දෝෂාභියෝග අර්බුදය

දේශපාලන පක්ෂ දෙකටම වසංගතයක්

The impeachment crisis: A plague on both political parties

2019 දෙසැම්බර් 19

එක්සත් ජනපද (එජ) නියෝජිත මන්ත්‍රී මන්ඩලය ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දෝෂාභියෝගයට ලක් කිරීම සඳහා බදාදා රාත්‍රියේ ඡන්දය (ඊට පක්ෂව) ප්‍රකාශ කලහ. ඡන්දයට පෙර පැවැත්වු කථාවල මෙම පියවරේ ඓතිහාසික වැදගත්කම පිලිබඳ ගනන් නැති සංඛ්‍යාවක් ආයාචනා අඩංගු විය. එහෙත් පෙර දෝෂාභියෝගයන්ගේ ඉතිහාසය හෙලි කරන්නේ ඩිමොක්‍රටිකයන්ගේ දෝෂාභියෝග මෙහෙයුමේ දක්ෂිනාංශික, යුදවාදී ස්වභාවය පමනි.

ඩොනල්ඩ් ට්‍රම්ප් නැන්සි පෙලෝසි සමඟ [Credit: WikiMedia]

එජ ජනාධිපතිවරයෙකුට එරෙහි පලමු දෝෂාභියෝගය 1868 දී ඇන්ඩෘ ජොන්සන්ට එරෙහිව එල්ල විය. සිවිල් යුද්ධයෙන් පසුව, බෙදුම්වාදී විරෝධී නමුත් දරුනු ලෙස ජාතිවාදී ඩිමොක්‍රටිකයකු වූ ජොන්සන්, ඒබ්‍රහම් ලින්කන්ගේ ඝාතනයෙන් පසු ජනාධිපති ධුරයට පත්වීමත් සමඟ එය සිදුවිය. කොන්ග්‍රස් රිපබ්ලිකානුවන් විසින් හිටපු වහල් හිමියන්ගේ මිතුරා ලෙස සැලකුනු ජොන්සන්ට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කෙරුනේ දකුනේ රැඩිකල් යලි ගොඩ නැගීමේ ප්‍රබල ආධාරකරුවෙකු වූ යුද ලේකම් නෙරපා හැරීම හේතුවෙනි. සෙනෙට් සභාව තුල එක ඡන්දයකින් (දෝෂාභියෝගය පරාජය වී) ජොන්සන් රැඳී සිටීමේ වරම වනාහි, උතුරු ධනේශ්වර පංතිය සිවිල් යුද්ධයේ විප්ලවවාදී-ප්‍රජාතන්ත්‍රවාදී අරගලයෙන් ඉවතට හැරී, නව සතුරෙකු වන ඇමරිකානු කම්කරු පන්තියට එරෙහිව සටන් කිරීමට සූදානම් වීමේ ඉදිරි සංඥාවකි.

එජ ජනාධිපතිවරයකුගේ දෙවන දෝෂාභියෝගය වැලකුනේ යුක්තියට බාධා කිරීම, බලය අයුතු ලෙස පරිහරනය කිරීම සහ කොන්ග්‍රසයට අපහාස කිරීම යන චෝදනා යටතේ නියෝජිත මන්ත්‍රී මන්ඩලයේ අධිකරන කමිටුව ඔහුට එරෙහිව දෝෂාභියෝග චෝදනා සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසුව, 1974 දී ජනාධිපති රිචඩ් නික්සන් බලහත්කාරයෙන් ඉල්ලා අස්වීමට සැලැස්වීමෙනි. එනම්, 1960 ගනන්වල සිවිල් අයිතිවාසිකම් සහ යුද විරෝධී ව්‍යාපාර මැඩපැවැත්වීම සඳහා නික්සන් පරිපාලනය විසින් යොදා ගැනුනු නීති විරෝධී දේශපාලන මර්දනයේ දැවැන්ත වැඩපිලිවෙලක් නිරාවරනය වීමත් සමඟ මෙම චෝදනා බැඳී තිබිනි. පෙන්ටගන් ලේඛන (Pentagon Papers ) මාධ්‍යයට කාන්දු කල ඩැනියෙල් එල්ස්බර්ග් ගැන ඔත්තු බැලීම සඳහා “නල කැමියන්” (plumbers) යනුවෙන් හැඳින්වුනු හිටපු සීඅයිඒ ඒජන්තවරුන්ගෙන් සෑදුම්ලත් ඒකකයක් නික්සන් පිහිටුවා ගත්තේය. වෝටර්ගේට් ගොඩනැගිල්ලේ ඩිමොක්‍රටික් ජාතික කමිටුවේ කාර්යාලයට “නල කැමියන්” සොරෙන් ඇතුලුවීම 1972 ජුලි මාසයේ දී හසු වූ විට, සිදුවීම් දාමය ක්‍රියාත්මක වූ අතර එය වසර දෙකකට පසුව නික්සන් නෙරපා හැරීමට හේතු විය.

ට්‍රම්ප් ඉවත් කිරීම සඳහා සුජාත හේතුන්හි හිඟයක් නොමැත. දහස් ගනනක් සංක්‍රමනික දරුවන් ඔවුන්ගේ පවුල් වලින් වෙන් කිරීමට තුඩුදුන් ඔහුගේ ප්‍රතිපත්තිය, එක්සත් ජාතීන් විසින් වධහිංසාවට සමාන යැයි නම් කර ඇත. ඔහු ඇමරිකානු භූමියේ වධක කඳවුරු නිර්මානය කර තිබේ. ඔහු දකුනු දේශ සීමාව දිගට තම බලකොටු රාජ්‍යය ගොඩනැගීම සඳහා කොන්ග්‍රසයට පටහැනිව හමුදා අරමුදල් අයථා ලෙස පරිහරනය කර තිබේ. ආන්ඩුක්‍රම ව්‍යවස්ථා කාල සීමාවන් උල්ලංඝනය කිරීමට සහ තමා පරාජයට පත් වූ මැතිවරනයක ප්‍රතිඵල ප්‍රතික්ෂේප කිරීමට කැමති බව ඔහු ප්‍රකාශ කර තිබේ. ඔහු ඇමරිකානු භූමියේ ෆැසිස්ට් ව්‍යාපාරයක් ගොඩ නැගීමට වෑයම් කර තිබේ.

එහෙත් ඩිමොක්‍රටිකයන් විසින් මේ සියලු මූලික ප්‍රජාතන්ත්‍රවාදී කාරනා බැහැර කරනු ලැබ ඇති දෝෂාභියෝග මෙහෙයුම කේන්ද්‍රගත වී ඇත්තේ යුක්රේනයේ රුසියාවට එරෙහිව වක්‍රව කෙරෙන යුද්ධයක් සඳහා ට්‍රම්ප් ප්‍රමානවත් ලෙස ආක්‍රමනශීලී නොවන බවට කරන ප්‍රකාශ මතය.

“අවසානයේදී, මෙම දෝෂාභියෝගය ජනාධිපතිවරයා ඇමරිකානු ජාතික ආරක්ෂාව විකුනා දමන්නේද යනුවෙන් ප්‍රශ්න කරන මුල්ම අවස්ථාවයි” යනුවෙන් නිව්යෝක් ටයිම්ස්හි ඩේවිඩ් සැන්ගර් ලියයි. “යුක්රේනය ආසන්නතම සිදුවීම වුවත් ජනාධිපති, පුටින් මහතා සමඟ කටයුතු කල ආකාරය අන් සියල්ල මත්තෙන් පිහිටි තේමාවයි.”

සැන්ගර් අවසන් කරන්නේ, “ජනාධිපති දෝෂාභියෝගයට හේතුව ලෙස මතුපිටින් පෙනෙන යුක්රේනය පිලිබඳ තර්කය ඇත්ත වශයෙන්ම යුක්රේනය ගැන නොවේ. ඒ රුසියාව ගැනයි.”

එහෙත්, රුසියාව සමඟ එක්සත් ජනපද ගැටුම උත්සන්න කිරීම සඳහා ඩිමොක්‍රටික් පක්ෂයේ කේන්ද්‍රීය ඉල්ලීම ගැන කිසිදු සැකයක් ඉතිරි නොකලේ කොංග්‍රස් ඔත්තු සේවා කමිටුවේ සභාපති දෝෂාභියෝග මෙහෙයුමේ ප්‍රමුඛයා වන ඇඩම් ෂිෆ් ය.

“යුක්රේනය රුසියානුවන්ට එරෙහිව, ඔවුන්ගේ ව්‍යාප්තිවාදයට එරෙහිව අපගේ සටන කරමින් සිටිති. ඒකත් අපේ සටනමයි.” ෂිෆ් පැවසීය. “අපි පුටින්ට සහ රුසියාවට එරෙහිව පෙනී සිටියෙමු. මම දන්නවා රොනල්ඩ් රීගන්ගේ පක්ෂය පෙනී සිටියෙ එයටම බව.”

“අප සතුව ඇති හමුදා ආධාරවලින් අපි යුක්රේනයට සහාය දක්වන්නේ එබැවිනි,” ෂිෆ් තවදුරටත් පැවසීය. “ජනාධිපතිවරයා සමහරවිට ඒ ගැන තැකීමක් නොකරනු ඇත, නමුත් අපි එසේ කරමු. අපි අපේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙමු, අපගේ සගයන්ගේ ආරක්ෂාව ගැන අපි සැලකිලිමත් වෙමු අපගේ ව්‍යවස්ථාව ගැන අපි හොඳින්ම සැලකිලිමත් වෙමු. ”

රුසියාව සමඟ යුක්රේනයේ යුද්ධය “අපගේ සටනක්ද” විය යුත්තේ ඇයිද යන්න හෝ ඩිමොක්‍රටිකයන්ගේ තෘප්තිමත්භාවයට මෙම යුද්ධය කිරීමට අපොහොසත් වීම දෝෂාභියෝගයක් කල හැකි වරදක් වන්නේ මන්දැයි කිසිවෙකු පැහැදිලි කර නැත.

ට්‍රම්ප් ඉවත් කිරීමේ ඩිමොක්‍රටිකයින්ගේ වෑයමෙහි අරමුනු වන්නේ ජනගහනය අතර කිසිදු සහයෝගයක් නොමැති ප්‍රතිපත්තියක් වන රුසියාව සමඟ එජ ගැටුම තීව්‍ර පුලුල් කිරීමක් යුක්ති යුක්ත කිරීමයි.

ට්‍රම්ප් පරිපාලනය කෙරෙහි ඇති පුලුල් මහජන වෛරය ගැන ඩිමොක්‍රටික් පක්ෂය දනී. එහෙත් ට්‍රම්ප් ගෙ නැවත තේරී පත්වීමකට වඩා, ධනවතුන් හා ඉසුරුමතුන්ගේ මෙම පක්ෂය බිය වන්නේ ඔහුව ඉවත් කිරීම සඳහා වන විශාල බලමුලු ගැන්වීමක් අනිවාර්යයෙන්ම ඔවුන්ගේම ධනයට හා ධනවාදී ක්‍රමයට අභියෝග කරනු ඇතැයි යන හේතුවෙනි.

ඩිමොක්‍රටිකයින් විසින් අර්ථ දක්වා ඇති පරිදි, දෝෂාභියෝගයට ප්‍රජාතන්ත්‍රවාදී හෝ සුජාත අන්තර්ගතයක් නොමැත. කුමන හෝ ජනප්‍රිය හැඟීමක් හෝ ඉල්ලීම් කෙරෙන් ඇති පූර්න දුරස්ථභාවය සහ ඒවා කෙරෙහි නොසැලකිල්ල මෙයට මාලිගා බලකොල්ල කුමන්ත්‍රනයක ස්වභාවය ලබා දෙයි. ඔවුන්ගේ දෝෂාභියෝගය ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමක් යැයි විවිධ ඩිමොක්‍රටිකයින් විසින් කරන ලද ගිනිය නොහැකි තරම් ප්‍රකාශයන් ඒත්තු නො ගන්වන සුලු මෙන්ම අසත්‍ය ද වේ.

ඔවුහු දෝෂාභියෝග මෙහෙයුම ඉදිරියට ගෙන යද්දීමත්, මිලිටරිය පුලුල් කිරීම, මිලිටරි බලය යෙදවීම පිලිබඳ කොන්ග්‍රස් සීමාවන් ඉවත් කිරීම සහ ඔහුගේ සංක්‍රමනික මර්දනය පුලුල් කිරීම සඳහා ඩිමොක්‍රටිකයෝ ට්‍රම්ප් සමඟ එක්ව කටයුතු කර ඇත. අඟහරුවාදා, ඔවුහු එජ ඉතිහාසයේ විශාලතම මිලිටරි අයවැය අනුමත කල අතර, දෝෂාභියෝගයට පසු දින බ්‍රහස්පතින්දා, චීනය ඉලක්ක කරගත් වෙලඳ යුද්ධ පියවරක් වන යූඑස්එම්සීඒ (එක්සත් ජනපද-මෙක්සිකෝ-කැනඩාව ගිවිසුම) සම්මත කිරීමට ඔවුහු සැලසුම් කරති.

දෝෂාභියෝග ඡන්දය ප්‍රකාශ කෙරෙද්දීම, ට්‍රම්ප් මිචිගන් බැට්ල් ක්‍රීක්හි තම ආධාරකරුවන්ට ප්‍රචන්ඩකාරී, වාචාල හා ෆැසිස්ට් ආකාර ආයාචනයක් ඉදිරිපත් කරමින් සිටියේය. “ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව විවෘත යුද්ධයක් ප්‍රකාශයට පත් කරන බවට” කථානායකවරියට චෝදනා නගමින් ට්‍රම්ප් විසින් මීට පෙර නියෝජිත මන්ත්‍රී මන්ඩලයට යැවූ ලිපිය ඔහු මෙහිදී ප්‍රතිරාවය කලේය.

එහෙත් ට්‍රම්ප්ට එරෙහිව ජනගහනය බලමුලු ගැන්වීමට සමත් විය හැකි සියලු ප්‍රජාතන්ත්‍රවාදී කාරනා බැහැර කිරීමේ දී, තමා “ගැඹුරු - රාජ්‍ය” කුමන්ත්‍රනයක ගොදුරක්ය යන පදනම මත සිය ෆැසිස්ට් ආකාරයේ පදනම බලමුලු ගැන්වීමට උත්සාහ කර ඇති ජනාධිපතිවරයාගේ ග්‍රහනයට ඩිමොක්‍රටිකයෝ හසුවෙති.

ට්‍රම්ප් විසින් ඉදිරිපත් කරන ලද ප්‍රධාන බොරුව නම්, ඔහු ඉවත් කිරීමට ඩිමොක්‍රටිකයින් බුද්ධි අංශ සහ මාධ්‍ය සමඟ එක්ව දරන උත්සාහයන් සමාජවාදයට සමාන කරනු ලැබීමයි. ඔහුගේ පරිපාලනයට එරෙහි ඕනෑම ආකාරයක මහජන විරෝධයක් සඳහා මෙය ඔහුගේ ලේබලයයි. ෆැසිස්ට්වාදයේ සම්ප්‍රදායන්ට අනුව යමින් ට්‍රම්ප් තමා, “ප්‍රභූන්” සමාජවාදීන් සහ කොමියුනිස්ට්වාදීන් අතර කුමන්ත්‍රනයක ගොදුරක් සේ ව්‍යාජ ලෙස පෙනී සිටී.

දෝෂාභියෝග අර්බුදයේ ප්‍රතිඵලය කුමක් වුවත්, එය ඇමරිකානු දේශපාලනයේ තවත් භයානක දකුනට චලනයක් වනු ඇත. වඩාත් විය හැකි යයි පෙනෙන පරිදි, ට්‍රම්ප් ඉවත් කිරීමට ඩිමොක්‍රටිකයෝ අපොහොසත් වුවහොත් එය ඔහුව ශක්තිමත් කරනු ඇත. ට්‍රම්ප් ඉවත් කිරීම ඔවුහු කෙසේ හෝ සාර්ථක කර ගතහොත් , එය ජනගහනයේ පුලුල් කොටස් විසින් අයුක්තිසහගත යැයි සැලකෙනු ලැබෙනු ඇති අතර රුසියාව සමඟ මිලිටරි ගැටුම් උත්සන්න වීම මුලුමනින්ම පාහේ සහතික කරනු ඇත.

එහි ප්‍රතිඵලය කුමක් වුවත් දෝෂාභියෝගය සිවිල් යුද්ධයෙන් පසු ඇමරිකානු ධනවාදයේ විශාලතම අර්බුදයේ සන්දර්භය තුල දැක ගත යුතුය. ඔවුන්ගේම ආකාරයෙන්, පක්ෂ දෙකම නියෝජනය කරන්නේ සමාජ අර්බුදයේ සහ එහි ගෝලීය ආධිපත්‍යය නැතිවීමේ කොන්දේසි යටතේ ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ද්විත්ව අත්‍යවශ්‍යතාවයන් ය.

ඩිමොක්‍රටිකයෝ යුද්ධය දෙසට වන ධාවනය මූර්තිමත් කරත්; රිපබ්ලිකානුවෝ - ට්‍රම්ප්ගේ ස්වරූපයෙන් - ෆැසිස්ට් පන්නයේ සහ අධිකාරීවාදී පාලන රූපාකාරයන් දෙසට ගමන් කිරීම මූර්තිමත් කරත්.

ට්‍රම්ප්ට එරෙහි සටන දිග හැරිය හැක්කේ කම්කරු පන්තිය තුල මුල් බැස ගත් සමාජ හා දේශපාලන අරගලයක පදනම මත පමනි. එවැනි ව්‍යාපාරයක් බිහිවීම සඳහා අත්‍යාවශ්‍ය පූර්වාවශ්‍යතාවක් වන්නේ ඩිමොක්‍රටික් හා රිපබ්ලිකන් පක්ෂවලින් සම්පුර්නයෙන්ම හා පැහැදිලිව බිඳී ගැනීමයි. මෙම දෝෂාභියෝගය කෙරෙහි කම්කරු පන්තියේ ආකල්පය විය යුත්තේ, “දේශපාලන පක්ෂ දෙකටම වසංගතයක් (වේවා!)” ලෙස ෂේක්ස්පියර් සංශෝධනය කිරීමයි.

පැට්‍රික් මාටින් සහ ආන්ද්‍රෙ ඩෙමන්

Share this article: