ට්‍රම්ප්ගේ යුද අපරාධ සමාව: මිලිටරිය තුල ෆැසිස්ට් පදනමක් වර්ධනය කිරීමකි

Trump’s war crime pardons: Cultivating a fascistic base in the military

2019 නොවැම්බර් 27

නාවික හමුදා ලේකම් රිචඩ් ස්පෙන්සර් ඉරිදා තනතුරෙන් ඉවත් කිරීමෙන් කූට ප්‍රාප්ත වූ, නාවික හමුදා සීල් භටයෙකු වන එඩ්වඩ් ගැලගර් සම්බන්ධයෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අසාමාන්‍ය හා නැවත නැවත මැදිහත්වීම්, එක්සත් ජනපද ධනවාදී ආන්ඩුවේ කේන්ද්‍රයේ හා එහි දැවැන්ත මිලිටරි සංවිධානවල ගැඹුරට යමින් තිබෙන අර්බුදය තවදුරටත් හෙලිදරව් කර තිබේ.

එක් ඇස්තමේන්තුවකට අනුව 40,000ක් තරම් පුද්ගලයන් ඝාතනය කෙරුනු, ඉරාක නගරයක් වන මොසුල් නගරයට එරෙහිව මුදා හරින ලද ලේ වැගිරීමේදී පවා බරපතල ලෙස කැපී පෙනුනු හා පරපීඩාකාරී යුද අපරාධ ක්‍රියා සම්බන්ධයෙන් ගැලගර්ට ඔහුගේ සෙසු සීල් භටයින් විසින් චෝදනා කරන ලදී. ස්නයිපර් රයිෆලයක් අතැති ව තරුන ගැහැනු ලමයෙකු ඇතුලු, සිවිල් වැසියන් ඩැහගනිමින් පිහියෙන් ඇන මරා දැමීම හා සීල් වෛද්‍යවරයෙකුගේ ප්‍රතිකාර ලබමින් සිටියදී පවා තුවාල ලැබූ ඉරාක තරුන සටන්කරුවෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල විය. පසුව ඔහු මල කඳ සමග වන ඡායාරූපයක් සහිත ව “මගේ දඩයම් පිහියෙන් ඔහු ඩැහ ගත්තා” යන ශීර්ෂ පාඨය සමඟ කෙටි පනිවිඩයක් යැවී ය. සෙසු සීල් භටයන් අතර ගැලගර්ගේ අන්වර්ථ නාමය “බ්ලේඩ්” වූයේ අහම්බෙන් නො වේ.

2019 ජූලි 2 වැනි දින සැන් දියාගෝවේ නාවික කඳවුරක මිලිටරි උසාවියෙන් පිට ව යන නාවික විශේශ මෙහෙයුම් ප්‍රධානී එඩ්වඩ් ගැලගර් (AP Photo/Gregory Bull, File)

මෙම අපරාධ නො තකා, නැතහොත් මෙම අපරාධ නිසා අන්ත දක්ෂිනාංශය, ෆොක්ස් නිව්ස් මෙන් ම එක්සත් ජනපද ජනාධිපති විසින් ම ද ගැලගර් ප්‍රභූවරයෙකු බවට පත් කෙරුනි. ඔහුට එරෙහිව සාක්‍ෂි දුන් තම ඒකකයේ සාමාජිකයන් ඝාතනය කරන බවට තර්ජනය කිරීම නිසා ඔහුගේ යුද්ධාධිකරන නඩුවට පෙර ඔහු රඳවා සිටි යුද නැවේ සිර ගෙයින් ඔහුව නිදහස් කරන ලෙස ට්‍රම්ප් මුලින් ම නාවික හමුදාවට නියෝග කලේ ය. දැන් වැරදි සාක්ෂි දීම මත චෝදනාවලට ලක්ව සිටින සීල් වෛද්‍යවරයා විසින් සාක්‍ෂි වෙනස් කිරීමට ස්තුති වන්නට, තම ගොදුරේ මෘතදේහය සමග පෙනී සිටීමේ අඩු චෝදනාව මත පමනක් ඔහු වරදකරු කරනු ලැබීමෙන් පසු, ට්‍රම්ප් ඔහුට සමාව දුන් අතර ඔහුව එක ශ්‍රේනියකින් පහල දැමීම හා ඉක්බිතිව ඔහුගේ වැටුප් කප්පාදු කිරීමේ අවම දඬුවම ඉල්ලා අස්කර ගන්නා ලෙස නාවික හමුදාවට නියෝග කලේ ය.

අවසාන වශයෙන්, නාවික ලේකම් පහ කිරීමට තුඩු දුන් ක්‍රියාව තුල දි, ඔහු ඉල්ලා සිටියේ ගැලගර් සීල් භටකායෙන් ඉවත් කල යුතු ද යන්න තීරනය කිරීමේ චර්යානුගත සමාලෝචන මන්ඩලය අත්හිට විය යුතු බව යි. ජනාධිපතිවරයා තම වීරයා ලෙසත්, ට්‍රම්ප් සංවිධානයේ සමීප සගයන් මෙන්ම ට්‍රම්ප්ගේ පෞද්ගලික නීතිඥ රූඩි ගියුලියානිගෙන් සමන්විත ආරක්ෂක කන්ඩායමක් ඇති, මාසය අවසන් වීමට පෙර විශ්‍රාම යාමට නියමිත ගැලගර්, තම ජේෂ්ට නිලධාරීන්ට ප්‍රසිද්ධියේ පහර දීමට නිදහස් බව සිතට ගත්තේ ය.

ට්‍රම්ප්ගේ පෙර නොවූ විරූ ක්ෂුද්‍ර කලමනාකරනය හා මිලිටරි යුක්තිය පසිඳලීමේ පද්ධතිය ඉක්මවා යාම ධවල මන්දිරය හා සිරියාවෙන් අර්ධ වශයෙන් හමුදා ඉවත් කර ගැනීමේ ඔහුගේ හදිසි හා අසාර්ථක නියෝගයෙන් දැනටමත් පීඩාවට පත් කෙරුනු, පෙන්ටගනයේ බල ඇනිය අතර ආතතීන් උත්සන්න කර ඇත.

පසුගිය මාස කිහිපය තුල ට්‍රම්ප් සමාව දුන් යුද අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින එක්සත් ජනපද හමුදාවේ සාමාජිකයන් හතර දෙනාගෙන් එක් අයෙකි ගැලගර්. නිරායුධ සිරකරුවන් කිසිම වග විභාගයකින් තොරව ඝාතනය කර පසුව සිරුරු පුලුස්සා දැමීමෙන් ඔවුන්ගේ අපරාධ වසන් කිරීමට උත්සාහ කිරීම වෙනුවෙන් ඔවුන්ගෙන් දෙනෙකුට ද ඔවුන් නිරායුධ බව ඔහු දැන සිටි ඇෆ්ගනිස්ථානුවන්ට වෙඩි තැබීමට නියෝග කිරීම හා මරා දැමීම වෙනුවෙන් තවත් අයෙකුට ද චෝදනා එල්ල වී තිබුනි.

සඳුදා ධවල මන්දිර මාධ්‍ය බලකායට අදහස් දක්වමින් ට්‍රම්ප් ගැලගර්ව “අපගේ ආන්තික සටන්කරුවෙකු” ලෙස වර්නනා කල අතර මා “මගේ යුද හමුදා භටයින් ආරක්ෂා කල යුතුව” ඇත යි ද තරයේ කියා සිටියේය. ඔහු කරන්නේ “අපේ සන්නද්ධ හමුදාව වෙනුවෙන් පෙනී සිටීම” බව ඔහු ප්‍රකාශ කලේ ය.

ඔහු සිය හැසිරීම ඔහුගේ පූර්වගාමියා වූ බරක් ඔබාමාගේ හැසිරීම සමග සංසන්දනය කලේය. ඇෆ්ගනිස්ථානයේ සිය ඒකකයෙන් පිටමං වී ගොස් වසර පහක් තලේබාන් සංවිධානයේ අත්අඩංගුවට පත් ව සිටි යුදහමුදා සාජන් බෝව් බර්ග්ඩාල් හා 2010 දී විකිලීක්ස් විසින් ප්‍රකාශයට පත් කරන ලද එක්සත් ජනපද යුද අපරාධ පිලිබඳ ඓතිහාසික හෙලිදරව් කිරීම් කාන්දු කල ධෛර්ය සම්පන්න එක්සත් ජනපද හමුදා සෙබලියක වූ චෙල්සි මැනිංට සමාව දීම වෙනුවෙන් ඔහු ව්‍යාජ ලෙස ඔබාමාට චෝදනා කලේ ය.

ට්‍රම්ප් ජනාධිපති ධුරය සඳහා වූ තම උද්ඝෝෂනය අතරතුර ඔහුට මරන දන්ඩනය දිය යුතු ව තිබුනැ යි යෝජනා කරමින් බර්ග්ඩාල්ට එරෙහිව නැගී සිටි අතර, මැනිං ව “ද්‍රෝහියෙකු” ලෙස හෙලා දුටුවේය. යුධාධිකරනය විසින් බර්ග්ඩාල්ට ඔහුගේ ශ්‍රේනිය පහත හෙලා, අගෞරවනීය ලෙස සේවයෙන් පහ කිරීමේ දඬුවම් නියම කරන ලදී. ඇය තම වසර 35ක සිරදඬුවමින් වසර හතක් ගෙවා සිටි අවස්ථාවේ, ඔබාමා සිය ධුරයේ අවසන් දිනයේ දී මැනිංගේ දඬුවම ඉවත් කලේ ය.විකිලීක්ස් හි ජූලියන් අසාන්ජ්ට එරෙහිව මහා ජූරි සභාවක් ඉදිරියේ සාක්ෂි දීම ප්‍රතික්ෂේප කිරීම නිසා ඇය නැවත මැයි මාසයේ සිට සිරගත කර ඇත.

වැරදිකරුවන් වූ යුද අපරාධකරුවන් ට්‍රම්ප් විසින් ප්‍රභූවරන් කිරීම සහ (ඇෆ්ගනිස්ථානයේ හා ඉරාකයේ මිලියන තුනකට ආසන්න යුද ප්‍රවීනයන් අතර පුලුල් ලෙස බෙදා හදා ගැනුනු) වොෂිංටනයේ සාපරාධී යුද්ධවලට වූ විරුද්ධත්වයක් ප්‍රකාශ කල හිටපු සොල්දාදුවන් දෙදෙනෙකු හෙලා දැකීමට නිසැක දේශපාලන තර්කනයක් ඇත.

ගැලගර් හා සමාව දුන් අනෙක් යුද අපරාධකරුවන්ගේ සිද්ධියත් සමග, ඔහු “දේශපාලනික වශයෙන් නිවැරදි” දේශපාලන සංස්ථාපිතයක් හා අප්‍රමානවත් ලෙස ලේ පිපාසිත පෙන්ටගන් බල ඇනියක් පවා “යුද සටන්කරුවන්” පිලිබඳව කිසිවක් නොකර ඇති බවට ආඛ්‍යානයක් පෝෂනය කරමින් සිටී.

එය පලමුවන ලෝක සංග්‍රාමයෙන් පසු, රටේ පරාජය සම්බන්ධයෙන් සිවිල් වැසියන්, විශේෂයෙන් ම සමාජවාදීන් හා යුදෙව්වන් විසින් හමුදාව පාවාදීම සම්බන්ධයෙන් චෝදනා කරමින්, ජර්මනියේ දක්ෂිනාංශය විසින් ප්‍රචාරය කරන පිටුපසින් පිහියෙන් ඇනීමේ ද්‍රෝහී ක්‍රියා පිලිබඳ මිථ්‍යාවෙහි විචලනයකි. මෙම මිථ්‍යාව විප්ලවයන් මැඩපැවැත්වීම සඳහා දහස් ගනනක් ඝාතනය කරමින්, ජර්මානු කම්කරු පන්තියට එරෙහිව මුදා හරින ලද, හිටපු සොල්දාදුවන්ගෙන් සැදුම්ලත් ෆ්‍රෙයිස්කෝප් නම් සන්නද්ධ මිලීෂියාවන්ගේ ඊනියා නිදහස් බලකායේ කේන්ද්‍රීය දෘෂ්ටිවාදාත්මක කුලුනක් බවට පත්විය. එය එසේ ම නාසි දෘෂ්ටිවාදයේ අත්‍යවශ්‍ය සංරචකයක් විය.

වාර්තාවන පරිදි ට්‍රම්ප් තම සමීපත ම උපදේශකයින්ට පවසා ඇත්තේ තමා සමාව දී ඇති යුද අපරාධකරුවන් 2020 දී මැතිවරන ප්‍රචාරය පිටුපස තමන් සමග එක්විය යුතුවාක් මෙන් ම රිපබ්ලිකානු සම්මේලනයේ ප්‍රධාන භූමිකාවක් රඟ දැක්වීමටත් අවශ්‍ය බව යි. පැහැදිලිව ම, මෙම සමාව දීමේ අරමුන වන්නේ විදේශයන්හි යුද අපරාධ දිරිගැන්වීම පමනක් නොව, රට තුල කම්කරු පන්තියට එරෙහිව යොදා ගැනීමට දක්ෂිනාංශික බලවේග ගොඩනැගීම යි. ඔහු ෆ්‍රෙයිස්කෝප්හි ඇමරිකානු විලාසිතාවක් නිර්මානය කිරීම ට දිරිගන්වමින් සිටී.

ඩිමොක්‍රටිකයින්ගේ ප්‍රකාශන මෙන් ම නිව්යෝක් ටයිම්ස් හා වොෂිංටන් පෝස්ට් හි කුහක කතුවැකි මගින් ප්‍රකාශ කෙරුනු ට්‍රම්ප්ගේ ක්‍රියාවන්ට එල්ල වුනු බයාදු විරුද්ධත්වයට, මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට එරෙහිව වැඩෙන තර්ජන පරාජය කිරීමට කිසිදු සම්බන්ධයක් නැත. ඊට පටහැනි ව, ඉහල මිලිටරි නිලධාරීන්ගේ අධිකාරිත්වය ආරක්ෂා කිරීමට ඔවුන් යොමු වන්නේ, “යුද නීති” අනුව එක්සත් ජනපද මිලිටරියේ මෙහෙයුම් හා “වඩා උසස් තත්වයක්” නිරීක්ෂනය කිරීම අවදානමට ලක්ව ඇත යි යන ව්‍යාජය ප්‍රචාරය කරන අතර ය.

මොන විකාරයක්ද! වසර 30 කට ආසන්න කාලයක් තිස්සේ, ස්ටැලින්වාදී නිලධරය සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් පසුව, එක්සත් ජනපද හමුදාව ආක්‍රමනශීලී යුද්ධවල නිරත වී ඇත. (ජර්මනියේ) තුන්වන රයිකයේ දිවි ගලවා ගත් නායකයින්ට නියුරම්බර්ග් හි දී නඩු පවරන ලද ප්‍රධාන අපරාධය මෙය යි. මෙම යුද්ධවලට ගොදුරු වූවන් මිලියනයකට වඩා වැඩි වන අතර මැද පෙරදිග බොහොමයක් විනාස කෙරී ඇත. ට්‍රම්ප් විසින් සමාව දුන් යුද අපරාධ යනු දශක තුනක් තිස්සේ සෑම පරිපාලනයක් ම, ඩිමොක්‍රටික් මෙන් ම රිපබ්ලිකානුවන් යන දෙපාර්ශ්වයම එක හා සමානව හඹායනු ලබන වඩා විශාල යුද අපරාධවල අනිවාර්ය අතුරුඵලයකි.

කොන්ග්‍රස් දෝෂාභියෝග නඩු විභාගවලින් පෙන්නුම් කර ඇති පරිදි, ට්‍රම්ප්ට එරෙහි ඩිමොක්‍රටික් පක්ෂයේ විරුද්ධත්වය, න්‍යෂ්ටික යුද්ධයකින් අවසන් විය හැකි, රුසියාව සමග එක්සත් ජනපද මිලිටරි ගැටුමක් උත්සන්න කිරීමට එක්සත් ජනපද ඔත්තුසේවා හා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ කන්ඩායම් විසින් ගෙනයනු ලබන තල්ලුව සමග බැඳුනු මුලුමනින් ම උපක්‍රමික ස්වභාවයක එකකි. මෙම ප්‍රතිගාමී ක්‍රියාවලිය තුල ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට පහරදීම, සමාජ වැඩ සටහන් විනාශ කිරීම හා සංක්‍රමනිකයින්ට එරෙහි දරුනු ප්‍රහාරය පවා ප්‍රශ්න නො වේ.

ප්‍රධාන පක්ෂ දෙක ම ආරක්ෂා කරන්නේ ධනවත්ම සියයට එක විසින් ධනය විශාල වශයෙන් සංකේන්ද්‍රනය කර ගැනීම හා පෙර නොවූ විරූ සමාජ අසමානතාවයේ මට්ටම් සාම්ප්‍රදායික ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රම සමග මුලුමනින්ම නො පෑහෙන ඇමරිකානු ධනවාදී පද්ධතියකි.

ෆැසිස්ට් ප්‍රතිගාමිත්වය හා ආඥාදායකත්වයේ තර්ජනය හුදෙක් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සාපරාධී මනසෙහි නිෂ්පාදනයක් නො වේ. එය එක්සත් ජනපදයේ පන්ති අරගලය පුපුරා යෑමට හා ජාත්‍යන්තරව කම්කරු පන්තියේ දැවන්ත නැගිටීම්වලට එක්සත් ජනපද පාලක සංස්ථාපිතයේ බිය ගැනුනු ප්‍රතිචාරය සමඟ බැඳී ඇත.

මෙම තර්ජනයන්ට මුහුන දෙන කම්කරු පන්තිය, ඒවායේ මූලාශ්‍රයට, එනම් ධනේශ්වර පද්ධතියට එරෙහිව ජාතික දේශසීමා හරහා තම අරගලය එක්සත් කරමින්, ඒවාට එරෙහිව සටන් මෙහෙය වීමට සමත් එකම සමාජ බලවේගය යි.

බිල් වෑන් ඕකන්

Share this article: