ප්‍රන්සයේ මිලියන 1.5 ක් පෙලපාලිවල, දස දහස් ගනනක් කප්පාදුවට හා අසමානතාවයට එරෙහිව වැඩ වර්ජනය කරති

1.5 million march, tens of thousands strike in France against austerity and inequality

ඇන්තනි ටොරස් සහ ඇලෙක්ස් ලැන්ටියර් විසිනි, 2019 දෙසැම්බර් 6

ප්‍රන්ස ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදු සැලසුමට එරෙහිව දුම්රිය, රජයේ සහ අධ්‍යාපන කම්කරුවන් මිලියන 1.5 ක් ඊයේ පෙලපාලි හෝ වැඩ වර්ජනවල යෙදෙමින් දශක ගනනාවක් තුල ප්‍රන්සයේ ඇතිවූ විශාලතම විරෝධතාවන්ට එක්වූහ.

මෙම වැඩ වර්ජනය, සමාජ අසමානතාවයට සහ මිලිටරි-පොලිස් මර්දනයට එරෙහි පන්ති අරගලයේ පුලුල් ජාත්‍යන්තර පුනර්ජීවනයක කොටසකි.

ප්‍රන්සයේ කම්කරු වැඩ වර්ජන, ඉරාකය, ලෙබනනය, චිලී, කොලොම්බියාව, හොංකොං, ඇල්ජීරියාව යන රටවල මහජන විරෝධතා ව්‍යාපාරවලට ද එක්සත් ජනපද මෝටර් රථ සේවකයින් සහ ගුරුවරුන් මෙන්ම බි්‍රතාන්‍ය දුම්රිය සේවක වැඩ වර්ජනවලට ද සම්පාත විය. ඊයේ ප්‍රන්සයේ ජාතික දුම්රිය සේවයේ (එස්එන්සීඑෆ්), ගුරුවරුන් සහ පැරීසියේ පොදු ප්‍රවාහන, රෝහල්, ගුවන්තොටුපල, බලශක්ති, වරාය කම්කරුවන් මෙන්ම සිසුන් සහ නීතිඥයින් ද එක්ව පෙලපාලි දැක්විය.

වැඩ වර්ජනය මගින් අරගලයට එක්වූ කම්කරු පන්තියේ දැවැන්ත සමාජ බලය පෙන්නුම් කරයි. ප්‍රන්සය පුරා දුම්රිය ගමනාගමනය නතරවූ අතර අධිවේගී දුම්රිය 10 න් එකක් (ටීජීවී) සහ සීග්‍රගාමී ප්‍රාදේශීය දුම්රිය වලින් සියයට 3 ත් 5 ත් අතර ප්‍රමානයක් ධාවනය විය. එස්එන්සීඑෆ් කලමනාකාරිත්වයට අනුව, දුම්රිය රියදුරන්ගෙන් සියයට 85.7 ක් සහ දුම්රිය පාලකයන්ගෙන් සියයට 73.3 ක් තමන් වැඩ වර්ජනය කරන බව ප්‍රකාශ කර ඇත.

පැරීසියේ පොදු ප්‍රවාහනය මුලු‍මනින්ම පාහේ නතර විය. ස්වාධීන පැරිස් ප්‍රවාහන අධිකාරිය (RATP) නිවේදනය කලේ මෙට්‍රෝ මාර්ග 16 න් 11 ක් වසා දමා ඇති අතර අනෙක් ඒවා පවත්වන්නේ සීමිත සේවාවක් පමනක් බවයි.

වැඩ වර්ජකයෝ ඉන්ධන ඩිපෝ අවහිර කල අතර ප්‍රන්සයේ තෙල් පිරිපහදු 8 න් 7 ක කම්කරුවෝ වැඩ වර්ජනයක නිරත වූ අතර දීර්ඝ කාලීනව රට පුරා ඉන්ධන හිඟයක් ඇතිවීමේ තර්ජනය මතු කලහ.

රාජ්‍ය සේවය පිලිබඳ කනිෂ්ඨ ඇමති ඔලිවියර් ඩුසොප්ට් විසින් ඉදිරිපත් කරන ලද සංඛ්‍යාලේඛනවලට අනුව රජයේ සේවකයින්ගෙන් සියයට 32.5 ක් (අධ්‍යාපනය, තැපැල් සහ හිටපු ප්‍රන්ස ටෙලිකොම් සේවකයින් ද ඇතුලුව) වැඩ වර්ජනයට එක් වූහ. ප්‍රාථමික පාසල් ගුරුවරුන්ගෙන් සියයට 51.15 ක් සහ ද්විතීයික පාසල් ගුරුවරුන්ගෙන් සියයට 42.32 ක් ද වැඩ වර්ජනය කලහ. බොහෝ සිසුහු නිවෙස්වල රැඳී සිටියහ, නැතහොත් නගර බලධාරීන් විසින් පවත්වාගෙන යනු ලබන හදිසි සේවා මධ්‍යස්ථාන වෙත ගෙන යාමට සිදු විය.

ගුවන් ගමන් පාලකයන් ඇතුලු විවිධ කම්කරුවන්ගේ වැඩ වර්ජන හේතුවෙන් ප්‍රධාන ප්‍රන්ස ගුවන් තොටුපලවල් කිහිපයකටම (ප්‍රධාන පැරිස් ගුවන්තොටුපලවල් වන නයිස්, මර්සෙයිල්, ලියොන්, ටූලූස් සහ බෝඩෝ ද ඇතුලුව) වැඩ වර්ජනය බරපතල ලෙස බලපා ඇත .

ඉදිරි දින කිහිපය තුල විවිධ කර්මාන්තවල වැඩ වර්ජන දිගටම පවතිනු ඇත. සමිති ආරංචි මාර්ග සඳහන් කලේ සඳුදා වන තුරු දුම්රිය ගමනාගමනයට දැඩි බලපෑමක් එල්ල වනු ඇති අතර සිකුරාදා ගුවන් ගමන් වලින් සියයට 20 ක් කපා හරින බවයි. බොහෝ ගුරුවරුන් අද වැඩ වර්ජනයක නිරත වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මැක්‍රොන් ආන්ඩුව විසින් ඉන්ධන සඳහා වන බදු වැඩිකිරීමට විරෝධය දැක්වීම සඳහා අද දින අවහිර කිරීම් 15 ක් සිදුකරන බව එක් ට්‍රක් රථ සංගමයක් වන ලොට්රේ ඊයේ රාත්‍රියේ ප්‍රකාශ කර තිබුනි.

වැඩ වර්ජකයෝ ප්‍රන්සය පුරා සංවිධානය කරන ලද සිය දහස් ගනනක රැස්වීම් සඳහා පෙලපාලි වලින් ගමන් ගත්හ. පැරිසියේ විරෝධතාකරුවන් 250,000 ක්, මාර්සෙයිහි 150,000 ක්, ටූලූස් හි 100,000 ක්, ලිලීහි 40,000 ක් සහ මොන්ට්පෙලියර්, බෝඩෝ සහ නැන්ටෙස්හි දස දහස් ගනනක් මෙන්ම තවත් නගර 40 ක පමන 285,000 ක් විරෝධතාවන්ට එක්ව ඇති බව වෘත්තීය සමිති විසින් ප්‍රකාශයට පත් කරන ලදී. නගර කිහිපයක, බලධාරීහු, පෙලපාලිකරුවන්ගේ සංඛ්‍යාව පිලිබඳ කිසිදු සංඛ්‍යාවක් මාධ්‍යයට ලබා දීම ප්‍රතික්ෂේප කලහ.

වෘත්තීය සමිති නිලධරයන්ගේ විධිමත් අනුමැතියකින් තොරව, එරික් ඩ්‍රූට්, ප්‍රිස්කිලා ලු‍ඩොස්කි සහ මැක්සිම් නිකොල් ඇතුලු සුප්‍රසිද්ධ “කහ බැනියම්” විරෝධතාකරුවෝ, විරෝධතාවලට එක්වන ලෙස තම ආධාරකරුවන්ගෙන් ඉල්ලා සිටියහ.

ලයන්, නැන්ටෙස්, රෙනස් සහ පැරිස් ඇතුලු නගර කිහිපයක ආරක්ෂක හමුදා සහ විරෝධතාකරුවන් අතර ගැටුම් ඇති වූ අතර, ආරක්ෂක හමුදා විසින් විශාල කොටසක් පෙලපාලිවල ගමන් කිරීම වලක්වා, පසුව ඔවුන්ට පහර දුන්නේය. පලමුව ජනරජයේ සහ පසුව ජාතියේ චතුරශ්‍රයේදීය.

මැක්‍රොන් ආන්ඩුව විසින් පසුගිය දෙසැම්බරයේ විශාලතම “කහ බැනියම්” විරෝධතාවන්ට එරෙහිව යෙදුවාට සාපේක්ෂව දැවැන්ත පොලිස් මෙහෙයුමක් සංවිධානය කර තිබූ අතර, එය වෘත්තීය සමිති විසින් සංවිධානය කරන ලද සමාජ විරෝධතාවක් සම්බන්ධයෙන් ගත් කල පෙර නොවූ විරූ දෙයක් විය.

එල්එක්ස්ප්‍රෙස් සඟරාව වාර්තා කලේ, “සමස්තයක් වශයෙන් ප්‍රන්සය පුරා ආරක්ෂක මැදිහත්වීම් ඒකක 108 ක් යොදවනු ඇති බවයි. ජංගම හමුදා පොලිසි 60.5 ක් සහ කැරලි මර්දන පොලිසි 47.5 ක්. පැරිසියට යාබද ප්‍රදේශය හැරුනු විට දකුන, ගිනිකොන සහ උතුරට ඔවුන් විශාල වශයෙන් යොදවනු ලැබේ. උතුර, බටහිර සහ නිරිත ප්‍රදේශයන්හි කාර්ය මන්ඩල හිඟයක් ඇත. BRAV (ප්‍රචන්ඩකාරී ක්‍රියා මර්දන සේනාංක) මෝටර් රථ කන්ඩායම් 180 ක් යොදවනු ඇත. තාක්ෂනික ක්‍රම සම්බන්ධයෙන් ගත් කල, ජල කාලතුවක්කු හයක් ක්‍රියාත්මක කිරීමට සූදානම් වන අතර ඩ්‍රෝන යානා තුනක් පැරිසිය ඉහලින් පියාසර කරනු ඇත.”

නිර්නාමික ඉහල පෙලේ ආරක්ෂක නිලධාරියෙකු පැරිස් විරෝධතාවය ගැන තමා “දැඩි කනස්සල්ලට පත්ව සිටින” බව පැවසූ අතර “අපි සිටින්නේ කැරැල්ලකට පෙර තත්වයක” යැයි කියා සිටියේය.

පැරීසියේදී ආරක්ෂක අංශ විසින් සන්නද්ධ මෝටර් රථ, ජල විදිනයන් මෙන්ම සොල්දාදුවන් සහ කැරලි මර්දන පොලිසිය ප්‍රහාරක රයිෆල් වලින් සන්නද්ධ කර එලිස් ජනාධිපති මන්දිරය සහ වෙනත් රාජ්‍ය මධ්‍යස්ථානවල මාර්ග බාධක වලට යොදවනු ඇත. කැරලි මර්දන පොලිසිය 6,000 ත් 8,500 ත් අතර සංඛ්‍යාවක් බලමුලු‍ ගැන්වීය. රාත්‍රී 8 වන විට අත් අඩංගුවට ගැනීම් 90 ක් ද, වැලැක්වීමේ රැඳවුම් 71 ක් ද වාර්තා වූ අතර ඒ වැලැක්වීමේ රඳවා තබාගෙන සෝදිසි කිරීම් 11,490 ට අමතරවය.

දෙසැම්බර් 5 වැඩ වර්ජනය, ජාත්‍යන්තර කම්කරු පන්තියේ වැඩෙන රැඩිකලීකරනයත් සමඟ පන්ති අරගලයේ නව අවධියක වර්ධනයකි. වැඩ වර්ජනය සඳහා කැඳවීම එස්එන්සීඑෆ් විසින් සිදු කර ඇති අතර, වෘත්තීය සමිති තම පාලනය අහිමි වේ යැයි කනස්සල්ලට පත්ව ඇත. සරත් සෘතුවේ දී ප්‍රධාන හදිසි වර්ජන දෙකකින් දුම්රිය ගමනාගමනය අඩාල කරන ලදී. ඒ, ජාතික දුම්රිය සේවයේ පුද්ගලීකරන පියවරයන්ට මෙන්ම වැටුප් කප්පාදුවට හා වැඩ මුර දෙකක් හඳුන්වාදීමට එරෙහිව ය. කෙසේ වෙතත් කැඳවුමෙන් පසු, කම්කරුවන්ගෙන් පුලු‍ල් කොටසක්, නීත්‍යානුකූලව අනුමත කරන ලද වැඩ වර්ජනයකට සම්බන්ධ වීමට අවස්ථාව ලබා ගැනීමට උත්සාහ කලහ.

මෙම බලමුලු‍ ගැන්වීම මගින් පිලිබිඹු වන්නේ, යුරෝපීය සංගමයේ ප්‍රතිපත්තිවලට එරෙහි පුලුල්, වර්ධනය වන විරුද්ධත්වයයි. රාජ්‍ය අංශයේ වැටුප් කැටි කිරීම සහ විශ්‍රාම වැටුප් හා වෙනත් සමාජ අයිතීන් වලට එරෙහිව දැඩි ප්‍රහාර ඊට ඇතුලත්ය. මැක්‍රොන් විසින් බහුවිධ විශ්‍රාම වැටුප් අරමුදල් ඉවත් කර “ලකුනු” මත පදනම් කෙරෙන විශ්‍රාම ක්‍රමයක් හඳුන්වා දීමට යයි. ඊට කලින් නියම කරන මුදල් අගයක් නැත. විශ්‍රාම වැටුප්, සෞඛ්‍ය සේවා සහ වෙනත් ප්‍රධාන වැඩසටහන් සඳහා ගැඹුරු කප්පාදුවක් සැලසුම් කිරීම වෙනුවට, වඩාත් අපේක්ෂා සහගත සමාජ සමානාත්මතාවය සහ කම්කරුවන්ට වඩා හොඳ ජීවන තත්වයන් සඳහා පිලිවෙතක් හඳුන්වාදීම ආන්ඩුව විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

ධනවාදී සමාජ ක්‍රමයට කම්කරුවන් අතර පුලුල් විරෝධයක් මෙන්ම වෘත්තීය සමිති කෙරෙහි සාධාරන අවිශ්වාසයක් ද පවතී. සමිති මැක්‍රොන් සමඟ කප්පාදුව පලිබඳව සාකච්ඡා කරමින් සිටින නමුත් 2017 දී ඔහු තේරී පත්වීමෙන් පසු මේ දක්වා, සැලකිය යුතු වැඩ වර්ජන ක්‍රියාමාර්ගයක් සංවිධානය කර නොමැත.

වඩාත් පුලුල්ව ගත් කල, ඊයේ වැඩ වර්ජනයට හේතු වූ කිසිදු ගැටලු‍වකට ජාතික ස්වරූපයක් නොතිබුනි; ඒ සියල්ලම මේ වසරේ - අඩු වැටුප් හා සමාජ කප්පාදුව, අඩු සේවක සංඛ්‍යාවක් ඇති ස්ථානවල කම්කරුවන් උග්‍ර ලෙස සූරාකෑම, සමාජ අසමානතාවය, බැංකුවල ආඥාවන්ට එරෙහි කිසිදු විරුද්ධත්වයක් නොමැතිකම, මිලිටරි-පොලිස් මර්දනය - ජාත්‍යන්තර වශයෙන් දස දහස් ගනනක් හෝ මිලියන සිය ගනනක් කම්කරුවන් බලමුලු‍ ගැන්වූ ජාත්‍යන්තර ගැටලු‍ ය. මෙම ගැටලු විසඳීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය වෙලඳපොලවල් හරහා ආර්ථික ජීවිතය මත ආධිපත්‍යය දරන ප්‍රකෝටිපති මූල්‍ය වංශාධිපතිත්වය අස්වාමික කිරීම අවශ්‍ය වේ.

මේ සඳහා කම්කරුවන්ට ජාතික වශයෙන් පදනම් වූ වෘත්තීය සමිති නිලධරයෙන් කැඩී, වෘත්තීය සමිතිවලින් ස්වාධීනව ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම අවශ්‍ය වන අතර එමඟින් ඔවුන්ට අරගලය සියතට ගෙන එය ලොව පුරා සිටින ඔවුන්ගේ පන්ති සහෝදර සහෝදරියන්ගේ අරගල සමඟ සම්බන්ධ කල හැකිය.

දශක ගනනාවක් තිස්සේ ප්‍රන්ස වෘත්තීය සමිති, සේවා යෝජකයන්ගේ කන්ඩායම්, ආන්ඩු සමඟ “සමාජ සංවාදය” පවත්වාගෙන ගිය අතර ඒවා සේවය කර ඇත්තේ කම්කරු පන්තිය මත සමාජ ප්‍රතිගාමීත්වය පැටවීමට පමනි. ඇත්ත වශයෙන්ම, මැක්‍රොන් ආන්ඩුවේ ඉහල නිලධාරීන් වැඩ වර්ජනය අතරතුර වෘත්තීය සමිති ප්‍රවර්ධනය කිරීමට යුහුසුලු‍ වූ අතර, විශ්‍රාම වැටුප් කප්පාදුව පිලිගැනීමට සහ මැක්‍රොන්ට එරෙහි ඕනෑම දේශපාලන අරගලයක ගෙල සිර කිරීමට අදහස් කරන වෘත්තීය සමිති නිලධරය ගැන තමන් දන්නා බව පැහැදිලිව පෙන්නුම් කලේය.

ජාතික සභාවේ මැක්‍රොන්ගේ පාර්ලිමේන්තු කන්ඩායමේ ප්‍රධානී ගිලෙස් ලෙජෙන්ඩ්‍රේ පැවසුවේ “ඔහු (මැක්‍රෝන්) එය අත්හරිනු ඇතැයි කිසිදු වෘත්තීය සමිතියක් බැරෑරුම් ලෙස සිතන්නේ නැත” යනුවෙනි. එනම්, වෘත්තීය සමිති ඇත්ත වශයෙන්ම රජය හා හාම්පුතුන්ගේ කන්ඩායම් සමඟ කුනු වූ සම්මුතියක් අපේක්ෂා කරන බවයි. මැක්‍රොන් විසින් නියම කරන කප්පාදු සියල්ලම පාහේ කම්කරුවන් මත පැටවීම සඳහා.

ප්‍රවාහන අමාත්‍යාංශයේ පිහිටුවා ඇති යුද කාමරයේ දී අගමැති එඞ්වඞ් පිලිප් ප්‍රකාශ කලේ, “ සමස්තයක් ලෙස වැඩ වර්ජන හා විරෝධතා සැලසුම් කල පරිදි දිගහැරී තිබේ. අද ප්‍රන්සයේ බොහෝ විරෝධතා සංවිධානය කර ඇති අතර බොහෝ ඒවා හොඳින් සිදුවෙමින් පවතී. සංවිධානාත්මක සාර්ථකත්වය වෙනුවෙන් වෘත්තීය සමිතිවලට මාගේ ගෞරවය පුද කිරීමට කැමැත්තෙමි.”

එවැනි අදහස් මගින් සමාජවාදී සමානතා පක්ෂය විසින් කරන ලද අනතුරු ඇඟවීම් සහ අරගල පෙරට ගෙනයාම සඳහා වෘත්තීය සමිතිවලින් ස්වාධීනව ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම සඳහා කරන ලද කැඳවීම සනාථ කරයි. රාජ්‍යය සමඟ සමීපව බැඳී ඇති වෘත්තීය සමිති නිලධරය විසින් පාලනය කරනු ලබන, තනිකරම ජාතික රාමුවක් තුල කොටුවූ අරගලයකින් කම්කරුවන්ට කිසිවක් ලැබෙන්නේ නැත. ඉදිරි මාවත වන්නේ අරගලය වෘත්තීය සමිති වලින් පිටතට ගෙන, සමාජවාදී, ජාත්‍යන්තරවාදී හා විප්ලවවාදී ඉදිරිදර්ශනයක පදනම මත ලොව පුරා සිටින සිය පන්ති සහෝදර සහෝදරියන්ගේ අරගලයන් හා එක්සත් කිරීමයි.

Share this article: