ට්‍රම්ප් ගෝලීය වෙලඳ යුද්ධය උත්සන්න කරයි

Trump escalates global trade war

නික් බීම්ස් විසිනි, 2019 දෙසැම්බර් 4

බ්‍රසීලය, ආර්ජන්ටිනාව සහ ප්‍රන්සය යන රටවලට පහර දෙමින් එක්සත් ජනපද ජනාධිපති ට්‍රම්ප්, සිය වෙලඳ යුද්ධයේ වැඩ පිලිවෙල වේගවත් කරමින් චීනය සමඟ “පලමු අදියරේ” වෙලඳ ගිවිසුමක් අත්සන් කිරීමට තමා ඉක්මන් නොවන බව කියා සිටියේය. ඩොලර් බිලියන 156ක් වන චීන පාරිභෝගික භාන්ඩ සඳහා දෙසැම්බර් 15 වන දිනට ආසන්නව, නව තීරුබදු පැනවීම මේ අනුව වඩා නියත බවක් පෙන්වයි.

මේ වසරේ චීනය සමග අවසන් ගිවිසුමකට එලඹීමට ඔහු අපේක්ෂා කරනවාදැයි වාර්තාකරුවෙකු විමසූ විට ට්‍රම්ප්, ඊයේ ලන්ඩනයේදී එසේ අදහස් දැක්වීමෙන් පසුව, වෙලඳ දිනය තුලදී ඩව් ජෝන්ස් දර්ශකය ඒකක 457 න් පහත වැටුනි. දවස අවසානයේදී එය දර්ශක 280ක පහත අගයක් පෙන්නුම් කල අතර අනෙකුත් කොටස් වෙලඳපොලවල ද පහත වැටීමක් සටහන් විය.

ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් ට්‍රම්ප් මෙසේ පැවසීය: “මට අවසාන දිනයක් නොමැත. චීන ගිවිසුම සඳහා [2020 නොවැම්බරයේ] මැතිවරනයෙන් පසුව සලකා බැලීමට මා කැමතිය. ”

හොරයිසන් ලයින්ස් ඉන්කෝපරේෂන් හි බහාලුම් නෞකාවක් 2008 පෙබරවාරි 13 වන බදාදා ටකෝමා වොෂ් හි (ටකෝමා, වොෂිංටන්හි) දී මුදා හරිනු ලැබේ.( ස්තුතිය: ටෙඩ් එස්. වොරන් AP Photo/Ted S. Warren)

ට්‍රම්ප්ගේ අදහස් දැක්වීමෙන් පසුව සීඑන්බීසී ව්‍යාපාරික නාලිකාව සමඟ අදහස් දක්වමින් වානිජ ලේකම් විල්බර් රොස් කියා සිටියේ, මේ මස මැද භාගය වන විට කිසිදු එකඟතාවක් ඇතිකර ගැනීමට නොහැකි වුවහොත්, චීනයෙන් ආනයනය කරන පාරිභෝගික භාන්ඩ පරාසයක් සඳහා තීරුබදු පැනවීමේ සැලසුම සමඟ එක්සත් ජනපදය ඉදිරියට යන බවයි.

පුදුම සහගත ට්වීටර් පනිවුඩයක් නිකුත් කරමින් ට්‍රම්ප් කියා සිටියේ, 2018 දී වානේ සහ ඇලු‍මිනියම් ආනයනය සඳහා පනවා ඇති තීරුබදු වලින් ආර්ජන්ටිනාව සහ බ්‍රසීලය නිදහස් කර තිබුනත් එය ආපසු හරවන බවය. එම රටවල මුදලේ “දැවැන්ත අවප්‍රමානය” ඇමරිකානු ගොවීන්ට හානිකරවූ බව ට්‍රම්ප් සඳහන් කලේය. මෙම පියවර චීනයට එරෙහි වෙලඳ යුද්ධයට සෘජුවම සම්බන්ධ ය. චීනය එක්සත් ජනපදයෙන් සෝයා බෝංචි මිලදී ගැනීම් කපා හැරීම නිසා පසුගිය වසර පුරා චීනයට කෙරුනු බ්‍රසීලියානු සෝයා බෝංචි අපනයනය ඉහල ගොස් තිබේ. එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අනුව බ්‍රසීලය, මැයි මාසයෙන් අවසන් වන මාස නවය තුල චීනයේ සෝයා බෝංචි ආනයනයෙන් සියයට 77 ක් සැපයූ අතර එය මීට පෙර සියයට 40 ක්ව තිබුනි.

ට්‍රම්ප් කියා සිටියේ, බ්‍රසීල සහ ආර්ජන්ටිනා මුදල් අගය පහත වැටීම ඔවුන්ගේ ආන්ඩුවල “මූලිකත්වයෙන්” සිදුවූ බවයි. ඇත්ත වශයෙන්ම එය ඔවුන්ගේ දුර්වල ආර්ථිකයන්ගේ ප්‍රතිපලයකි. එහෙත් මූල්‍ය යුද්ධයක සම්භාවිතාව ඉහල නංවමින් එක්සත් ජනපද ඩොලරයේ වටිනාකම අඩු කරන ලෙස ට්‍රම්ප් නැවතත් මහ බැංකුවෙන් ඉල්ලා සිටීමට එය අවස්ථාව කර ගත්තේය.

“මහ බැංකුව විසින් අනුපාත අඩු කල යුතුය [උද්ධමනය නැති තරම්ය] සහ ලිහිල් කල යුතුය. එමඟින් අප වෙනත් ජාතීන් සමඟ තරඟකාරී වන අතර නිෂ්පාදනය ඉහල යනු ඇත! අනෙක් ඒවාට සාපේක්ෂව ඩොලරය ඉතා ශක්තිමත් ”යැයි ඔහු ට්වීටර් සටහනක් යෙදීය‍.

නිෂ්පාදනය පිලිබඳ සඳහන, ට්‍රම්ප්ගේ වෙලඳ යුද්ධය උත්සන්න කිරීමේ තවත් කරුනක් වෙත යොමු කරයි. ෆිනෑන්ෂල් ටයිම්ස් මේ සතිය මුල ලිපියක සඳහන් කල පරිදි, “ටොපෝර්” (නිෂ්ක්‍රීය) ගිනුම පෙන්නුම් කලේ, මේ වසරේ එක්සත් ජනපද නිෂ්පාදන පහත බැස ඇති බවයි.

“එක්සත් ජනපද ආර්ථිකය පුරා කාර්මික නිෂ්පාදනය”‍ එකතැන පල් වී තිබේ. විශේෂයෙන්ම ”‍කාර්මික පටියට ඇතුලත් ප්‍රාන්ත ගනනාවක.”‍ ”‍ධවල මන්දිරය සහ එහි වෙලඳ ප්‍රතිපත්ති පිලිබඳ කනස්සල්ලේ සලකුනක් ලෙස” ඒ තත්වය, ලබන වසරේදී ට්‍රම්ප් නැවත තේරී පත්වීමේ හැකියාවට වල කැපිය හැකිය.

සැපයුම් කලමනාකරන ආයතනය විසින් සඳුදා නිකුත් කරන ලද දත්ත වලින් ලැබෙන පනිවුඩය ද කාර්මික නිෂ්පාදනය අඛන්ඩව එකතැන පල්වීමය. එය පෙන්නුම් කලේ, මිලදී ගැනීමේ කලමනාකරුවන්ගේ දර්ශකය නොවැම්බර් මාසයේදී 48.3 සිට 48.1 දක්වා පහත වැටී ඇති බවයි.

ප්‍රතිපලය ගැන බ්ලූම්බර්ග් වාර්තාවක් සඳහන් කලේ, “සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ නිෂ්පාදන අංශය තවදුරටත් එක දිගට පහත වැටීමක් නොපෙන්වුව ද ව්‍යාපාර ආයෝජන කප්පාදුව, මන්දගාමී වන ගෝලීය ඉල්ලු‍ම සහ තවමත් ඇවිලෙමින් තිබෙන එක්සත් ජනපද-චීන වෙලඳ යුද්ධයේ වාතාවරනයක් තුල ඉහල වේගයක් නොපෙන්වන බවයි. ”

ඩොලර් බිලියන 2.4 ක් වටිනා ප්‍රන්ස භාන්ඩ සඳහා සියයට සියයක තීරුබදු පැනවීමට තීරනය කිරීමත් සමඟ බ්‍රසීලයට හා ආර්ජන්ටිනාවට එරෙහි පියවර වහාම යුරෝපයට එරෙහි වෙලඳ යුද්ධයේ ක්‍රියාමාර්ගයට සම්බන්ධ විය.

ගූගල් සහ අනෙකුත් එක්සත් ජනපද ඩිජිටල් සමාගම් විසින් ඉලක්කගත වෙලඳ දැන්වීම් හෝ ඩිජිටල් වෙලඳපොලක් පවත්වාගෙන යාම වැනි කටයුතු වලින් ලබාගත් ආදායම මත ප්‍රන්සය විසින් පනවා ඇති සියයට 3 ක ඩිජිටල් සේවා බද්දකට ප්‍රතිචාරයක් ලෙස එය ගනු ලැබීය.

බද්දට පලිගැනීමක් ලෙස තීරුබදු පැනවීමට ට්‍රම්ප් පරිපාලනය විසින් කරන ලද තර්ජනයකට ප්‍රතිචාර වශයෙන් අගෝස්තු මාසයේදී ප්‍රන්ස සහ එක්සත් ජනපද නිලධාරීන් එකඟතාවකට පැමිනියේ, සංවිධානය විසින් සාකච්ඡා කරනු ලබන යෝජනාවකට වඩා වැඩි බදු ගෙවා තිබුනහොත් ප්‍රන්සය, ඒවා ඇමරිකානු සමාගම්වලට ප්‍රතිපූරනය කරන බවය. එම යෝජනාව ඉදිරිපත් කරන ලද්දේ ආර්ථික සහයෝගීතාව සහ සංවර්ධනය සඳහා (ඕඊසීඩී) සංවිධානය විසිනි.

අනෙක් යුරෝපීය රටවල් ප්‍රන්සය විසින් අය කරනු ලබන බදු වලට අනුකූලව ජාතික බදු පැනවීම ගැන සලකා බලන බැවින් එම ගිවිසුම අවලංගු කර ඇති බව පෙනේ.

එක්සත් ජනපද වෙලඳ නියෝජිත රොබට් ලයිට්සයිසර් විසින් නිකුත් කරන ලද ප්‍රකාශයකින් පැහැදිලි වූයේ පලිගැනීම ප්‍රන්සයෙන් ඔබ්බට යා හැකි බවයි. මෙම තීරනය “එක්සත් ජනපද සමාගම්වලට වෙනස් ලෙස සැලකීම් හෝ වෙනත් ආකාරයකින් බර පැටවීමේ ඩිජිටල් බදු තන්ත්‍රයන්ට එරෙහිව එක්සත් ජනපදය පියවර ගනු ඇති බවට පැහැදිලි සංඥාවක් වනු ඇති”‍ බව ඔහු පැවසීය.

“‍ඩිජිටල් සේවා බදු හෝ එක්සත් ජනපද ඩිජිටල් සේවා සමාගම් ඉලක්ක කරගත් වෙනත් උත්සාහයන් හරහා එක්සත් ජනපද සමාගම් අසාධාරන ලෙස ඉලක්ක කරන යුරෝපා සංගමයේ සාමාජික රටවල වර්ධනය වන ආරක්ෂනවාදයට එරෙහිව යූඑස්ටීආර් අවධානය යොමු කර ඇත.”‍

මේ වසර මුලදී ලෝක වෙලඳ සංවිධානය විසින්, යුරෝපීය ගුවන් යානා සමාගමක් වන එයාර් බස් සමාගමට සහනාධාර ලබා දීම තම වෙලඳ රෙගුලාසි වලට විරුද්ධ යයි දුන් තීන්දුවකට ප්‍රතිචාර වශයෙන් ට්‍රම්ප් පරිපාලනය, එක්සත් රාජධානිය, ප්‍රන්සය, ස්පාඤඤය සහ ජර්මනිය යන රටවල භාන්ඩ සඳහා දැනටමත් පනවා ඇති දඬුවම් බදු මාලාවක විෂය පථය පුලුල් කිරීම පිලිබඳව එහි සහාය ද ඇතිව සලකා බලයි.

ප්‍රන්සයට එරෙහිව තීරුබදු පැනවීම සඳහා එක්සත් ජනපදය තුලදී පක්ෂ දෙකේම සහාය ලැබුනි. රිපබ්ලිකානු චාල්ස් ග්‍රාස්ලි සහ සෙනෙට් මූල්‍ය කමිටුවේ ප්‍රමුඛ සාමාජිකයන් වන ඩිමොක්‍රටික් පාක්ෂික වන රොන් වයිඩන් විසින් නිකුත් කරන ලද ඒකාබද්ධ ප්‍රකාශයක සඳහන් වූයේ, ප්‍රන්ස බද්ද “අසාධාරන, ආරක්ෂනවාදී සහ වෙනස්කම් කිරීමක්” බවයි.

ට්‍රම්ප් සිය “පලමුව ඇමරිකාව” න්‍යාය පත්‍රය යටතේ එක්සත් ජනපද සමාගම්වලට ඔවුන්ගේ ජාත්‍යන්තර මෙහෙයුම් වලින් ලැබෙන ලාභ මත බදු අය කිරීමට නොහැකි විය යුතු බව ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැහැදිලි කලේය.

“ප්‍රන්සය ඇමරිකානු සමාගම්වලින් බදු අය කිරීම මා ඉවසන්නේ නැත,” ඔහු පැවසීය. “‍ජනතාව ඇමරිකානු සමාගම් වලින් වාසි ලබා ගනී, යමෙකු අපගේ සමාගම් වලින් වාසි ලබා ගැනීමට යන්නේ නම් ඒ අපගෙන් ය.”‍

තීරුබදු පියවර ප්‍රන්සයෙන් කෝපාවිෂ්ට ප්‍රතිචාරයක් ගෙන ආවේය. යුරෝපා සංගමය “ශක්තිමත් අවි” සහිතව ප්‍රතිචාර දැක්වීමට සූදානම් බව මුදල් ඇමති බෘනෝ ලී මයර් පැවසීය. තීරුබදු පියවර “පිලිගත නොහැකි” අතර ඒවා මිත්‍රයෙකුට සුදුසු නොවේ.

ගෝලීය අවම බද්දක් සම්බන්ධයෙන් ඕඊසීඩී තීරනය කරන තෙක් බද්ද වසර දෙකක් තිස්සේ පවතිනු ඇති බවට අගෝස්තු මාසයේ පැවති ජී 7 සමුලුවේදී ඇති කරගත් ගිවිසුමට එක්සත් ජනපදය තවමත් කැපවී සිටීදැයි ඔහු ප්‍රශ්න කලේය.

ප්‍රන්සයේ උප මුදල් ඇමති ඇග්නස් පන්නියර්-රුනාචර් කියා සිටියේ, ප්‍රන්සය බද්දෙන් පසුබසින්නේ නැති බවත් එය ආරක්ෂා කිරීමේදී “දඩබ්බර” විය යුතු බවත්ය.

මෙම ගැටලුව ප්‍රන්සයෙන් ඔබ්බට ගියේ, සියලු‍ යුරෝපීය රටවල් ප්‍රධාන ඩිජිටල් සමාගම් විසින්, හුවමාරු මිලකරනය සහ වෙනත් ආකාරයේ උපාමාරු මගින් බදු වලක්වා ගැනීම සඳහා දරන ප්‍රයත්නයන් මැඩපැවැත්වීම සඳහා යාන්ත්‍රන සංවර්ධනය කිරීමට උත්සාහ කරන බැවිනි.

එක්සත් රාජධානිය ද ඊට සම්බන්ධ විය හැකිය. අඟහරුවාදා නිකුත් කල නිවේදනයක දී අගමැති බොරිස් ජොන්සන්, බ්‍රිතාන්‍යයේ ඩිජිටල් සේවා සමාගම්වල ආදායම සඳහා සියයට 2 ක බද්දක් ඉදිරිපත් කරන බව ප්‍රකාශ කලේය. මෙම යෝජනාව එක්සත් ජනපද භාන්ඩාගාර ලේකම් ස්ටීවන් මුන්චින් විසින් “වෙනස්කම් කිරීමක්” ලෙස විවේචනය කරන ලදී.

ට්‍රම්ප් නේටෝ නායකයින්ගේ රැස්වීම සඳහා ලන්ඩනයට ගොඩබැසීමට සූදානම් වෙමින් සිටියදී එක්සත් රාජධානියේ යෝජනාව ආරක්ෂා කරමින් ජොන්සන් පැවසුවේ, “විශාල ඩිජිටල් සමාගම්වල මෙහෙයුම් සහ එක්සත් රාජධානියේදී ඔවුන් ලබන විශාල ආදායම සහ ඔවුන් ගෙවන බදු ප්‍රමානය පිලිබඳව අප සොයා බැලිය යුතුයි” යනුවෙනි.

ඊයේ නිකුත් කල මත විමසුමකට අනුව, බ්‍රිතාන්‍ය ජනගහනයෙන් තුනෙන් එකක් දකින්නේ, ඔහු ට්‍රම්ප්ගේ “හුරතල් බල්ලෙකු” (පූඞ්ල්) ලෙසය. විවේචන මැඩපැවැත්වීම සඳහා ජොන්සන් බි්‍රතාන්‍ය මැතිවරන ව්‍යාපාරය කෙරෙහි දැඩි අවධානයක් යොමු කර ඇති බවට සැකයක් නැත. ලෝක සාමයට හා ස්ථාවරත්වයට අනතුරක් ලෙස සැලකෙන ඉහලම රටවල් පහ අතර එක්සත් ජනපදය ද සිටී.

එහෙත් මැතිවරන ගනන් බැලීම් පසෙක තිබියදී එක්සත් ජනපදය විසින් වෙලඳ යුද්ධය තීව්‍ර කිරීම පෙන්නුම් කරන්නේ, එහි ඉලක්කය එහි ප්‍රධාන “උපායමාර්ගික ප්‍රතිමල්ලවයා” වන චීනය පමනක් නොව “මිතුරන්” සහ “මිත්‍ර පාක්ෂිකයන්” යන දෙගොල්ලන්ම වන බවයි.

Share this article: