ශ්‍රී ලංකාවේ තේ වතු කම්කරු කමිටුව පෙබරවාරි 9 දා ඩිට්‍රොයිට් විරෝධතාවට සහාය පලකරයි

Sri Lankan tea plantation workers committee supports call for February 9 demonstration in Detroit

අපේ වාර්තාකරුවන් විසිනි, 2019 පෙබරවාරි7

කලමනාකරනයට හිතවත් වෘත්තීය සමිතියට එරෙහි කැරැල්ලක නිරත වෙමින් 2018 දී ශ්‍රී ලංකාවේ තේ වතු කම්කරුවෝ තේ වතු හිමියන්ට විරුද්ධ ව ප්‍රබල වර්ජනයක නිරත වූ හ. ඔවුන්ගේ අරගලය සංවිධානය කරමින් දිශාගත කිරීමට හා පුලුල් කිරීමට ඔවුහු ඇබොස්ලී වතු කම්කරු ක්‍රියාකාරී කමිටුව දියත් කල හ. රැකියා විනාශ කිරීමට හා වරදානවලට විරුද්ධ ව පෙබරවාරි 9දා සවස 2ට ඩිට්‍රොයිට්හි ජෙනරල් මෝටර්ස් මූලස්ථානය ඉදිරිපිට පැවැත්වීමට සැලසුම් කර ඇති විරෝධතාවට සහභාගි වන ලෙස එක්සත් ජනපදයේ හා කැනඩාවේ කම්කරුවන්ට කැඳවුම් කරමින් ඔවුහු පහත පලවන ප්‍රකාශය යැවූ හ.

උතුරු ඇමරිකානු මෝටර් රථ කම්කරුවන්ට සහයෝගය දක්වන ඇබොස්ලී තේ වතු කම්කරුවන්

ෆ ෆ ෆ

ශ්‍රී ලංකාවේ ඇබොස්ලී වත්තේ කම්කරු ක්‍රියාකාරී කමිටුවේ අපි, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ මෝටර් රථ කම්කරු ප්‍රවෘත්ති පත්‍රය හා ක්‍රියාකාරී කමිටු එකමුතුවේ මෙහෙයුම් කමිටුව ජෙනරල් මෝටර්ස් (ජීඑම්) සමාගම විසින් කම්හල් වසාදැමීමට එරෙහි ව පෙබරවාරි 9දා ඩිට්‍රොයිට්හි ජීඑම් මූලස්ථානය ඉදිරිපිට පැවැත්වීමට කැඳවුම් කර ඇති විරෝධතාවට අපගේ උනුසුම් සුභපැතුම් පිරිනැමීමට කැමැත්තෙමු.

එක්සත් ජනපදයේ හා කැනඩාවේ කම්හල් පහක් වසාදමා රැකියා 15,000ක් පමන විනාශ කිරීමට ජීඑම් සැලසුම් කරමින් සිටින බව අපි දනිමු. මෙය වනාහි ඇත්තන් හා නැත්තන් අතර අගාධය පුලුල් කරමින් සුපිරි ලාබ සොයමින් දිවයන මහ ව්‍යාපාරිකය විසින් ගෝලීය පරිමානයෙන් සිදුකරන ප්‍රතිව්‍යුහගත කිරීමක කොටසක් බව අපි අවබෝධ කරගනිමු.

ශ්‍රී ලංකාවේ වතු කම්කරුවන් හා කම්කරු පන්තියේ අනිකුත් කොටස් මුහුන දෙන තත්ත්වය ද ලාබ පිපාසිත මහ ව්‍යාපාරික සමාගම් හා බැංකුකරුවන්ගේ ඒ හා සමාන පිලිවෙත්වල ප්‍රතිඵලය යි.

ශ්‍රී ලංකාවේ වතු කම්කරුවන් ලෙස අපි, බලයේ සිටින ආන්ඩුවේ ද පූර්න පිටුබලය සහිත ව හාම්පුතුන් විසින් කරගෙන යන රුදුරු පිලිවෙත්වලට මුහුන දී සිටිමු. මෙහි වතු කම්කරුවන්ගේ මෑත වර්ජන රැල්ල සමයේ, හාම්පුතුන් හා ආන්ඩුව සමග සහයෝගයෙන් සිටින වෘත්තීය සමිතිවලට එරෙහි ව මැදිහත්වීමට අපට සිදු වූයේ කම්කරු ව්‍යාපාරයට ජාත්‍යන්තර දේශපාලන ඉදිරිදර්ශනයක් රැගෙන ඒමට යි. අපගේ ම අත්දැකීම් හරහා අප අවබෝධ කරගෙන ඇත්තේ, මේ සඳහා ක්‍රියාකාරී කමිටු එකමුතුවේ මෙහෙයුම් කමිටුව වැනි ස්වාධීන සංවිධානයක් ජාතික රාජ්‍ය සීමා කපාගෙන සංවිධානය කල යුතු බව යි.

එහෙයින් මෙහෙයුම් කමිටුව විසින් ගන්නා ක්‍රියාමාර්ග හුදෙක් එක්සත් ජනපදයේ මොටර් රථ කම්කරුවන්ගේ මූලික අවශ්‍යතා වෙනුවෙන් පමනක් නො ව සමස්තයක් ලෙස ජාත්‍යන්තර කම්කරු පන්තිය වෙනුවෙන් එල්ල කල ප්‍රහාරයක් ලෙස අපි සලකමු. ජාත්‍යන්තර ව පන්ති අරගලවල වර්ධනය සමීප ව අධ්‍යයනය කරන අපි, සමාජ ප්‍රතිවිප්ලවයට හා අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහ පොදු මූලෝපායක පදනම මත ඒකාබද්ධ වීමට සූදානම් වෙමු.

සහෝදරාත්මක සුබ පැතුම් සමග,

ඇබොස්ලී වත්තේ කම්කරු ක්‍රියාකාරී කමිටුව, ශ්‍රී ලංකාව.

Share this article: