ශ්‍රී ලංකාව: කොලඹ විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෝ ජූලියන් අසාන්ජ් හා චෙල්සී මැනිං නිදහස් කරගැනීම සඳහා ගෙන යන උද්ඝෝෂනයට සහාය පලකරති

අපේ වාර්තාකරුවන් විසිනි, 2019 අගෝස්තු 5

විකිලීක්ස් ප්‍රාරම්භක ජූලියන් අසාන්ජ් හා තොරතුරු හෙලිකරන්නියක වන චෙල්සී මැනිං ආරක්ෂා කිරීම සඳහා සහයෝගය ගොනු කරගැනීමට සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි) කොලඹ විශ්ව විද්‍යාලය අසල උද්ඝෝෂනයක නිරත වූ හ.

උද්ඝෝෂකයෝ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ ප්‍රකාශයෙහි පිටපත් සිය ගනනක් බෙදා හැරිය හ.

අප්‍රේල් 21 දා එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාර යොදාගනිමින් රටපුරා දිගේලි කර ඇති තීව්‍රතර හමුදාමය සෝදිසිවල කොටසක් ලෙස, ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල මර්දනීය රෙගුලාසිවලට යටත් කෙරී ඇත. දේශපාලන පක්ෂ විසින් විශ්ව විද්‍යාල තුල ගෙන යන දේශපාලන උද්ඝෝෂන තහනම් කරනු ලැබ තිබේ. යකඩ වැට මත බැනර් ප්‍රදර්ශනය කිරීමට ආරක්ෂක හමුදා අවසර නොදුන්හ.

විශ්ව විද්‍යාලය විසින් පවත්වනු ලබන අර්ධ-වාර්ෂික විභාගවලට සහභාගි වීම හේතුවෙන් සිසුන් කාර්යබහුල ව සිටියහ. එසේ වුවද, ව්‍යාජ චෝදනා යොදාගනිමින් අසාන්ජ් හා මැනිං දඬු ගැසීමේ, එක්සත් ජනපද, බි්‍රතාන්‍ය හා ස්වීඩන කුමන්ත්‍රනයට එරෙහි ජාත්‍යන්තර උද්ඝෝෂනය පිලිබඳ ව සවන් දීමට බොහෝ සිසුහු නතරවූහ. සමහරු සසප උද්ඝෝෂකයන් සමග කතා කල අතර, උද්ඝෝෂනයේ අර්ථභාරය සාකච්ඡා කෙරුනි. දහයකට වැඩි සිසුන් ගනනක් ඔවුන්ගේ සහයෝගය පලකරමින් පෝරමවලට අත්සන් කල හ.

සසප උද්ඝෝෂනයට සහයෝගය පලකරමින් සිසුන් කිහිපදෙනෙක් විරෝධය දැක්වූ හ.

බුද්ධිම පෙත්සම අත්සන් කරමින්

ආන්ඩු විසින් මහජනතාවගෙන් වසං කල තොරතුරු හෙලිදරවු කල පුද්ගලයෙකු ලෙස අසාන්ජ් ගැන බුද්ධිම අසා තිබුනි: “අසාන්ජ් හෙලිදරවු කලේ සත්‍යය යි. සත්‍යය හෙලිදරවු කිරීම වරදක් නො වන අතර තීරනාත්මක දෙයක්. ඔහුගේ හෙලිදරවු කිරීම්, ප්‍රජාතන්ත්‍රවාදය ගැන ඇමරිකානු පාලක පන්තියේ කියාපෑම් නිරුවත් කර තිබෙනවා. ඔහු සත්‍යය කියා තිබෙන නිසා ඔහුගෙන් පලිගැනීමට ඇමරිකානු අධිරාජ්‍යවාදය උත්සාහ කරනවා. එම නිසා, අසාන්ජ් නිදහස් කරගැනීමේ උද්ඝෝෂනයට කිසිවකුට විරුද්ධ වීමට හේතුවක් නැහැ.”

තොරතුරු හෙලිදරවු කරන්නන් විනාශ කිරීමට එක්සත් ජනපද පරිපාලනය මුලු වෙර දරන බව තමා දැනසිටියේ යැයි ලක්මාල් නමැති තවත් ශිෂ්‍යයෙක් කීවේ ය. එක්සත් ජනපද ජාතික ආරක්ෂක ඒජන්සිය රට තුල හා ජාත්‍යන්තර ව සිදුකල රහස් මෙහෙයුම්, රටින් පලාගොස් හෙලිදරවු කල, එම ඒජන්සියේ හිටපු සේවකයෙකු වූ එඞ්වඞ් ස්නෝඩන් මුහුන දෙන දුෂ්කරතා ගැන ඔහු සාකච්ඡා කලේ ය.

ලක්මාල්

ඔහු වැඩිදුරටත් මෙසේ කීවේ ය: “ඔවුන් ව දඩයම් කිරීමට ඇමරිකාව රාජ්‍ය බලය හා රාජ්‍යතාන්ත්‍රික සබඳතා යොදාගන්නවා. අසාන්ජ් ද එවැනි තර්ජනයකට මුහුන දෙනවා. ඔවුන් අසාන්ජ් දඩයම් කිරීමට සමත් වුවහොත්, ලොව පුරා පාලක පන්තීන් මර්දන නීති තදකිරීමට එය උපයෝගී කරගනු ඇති. එය අපේ ජීවිතවලට තර්ජනයක්. මෙම ප්‍රජාතන්ත්‍ර-විරෝධී පියවරයන්ට විරුද්ධ ව ජාත්‍යන්තර ව්‍යාපාරයක් ගොඩනැගීම වැදගත්.”

වෛද්‍ය පීඨ ශිෂ්‍යයෙකු වන චානක මෙසේ කීවේ ය: “සත්‍යය යනු සොයාගැනීමට ඉතා ම අසීරු දෙය වගේ ම ඉතා ම බලගතු දෙයයි. ඒ අතර ම, සත්‍යය ජනතාවට ඔවුන් ජීවත් වන්නේ කවරාකාර ලෝකයකදැයි දෑස් විවර කිරීමට උදවු වෙනවා. ගුවන්තනාමෝ බේ කඳවුරේ හා කෝලැටරල් මර්ඩර් වීඩියෝවල පෙන්වන වධක ක්‍රම දැකීමෙන් පසු මහජනයාගේ ඉවසීමේ සීමාව පනිනවා. ඇමරිකානු අධිරාජ්‍යවාදය දෙසට එවන් මහජන කෝපයක් යොමු වන නිසා බි්‍රතාන්‍ය, ඉක්වදෝරියානු හා ස්වීඩන පාලක පන්තීන් මේ ආකාරයට කුමන්ත්‍රනය කරනවා.”

චානක (මැද)

මෙවන් ප්‍රහාර සියලු රටවල සිදුවන බව ඔහු කීවේ ය. අප්‍රේල් මාසයේ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසු මර්දන කොන්දේසි දැඩි කර ඇත්තේ කෙසේදැයි ඔහු පෙන්වා දුන්නේ ය. පොලීසියට හා මිලිටරියට විශ්ව විද්‍යාල තුලට වැදීමට ඉඩ දී තිබේ.

ජාත්‍යන්තර සබඳතා ශිෂ්‍යාවක් වන දිව්යා උද්ඝෝෂනයේ වැදගත් කම අගය කරමින් එය දෑස් විවර කරන්නක් බව කීවා ය. පන්ති අරගලයේ නව පුනර්ජීවනය පිලිබඳ ප්‍රවෘත්ති ලිපි ද දක්ෂිනාංශික ආන්ඩු බලයට පත්වීම පිලිබඳ ප්‍රවෘත්ති ද ඇය කියවා තිබුනා ය. මේවායින් සමහර වර්ධනයන් ගැන ශාස්ත්‍රාලීය ලෙස සාකච්ඡා කර තිබුනත්, එම සිදුවීම්වල ගෝලීය ගම්‍යයන් කිසි විටෙක අවබෝධ කරගෙන නො තිබුනු බව ඇය කීවේ උද්ඝෝෂකයන් සමග ඇය කල සාකච්ඡාවට අවධානය යොමුකරමිනි.

Share this article: