දෝෂාභියෝග අර්බුදය සහ ඇමරිකානු අධිරාජ්‍යවාදය

The impeachment crisis and American imperialism

2019 නොවැම්බර් 21

ජනාධිපති ට්‍රම්ප්ගේ දෝෂාභියෝගය පිලිබඳ බදාදා පැවති ප්‍රසිද්ධ විභාගයේදී යුරෝපීය සංගමයේ එක්සත් ජනපද තානාපති ගෝඩන් සොන්ඞ්ලන්ඞ්, ධවල මන්දිර ආඛ්‍යානයට (කතන්දරයට) පටහැනිව, යුක්‍රේනය සමඟ ට්‍රම්ප් කල ගනුදෙනුවලදී “හිලව්වක්” ලබා ඇති බවට සාක්ෂි දුන්නේය.

2016 දී යුක්‍රේනය තුල (එක්සත් ජනපදයේ) ඩිමොක්‍රටික ජාතික කමිටුවේ ක්‍රියාකාරකම් සහ හන්ටර් බිඩෙන්ගේ භූමිකාව ගැන පරීක්ෂනයක් පිලිබඳ සෙලෙන්ස්කි විසින් කරන නිවේදනයකට ප්‍රතිචාර වශයෙන් යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කිට ධවල මන්දිරයට පැමිනෙන ලෙස ආරාධනයක් සහ හමුදා ආධාර ට්‍රම්ප් ලබා දුන් බව සොන්ඞ්ලන්ඞ් පැවසීය. විශාල යුක්‍රේන ගෑස් සමාගමක් විසින් බිඩෙන්ට මසකට ඩොලර් 50,000 ක් ගෙවන ලද අතර එවකට උප ජනාධිපතිව සිටි ඔහුගේ පියා ඔබාමා පාලනාධිකාරයේ යුක්‍රේන ප්‍රතිපත්තියේ ප්‍රමුඛයා විය.

මැද සිටින යුරෝපා සංගමයේ එක්සත් ජනපද තානාපති ගෝර්ඩන් සොන්ඞ්ලන්ඞ්, 2019 නොවැම්බර් 20 වන බදාදා වොෂිංටන් හි කැපිටල් හිල් හි කොන්ග්‍රස් ඔත්තු සේවා කමිටුව ඉදිරියේ සාක්ෂි දුන් දිනයක් අවසන් කරයි. (ඇනා මනිමේකර්/ පූල් ෆොටෝ ඒපී මගින්) (Anna Moneymaker/Pool Photo via AP)

කොන්ග්‍රස් ඔත්තු සේවා කමිටුවේ ඩිමොක්‍රටිකයින් සහ බොහෝ මාධ්‍ය විසින් සොන්ඞ්ලන්ඞ්ගේ පෙනී සිටීම ට්‍රම්ප්ට එරෙහි “ඉතා පැහැදිලි සාක්ෂියක්” ලෙස හඬ නගා ප්‍රකාශ කලෝය. වෝටර්ගේට් සෝලිය සම්බන්ධයෙන් රිචඞ් නික්සන්ට එරෙහිව සාක්කි දීම හේතුවෙන්, නියත දෝෂාභියෝගයක් වලක්වා ගැනීම සඳහා නික්සන්ගේ ඉල්ලා අස්වීමට මග පෑදූ ධවල මන්දිර උපදේශක ජෝන් ඩීන් සමග පවා සොන්ඞ්ලන්ඞ් සැසඳුනි.

එසේ වෙතත්, ජෝන් ඩීන් ගේ සාක්ෂිය ඇමරිකානු ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට එරෙහි විශාල ප්‍රහාරයක් අනාවරනය කිරීමේ කොටසකි. නික්සන් වෙනුවෙන් සේවය කල හිටපු සීඅයිඒ ඒජන්තවරුන් විසින් සිදු කරන ලද වෝටර්ගේට් සංකීර්නයේ ඩිමොක්‍රටික් ජාතික කමිටු කාර්යාල වෙත කඩා වැදීම වනාහි වියට්නාම් යුද විරෝධතාකරුවන්ට එරෙහිව ද, පෙන්ටගන් ලිපි (ඡැබඒටදබ ඡ්චැරි) කාන්දු කල හිටපු හමුදා නිලධාරි ඩැනියෙල් එල්ස්බර්ට එරෙහිව ද සහ වෙනත් දේශපාලන විරුද්ධවාදීන්ටද එරෙහිව ද එල්ල කරන ලද දේශපාලන ඔත්තු බැලීම සහ මර්දනය කිරීමේ දිග්ගැස්සුනු ව්‍යාපාරයක ප්‍රතිඵලයකි.

සීඅයිඒ සංවිධානය සහ ජාතික ආරක්ෂක යන්ත්‍රනයේ අනෙකුත් කොටස් සඳහා දේශපාලන පෙරමුන සේ කටයුතු කරන ඩිමොක්‍රටිකයින් සහ ට්‍රම්ප් අතර ගැටුමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් පිලිබඳ එවැනි උත්සුකතා නොමැත. සොන්ඞ්ලන්ඞ්ගේ සාක්ෂියේ වැදගත්කම පවතින්නේ ඔහු ට්‍රම්ප් ගැන හෙලි කල දෙයින් නොව, ඇමරිකානු අධිරාජ්‍යවාදය සහ වොෂිංටනයේ අනුප්‍රාප්තික පරිපාලන විසින් පරායත්ත රාජ්‍යයක් බවට පත් කෙරුනු කුඩා රටක්වූ යුක්‍රේනය අතර එදිනෙදා සම්බන්ධතාවය පිලිබඳ ඔහුගේ වාර්තාවේ ය.

වොෂිංටන්හි අධීශ්වරයා සතුටු කිරීමට ඔහු විසින් හරියටම කිව යුතු වචන මොනවාද ඔහු දිය යුතු පොරොන්දු මොනවාද යන්න යුක්‍රේනයේ ජනාධිපතිවරයාට ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයින් විසින් පැවසිනි. ට්‍රම්ප් ඉල්ලා සිටින ආකාරයට තම ප්‍රධාන අභිචෝදකයා ප්‍රකාශයක් ලබා දීමට ජනාධිපති සෙලෙන්ස්කි ඉදිරිපත් වූ විට, ඔහු (සෙලෙන්ස්කි) විසින්ම එම ප්‍රකාශය කල යුතු බවත්, වාර්තා ගත වන පරිදි එය රූපවාහිනියෙන් විකාශනය කල යුතු බවත් ඔහුට පැවසින. ඔහුට උඩ පැනීමටද, හරියටම කොතෙක් උසකට ද යන්න පැවසින.

ඒ සම්බන්ධයෙන් ගත් කල, 2019 දී ට්‍රම්ප්ගේ ක්‍රියාකලාපය සහ ඔහුගේ ඩිමොක්‍රටික් පාක්ෂික ප්‍රතිවාදී උප ජනාධිපති බිඩෙන්ගේ 2016 ක්‍රියා අතර වෙනසක් නැත. බිඩෙන් යුක්‍රේනයට ගොස් එහි රජයට කියා සිටියේ දූෂිත ජාතික අභිචෝදකයා පහ කිරීම ඇතුළු යම් ක්‍රියාමාර්ග ගන්නා තුරු වොෂින්ටනය ඩොලර් බිලියන 1 ක පොරොන්දු ආධාර අත්හිටුවන බවයි. එක්සත් ජනපද රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී බිඩෙන් පුරසාරම් දෙඩුවේ, ඔහු එම අවසන් නිවේදනය ඉදිරිපත් කර පැය හයක් ඇතුලත යුක්‍රේන ජනාධිපතිවරයා විසින් එම නිලධාරියා නෙරපා හරිනු ලැබූ බවයි.

ඩිමොක්‍රටිකයින් සහ බිඩෙන් වෙනුවෙන් ක්ෂමාලාපකයන් අවධාරනය කරනු ඇත්තේ එක්සත් ජනපද “ජාතික ආරක්ෂාව” වෙනුවෙන් බිඩෙන් නිල එක්සත් ජනපද රජයේ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කල බවත්, එහෙත් ට්‍රම්ප් තම පුද්ගලික අවශ්‍යතා ගැන සොයා බලමින් මැතිවරන ප්‍රතිවාදියෙකුගේ කැතකුනු සොයමින් සිටි බවත්ය. මෙම තර්කය එහිම කොන්දේසි මත පවා ප්‍රශ්නයට බඳුන් වන්නේ , බිඩෙන්ගේ ඉල්ලීම මත පහ කෙරෙනු අභිචෝදකයා බිඩෙන්ගේ පුතාට අධික ලෙස මුදල් ගෙවූ බුරිස්මා නම් ගෑස් සමාගම පිලිබඳ දූෂන විමර්ශනය පාලනය කල බැවිනි.

නමුත් වඩාත් මූලික කාරනයක් තිබේ: බිඩෙන් විසින් ආරක්ෂා කරන ලද “ජාතික ආරක්ෂාව” පිලිබඳ උත්සුකය කුමක්ද? එක්සත් ජනපදය යුක්‍රේනයට විශාල මිලිටරි ආධාර සහ ආයුධ සපයන්නේ ඇයි? එය, රුසියාවට එරෙහිව එල්ල කෙරුනු ඇමරිකානු රූකඩ රාජ්‍යයක් බවට යුක්‍රේනය පත්කිරීම සඳහා දශක දෙකකට වැඩි කාලයක් තිස්සේ සිදු කෙරුනු ඇමරිකානු අධිරාජ්‍යවාදී උත්සාහයේ කොටසකි.

2020 ජනාධිපතිවරනයේදී ට්‍රම්ප් “විදේශ මැදිහත්වීම්” ඉල්ලා සිටීම මගින් තමන් කම්පනයට පත්වන බවට ඩිමොක්‍රටිකයින්ගේ සියලු‍ ප්‍රකාශයන් තිබියේවා, 2004 සිට යුක්‍රේනයේ සෑම ජනාධිපතිවරනයක්ම දැවැන්ත විදේශ මැදිහත්වීම් මගින්, විශේෂයෙන් එක්සත් ජනපදය මගින්, සංලක්ෂිත වේ. කීව්හි රුසියානු විරෝධී තන්ත්‍රයක් ස්ථාපනය කිරීමෙ මෙහෙයුම් සඳහා වොෂින්ටනය ඩොලර් බිලියන 5 කට වඩා වියදම් කර ඇති බව එක් එක්සත් ජනපද නිලධාරියෙක් 2013 දී පුරසාරම් දෙඩීය.

1991 දී සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් ඉක්බිතිව යුක්‍රේනය රුසියාවෙන් වෙන් කිරීම එක්සත් ජනපදයේ ප්‍රධාන විදේශ ප්‍රතිපත්ති පරමාර්ථයක් විය. යුක්‍රේනය සහ රුසියාව සෝවියට් සංගමයේ විශාලතම සංඝටක කොටස් දෙක විය. මෙම දෙරට කිලෝමීටර් 2,000 කට වැඩි භූමි දේශසීමාවක් හා කලෙක සමීපව ඒකාබද්ධ වූ ආර්ථිකයන් බෙදා හදාගන තිබුනි. යුක්‍රේන වැසියන්ගෙන් සියයට තිහක් රුසියානු භාෂාව ඔවුන්ගේ පලමු භාෂාව ලෙස කථා කරයි. ඊට ක්‍රිමියාවේ ද සහ දැන් රුසියානු ගැති හමුදා විසින් පාලනය කරනු ලබන නැගෙනහිර යුක්‍රේන කලාපයේ ද ජනගහනයෙන් අතිමහත් බහුතරයක් ද ඇතුලත් ය.

පලමුවන ලෝක සංග්‍රාමය හා දෙවන ලෝක සංග්‍රාමය යන දෙකෙහිදීම ජර්මානු අධිරාජ්‍යවාදය, යුක්‍රේනය අත්පත් කර ගැනීම තම ප්‍රමූඛ මූලෝපායක් කරගත්තේ, එහි පොහොසත් පස සහ කොකේසස් හි තෙල් බිම් වලට සමීප වීම නිසාවෙනි. හොලෝකෝස්ටය තුල සමූලඝාතනය කරන ලද සෝවියට් යුදෙව්වන්ගෙන් විශාලතම ප්‍රමානය යුක්‍රේනයේ දී මරා දමන ලදී. කීව් නගරයෙන් පිටත බබී යාර් ගිරි කරෙහි දී මැෂින් තුවක්කු ප්‍රහාර මගින් යුදෙව්වන් 34,000 ක්ද, ඔඩෙස්සා හි යුදෙව්වන් 50,000 ක් ද අමුඅමුවේ ඝාතනය කරන ලදී.

ඇමරිකානු අධිරාජ්‍යවාදය උත්සාහ කරන්නේ ජර්මානු අධිරාජ්‍යවාදය දෙවරක් ඉටු කර ගැනීමට අසමත් වූ දේ කිරීමට ය. එනම් රුසියාවට එරෙහි දේශපාලන කඩාකප්පල් කිරීම් සහ මිලිටරි ප්‍රචන්ඩත්වය දියත් කිරීම සඳහා පිනුම් පිත්තක් සඳහා ලෙස යුක්‍රේනය භාවිතා කිරීමය. සුලු හෝ කිසිදු ප්‍රසිද්ධ සාකච්ඡාවකින් තොරව ඇමරිකානු ජනතාවගේ පිටුපසින් එක්සත් ජනපද ආන්ඩුව රුසියාව සමඟ සෘජු මිලිටරි ඝට්ටනයක වැඩි වන අන්තරාය ගෙන එන මෙහෙයුමක යෙදෙමින් යුක්‍රේනයට අවි සහ වෙනත් යුද භාන්ඩ විශාල තොග යවමින් තිබේ. ලෝකයේ න්‍යෂ්ටික අවි බොහෝමයක් යොදවාගෙන ඇත්තෙ මෙම බලවතුන් දෙදෙනා අතර වේ.

දෝෂාභියෝග නඩු විභාගයේ දී අවධානය යොමු කරනු ලැබ ඇත්තේ මෙම ප්‍රතිගාමී විදේශ ප්‍රතිපත්තියෙහිම ප්‍රධාන කොටස්කරුවන් වන, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ඕර්වේලියානු භාෂාවෙන් කතා කරන ට්‍රම්ප් විරෝධී සාක්ෂිකරුවන් වෙත ය. ඔවුහු යුක්‍රේනයේ “ප්‍රජාතන්ත්‍රවාදය” නිර්වචනය කරන්නේ ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ මෙවලමක් ලෙස සේවය කිරීමට යුක්‍රේනයේ රජය එකඟ වන ප්‍රමානය අනුව ය. රුසියාවට එරෙහි මෙහෙයුමට බාධාවක් ලෙස සැලකූ නිසා ඡන්දයෙන් පත් වූ ජනාධිපති වික්ටර් යනුකොවිච් බලයෙන් පහ කරනු ලැබූ ඊනියා “අභිමානවත් විප්ලවය” ඔවුහු අගය කරති. විකරනය කරන ලද ස්වස්තිකයන් යටතේ පෙලපාලි යන හා දෙවන ලෝක යුද්ධයේදී නාසීන් සමඟ සහයෝගයෙන් කටයුතු කල යුක්‍රේනියානුවන් සමරන කුප්‍රකට අසෝව් බලඇනියේ අනුග්‍රාහකයා වන යුක්‍රේන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය අර්සන් අවකොව් වැනි ෆැසිස්ට්වාදීන්ට ඔවුහු ආචාර කරති.

ට්‍රම්ප්-විරෝධී හෝ ට්‍රම්ප්-පාක්ෂික සංස්ථාපිත මාධ්‍යයන් සිදුකරන්නාවූ දෝෂාභියෝග නඩු විභාග වාර්තා කිරීම් තුල මෙම දේශපාලන යථාර්ථය ගැන කිසිවක් අඟවාවත් හෝ නැත. ඊට විපරිත ව, එක්සත් ජනපද රජයේ විදේශ ප්‍රතිපත්තිය නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රවර්ධනය කිරීම අරමුනු කර ගන්නා අතර එය රුසියාවට විරුද්ධ වන්නේ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් කුරිරු පාලකයෙකු බැවින්ය යන්න පූර්ව නිර්මිතය වී ඇත.

කෙසේ වෙතත්, යුක්‍රේනයේ එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ භූමිකාව ලොව පුරා ඇමරිකානු අධිරාජ්‍යවාදයේ කොල්ලකාරී ව්‍යසනවලට එක් උදාහරනයක් පමනි. සෞදි ඔටුන්න හිමි කුමරු මොහොමඞ් බින් සල්මාන් සහ බ්‍රසීල ජනාධිපති ජෙයාර් බොල්සානාරෝ වැනි අපමන කුරිරු පාලකයින් හා ෆැසිස්ට්වාදීන් සීඅයිඒ, පෙන්ටගනය සහ රාජ්‍ය දෙපාර්තමේන්තුව සමඟ පෙල ගැසී සිටිති.

යුක්‍රේන ස්වෛරීභාවයට එක්සත් ජනපද ආන්ඩුවේ උද්ධච්ඡ ආකල්පය ද ව්‍යාතිරේකයක් ( විශේෂත්වයක්) නොවේ. 2014 දී යුක්‍රේනයේ ද, 2015 දී ශ්‍රී ලංකාවේ රාජපක්ෂ රජයට එරෙහි මැදිහත්වීම තුල ද, 2016 දී තුර්කියේ අසාර්ථක වූ මිලිටරි කුමන්ත්‍රනයට සහාය දීමටද හෝ අද බොලිවියාවේ ඒවෝ මොරාලෙස් බලයෙන් පහ කිරීම සඳහා දක්වන සහයෝගය තුල ද වොෂින්ටනයේ භූමිකාවේ වෙනසක් නැත.

ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ගමනට අවහිර කරන පාලකයන් සිටිනා දුබල රටවල්වලට වන්දි ගෙවීමට සිදුවනු ඇත. එහි ප්‍රතිඵලය, සමහර අවස්ථාවල, ඉරාකය, වෙනිසියුලාව, සිරියාව සහ ලිබියාවට (මෙම සියලු‍ රටවල තෙල් සම්පත ප්‍රධාන සැලකිල්ලට ලක් වෙන කරුනක් වෙයි) සිදු වූවා සේ, ආක්‍රමනය, වාඩිලා ගැනීම, මිලිටරි කුමන්ත්‍රනය විය හැකිය, නැතහොත් මේ තුනේම සංකලනයක් විය හැක.

වොෂින්ටනය තම දෑත්වලින් යුක්‍රේනියානු ජනතාවගේ ග්‍රීවය ග්‍රහනයට ගෙන සිටී. ප්‍රශ්නය වන්නේ ඩිමොක්‍රටික් පාක්ෂිකයින් පවසන පරිදි මෙම ග්‍රහනය ජාතික ආරක්ෂක සංස්ථාපිතය විසින් නියම කර ඇති අරමුනු සඳහා නොයොදවා, ට්‍රම්ප් විසින් තම අනුචිත “පුද්ගලික” එල්ලයන් සඳහා යෙදවීම නොවේ. කාරනය වන්නේ වෝල් වීදියේ හා පෙන්ටගනයේ මාරාන්තික ග්‍රහනයෙන් යුක්‍රේන ජනතාව සහ ලෝක ජනගහනය නිදහස් කර ගැනීමට ඇමරිකානු සහ ජාත්‍යන්තර කම්කරු පන්තිය මැදිහත් වීමයි.

පැට්‍රික් මාටින්

Share this article: