දීමනා කප්පාදුවට එරෙහි අරගලයේ නිරත හලාවත පොල්වතු කම්කරුවෝ ලෝසවෙඅ ට කතා කරති

අපේ වාර්තාකරුවන් විසිනි, 2019 පෙබරවාරි 1

හලාවත වැවිලි සමාගමට අයත් පොල් වතු කම්කරුවෝ වසර අග ලබා දෙන දීමනා කප්පාදුවට එරෙහිව පසුගිය මාසයක් පුරා උද්ඝෝෂනවල නිරත වී සිටිති.

කම්කරුවන් දෙදෙනෙක් සිය නිවාස ඉදිරිපිට

පොල් වතු කම්කරුවෝ ද තේ වතු කම්කරුවන් මෙන්ම දරිද්‍ර දෛනික වැටුප් ලබන ලංකාවේ දරුනු සූරාකෑමට ලක්ව සිටින කම්කරුවන් අතරට අයත් වෙති. ඔවුන්ගේ දෛනික වැටුප රුපියල් 615 කි. ඉරිදා හා පෝය දින හැර අනෙක් සියලු දිනවල රැකියාවේ නිරත කම්කරුවෙකුට පමනක් දිනකට රුපියල් 740 ක් හිමි වේ.

1992 සිට 2016 දක්වා ලබා දුන්, සමාගමේ වාර්ෂික ආදායමෙන් සියයට 10 ක් කම්කරුවන් අතර බෙදාදීමේ පාරිතෝෂික දීමනාව හා වසර අග දුන් නත්තල් දීමනාවත් ලබා නොදීමට එරෙහිව හලාවත පොල් වතු කම්කරුවෝ මේ මස 02 දා සිට අඛන්ඩ වර්ජනයක නිරත වූහ. ඒ සඳහා සමාගමට අයත් වතු 85 ක වතු කම්කරුවන් සහ කාර්යල කම්කරුවන් අට සියයක් පමන සහභාගී විය.

දින 10 කට පසු කම්කරුවන් වර්ජනය අත්හැරියේ දීමනා ලබා දෙන බවට වැවිලි කර්මාන්ත ඇමති නවීන් දිසානායක, වතු පරිපාලනය හා වෘත්තීය සමිති නායකයන් ලබා දුන් පොරොන්දු මතයි. යලි පොරොන්දු කඩ කර ඇති වතු සමාගම හා ආන්ඩුව පවසන්නේ වතු සමාගමේ සභාපති ආසිරි හේරත් අසනීප තත්වයෙන් පසුවන නිසා දීමනා ලබා දීම ප්‍රමාද වන බවයි.

හලාවත ආනමඩුව පාරේ පිහිටි ලංකාවේ විශාලතම පොල් වත්ත වන පලුගස්වැව වත්තේ කම්කරුවන් ලෝක සමාජවාදී වෙබ් අඩවියට (ලෝසවෙඅ) ප්‍රකාශ කලේ සමාගමේ ආදායම අඩුවීම හේතුවෙන් දීමනාව ප්‍රමාද බවට එම වත්තේ කලමනාකාරීවරයෙකු් ප්‍රකාශ කල බවයි. නමුත් කම්කරුවන් පෙන්වා දෙන්නේ 2018 වසරේ සමාගමේ අදායම රුපියල් මිලියන 1100 ක් වන බවත් ශුද්ධ ලාභය මිලියන 90 ක් ඉක්මවා ඇති බවයි. සමාගමේ මූල්‍ය වාර්තාවන්ට අනුව 2016 වසරේ ශුද්ධ ලාභය මිලියන 70 කි. එම වසරේ ලාභයෙන් සියයට දහය කම්කරුවන් අතර බෙදු විට එක් කම්කරුවෙකුට රුපියල් 23,000 බැගින් පාරිතෝෂික දීමනා ලැබී ඇත. ඒ අනුව, 2018 දී එය 30,000 ක් පමන විය යුතු යයි කම්කරුවන් පවසයි.

ආදායම පහල මට්ටමක පැවතීම හේතුවෙන් 2018 සඳහා පාරිතෝෂික දීමනා රුපියල් 13,500 ක් පමනක් ලබා දිය හැකි බවට වතු පරිපාලනය කරන යෝජනාවට කම්කරුවන් විරුද්ධ වූ තත්වය යටතේ විවිධ හේතු දක්වමින් දීමනා ලබා දීම මේ වන විට මගහරිමින් සිටී. සෑම වසරකම දෙසැම්බර් මාසයේ ලබා දුන් රුපියල් දස දහසක නත්තල් දීමනාවත් මෙවර කම්කරුවන්ට ලබා දී නොමැත.

පොල්වතු කම්කරුවන්ගේ වර්ජනය හුදකලා කර ඇති නිදහස් සේවක සංගමය හා අන්තර් සමාගම් සේවක සංගමය, මේ වන විට පැන නැගී ඇති තේ වතු කම්කරුවන්ගේ වැටුප් අරගලය සමග ඒකාබද්ධ කිරීම දැනුවත්ව වලක්වා තිබේ. වසර කිහිපයකට වරක් ප්‍රෝඩාකාරී විරෝධතාවක් සංවිධානය කරන මෙම සමිති ආන්ඩුවට බලපෑම් දැමීම මගින් කම්කරුවන්ගේ අයිතීන් දිනාගත හැකිය යන මිත්‍යාව කම්කරුවන් තුල වගා දිගා කරමින් සිටී.

2016 වසර අගදී පැන නැගි වැටුප් අරගලය මගින් රුපියල් 415 ක් ව පැවති දෛනික වැටුප රු.200 කින් වැඩි වී ඇතත් ඉහල යන ජීවන වියදම හමුවේ හා උග්‍ර කෙරෙන සූරාකෑම හමුවේ එම වැඩිවීම කිසිසේත් ප්‍රමානවත් නොවේ.

හලාවත වැවිලි සමාගම රජයේ ජාතික වතු සංවර්ධන මන්ඩලයට අයත් වැවිලි සමාගමකි. සමාගමට අයත් වතු 85 ට හෙක්ටෙයාර 5,733 ක් අයත් වේ. ඉන් බහුතර ඉඩම් ප්‍රමානයක වගා කොට ඇත්තේ පොල් ය. අතුරු බෝග හා යෝගට්, මී කිරි වැනි නිෂ්පාදන වලින් ද සමාගම ලාභ උපයයි. දැඩි නියං කාලවල දී පමනක් පොල් අස්වැන්නේ සුලු අඩුවීමක් තිබුන ද සමාගම යටතේ පොල් ඇස්වැන්න අඛන්ඩව ඉහල ගොස් තිබේ. එසේම පොල් මිල ගනන්වල අඩුවීම් තිබුන ද සමාගමේ ලාභ ඉහල ගොස් ඇත්තේ රුපියල් කෝටි ගනනින් ය.

ලංකාවේ තේ සහ රබර් අපනයනවලට වඩා වැඩි වර්ධනයක් පසුගිය කාලයේ පොල් ආශ්‍රිත අපනයන මගින් පෙන්වා තිබේ. තේ හා රබර් අපනයනය ජාත්‍යන්තර තරගයකට මුහුන දී සිටී. ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තාවලට අනුව 2016 දෙසැම්බර් මාසයේ පොල් හා ආශ්‍රිත අපනයන වටිනාකම ඇමරිකන් ඩොලර් මිලියන 28.5 කි.

මහ ධනපති සමාගම් හිමියන් සහ ආන්ඩුව ලාභයෙන් සියයට දහයක් කම්කරුවන් අතර බෙදීම නවතා දැමුවත්, දැවැන්ත ඵලදාව හා ආදායම මුලුමනින්ම නිපදවන්නේ කම්කරු පන්තියේ ශ්‍රමයෙනි.

1970 දශකයේ අගභාගයේ සිට පලුගස්වැව වත්තේ රැකියාවේ නිරතව සිටින කම්කරුවෙක් දීමනා කප්පාදුව හා වතු පරිපාලනයේ මර්දනය මෙසේ මතු කලේ ය: “වතු අධිකාරී ඇවිල්ලා කිව්වා දීමනාව ගෙවනවා ඔයාලා වැඩට යන්න කියලා. ඒවා විශ්වාස නැති බව කිව්වාම මට තර්ජනය කලා වැඩ කරන්නේ නැත්නම් ගෙදර පලයන්, වැඩ කරන අයට වැඩ කරන්න දීලා කියල කිව්ව”.

ඔහුගේ සොච්චම් වැටුප හා ජීවන වියදම පිලිබඳව සඳහන් කල එම කම්කරුවා “මගේ මුලු වැටුප රුපියල් 22,000 යි. අපි ගත්තු (ඇඩ්වාන්ස්) මුදල් කැපිලා අතට එන්නේ 16,000 ක් විතරයි. වත්තේ ඉස්සර දොස්තර කෙනෙක් හිටියා නමුත් දැන් නැ. මට හරියට මගේ ලෙඩට දුකට බේත් ටිකක් ගන්නත් මේ වැටුප මදි“ යයි පැවසීය.

පලුගස්වැව වත්තේ මුලු බිම් ප්‍රමානය අක්කර 1600 කි. නමුත් වත්තේ පොල් කැඩීම, ඇහිලීම, පැටවීම, ලෙලි ගැසීම ආදී සියලු වැඩ කිරීමට ඉන්නේ කම්කරුවන් 250 ක් පමන පිරිසකි. අවුරුදු 60 ට වැඩි සේවා කාලයක් ඇති කම්කරුවන් ඒ අතර සිටින අතර ඔවුන්ට දිනකට දෙන්නේ රුපියල් 600කි.

බොහොමයක් වතුවල කම්කරුවන්ට ලබා දී ඇත්තේ පේලි නිවාස හෙවත් ලයින් කාමර වන අතර ඉන් බොහෝමයක් අබලන් වී අනාරක්ෂිත තත්වයේ පවතී. මීට මාස තුනකට පෙර අවුරුදු 16 ක තරුනයෙකු විදුලි සැර වැදී මරනයට පත්ව ඇති නමුත් වතු අධිකාරිය සාමාන්‍ය මරනයකට ලබාදෙන රුපියල් විසිපන්දාහක දීමනාව තරුනයාගේ දෙමාපියන්ට ලබා දීමෙන් ඇඟ බේරා ගෙන තිබේ. ඉස්තෝප්පුව සාලය හා පිටුපස කොටසක් ඇති ලයින් නිවාසවල වහල සෙවිලි කොට ඇත්තේ, තහඩු, පොල් අතුවලිනි. තරුනයා මරනයට පත් වී ඇත්තේ සෙවිලි තහඩුවට සිදු වූ විදුලි කාන්දුවක් හේතුවෙනි.

ගරා වැටෙන නිවාස හා සනීපාරක්ෂක පහසුකම් පිලිබඳව දැඩි කෝපයෙන් කතා කල කම්කරුවෙක් මෙසේ පැවසීය: “මේ නිවාස ගොඩක් පරන ඒවා. විදුලිය අරන් තියෙන්නේ වයර් අමුනලා. පාලකයෝ වැඩ ගන්නවා විතරයි ඒවා පිලිවෙලක් කරලා දෙන්නේ නෑ. අපේ දුක අපි විතරයි දන්නේ. කිසිම මාධ්‍යයක් වෘත්තීය සමිතියක් හෝ දේශපාලන පක්ෂයක් මේවා බලන්න එන්නේ නෑ.”

ශරීරයේ එක් අංශයක් අප්‍රානිකව තිබී මඳ සුවය ලබා සිටින 66 හැවිරිදි තවත් කම්කරු කාන්තාවක් සිය දියනියන් තිදෙනාට බරක් නොවී සිටිම සඳහා තවදුරටත් රැකියාවේ නිරතව සිටී. දැන් ඇය වත්ත උදුලු ගෑමේ හා අතුගෑමේ යෙදී සිටී. ඇයගේ ස්වාමි පුරුෂයා වයස 52 දී මරනයට පත් වී ඇත්තේ පොල් ගස්වලට පොහොර සකස් කිරීමේ මෝලට හසුවීමෙනි. “දුවලගේ දරුවෝ ඉගෙන ගන්නවා. අද කාලේ ලමයින්ට උගන්නන්න ගොඩක් වියදම් යනවා. ඒ නිසා මම මගේ වියදම් දරා ගන්නවා. ආන්ඩුවේ පින් පඩි 250 යි. ආසාවට කන්න දෙයක් ගන්න නෑ. කව්රු හරි දෙන දෙයක් තමයි කන්නේ. වතුවල ලොක්කෝ ලොකු පඩි හා දීමනා අරගෙන සාද පවත්වනවා අපිට කන්නත් නෑ” යයි ඇය පැවසුවාය.

2012 සිට වසර 3 ක් සෞදි අරාබියේ ගෘහ සේවයේ යෙදී සිටි තවත් කාන්තාවක් කියා සිටියේ එරටෙහි තත්වය වත්තේ තත්වයටත් වඩා දුෂ්කර බවයි. එවක දී ඇයගේ වැටුප සෞව්දි රියාද් 700 ක් නැතහොත් රුපියල් 27,000 කි. “හරියට කන්නත් නැතුව මුලු දවසේම වැඩ කරලත් ලැබුනේ එච්චරයි” යයි ඇය ප්‍රකාශ කලා ය.

මහා ධනපති සමාගම් සතුව මෙන්ම ධනපති දේශපාලනඥයන් සතු සුවිසල් පොල්වතු ගනනාවක් හලාවත, කුරුනෑගල හා මීගමුව අතර පොල් ත්‍රිකෝනයේ හා ඉන් පිටත පිහිටා තිබේ.

ප්‍රදේශයේ ඇති කොහු මෝල් හා අනෙකුත් කම්හල් තුල ද කම්කරුවෝ දරුනු සූරාකෑමකට ලක් ව සිටිති. වැටුප්, දීමනා කප්පාදු හා දරුනු සේවා කොන්දේසි යටතේ පතුලටම කඩා වැටෙන වතු කම්කරුවන්ගේ ජීවන තත්වයන් ලංකාවේ සමස්ත ධනේශ්වර පාලක පන්තියට හා වෘත්තීය සමිතිවලට එරෙහි බරපතල චෝදනා පත්‍රයකි.

Share this article: