ශ්‍රී ලංකා ජනාධිපති තම පාලනය තහවුරු කර ගැනීමට උත්සාහ දරමින් පාර්ලිමේන්තුව කල්තබයි

Sri Lankan president prorogues parliament to try to consolidate his rule

සමන් ගුනදාස විසිනි, 2019 දෙසැම්බර් 6

බලයට පත්වී මාසයක් වැනි කෙටි කාලයක් තුල කඩිනමින්ම සුලුතර ආන්ඩුවක් පිහිටුවාගත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, 2020 ජනවාරි 3 දක්වා පාර්ලිමේන්තුව මාසයක කාලයකට අත්හිටවන බව නිවේදනය කරමින් දෙසැම්බර් 2 දා ගැසට් නිවේදනයක් නිකුත් කලේය. මෙය පැහැදිලිවම රාජපක්ෂ ගත් ප්‍රජාතන්ත්‍ර විරෝධී පියවරකි. ආන්ඩුවේ සියලු‍ බලතල අත් කර ගනිමින් කම්කරු පන්තියට සහ සිය දේශපාලන ප්‍රතිවාදීන්ට එරෙහිව ඔහුගේ අත ශක්තිමත් කරගැනීම එහි එල්ලයයි.

කල් තැබීම හරහා පාර්ලිමේන්තුව තාවකාලිකව අත්හිටුවීම සාමාන්‍ය පිලිවෙතක් වන නමුත් මෙය ඊට වඩා දුරදිග යන ඇඟවුම් සහිතය. එපමනක් නොව, විවිධ පසුබිම් උපාමාරු තුලින් ජනවාරි 3දා වන විට පාර්ලිමේන්තුවේ බහුතරයක් ලබා ගැනීමට ඔහුගේ ආන්ඩුව අපොහොසත් වුවහොත්, මාර්තු මාසයේදී එය සම්පූර්නයෙන්ම විසුරුවා හැරිය හැකි වන තෙක් රාජපක්ෂ එය නැවත කල් තැබීමට ඉඩ තිබේ.

වත්මන් පාර්ලිමේන්තුවේ පස් අවුරුදු ධුර කාලය ලබන අගෝස්තු මාසය තෙක් අවසන් නොවුව ද මහජන විරෝධය නැඟීමට පෙර තම ආන්ඩු බලය තහවුරු කර ගැනීම සඳහා බහුතරයක් ලබා ගැනීම පිනිස පාර්ලිමේන්තුව විසුරුවා හැර කල්තියා මැතිවරනය පැවැත්වීමට රාජපක්ෂට අවශ්‍ය වී තිබේ.

ගෝඨාභය රාජපක්ෂ (ස්තුතිය: ඒපී ෆොටෝ)

නොවැම්බර් 16 ජනාධිපතිවරනයෙන් දින කිහිපයකට පසුව පසුගිය මාසයේ දිවුරුම් දුන් වහාම රාජපක්ෂ, අගමැති ධුරයෙන් ඉවත් වී තම සහෝදරයා වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ට ඒ සඳහා ඉඩ සලසන ලෙස එක්සත් ජනපද ගැති මහ ව්‍යාපාරයන්ට හිතවත් එක්සත් ජාතික පක්ෂයේ (එජාප) නායක රනිල් වික්‍රමසිංහට බල කලේය.

රාජපක්ෂගේ ඒකාධිපති පියවර ගැඹුරු වන දේශපාලන අර්බුදයක කොටසකි. මැතිවරන කොමසාරිස්ගේ නියෝගය අනුව වෘත්තීය සමිති විසින් මැතිවරන ව්‍යාපාරය කාලයේ නතර කර තිබූ වැඩ වර්ජන හා කම්කරු පන්ති අරගල නැවත පැන නැඟීමේ අභියෝගයට ඔහුගේ පාලනය දැනටමත් මුහුන දී සිටී. වැඩ කොටස වැඩිකිරීමට හෝ පොරොන්දු වූ පරිදි වැටුප් වැඩි නොකිරීම හේතුවෙන් වතු කම්කරුවන් දහස් ගනනක් පසුගිය සතියේ වැඩ වර්ජන වලට එක් වූහ.

පසුගිය වසරේ සිට කම්කරුවන් සහ දුප්පතුන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) කප්පාදු නියෝග පැනවීමට එරෙහිව මහ වැඩ වර්ජන හා විරෝධතාවලට සම්බන්ධ විය. මීට පෙර එජාප ආන්ඩුව 1980 දී මහා වැඩ වර්ජනය බිඳ දැමීමෙන් පසු සිදු වූ විශාලතම වර්ජන රැල්ල මෙයයි.

පසුගිය දෙසැම්බරයේ පැවති වතු කම්කරුවන්ගේ දින 11 ක වැඩ වර්ජනය ද කම්කරු පන්ති අරගලයන්හි ගෝලීය පුනර්ජීවනයේ කොටසකි. ඔවුන් සියයට සියයක වැටුප් වැඩිවීමක් ඉල්ලා සිටිය ද, රුපියල් 30 ක සොච්චම් වැඩිවීමකට වෘත්තීය සමිති විසින් එය පාවාදෙන ලදී.

වැඩකරන ජනතාවගේ සහ ග්‍රාමීය පීඩිතයන්ගේ ජීවන තත්ත්වය නංවාලීම පිලිබඳ සියලු‍ ව්‍යාජ මැතිවරන පොරොන්දු තිබියදී රාජපක්ෂට, ජාමූඅ නියෝග ක්‍රියාත්මක කිරීමට සිදුවනු ඇත. ඔහුගේ ඉහත පියවර, කම්කරු පන්තියේ වැඩෙන අරගල තලා දැමීමට ගනු ලබන ඒකාධිපති ක්‍රියාමාර්ග පිලිබඳ අනතුරු ඇඟවීමකි.

වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් අනුගමනය කරන ලද එක්සත් ජනපද ගැති විදේශ ප්‍රතිපත්තියෙන් බැහැර නොවන ලෙස එක්සත් ජනපද ආන්ඩුව රාජපක්ෂට දන්වා තිබේ. චීනයට වඩා සමීප යයි තීරනය කරමින් වොෂින්ටනය, මහින්ද රාජපක්ෂව නෙරපා හැර සිරිසේන ජනාධිපති ධුරයට පත් කිරීම සඳහා පිටුබලය දුන්නේය.

2018 ඔක්තෝබරයේ ට්‍රම්ප් ආන්ඩුව, මහින්ද රාජපක්ෂට ඉඩ සැලසීම පිනිස, තමා අගමැති ධුරයෙන් නෙරපීම ප්‍රතික්ෂේප කරමින් වික්‍රමසිංහ ගත් ආස්ථානයට සහාය දුන්නේය.

මේ වසරේ ජනාධිපතිවරනයේදී ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහනය කල ද මාධ්‍ය විසින් ඔහුට බලවත් “ජනවරමක්” ඇති බව නිරූපනය කල ද ඔහු ලබා ගත්තේ සියයට 52 ක ඡන්ද ප්‍රතිශතයක් පමනි. තම සහෝදරයාගේ ජනාධිපති ධුරය යටතේ ආරක්ෂක ලේකම් ලෙස ඔහු ගෙන ගිය ප්‍රචන්ඩකාරී මර්දනය නැවත ආරම්භ වේයැයි බියෙන් ජනගහනයෙන් විශාල කොටසක්, විශේෂයෙන් දෙමල සහ මුස්ලිම්වරු, ඔහුට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කලහ. බොහෝ දෙනෙක් එජාපයට ඡන්දය දුන්නේ එය “අඩු නපුර” ලෙස දකිමින් වුවත්, වැඩ කරන ජනතාව බෙදීමේ මාධ්‍යයක් ලෙස එජාපය ද ඒ සමානවම සිංහල වර්ගවාදයේ ගිලී සිටී.

රාජපක්ෂ සහෝදරයන්ගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුන (ශ්‍රීලංපොපෙ) එජාප පාලනය යටතේ ඇති පාර්ලිමේන්තුවේ සුලුතරයක් ලෙස පවතී. ජනවාරි 3 වනදා පාර්ලිමේන්තුව යලි රැස්වීමට පෙර රාජපක්ෂ පාලන තන්ත්‍රය අල්ලස්, බිය ගැන්වීම් සහ තර්ජන ඇතුලු විවිධ මාධ්‍යයන් හරහා පාර්ලිමේන්තු මන්ත්‍රීන් බිලිබා ගැනීමේ ව්‍යායාමයක් තුලින් බහුතරයක් ගොනුකර ගැනීමට උත්සාහ කරනු ඇත. එවැනි අතයට ගනුදෙනු පිලිබඳ කුප්‍රකට වාර්තාවක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට තිබේ.

කල්තියා පවත්වනු ලබන මහ මැතිවරනයක් හරහා තුනෙන් දෙකක බහුතරයක් ලබා ගනිමින් ඒකාධිපති ආන්ඩුවක් පිහිටුවීම ජනාධිපති රාජපක්ෂගේ අරමුනයි. විධායක ජනාධිපති ධුරයේ පුලුල් බලතල සමහරක් ආන්ඩුක්‍රම ව්‍යවස්ථා කවුන්සිලයකට මාරු කරමින් ජනාධිපති ධුර කාලය දෙවරකට සීමා කල 2015 සම්මත කල 19 වන ව්‍යවස්ථා සංශෝධනය අවලංගු කිරීමට එමඟින් ඔහුට හැකි වේ.

මෑතකදී ඉන්දියාවේ කල සංචාරයකදී හින්දු පුවත්පතට දුන් සම්මුඛ සාකච්ඡාවකදී රාජපක්ෂ මෙසේ පැවසීය: “19 වන ව්‍යවස්ථා සංශෝධනය අසාර්ථකයි. අපට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් ලැබුනහොත් අපි එය ව්‍යවස්ථාවෙන් ඉවත් කරමු.” ඔහු තවදුරටත් මෙසේ පැවසීය. ”‍රටක් සාර්ථකව පාලනය කිරීම සඳහා ස්ථාවරත්වයක් අවශ්‍යයි. සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව යටතේ මෙය සිදු නොවූ අතර, ඔවුන් නිතරම කාකොටා ගනිමින් සිටි අතර කිසිදු සංවර්ධනයක් සිදු නොවීය. ස්ථාවරත්වයක් නොමැති කල ආයෝජකයින් පැමිනෙන්නේ නැත.”

එබැවින් විදේශ ආයෝජන සඳහා පහසුකම් සැලසීම සඳහා “ස්ථාවර” ආන්ඩුවක වැදගත්කම රාජපක්ෂ අවධාරනය කලේය. මෙයින් අදහස් කරන්නේ ගෝලීය සංගත සහ මූල්‍ය ලොක්කන් විසින් ඉල්ලා සිටින ලාභ ශ්‍රම කොන්දේසි වලට එරෙහි මහජන විරෝධය මැඩපැවැත්වීමයි.

පාර්ලිමේන්තුව කල් තැබීමත් වෙනත් ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ගත් රාජපක්ෂ අනුගමනය කරයි. “නීතිය හා සාමය” පවත්වාගෙන යාමේ නාමයෙන් සිරිසේන සහ වික්‍රමසිංහ විසින් ආරම්භ කරන ලද ත්‍රිවිධ හමුදාව බලමුලු‍ ගැන්වීම ඔහු ද දිගටම කරගෙන යයි.

පසුගිය මාසයේ සිදුවීම් කිහිපයක් සිහිපත් කරන්නේ, 2005 සිට 2015 දක්වා මහින්ද රාජපක්ෂගේ පාලනයයි. එජාප මැතිවරන ව්‍යාපාරයට සහාය දුන් බවට චෝදනා කරන සමහර වෙබ් අඩවි වල කාර්යාල වැටලීමට ජනාධිපතිවරනයෙන් පසුව පොලිසිය යොදවන ලදී. මෙම වැටලීම් රාජපක්ෂ රජය විසින් ගනු ඇති මර්දනකාරී පියවර පිලිබඳ තවත් අනතුරු ඇඟවීමකි.

එසේම, පාර්ලිමේන්තුව අත්හිටුවීමෙන්, රාජ්‍ය අංශයේ මූල්‍ය අක්‍රමිකතා අධීක්ෂනය කිරීම සඳහා වන රාජ්‍ය ව්‍යවසාය කමිටුව (කෝප්) ඇතුලු පාර්ලිමේන්තු කමිටු කිහිපයක් ඇනහිටුවා ඇත. මහින්ද රාජපක්ෂගේ ජනාධිපති කාලය තුල ආරම්භ වූ මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් කෝප් වාර්තාවක් සභාගත කිරීමට දිනකට පෙර රාජපක්ෂ පාර්ලිමේන්තුව අත්හිටුවීය.

Share this article: