නැටෝ සමුලුව තුල වැඩෙන අන්තර් රාජ්‍ය ගැටුම් ආධිපත්‍යය දරයි

NATO summit dominated by growing inter-state conflicts

2019 දෙසැම්බර් 5

වොෂිංටන් සහ එහි ප්‍රධාන යුරෝපීය සහචරයින් අතර වෙලඳ හා මිලිටරි ප්‍රතිපත්තිය පිළිබඳ පුපුරන සුලු ගැටුම් මේ සතියේ ලන්ඩනයේ පැවති නැටෝ සමුලුවේදී පුපුරා මතුවී ආවේය. දෙවන ලෝක යුද්ධයෙන් පසුව ප්‍රමුඛ අධිරාජ්‍යවාදී බලවේගය බවට එක්සත් ජනපදය (එජ) පත්වීමෙන් අනතුරුව, 1949 දී නැටෝව පිහිටුවීමේ වසර 70 ක් සනිටුහන් කිරීමට අපේක්ෂා කරන ලද නමුත් සමුලුව ඒ වෙනුවට ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් අතර වෙලඳ යුද තීරුබදු වලින් ඩොලර් බිලියන ගනනක් පැනවීමේ තර්ජනයන්ට හා අන්‍යෝන්‍ය වශයෙන් දොස් පැවරීම් වලට පල්ලම් බැස ඇත.

ලෝක ධනවාදයේ වැඩකටයුතු දිගු කලක් පාලනය කල ජාත්‍යන්තර ආයතන බිඳවැටීමේ නව අදියරකට එලඹ තිබේ. මීට වසර තුනකට පෙර බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් (යුසං) ඉවත්වීමට ඡන්දය දීමත් බර්ලිනය සහ පැරිසිය ස්වාධීන යුරෝපා සංගම් හමුදාවක් ගොඩනැගීමට වෙර දැරීමත් ට්‍රම්ප් යුරෝපයට වෙලඳ යුද්ධය මගින් තර්ජනය කිරීමට පටන් ගැනීමත් සමග නැටෝව තුල බෙදීම් උත්සන්න විය. අද වන විට නැටෝවට මෙම දුෂ්කර අභ්‍යන්තර බෙදීම් ජය ගැනීමට තබා තුනී කිරීමට හෝ ඉදිරිදර්ශනයක් නොමැති බව පැහැදිලිය. එය, ඒ වෙනුවට, ලෝක යුද්ධයේ උග්‍ර අනතුරක් මතු කරන ප්‍රතිපත්ති තීව්‍ර කරමින් සිටියි.

සමුලුවට පෙර, නැටෝව “මොලය මියගිය” ලෙස ප්‍රකාශයට පත් කරමින්ද රුසියාව පිළිබඳ එජ ප්‍රතිපත්තිය “හිස්ටීරියාවක”(උන්මාද ස්වරූපයක) නිෂ්පාදනයක් ලෙස හඳුන්වමින්ද එමානුවෙල් මැක්‍රොන් විසින් බ්‍රිතාන්‍යයේ ඉකොනොමිස්ට් සඟරාවට දුන් සම්මුඛ සාකච්ඡාව සම්බන්ධයෙන් මතුවූ මතභේදය මාධ්‍යය තුල අධිකාරය දැරින. නැටෝ මහලේකම් ජෙන්ස් ස්ටොල්ටන්බර්ග් සමඟ පැරිසියේදී සිකුරාදා පැවති අර්බුද සාකච්ඡාවකින් පසු නැටෝව රුසියාව හා චීනය සතුරන් බවට බව පත් නොකරගත යුතු බවට ප්‍රකාශ කරමින් මැක්‍රොන් මතභේදයට පිදුරු දැමීය. ඒ වෙනුවට මැක්‍රොන් යෝජනා කළේ “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයක් ” ය - එනම්, මාලි හි ප්‍රංශ‌යේ නව යටත් විජිත යුද්ධය සහ ප්‍රංශය තුල පොලිස් රාජ්‍ය මර්දනය සඳහා කඩතුරාවයි.

ජනාධිපති ඩොනල්ඩ් ජේ. ට්‍රම්ප් 2019 දෙසැම්බර් 4 වන බදාදා ලන්ඩනය ආසන්නයේ උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ පූර්න සැසිවාරයට සහභාගී වේ [Credit: White House]

ලන්ඩනයට සම්ප්‍රාප්ත වුනු ට්‍රම්ප්, මැක්‍රොන්ගේ ප්‍රකාශ “නපුරු” සහ “ඉතා අපහාසාත්මක” ලෙස බැහැර කරමින් තම දෘශ්‍යමානිත ප්‍රංශ සගයාට එරෙහිව ඝෝෂාකාරී දෝෂාරෝපනයක් දියත් කළේය. ඉන්පසු ඔහු රුසියාව ඉලක්ක කර ගනිමින් මිලිටරි තීව්‍ර කිරීමේ ප්‍රතිපත්තියක් වටා නැටෝව තල්ලු කිරීමට කසකැවීය.

අදට නියමිත ප්‍රංශ රාජ්‍ය අංශයේ වැඩ වර්ජනය එළිපත්තේ දී, ප්‍රංශ ජනාධිපතිගෙ දැඩි අප්‍රසාදයට පත්වූ කප්පාදු න්‍යාය පත්‍රයට එරෙහි “කහ බැනියම්” විරෝධතාකරුවන්ගේ විරෝධතාවලට ට්‍රම්ප් නැටෝව පිළිබඳ මැක්‍රොන්ගේ ප්‍රකාශය ද සම්බන්ධ කළේය. ඔහු මෙසේ පැවසීය: " කහ බැනියම්කරුවන් පිලිබඳව සිදුවන්නේ කුමක්දැයි ඔබ බලන්න ... ඔවුහු ඉතාමත් රළු වසරක් තුලින් ගමන් කර ඇත. ඔබට නැටෝව ගැන එවැනි ප්‍රකාශ කියමින් සිටිය නොහැක."

අවසානයේදී, සමුලු ප්‍රකාශය, රුසියාව ඉලක්ක කර ගනිමින් යුරෝපයේ වැඩියෙන් මිසයිල යෙදවීම, ඇෆ්ගනිස්ථානයේ යුද්ධය, චීනය ගැන ඔත්තු බැලීම සහ න්‍යෂ්ටික අවි නඩත්තු කිරීම සඳහා නැටෝවට ඩොලර් බිලියන සිය ගනනක මිලිටරි වියදම් වැඩි කිරීමට පොරොන්දු විය.

මෙය යුද්ධයේ අන්තරාය පමනක් නොව නැටෝව තුලම පවතින අර්බුදය ද තීව්‍ර කරයි. මෙම අර්බුදයට යටින් පවතින්නේ විසිවන සියවස තුල දෙවරක් ඔවුන් අතර ලෝක යුද්ධයක් පුපුරා ගිය අධිරාජ්‍යවාදී බලවතුන් අතර වෛෂයිකව, ‌ඓතිහාසිකව මුල් බැසගත් ගැටුම් ය. ඇත්ත වශයෙන්ම, මැක්‍රොන්ගේ ඉකොනොමිස්ට් සම්මුඛ සාකච්ඡාව, නැටෝවේ මුල් පොදු හතුරා වන සෝවියට් සමූහන්ඩුව 1991 විසුරුවා හැරීමෙන් පසු දශක කිහිපය තුල ඇමරිකාව තම වර්ධනය වන ආර්ථික දුර්වලතාවය මඟහරවා ගැනීම සඳහා නිරන්තර යුද්ධයට යොමුවීම පිළිබඳව යුරෝපීය පාලක කවයන් තුල පුලුල් ලෙස පැවති විරෝධතා සාරාංශගත කළේය.

2003 දී එජ විසින් ඒකපාර්ශවිකව තෙල්වලින් ආඩ්‍ය ඉරාකය ආක්‍රමනය කිරීමට බර්ලිනය සහ පැරිස් විරුද්ධ වූ විට මෙන් එජ ප්‍රතිපත්ති යුරෝපීය ආර්ථික හා මිලිටරි අවශ්‍යතාවන්ට තර්ජනයක් ලෙස දකින බව මැක්‍රොන් පැහැදිලි කළේය. සිරියාවේ නැටෝවෙ නියෝජිත බලකායන් පරාජයට පත් වීමෙන් පසුව සහ එජ පිටුබලය ලබන කුර්දි මිලීෂියාවන්ට පහර දීම සඳහා තුර්කිය සිරියාව ආක්‍රමනය කිරීමෙන් පසුව, මැද පෙරදිග ප්‍රතිපත්තිය “නැටෝවට දැවැන්ත ගැටලුවක්” ලෙස ඔහු හැඳින්වීය.

සියල්ලටම වඩා ඔහු මොස්කව් සමඟ වඩාත් සමීප සබඳතා ඇති කර ගත යුතු යැයි කැඳවුම් කළේය : “අපට යුරෝපයේ සාමය ගොඩනැඟීමට හා යුරෝපීය මූලෝපායික ස්වාධීනත්වය නැවත ගොඩනඟා ගැනීමට අවශ්‍ය නම්, අපි රුසියාව කෙරෙහි අපගේ ස්ථාවරය නැවත සලකා බැලිය යුතුය.” මැක්‍රොන් අවධාරනය කළේ රුසියාව වෙත ඔහුගේ එළැඹුම පිළිබඳ ප්‍රධාන උත්සුකයක් වූයේ ගෝලීය යුද්ධයේ ආසන්න අවදානම බවත් සහ ඔහු අරමුනු කළේ “ලෝකය ගැටුමකින් ඇවිලී යාම වැළැක්වීම සඳහා සබඳතා ගොඩනඟා ගැනීම” සඳහා බවත් ය.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2019 දෙසැම්බර් 3 වෙනි අඟහරුවාදා ලන්ඩනයේ වින්ෆීල්ඩ් මන්දිරයේදී ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් හමුවෙයි. [AP Photo/ Evan Vucci]

ප්‍රංශ ජනාධිපතිවරයා නැටෝවේ බංකොලොත්භාවයේ අක්මුල් සොයාගත්තේ ඒ හෝ මේ උපායික දෝෂය තුල නොව, දශක ගනනාවක් පුරා අනුගමනය කරන ලද ප්‍රතිපත්ති තුල ය. සමාජවාදයේ සපථ කල විරුද්ධවාදියෙකු වූ වද, ක්‍රෙම්ලිනය විසින් සෝවියට් සමූහාන්ඩුව විසුරුවා හරිනු ලැබීම සමාජවාදයේ අවසාන පරාජය සහ ලිබරල් ධනවාදී ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහනයට හේතු වූ බවට ධනවාදී ගැති ප්‍රචාරකයන්ගේ “ඉතිහාසයේ අවසානය” යන තර්කයට ඔහු පහර දුන්නේ ය. මෙම ව්‍යාජ සංකල්පය මැද පෙරදිග ජනප්‍රිය නොවන නැටෝ යුද්ධ සඳහා වේදිකාව සකසා ඇති බව ඔහු ඉකොනොමිස්ට්හි පිලිගත්තේය.

මැක්‍රොන් මෙසේ පැවසීය: “ඉතිහාසයේ අවසානය, ප්‍රජාතන්ත්‍රවාදයේ නිමක් නැති ව්‍යාප්තිය, බටහිර කඳවුර ජයග්‍රහනය කර ඇතයිද එය විශ්වීය වනු ඇතැයිද යන අදහස වටා 1990 සහ 2000 දශකවල ඉහවහාගිය පැතිර ගිය සංකල්පයක් වර්ධනය විය. එය සත්‍ය නොවන බව අර්බුද මාලාවක් පෙන්නුම් කරන තෙක්, දෙදහස් ගනන් වන තුරුම අප ජීවත් වූ ඉතිහාසය මෙයයි ... සමහර අවස්ථාවල අපගේ සාරධර්ම පැනවීමට සහ මහජන සහාය ලබා නොගෙන පාලන තන්ත්‍ර වෙනස් කිරීමට උත්සාහ කිරීමෙන් අපි වැරැදි කලා. එය ඉරාකයේ සහ ලිබියාවේ අප දුටු දෙය වන අතර සමහර විට සිරියාව සඳහා සැලසුම් කල දෙය වියහැකියි.නමුත් එය අසාර්ථක වුනා. වර්ගීය ලෙස (සාමාන්‍යයෙන්) පවසන්නේ නම්, එය බටහිර ප්‍රවේශයේ මෙම ශතවර්ෂයේ ආරම්භයේ සිටම සදොස් වූ අංගයකි.”

මැක්‍රොන් සමඟ ඔහුගේ වෙනස්කම් කුමක් වුවත්, ට්‍රම්ප් මෑතකදී ඇමරිකාවේ මැද පෙරදිග යුද්ධ සම්බන්ධයෙන් ද එවැනිම කරුනක් ඉදිරිපත් කළේය. ඔහු ට්විටර් මගින් මෙසේ පැවසීය: “එක්සත් ජනපදය මැද පෙරදිග සටන් හා පොලිස්කාරකම් සඳහා ඩොලර් ට්‍රිලියන අටක් වියදම් කර ඇත. අපේ ශ්‍රේෂ්ඨ සොල්දාදුවන් දහස් ගනනක් මිය ගොස් හෝ දරනු ලෙස තුවාල ලබා ඇත. මිලියන ගනනක් ජනයා අනෙක් පැත්තෙන් මිය ගොස් ඇත. මැද පෙරදිගට යාම අප රටේ ඉතිහාසය තුල මෙතෙක් ගෙන ඇති නරකම තීරනයයි! අපි යුද්ධයට ගියේ ව්‍යාජ හා දැන් අභූත බැව් සනාථවූ මහා ජනසංහාරක අවි පිළිබඳ ප්‍රස්තුතය යටතේය. ”

කෙසේ වෙතත් මිලිටරිවාදී ප්‍රතිපත්ති තීව්‍ර කිරීමට නැටෝව ගත් ඊයෙ තීරනය කම්කරු පන්තියට අනතුරු ඇඟවීමකි. 20 වන සියවසේ ශ්‍රේෂ්ඨ මාක්ස්වාදීන් විසින් හඳුනාගත් ධනවාදයේ මූලික ප්‍රතිවිරෝධතා, අන් සියල්ලටත් වඩා ලෝක ආර්ථිකය සහ ජාතික රාජ්‍ය පද්ධතිය අතර පවතින ප්‍රතිවිරෝධතා, පුපුරන සුලු ලෙසම තහවුරු වෙමින් පවතී. විසඳුමක් ඔවුන්ට නැති අර්බුදවලට හසු වෙමින් ද, ඔවුන්ගේම දේශපාලන බංකොලොත්භාවය සහ සාපරාධීභාවය පිලිබඳව දැනුවත්ව ද, පහල සිට වැඩෙන විරෝධයට බියෙන් ද, අධිරාජ්‍යවාදී පාලක පන්ති ඇස් වසාගෙන ගමන් කරන්නේ බිහිසුනු මානයේ මිලිටරි ව්‍යසනයක් දෙසට ය.

කම්කරුවන් හා තරුනයින් මුහුන දෙන ප්‍රධාන ප්‍රශ්නය වන්නේ කම්කරු පන්තිය තුල ජාත්‍යන්තර යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීමයි. මීට වසර දෙකකට පෙර, බ්‍රෙක්සිටයෙන් පසු නැටෝව තුල වර්ධනය වන ගැටුම් සහ ට්‍රම්ප්ගේ පත්වීම විශ්ලේෂනය කරමින් ලෝක සමාජවාදී වෙබ් අඩවිය මෙසේ ලිවීය: “ධනේශ්වර දේශපාලනයේ බිඳවැටීමට විකල්පයක් ලෙස මතුවන බලවේගය වන්නේ ජාත්‍යන්තර කම්කරු පන්තියයි. දශක ගනනාවක කප්පාදුව හා යුද්ධයෙන් පසු, නොඉවසිය හැකි ජීවන තත්වයන්, දැවැන්ත විරැකියාව සහ සමාජ කාලකන්නිභාවය නිසා එය ක්‍රියකාරිත්වය වෙත ධාවනය කෙරේ. ”

වසර දෙකකට පසුව, මෙම විශ්ලේෂනය පන්ති අරගලයේ පුනර්ජීවනයක් මගින් සනාථ කෙරී ඇත. අද දින, මැක්‍රොන්ගේ ජනාධිපති ධුරකාලය තුල විශාලතම වැඩ වර්ජන රැල්ලෙන් ප්‍රංශය පුපුරා යනු ඇත.

පසුගිය වසර පුරා, එක්සත් ජනපදයේ, යුරෝපයේ, ලතින් ඇමරිකාවේ සහ ආසියාවේ කම්කරුවන් සිය දහස් ගනනක් වැඩ වර්ජනය කර ඇත්තේ සමාජ අසමානතාවයට හා මිලිටරි-පොලිස් මර්දනයට එරෙහි පුලුල්, ජාත්‍යන්තර දේශපාලන උද්ඝෝෂනයක කොටසක් ලෙස ය. ඉරාකය, ලෙබනනය, ඇල්ජීරියාව, සුඩානය, ඉන්දියාව, ශ්‍රී ලංකාව, බොලිවියාව, චිලී, ස්පාඤ්ඤයේ කැටලෝනියාව සහ පුවර්ටෝ රිකෝ යන රටවල මහජන වැඩ වර්ජන හෝ ආන්ඩු විරෝධතා පවත්වනු ලැබ තිබේ.

පන්ති අරගලයේ මෙම නැගීම පාලක ප්‍රභූන්ගේ යුද ධාවනයට විරුද්ධ වීමේ සමාජ පදනම සකසයි. අධිරාජ්‍යවාදී යුද අන්තරායට අවශ්‍ය ප්‍රතිචාරය වන්නේ එක්සත් ජාත්‍යන්තර සමාජවාදී යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීම තුළින් කම්කරු පන්තියේ වැඩෙන මෙම අරගල එක්සත් කිරීමයි.

ඇලෙක්ස් ලැන්ටියර්

Share this article: