මූල්‍ය යුද්ධය: ධනවාදයේ බිඳවැටීමෙහි නව අවධියක්

Currency war: A new stage in capitalist breakdown

නික් බීම්ස් විසිනි, 2019 අගෝස්තු 8

චීනය “මූල්‍ය ගසාකන්නෙකු” ලෙස හංවඩු ගැසීමට ට්‍රම්ප් පරිපාලනය ගත් තීරනය, 5දා බීජිනය විසින් රෙන්මින්බි මුදල තරමක් අවප්‍රමානය කිරීමට ගත් තීරනයට ප්‍රතිචාරයක් වූ අතර මුදල, එක්සත් ජනපද ඩොලර් 1ක් 7ක මට්ටමට වඩා පහත වැටීමට ඉඩ දීමෙන් එය, එක්සත් ජනපදය විසින් දියත් කරනු ලබන වෙලඳ යුද්ධයෙන් ඔබ්බට යන බව ඇඟවුම් කරයි.

වොෂිංටන් සහ බීජිං හි ගනු ලැබූ තීරනවල ක්ෂනික බලපෑම යටතේ, වෝල් වීදිය සැලකිය යුතු ලෙස පහත වැටීමක් අත් දකිමින්, එක්සත් ජනපදය ඇතුලු ලොව පුරා මූල්‍ය වෙලඳපොලවල් පහලට කරකවා හැරියේය. පසුබෑම අර්ථවත් කලේ, ආර්ථික යුද්ධ නව හා ඊටත් වඩා භයානක අවධියකට අවතීර්න වී ඇති බව පිලිගැනීමයි.

ආරම්භක මූල්‍ය කැලඹීම් පහව ගොස් ඇති අතර, යුවාන් ලෙසද හැඳින්වෙන රෙන්මින්බි මුදලේ වටිනාකමෙහි සුලු වෙනසක් හේතුවෙන් යම් ප්‍රකෘතියක් අත්විඳින්නේවී නමුත් මූල්‍ය යුද්ධය න්‍යාය පත්‍රයේ ස්ථිර තැනකට පත්කර ඇත.

2008 ගෝලීය මූල්‍ය අර්බුදයෙන් පසුව, සියලු ප්‍රධාන ජාත්‍යන්තර ආර්ථික සංවිධාන නිරන්තරයෙන් අනතුරු අඟවා ඇත්තේ, ආරක්ෂනවාදය සහ තරඟකාරී මුදල් අවප්‍රමානයන් මොන වියදමක් දරා හෝ වලක්වා ගත යුතු බවයි. මෙම අනතුරු ඇඟවීම් පදනම් වී ඇත්තේ, 1930 ගනන්වල මහා අවපාතය ගැඹුරු කිරීම සහ දෙවන ලෝක යුද්ධය පුපුරා යාම සඳහා කොන්දේසි නිර්මානය කිරීම සඳහා මෙවැනි ක්‍රියාමාර්ග තීරනාත්මක කාර්යභාරයක් ඉටු කල බව අවබෝධ කර ගැනීම මත ය.

ආරක්ෂනවාදී තීරුබදු පියවරයන්ට එරෙහි බෙහෙත් වට්ටෝරුව, එක්සත් ජනපදය සම්බන්ධයෙන් ගත් කල සැබවින්ම බොඳවී තිබේ. ට්‍රම්ප් පරිපාලනය විසින් ඩොලර් බිලියන සිය ගනනක් වටිනා චීන භාන්ඩ සඳහා තීරුබදු පනවා ඇතුවා පමනක් නොව, චීනයට එරෙහිව පැනවීමට නවතම තීරුබදු තර්ජනයෙන් අදහස් වන්නේ, එක්සත් ජනපදයට කරන සියලුම චීන අපනයන පාහේ ආවරනය වන පරිදි එය පුලුල් කෙරෙන බවය. සෑම තැනකම සිය ආර්ථික න්‍යාය පත්‍රය ඉදිරියට ගෙන යාමේ තීරනාත්මක මෙවලමක් ලෙස තීරු බදු යොදාගන්නා බව පැහැදිලි කර තිබේ.

වොෂින්ටනයේ ඉල්ලීම්වලට, විශේෂයෙන් කෘෂිකර්මාන්තයට ආදාල ඉල්ලීම් වලට එකඟ නොවන්නේ නම්, මෝටර් වාහන සඳහා “ජාතික ආරක්ෂාව” මත සියයට 25 ක බද්දක් පනවනු ඇතැයි යන තර්ජනය යටතේ යුරෝපා සංගමය, මේ වන විට එක්සත් ජනපදය සමඟ වෙලඳ ගනුදෙනුවක් සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටී. එම තර්ජනය එක්සත් ජනපදය සමඟ ද්විපාර්ශ්වික වෙලඳ සාකච්ඡාවලට සම්බන්ධවී සිටින ජපානයට ද විහිදේ. අගමැති ෂින්සෝ අබේ එය වලක්වා ගැනීමට උත්සාහ ගන්නේ, කස පහර දීමේ හැකියාව වොෂින්ටනයට යාම වලක්වා ගැනීමෙනි.

තවද, මෙක්සිකෝව සමඟ ගනුදෙනු කිරීමේදී, සරනාගතයින් සහ සංක්‍රමනිකයින්ගේ ගලායාම මැඩපැවැත්වීම සඳහා පියවර ගත යුතු බවට කරන ඉල්ලීම්වලට එකඟ නොවන්නේ නම් එක්සත් ජනපදයට කරන අපනයන සඳහා තීරුබදු පැනවීමට ට්‍රම්ප් පරිපාලනය තර්ජනය කලේය. අවම වශයෙන් මේ මොහොතටවත් එම ගැටුම නිරාකරනය වී ඇති අතර, දේශපාලන න්‍යාය පත්‍රයක් බලාත්මක කිරීම සඳහා ආර්ථික පියවරයන් යොදා ගැනීම නිසා එය ගෝලීය කම්පන තරංගයක් නිකුත් කලේ ය.

ඉරානය සම්බන්ධයෙන් මඳක් වෙනස් ආකාරයකින් වුවද, එම ක්‍රමවේදයම ක්‍රියාත්මක කර ඇත. ලෝකයේ ප්‍රධාන ජාත්‍යන්තර මුදල වන ඩොලරයේ ශක්තිය උපයෝගී කරගනිමින් වොෂින්ටනය, ඉරානය සමඟ 2015 න්‍යෂ්ටික ගිවිසුමෙන් ඒකපාර්ශවිකව ඉවත්වීමෙන් පසුව පනවා ඇති සම්බාධක පිලිපැදීම ප්‍රතික්ෂේප කරන සමාගම් සහ රටවලට තර්ජනය කර තිබේ.

සිදුවීම්වල ක්ෂනික පෙරලීම් හා හැරීම් කුමක් වුවත් දැන්, මූල්‍ය යුද්ධයක තර්ජනය, ලෝක ධනවාදී පර්යායේ අඛන්ඩ බිඳවැටීම නව අදියරකට එලඹීම පිලිබඳ ප්‍රකාශනයයි.

ව්‍යාපාරික ආයෝජන සහ නිෂ්පාදන පහත වැටෙමින් පවතින එක්සත් ජනපදය තුල ද යුරෝපය, චීනය, ගිනිකොනදිග ආසියාව තුල ද දැනටමත් දක්නට ලැබෙන පරිදි, ගෝලීය ආර්ථිකයේ කැපී පෙනෙන මන්දගාමිත්වයේ කොන්දේසි යටතේ බලු පොරයෛ් අවසානයක් නොපෙනේ.

චීනය “මූල්‍ය ගසාකන්නෙකු” ලෙස හංවඩු ගැසීම සමඟින්, එවැනි ප්‍රතිපත්තියක් වෙත මාරුවීම පිලිබඳ පැහැදිලි වෙනත් ඇඟවුම් ද තිබේ. යුරෝ සහ රෙන්මින්බි මුදල් වටිනාකම පහත වැටීමේ ප්‍රතිවිපාක වලක්වා ගැනීම සඳහා ප්‍රමානවත් තරම් පොලී අනුපාත අඩු නොකිරීම සම්බන්ධයෙන් ට්‍රම්ප් එක්සත් ජනපද ෆෙඩරල් බැංකුවට එරෙහිව චෝදනා එල්ල කර ඇති අතර, ෆෙඩරල් මහ බැංකුවේ ක්‍රියා කලාපය චීනය හා යුරෝපීය සංගමය සමඟ ගනුදෙනු කිරීමේදී ඇමරිකාවට අවාසියක් වී ඇති බව පවසා ඇත..

මූල්‍ය යුද්ධය වෙතට මාරුවීම, ඇමරිකානු පරිපාලනයට පමනක් සීමා නොවේ. රිපබ්ලිකන් සහ ඩිමොක්‍රටික් සෙනෙට් සභිකයන්ගේ ඒකාබද්ධ අනුග්‍රහයෙන්, එක්සත් ජනපද ඩොලරයේ වටිනාකම පහත හෙලීම සඳහා පසුගිය සතියේ සෙනෙට් සභාවේදී නීති සම්පාදනය කරන ලදී.

එහි අනුග්‍රාහකයන්ට අනුව, නීති සම්පාදනය කිරීම අවශ්‍ය වූයේ, “දශක දෙකක කාලයක්” තිස්සේ චීනය ඇතුලු විදේශ රටවල්, “විදේශයන්හි ඇමරිකානු නිෂ්පාදනවල මිල වැඩිකරන අතරම ඔවුන්ගේ අපනයන ඉහල නැංවීම සඳහා ඔවුන්ගේ මුදල් ගසාකා තිබීම” නිසාය. එසේම විදේශීය රටවල් එක්සත් ජනපද මූල්‍ය වත්කම් මිලදී ගැනීමේදී, “ඇමරිකානු ඩොලරය අධි අගයකට පත්ව තිබීමේ හේතුව නිසාය.”

රැකියා සහ සමෘද්ධිය සඳහා යෝජිත තරඟකාරී ඩොලරය පිලිබඳ නීතිය අනුව, “එක්සත් ජනපද ඩොලර් විනිමය අනුපාතය කලමනාකරනය” කර එක්සත් ජනපද කොටස්, බැඳුම්කර සහ වෙනත් වත්කම්වල විදේශීය මිලදී ගැනීම් සඳහා “වෙලඳපල ප්‍රවේශ ගාස්තුවක්” පැනවීමෙන් එය සම්බන්ධ කිරීමට කටයුතු කරන බව අනුග්‍රාහකයෝ ප්‍රකාශ කලහ.

මෙම නිශ්චිත නීති කෙටුම්පතට කොපමන සහයෝගයක් ලැබිය හැකිද යන්න මේ අවස්ථාවේදී පැහැදිලි නැත. එහෙත් එය ආර්ථික සුලං හමන අත පිලිබඳ පැහැදිලි ඇඟවීමකි.

තරඟකාරී අවප්‍රමානයන් කරා මාරුවීම සහ වෙලඳ ක්ෂේත්‍රයෙන් බොහෝ ඈතට ගිය මූල්‍ය යුද්ධයක් පුපුරා යාමේ තවත් තීරනාත්මක අංගයක් ඇත. එනම්, ධනේශ්වර ආර්ථිකය තුල මුදල්, වෙලඳාම සහ ආයෝජන හුවමාරු මාධ්‍යයක් ලෙස පමනක් ක්‍රියාත්මක නොවන අතර එය වටිනාකම් සංචිතයකි. එහෙත් කඩදාසි මුදල්වල වටිනාකම, එනම් මහ බැංකු විසින් නිර්මානය කරන ලද සහ රත්‍රන් හෝ වෙනත් වටිනාකමින් යුත් සංචිතයක පිටුබලය නොලබන ෆියට් මුදල්, ගෝලීය ගැටුමක දී අඛන්ඩව පහතට ඇද දමනු ලැබුවහොත්, මෙම වැදගත් කාර්යය පිලිබඳව ප්‍රශ්න මතු කෙරේ.

මෙම ගැටළුව දැන් මූල්‍ය කවයන් තුළ වැඩි අවධානයකට ලක්ව තිබේ. එය මුල්බැස ඇත්තේ පසුගිය දශක තුන හෝ ඊටත් වැඩි කාලයක් තුළ එක්සත් ජනපද ආර්ථිකයේ ක්‍රියාකාරිත්වය තුළ සිදු වූ දැවැන්ත වෙනස්කම් තුළ ය.

රේගන් පරිපාලනය යටතේ 1980 දශකයේ සිට එක්සත් ජනපද ලාභ සමුච්චය කිරීමේ ක්‍රියාවලිය තුල සැලකිය යුතු වෙනසක් සිදුව ඇත. එය වැඩි වැඩියෙන් රඳා පැවතීමට පටන් ගත්තේ නව කර්මාන්තශාලා හා උපකරන සඳහා ආයෝජනය කිරීම සහ නිෂ්පාදන ව්‍යාප්ති මත නොව, මූල්‍යකරනය ලෙස හැඳින්වෙන ක්‍රියාවලිය වර්ධනය කිරීම මත ය. එනම්, කොටස් සහ වෙනත් මූල්‍ය වත්කම්වල සමපේක්ෂන මෙහෙයුම් තුලින් ලාභ සමුච්චය කිරීමය.

1987 ඔක්තෝබර් මාසයේ කොටස් වෙලඳපොල කඩාවැටීමත් සමඟ මූල්‍ය කුනාටු මාලාවක් ඇති විය. 1998 දී දිගු කාලීන ප්‍රාග්ධන කලමනාකරනයට ඇපදීම, සියවස ආරම්භයේදී තාක්ෂනික කඩාකප්පල් වීම ඒවායින් දෙකක් පමනක් වන අතර එය සමස්ත මූල්‍ය පද්ධතියේම වර්ධනය වන අස්ථාවරත්වය පෙන්නුම් කලේය.

කෙසේ වෙතත් මෙම කුනාටු යටපත්ව ගියේ මහ බැංකුව විසින් කරන ලද මූල්‍යමය මැදිහත්වීම් හේතුවෙනි. එය ප්‍රසිද්ධියට පත්වුනේ ඊනියා “ග්‍රීන්ස්පන් පුට්” ලෙස ය. ක්ෂනික ගැටලු මඟහරවා ගැනීම සඳහා මෙම මෙහෙයුම් “සාර්ථක” වූ නමුත්, ඒවා මූල්‍ය පද්ධතිය යටින් පැවති අස්ථාවරත්වය වැඩි කලේය. අවසාන විග්‍රහයේ දී ඒවායේ කෙටිකාලීන සාර්ථකත්වය රඳා පැවතියේ, පලමුවෙන් ඊනියා ආසියානු කොටින්ගේ සහ 1990 දශකයේ මැද භාගයේ සිට වැඩි වැඩියෙන් චීනයේ ලාභ ශ්‍රම සම්පත් සූරාකෑමේ ප්‍රතිපලයක් ලෙස ගෝලීය වර්ධනය හා ලාභය ඉහල නැංවීම මත ය.

නමුත් 2008 දී, කුකුලන් ලැගුම් සොයා පැමිනීම හා එක්සත් ජනපදයේ හා ගෝලීය මූල්‍ය පද්ධතියේ හදවතෙහි වැඩෙන කුනුවීම මූල්‍ය දියවීම තුල අර්බුදය නිරාවරනය කලේය.

අනෙකුත් මහ බැංකු සමඟ ෆෙඩරල් මහ බැංකුව, ගෝලීය මූල්‍ය ක්‍රමයට ඩොලර් ටි්‍රලියන ගනනක් පොම්ප කිරීම, වාර්තාගත අවම මට්ටමට පොලී අනුපාත අඩු කිරීම සහ මූල්‍ය වත්කම් මිලට ගැනීම වැනි ඊනියා ප්‍රමානාත්මක ලිහිල් කිරීම් මගින් ඊට ප්‍රතිචාර දැක්වීය. නිල මන්ත්‍රය වූයේ, මෙය අවසානයේදී ආර්ථික වර්ධනය යථා තත්ත්වයට පත් කරමින් “සාමාන්‍ය” මූල්‍ය ප්‍රතිපත්ති වෙත ආපසු යනු ඇති බවයි.

එය සිදුවී නැත. මූල්‍ය ක්‍රමය ලාභ මුදල් ගලා ඒමකට ඇබ්බැහි වී ඇති අතර, “සාමාන්‍යකරනයට” නැවත පැමිනීම, නව මූල්‍ය දියවීමක් ඇති කිරීමට තර්ජනය කරයි. පද්ධතියට පොම්ප කරන ලද ඩොලර් ටි්‍රලියන ගනනක් අතුරුදහන් වී නැත. ඒ වෙනුවට සමපේක්ෂන මෙහෙයුම් තුලින් ලාභය අපේක්ෂා කරමින් ඒවා දිගටම සංසරනය වේ. සැබෑ ආර්ථිකය තුල ලාභදායී ක්ෂේත්‍ර සොයා ගැනීමට නොහැකි වූ මෙම මුදල් සාගරය, රජයේ නයවලට ගලා යමින්, බැඳුම්කර මිල ගනන් ඉහල නැංවීම සහ ප්‍රතිලාභ පහත හෙලීමට දායක වෙමින් දැන්, ඩොලර් ටි්‍රලියන 13.74 ක් වටිනා බැඳුම්කර සෘනාත්මක ප්‍රතිලාභ සහිතව වෙලඳාමේ යෙදී සිටී.

කඩදාසි මුදල් අවප්‍රමානය කිරීම තුලින් මූල්‍ය යුද්ධයට යොමුවීම යන්නෙන් අදහස් වන්නේ, ගෝලීය මූල්‍ය පද්ධතිය තුල මුල් බැස ඇති නව අර්බුදයක් ඇති වන බවයි. සලකුනු දැනටමත් සටහන් වෙන්නට පටන් ගෙන ඇත.

ලොව විශාලතම ආරක්ෂන අරමුදලක් වන බි්‍රජ්වෝටර් ප්‍රධානී රේ ඩාලියෝ මෑත බ්ලොග් සටහනකින් පෙන්වා දුන්නේ, මහ බැංකු විසින් දිනෙන් දින ඉහල යන කඩදාසි මුදල් මුද්‍රනය කරන තත්වයන් යටතේ, විකල්ප ආකෘති වෙත මාරුවීමක් සිදුවන බවයි. උදාහරනයක් ලෙස මුදල්, රත්‍රන් හෝ වෙනත් ආකාරයක ධන සම්පත් කරා මාරුවීම. “බොහෝ මහ බැංකුකරුවන්ට ඔවුන්ගේ මුදල් ෆියට් මුදල් ක්‍රමයක් තුල අවප්‍රමානය කිරීමට අවශ්‍ය වන තත්වය තුල” ධනයේ සංචිතයක් ලෙස මුදල් ක්‍රියා කරනවාය යන්නේ අර්ථය කුමක් ද යන ප්‍රශ්නය ඔහු මතු කලේය.

මෙම අර්බුදය දිග හැරෙන්නේ කෙසේදැයි හරියටම පුරෝකථනය කල නොහැකිය. නමුත් එක් දෙයක් ස්ථිරයි: මූල්‍ය පද්ධතියේ යම් සීරුමාරු කිරීම් හෝ වෙනස් කිරීම් මගින් විසඳුමක් නොමැත. ධනවාදී ආර්ථිකය තුල සැබෑ ධනයේ එකම ප්‍රභවය වන ශ්‍රමය සපයන කම්කරු පන්තියට එරෙහි ප්‍රහාර තීව්‍ර කිරීම, මූල්‍ය කතිපයාධිකාරයට එහි මුදල් කන්දට නැවත වටිනාකමක් ලබා දිය හැකි එකම ක්‍රමයයි.

එබැවින්, මූල්‍ය යුද්ධය දෙසට වන පැහැදිලි මාරුව, සමස්ත ගෝලීය ආර්ථිකය හා මූල්‍ය පද්ධතිය සඳහා අර්බුදයක වර්ධනයක් පෙන්නුම් කරනවා පමනක් නොවේ. ගෝලීය පරිමානයෙන් පන්ති අරගලය පුපුරා යාම ද එය නිරූපනය කරයි, එහි පලමු ඇඟවීම් දැනටමත් පැහැදිලිව පෙනෙන අතර, ලාභ ක්‍රමය අවසන් කිරීමේ මාධ්‍යයක් ලෙස දේශපාලන බලය සඳහා සටන් කිරීමේ හා සමාජවාදී පදනම් මත ලෝක ආර්ථිකය ප්‍රතිසංවිධානය කිරීමේ අවශ්‍යතාවයට කම්කරු පන්තිය වඩ වඩාත් මුහුන දෙනු ඇත.

Share this article: