එක්සත් ජනපද මහබැංකු අධිපති පෝල් වෝකර්ගේ (1927 - 2019) සැබෑ උරුමය

The true legacy of US central banker Paul Volcker (1927–2019)

2019 දෙසැම්බර් 11

ඇමරිකානු ධනේශ්වර පන්තිය වෙනුවෙන් පනවන ලද ඔහුගේ ප්‍රතිපත්තිවල ප්‍රතිවිපාක ලෙස එක්සත් ජනපදයේ පමනක් නොව ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනයා අකල් මරනයට පත්ව ඇති බව පූර්න විමර්ශනයකින් හෙලි වනු ඇත.

ඉරිදා හිටපු ෆෙඩරල් මහබැංකු අධිපති පෝල් වෝකර්ගේ (1979-1987) අභාවයත් සමඟ ඇමරිකානු පාලක පන්තියට තමන් වෙනුවෙන් වඩාත් කැපවුනු එමෙන් ම කුරිරු සේවකයෙකු අහිමි විය.

උද්ධමනයට එරෙහිව සටන් කිරීමේ ධජය යටතේ, එක්සත් ජනපදය තුල හා ජාත්‍යන්තර ව කම්කරු පන්තියට එරෙහි දිනපතා ඉදිරියට ඇදෙන්නා වූ ද ගැඹුරුවෙන්නා වූ ද පන්ති යුද්ධයේ ප්‍රධාන නිර්මාන ශිල්පියා වෝකර් විය. ලොව පුරා දේශපාලනඥයන්, මහ බැංකු අධිපතියන් හා සංගත මාධ්‍ය ඔහුගේ “උරුමය” අගය කර තිබේ.

නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ නීල් අර්වින් ඔහු වර්නනා කලේ මෙසේ ය: “එක්ව සාකච්ඡා කරන්නා වූ ද අතීතයේ දී ක්‍රියා කල ආකාරය හෝ තම කැමැත්තට අනුව කෙසේ විය යුතු ද යන්න මත නො ව, එය ඒ හැටියට පවත්නා ලෝකය විසින් මෙහෙයවනු ලබන්නා වූ ද අවස්ථාවේ කැපවූ රාජ්‍ය සේවකයයෙකුට කල හැක්කේ කුමක් ද යන්නට ඔහුගේ ජීවිතය සාක්ෂියකි. නිවැරදි පිලිවෙත සැම විටම ජනප්‍රිය වන්නේ නැත.”

පෝල් වෝකර් ( ඡායාරූපය අනුග්‍රහය/ වොන්ග් මයේ - AP Photo/Wong Maye-E)

වෝකර් මූල්‍ය ප්‍රභූවේ විරුද්ධවාදියෙකු ලෙස නිරූපනය කිරීමට උත්සාහ කරමින් “වමේ” යැයි කියනු ලබන ඩිමොක්‍රටික් ජනාධිපති අපේක්ෂිකා එලිසබෙත් වොරන් මෙසේ පැවසුවා ය: “පෝල් වෝකර් අවදානම් සහගත මූල්‍ය ඔට්ටු අල්ලමින් වෝල් වීදියේ බැංකු පාලනය කිරීමට සටන් කල අතර, වෝකර් පාලනය නීතියක් ලෙස පිලිගැනීමත් සමග අපි එකට එක්වීමු...”‍

බිල් ක්ලින්ටන් යටතේ හිටපු භාන්ඩාගාර ලේකම් ලෝරන්ස් සමර්ස් ඔහු ව “අනුගමනය කල සෑම මූල්‍ය නිලධාරියෙකුගේ ආදර්ශය” ලෙස විස්තර කලේය. හිටපු මහබැංකු අධිපති බෙන් බර්නාන්කේ පැවසුවේ, “දේශපාලනික වශයෙන් ජනප්‍රිය නො වූ නමුත් ආර්ථික වශයෙන් අවශ්‍ය දෙයක් කිරීමේ” අදහස ඔහු විසින් පුද්ගලාරෝපනය කල බව යි. බර්නාන්කේගේ අනුප්‍රාප්තික මහබැංකු අධිපතිනි, ජැනට් යෙලන් පැවසුවේ ඔහු “මට හා ෆෙඩරල් මහබැංකුවට ආශ්වාදයක්” වූ බව යි.

“ඔහු ජාතියට කල දායකත්වය සදාකාලික උරුමයක්” වන බව වත්මන් මහබැංකු අධිපති ජෙරොම් පවෙල් පැවසුවේ ය.

මෙම “උරුමය” යනු කුමක්ද? එය සමන්විත වන්නේ කර්මාන්ත අංශයේ විශාල පදාසයක් විනාශ කිරීම සහ ජීවිතාපේක්ෂා කාලය පිරිහීම, වැටුප් පහල යාම, අර්ධකාලීන හා අනියම් රැකියා ඉහල යාම, ඔපියොයිඞ් අර්බුදය, වාර්තාගත සියදිවි නසාගැනීම් අනුපාතය ඉහල යාම, හා ඉහල යන මූල්‍ය සමපේක්ෂනය සහ පුලුල් වන සමාජ අසමානතාව මධ්‍යයේ මූල්‍ය කතිපයාධිකාරයක් අතෙහි දැවැන්ත ධන සමුච්චයනය වීම වැනි සමාජ නපුරුකම්වල මාරාන්තික වර්ධනයෙනි.

වෝකර් විසින් බාර ගනු ලැබූ නිශ්චිත මෙහෙවර වූයේ කම්කරු පන්තියේ සමාජ ප්‍රතිරෝධය බිඳ දැමීමේ මාධ්‍යයක් ලෙස මහා විරැකියාව ඇති කරමින්, පොලී අනුපාත ඉහල නැංවීම හා රට අවපාතයකට ඇද දැමීම යි.

පාලක පන්තියට සෑම තැන ම අනුගමනය කිරීම සඳහා ඔහු සටහන් කල මාවත සමග, ඇමරිකානු ධනේශ්වර පන්තිය වෙනුවෙන් පනවන ලද ඔහුගේ ප්‍රතිපත්තිවල ප්‍රතිවිපාක වශයෙන් එක්සත් ජනපදය තුල පමනක් නොව ලොව පුරා විස්තර කල නො හැකි කාලකන්නිකම හා මිලියන සංඛ්‍යාත ජනයාගේ අකල් මරනයට හේතු වී ඇති බව පූර්න විමර්ශනයකින් හෙලි වනු ඇත.

ඔහු ආරම්භ කල සමාජ ප්‍රති විප්ලවය ආරම්භයේ සිට අද දක්වා පවතින්නේ සමස්ත දේශපාලන සංස්ථාපිතයේ ද්වි පාක්ෂික ප්‍රතිපත්තිය ලෙස ය. පාලක පන්තියේ මූලික උත්සුකයන්ට අදාල ආර්ථික ප්‍රතිපත්තියේ අත්‍යවශ්‍ය කරුනු සම්බන්ධයෙන් වෝකර් ඩිමොක්‍රටිකයන්ගේ හා රිපබ්ලිකානුවන්ගේ එකමුතුව මූර්තිමත් කලේ ය. ඩෙමොක්‍රටිකයෙකු වූ ඔහු ඩෙමොක්‍රටික් ජනාධිපතිවරයකු විසින් මහබැංකු අධිපති ලෙස පත් කරන ලදු ව, පසුව රිපබ්ලිකානු රේගන් යටතේ සේවය කල අතර, බැංකු ඇපදීම හා 2008 න් පසු කම්කරු පන්තියට එරෙහිව පන්ති යුද්ධය තීව්‍ර කිරීම අධීක්ෂනය කිරීම සඳහා ඩිමොක්‍රටික් ඔබාමා පාලනාධිකාරියේ උපදේශකයෙකු ලෙස කැඳවා ගනු ලැබින.

1979 ජූලි 25 වන දින ෆෙඩරල් මහබැංකුවේ ප්‍රධානියා ලෙස වෝකර් නම් කරනු ලැබුවේ ජනාධිපති ජිමී කාටර් විසිනි. එය එක්සත් ජනපදයට මෙන් ම ගෝලීය ධනවාදයට දැවැන්ත අර්බුදකාරී කාලයක් විය. පශ්චාත්-යුද කාලීන ආර්ථික උත්පාතය අවසන් වී, කේන්සියානු ප්‍රතිපත්ති අසාර්ථක වී, බ්‍රෙට්න්වුඞ්ස් පද්ධතිය බිඳ වැටී තිබූ අතර, එක්සත් ජනපදය “එකතැන පල්වීමේ” ග්‍රහනයේ පැවතුනි, ඩොලරය පහත වැටෙමින් තිබූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස පාලනයෙන් තොර උද්ධමනය තම ජීවන තත්ත්වය ආරක්ෂා කිරීමට උත්සාහ කරමින් සිටි කම්කරු පන්තියේ නැගිටීමකට මග පාදා තිබුනි.

ටාෆ්ට්-හාර්ට්ලි පනත යටතේ නිකුත් කරන ලද වැඩ වර්ජන තහනම් නියෝගයක් නො සලකා 1977-78 දී එක්සත් ජනපද ගල් අඟු‍රු පතල් කම්කරුවෝ දින 111 ක් වැඩ වර්ජනය කලහ. පතල් කම්කරුවෝ කාටර්ගේ වැඩට යාමේ නියෝග තම පිකට් වැටවල දී ප්‍රසිද්ධියේ පුලුස්සා දැමූහ. මෙය ආරම්භය පමනක් බවත් ඇමරිකානු ධනවාදයේ ස්ථාවරත්වය සහතික කිරීම සඳහා කම්කරු පන්තියට එරෙහි ව යුද්ධයක් කල යුතු බවත් පාලනාධිකාරිය නිගමනය කලේ ය.

ලෝක ධනවාදී ආර්ථිකයේ ගෝලීයකරනය, දේශීය මෙන් ම විදේශීය වොලඳපොල පංගුව අහිමි වෙමින් සිටි ඇමරිකානු සංගතවලට ලෝකය පුරා ලාභ ශ්‍රම ක්ෂේමභූමිවලට නිෂ්පාදනය මාරු කිරීමේ හැකියාව ඇති කර තිබුනි. ජාත්‍යන්තර ව තම පන්ති සහෝදර සහෝදරියන්ට එරෙහිව කම්කරුවන් කෙටවීමටත්, “තම” එක්සත් ජනපදය පදනම් කරගත් සමාගම්වල ලාභය ඉහල නැංවීම සඳහා දොට්ට දැමීම් හා වැටුප් කප්පාදුවලට තල්ලු‍ කිරීමටත් ඔවුන් ජාතිකවාදී හා ධනවාදී ගැති වෘත්තීය සමිති නිලධරය මත විශ්වාසය තැබූහ.

පන්ති යුද්ධය හා සමාජ ප්‍රතිවිප්ලවය ආරම්භ කිරීමේ සංඥාව නිකුත් වූයේ 1979 මැයි මාසයේ දී බ්‍රිතාන්‍යයේ තැචර් රජය තේරී පත්වීමත් සමග ය. වොල්කර් පත් කරනු ලැබුවේ ඊට මාස තුනකටත් අඩු කාලයකට පසුව ය.

සිදුවීමෙන් දින දෙකකට පසුව ප්‍රසිද්ධ කෙරුනු වෝකර්ගේ පත්වීම පිලිබඳ ලිපියක, වර්කර්ස් ලීගයේ (සමාජවාදී සමානතා පක්ෂයේ පුරෝගාමියා) පුවත්පත වන බුලටින් පත්‍රය මෙසේ ලිවී ය: “ආචීර්නකල්පික බැංකුකරුවෙකු වන පෝල් වෝකර් ෆෙඩරල් මහබැංකු සභාපති ලෙස පත් කිරීම කම්කරු පන්තියට එරෙහිව යුද්ධ ප්‍රකාශ කිරීමකි.”

ඔහු පත් කර තිබුනේ, “ම්ලේච්ඡ දැඩි මුදල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට... කම්කරු පන්තිය හා මධ්‍යම පන්තියේ පවුල් මත පූර්න පරිමානයේ අවපාත තත්වයන් පැටවීමට” යැයි ලිපිය තවදුරටත් සඳහන් කලේ ය.

මිලියන ගනනකගේ රැකියා කපා හැරීම හා 1930ස් ගනන්වලින් මෙපිට දැක නො තිබුනු, ආර්ථික අවපාත දෙකකට එක්සත් ජනපදය ඇද වැටීම නිසා එම අනාවැකිය ඉක්මනින් සනාත විය.

නව පාලන තන්ත්‍රය ඉක්මනින්ම එහි බලපෑම ඇති කිරීමට සමත් විය. 1979 දෙසැම්බරයේ කාටර් පාලනාධිකාරිය ක්‍රයිස්ලර් සංගතයට ඇපදීම සංවිධානය කලේ ය, එහි දී සෘජු වැටුප් හා ප්‍රතිලාභ කප්පාදුව ඇතුලුව එක්සත් මෝටර් රථ කම්කරුවන්ගේ වෘත්තීය සමිතිය විසින් ලබා දුන් සහන වෙනුවෙන් සමාගමට නය ඇපකර ලැබුනි. 1980 දශකය පුරා පැමිනි රටාව සකසමින්, සාමාජිකයන් මත එවැනි පියවර පටවා තිබූ පලමු වෘත්තීය සමිතිය එය විය.

මෙම වැඩසටහන සඳහා මෙවලම වූයේ පොලී අනුපාත ඉහල නැංවීම යි. තම පත්වීමෙන් මසකට පසු, වෝකර් දෙවරක් පොලී අනුපාත ඉහල දැමූ අතර 1980 දෙසැම්බර් වන විට ෆෙඩරල් මහ බැංකුවේ මූලික පොලී අනුපාතය වාර්තාගත සියයට 21.5 ක් විය.

එහි ප්‍රතිඵලය වූයේ ඩෙට්‍රොයිට්, බෆලෝ, පිට්ස්බර්ග්, ඇක්‍රොන්, යංස්ටවුන්, ගැරී වැනි කාර්මික නගර හා තවත් බොහෝ නගරවල ආර්ථික විනාශය යි. මෙම ක්‍රියාවලිය අද දක්වා ම පවතී.

තැචර්ගේ මැතිවරනයෙන් පසුව රේගන් තේරී පත්වීම, කම්කරු පන්තිය ආපසු සටන් කිරීමත් සමග මෙම කාර්මික සිවිල් යුද්ධයේ වේගවත් වීමක් දැක ගත්තේ ය. 1981 අගෝස්තු මාසයේ දී, වැඩ වර්ජනය කරමින් සිටි ගුවන් ගමන් පාලකයන් 12,000 ක් දොට්ට දැමීමට හා අපලේඛන ගත කිරීමට රේගන් නියෝග කලේ ය. ඔහු දොට්ට දැමීම ක්‍රියාත්මක කිරීමට සමත් වූයේ ඒඑෆ්එල්-සීඅයිඕ නිලධරය ගුවන් ගමන් පාලකයන්ට කිසියම් හෝ ඵලදායී සහයෝගයක් දීම අවහිර කර ඔවුන්ගේ වෘත්තීය සමිතිය වන පැට්කෝ විනාශ කිරීමට ඉඩ දුන් බැවිනි.

වෝකර් පසුව වැඩ වර්ජනය කඩාකප්පල් කිරීම ගැන රේගන්ට ප්‍රශංසා කලේ, පැට්කෝ කම්කරුවන්ගේ පරාජය උද්ධමනය පාලනය කිරීමේ වැදගත්ම සාධකය වූ බව ප්‍රකාශ කරමිනි. පැට්කෝ ප්‍රතිඵලය තීරනාත්මක වූයේ “කාරනා කුමක් වුවත්, වෙනත් කාරනා ගැන වෘත්තීය සමිතියේ කේවල් කිරීමේ තත්වය පිලිබඳ එහි මානසික බලපෑමේ දී” යැයි ඔහු පැවසී ය.

මහබැංකු පොලී අනුපාත සැකසීමේ මහබැංකු විවෘත වෙලඳපොල කමිටුවේ සාමාජිකයෙකු 1981 පෙබරවාරි මාසයේ පැවති රැස්වීමක දී ප්‍රශ්නය වඩා සෘජුව ඉදිරිපත් කලේ මෙසේ කියමනි, “එම සියලු‍ කම්කරුවන් හා ඔවුන්ගේ වෘත්තීය සමිති වඩා අඩු වැටුප් පිලිගැනීමට එකඟ වන තුරු උද්ධමනය ස්ථීර ව පරාජය නො කෙරෙනු ඇත... වචනවලින් ඔවුන් පුදුමයට පත් නො වූයේ නම්, සමහර විට තවත් රැකියා මිලියන ගනනක් දියකර හැරීම ඔවුන්ව ඒත්තු ගන්වනු ඇත.”

පැට්කෝ වැඩ වර්ජනය ඊට පසු පැමිනි තඹ පතල්, ගල් අඟු‍රු ආකර, මස් ඇසුරුම් කම්හල්, ගුවන් සමාගම්, වානේ කම්හල් හා මෝටර් රථ කම්හල්වල කාර්මික අරගල සඳහා රටාව සැකසී ය. ආන්ඩුව විසින් ඔවුන්ට එරෙහිව මුදා හරින ලද ප්‍රචන්ඩත්වය පිටුදකිමින්, කම්කරුවන් තම වැටුප් හා කොන්දේසි ආරක්ෂා කර ගැනීම සඳහා දැඩි සටනක නිරත වූ නමුත්, කලමනාකරනය හා ධනේශ්වර ආන්ඩුව සමග විවෘතව ම පෙල ගැසෙමින්, තම ව්‍යාපාරික දර්ශනය එහි තර්කානුකූල අන්තයට ගෙන ගිය සංගතවාදී වෘත්තීය සමිති නිලධරය විසින් හුදකලා කර පරාජය කෙරුනි. ප්‍රතිඵලය වූයේ කම්කරුවන්ගේ ආරක්ෂාව සඳහා සංවිධාන ලෙස පැවති වෘත්තීය සමිති විනාස කිරීම හා අද මෙන් සංගතවල සහ බැංකුවල නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා ඒජන්සි බවට ඒවා පරිවර්තනය කිරීම යි.

වෝකර්ගේ “උරුමයේ” තවත් පැතිකඩක් ඇත, එය කාලයත් සමඟ වෙන කවරදාටත් වඩා වැදගත්කමක් ආරෝපනය කරගෙන ඇත. 1980 ගනන්වල කර්මාන්තයේ ප්‍රධාන අංශ විනාස කිරීම, එය තුල ලාභ සමුච්චයනය පෙර නො වූ විරූ මූල්‍ය පරපුටුකමක රූපාකාරය ක්‍රියාදාමයක ආරම්භය විය. එහි දී සතුරු අත්පත් කර ගැනීම්වල දී සමාගම් මිල දී ගෙන ඒවා හිස්කර දමා සංරචක කොටස් විකුනා දැමුනි. ධන සමුච්චයනය සිදු කරනු ලැබුවේ ඵලදායී නිෂ්පාදන ක්‍රියාකාරකම් මගින් නො ව, නය මගින් මූදල්‍ සැපයුනු මූල්‍ය හැසිරවීම් මාර්ගයෙනි. මෙම ක්‍රියාවලිය අද පෙර නොවූ විරූ මට්ටමකට ලඟා වී තිබේ.

වෝකර් 1987දී තම ධුර කාලය අවසන් කල අතර ඔහු වෙනුවට පත් කෙරුනු ඇලන් ග්‍රීන්ස්පෑන්, කම්කරු පන්තියට එරෙහි වෝකර්ගේ පන්ති යුද්ධය මග හෙලිකල නව ධන සමුච්චයන පිලිවෙතේ උත්කෘෂ්ට නියෝජිතයෙක් විය. 1987 කොටස් වෙලඳපොල ඇද වැටීමට ප්‍රතිචාර වශයෙන්, බැංකු හා මූල්‍ය ආයතනවලට මහබැංකුවේ මූල්‍ය ඇබ විවෘත බව ප්‍රකාශ කල අවස්ථාවේ ග්‍රීන්ස්පෑන්ගේ න්‍යායපත්‍රය පැහදිලි විය. එකී ප්‍රතිපත්තිය ඔහුගේ අනුප්‍රාප්තකයින් විසින් අඛන්ඩ ලෙස ඉදිරියට ගෙන ගොස් ගැඹුරු කරන ලදී.

එහෙත් වෝකර්ගේ භූමිකාව අවසන් නොවීය. 2008 නොවැම්බරයේ දී, ගෝලීය මූල්‍ය අර්බුදය ඉක්බිත්තේ, ජනාධිපති ඔබාමා විසින් කම්කරු පන්තියේ මෙම චිරකාලීන හතුරා ධවල මන්දිර උපදේශක මන්ඩලයක ප්‍රධානියා ලෙස පත් කරනු ලැබුවේ අර්බුදය සමග ගනුදෙනු කිරීමේ පියවර කුමන්ත්‍රනය කිරීමට ය. යූඒඩබ්ලිව් වෘත්තීය සමිතිය සමග සහයෝගයෙන් ක්‍රයිස්ලර් හා ජෙනරල් මෝටර්ස් ඇපදීම එහි එක් ප්‍රධාන පියවරක් විය. එය ඇමරිකානු කම්කරුවන්ගේ වැටුප් කප්පාදු කර ඇති හා සියලු‍ අනියම් සේවා කොන්දේසි සඳහා මාවත විවර කර ඇති වර්තමාන කුප්‍රකට ද්වි-ස්ථර වැටුප් ක්‍රමය ශක්තිමත් කලේ ය.

ඔහුගේ ජීවිතයේ අවසාන කාල පරිච්ඡේදයේ දී, වෝකර් මූල්‍ය පද්ධතියේ අධික නියාමනහරනය පිලිබඳ ව තරමක් විවේචනාත්මක විය. ලාභ පද්ධතියේ අනාගතය කෙරෙහි දැඩි අවධානයෙන් සිටි ඔහු, එය මූල්‍ය අස්ථාවරත්වයට හා තමා විසින් මර්දනය කිරීමට උත්සාහ කර තිබූ පන්ති අරගලය පුපුරා යාමට හේතු වනු ඇතැයි බිය විය.

කෙසේ වෙතත්, මූල්‍ය ප්‍රාග්ධනයේ වඩාත් පරපෝෂිත පියවරයන් මැඩපැවැත්වීම සඳහා ඉතා සීමිත උත්සාහයක් ගත් ඊනියා වෝකර් පාලනය අහෝසි වෙමින් පවතී.

ඔහුගේ මරනයෙන් පසු වෝකර් මත ගොඩගැසෙමින් තිබෙන ප්‍රශංසාවල තේමාවන්ගෙන් එකක් වන්නේ ඔහු ධනේශ්වර ආර්ථිකයට හා මූල්‍ය පද්ධතියට ස්ථාවරත්වයක් ගෙන දුන්නේ ය යන්න යි. සත්‍යයෙන් ඈත තවත් කිසිවක් විය නො හැකි ය.

ඇමරිකානු හා ලෝක ධනවාදය ඩොලර් ට්‍රිලියන 255ක් හෝ ගෘහ ලෝකයේ සෑම පිරිමියෙකු, ගැහනියක හා දරුවෙකු වෙනුවෙන් ඩොලර් 32,500ක් යැයි ගනන් බලා ඇති, එමෙන් ම ඇතුලතින් පුපුරා යාමට තර්ජනය කරන නය කන්දක් මත වාඩි වී සිටී. ඔහු නිර්මානය කිරීමට උදව් කල සමාජ අසමානතාවය පන්ති අරගලයේ ජාත්‍යන්තර නැගිටීමක් ඇති කරමින් තිබේ.

මෙම නව තත්වයන් තුල, පෝල් වෝකර්ගේ ජීවිතය හා කාලයෙන් ඇමරිකානු හා ජාත්‍යන්තර කම්කරු පන්තිය විසින් උගත යුතු පාඩම් මොනවා ද?

එයට පසු බැසීමට ඉඩක් නැති අර්බුද අවස්ථාවක දී, බලයේ සිටීමට උත්සාහ ගන්නා පාලක පන්තිය තම සියලු ප්‍රතිවිප්ලවවාදී ඓතිහාසික අත්දැකීම් ඇද ගනිති යි ලියොන් ට්‍රොට්ස්කි වරක් සඳහන් කලේ ය. එවැනි අත්දැකීම් 1980 ගනන්වල පන්ති ගැටුම් වලදී වෝකර්ගේ භූමිකාව තුල අන්තර්ගත විය.

දැන්, පන්ති අරගලය ඊටත් වඩා පුපුරන සුලු‍ හා පුලුල් මානයන් අත්කරගැනීමත් සමග, ධනේශ්වරය එයට එරෙහි වීම සඳහා ඒකාධිපති හා සෘජු ෆැසිස්ට් පාලන රූපාකාරයන් වර්ධනය කිරීමට උත්සාහ ගනිමින් සිටීමත් සමග, ට්‍රොට්ස්කි ලියූ පරිදි කම්කරු පන්තිය මුහුන දෙන කර්තව්‍යය සමන්විත විය යුත්තේ, “ධනේශ්වරයේ ගැඹුරින් සිතා බැලූ ප්‍රති-විප්ලවවාදී මූලෝපාය පිටුදැකීමේ දී, ඒ ආකාරයෙන් ම අවසානය දක්වා සිතා බැලූ, තමන්ගේ ම විප්ලවවාදී මූලෝපයකිනි.”

නික් බීම්ස්

Share this article: