ලංකාවේ ජනාධිපති හදිසි නීතිය ඉවත් කිරීමේ ප්‍රෝඩාවක් යටතේ “ආරක්ෂාව පවත්වාගෙන යාමේ” නමින් සන්නද්ධ හමුදා දිගේලි කරයි

Sri Lankan president “lifts” emergency but armed forces mobilised to “maintain security”

ඩබ්ලිව්. ඒ. සුනිල් විසිනි, 2019 අගෝස්තු 29

ශ්‍රී ලංකාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, මාස හතරක් තිස්සේ පැවති හදිසි තත්ත්වය අගෝස්තු 22දා අහෝසිවීමට ඉඩ හැරියත් දරුනු මහජන ආරක්ෂක ආඥා පනත යටතේ රටේ දිස්ත්‍රික්ක 25හි හා රටට අයත් සාගරයේ සන්නද්ධ හමුදාවන් දිගට ම රැඳවීම ක්ෂනික ව ප්‍රකාශයට පත් කලේ ය.

විෂඝෝර හදිසි නීතිය පනවන ලද්දේ, අයිඑස්අයිඑස් සංවිධානය සමග සම්බන්ධවී නැෂනල් තවුහීත් ජමාත් (එන්ටීජේ) සංවිධානය විසින් අප්‍රේල් 21දා සිදුකල ම්ලේච්ඡ ත්‍රස්තවාදී ප්‍රහාරවලින් පසුව ය. දේවස්ථාන තුනක් හා සුඛෝපභෝගී හෝටල් තුනක් ඉලක්ක කර මෙම ප්‍රහාර හේතුවෙන් අහිංසක පුද්ගලයන් 300ක් පමන ඝාතනය වී 500ට වැඩි පිරිසක් තුවාල ලැබූ හ.

වරෙන්තුවකින් තොර ව පුද්ගලයන් අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම, දේපොල අල්ලා ගැනීම සහ මහජන පෙලපාලි හා ප්‍රසිද්ධ ප්‍රකාශන තහනම් කිරීම ඇතුලු දුරදිග යන පොලිස් බලතල හදිසි නීතිය යටතේ සන්නද්ධ හමුදාවන්ට ප්‍රදානය කරන ලදී. “ත්‍රස්තවාදයට” එරෙහි ව සටන් කිරීමේ නාමයෙන් හමුදාවන් හා පොලීසිය පුද්ගලයන් දහස් ගනනක් අත්අඩංගුවට ගෙන බොහෝ අහිංසක වැසියන් රඳවා ගත් හ.

හදිසි නීතිය ඉවත් කිරීමෙන් ජනාධිපති සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රජාතන්ත්‍ර-විරෝධී පාලනය ලිහිල් කොට කොට ඇතැයි කිසිවෙක් මිත්‍යාවක් තබා නොගත යුතු ය.

මහජනාරක්ෂක පනතේ 12වන වගන්තිය යටතේ නිකුත් කල ගැසට් පත්‍රයක පලවූ නව නීතිය මෙසේ ය: “කිසියම් ප්‍රදේශයක මහජන ආරක්ෂාව අනතුරට පත්වීමක් සිදුවීම හෝ එසේ සිදුවීම ආසන්න වූ විට, එම ප්‍රදේශයේ එවැනි තත්ත්වයක් පාලනය කිරීමට පොලීසිය ප්‍රමානවත් නැතැයි ජනාධිපතිවරයා හඟින අවස්ථාවක, ඔහුට ...එම ප්‍රදේශයේ මහජන සාමය පවත්වාගෙන යාම සඳහා සන්නද්ධ හමුදාවලින් කොටසක් හෝ සමස්තය කැඳවිය හැක.”

මෙම රෙගුලාසි යටතේ සන්නද්ධ හමුදා සාමාජිකයන්ට ඕනෑම සැක කටයුතු පුද්ගලයෙකු පරීක්ෂා කිරීමට හා අත්අඩංගුවට ගැනීමට බලය ප්‍රදානය කෙරේ. හදිසි නීතිය යටතේ වෙනස් ව එය කලයුතු වන්නේ පොලිස් නිලධාරියෙකු ඉදිරිපිට දී ය.

හදිසි තත්ත්වයේ දී මෙන් නොව මෙම නීතිය ප්‍රකාශයට පත්කිරීමට හෝ දීර්ඝ කිරීමට ජනාධිපතිට පාර්ලිමේන්තුවේ අනුමැතිය අවශ්‍ය නැත. එලෙස ම ඕනෑම රාජ්‍ය සේවාවක් අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට ඔහුට අත්තනෝමතික බලය ඇත.

“ආරක්ෂක තත්ත්වය සම්පූර්නයෙන් සාමාන්‍ය තත්ත්වයට පත්වන තෙක් මිලිටරිය පෙරලා බැරැක්ක වෙත කැඳවන්නේ නැත” යි මිලිටරි ප්‍රකාශක සුමිත් අතපත්තු ප්‍රකාශ කලේ, තත්ත්වය වෙනස් වී නැතැයි මහජනයාට අවධාරනය කිරීමට ය.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කල පොලිස් ප්‍රකාශක රුවන් ගුනසේකර “පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අය රඳවාගනු ලැබ සිටින්නේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (පීටීඒ) යටතේ නිසා, හදිසි නීතිය ඉවත් කිරීම ඔවුන්ට බලපාන්නේ නැත” යි කීවේ ය. හදිසි නීතිය ඉවත් කල ද පොලිස් “විමර්ශන” දිගට ම සිදුවනු ඇත.

පීටීඒ යටතේ සැකකරුවන් ලෙස අත්අඩංගුවට ගන්නා පුද්ගලයන් ආරක්ෂක ලේකම්ගේ නියෝගයක් මත මාස 18ක් දක්වා රඳවාගනු ලැබිය හැකි ය. එසේ ම සැකකරුවකුගෙන් ලබාගන්නා “පාපෝච්ඡාරන” ඔහුට විරුද්ධ සාක්ෂි ලෙස යොදාගනු ලැබිය හැකි ය.

“ත්‍රස්තවාදීන් මර්දනය කොට, එයට සම්බන්ධ සියලු අය සති තුනක් වැනි කෙටි කාලයක් තුල අත්අඩංගුවට ගැනීමට අපට හැකි වුනා” යි සිරිසේන සති කිහිපයකට පෙර උදම් ඇනී ය. එහෙත් හදිසි තත්ත්වය ඉවත් කල පසුත් තමන් සන්නද්ධ හමුදා දිගේලි කරන්නේ මන්දැයි පැහැදිලි කිරීමට ඔහු අසමත් ව ඇත.

සමහර මාධ්‍ය අටුවා සඳහන් කලේ, බෝම්බ ප්‍රහාර හේතුවෙන් ගැඹුරින් ඛාදනය වූ සංචාරක කර්මාන්තය පිම්බීම පිනිස සිරිසේන හදිසි නීතිය ඉවත් කල බව යි. රටෙහි හතරවැනි විශාලතම විදේශ ආදායම් උපයන්නේ සංචාරක කර්මාන්තය යි. තව ද හදිසි තත්ත්වය අත්තනෝමතික ලෙස යොදාගැනීම හේතුවෙන් ආන්ඩුව පලල් විරෝධයකට මුහුනපෑවේ ය.

එහෙත් හුදෙක් ආන්ඩුව පමනක් නො ව, සමස්තයක් ලෙස පාලක පන්තිය ම, ජාත්‍යන්තර පන්ති අරගලයේ පුනර්ජීවනයෙහි කොටසක් ලෙස රට තුල වර්ධනය වන සමාජ පිපිරුම් සහගත කොන්දේසි කෙරෙහි බිය ව සිටියි. විෂකුරු හදිසි නීති ඉවත් කරන අතරම අනෙක් අතින් රටපුරා සන්නද්ධ හමුදා දිගේලි කිරීමට හේතුව එය යි.

හදිසි නීති පාලනය පනවන අවස්ථාවේ දී, ආන්ඩුවේ හා පාලක පන්තියේ ඉලක්කය හුදෙක් ත්‍රස්තවාදී කන්ඩායම් නො ව, කම්කරු පන්තිය බවට සමාජවාදී සමානතා පක්ෂය (සසප) අනතුරු ඇඟවී ය.

අගෝස්තු 26දා, දුම්රිය ඇතුලු රාජ්‍ය ප්‍රවාහන සේවාවන් මත අත්‍යවශ්‍ය සේවා නියෝගය සිරිසේන විසින් දෙවන මාසයට දීර්ඝ කලේ ය. වෘත්තීය සමිති නිශ්ශබ්ද ව අත්‍යවශ්‍ය සේවා නියෝගය පිලිගත්ත ද කම්කරුවන් අතර පවතින කෝපය ඕනෑම මොහොතක පුපුරා යා හැකි යයි ආන්ඩුව බිය වේ.

අගෝස්තු 27දා ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලවල හා අනෙකුත් උසස් අධ්‍යාපන ආයතනවල අනධ්‍යයන සේවකයන් 16,000ක් දෙදින වර්ජනයක් ඇරඹූ හ. රාජ්‍යය කෙරෙහි පක්ෂපාතීත්වය පිලිබිඹු කරමින් මෙම ආයතනවල සියලු වෘත්තීය සමිති විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට ලියා තිබුනේ, ඔවුන් මෙම වර්ජනය දියත් කලේ “සාමාජිකයන් වෘත්තීය සමිති මත යොදන දැඩි පීඩනය හේතුවෙන්” බව යි.

මෑත මාසවල දී තැපැල්, දුම්රිය, සෞඛ්‍ය හා වතු කම්කරුවන් ඇතුලු රාජ්‍ය හා පුද්ගලික අංශයේ කම්කරුවන් දසදහස් ගනනක් වෘත්තීය සමිතිවල පාවාදීම් නො තකා අරගලවලට පිලිපන් හ.

උසස් අධ්‍යාපන ආයතන තුනක ඉහල පරිපාලකයන් ඉවත් කරමින් ඒවා නිසි බලධරයන් යටතට පත්කිරීමට ද ආන්ඩුව ගිය සතියේ පියවර ගත්තේ ය. මොරටුව විශ්ව විද්‍යාලයට අනුබද්ධ තාක්ෂන විද්‍යා ආයතනය හා දේශීය වෛද්‍ය විශ්ව විද්‍යාලය විශ්‍රාමික මේජර් ජනරාල්වරුන් යටතට පත් කොට ඇති අතර, යාපනය විශ්ව විද්‍යාලය ආන්ඩුවේ හෙන්චයියකු යටතේ තබනු ලැබ ඇත. උසස් අධ්‍යාපන බලධාරීන් මේ සඳහා දක්වා ඇති හේතූන් වන්නේ, ආදල ආයතනවලින් ඉවත් කරන ලද පරිපාලකයන් තත්ත්වය පාලනය කිරීමට අසමත් වීම යි.

මෑත දින කිහිපය තුල, ආරක්ෂක හමුදා ශක්තිමත් කිරීමට සිරිසේන පියවර ගත්තේ ය. ඉහල පෙලේ මිලිටරි නිලධාරීන් දුසිම් ගනනකට හා පොලිස් නිලධාරීන් 31,000කට ඔහු උසස් වීම් දුන්නේ ය. බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහි වාර්ගික යුද්ධයේ අවසන් මාස කිහිපය තුල යුද අපරාධවලට ඍජුව සම්බන්ධයයි චෝදනා ලබා සිටින ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා, සිරිසේන විසින් පසුගිය සතියේ හමුදාපති ධුරයට පත්කලේ ය.

අන්තවාදී එන්ටීජේ සමග සම්බන්ධකම් ඇතැයි කියමින් මුස්ලිම් තරුනයන් අත්අඩංගුවට ගැනීම ගැන පොලීසිය දිනපතා නිවේදනය කරයි. එල්ටීටීඊය “පුනර්ජීවනය කිරීමට” උත්සාහ දරන්නේ යයි කියමින්, යුද හමුදාව පසුගිය සතියේ කිලිනොච්චියේ පලෙයි රෝහලේ අධිකරන වෛද්‍ය නිලධාරී සින්නයියා සිවරූබන් ව අත්අඩංගුවට ගත්තේ ය. “ත්‍රස්තවාදීන්” පිලිබඳ කතා ගෙතීම ගැන ශ්‍රී ලංකාවේ පොලීසිය හා මිලිටරිය කුප්‍රකට ය. මෙම උද්ඝෝෂනයේ අරමුන වන්නේ, ආරක්ෂක හමුදා ශක්තිමත් කරන අතර කම්කරු පන්තිය බෙදා දුර්වල කිරීම පිනිස මුස්ලිම්-විරෝධී හා දෙමල-විරෝධී වාර්ගික ආතතීන් ඇවිලවීම ය.

නය කන්දරාවක, ප්‍රාග්ධන ගලායාමක හා ආර්ථික වර්ධනය ඛාදනය වීමක කොන්දේසි යටතේ දැවැන්ත ආර්ථික අර්බුදයකින් මිරිකෙන පාලක ප්‍රභූවේ සෑම කන්ඩායමක් ම කම්කරු පන්තිය මත කඩාපැනීමට සූදානම් වෙමින් සිටිති.

“ආර්ථිකය මුහුන දෙන විශාලතම අනතුර වන්නේ ගොඩගැසෙමින් පවතින නය” යි මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි අගෝස්තු 26දා කීවේ ය. ජ්‍යෙෂ්ට කැබිනට් ඇමතිවරයෙක් වන චම්පික රනවක අගෝස්තු 27දා ප්‍රකාශ කලේ, නියමිත කලට විදේශ නය ගෙවීමට ආන්ඩුව අපොහොසත් වුවහොත් සැප්තැම්බරය වන විට එය බංකොලොත් වනු ඇති බව යි.

සිරිසේනගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප), වික්‍රමසිංහ නායකත්වය දෙන එක්සත් ජාතික පක්ෂය (එජාප) හා විපක්ෂ නායක රාජපක්ෂ නායකත්වය දෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුන (ශ්‍රීලපොපෙ) අතර වැඩෙන දේශපාලනික අභ්‍යන්තර ගැටුම් තිබුන ද වැඩකරන ජනයාගේ ප්‍රජාතන්ත්‍ර අයිතීන් මර්දනය කිරීම අරබයා ඔවුන් අතර එකඟතාවක් පවතී.

ජනාධිපතිවරන උද්ඝෝෂනයේ දී පක්ෂ තුනේ ම කේන්ද්‍රීය තේමාව වන්නේ “විනය, ජාතික ආරක්ෂාව හා ආර්ථික කලමනාකරනය” යි. එනම්, සමාජ අරගල මර්දනය කොට ධනේශ්වර රාජ්‍යය ශක්තිමත් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නියෝග කරන ආර්ථික ප්‍රතිසංස්කරන තීව්‍ර කිරීම යි.

ජුනි 12දා ප්‍රකාශයක් නිකුත් කල සසප, දේශපාලන අර්බුදයට කම්කරු පන්තිය ස්වාධීන ව මැදිහත්වීමෙහි තීරනාත්මක වැදගත් කම අවධාරනය කලේ ය.

එහි මෙසේ සඳහන් විය: “පාලක පන්තිය මිලිටරි හා පොලිස් පාලන ක්‍රම කරා වේගවත්ව හැරීමට එරෙහිවෙමින් සමස්ත වැඩකරන ජනයාගේ සමාජ හා ප්‍රජාතන්ත්‍රීය අයිතීන් රැකගැනීම සඳහා ස්වාධීන දේශපාලන බලයක් ලෙස කම්කරු පන්තිය කොලඹ පාලනයේ දේශපාලන අර්බුදය තුලට තීරනාත්මක ලෙස මැදිහත් වීම අවශ්‍යය. කම්කරුවෙකුට එරෙහි ව තවත් කම්කරුවෙක් පිහිටුවන සියලු ආකාරවල ජාතිකවාදයන් හා ස්වෝත්තමවාදයන් ප්‍රතික්ෂේප කල යුතු කම්කරු පන්තිය, හදිසි නීතිය හා සියලු මර්දන නීති වහා ම අවසන් කරන ලෙස ඉල්ලා සිටිය යුතු ය.”

Share this article: