2019 නත්තල: ඇමරිකාවේ මිලියන භාගයකට අධික සංඛ්‍යාවකට නිවාස නැත

Christmas 2019: More than half a million homeless in America

2019 දෙසැම්බර් 24

එක්සත් ජනපදය පුරා 568,000කට ආසන්න ජනයා (මෙය වියෝමිං ප්‍රාන්තයේ ජනගහනයට සමානය) මෙම නත්තල් නිවාඩුව සමරන්නේ, නිවාස රහිත වාසස්ථාන, කූඩාරම් කඳවුරු හෝ දුෂ්කර වාසස්ථානවල සිට ය.

මරන සංඛාව අඛන්ඩ ව ඉහල යමින් තිබෙන නිසා, නිවාස අහිමි අයගෙන් සමහරෙක් නත්තල සැමරීමට ජීවත් වන්නේ නැත. සමාජ අර්බුදයේ නාභීය ලක්ෂ්‍යයන්ගෙන් එකක් වන ලොස් ඇන්ජලීස් ප්‍රාන්තයේ හිසට සෙවනක් රහිත 44,000ක ජනගහනයෙන් දිනකට ආසන්න වසයෙන් මරන තුනක් සිදුවෙමින් දාහක් බැගින් 2018 හා 2019 යන වසර දෙකේ ම මියගොස් ඇති අතර, ඒ දිදුලන හොලිවුඩයට සහ බෙවර්ලි කඳුකරයේ ධනය හා වරප්‍රසාදවලට අනෙක් පසිනි.

එක්සත් ජනපදයේ නිවාස අහිමි ජනයා වැඩියෙන් ම සංකේන්ද්‍රනය වී සිටින ලොස් ඇන්ජලීස්හි ස්කිඞ් රෝ ප්‍රදේශයේ චිත්‍ර ශිල්පියෙක් වන කොලෙට් මිලර් විසින් සිතුවම් කල “අප්‍රිකානු තටු” නමැති දේවදූතයකුගේ බිතුසිතුවම පසුකර යන මිනිසෙක්. 2017 සැප්තැම්බර් 1 සිකුරාදා [ඒපී ෆොටෝ/ ජේ සී. හොං (AP Photo/Jae C. Hong)]

නිවාස හා නාගරික සංවර්ධන දෙපාර්තමේන්තුව ජනවාරියේ කරන වාර්ෂික සමීක්ෂනයේ දී එලිමහනේ ජීවත් වන ජන සංඛ්‍යාව ඉහල යාමක් වාර්තා කල තුන්වන වර්ෂය මේ වසර විසින් සලකුනු කරනු ලැබීය. මෙම සංඛ්‍යාව සැලකිය යුතු ඌන සංඛ්‍යාවක් විය හැක්කේ, එය වසරේ සීතල ම කාලසීමාවේ සිදුකරන බැවින් හා හිසට සෙවනක් නැති ව නො නැසී සිටීමට ජනයා උත්සාහ කරන සියලු‍ ප්‍රදේශවල ප්‍රචාරක කටයුතු කිරීමට අසමත් ස්වේච්ඡා සේවකයන් විසින් සිදුකරන බැවිනි.

සීතලට නිරාවරනය වීම හා අනෙකුත් හේතූන් නිසා කොතරම් සංඛ්‍යාවක් මිය යනු ඇද්දැයි නො දන්නා නමුත්, යථාර්ථය වන්නේ සෑම වසරක ම වීදි, රැඳවුම් කඳවුරු, අතහැර දමන ලද නිවාස හා නගරයන්හි පැරනි ප්‍රදේශවල දී නිවාස අහිමි දහස් ගනනක් මිය යන බව යි. දසදහස් ගනනක් නත්තල් උදාවේ දී ඇමරිකාවේ වීදිවල නින්දට යන අතර, දුසිම් ගනනක් පසුදා උදෑසන නැගිටින්නේ නැති බව නිශ්චිත ය.

වාර්ෂික රැස්වීම් හා විරෝධතා පෙලපාලි දෙසැම්බර් 19දා රාත්‍රීයේ එක්සත් ජනපදය පුරා නගර සිය ගනනක පවත්වන ලද්දේ මේ වසරේ නිවාස නැතිකම හේතුවෙන් මිය ගිය මිනිසුන් හා ගැහැනුන් සිහිපත් කිරීමට ය. ජාතියේ අගනුවර වන වොෂින්ටන් ඩී. සීහි මේ වසරේ මේ දක්වා නිවාස අහිමි පුද්ගලයන් 117කට ජීවිත අහිමි වී ඇති අතර, එය 2018 වාර්තා වූ මරන 54 සමග සසඳන විට යෝධ නැග්මකි. සිලිකන් නිම්නය පිහිටා තිබෙන කැලිෆෝනියාවේ සැන්ටා ක්ලාරා ප්‍රාන්තයේ නිවාස අහිමි මරන 161ක් සිදු විය. කැලිෆෝනියාවේ රිවර්සයිඞ් ප්‍රාන්තයෙන් මරන 95ක් වාර්තා විය; ඔරේගන්හි පෝට්ලන්ඞ් ප්‍රදේශයෙන් මරන 43ක් වාර්තා වූයේ 2015 සිට එම නගරයේ සිදු වූ වැඩි ම මරන ගනන වාර්තා කරමිනි; ආරක්ෂිත ඇඳන් සංඛ්‍යාව මෑත දී 400කින් කපා දැමූ උටාහි සෝල්ට් ලේක් සිටි නගරය නිවාස අහිමි මරන 94ක් දැකගත්තේ ය; කොලොරාඩෝහි බුල්ඩර් ප්‍රදේශයෙන් මරන 48ක් සටහන් වූ අතර එය 2018 සංඛ්‍යාව මෙන් දෙගුනයකි; ඉලිනොයි ප්‍රාන්තයේ අගනුවර වන ස්ප්‍රිංෆීල්ඞ්හි වීදිවල මේ වසරේ නිවාස අහිමි පුද්ගලයන් 13ක් මිය ගිය හ.

පාලක ප්‍රභූව කොටස් වෙලඳපොලේ නැගීම සමරමින් ඓතිහාසික ව පහල විරැකියා ගනන් හිලවු ගැන එකිනෙකාගේ පසුපසට තට්ටු කරගනිද්දී, වීදිවලට ඇද දැමෙන ජනයාගේ සංඛ්‍යාව ඉහල නැගෙමින් පවතී. මෙය පරස්පරයක් නො වේ: වෝල් වීදියේ සනිටුහන් කෙරෙන වාර්තා අවසානයේ පදනම් වන්නේ, නව තාක්ෂනයන් යොදාගැනීම හරහා කම්කරුවන් සූරාකෑම ඉහල දැමීම හා වඩ වඩා ඉහල යන අති දුෂ්කර ස්ථරයක් නිරපේක්ෂ සීමාවට තල්ලු‍ කිරීම ඇතුලු‍ වැටුප් පහල දැමීමේ උත්සාහයන් මත යි.

නිවාස නැති කම පිලිබඳ දරුනු සංඛ්‍යාලේඛන, 2019 අවසානයකට එලඹෙද්දී ඇමරිකාව වෙලාගනිමින් තිබෙන ගැඹුරු වන සමාජ අර්බුදයේ එක් පැත්තක් පමනි. ඔපියොයිඞ් අධිමාත්‍රා අර්බුදය, ආයුධ ප්‍රචන්ඩත්වය හා ඉහල යන දිවි නසාගැනීමේ රේට්ටුවක් ආයු අපේක්ෂාව පහල දමා ඇත්තේ, ලෝකයේ නායක ආර්ථිකයන් අතර මෙන් ම ඇමරිකාවේ ම ඉතිහාසයෙහි පෙර නුවූ විරූ සිද්ධියක් වාර්තා කරමිනි.

2008 අවපාතයේ පටන් ආර්ථික ප්‍රකෘතිමත් වීම, “ගිග්-ආර්ථිකයේ” කොටසක් ලෙස අඩු වැටුප් සහිත රැකියා ප්‍රමානාත්මක ව ඉහල යාම දැකගෙන ඇත්තේ හදිසි අවස්ථාවකට හෝ අනතුරකට මුහුන දුන් විට මිලියන ගනන් දෙනා අසරනභාවයේ අද්දරට ඇද දමමිනි. අඩු වැටුප් සහිත යාන්තමින් යැපෙන රැකියාවක් සඳහා කම්කරුවන් දැන් ඌබර් හා ග්‍රබ්හබ් වැනි පරිඝනක වැඩ සටහන් මත විශ්වාසය තැබීම හෝ හෙම්බත් වන තෙක් හෝ ගබඩාවක මරනයට පත්වන තෙක් ඔවුන් ව සූරාකනු ලැබිය හැකි ඇමසොන් වැනි සමාගම් වෙත හැරීම කරයි.

පහල සියයට 90 හා ඉහල සියයට 10 අතර සමාජ හා ආර්ථික පරතරය මෙතරම් කිසිදාක පලල් ව තිබී නැත. එක්සත් ජනපදයේ භූගෝලීය දේශසීමා ඇතුලත එකිනෙකට වෙනස් ඇමරිකාවන් දෙකක් පවතී. වාර්තාගත සංගත ලාබ හා කොටස් ආපසු මිලට ගැනීම් ධනවතුන්ගේ පොකට්ටු දිගට ම පුරවද්දී, පටි තදකරගෙන අඩු වැටුපක් සඳහා වැඩියෙන් වැඩ කිරීමට කම්කරුවන්ට බලකෙරී ඇත.

පිව් ට්‍රස්ට් ආයතනය විසින් මෑත දී කරන ලද සංඛ්‍යාලේඛන දත්ත විශ්ලේෂනයක්, කලු‍, සුදු, හිස්පැනික් හා දේශීය ඇමරිකානු යන සියලු‍ වර්ගවල වැඩකරන ජනයා මත බලපාමින් 2016 හා 2018 අතර එක්සත් ජනපදයේ සියලු‍ ප්‍රාන්තවල දරිද්‍රතා අනුපාතය සියයට 30කින් ඉහල ගිය බව සොයාගත්තේ ය.

ඇමරිකාවේ පොහොසත් ම සියයට එක, ඔවුන්ගේ මුදල්වලින් මිල දී ගත හැකි හොඳ ම සෞඛ්‍යාරක්ෂනයට ප්‍රවේශය සහිත ව, වීදිවල මිය යන්නවුන් අතරට අයත් වන දුප්පත් ම සියයට එකට වඩා දශකයකට අධික කාලයක් වැඩිපුර ජීවත් වේ. ඉහලින් ම සිටින්නවුන්ගේ ජීවන කොන්දේසි මින් පෙර කවරදාටත් වඩා හොඳින් තිබී නැත්තේ, ධනවත් ම පවුල් තුන වන වෝල්ටන්වරු, කොක්වරු හා මාස්වරු මධ්‍යන්‍ය එක්සත් ජනපද පවුලක ශුද්ධ වත්කම මෙන් හතර මිලියන ගුනයක් හෙවත් ඩොලර් බිලියන 349ක් පාලනය කරද්දී ය.

එක්සත් ජනපදයේ පොහොසත් ම පුද්ගලයන් 400 දෙනා සතුව පහල සියයට 64හි වත්කමට වැඩි සංයුක්ත වත්කමක් තිබේ. ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් යටතේ සංගත හා බූදල් බදු කපා දමනු ලැබ ඇත්තේ, සමාජයේ ඉහල ම කොටසට ධනය ගලා යවනු ලබන බව සහතික කරමිනි. පසුගිය වසරේ විශාලතම සංගතයන්ගෙන් 91ක් ශූන්‍ය හෝ ඍන මධ්‍යම ආදායම් බද්දක් ගෙවුවේ, ප්‍රථම වරට පොහොසත් ම පුද්ගලයන් දුප්පත් ම පුද්ගලයන්ට වඩා වැඩි බදු රේට්ටුවක් ගෙවද්දී ය.

සමාජයේ ඉහල ගොඩගැහෙන ධනයට ඇඟිල්ල දිගුකරමින්, දේවල් කවරදාවත් මෙතරම් හොඳින් පැවතී නැතැයි මාධ්‍ය කරන සාම්ප්‍රදායික ඉදිරිපත් කිරීම් හා ප්‍රධාන පක්ෂ දෙක ම කරන කියාපෑම්වලට විපරීත ව, බහුතරයක් ඇමරිකානුවන් සඳහා යථාර්ථය වන්නේ ගැඹුරු සමාජ අර්බුදයකි.

සමාජ අර්බුදය පිලිබඳ දර්ශකයන්ගේ වැඩෙන සංඛ්‍යාවන් ඩිමොක්‍රටික් ප්‍රාථමික මැතිවරනවල සාධකයක් නො වී තිබීම හා ප්‍රධාන මාධ්‍ය තුල ඒවා කිසිදු හදිසි භාවයක් අවුලු‍වා නො තිබීම අවධානයට ගත මනා ය. ට්‍රම්ප් (සුපිරි ධනවතුන් සඳහා) “ඇමරිකාව ශ්‍රේෂ්ඨ ලෙස තැබීමට” පොරොන්දු වෙද්දී, ඩිමොක්‍රටිකයන් සරල ව ම කරන්නේ අනන්‍යතා දේශපාලනයේ පදනම මත ඉහල සියයට දහයට ආමන්ත්‍රනය කිරීම වෙනුවෙන් කම්කරු පන්තිය මුහුන දෙන දුෂ්කර කොන්දේසි නො තකා හැරීම යි.

පසුගිය සතියේ ජාතික නිවාස අර්බුදයේ කේන්ද්‍රය වන ලොස් ඇන්ජලීස්හි පැවති ඩිමොක්‍රටික් ජනාධිපතිවරන විවාදයේ දී, වේදිකාව මත සිටි සියලු‍ අපේක්ෂකයන් විසින් එම ප්‍රශ්නය මගහරිනු ලැබී ය. 1960 ගනන්වල මධ්‍යස්ථ ලිබරලකුගේ දේශපාලනයට හිමිකම් කියන තමන්ටම ආවේනික “ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී” බර්නි සෑන්ඩර්ස් ඇතුලු‍ කිසිවෙක්, ලොස් ඇන්ජලීස් ප්‍රදේශයේ නිවාස අහිමි පුද්ගල මරන සංඛ්‍යාව එක්දහසට ලඟා වන බව සඳහන් නො කල හ.

නව වසරට එලඹෙද්දී, මිලියන ගනන් කම්කරුවන්ගේ සැබෑ ජීවන කොන්දේසි සම්බන්ධයෙන් ඇමරිකානු පාලක පන්තිය දක්වන අනවධානය හා උදාසීනත්වය, 1789ට පෙර සිටි ප්‍රන්ස වංශාධිපතීන් දූරදර්ශීභාවයෙන් හා නොමසුරුභාවයෙන් යුක්ත ශ්‍රේෂ්ඨ මිනිසුන් ලෙස පෙනෙන තත්ත්වයකට පත්කරයි.

ඉහල සියයට එක ද ඔවුන් ව නියෝජනය කරන ඩිමොක්‍රටික් හා රිපබ්ලිකන් පක්ෂවල දේශපාලනඥයන් ද වාඩි වී සිටින්නේ සමාජ වෙඩි බෙහෙත් ගබඩාවක් මත්තෙහි ය. ප්‍රන්සයේ සිට සූඩානය, ඇල්ජීරියාව, චිලී හා මෙක්සිකෝව ද වැඩ වර්ජන සංඛ්‍යාව ඉහල යමින් පවතින එක්සත් ජනපදයේ ම ද පන්ති අරගලයේ පුනර්ජීවනයක් විසින් පසුගිය වසර සලකුනු කරනු ලැබී ය.

වඩ වඩා දැරිය නො හැකි වන කොන්දේසිවලට එරෙහි මහජන අරගල එක්සත් ජනපදය තුල පුපුරා යාම අනිවාර්ය වන නමුත්, නිවාස නැති කම හා දරිද්‍රතාව ඇතුලු‍ මහා සමාජ ගැටලු‍ විසඳනු ලැබිය හැක්කේ, සමාජවාදය සඳහා සවිඥානික ව සටන් වදින කම්කරු-පන්තික දේශපාලන පක්ෂයක නායකත්වය යටතේ පමනි.

නයිල්ස් නීමුත්

Share this article: