කවේනැක්ගේ සිට විලියර්ස් දක්වා: ප්‍රන්සයේ පන්ති අරගලය හා ඉතිහාසයේ පාඩම්

From Cavaignac to Villiers: The class struggle in France and the lessons of history

2019 දෙසැම්බර් 20

කම්කරුවන්ගේ විශ්‍රාම ප්‍රතිලාභ කප්පාදු කිරීමට ප්‍රන්ස ජනාධිපති මැක්‍රොන් දැරූ උත්සාහයට එරෙහිව මිලියන සංඛ්‍යාත ජනතාවක් මේ මාසයේ පෙලපාලිවලට හා රාජ්‍ය අංශයේ වැඩ වර්ජනවලට සහභාගී වී ඇත්තේ,රටේ බොහෝ ප්‍රදේශවල දුම්රිය හා ප්‍රවාහන පොදුකාර්ය පහසුකම් වසා දමමිනි.

මෑත දී විශ්‍රාම ගත් ප්‍රන්ස කාර්යමන්ඩල ප්‍රධානී, ජෙනරාල් පියරේ ඩි විලියර්ස්, සඳුදා රටපුරා ඉදිරියට යමින් තිබෙන වැඩ වර්ජන ව්‍යාපාරයට එරෙහිව දැඩි මර්දනයක් ඉල්ලා සිටියේ ය.

ප්‍රන්ස හමුදාවේ ප්‍රධානී ජෙනරල් පියරේ ඩි විලියර්ස් සහ ප්‍රන්ස ජනාධිපති එමානුවෙල් මැක්රොන් පැරිසියේ චෑම්ප්ස් එලිසීස් මාවතේ වාර්ෂික ව පැවැත් වෙන මිලිටරි පෙලපාලියේ දී. [2017 ජූලි 14][Credit: Etienne Laurent/Pool Photo via AP, File]

මෙම ප්‍රකාශ ප්‍රන්සයේ පමනක් නො ව ජාත්‍යන්තර ව කම්කරුවන්ට අනතුරු ඇඟවීමක් ලෙස ගත යුතු ය. ප්‍රජාතන්ත්‍රවාදී පාලන රූපාකාරයන් සමග නො පෑහෙන සමාජ අසමානතාවයේ මට්ටම්වලින් ධනවාදී සමාජය ඉරා දමා ඇති හෙයින්, පාලක ප්‍රභූවේ කන්ඩායම් ලේවැකි මිලිටරි ආඥාදායකත්වයක් සඳහා බලපෑම් කරමින් සිටී.

මේ වන විටත්, පසුගිය වසර පුරා, මැක්‍රොන් සමාජ අසමානතාවයට එරෙහි “කහ බැනියම්” විරෝධතා, ශිෂ්‍ය විරෝධතා මෙන්ම මේ දැන් වැඩ වර්ජකයන්ට එරෙහිව අඛන්ඩ මර්දනයක් නියෝග කර තිබේ. විරෝධතාකරුවෝ සන්නද්ධ මෝටර් රථ, ජල කාලතුවක්කු සහ රයිෆල් හා රබර් උන්ඩ දහස් ගනනකින් සන්නද්ධ කැරලි මර්දන පොලිසියට මුහුන දී සිටිති. විරෝධතාකරුවන් 10,000 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම සඳහා සිරගත කර ඇති අතර, 4,400 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත. රබර් උන්ඩවලින් දුසිම් දෙකක පුද්ගලයන්ගේ එක් ඇස බැගින් ද පොලිස් අත්බෝම්බවලින් පස් දෙනෙකුගේ අත් ද අහිමි කර ඇති අතර පසෙකින් සිටි එක් බලාසිටින්නෙකු මරා දැමුනි. මෙය 1940-1944 දෙවන ලෝක යුද්ධයේ දී නාසි වාඩිලා ගැනීමෙන් පසු ප්‍රන්සය තුල සිදුවන විශාල ම රාජ්‍ය මර්දන රැල්ල යි.

මාර්තු මාසයේ දී පැරිස් මිලිටරි දිස්ත්‍රික් අනදෙන නිලධාරී ජනරාල් බෘනෝ ලී රේ තමා විරෝධතාකරුවන්ට වෙඩි තැබීමට සොල්දාදුවන්ට බලය පවරා ඇති බව වාර්තා කලේ ය. එය 1948 න් පසු ප්‍රන්සය තුල එවැනි නියෝගයක් නිකුත් කෙරුනු පලමු අවස්ථාව විය.

එසේ වුවද, සමාජ විරෝධතා මර්දනය තවදුරටත් විශාල ලෙස වැඩි කල යුතු බව ඩි විලියර්ස් තරයේ කියා සිටියේ ය. අඟහරුවාදා පැවති මිලියන ගනනක ප්‍රබල විරෝධතා පාගමන ගැන සාකච්ඡා කිරීම සඳහා මැක්‍රොන් සහ අගමැති එඩ්වඩ් පිලිප් ප්‍රධාන කාර්ය මන්ඩලය හා වෘත්තීය සමිති නිලධාරීන් සමග රහසිගත රැස්වීම් සූදානම් කරමින් සිටියදී ඩි විලියර්ස් ආර්ටීඑල් රූපවාහිනී සේවයට මෙසේ පැවසී ය: “අපි දැඩි බව හා මනුෂ්‍යත්වය අතර නිසි සමතුලිතතාවය නැවත ස්ථාපිත කල යුතුයි. ... අපේ රටේ ප්‍රමානවත් ස්ථාවරත්වයක් නෑ.”

2022 දී නව-ෆැසිස්ට් ජනාධිපති අපේක්ෂකයෙකු විය හැකි යැයි දැන් සැලකෙන ඩි විලියර්ස්, කම්කරුවන් හා රජය අතර මතුවෙමින් පවතින ගැටුම පිලිබඳව තම බිය අවධාරනය කලේ ය. “නායකත්වය දෙන අය හා කීකරු වන අය අතර අගාධයක් ඇති වී තිබෙනවා. මෙම අගාධය ප්‍ර‍ගාඪයි. ‘කහ බැනියම්’ මේ වන විටත් එහි පලමු සංඥාව වෙලා,” යැයි ඩිවිලියර්ස් පැවසී ය. “අපි ක්‍ර‍මය යථා තත්වයට පත් කල යුතුයි. දේවල්වලට මේ විදියට පවතින්න බෑ. ”

සමාජ සේවා කප්පාදුවලට වන ප්‍රන්ස ජනතාවගෙන් තුනෙන් දෙකකගේ විරෝධය මැඩපැවැත්වීම සඳහා තවත් මිනිසුන් කී දෙනෙකු ඝාතනය කිරීමට, අංග විකල හා සිරගත කිරීමට කැමති දැ යි ඩි විලියර්ස් හෝ මැක්‍රොන් හෝ හරියට ම පවසා නැත. එහෙත් කම්කරු පන්තියට එරෙහිව ප්‍රචන්ඩ අරගලයක් දියත් කරන බව පාලක පන්තිය පැහැදිලිව හොඳින් දනී. ඩි විලියර්ස් උපදෙස් දෙමින් සිටින්නේ කුමක් ද යන්න වටහා ගැනීමට, ඩි විලියර්ස්ගේ පූර්වගාමීන් කම්කරුවන්ට එරෙහිව වඩාත් “දැඩිව” කටයුතු කල විට සිදු වූ දේ යමෙකු සිහිපත් කල යුතු ය.

1848 දී, නැපෝලියානු යුද්ධවලදී ප්‍රන්සයේ පරාජයෙන් මතු ව තිබූ රාජාන්ඩුවලට එරෙහි ව යුරෝපය පුරා කම්කරුවෝ විප්ලවවාදී ලෙස නැගී සිටියහ. ජුනි මාසයේදී ධනේශ්වර සමූහාන්ඩුව රැකියා විරහිතයින්ට රැකියා සැපයීමේ ජාතික කම්හල් සැලස්ම ක්‍රියාත්මක කිරීම නවතා දැමීමට හදිසියේ උත්සාහ කිරීමත් සමග පැරිසියේ කම්කරුවෝ දරිද්‍රතාවය හා සාගින්නට මග පාදනු ඇති ප්‍රතිපත්තිය නැවැත්වීමට පාරට බැස්සෝ ය. ඊට ප්‍රතිචාර වශයෙන් ජනරාල් ඉයුජින් කැවේනැක් ජූනි දිනවල සමූහ ඝාතනය සඳහා හමුදාව හා ආරක්ෂක අංශ මෙහෙය වූයේ, කම්කරුවන් 3,000 කට වැඩි පිරිසක් ඝාතනය කරමින්, 25,000 ක් අත්අඩංගුවට ගනිමින් හා 11,000 ක් සිරගත කරමින් නැතිනම් ඇල්ජීරියාවට පිටුවහල් කරමිනි.

1871 මාර්තු මාසයේ දී ප්‍රන්ස තුන්වන සමූහාන්ඩුව ප්‍රසියාවට එරෙහි ප්‍රන්ස යුද්ධය මධ්‍යයේ ආත්මාරක්ෂාව සඳහා මිල දී ගත් කාලතුවක්කු සොරකම් කරමින් පැරීසිය නිරායුධ කිරීමට උත්සාහ කල විට විප්ලවය යලිත් පුපුරා ගියේ ය. කම්කරු පන්තියේ කොමියුන පැරිසියේ බලය අල්ලා ගත්තේ ය. කෙසේ වෙතත්, කල් මැරීමෙන් පසු ව හා ප්‍රෂියානු ප්‍රධාන කාර්ය මන්ඩලයේ අනුග්‍රහය ඇතිව ජනරාල් පැට්‍රිස් ඩි මැක්මහෝන් යටතේ ප්‍රන්ස හමුදාව මැයි මාසයේ දී පැරීසිය ආක්‍රමනය කර කැරලිකාර කම්කරුවන් ඝාතනය කලේ ය.

ලිබරල් ඉතිහාසඥ ඇඩොල්ෆ් තියර්ස් විසින් නායකත්වය දෙන ලද ප්‍රන්ස තුන්වන සමූහාන්ඩුව විසින් කම්කරුවන් 20,000 ක් ඝාතනය කර 60,000 ක් අත්අඩංගුවට ගනු ලැබූ හ. මැයි 24 වන දින, පැරිසියේ දී කුප්‍රකට සමූහ ඝාතන ලේවැකි සතිය දිග හැරෙත් ම, තියර්ස් ජාතික සභාවට මෙසේ පුරසාරම් දෙඩුවේ ය: “මම ලේ ගංගා වගුරවලා තියෙනවා.”

යුගයේ ශ්‍රේෂ්ඨතම විප්ලවවාදීන් විසින් අධ්‍යයන කරන ලද, ජාත්‍යන්තර පන්ති අරගලයේ එවැනි කටුක අත්දැකීම් වලින්, 1917 ඔක්තෝබර් විප්ලවය අතරතුර රුසියාවේ කම්කරු පන්තිය විසින් බලය අත්පත් කර ගැනීමට මග පෙන්වන ලද රජය හා‍ විප්ලවය පිලිබඳ මාක්ස්වාදී න්‍යාය මතුවිය.

රජය “ජනතාව තමන් විසින් ම සන්නද්ධ හමුදාවක් ලෙස සංවිධනය වීම සමග තවදුරටත් ඍජුව සම්පාත නොවන්නා වූ ජන බලයක් ” ස්ථාපිත කරයි යනුවෙන් කාල් මාක්ස්ගේ ශ්‍රේෂ්ට සමචින්තක ෆ්‍රෙඩ්රික් එංගල්ස් 1884දී ලිවී ය.ඔහු තවදුරටත් මෙසේ පැවසීය: “මෙම විශේෂ, ජන බලය අවශ්‍ය වන්නේ, (සමාජය) පන්ති හැටියට බෙදී තිබෙනතාක් දුරට ජනතාවගේම ස්වයං ක්‍රියාකාරී සන්නද්ධ සංවිධානයක් තිබිය නො හැකි බැවිනි. මෙම මහජන බලය සෑම රාජ්‍යයක ම පවතී; එය හුදෙක් සන්නද්ධ මිනිසුන්ගෙන් පමනක් නොව, භෞතික අනුබද්ධයන්, බන්ධනාගාර හා සියලු වර්ගවල බලාත්කාරී ආයතනවලින් ද සමන්විත වේ... කෙසේ වෙතත්, එය ප්‍රමානයෙන් ශක්තිමත් ව වැඩෙන්නේ, රාජ්‍ය තුල පන්ති හතුරුකම් වඩා උග්‍රවීමත් සමගිනි. ”

මින් ගලා ආවේ පාලක පන්තියේ ප්‍රතිවිප්ලවවාදී ප්‍රචන්ඩත්වය මර්දනය කිරීමට හා, ඒවා තුලින් රජය මතුවන්නා වූ, සමාජය පන්තිවලට බෙදීම පරාජය කර, සමාජවාදී ප්‍රතිපත්ති හරහා සමාජ සමානතාව නිර්මානය කිරීම සඳහා කම්කරුවන් බලය ගැනීමේ අවශ්‍යතාව යි. පැරිස් කොමියුනයේ සිට වසර 150 කට ආසන්න කාලයක් ගත වී ඇතත්, එංගල්ස්ගේ විශ්ලේෂනය අදටත් ප්‍රන්සය තුල හා ලොව පුරා කම්කරුවන් මුහුන දෙන තීරනාත්මක ප්‍රශ්න පැහදිලි කරයි.

පසු ගිය දෙවසර තුල එක්සත් ජනපද මෝටර් රථ කම්කරුවන් හා ගුරුවරුන්ගේ වැඩවර්ජනවල සිට ඇල්ජීරියාව, ලෙබනනය, ඉරාකය, චිලී, බොලිවියාව හා ඉන් ඔබ්බෙහි අසමානතාවය හා ආඥාදායකත්වයට එරෙහි මහජන විරෝධතා දක්වා අරගල පුපුරා ගොස් ඇත. පන්ති අරගලයේ මෙම ගෝලීය පුනර්ජීවනය දශක ගනනාවක් තිස්සේ ධනේශ්වර ගෝලීයකරනයෙන් ඔද්දල් වූ සමාජ ප්‍රතිවිරෝධයන්ගේ ප්‍රතිඵලයකි. 1991දී ස්ටැලින්වාදීන් විසින් සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් පසුව, විශේෂයෙන් 2008 මූල්‍ය බිඳවැටීමෙන් පසුව, කම්කරුවන් විසින් නිපදවන ලද ධනය මූල්‍ය ප්‍රභූවට සහ ඇෆ්ගනිස්ථානයේ සිට සිරියාව, ලිබියාව හ මාලි දක්වා අධිරාජ්‍යවාදී යුද්ධවලට අරමුදල් සැපයීම සඳහා නිර්දය ලෙස මාරු කර තිබේ.

ලෝකය පුරා මිලිටරි හා පොලිස් හමුදා අසාමාන්‍ය ලෙස ශක්තිමත් කිරීම යටින් පවතින්නේ මෙම පන්ති සතුරුකම්වල තීව්‍රතාව යි. විශ්‍රාමිකයන්ගෙන් යුරෝ බිලියන ගනනක් බැංකුවලට මාරු කරන මැක්‍රොන්ගේ කප්පාදුව පෙන්වා දෙන්නේ නාමික ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් ධනේශ්වර ප්‍රන්තියේ විනිවිද පෙනෙන ලෙස ආවරනය කෙරුනු ආඥාදායකත්වයන් වන බව යි. දිගු ධනේශ්වර-ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන් ඇති ප්‍රන්සය වැනි රටවල පවා රජය සන්නද්ධ මිනිසුන්ගේ සංවිධානවලින් සමන්විතය යන මාක්ස්වාදී ප්‍රකාශයේ යථාර්ථය දැකීමට යමෙකුට අවශ්‍ය වන්නේ ඕනෑම දිනක විරෝධතා කැඳවනු ලබන විට පැරිසියේ වීදි හරහා ඇවිදීම පමනි.

මෙය අවධාරනය කරන්නේ පවත්නා රාජ්‍ය හා සමාජ පර්යාය ආරක්ෂා කරන ජීන් ලූක් මෙලෙන්ෂොන්ගේ නො නැමෙන ප්‍රන්ස (එල්එෆ්අයි) පක්ෂය වැනි මධ්‍යම ප්‍රන්තියේ ව්‍යාජ වාම කන්ඩායම්වල බංකොලොත් භාවය යි. ඔවුහු මැක්‍රොන් සමග ප්‍රතිගාමී ගිවිසුමක් සඳහා වෘත්තීය සමිති නිලධරය ගන්නා උත්සාහයන් ප්‍ර‍වර්ධනය කරනවා පමනක් නොව, මිලිටරි මර්දනය සඳහා වන රාජ්‍ය යන්ත්‍රය තුල සැලසුම් වසන් කරති. ඩි විලියර්ස් ගැන අනතුරු අඟවනවා වෙනුවට, මෙලෙන්ෂොන් කාලය ගත කර ඇත්තේ, නවෆැසිස්ට් මැරීන් ලෙ පෙන්ගේ වැඩ වර්ජනයට සහාය දැක්වීම පිලිබඳ හිස් ප්‍රකාශය “මානවවාදී” දිශාවක “ප්‍රගතියට” දායක වන බවට මිත්‍යාවන් වැපිරීමට යි.

දැන් තීරනාත්මක කර්තව්‍යය වන්නේ කම්කරු පන්තියට අනතුරු ඇඟවීම හා රාජ්‍ය මර්දනයේ තර්ජනයට එරෙහිව එය දේශපාලනිකව බලමුලු ගැන්වීම ය. වෘත්තීය සමිති හෝ එල්එෆ්අයි වැනි ඔවුන්ගේ දේශපාලන සගයන් කෙරෙහි කිසිදු දේශපාලන විශ්වාසයක් තැබිය නො හැකි ය. ඉදිරි මාවත වන්නේ, මූල්‍ය ප්‍රභූව, මැක්‍රොන් ආන්ඩුව මෙන් ම පොලිස් රාජ්‍ය මර්දනය හා ආඥාදායකත්වයේ තර්ජනයට එරෙහිව කම්කරු පන්තියේ පෙර නො වූ විරූ පුලුල් ස්ථර බලමුලු ගැන්වීම සම්බන්ධීකරනය කිරීමට වෘත්තීය සමිතිවලින් ස්වාධීන ව ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම යි.

ඇලෙක්ස් ලැන්ටියර්

Share this article: