුරා සිටින සරනාගතයින් සහ දේශපාලන රැකවරනය සොයන්නන් මිලියන ගනනකගේ කටුක ජීවන තත්වයන් අධිරාජ්යවාදී බලවතුන්ට සහ කලාපීය පාලක ප්රභූන්ට එරෙහි අධිචෝදනාවකි.

Share this article: