ට්‍රම්ප් පරිපාලනයේ ආහාර සලාක කප්පාදු හෙලි කරන්නේ මිලියන ගනනක් සඳහා සාගින්න හා අසරන භාවයයි

Trump administration food stamp cuts spell hunger and destitution for millions

2019 දෙසැම්බර් 6

ගනන් කල නො හැකි තරම් පවුල්වල සාගින්න වැඩි කරමින්, ආසන්න වශයෙන් පුද්ගලයන් 700,000ක් දෙනා අතිරේක පෝෂන ආධාර වැඩසටහනේ ප්‍රතිලාභවලින් ඉවත් කරනු ඇති නෛතික වෙනසක් ට්‍රම්ප් පාලනාධිකාරිය විසින් සඳුදා නිවේදනය කලේ ය.

කලින් ආහාර සලාක වැඩසටහන ලෙස හැඳින්වූ අතිරේක පෝෂන ආධාර වැඩසටහන (එස්එන්ඒපී) දැනට මිලියන 36 කට අධික පුද්ගලයන්ට අත්‍යවශ්‍ය ෆෙඩරල්(මධ්‍යම ආන්ඩු) ආධාර සපයයි.

2020 අප්‍රේල් මාසයේ සිට, ප්‍රතිලාභ ලැබීමට යැපෙන්නන් නොමැති, වයස අවුරුදු 18- 49 අතර වැඩිහිටියන්ට මෙම නීතිය වඩා දුෂ්කර එකක් වනු ඇත. මෙම පුද්ගලයින් සතියකට අවම වශයෙන් පැය 20 ක් වැඩ නොකලොත් මෙම ආධාර නොලැබෙන්නේය යන අවශ්‍යතාව කපා හැරීම, නිල විරැකියා අනුපාතය සියයට 6 ක් හෝ ඊට වැඩි ප්‍රාන්තවලට පමනක් මෙම ආධාර සඳහා අවසර දී‍ම මගින් වඩාත් අපහසු කර ඇත. දැනට, රැකියා විරහිත අනුපාතය සියයට 2.5 ට වඩා අඩු ඇතැම් ප්‍රදේශ අත්හල ප්‍රදේශවලට ඇතුලත් කර ඇත.

ආහාර සලාකය ඉදිරිපත් කර තමන්ගෙන් මිල දී ගැනීම් කල හැකි බවට, ස්ටිකර මගින් ප්‍රදර්ශනය කර ඇති නිව් ජර්සි ප්‍රාන්තයේ බටහිර නිව්යෝර්ක්හි සුපර්මාර්කැට්ටුවක්. (AP Photo/Seth Wenig)

දහස් ගනනක් කුටුම්භ සාගින්නේ තබනු ඇති මෙම පියවර මුද්‍රිත හා විකාශන මාධ්‍ය, බොහෝ දුරට නො සලකා හැර ඇත. ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති රුසියාවට එරෙහිව ප්‍රමානවත් තරම් ආක්‍රමනශීලී නො වන බවට කරන ප්‍රකාශ මත කේන්ද්‍රගත වෙමින්, ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝග විමර්ශනය කෙරෙහි අවධානය යොමු කරමින් කොන්ග්‍රස් ඩිමොක්‍රටිකයින් ද මෙම ව්‍යාපාරයට සම්බන්ධ වී තිබේ.

එයට හේතුව වන්නේ, ජනතාවගේ ජීවන තත්වයන්ට පහර දීමේදී ට්‍රම්ප් මහා ව්‍යාපාරික පක්ෂ දෙක විසින් සහාය දෙනු ලබන ද්විපක්ෂ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරමින් සිටීම යි. 2014 දී ජනාධිපති ඔබාමා විසින් ඉදිරි දශකය තුල ඩොලර් බිලියන 8.7 ක ආහාර සලාක ප්‍රතිලාභ කපා හැරීමේ නීතියට අත්සන් තැබුවේ, කුටුම්භ 850,000 කට මසකට ඩොලර් 90 ක සාමාන්‍ය ආදායමක් අහිමි කරමිනි.

මෙම වසර මුල දී කරන ලද අධ්‍යයනයකට අනුව වෙනස මුලින් යෝජනා කල අවස්ථාවේ, එය දුප්පත්ම හා වඩාත් අවදානමට ලක්විය හැකි අයට: එනම් දරිද්‍රතාවේ ජීවත්වන එස්එන්ඒපී ප්‍රතිලාභින් සියයට 97ට, දරිද්‍රතා මට්ටමෙන් සියයට 50 ක් හෝ ඊට අඩු හෝ මසකට ඩොලර් 600 ට අඩු කුටුම්භ අදායම් ඇති සියයට 88 ට බලපෑමට නියමිත විය.

වැඩ-නීති වෙනස තවත් යෝජනා දෙකක් සමඟ බැඳී ඇත. එකක් උපයෝගිතා දීමනා සඳහා අඩු කිරීමේ සීමා පැනවීමට ද අනෙක මිලියනයකට ආසන්න සිසුන්ට අඩු වියදම් හෝ නොමිලේ දිවා ආහාරය සඳහා ප්‍රවේශය අහිමි වීමට ද හේතු වනු ඇත. නාගරික ආයතනය ඇස්තමේන්තු කර ඇති පරිදි මෙම යෝජනා තුන මසකට පුද්ගලයන් 3.6ක් එස්එන්ඒපී ප්‍රතිලාභවලින් කපා හරිනු ඇත. කෘෂිකර්ම ලේකම් සොනී පර්ඩූගේ වචනවලින් කියතොත්, අසරන හා සමාජයේ වඩාත්ම අවදානමට ලක්වන දරුවන් ඇත්ත වශයෙන් ම හාමතේ තබනු ඇති මෙම පියවරයන්, “අපගේ ජනගහනයේ සැලකිය යුතු කොටසකගේ රැකියාවේ ගෞරවය යථා තත්වයට පත් කරනු ඇත්තේ, වැඩසටහනට අරමුදල් සපයන බදු ගෙවන්නන්ට ගරු කරන අතර ය. ”

යථාර්ථයේ දී, පර්ඩියුගේ මනස්කල්පිත දැක්මට “රැකියාවේ ගෞරවය” යථා තත්වයට පත් කිරීම හා ට්‍රම්ප්ගේ බදු කප්පාදුවේ ප්‍රතිලාභීන් වී සිටින්නා වූ, දැනටමත් සුපිරි ධනවතුන් වන්නන්ගේ ධනය වැඩි කරන අතර ම මිලියන ගනනක් ඇමරිකානුවන් තවදුරටත් දරිද්‍රතාවයට ඇද දැමීම හා සමාජ ශුභසාධන වැඩසටහන් මත ප්‍රහාර සමග සම්බන්ධයක් නැත. ෆෝබ්ස් සඟරාවට අනුව පර්ඩියුගේ වර්තමාන ශුද්ධ වටිනාකම ඩොලර් මිලියන 5 ක් වන අතර අධ්‍යාපන ලේකම් බෙට්සි ඩෙවෝස් හා සසඳන විට ඔහු පහල පෙල ක්‍රීඩකයෙකි. ඩෙවොස්ගේ ශුද්ධ වත්කම ඩොලර් බිලියන 2 ක් වන අතර එය ට්‍රම්ප්ගේ කැබිනට් මන්ඩලයේ ඉහලම අගය යි.

කෘෂිකර්ම ලේකම් මෙන්ම හිටපු ජෝර්ජියා ආන්ඩුකාරවරයා කෘෂි ව්‍යාපාර හා දේපල වෙලඳාමේ දී ධනය ගොඩනගා ගත්තේ ය. ට්‍රම්ප්ගේ කැබිනට් මන්ඩලයට සම්බන්ධ වී ටික කලකට පසු ඔහු අවම වශයෙන් ඩොලර් මිලියන 8 ක් වටිනා ආයෝජන පාලනය සිය වැඩිහිටි දරුවන්ට මාරු කලේ ය. ආහාර මුද්දරවලට පහර දීමට නායකත්වය දුන් ට්‍රම්ප්ගේ නිලධාරියා කෘෂි ව්‍යාපාරයෙන් ලාභ ලබමින් තම ධනය රැස් කර ගත් අතර මූල්‍යමය වශයෙන් විනාශයට පත්වූ මිඩ්වෙස්ට් ගොවි පවුල් අතර සියදිවි නසාගැනීම් ඉහල යමින් තිබීම කුරිරු උත්ප්‍රාසයකි.

නාගරික ආයතනයේ ඇස්තමේන්තුවකට අනුව, එස්එන්ඒපී නීති තුනක් වෙනස් කිරීම මගින් ප්‍රාන්ත 13 ක ආහාර මුද්දර ලැයිස්තු අවම වශයෙන් සියයට 15 කින් අඩු කෙරෙනු ඇත. අවසාන අඩු කිරීම් කොලොම්බියා දිස්ත්‍රික්කයට (සියයට 24ක්) සහ නෙවාඩා ප්‍රාන්තයට (සියයට 22ක්) බලපානු ඇත. ප්‍රාන්ත නවයක සමස්ත ප්‍රතිලාභ අවම වශයෙන් සියයට 15 කින් පහත වැටෙනු ඇත.

කැලිෆෝනියාවේ පමනක්, ඇස්තමේන්තුගත 200,000 ක පිරිසකට රැකියා අවශ්‍යතාවල වෙනස් කම් මත සීමා කිරීම් හේතුවෙන් ප්‍රතිලාභ අහිමි විය හැකි ය.

වර්මොන්ට්, නිව් යෝක් හා දකුනු ඩැකෝටා වැනි සීතල කාලගුනික ප්‍රාන්තවල වෙසෙන ඇමරිකානුවන්, උපයෝගිතා පිරිවැය සඳහා මිනිසුන්ට අඩු කල හැකි මුදල අඩු කිරීමේ නීතියෙන් වැඩිම පීඩාව විඳිනු ඇත. බොහෝ දුරට ග්‍රාමීය වර්මොන්ට් ප්‍රාන්තයට තම ආහාර මුද්දර ආධාරවලින් සියයට 22 ක් පමන අහිමි වන අතර නිව්යෝක්, දකුනු ඩැකෝටා හා මේන් ප්‍රාන්තවලට සියයට 11ක් පමන අහිමි වේ. සමස්ත උපයෝගිතා පිරිවැය වසර පහක දී ආහාර සලාක වියදම ඩොලර් බිලියන 4.5 කින් අඩු කරනු ඇති බව එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඇස්තමේන්තු කරයි.

හන්ගර් ෆ්‍රී වර්මොන්ට් නම් රාජ්‍ය නොවන සංවිධානයට අනුව, වර්මොන්ට් වැසියන් 10දෙනෙකුගෙන් 7 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් එස්එන්ඒපී ප්‍රතිලාභවල කප්පාදුවක් දකිනවා ඇත්තේ, නියමානුකූල ප්‍රතිලාභය සියයට 40 කින් පමන අඩු කිරීම සමගිනි. එය දැනටමත් ඉතා තුච්ඡ මසකට ඩොලර් 215 සිට ඩොලර් 133 දක්වා පහල දැමීමකි. ලාභ නො ලබන ආහාර පර්යේෂන හා ක්‍රියාකාරී මධ්‍යස්ථානයේ නීති අධ්‍යක්ෂිකා එලන් වොලින්ජර් පැවසුවේ, උපයෝගිතා පිරිවැය යෝජනාව මගින් “කෑම හෝ උනුසුම් වීම තෝරා ගැනීමට” මිනිසුන්ට බල කෙරෙනු ඇති බව යි.

මෙම ඕනෑම පියවරක් මිනිසුන්ට රැකියා සොයා ගැනීමට උපකාරී වනු ඇතැ යි යන්න මිථ්‍යාවකි. හංගර් ෆ්‍රී උපදේශකයින් අවධාරනය කර ඇත්තේ බලපෑමට ලක් වන බොහෝ දෙනා දරිද්‍රතාවයෙන් පෙලෙන, ග්‍රාමීය ප්‍රදේශවල ජීවත් වන, හා බොහෝ විට මානසික සෞඛ්‍ය ගැටලු හා ආබාධවලට මුහුන දෙන අය වන බව යි. “මෙම ප්‍රතිපත්තිය ඉලක්ක කර ඇත්තේ වැඩ කිරීමට පොරබදන ඉතා දුප්පත් ජනතාව යි. ඔවුන්ගෙන් සමහරෙක් නිවාස නොමැති හෝ සෞඛ්‍ය ගැටලු තත්වයන් සහිතව ජීවත් වෙති” යනුවෙන් අයවැය සහ ප්‍රතිපත්ති ප්‍රමුඛතා පිලිබඳ මධ්‍යස්ථානයේ ආහාර ආධාර ප්‍රතිපත්ති උප සභාපති ස්ටේසි ඩීන් එන්බීසී ප්‍රවෘත්ති සේවයට පැවසුවා ය. “මෙම පුද්ගලයන්ගෙන් මූලික ආහාර ආධාර ඉවත් කිරීම මගින් දුෂ්කරතා හා කුසගින්න වැඩි කරනු ඇත්තේ, ස්ථාවර පූර්න කාලීන රැකියාවක් සොයා ගැනීමට ඔවුන්ට උදව් කිරීමට කිසිවක් නො කරමිනි. ”

එහෙත් ට්‍රම්ප් පාලනාධිකාරිය දල දේශීය නිෂ්පාදනයේ නැගීම රටේ ආර්ථික සෞඛ්‍යය පිලිබඳ දර්ශකයක් ලෙස කයිවාරු ගැසීම සමග, ඇමරිකානු සමාජ අර්බුදයේ නව සංඥා පෙන්නුම් කරන්නේ දුක් වේදනා හා අපේක්ෂා භංගත්වයේ වැඩිවීමක් මිස අඩුවීමක් නො වන අතර ආහාර ආධාර කප්පාදුවලින් එය උග්‍ර වනු ඇති බව පමනි.

එක්සත් ජනපදය තුල අඛන්ඩව තුන්වන වසර දක්වා ජීවිතාපේක්ෂා කාලය පහත වැටී ඇත. වඩාත් කනගාටුදායක ලෙස, එස්එන්ඒපී නිති වෙනස්වීම් මගින් ඉලක්ක කෙරෙන අය සමග අන්තර් සම්බන්ධ, වයස අවුරුදු 25 ත් 64 ත් අත‍ර වන වයස් කාන්ඩයට අයත්, සාපේක්ෂව තරුන පුද්ගලයන්ගේ වැඩිවන්නා වූ සංඛ්‍යාවක් මිය යමින් සිටිති.

මේ අය නිරෝගී සමාජයක ඔවුන්ගේ වැඩ කරන ජීවිතයේ උත්තම අවස්ථාවේ සිටිනු ඇත. ඒ වෙනුවට, වැඩිවන සංඛ්‍යාවක් පුද්ගලයෝ “බලාපොරොත්තු සුන්වීමේ රෝගවලින්”: සියදිවි නසා ගැනීම, මත්පැන් සහ මත්ද්‍රව්‍ය අධික ලෙස පානය කිරීමෙන් මිය යමින් සිටිති. දියවැඩියාව, ස්වයං ප්‍රතිශක්තිකරන ආබාධ, තරබාරුකම හා අධි රුධිර පීඩනය වැනි රෝග තත්වයන් ඇතුලුව අවම වශයෙන් වෙනත් හේතු 35 ක ප්‍රතිඵලයක් ලෙස මැදි වයසේ මරන අනුපාතය ද ඉහල ගොස් තිබේ.

සෞඛ්‍ය රක්‍ෂනයක් නොමැති අය පුද්ගලික රක්‍ෂනකරුවෙකුගෙන් ආවරනයක් ලබා ගත යුතු ය යන දැරිය හැකි සත්කාර පනතේ අවශ්‍යතාවය හේතුවෙන් රක්‍ෂනය නො වූ අනුපාතය පහත වැටුන ද, එම අනුපාතය දැන් යලිත් ඉහල යමින් තිබේ. පූර්න ලෙස රක්ෂනය නො කෙරුනු හා තම සාක්කුවෙන් යන ඉහල වියදමේ බරින් පෙලෙන සංඛයාව වැඩි වෙමින් සිටින්නේ, පුද්ගලික බංකොලොත් භාවය සඳහා නඩු පවරන පුද්ගලයින්ගේ සංඛ්‍යාව ඉහල යාමට මග පාදමිනි.

ලාභ නොපතන සංවිධාන දෙකක නව වාර්තාවකින් හෙලි වන්නේ 2019 දී ඇමරිකානුවන් මිලියන 2 කට වඩා වැඩි පිරිසකට ගෘහස්ථ ජලනල හෝ නල ජලය සඳහා ප්‍රවේශය නොමැති බව යි. ෆ්ලින්ට් ජල අර්බුදය හුදකලා සිදුවීමක් නො වන බවත්, රට පුරා ගනන් නැති මහනගර හා නගරවල ජල සැපයුම භයානක ඊයම් මට්ටමකින් දූෂනය වී ඇති බවත් නව සංඛ්‍යාලේඛනවලින් පෙනී යයි.

ප්‍රමානවත් පෝෂනය, ජලය හා සෞඛ්‍ය සේවා සඳහා වන මූලික මානව අයිතීන් ආරක්ෂා කිරීම මහා ව්‍යාපාරික පක්ෂ දෙකෙන් එකකටවත් බාර දිය නොහැක. එස්එන්ඒපී ප්‍රතිලාභ මත ට්‍රම්ප් පාලනාධිකාරියේ පහර දීම මතු කරන්නේ ලාභය නො ව, මානව අවශ්‍යතාවන්ගේ පදනම මත සමාජයේ සමාජවාදී සංවිධානය සඳහා සටන් කරන විප්ලවවාදී නායකත්වයක් ගොඩනැගීම මගින් මෙම සමාජ අයිතීන් ආරක්ෂා කිරීමට කම්කරු පන්තිය තමන්ගේ ම ස්වාධීන ආරක්ෂක වැඩපිලිවෙලක් අනුගමනය කිරීමේ අවශ්‍යතාව යි.

කේට් රැන්ඩල්

Share this article: