ඉන්දියාවේ වාර්ගික ප්‍රතිගාමිත්වයට එරෙහි සටන සමාජවාදය සඳහා වන අරගලයයි

The fight against communal reaction in India is the fight for socialism

2019 දෙසැම්බර් 21

අගමැති නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂ ආන්ඩුව, මුස්ලිම් විරෝධී ආන්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත (සීඒඒ) දෙසැම්බර් 12 වන දින පාර්ලිමේන්තුව තුලින් ගෙන ආ දින සිට වර්ධනය වන මහජන විරෝධතා රැල්ලකින් ඉන්දියාව කම්පනයට පත්ව තිබේ.

ස්වාධීන ඉන්දියානු ඉතිහාසයේ ප්‍රථම වතාවට පුරවැසිභාවය තීරනය කිරීමේ දී, සීඒඒ මඟින් ආගම උපමානයක් කර ගනියි. එය වනාහි, භාරතීය ජනතා පක්ෂයේ සහ එහි දෘෂ්ටිමය උපදේශකයා වන ඡායා, ෆැසිස්ට් ආර්එස්එස් සංවිධානය විසින් ඉන්දියාව හින්දු රාෂ්ට්‍රයක් හෝ රාජ්‍යයක් බවට පරිවර්තනය කිරීමේ සිය මූලික එල්ලය ඉටුකර ගැනීම දෙසට තබන ලද වැදගත් පියවරකි. එහිදී මුස්ලිම් සුලු‍තරය “ඉවසනු” ලබන නමුත් ඒ ඔවුන් හින්දු ආධිපත්‍යය පිලිගන්නාතාක් දුරට පමනි.

2019 දෙසැම්බර් 20 සිකුරාදා ඉන්දියාවේ නල්බාරි හි දී පුරවැසි නීතියට එරෙහි උද්ඝෝෂනය [ ඡායාරූපය අනුග්‍රහය/අනුපම් නාත් (AP Photo/Anupam Nath)]

සීඒඒ විරෝධී උද්ඝෝෂන වලදී මුස්ලිම් සිසුන් හා තරුනයින් ඉදිරියෙන් සිටී. එහෙත් විරෝධතා ආගමික-නිකායික, ජනවාර්ගික හා කුල භේදයන් කපාගෙන ඉන්දියාවේ සෑම ප්‍රදේශයක්ම ගිල ගෙන තිබේ.

පුරවැසි නීතියට එරෙහි පෙලපාලි පිටුපසින්, ඇමරිකාවේ සිට යුරෝපය, ආසියාව සහ අප්‍රිකාව දක්වා විහිදෙන පන්ති අරගලයේ ගෝලීය නැගිටීමක කොටසක් ලෙස ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ වැඩ වර්ජන රැල්ලක් ඇතිවෙමින් තිබේ.

කැලඹීමට පත් භාරතීය ජනතා පක්ෂ ආන්ඩුව සීඒඒ විරෝධතාවන්ට ප්‍රතිචාර දක්වන්නේ, මහජන මර්දනයකිනි. උතුරු ඉන්දියාවේ ආරක්ෂක අංශ සමඟ ඇති වූ ගැටුම්වලින් සිකුරාදා අවම වශයෙන් පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය. උත්තර් ප්‍රදේශ් (ජන ගහනය මිලියන 230) සහ කර්නාටක (මිලියන 65) හා අගනුවර වන දිල්ලියේ සමහර කොටස් ද ඇතුලුව රටේ විශාල ප්‍රදේශවල, අපරාධ නීති සංග්‍රහයේ 144 වන වගන්තිය ආන්ඩුව විසින් ක්‍රියාත්මක කර ඇති අතර, සිව්දෙනෙකුට වඩා රැස්ව සිටීම ඒ අනුව නීති විරෝධීවේ. මිලියන ගනනකගේ අන්තර්ජාල පහසුකම් හා සමහර අවස්ථාවල ජංගම දුරකථන සේවාව ද කපා හැර ඇත.

සීඒඒ යටතේ, 2015 ට පෙර ඇෆ්ගනිස්ථානය, පාකිස්තානය සහ බංග්ලාදේශය යන රටවලින් ඉන්දියාවට සංක්‍රමනය වූ මුස්ලිම්වරුන් නොවන සියලු‍ දෙනාට කෙලින්ම පුරවැසිභාවය ලැබේ. මෙය ඊටත් වඩා රුදුරු වර්ගවාදී ව්‍යාපෘතියකට සූදානම් වීමකි: ඉන්දියාවේ පුරවැසිභාවය ලැබීමට සුදුසුකම් ඇති බවට බලධාරීන් තෘප්තිමත් වන පරිදි කටයුතු කිරීමට ඉන්දියාවේ බිලියන 1.3 ක ජනතාවට බල කිරීම.

භාරතීය ජනතා පක්ෂයේ ජාතික පුරවැසි ලේඛනයෙහි (එන්ආර්සී) එකම අරමුන, මුස්ලිම්වරුන් බිය ගැන්වීම, හිරිහැර කිරීම සහ හිංසනයට ලක් කිරීම බව සීඒඒ හි ඡේදයෙන් පැහැදිලි වේ. මන්ද ඔවුන් සහ ඔවුන් පමනක් “නොරටුන්” යැයි හංවඩු ගැසීමේ තර්ජනයට ලක්වන අතර එමඟින් සියලු‍ පුරවැසි අයිතිවාසිකම් අහිමි වන අතර රඳවා තබා ගැනීමට සහ නෙරපා හැරීමට යටත් කිරීම නිසාය.

සීඒඒ හා එන්ආර්සී යනු භාරතීය ජනතා පක්ෂ ආන්ඩුව විසින් දියත් කරන ලද වර්ගවාදී ප්‍රකෝප කිරීම් මාලාවක නවතම නීති පමනි.

ආන්ඩුව, ඉන්දියාවේ මුස්ලිම් බහුතරයක් ජීවත් වන හුදෙකලා ජම්මු හා කාශ්මීරයට විශේෂීතවූ අර්ධ ස්වයං පාලන තත්ත්වය අගෝස්තු 5 වන දින නීති විරෝධී ලෙස අවලංගු කර කලාපය මධ්‍යම රජයේ ස්ථිර පාලනය යටතට පත් කලේය. මෙම ආන්ඩුක්‍රම ව්‍යවස්ථා කුමන්ත්‍රනය බලාත්මක කර ඇත්තේ, දස දහස් ගනනක් අතිරේක ආරක්ෂක හමුදා යොදවමින් ද දහස් ගනනක් චෝදනා රහිතව රඳවා තබා ගනිමින් සහ මාස ගනනාවක් තිස්සේ ජංගම දුරකථන සහ අන්තර්ජාල ප්‍රවේශය අත්හිටුවීමෙනි.

මෝඩි ආන්ඩුවේ සහ ආර්එස්එස් හි ඉල්ලීම්වලට අනුව ශ්‍රේෂ්ඨාධිකරනය පසුගිය මාසයේදී තීන්දු කලේ, භාරතීය ජනතා පක්ෂ නායකත්වයේ උසිගැන්වීම මත 1992 දී හින්දු අන්තවාදීන් එය කඩා බිඳ දමන තෙක්, අයෝධ්‍යාවේ බබ්රි මස්ජිඞ් (මුස්ලිම් පල්ලිය) තිබූ තැන හින්දු කෝවිලක් ඉදි කල යුතු බවයි. “අනාගමික ප්‍රජාතන්ත්‍රවාදී”‍ ඉන්දියාවට සිදුව ඇති දේ ගැන ඉන්දියාවේ මුස්ලිම් සහ හින්දු කම්කරුවන්, සිසුන් සහ වෘත්තිකයන් අතර කෝපයක් හා පිලිකුලක් ද එයට එරෙහි වීමේ අධිෂ්ඨානයක් ද පවතී.

එහෙත් ජය ගැනීමට නම් ඔවුන් ජාත්‍යන්තරවාදී හා සමාජවාදී මූලෝපායකින් සන්නද්ධ විය යුතුය. ධනේශ්වරය අන්ත-ජාතිකවාදය, ෆැසිස්ට්වාදය සහ අඥාදායකත්වය වෙත හැරෙන තතු හමුවේ එයට සාර්ථකව මුහුන දිය හැක්කේ, ධනේශ්වර පාලක පන්තියට සහ එහි සියලු‍ දේශපාලන නියෝජිතයින්ට එරෙහිව කම්කරු පන්තිය ස්වාධීනව දේශපාලනිකව බලමුලු‍ ගැන්වීමෙන් සහ කම්කරු බලය සඳහා අරගලයෙන් පමනි.

ගෝලීය සංසිද්ධියක්

මෝඩි ආන්ඩුව සහ එහි ජාතිවාදී ප්‍රහාරය විශ්වීය සංසිද්ධියක ඉන්දියානු ප්‍රකාශනයයි.

දිනෙන් දින ගැඹුරු වන සමාජ අසමානතාවය, වර්ධනය වන ගෝලීය පන්ති අරගල සහ වෙලඳපල, සම්පත් සහ භූ මූලෝපායික වාසි සඳහා උමතු අන්තර් ධනවාදී අරගලයක් මධ්‍යයේ, සෑම තැනකම ධනේශ්වරය ඒකාධිපති පාලන ක්‍රම වෙත හැරී අන්ත දක්ෂිනාංශික හා ෆැසිස්ට් බලවේග වර්ධනය කරමින් සිටී.

ඉන්දියාව, තුර්කිය හෝ බ්‍රසීලය වැනි කල්පසු වූ ධනවාදී වර්ධනයක් සහිත රටවලට නොඅඩු ලෙස අධිරාජ්‍යවාදී “ප්‍රජාතන්ත්‍රවාදී රටවල්” සම්බන්ධයෙන් මෙය සත්‍යයකි.

එක්සත් ජනපදය තුල ට්‍රම්ප්, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහිව දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් සිටින අතර, හමුදාවට හා පොලිසියට ආයාචනා කරමින් ද සමාජවාදය දැඩි ලෙස හෙලා දකිමින් ද ෆැසිස්ට් ව්‍යාපාරයක් වර්ධනය කිරීමට උත්සාහ කරයි.

ප්‍රන්ස ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්, විචි නාසි සහකාරක මාෂල් පිටේන් පුනරුත්ථාපනය කිරීමට පියවර ගෙන ඇති අතර දැවැන්ත සමාජ කප්පාදුවක් පැනවීම සහ ආක්‍රමනශීලී ප්‍රන්ස මිලිටරිවාදය පුනර්ජීවනය කිරීමට එරෙහි සමාජ විරෝධය ප්‍රචන්ඩ ලෙස මර්දනය කිරීමට නැවත නැවතත් නියෝග කලේය. ජර්මනියේ බුද්ධි අංශ සහ පාලක ප්‍රභූව නව නාසි ඒඑෆ්ඩී ප්‍රවර්ධනය කරන අතර එය පාර්ලිමේන්තුවේ නිල විපක්ෂය බවට පත් කර තිබේ.

2014 දී මෝඩි ඉන්දියානු මහා ව්‍යාපාරිකයන් විසින් බලයට තල්ලු‍ කරනු ලැබුවේ, ලෝක වේදිකාව මත සිය කොල්ලකාරී අවශ්‍යතා වඩාත් ආක්‍රමනශීලී ලෙස තහවුරු කර ගැනීම සඳහා සහ සමාජීය වශයෙන් ගිනි අවුලු‍වන සුලු‍ ආයෝජක ගැති ප්‍රතිපත්ති බලහත්කාරයෙන් ක්‍රියාවට නැංවීමටය.

හින්දු දක්ෂිනාංශයේ අධිපතිවාදී න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමටත්, නව ලිබරල් ප්‍රතිසංස්කරන පැනවීමටත්, පුද්ගලීකරනයේ නව රැල්ලක් සහ මහා ව්‍යාපාර සඳහා දැවැන්ත බදු කප්පාදුවක් ද ඇතුලු පියවර භාරතීය ජනතා පක්ෂයේ දෙවන ධුර කාලයේ පලමු මාස හය තුලදී එකවර හා වේගවත්ව ක්‍රියාවට නඟා තිබේ.

මෝඩි සහ ඔහුගේ ප්‍රධාන හෙංචයියා වන ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා හොඳින් දන්නා කරුනක් නම්, “නැගී එන” ධනවාදී ඉන්දියාව දැල්වෙන වෙඩි බෙහෙත් නූලක් සහිත සමාජ කාල බෝම්බයක් බවයි. ඔවුන්, නොසංසුන් හා සටන්කාමී කම්කරු පන්තියට එරෙහිව කම්පන හමුදා ලෙස තම හින්දු ෆැසිස්ට් පදනම බලමුලු‍ ගැන්වීමේ අරමුනින්, මුස්ලිම් විරෝධී ජාතිවාදය අවුස්සමින් සිටින අතර, දැවැන්ත සමාජ අසමානතාවය හා වේගයෙන් පිරිහෙන ආර්ථිකය මඟින් නිර්මානය කෙරෙන සමාජ ආතතීන්, ප්‍රතිගාමිත්වය හා යුදවාදී විදේශීය ප්‍රතිපත්ති පිටුපස හරවා යවති.

ලොව පුරා මෙන්ම ඉන්දියාව තුල ද, ධනේශ්වර නිෂ්පාදනය තුලින් ගෝලීයව එක්සත් කර ඇති, තම ජාත්‍යන්තර ස්වභාවය ගැන වඩ වඩාත් දැනුවත් වන කම්කරු පන්තිය, ධනවාදී ප්‍රතිගාමිත්වයට, ආඥාදායකත්වයට හා යුද්ධයට එරෙහි ප්‍රතිප්‍රහාරයක සමාජ පදනම වන්නේය. එහෙත් කම්කරු පන්තියේ දැවැන්ත සමාජ බලය මුදාහැරිය හැක්කේ එය ස්වාධීනව හා ධනේශ්වරයේ සියලු‍ දේශපාලන නියෝජිතයින්ට විරුද්ධව සංවිධානය වන තාක් දුරට පමනි.

සාපේක්ෂ වශයෙන් මෑතක් වන තුරුම ධනේශ්වරයේ ප්‍රමුඛතම ආන්ඩු පක්ෂය ලෙස කටයුතු කල කොංග්‍රස් පක්ෂය, දේශපාලන වශයෙන් සූරාකෑමට හා මෝඩි රජයට එරෙහි මහජන විරෝධය පාලනය කිරීමට උත්සාහ කල කලාපීය-ස්වෝත්තමවාදී සහ කුලවාදී පක්ෂ ද්විත්වයේම පෙරමුනු බලයක් ලෙස ක්‍රියා කලේය.

ස්ටැලින්වාදී පාර්ලිමේන්තු පක්ෂ දෙබෑයන් වන ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (මාක්ස්වාදී) හෙවත් සීපීඑම් සහ ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (සීපීඅයි) විශේෂයෙන් දුෂ්ඨ හා භයානක කාර්යභාරයක් ඉටු කර තිබේ.

1992 දී බබ්රි මස්ජිඞ් විනාශ කිරීමෙන් පසු; 2002 දී මෝඩි ගුජරාට් මුස්ලිම් විරෝධී සංහාරයේ මුලසුන දැරීමෙන් පසුව මෙන්ම; 2014 දී පලමු බහුතර භාරතීය ජනතා පක්ෂ ආන්ඩුවේ ප්‍රධානියා ලෙස මෝඩි බලයට පත් වූ තතු හමුවේ ස්ටැලින්වාදීන් අද, “හින්දු ෆැසිස්ට්වාදයට” එරෙහිව පෙල ගැසෙති. එහෙත් ඔවුන් එසේ කරන්නේ, කම්කරු පන්තිය ඉන්දියානු ධනේශ්වරයේ සහ එහි රාජ්‍යයේ පක්ෂ හා ආයතන වලට ගැට ගැසීමට දරන උත්සාහයේ කොටසක් ලෙස පමනි.

හින්දු දක්ෂිනාංශයට එරෙහිව සටන් කිරීමේ නාමයෙන් ස්ටැලින්වාදීන්, පන්ති අරගලය ක්‍රමානුකූලව යටපත් කර ඉන්දියානු ධනේශ්වරයේ නව ලිබරල් න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමට උදව් කර තිබේ. 1989, 2008 අතර කාලය තුල, බොහෝමයක් කොන්ග්‍රසය විසින් මෙහෙයවනු ලැබ, දක්ෂිනාංශික හා එක්සත් ජනපද ගැති ආන්ඩු බලයට පත් කිරීමටත් බලයේ තබාගැනීමටත් ඔවුන් ඉටුකල ක්‍රියාකලාපයෙන් මෙය මූර්තිමත් වේ. එපමනක් නොව ස්ටැලින්වාදීන්, බටහිර බෙංගාලය, කේරලය සහ ත්‍රිපුර වැනි ඔවුන් ආන්ඩු බලය දැරූ ප්‍රාන්තවල, තමන් විසින්ම හඳුන්වනු ලබන “ආයෝජක ගැති” ප්‍රතිපත්ති ක්‍රියාත්මක කර ඇත.

දියුනු ධනේශ්වර රටවල සංස්ථාපිත වාමාංශික පක්ෂවල යුද ගැති, කප්පාදු ගැති පියවර ද අන්ත දක්ෂිනාංශයේ වර්ධනයට මග පෑදුවේය. ස්ටැලින්වාදීන් එසේ කම්කරු පන්තිය දේශපාලනිකව මර්දනය කිරීමෙන්, වාර්ගික ප්‍රතිගාමිත්වය වර්ධනය සඳහා දේශපාලන භූමිය සරුවට සකස් කර ඇත.

මේ අනුව, හින්දු දක්ෂිනාංශය පරාජය කිරීම තම ප්‍රධාන පරමාර්ථය හා මඟ පෙන්වන මූලධර්මය යැයි ස්ටැලින්වාදීන් ප්‍රකාශ කල දශක තුනකට පසුව මෝඩි සහ ඔහුගේ භාරතීය ජනතා පක්ෂය, පෙර නොවූ විරූ බලයක් ලබා ගත්හ

යලිත් වරක් සීපීඑම් සහ සීපීඅයි අද, “ප්‍රජාතන්ත්‍රවාදය සහ අනාගමිකත්වය” ආරක්ෂා කිරීම සඳහා මහා ව්‍යාපාරික කොන්ග්‍රස් පක්ෂය සමග එකමුතුවක් ඉල්ලා සිටී. හින්දු දක්ෂිනාංශයට ආධාර කිරීම සහ අනුබල දීම පිලිබඳ කුප්‍රකට වාර්තාවක් කොංග්‍රසයට තිබුනාට ප්‍රශ්නයක් නැත. යන්තම් පසු ගිය මාසයේදී, සීපීඑම් සහාය දුන් ක්‍රියාමාර්ගයක් සහිතව ඔවුහු, ඉන්දියාවේ දෙවන වැඩිම ජනගහනය සහිත මහාරාෂ්ට්‍රයේ, සති කිහිපයකට පෙර භාරතීය ජනතා පක්ෂයේ සමීපතම සගයා වූ, හින්දු අධිපතිවාදී ශිවසේනා නායකත්වය යටතේ ස්වෝත්තමවාදී පක්ෂයක් වන මහාරාටා සමඟ සභාග රජයක් බලයට ගෙන ඒම සහතික කලහ.

නොනවතින විප්ලවය සහ වර්ගවාදයට එරෙහි සටන

මෝඩි තන්ත්‍රයේ ප්‍රජාතන්ත්‍ර විරෝධී හා නීති විරෝධී ක්‍රියාවන්ට විරුද්ධ වීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරනය සහ ධනේශ්වර රාජ්‍යයේ අනෙකුත් අබලන් දක්ෂිනාංශික ආයතන වෙත අවධානය යොමු කරන ලෙස ස්ටැලින්වාදීන් වැඩකරන ජනතාවගෙන් ඉල්ලා සිටිති. යථාර්ථය නම් දශක ගනනාවක් තිස්සේ ශ්‍රේෂ්ඨාධිකරනය, එක් වර්ගවාදී සහ ඒකාධිපති ප්‍රකෝපකරනයකට පසු තවත් එකකට කොල එලිය දල්වා තිබීමයි.

20 වන සියවසේ මුල් භාගයේදී දකුනු ආසියාව කැලඹීමට පත් කල මහා අධිරාජ්‍ය විරෝධී අරගලයේ ප්‍රතිපලයක් ලෙස, ඉන්දීය ජනරජය සහ එහි ආයතන ඇතිවූ බව කියාපාමින් ස්ටැලින්වාදීහු, කම්කරු පන්තිය ඉන්දියානු රාජ්‍යයට ගැටගසා ගැනීමට දරන සිය උත්සාහය යුක්ති සහගත කරති.

මෙය බොරුවකි. ඉන්දියානු රාජ්‍යය ආරම්භ වූයේ, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය සහ එහි දේශීය ධනේශ්වර සේවාදායකයින් අතර ඇතිකර ගත් නින්දිත ගනුදෙනුවක් හරහා, දකුනු ආසියාවේ කම්කරුවන්ගේ හා පීඩිතයින්ගේ විප්ලවීය ව්‍යායාමයන් මැඩපැවැත්වීම මත ය. එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී අනාගමික ඉන්දියාවක් සඳහා වූ තමන්ගේම වැඩපිලිවෙල පාවා දෙමින් ඉන්දීය ජාතික කොන්ග්‍රසය, දකුනු ආසියාවෙන් ඉවත්ව යන බ්‍රිතාන්‍ය යටත් විජිත අධිපතීන් හා මුස්ලිම් ලීගය සමඟ අත්වැල් බැඳගෙන, පැහැදිලිවම මුස්ලිම් පාකිස්තානයක් සහ ප්‍රධාන වශයෙන් හින්දු ඉන්දියාවක් නිර්මානය කරමින් දකුනු ආසියාවේ වාර්ගික බෙදීම ක්‍රියාත්මක කිරීමට මුල් විය.

එම්.කේ. ගාන්ධි හා ජවහර්ලාල් නේරුගේ නායකත්වය යටතේ, ඉන්දීය ධනේශ්වරය නියෝජනය කරමින් කොන්ග්‍රසය, කම්කරු පන්තියේ වර්ධනය වන නැඟිටීම් තත්වය හමුවේ, බංකොලොත් බ්‍රිතාන්‍ය යටත් විජිත ධනවාදී රාජ්‍ය යාන්ත්‍රනය සියතට ගැනීමට උත්සුක විය. බ්‍රිතාන්‍යයේ සහ ඔවුන්ගේ හින්දු හා මුස්ලිම් ජාතිවාදී සහචරයින්ගේ බෙදා පාලනය කිරීමේ උපක්‍රමයන්ට එරෙහිව සටන් කිරීමට හැකි එකම මාධ්‍යයට ඔවුන් ඓන්ද්‍රීයවම සතුරු මෙන්ම එයට අසමත් විය. එනම්, අධිරාජ්‍යවාදයට, ඉඩම් හිමිකාරිත්වයට හා ධනවාදී සූරාකෑමට එරෙහි අරගලයේ පොදු පන්ති අවශ්‍යතා මත පදනම්ව, දකුනු ආසියාවේ හින්දු, මුස්ලිම් සහ සීක් කම්කරුවන් සහ පීඩිතයින් බලමුලු‍ ගැන්වීමය. ඒ සඳහා ඔවුන්ට ආයාචනා කිරීමය.

බෙදීමේ ක්ෂනික බලපෑම වූයේ වාර්ගික ප්‍රචන්ඩත්වයයි. මිලියනයකට වඩා මිය ගොස් මිලියන 20 කට ආසන්න ප්‍රමානයක් ඔවුන්ගේ නිවාසවලින් පලවා හැරීමයි. එහෙත් ඊටත් වඩා එය, කලාපය තුල අඛන්ඩව ආධිපත්‍යය දැරීමේ මාධ්‍යයක් ලෙස අධිරාජ්‍යවාදයට සේවය කල ප්‍රතිගාමී වාර්ගික රාජ්‍ය ක්‍රමයක් නිර්මානය කලේය; යුද්ධ ගනනාවකට තුඩු දුන් හා අද කලාපයට තර්ජනයක් වී ඇති ඉන්දියාව සහ පාකිස්තානය අතර න්‍යෂ්ටික අවි ගැටුමකට තුඩු දෙමින් ප්‍රතිගාමී අන්තර් රාජ්‍ය කාකොටාගැනීම් නැඟී ඒමට එය මාවත හෙලිකර තිබේ: එය දකුනු ආසියාවේ ප්‍රතිගාමී පාලක ප්‍රභූන් විසින් ජාතිවාදය උසිගැන්වීමට සහ ජනතාව බෙදීමට භාවිතා කර ඇත.

අවුරුදු හැත්තෑ දෙකකට පසු, ඉන්දියානු නිදහස සමඟ මතුවූ නාමික අනාගමික හා කියන ලද වාර්ගික නොවන රාජ්‍යයේ අවසාන නිරාවරනය නිෂේධාත්මකව වුවත් පෙන්නුම් කරන්නේ, 1917 රුසියානු ඔක්තෝබර් විප්ලවයෙන් සජීවිකරනය කල නොනවතින විප්ලවයේ මූලෝපාය, ඉන්දියානු කම්කරුවන් සිය අරගලයේ අක්ෂය කර ගැනීමේ හදිසි භාවයයි. ග්‍රාමීය පීඩිතයින් සමඟ සන්ධානගතව කම්කරු පන්තිය විසින් මෙහෙයවනු ලබන සමාජවාදී විප්ලවයකින් තොරව, ධනේශ්වර වර්ධනය කල්පසුවූ රටවල ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයේ එක් මූලික කාර්යයක්වත් සුරක්ෂිත කල නොහැකිය.

වාර්ගික ප්‍රතිගාමිත්වයට එරෙහි අරගලය සමාජවාදී ජාත්‍යන්තරවාදී ඉදිරිදර්ශනයකින් සජීවීකරනය කල යුතුය. සියලු‍ නිකායික හා කුල රේඛාවන්ට ඉහලින් ඉන්දියාවේ කම්කරුවන් හා පීඩිතයින් එක්සත් කිරීමේ සටන, ලොව පුරා කම්කරුවන්ගේ අරගල එක්සත් කිරීමේ සටන සමඟ අත්වැල් බැඳගනී.

ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීම, සමාජ අසමානතාවයට, අස්ථිර රැකියා වන්ට, වොෂිංටනය සමඟ ඉන්දියානු ධනේශ්වරයේ මිලිටරි මූලෝපායික සන්ධානයට, එහි දැවැන්ත මිලිටරි ගොඩනැගීමට එරෙහි කම්කරු පන්තිය බලමුලු‍ ගැන්වීමේ සටනින් වෙන් කල නොහැකිය.

එයට පන්ති අරගලය තීව්‍ර වීම අවශ්‍ය වේ. ධනේශ්වරයට සහ එහි සියලු‍ දේශපාලන නියෝජිතයින්ට එරෙහිව කම්කරු පන්තිය තම දේශපාලන ස්වාධීනත්වය ගොඩනඟා ගත යුතු අතර, ලෝක ධනවාදයට හා අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි ජාත්‍යන්තර කම්කරු පන්ති ප්‍රහාරයේ වර්ධනයෙහි කොටසක් ලෙස, කම්කරු ගොවි ආන්ඩුවක් සඳහා වන අරගලය තුල ග්‍රාමීය දුප්පතුන් සහ පීඩිත ජන කොටස් පෙල ගස්වාගත යුතුය.

මෙම සටන දියත් කිරීමට අවශ්‍ය සියලු‍ම ඉන්දීය කම්කරුවන්, සිසුන් සහ අනෙකුත් අයගෙන් අපි ඉල්ලා සිටින්නේ, ලෝක සමාජවාදී වෙබ් අඩවිය හා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව අමතන ලෙසයි.

කීත් ජෝන්ස්

Share this article: