අගමැති රාජපක්ෂ “ඉස්ලාම් ත්‍රස්තවාදය” මර්දනය කිරීමේ කඩතුරාව යටතේ ආඥාදායක පාලනයක් සදහා උද්ඝෝෂනය තීව්‍ර කරයි

ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි, 2019 දෙසැම්බර් 21

“ඉස්ලාම් ත්‍රස්තවාදය” මර්දනය කිරීම සඳහා “රාජ්‍ය බුද්ධි අංශ” සහ “ආරක්ෂක හමුදා” ශක්තිමත් කලයුතු බව දෙසැම්බර් 13 වෙනිදා පැවති හමුදා උපාධි ප්‍රධානෝත්ස්වයක දී අගමැති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කර ඇත. එල්ටීටීඊ සංවිධානයට එරෙහි යුද්ධය “ගොඩබිමින්, මුහුදින්, සහ ගුවනින්” මෙහෙය වුව ද “අලුත් ත්‍රස්තවාදී උවදුර” මර්දනය කිරීම සඳහා ප්‍රධාන වශයෙන් බුද්ධි මෙහෙයුම් දැඩි කලයුතු බව ඔහු එහි දී සඳහන් කලේ ය.

“ඉස්ලාම් ත්‍රස්තවාදය” හා මුස්ලිම් ජනතාව පිලිබඳ පරභීතිකාව ධනපති පාලක පන්තිය විසින් ඉස්මත්තට ගෙන ඇත්තේ අප්‍රේල් 21 දා එල්ල කෙරුන ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරයෙන් පසුවය. එහෙත් එය බලයේ පැවති සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව සහ රාජපක්ෂලා ඇතුලු පාලක පන්තියේ හැම කොටසක් ම සහ රාජ්‍ය බුද්ධි අංශ දැනුවත්වම සිදුවීමට ඉඩහැරි ප්‍රහාරයකි. වර්ධනය වෙමින් පැවති පන්ති අරගල මැඩලීමේ එල්ලය ඇතිව හදිසි නීති බලාත්මක කරමින් සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව එය කවරයක් ලෙස යොදා ගනිමින් මහජනතාවට එරෙහිව ආරක්ෂක හමුදා දිගේලි කිරීමට එය යොදා ගත් අතර කම්කරු පීඩිත ජනයාට එරෙහිව රාජ්‍ය මර්දනය තව තවත් තීව්‍ර කිරීම සඳහා රාජපක්ෂ ආන්ඩුව එය පාවිච්චියට ගෙන ඇත.

“ජාතික ආරක්ෂාව සුරක්ෂිත” කරනු පිනිස “එල්ටීටීඊ ත්‍රස්තවාදය” පරාජය කල ආකාරයට “ඉස්ලාම් ත්‍රස්තවාදය” ද පරාජය කල යුතු බව ද, ඒ සඳහා රාජ්‍ය සන්නද්ධ හමුදාවන් සහ බුද්ධි අංශ තව තවත් ශක්තිමත් කලයුතු බවටත් ධනපති ජනමාධ්‍ය වලද පිටුබලය සහිතව රාජපක්ෂ ආන්ඩුව විසින් පෙරට දමා ඇති උද්ඝෝෂනයේ සහ සැලසුම් වල සැබෑ එල්ලය ජාත්‍යන්තර පන්ති අරගලයේ පෘතුල වර්ධනයේ කොටසක් ලෙස ශ්‍රී ලංකාව තුල වැඩෙමින් පවතින සමාජ අරගල මෘග ලෙස තලා දැමීමට සමත් ආඥාදායක පාලන තන්ත්‍රයක් තහවුරු කර ගැනීමය. හමුදාව සහ බුද්ධි අංශ නිලධාරීන් “රනවිරුවන්” සහ “ජාතියේ ආරක්ෂකයන්” ලෙස අතොරක් නැතිව ඔජ වඩවන්නේ ද, ඒ සඳහා අවශ්‍ය මහජන මතය හැඩගැස්වීමේ ව්‍යායාමයක් ලෙසය.

“අවාසනාවකට පසුගිය වසර පහ තුල බුද්ධි අංශ දිය කර මුලුමනින්ම අක්‍රිය” කල බවට අගමැති රාජපක්ෂ ඔහුගේ කතාවේ දී සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුවට චෝදනා කලේ ය. පසුගිය ආන්ඩුව විසින් “බොරු චෝදනා මත බුද්ධි අංශ සාමාජිකයන්ට කෲර ලෙස සලකා, හිංසා කොට සිරගත කලා. බුද්ධි අංශ වලට පමනක් නොවෙයි මෙම තත්වයට මුහුන දීමට සිදු වුනේ. එල්ටීටීඊයට විරුද්ධ යුද්ධය කාල පරිච්චේදය තුල සන්නද්ධ හමුදාවල සියලුම ඉහල අනදෙන නිලධාරීන් ඔවුන් විසින් කරන ලදැයි කියන සියලු ආකාරයේ චෝදනා වලට උත්තරදීම සඳහා විශාල මාධ්‍ය ප්‍රචාරයක් සහිතව පොලීසිය ඉදිරියට ගෙනාව” බව ඔහු එහිදී සඳහන් කලේ ය.

“එලෙස ගර්හාවට ලක්වූවන් අතර යුද්ධය කාලයේ ආරක්ෂක ලේකම්, ආරක්ෂක කාර්යමංඩලයේ ප්‍රධානින් දෙදෙනෙක්, හමුදා නිලධාරීන් දෙදෙනෙක්, නාවික හමුදා අනදෙන නිලධාරීන් හතර දෙනෙක්, ජාතික බුද්ධි සේවයේ ප්‍රධානියා, හමුදාවේ, පොලීසියේ, එස්ටීඑෆ් (පොලිස් විශේෂ කාර්ය සාධක බලකාය) සහ නාවික හමුදාවේ ඉතා ඉහල නිලධාරීන් සිටි” බව ද රාජපක්ෂ පැවසීය.

සමහරුන් උසාවි ගෙනිහින් සති කිහිපයක සිට අවුරුද්දක් දක්වා සිර ගත කර තැබූ බවත් ලෝකයේ “කිසිම රටක්” තමන්ගේ ම හමුදා නිලධාරීන් මේ ආකාරයට “ගර්හාවට” පත් කර නැති බවද රාජපක්ෂ සඳහන් කලේ ය.

රාජපක්ෂ සඳහන් කරන එම “බොරු චෝදනා” වනාහි යුද්ධය කාලයේ සිදු කල අමානුෂික මනුස්ස ඝාතන, පැහැර ගැනීම්, අතුරුදහන් කිරීම්, මානවහිමිකම් උල්ලංඝනය කිරීම්, ස්ත්‍රී දුෂන, කප්පම් ගැනීම සඳහා පැහැර ගෙන ගොස් ඝාතනය. කිරීම සහ මාධ්‍ය වේදීන් ඝාතනය කිරීම සහ ඔවුන්ට පහර දීම ඇතුලු බරපතල හා සාපරාධී චෝදනාවන් ය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව යුද්ධයේ අවසන් සති කිහිපය තුල ඝාතනයට ලක් වූ දෙමල සිවිල් වැසියන් සංඛ්‍යාව 40,000 කි. දහස් ගනනක් අතුරු දහන් කෙරී ඇත. මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීමේ ශ්‍රී ලංකා කමිටුවට අනුව 2006-2015 සන්ඬේ ලීඩර් පත්‍රයේ කතෘ ලසන්ත වික්‍රමතුංග, ප්‍රගීත් එක්නැලිගොඩ ඇතුලු සිංහල හා දෙමල මාධ්‍යවේදීන් සහ මාධ්‍ය සේවකයන් 44 ක් රාජ්‍ය ආරක්ෂක හමුදා විසින් ඝාතනය කරනු ලැබ ඇත. 2006 ජනවාරි මාසයේ ත්‍රිකුනාමලේ තරුනයන් 5 දෙනෙකු ද, එම වසරේ අගෝස්තු මාසයේ මුතුර්හි දී ප්‍රන්ස රාජ්‍ය නොවන සංවිධානයක සේවකයන් 17 දෙනෙකු ඝාතනය කෙරුනි. මේවා මහින්ද රාජපක්ෂ පාලන කාලය තුල සිදු කෙරුන මනුස්ස ඝාතන පිලිබඳ එල්ල වී ඇති චෝදනා කිහිපයක් පමනි.

මහජනතාවගේ විරුද්ධත්වය සහ ජාත්‍යන්තර මානවහිමිකම් සංවිධාන වල විවේචනයන් මැද සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව විසින් චෝදනා වලට ලක් වූ හමුදා සහ බුද්ධි අංශ නිලධාරීන් කිහිප දෙනෙකු අත් අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ තැබූ නමුත් ඔවුන්ගෙන් බහුතරයක් දැන් එකී චෝදනාවන් ගෙන් නිදොස් කොට නිදහස් කර ඇත.

පසුගිය වසර පහ තුල “අවමානයට සහ අසාධාරනයට” ලක් වූ සන්නද්ධ හමුදා “නිවැරිදි” කොට ප්‍රතිස්ථාපනය කරන බවට, එනම් සිදුකරන ලද සාපාරාධී ක්‍රියාවන් පිලිබඳ සියලු චෝදානාවලින් ඔවුන් නිදොස් කොට නිදහස් කරන බවට රාජපක්ෂ සිය කතාවේ දී පොරොන්දු විය.v

මෙරට ධනපති පාලක පන්තිය විසින් එල්ටීටීඊ ත්‍රස්තවාදය පරාජය කිරීමේ කඩතුරාව යටතේ ගෙන යන ලද දසක තුනක යුද්ධය දෙමල සහ සිංහල ජනයා අතර යුද්ධයක් නොවේ. එමෙන් ම, එය ධනපති පාලක පන්තිය, සිංහල බෞද්ධ ස්වෝත්තමවාදී බලවේග හා ධනපති ජන මාධ්‍ය විසින් කියාපාන පරිදි “මව්බිම” ආරක්ෂා කිරීමේ “දේශප්‍රේමී” යුද්ධයක් ද නොවේ. එය වනාහි තමන්ගේ ම රටේ ජන කොටසකට විරුද්ධව මෙරට ඒකීය ධනේශ්වර රාජ්‍යය ආරක්ෂා කිරීම සඳහා ධනපති පාලක පන්තිය විසින් මෙහෙයවන ලද ම්ලේච්ච වාර්ගික යුද්ධයකි.

යුද්ධය තුල දී එල්ටීටීඊ සාමාජිකයන් හා දෙමල සිවිල් ජනයා මෙන් ම, හමුදා සොල්දාදුවන් සහ සිංහල සිවිල් ජනයා ද දස දහස් ගනනක් මිය ගියහ. යුද්ධය සඳහා රාජ්‍ය ආරක්ෂක හමුදාවන්ට බඳවා ගත් අති බහුතරය දුගී තරුනයනයෝය. ඔවුන් හමුදාවන්ට බැඳුනේ “මව්බිම” ආරක්ෂා කිරීමේ “දේශප්‍රේමින්” නිසා නොව, විරැකියාව හා ආන්තික දරිද්‍රතාවය නිසාය. ඔවුන්ට තම ජීවිතය බිලි දීමට සිදු වූයේ සිංහල-දෙමල දෙජාතියේම ජනතාවන්ට සතුරු සහ ඔවුන් ව තලන පෙලන ධනේශ්වර රාජ්‍යය වෙනුවෙනි. යුද්ධයෙන් මියගිය පවුල්වලට දරුවන්, දෙමව්පියන්, බිරිඳ හෝ සැමියා ආදී වශයෙන් ඔවුන්ගේ සමීපතම ප්‍රියයන් අහිමි වූහ. දහස් ගනනක් සදාකාලික ආබාධිතයන් බවට පත්වූහ.

මෙරට පාලක පන්තිය ඊනියා නිදහසෙන් පසු සිය පාලනය ආරම්භ කලේ ම දෙමල සුලු ජාතියේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් මැඩලන හා බෙදා වෙන්කර පලනය කිරීමේ ප්‍රතිගාමී දේශපාලන හා දෘෂ්ටිමය පිලිවෙතක් මත පාදකවය. 1948 පුරවැසි පනත මගින් ඉන්දියානු සම්භවයක් සහිත දෙමල වතු කම්කරුවන්ගේ පුරවැසි අයිතිය අහිමි කෙරුන අතර එම පිලිවෙත තවත් ඉදිරියට ගෙන යමින් සිංහල භාෂාව රාජ්‍ය භාෂාව ලෙසත් බෞද්ධාගම රාජ්‍ය ආගම ලෙසත් ව්‍යවස්ථා ගත කෙරුනි. ඉක්බිතිව විශ්ව විද්‍යාල අධ්‍යාපනය හා රැකියා දීමේදී දෙමල ජනයාට වෙනස් කොට සලකන අනුපාත ක්‍රමයක් හඳුන්වා දුන්නේ ය. මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී පිලිවෙත්වල මූලික එල්ලය වූුයේ සිංහල, දෙමල හා මුස්ලිම් කම්කරුවන් බෙදා වෙන් කිරීමය.

දේශපාලන අර්බුදයේ තියුනුවීමක් සහ පන්ති අරගලයේ තීරනාත්මක වර්ධනයක් සිදුවන හැම විටම කම්කරු පන්තිය බෙදා වෙන් කිරීමට සහ ඔවුන් මත රුදුරු ප්‍රහාරයන් එල්ල කිරීම ඉලක්ක කොට ගනිමින් ශ්‍රී ලංකාවේ ධනපති පාලක පන්තිය මෙම දුෂ්ට දේශපාලන සහ දෘෂ්ටිමය අවිය පාවිච්චි කලේ ය.

එය විසින් විශද ලෙස සනාථ කරනු ලැබ ඇත්තේ ලියොන් ට්‍රොට්ස්කි විසින් සිය නොනවතින විප්ලවයේ න්‍යාය තුලින් පෙන්වාදුන් පරිදි පසුගාමී රටවල ජාතික ධනපති පන්තීන්ට පීඩිත ජාතීන්ගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් තහවුරු කිරීමට පවතින ඓතිහාසික නොහැකියාවයි.

ජීවන තත්වයන්ට සහ අයිතීන්ට එල්ල කෙරෙන ප්‍රහාරවලට එරෙහි පන්ති අරගලයන්ගේ වර්ධනයට ධනපති පාලක පන්තීගේ ප්‍රතිචාරය වී ඇත්තේ දක්ෂිනාංශික සහ ෆැසිස්ට් පාලන තන්ත්‍රයන් කරා මාරුවීමය. එක්සත් ජනපදයේ ඩොනල්ඞ් ට්‍රම්ප්, ප්‍රන්සයේ එමානුවෙල් මැක්රෝන් හා ජර්මනියේ චාන්සලර් ඇන්ජෙලා මර්කල්ගේ ආන්ඩු මිලිටරිය සහ ෆැසිස්ට් බලවේග ශක්තිමත් කරමින් එවන් පාලන තන්ත්‍රයන් දිසාවට මාරුවීමේ සැලසුම් ක්‍රියාවට දමමින් සිටිති. මේ රටවල මිලිටරිය සහ ෆැසිස්ට් බලවේග අතර සමීප සම්බන්ධතා වර්ධනය කෙරෙමින් ඇත. ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ ආන්ඩුව හින්දු ස්වෝත්තමවාදී දක්ෂිනාංශික බලවේග පෝෂනය කර ශක්තිමත් කිරීමේ යෙදී සිටින්නේ දැවැන්ත සමාජ අරගල පුපුරා යන කොන්දේසි තුලය.

2019 ජනාධිපතිවරනය සහ ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහනය ශ්‍රී ලංකාවේ ධනේශ්වර පන්ති පාලනයේ තීරනාත්මක දේශපාලන හැරුම් ලක්ෂ්‍යයකි. එය මුහුන දී සිටීන්නේ ගැඹුරුවන ආර්ථික හා දේශපාලන අර්බුදයකටය. පන්ති අරගලයේ වර්ධනය සිය පන්ති පාලනයට වල කපනු ඇතැයි යන භීතියෙන් ධනපති පන්තිය ඇලලී ඇත. මිලිටරිය මත වාරු වූ ආඥාදායක පාලනයක් සඳහා දරන ප්‍රයත්නය ධනපති පාලක පන්තිය ඊට දක්වන මංමුලාසහගත ප්‍රතිචාරයයි.

Share this article: