ස්පාඤ්ඤ මැතිවරනය හා ෆැසිස්ට්වාදී වොක්ස් පක්ෂයේ නැගීම

The Spanish elections and the rise of the fascistic Vox party

2019 නොවැම්බර් 12

නොවැම්බර් 10දා පැවති ස්පාඤ්ඤ මැතිවරනයේ දී ෆැසිස්ට්වාදී වොක්ස් පක්ෂයේ ක්ෂනික නැගීම ස්පාඤ්ඤයේ ද ලෝකය පුරා ද කම්කරුවන් මුහුන දෙන ගැඹුරු දේශපාලන අන්තරායන් පිලිබඳ අනතුරු ඇඟවීමකි. වැඩෙන දේශපාලන විරෝධයට හා සමාජ අසමානතාවට එරෙහි කෝපයට මුහුන දෙන පාලක පන්තිය, කම්කරු පන්තියේ සමාජ විරෝධය ප්‍රචන්ඩ ලෙස මර්දනය කිරීම ඉලක්ක කරගත් ෆැසිස්ට්වාදී පොලිස් රාජ්‍යයන් ඇටවීම දෙසට චලනය වෙමින් සිටී.

2019 අප්‍රේල් 28 ඉරිදා මැඞ්රිඞ්හි දී මහ මැතිවරනයේ ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටිමින් වොක්ස් පක්ෂයේ මූලස්ථානයෙන් පිටත රැස්ව සිටින ආධාරකරුවන් අමතන පක්ෂ මහ ලේකම් හාවියර් ඔටේගා ස්මිත් (ඒපී ඡායාරූපය-මැනූ ෆර්නැන්ඩෙස්) (AP Photo - Manu Fernandez)

ස්පාඤ්ඤයේ දෙවන සමූහාන්ඩුව යටතේ 1936 දී කම්කරු පන්තියේ වැඩෙන රැඩිකලීකරනයට එරෙහි ව කුමන්ත්‍රනයක් දියත් කල ෆැසිස්ට් ආඥාදායක ජෙනරාල් ෆ්‍රැන්සිස්කෝ ෆ්‍රැන්කෝගේ “ජාතික හමුදාවේ” වාර්තාව, වොක්ස් නිලධාරීන් විසින් ප්‍රසිද්ධියේ උත්කර්ෂයට නංවා ඇත. ඉන් ප්‍රතිඵල වූ සිවිල් යුද්ධය මිලියන කාලකට වැඩි මරනවලට හේතු වෙමින් ෆ්‍රැන්කෝගේ මරනයෙන් වසර තුනක් ඉක්මවා 1978 තෙක් ස්පාඤ්ඤය පාලනය කල ආඥාදායකත්වය පැටවීමට හේතු විය. ලක්ෂ ගනනක් රැඳවුම් කඳවුරුවලට ගාල් කරමින් වැඩ වර්ජන හා දේශපාලන පක්ෂ තහනම් කල ෆ්‍රැන්කෝ, මාධ්‍ය වාරනය කොට දහස් ගනනක් රහස් පොලීසියේ වධබන්ධනයන්ට භාජනය කිරීමට ඉඩ සැලසී ය.

ස්පාඤ්ඤයේ හා යුරෝපය පුරා කම්කරුවන් ෆ්‍රැන්කෝ තන්ත්‍රය කොතරම් ගර්හාවෙන් සැලකුවේ ද යත්, එය ඇද වැටීමෙන් පසු 2014 දී වොක්ස් පක්ෂය ගොඩනගන විට එය කිසිදු ආධාරයක් ආකර්ශනය කරගත්තේ නැත. වසර ගනනාවක් පුරා, එයට හමුදාවේ ඉහල නිලධරය හා මහජන පක්ෂය (පීපී) තුල තිබූ විස්තීර්න සබඳතා නො තකා වොක්ස් පක්ෂය දිනාගත්තේ ඡන්දවලින් සියයට එකකට වඩා ඉතා අඩුවෙන් 50,000ක් හෝ ඊට අඩු ඡන්ද ප්‍රමානයකි.

එහෙත්, 2017 ඔක්තෝබරයේ සාමකාමී කැටලාන් ස්වාධීනතා ජනමත විචාරනය රුදුරු පොලිස් කඩාපැනීමකට ලක්කිරීමෙන් පසුව හා විශේෂයෙන් ම, පසුගිය මාසයේදී කැටලාන් ජාතිකවාදී දේශපාලන සිරකරුවන් සිරගත කිරීමට විරුද්ධ ව බාසිලෝනාවේ හටගත් මහජන විරෝධතාවන්ට මාධ්‍ය හරහා එල්ල කල ස්පාඤ්ඤ ජාතිකවාදී ප්‍රහාර මධ්‍යයේ, වොක්ස්හි ඡන්ද ඉහල නැගුනි. නොවැම්බර් 10දා වොක්ස් පක්ෂය ඡන්ද මිලියන 3.6ක් හෙවත් සියයට 15ක් දිනා ගනිමින් එහි පාර්ලිමේන්තු කන්ඩායම 24 සිට 52 දක්වා දෙගුන කරගත්තේ, ස්පාඤ්ඤ සමාජවාදී පක්ෂයට (පීඑස්ඕඊ) හා පීපීයට පමනක් පිටුපසින් සිටිමින් තුන්වන තැනට පත් වෙමිනි.

වොක්ස් වනාහි නව-ෆැසිස්ට් පක්ෂ හා ජාතිකවාදය දිරිමත් කිරීම සහ ෆැසිස්ට් ආඥාදායකයන් දරුනු ලෙස ප්‍රසිද්ධියේ සුජාතකරනය කිරීම කරා වන යුරෝපීය ධනපති දේශපාලනයේ පලල් රැල්ලක කොටසකි.

වසර ගනනක් තිස්සේ දක්ෂිනාංශික අන්තවාදී මහාචාර්යවරුන් හා රාජ්‍ය නිලධාරීන් විසින් මිලිටරිවාදය සුජාතකරනය කිරීමට හා නාසිවාදයේ ජනසංහාරක අපරාධය ලඝුකිරීමට ගෙන ගිය ප්‍රචාරනයෙන් පසු ජර්මනිය සඳහා විකල්පය (ඒඑෆ්ඩී) පක්ෂය දැන් ජර්මනියේ තුන්වන විශාලතම පක්ෂය යි. ඒඑෆ්ඩීයට එරෙහි මහජන විරෝධතා, නාසිවාදයේ පුනරුත්ථාපනය කිරීමට පාලක ප්‍රභූවට පවතින අධිෂ්ටානය තීව්‍ර කර ඇතුවා පමනි. පසුගිය පාර්ලිමේන්තුවේ සභාපති වොල්ෆ්ගැං ෂෝබ්ල් “සාමවාදී ආකල්පය” දෙවන ලෝක යුද්ධයෙන් නාසීන්ගේ පරාජයෙහි විනාශකාරී ප්‍රතිඵලය ලෙස හෙලාදුටුවේ, එය “1945 මහා විපත” ලෙස හඳුන්වමිනි.

වසරකට පෙර සමාජ අසමානතාවට එරෙහි “කහ කබා” විරෝධතාවන් මත ම්ලේච්ඡ කඩාපැනීමක් දියත් කරමින් ප්‍රන්සයේ ජනාධිපති එම්මානුවෙල් මැක්රොන් නාසි-සහයෝගී ආඥාදායක ෆිලිප් පෙටේන් ව “ශ්‍රේෂ්ට සොල්දාදුවෙකු” ලෙස උත්කර්ෂයට නැංවී ය. ඔහුගේ සමාජ කප්පාදු කෙරෙහි වර්ධනය වන කෝපය මධ්‍යයේ, මැක්රොන් දිගට ම අන්ත දක්ෂිනාංශයට ආයාචනා කරන අතර, මෑතක දී අන්ත-දක්ෂිනාංශික කරන්ට් වැලියුස් සඟරාවට සංක්‍රමනිකයන්ට හා මුස්ලිම් වේලයට පහර දෙමින් සම්මුඛ සාකච්ඡාවක් දුන්නේ ය. එහි ප්‍රතිඵලයක් ලෙස, දැන් මත විමසුම් පෙන්නුම් කරන පරිදි ජනාධිපතිවරනයක දී ඔහු නව-ෆැසිස්ට්වාදී අපේක්ෂිකා මාරියන් ල පෙන් පරාජය කරනු ඇත්තේ සියයට 55ක 45ක පරතරයකින් යන්තමිනි.

යුරෝපීය නිල දේශපාලනය තුල ෆැසිස්ට්වාදයේ වර්ධනය, නාසි පක්ෂයට, මුසෝලිනිගේ ජාතික ෆැසිස්ට් පක්ෂයට හෝ ෆ්‍රැන්කෝවාදී ෆැලැන්ජ් ව්‍යාපාරයට තිබුනු මහජන සහයෝගය කරා ආපසු යාමක් අර්ථවත් නො කරයි. මේ වන විට, එය වනාහි, සමාජ හා දේශපාලන විරෝධයට එරෙහි ව ඉහල සිට පරෙස්සමෙන් රඟ දක්වන ප්‍රචන්ඩ, දක්ෂිනාංශික හා ජාතිකවාදී දේශපාලන උද්ඝෝෂනයකි.

වොක්ස්හි නැගීම සම්භාව්‍ය උදාහරනයකි. මාධ්‍ය සමග එකපෙලට ස්වාධීනතා ජනමත විචාරනය හෙලාදැකීම මධ්‍යයේ එහි කැටලාන්-විරෝධී ප්‍රචාරනය මත එය නැගී ඇතත්, හමුදාව දිගේලි කිරීමට හා කැටලෝනියාවේ දේශපාලන “අපරාධකරුවන්” මරා දැමීමට වොක්ස් කරන කැඳවුම මත ස්පාඤ්ඤය තුල මහජන ව්‍යාපාරයක් ඉස්මතු වී නැත. මාධ්‍ය තුල ගෙන යන කැටලාන්-විරෝධී උන්මාදය නො තකා, ස්පාඤ්ඤයේ බහුතර මහජනතාවන් කැටලෝනියා ගැටලු‍වට සාකච්ඡාමය විසඳුමක් සඳහා ආධාර දෙන බව මත විමසුම් තහවුරු කරයි.

වොක්ස් හා ෆ්‍රැන්කෝ බලගතු ලෙස දිරිමත් කරන්නේ රාජ්‍ය යාන්ත්‍රනයෙනි. 2017 සාමකාමී ජනමත විචාරනය සංවිධානය කිරීම නිසා දශක ගනනක් දිගැති සිරදඬුවම්වලට ලක්කල කැටලාන් නිලධාරීන්ට චෝදනා නැගීමේ දී තම රජයේ චෝදකයා සමග නිල වසයෙන් එක්වීමට පීඑස්ඕඊය වොක්ස් පක්ෂයට අවසර දුන්නේ ය. ශ්‍රේෂ්ඨාධිකරනය ජුනි මාසයේ සිවිල් යුද්ධය සමයේ ෆ්‍රැන්කෝ ව රාජ්‍යයේ ප්‍රධානියා බවට පත්කරමින් ස්පාඤ්ඤයේ පාලකයා ස්වයං-ප්‍රකාශනය කල 1936 ඔක්තෝබර් 1දා “දොන් ෆ්‍රැන්සිස්කෝ ෆ්‍රැන්කෝ” ට ගෞරව කරන දිනය ලෙස අත්‍යසාමාන්‍ය නියෝගයක් නිකුත් කලේ, ෆ්‍රැන්කෝගේ කුමන්ත්‍රනය සාරභූත ලෙස සුජාතකරනය කරමිනි.

අවසානයේ, පාලක ප්‍රභූව එහි මැතිවරන උද්ඝෝෂනය මුලු‍මනින් ම, ම්ලේච්ඡ ලෙස මර්දනය කරමින් සිය ගනනක් අත්අඩංගුවට ගත් කැටලෝනියාවේ මහජන විරෝධතාවන්ට පහර දීම මත නාභිගත කලේ ය. රැකියා, සමාජ වැඩසටහන් හා මිලිටරි-පොලිස් ප්‍රචන්ඩත්වය නැවැත්වීම වැනි කම්කරුවන්ගේ උත්සුකයන් සාකච්ඡාවෙන් ඉවත් කොට තිබුනි. සමස්ත ධනපති පන්තිය වෙනුවෙන් කතාකල භාරකාර පීඑස්ඕඊ ආන්ඩුව, යුරෝ බිලියන ගනනක සමාජ කප්පාදු හා මිලිටරි වියදම් ඉහල නැංවීම ගැන ඒ වන විටත් යුරෝපා සංගමයට ලියා තිබුනි. මේ සියල්ලෙහි ප්‍රතිඵලය වොක්ස්හි නැගීමට හේතු විය.

කෙසේ වෙතත්, ධනේශ්වරය එහි ෆැසිස්ට්-හිතවාදී උද්ඝෝෂනය සඳහා පලල් සහයෝගයක් අනාවරනය කරගැනීමට අසමත් වීම උදාසීනත්වයට හේතුවක් විය නො හැක. ගර්හාවට ලක්වූ නිල පක්ෂවලට එකම විකල්පය ලෙස අනවරත ව දිරිමත් කරනු ලැබීම හේතුවෙන් ෆැසිස්ට් තර්ජනය වැඩෙමින් එහි පක්ෂ ඉහල සහයෝගයක් දිනාගනිමින් සිටිති.

දශක තුනකට පෙර, ස්ටැලින්වාදී නිලධරය විසින් 1991 දී සෝවියට් සංගමය බිඳ විසිරවීම “ඉතිහාසයේ අවසානය” හා ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදයෙහි ජයග්‍රහනය අර්ථවත් කල බව ධනේශ්වර ප්‍රචාරකයෝ ප්‍රකාශ කල හ. එහෙත්, 1930 ගනන්වල දී යුරෝපීය ධනේශ්වරය එහි ඉරනම ෆැසිස්ට් තන්ත්‍රයන් මත තැබීමට ධාවනය කල ධනවාදයේ පරස්පරවිරෝධයන්ගෙන් කවරක් වත් විසඳනු ලැබ නැත. යුරෝපා සංගමයේ පශ්චාත්-සෝවියට් කප්පාදු හා මහා පරිමාන විරැකියාව විසින් නිෂ්පන්නිත සමාජ අසමානතාව කෙරෙහි පුපුරනසුලු‍ කෝපයට මුහුන දී සිටින පාලක පන්තිය යලිත් ආඥාදායකත්වය සූදානම් කරයි.

නොවැම්බර් 10 ස්පාඤ්ඤ මැතිවරනය, 1978 දී ෆ්‍රැන්කෝවාදී ෆැසිස්ට්වාදීන්, පීඑස්ඕඊය හා ස්පාඤ්ඤ ස්ටැලින්වාදීන් අතර සාකච්ඡා කොට ස්ථාපිත කල පාර්ලිමේන්තු පද්ධතියේ බිඳවැටීම අනාවරනය කලේ ය. එම තන්ත්‍රයෙහි හදවතේ තිබූ පීඑස්ඕඊ-පීපී ද්වි-අධිකාරය බිඳවැටී ඇත. 2015 පටන් පැවති මැතිවරන හතරේ දී ම බහුතරයක් රහිත පාර්ලිමේන්තුවක් ප්‍රතිඵල වූ අතර, එතැන් පටන් කිසිදු පක්ෂයක් පාර්ලිමේන්තු බහුතරයක් ගොනු කරගැනීමට සමත් ව නැත. වොක්ස් පක්ෂය හරහා ෆ්‍රැන්කෝවාදය වෙත යලි හැරෙමින් පාලක පන්තිය එයට ප්‍රතිචාර දක්වමින් සිටී.

මෙම තත්ත්වය තුල තීරනාත්මක කර්තව්‍යය වන්නේ කම්කරු පන්තියේ ජාත්‍යන්තර විප්ලවවාදී නායකත්වයක් හෙවත් හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) ශාඛා ස්පාඤ්ඤයේ හා ජාත්‍යන්තර ව පිහිටුවීම යි. යුරෝපීය කම්කරු පන්තිය අතර ෆැසිස්ට්වාදය හා ජාතිකවාදය කෙරෙහි ගැඹුරු හා ඓතිහාසික ව මුල් බැසගත් විරෝධයක් පවතී. එහෙත්, ස්ටැලින්වාදී හා පැබ්ලෝවාදී මහාචාර්යවරුන්, හමුදා නිලධාරීන් හා පොදේමෝස් තනන වෘත්තීය සමිති නිලධාරීන් සමග දේශපාලනික ගනුදෙනු බේරාගැනීමකින් තොර ව එම විරෝධය බලමුලු‍ගැන්විය නො හැක.

2014 දී “රැඩිකල් ප්‍රජාතන්ත්‍රවාදී” පක්ෂයක් ලෙස ගොඩනගන ලද පොදේමෝස්, 2015 පටන් කප්පාදු-හිතවාදී, යුදවාදී පීඑස්ඕඊය සමග සභාග ආන්ඩු සඳහා කැඳවුම් කර ඇත. අනවතර ව ස්පාඤ්ඤ ජාතිකවාදය ඉදිරියට දමන හා 1978 සංක්‍රමනයේ යකාගේ පංගුව සඳහා තම සහයෝගය ඉඟිකරන පොදේමෝස් මහ ලේකම් පැබ්ලෝ ඉග්ලේසියාස් තමන් දක්ෂිනාංශයට වඩා හොඳින් ජාතිකවාදී බවට 2017 දී පාරම්බෑවේ ය: “අපට වඩා දේශානුරාගී යයි ඔවුන්ට ප්‍රකාශ කිරීමට අපි ඉඩ දෙන්නේ නෑ.”

පොදේමෝස් වඩ වඩා දකුනට යමින් සිටින්නේ, පොලිස් රාජ්‍ය යන්ත්‍රනයට එහි ඒකාග්‍ර වීම සම්පූර්න කරමිනි. පසුගිය මාසයේ ඉග්ලේසියාස් යලි වතාවක් පීඑස්ඕඊය වෙත කීකරු කම පොරොන්දු වූයේ, පීඑස්ඕඊය කැටලාන් ජාතිකවාදීන් මත කඩාපනිද්දී පොලීසියට අත්පොලසන් දීමට කැටලෝනියාවේ සංචාරය කරමින් හා “පොලිස් බලකායන් අතර ආයතනිය සබඳතා ක්‍රියාත්මක වෙනවා” යි සන්තුෂ්ටියෙන් යුතු ව ප්‍රකාශ කරමිනි.

පීඑස්ඕඊ වෙත කම්කරු පන්තියේ වමෙන් එන විරෝධය බාධනය කරන්නේ පොදේමෝස්හි ව්‍යාජ-වාම පෙනී සිටීම හා ප්‍රතිගාමී ජාතිකවාදී දේශපාලනය වන අතර, එය, පොදේමෝස් සිට පීඑස්ඕඊ හා පීපී දක්වා දිවෙන සන්ධානයේ එකම විරුද්ධවාදියා ලෙස පෙනී සිටීමට වොක්ස් පක්ෂයට ඉඩ ලබා දෙයි.

යුරෝපයේ හා ඉන් ඔබ්බේ කම්කරු පන්තියේ පුපුරනසුලු‍ මහජන විරෝධතා හා අරගල දැනට මත් දිගහැරෙමින් තිබේ. ස්පාඤ්ඤයේ සියලු‍ භාෂාමය හා ප්‍රාදේශීය බෙදීම් කපාගෙන, එහි කම්කරුවන් යුරෝපා මහාද්වීපය පුරා ඔවුන්ගේ පන්ති සහෝදර සහෝදරියන් සමග රාජ්‍ය බලය ගෙන සමාජවාදී සමාජයක් ගොඩනැගීම සඳහා ඒකාබද්ධ කිරීමේ අරගලය, ධනේශ්වරයේ ප්‍රතිගාමී හා අපකීර්තිමත් ජාතිකවාදී දේශපාලනයට වලකපනු ඇත. මෙම අරගලය දියත් කිරීම, යුරෝපයේ හා ලෝකය පුරා හජාජාක ශාඛාවන් ගොඩ නැගීමේ සටනින් වෙන් කල නො හැක.

ඇලෙක්ස් ලැන්ටියර්

Share this article: