අන්තර් අධිරාජ්‍යවාදී ගැටුම්වලින් වැසීගිය යුක්රේනය පිලිබඳ පැරිස් සමුලුව

Paris summit on Ukraine overshadowed by inter-imperialist conflicts

ක්ලාරා වයිස් විසිනි, 2019 දෙසැම්බර් 10

දෙසැම්බර් 9 වන දින පැරීසියේ පැවති සමුලුවේදී ප්‍රන්සය, ජර්මනිය, යුක්රේනය සහ රුසියාව යන රටවල නායකයින්, වසර අවසානය දක්වාවූ නැගෙනහිර යුක්රේනයේ සටන් විරාමයකට එකඟ විය. ඊනියා “නෝර්මන්ඩි ආකෘතියේ” සාකච්ඡා වලින්, විශේෂයෙන් එක්සත් ජනපදය බැහැර කර තිබීම සැලකිය යුතු කාරනයකි. පවතින ගැටුම්වල සියලු විවාදාත්මක ගැටලු විසඳී ඇත්තේ ද නැත. 2014 පෙබරවාරි මාසයේ එක්සත් ජනපද හා යුරෝපා සංගමයේ පිටුබලය ලැබූ කීව්හි අන්ත දක්ෂිනාංශික කුමන්ත්‍රනයකින් අවුලුවන ලද නැගෙනහිර යුක්රේනයේ සිවිල් යුද්ධය, 13,000 කට අධික පිරිසකගේ ජීවිත බිලිගෙන ඇති අතර මිලියනයකට අධික පිරිසක් අවතැන් කර ඇත.

යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් යන දෙදෙනාම මෙම සාකච්ඡා “සාර්ථක” යැයි හැඳින්වූහ. ඒකාබද්ධ ප්‍රකාශයක් මගින් ප්‍රකාශ කලේ, “සටන් විරාමය සම්පූර්නයෙන් හා පුලුල් ලෙස ක්‍රියාත්මක කිරීමට පාර්ශ්වයන් කැපවී සිටින අතර, 2019 වසර අවසන් වීමට පෙර අවශ්‍ය සියලු සටන් විරාම පියවර සඳහා සහය ලබාදෙමින් ඒය ශක්තිමත් කෙරෙනු ඇත” යනුවෙනි. යුද සිරකරුවන් 250 ක් හුවමාරු කර ගැනීම සම්බන්ධයෙන් ද ඔවුහු එකඟ වෙති. 2015 මින්ස්ක් ගිවිසුම සාක්ෂාත් කර ගැනීම අරමුනු කර ගනිමින් හිටපු ජර්මානු විදේශ ඇමති සහ වත්මන් ජනාධිපති ෆ්‍රෑන්ක්-වෝල්ටර් ස්ටයින්මියර්ගේ නොපැහැදිලි සැලැස්මක් වන ස්ටයින්මියර් සූත්‍රය, සමුලුවට සම්බන්ධ වන සියලුම නියෝජිතයින් විසින් අනුමත කිරීම ද වාර්තා වේ.

කෙසේ වෙතත්, නැගෙනහිර යුක්රේන බෙදුම්වාදී ප්‍රදේශවල තත්ත්වය පිලිබඳ ස්ථිර එකඟතාවයක් ඇති නොවීය. යුක්රේනය සහ රුසියාව ද නව ගෑස් ගිවිසුමක් සඳහා එකඟ නොවූ අතර, මෙම ශීත සෘතුවේ දී යුක්රේනය ගෑස් හිඟයක අවදානමට මුහුනපා සිටී. නෝර්මන්ඩි ආකෘතියේ තවත් රැස්වීමක් ඉදිරි මාස හතර තුල පැවැත්වීමට නියමිතය.

2019, 9වන සඳුදා පැරීසියේ එලිසී මාලිගයේ රැස්වීම් ශාලාවකට පැමිනෙන රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් , ප්‍රන්ස ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් , ජර්මනියේ චාන්සලර් ඇන්ජෙලා මර්කල් සහ යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි (AP Photo/Thibault Camus, Pool)

රුසියාවට කිසිදු සහනයක් ලබා දීම වැලැක්වීම සඳහා එක්සත් ජනපදයේ පිටුබලය ලබන අන්ත දක්ෂිනාංශික හා කතිපයාධිකාරයේ සැලකිය යුතු කොටස් වලින් සෙලෙන්ස්කි වෙත දේශීය වශයෙන් දැඩි පීඩනයක් ඒල්ලවී තිබුනි. සෙනසුරාදා සහ ඉරිදා යුක්රේනයේ අන්ත දක්ෂිනාංශයේ ආධාරකරුවන් දහස් ගනනක් කීව් වෙත රැස්වී, රුසියාව සමඟ ඇතිකරගත් එකඟතාවයකට එරෙහිව උද්ඝෝෂනයක නිරත වූහ. විරෝධතාවන්ට සහාය දක්වන පක්ෂවලට යුදෙව් විරෝධී නව නාසි පක්ෂයක් වන ස්වොබෝඩා ද ඇතුලත් වූ අතර එය 2014 කුමන්ත්‍රනයේ වැදගත් කාර්යභාරයක් ඉටු කලේය. හිටපු ජනාධිපති පෙට්‍රෝ පොරොෂෙන්කෝ ඉරිදා අන්ත දක්ෂිනාංශික රැලිය ඇමතීය.

පැරීසියේ යුක්රේන දූත පිරිසට, සෙලෙන්ස්කි හැරුනු විට යුක්රේනයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ආසෙනි අවාකොව් ද එක්ව සිටියේය. හෙතෙම එරට පැරාමිලිටරි ෆැසිස්ට් සංවිධාන සමඟ ඇති සබඳතා පිලිබඳව කුප්‍රකට පුද්ගලයෙක් වන අතර එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝග පරීක්ෂනයේදී ඩිමොක්‍රටිකයින්ගේ ප්‍රශංසාවට ලක් ව සිටී. යුක්රේන ත්‍රිවිධ හමුදාවේ අන දෙන නිලධාරි රුස්ලාන් හොම්චක් ද නියෝජිත කන්ඩායමට ඇතුලත් විය.

සෙනසුරාදා එක්සත් ජනපද ආරක්ෂක ලේකම් මාක් එස්පර් ප්‍රකාශ කලේ, එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව යුක්‍රේනයේ මිලිටරිය සඳහා තවත් ඩොලර් මිලියන 250 ක වාරිකයක් දීමට සැලසුම් කරන බවයි. රුසියාවේ පිටුබලය ලබන බෙදුම්වාදීන් සමඟ මිලිටරි ගැටුමක යෙදී සිටින යුක්රේනයේ හමුදාවට සහ ෆැසිස්ට් පැරාමිලිටරි සංවිධානවලට දීමට නියමිතව තිබූ මාරක ආයුධ ආධාර අත්හිටුවීම, ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝග නඩු විභාගයේ කේන්ද්‍රය වී තිබේ.

පැරීසියේ පැවති සාකච්ඡාවට ආසන්නව නිකුත් කල නිවේදනය, රුසියාව සහ යුක්රේනය සම්බන්ධයෙන් සැලකිය යුතු වෙනසක් සිදු නොකරන ලෙස ප්‍රන්සයට හා ජර්මනියට යාන්තමින් සැඟවූ අනතුරු ඇඟවීමක් විය. සමුලුවට පෙර නේටෝවේ එක්සත් ජනපද තානාපති කේ බේලි හචිසන් වොෂිංටන් පරීක්ෂකවරයාට පැවසුවේ, “නේටෝව යුක්‍රේනය වෙනුවෙන් දැඩි ලෙස කැපවී සිටී. මම විශ්වාස කරන්නේ ප්‍රන්සය ද එසේමය. යුක්රේනය ශක්තිමත් කිරීම සඳහා අප සැවොම එහි සිටිමු. යුක්රේනය යුක්රේනය වීමට ඉඩ දීමේ ප්‍රවේශය මෘදු කිරීමට කිසිවෙකුට ඉඩ නොදෙමු.”

ඇමරිකානු පාලක පන්තිය තුල උග්‍රවන යුද්ධය හා අධිරාජ්‍යවාදී බලවතුන් අතර තියුනු වන ගැටුම් හමුවේ, 1991 සෝවියට් සංඟමය විසුරුවා හැරිය තැන් පටන් කලාපය තුල පවත්වාගෙන ගිය ඇමරිකානු අධිරාජ්‍යවාදී මූලෝපාය දිගහැරේ. ඒ, යුරේසියානු භූමි භාගය පාලනය කිරීම තුලින්, එරට ලෝක ආධිපත්‍යය සුරක්ෂිත කිරීම අරමුනු කර ගෙන ය. එක්සත් ජනපදය විසින් රුසියානු දේශසීමා දක්වා නේටෝව ව්‍යාප්ත කිරීම සහ යුරෝපා සංගමය විශාල කිරීම තුලින් ඒරට වටලෑමට ආක්‍රමනශීලීව කටයුතු කර ඇත. නැගෙනහිර යුරෝපයේ යුරෝපා සංගම් සාමාජික රටවල්, සියල්ලටත් වඩා පෝලන්තය සහ බෝල්ටික් ප්‍රදේශ, කලාපයේ එක්සත් ජනපද මිලිටරිවාදයේ තීරනාත්මක මුක්කු බවට පරිවර්තනය කර ඇත.

යුක්රේනය ඓතිහාසිකව එම මූලෝපායේ කේන්ද්‍රය බවට පත්ව ඇත. නේටෝව සහ එක්සත් ජනපදය විසින් රුසියාවට එරෙහිව යුක්රේනය විශ්වාසදායක මුක්කුව බවට පත් කිරීමේ මෙහෙයුම සඳහා එක්සත් ජනපදය විශාල සම්පත් ප්‍රමානයක් යොදවා තිබේ. 2004 දී සීඅයිඒ සංවිධානයේ අරමුදල් හා සහයෝගය ඇතිව යුක්‍රේන කතිපයාධිකාරයේ සහ ඉහල මධ්‍යම පන්තියේ කොටස් ඊනියා “තැඹිලි විප්ලවය” තුලින් රුසියානු හිතවාදී ආන්ඩුව පෙරලා දැමීය. ඉන්පසු 2013-2014 දී එක්සත් ජනපදය හා යුරෝපා සංගමය ඊට සහයෝගය දැක්වූයේ, ෆැසිස්ට් නායකත්වයෙන් යුත් කුමන්ත්‍රනයකින් සහ පොරොෂෙන්කෝ තන්ත්‍රය පිහිටුවීමෙන් අවසන් වූ මයිඩාන් ව්‍යාපාරය හරහාය.

යුක්රේනය ඓතිහාසිකව එම මූලෝපායේ කේන්ද්‍රය බවට පත්ව ඇත. නේටෝව සහ එක්සත් ජනපදය විසින් රුසියාවට එරෙහිව යුක්රේනය විශ්වාසදායක මුක්කුව බවට පත් කිරීමේ මෙහෙයුම සඳහා එක්සත් ජනපදය විශාල සම්පත් ප්‍රමානයක් යොදවා තිබේ. හිටපු එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් වික්ටෝරියා නුලන්ඞ් පවසන පරිදි 1991 සිට 2014 දක්වා කාලය තුල එක්සත් ජනපදය යුක්‍රේනයේ “සිවිල් සමාජයට” ඩොලර් බිලියන 5 ක් පමන දී තිබේ. 2014 සිට එක්සත් ජනපදය යුක්‍රේනය වෙනුවෙන් තවත් ඩොලර් බිලියන 5 ක් වියදම් කර ඇති බව දෝෂාභියෝග නඩු විභාග වලදී කොන්ග්‍රස් සාක්ෂි අනුව පෙන්නුම් කර ඇත. යුක්‍රේන හමුදාව සහ අසෝව් බලඇනිය වැනි පැරාමිලිටරි ෆැසිස්ට් සංවිධාන පුහුනු කිරීම හා සන්නද්ධ කිරීම සඳහා එක්සත් ජනපද හමුදාව ක්‍රියාකාරී දායකත්වයක් ලබා දී ඇත. (මෙයද බලන්න: එක්සත් ජනපදය රුසියාව සමඟ “උනුසුම් යුද්ධයක්” කල යුතු යැයි තීරනය කලේ කවුද?)

ප්‍රන්ස ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මෙම සමුලුවට ආක්‍රමනශීලී ලෙස තල්ලුව දුන් අතර, ජනාධිපති ලෙස පත්වීමට පෙර සහ පසුව කිහිප වතාවක්ම සෙලෙන්ස්කි හමුවී ඇත. වර්ධනය වන අත්ලාන්තික් සාගර ආතතිය මධ්‍යයේ මැක්‍රොන්, “රුසියාව කෙරෙහි අපගේ ස්ථාවරය නැවත සලකා බලන ලෙස” නේටෝව හා යුරෝපා සංගමයෙන් ඉල්ලා සිටියි. මෑතකදී ද ඉකොනොමිස්ට් සඟරාව සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී මැක්‍රොන්, නේටෝව “මොලය මියගිය” ඒකක් ලෙස හැඳින්වීය. නේටෝව සහ එක්සත් ජනපදය පිලිබඳ ඔහුගේ විවේචන, සඳුදා යුක්රේන සමුලුවට දින කිහිපයකට පෙර නේටෝ සමුලුවේදී එක්සත් ජනපද ජනාධිපති ට්‍රම්ප්ගේ දැඩි හෙලාදැකීමට ලක් විය. (මෙයද බලන්න: වැඩෙන අන්තර් රාජ්‍ය ගැටුම්වලින් නේටෝ සමුලුව දෙදරුම් කයි)

මැක්‍රොන් නේටෝව බැහැර කිරීම බර්ලිනය විසින් ද ප්‍රතික්ෂේප කර තිබේ. රුසියානු-ජර්මානු නල මාර්ගයක් වන නෝර්ඞ් ස්ට්‍රීම් 2 ද ඇතුලුව එක්සත් ජනපදය සමඟ වැඩෙන ආතතීන් නොතකා ජර්මනිය, නේටෝව පවත්වා ගෙන යාමේ සහ ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව අවධාරනය කර තිබේ. චෙචෙන් බෙදුම්වාදී නායකයින් දෙදෙනෙකු ඝාතනය කිරීමට හවුල් වූ බවට චෝදනා කරමින් ජර්මනිය රුසියානු රාජ්‍ය තාන්ත්‍රිකයන් දෙදෙනෙකු නෙරපා හැරීමත් සමඟ මෑත සතිවල ද බර්ලින් සහ මොස්කව් අතර සබඳතා නරක අතට හැරෙමින් තිබේ. යුක්රේන සමුලුවට පෙර ජර්මානු ආරක්ෂක ඇමති හයිකෝ මායි අවධාරනය කලේ, යුක්රේනය විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලීම්වලට රුසියාව යටත් විය යුතු බවත්, රටේ අර්බුදයට ක්‍රෙම්ලිනය වගකිව යුතු බවත්ය. සමුලුවේදී මර්කෙල් සහ පුටින් මෑතකදී හටගත් රාජ්‍ය තාන්ත්‍රික අර්බුදය පිලිබඳව සාකච්ඡා කිරීම සඳහා හමු වූ බව වාර්තා වේ.

කෙසේ වෙතත් මෙම මූලෝපාය, එහි ප්‍රධාන අරමුනු සාක්ෂාත් කර ගැනීමට අසමත් වී නැත. යුක්රේනය සිවිල් යුද්ධයක ගිලී සිටින අතර පුටින් තන්ත්‍රය එහි ක්‍රියාත්මක ව පැවතීම, එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්තියේ ඇසෙහි ඇනුන උලක් බවට පත්ව ඇත. නැගෙනහිර යුක්රේනයේ මිලිටරි හිරවීම, දැනට ඇති කුලීකාර යුද්ධය රුසියාව සමඟ සෘජු යුද්ධයක් බවට පත් නොකර නිරාකරනය කල නොහැකි බවට විශ්ලේෂකයෝ පුලුල් ලෙස එකඟ වෙති.

නැගෙනහිර යුක්රේන ජනගහනය අතර පැවති ඡන්ද විමසීම් මගින් යුරෝපා සංගමයට හා නේටෝවට රට තුලට පිවිසීමට ඇති දැඩි සතුරුකම නැවත නැවතත් ඇඟවුම් කර ඇති අතර, රට තුල දැවැන්ත දේශපාලන හා මිලිටරි ගැටුම්වලින් තොරව මෙම භූමි ප්‍රදේශ ඒකාබද්ධ කල හැකි යැයි සිතිය නොහැකි බව ඔවුන්ගේ අදහසයි. පුලුල් ලෙස වෛරයට පාත්‍ර වූ යුද්ධය අවසන් කිරීමට සහ ඔහුගේ පූර්වගාමියා වූ පොරොෂෙන්කෝගේ ප්‍රකෝපකාරී රුසියානු විරෝධී ප්‍රතිපත්ති අත්හිටුවීමට දුන් පොරොන්දුවල පදනම මත සෙලෙන්ස්කි අප්‍රේල් මාසයේදී බලයට පත් විය.

ඒ හා සමානව, රුසියාවේ දක්ෂිනාංශික ලිබරල් විරෝධය සහ ඇලෙක්සි නවාල්නි වැනි පුද්ගලයින් ප්‍රවර්ධනය කර, ආර්ථික යුද්ධ හා සම්බාධක හරහා පුටින් තන්ත්‍රයට වල කැපීමට එක්සත් ජනපදය ගත් උත්සාහයන් ලබා දී ඇත්තේ සීමිත ප්‍රතිපල පමනි.

කලාපයේ එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්තියේ අවහිරය, මෑතකදී විදේශ කටයුතු පිලිබඳ එක්සත් ජනපද විදේශ සම්බන්ධතා කවුන්සිලයේ ප්‍රකාශනයකින් එලිදක්වන ලද අතර එය එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ මූලෝපාය ගැන උපදෙස් දෙයි. ජර්නලය සඳහන් කලේ, “පසුගිය කාර්තුව තුල යුරේසියානු මහාද්වීපයේ කල් පවත්නා පශ්චාත් සීතල යුද්ධ නියෝගයක් ස්ථාපිත කිරීමේ ප්‍රධාන උත්සාහයන් සියල්ලම පාහේ යුක්‍රේන ප්‍රශ්නය තුල හිරවී තිබේ. මක්නිසාද යත්, විජයග්‍රාහී ඉතිහාසයේ අවසානය දක්වා වූ මායාවන් සහ මහා බල තරඟයේ පවතින යථාර්ථයන් අතර විසන්ධි වීම එහි තියුනු ස්වරූපයෙන් දැකිය හැකි වන්නේ යුක්රේනයේ නිසාය.”

එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ උපදේශකයින් ඉදිරිපත් කල එකම විසඳුම වූයේ විනාශකාරී හා භයානක බව ඔප්පු කර ඇති උපාය මාර්ගය දෙගුන කිරීම සහ රුසියාවට එරෙහි යුද සූදානම සහ කලාපය තුල එක්සත් ජනපද මැදිහත්වීම තීව්‍ර කිරීමයි. වාර්තාව නිගමනය කලේ: “මේ අවස්ථාවේ දී වොෂින්ටනයේ හොඳම විකල්පය වන්නේ, යුක්‍රේනයේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට ඇති හැකියාව සහතික කිරීම සඳහා යුරෝපීය සගයින් සමඟ සමීපව කටයුතු කරන අතරම යුක්රේනය සමඟ ඇති ද්විපාර්ශ්වික දේශපාලන හා ආරක්ෂක සබඳතා ශක්තිමත් කිරීමයි... අන් සියල්ලටමත් වඩා වොෂින්ටනය දෝෂාභියෝග ක්‍රියාවලිය රුසියානු මැදිහත් වීමෙන් ආරක්ෂා කල යුතුය. එසේ නොකර, රට තුල හෝ විදේශයන්හි ස්ථාවර දේශපාලන පිලිවෙතක් ප්‍රවර්ධනය කල හැකිය යන මිත්‍යාව පසෙකට දමන්න.”

Share this article: