දෙනියාය වත්තේ කම්කරුවන් මත ආදායම් බෙදාගැනීමේ ක්‍රමය පටවයි

නන්දන නන්නෙත්ති සහ ඒ. මලලගම විසිනි, 2019 පෙබරවාරි 3

තලවාකැලේ වැවිලි සමාගමට අයත් දෙනියාය වත්තේ ජනවාරි 7 දින සිට “ආදායම් බෙදා ගැනීමේ ක්‍රමය” දියත් කර ඇත.

මෙම ක්‍රමය යටතේ, තේ පඳුරු දහසක් වැනි ප්‍රමානයක් අඩංගු ඉඩම් වපසරියක් කම්කරුවෙකුට භාර දී ඒවායේ වල් නෙලීම, කප්පාදු කිරීම, පොහොර සහ බෙහෙත් යෙදීම ආදි සියලු නඩත්තු කටයුතු හා දලු කැඩීමේ වගකීම ඔහුට පවරනු ලැබේ. කම්කරුවාගේ හා ඔහුගේ පවුලේ සාමාජිකයන්ගේ ශ්‍රමයෙන් හා වියදමෙන් මෙම නඩත්තු කටයුතු සිදු කිරීමෙන් පසු නෙලා ගන්නා දලු වලින් ලැබෙන ආදායමෙන් කොටසක් කම්කරුවාට ලබා දෙයි.

පැරනි අඳ ගොවි ක්‍රමයට සමාන මෙම ක්‍රමය යටතේ තේ දලු සඳහා මිල නියම කරනුයේ සමාගම වන අතර එම මිල නියම කෙරෙනුයේ සමාගමේ ලාභ රැකෙන අයුරින් හා පාඩුව කම්කරු පවුලට විඳ දරා ගැනීමට පාර කැපෙන අයුරිනි. එපමනක් නොව, කම්කරුවන් මෙතෙක් භූක්ති විඳි අර්ථසාධක හා එවැනි සියලු අයිතීන් නව ක්‍රමය යටතේ අහිමි කෙරෙන අතර, පවුල් ඒකක ලෙස අනුවලට කඩා විසුරුවා හැරීම මගින් කම්කරුවන්ගේ පන්ති එකමුතුව ද මෙමගින් බිඳ දමනු ලැබෙයි.

කම්කරුවන් 17 දෙනෙකු වෙත මෙලෙස තේ පඳුරු පවරමින් දෙනියාය වත්තේ එම ක්‍රමය දියත් කල තලවාකැලේ වැවිලි සමාගම, කම්කරුවන් ඊට අනුගත නො වුව හොත් පිටස්තර පුද්ගලයන්ට ඉඩම් කොටස් පවරා දෙන බවට කම්කරුවන්ට තර්ජනය කර තිබේ.

තලවාකැලේ වැවිලි සමාගමේ සභාපති මොහාන් පන්ඩිතරත්න විසින් ඉදිරිපත් කල ගෙවී ගිය වසර සඳහා සමාගමේ මූල්‍ය වාර්තාවේ, “2018-2019 වැටුප් පිලිබද ඉල්ලීම්, අනාගතයේ දී කර්මාන්තයට උසුලා ගත හැකි හා මූල්‍යමය වසයෙන් ඉටු කල හැකි විය යුතු බව” සඳහන් කරයි.

ඒ අනුව කර්මාන්තයේ පැවැත්ම සඳහා “අදට අදාලව කම්කරු ආකල්ප වෙනස් කිරීමටත්, රටේ පවතින සමාජ ආර්ථික වෙනස්කම්වලට පවතින වැටුප් ක්‍රමය තව දුරටත් අනුකූල නො වන නිසා කම්කරුවන්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සහ වතුවල පදිංචිකරුවන් අතර ආදායම් බෙදා ගැනීමේ යාන්ත්‍රනය පෝෂනය කිරීම සදහාත්, වෘත්තීය සමිති නායකයන්ගේ සහයෝගය ලබා ගැනීමට බලාපොරොත්තු වේ” යනුවෙන් වාර්තාව කියා සිටියි.

සමාගම් වල ලාභ අවශ්‍යතා වෙනුවෙන් කම්කරුවන්ට එරෙහි කාර්මික පොලීසියක් ලෙස ක්‍රියාත්මක වන වෘත්තීය සමිති, ආදායම් බෙදා ගැනීමේ ක්‍රමය කම්කරුවන් මත පැටවීම සඳහා දිගින් දිගටම දායකත්වය සපයා ඇත. ජනවාරි 28 වන දා සමාගම් සහ සමිති අතර අත්සන් කෙරුනු නව “සාමූහික ගිවිසුම” තුල මෙම යාන්ත්‍රනය ක්‍රියාත්මක කිරීම සඳහා තම සහාය ලබා දීමට සමිති විසින් ගිවිසගෙන තිබීමට බොහෝ ඉඩකඩ පවතී.

උග්‍ර වන ලෝක ආර්ථික කඩා වැටීම තුල ජාත්‍යන්තර තේ වෙලඳපොල හැකිලෙමින් පවතින තතු යටතේ, අන්තර්ජාතික තේ සමාගම් තම සුපිරි ලාබ රැක ගැනීම සඳහා ලොවපුරා තේ කම්කරුවන්ගේ ශ්‍රමය සූරා කෑම තීව්‍ර කිරීමට පෙලැඹේ. මෙයට ප්‍රතිචාරී ලෙස ලංකාවේ මෙන්ම ලෝක වෙලදපොලට තේ සපයන සෑම රටකම කම්කරුවන්ට සේවා කොන්දේසි හා ජීවන තත්වයන් රැක ගැනීම සදහා සටන් වැදීමට සිදු වී ඇත.

තේ අපනයනය කරන ප්‍රධාන රටවලින් එකක් වන කෙන්යාවේ දලු නෙලන කම්කරුවකුගේ දෛනික වැටුප ෂිලිං 275 (ඩොලර් 2.66) ක් වන අතර, 2018 අප්‍රේල් මාසයේ එම කම්කරුවෝ සියයට 30ක වැටුප් වැඩි වීමක් ඉල්ලා සිටියහ. එම ඉල්ලීම ප්‍රතික්ෂේප කල එරට අභියාචනා අධිකරනය වැටුප් වැඩිවීම සියයට 16 කට සීමා කලේ මෙතෙක් දලු කිලෝ 33 ක් ව පැවති ඉලක්කය කිලෝ 45 දක්වා ඉහල දමමිනි.

අගෝස්තු මාසයේ දී ඉන්දියාවේ වතු 370ක, ඉන්දියානු රුපියල් 169 (ඩොලර් 2.46) ක දෛනික වැටුපකට වැඩ කරන, 400,000ක් කම්කරුවෝ සියයට 3 ක වැටුක් වැඩි වීමක් ඉල්ලා දින තුනක් වැඩ වර්ජනය කලහ. එමෙන්ම, බංග්ලාදේශයේ 2015 සිට ගෙවන ටකා 85 (ඩොලර් 1) දෛනික වැටුප ටකා 230 දක්වා වැඩි කර ගැනීමට 130,000ක් වතු කම්කරුවෝ පෙරට ආහ.

ලංකාවේ වතු කම්කරුවන් දින නවයක වැඩවර්ජනයක් කරමින් ඉල්ලා සිටි රුපියල් දහසේ දෛනික වැටුප දිගින් දිගටම ප්‍රතික්ෂේප කල හාම්පුතුන්, පැවති රුපියල් 500 ක දෛනික වැටුප රුපියල් 100 කින් පමනක් වැඩිකලහැකි බව දැඩි ලෙස කියා සිටියහ. අවසානයේදී දෛනික මූලික වැටුප රුපියල් 200 කින් වැඩිකලේ රුපියල් 200 ක දීමනා කපා හරිමිනි.

කෙසේ නමුත්, ඉන් සෑහීමට පත් නොවන වතු හාම්පුතුන්ගේ සංගමය කම්කරු ශ්‍රමය සූරා කෑම උග්‍ර කෙරෙන ආදායම් බෙදා ගැනීමේ ක්‍රමය වතුකරය පුරා යොදා ගැනීමට සෑම පියවරක්ම ගනු ඇත.

දෙනියාය ප්‍රදේශයේම පිහිටි එන්සාල් වත්තේ 2015 සිට මෙම ක්‍රමය ක්‍රියාවට නංවා තිබේ. එහි රතු චයිනා නමින් හැදින්වෙන කොටසේ හැර අනෙක් ඩිවිෂන් නවයේ ම මෙම ආදායම් බෙදා ගැනීමේ ක්‍රමය ක්‍රියාත්මක වෙයි.

කම්කරුවන්හට මෙලෙස පවරා දී ඇත්තේ නිසරු තේ වගාවකි. වසර සියයකට වඩා පැරනි තේ වගා භූමියේ ඵලදයිතාව අඩුය. මුල් අදියරේ සිටම අක්කර භාගයක පමන වගාවක් නඩත්තු කරන ගනේෂ් හා ඔහුගේ බිරිඳ දලු වැඩි ම කාලයේ රුපියල් 30,000ක දලු නෙලූහ. එහෙත් මාස ගනනක පොහොර හා බෙහෙත් නය කැපුනු පසු රුපියල් 120ක් පමනක් ඉතිරි බව ඔවුහු කීහ.

සුනාපිනී පවුලේ අය සහ අසල්වාසීන්

තවත් කම්කරු කාන්තාවක් වන සුනාපිනී කියා සිටියේ තම පවුලේ තිදෙනෙකු වැඩ කලත් මැරුනු තේ ගස් නිසා මාසික ආදායම රුපියල් 3,000කට සීමා වන බවය. දලු වැඩි කර ගැනීම සදහා මාස් පතා පොහොර දමන ලෙස පාලකයෝ නියම කරති.

පිටත කුඩා තේ වතුවලින් කිලෝවක් රුපියල් 90- 100ට මිල දී ගන්නා නමුත් මේ කම්කරුවන්ට ලැබෙන්නේ රුපියල් 39-42 වැනි මිල ගනන්ය. එය රුපියල් 62 දක්වා වැඩි කිරීම, පොහොර දැමීමේ වාර දෙකක් සඳහා කාල පරතරය දික් කිරීම හා මාස කීපයක් සඳහා වන පොහොර වියදම් එකවර කපා නොගෙන ඒ ඒ මාසය තුල කපා ගැනීම යන ඉල්ලීම් ඉදිරිපත් කරමින් මෙම කම්කරුවෝ පසු ගිය වර්ජනයට සහභාගී වුහ.

තමාට හිමි වතු 16ක, කම්කරුවන් 6680 ක් සේවයේ යොදවා ඇති තලවාකැලේ වැවිලි සමාගම පසුගිය වසරේ රුපියල් මිලියන 617 ක ලාභයක් ලැබීය.

ලෝක වෙලඳපොලේ තරඟකාරිත්වයට ආකර්ශනීය මිල ගනන් ඉදිරිපත් කරමින් මුහුන දීම සදහා තේ නිෂ්පාදන වියදමෙන් සියයට 65 - 70 ක් යැයි සමාගම් විසින් පවසන ශ්‍රම වියදම තව දුරටත් කපා දැමීමට සමාගම්වලට අවශ්‍යව ඇත.

මැතක දී කරන ලද ආන්ඩුවේ පවුල් ආදායම් හා වියදම් සමීක්ෂනයකට අනුව වතු කම්කරුවකුගේ සාමාන්‍ය මාසික ආදායම රුපියල් 8566කි. එහි ජාතික සාමාන්‍යය වන රුපියල් 16377 සමග සැසඳූ කල එය ඉන් අඩකට වැඩි වන්නේ ඉතා සුලුවෙනි. ශ්‍රී ලංකාවේ දුප්පත් ම සියයට 40 න් සියයට 64 ක්ම වතු කම්කරුවන් බව එම සමීක්ෂනයෙන් එලිදරව්වී ඇත.

දරිද්‍රතාවයෙන් මැඬුනු වතු කම්කරුවන්ගේ ආහාර වේල කිසි දිනක සමබල වූයේ නැත. ඔවුහු එක එලවලුවක් සමග තිරිගු පිටිවලින් සෑදූ රොටි හෝ බත් ආහාරයට ගනිති.

අට දරු පියෙකු වන බෙන්ජමින් කියා සිටියේ උදය සහ රාත්‍රී දෙවේලකින් පමනක් පිරිමසා ගන්නා බවය. කම්කරු පවුල් ප්‍රෝටීන් අධික සත්ව ආහාර නො ගැනීම, ඔවුන් අතර බහුලව දැකිය හැකි මන්දපෝෂනයට හේතු වන බව සොයා ගෙන ඇත.

වතු සමාගම් කම්කරුවන්ට පානීය ජලය ලබා දීමට හෝ සමත් වී නැත. මෑත වාර්තා පෙන්වා දෙන්නේ වතුවල ජනයාගෙන් 57%කට පිරිසිදු ජලය නො ලැබෙන බවයි.

කම්කරුවන්ගේ නිවහන් වන ලයින් කාමර නඩත්තු කිරීම සමාගම් විසින් මග හරිනු ලැබීම නිසා සිය ආදායම ඒ සඳහා ද වෙන් කිරීමට කම්කරුවන්ට සිදු වී ඇත. 2004 ගංවතුරට තම නිවාස යට වූ බවත් ඒවා අලුත්වැඩියා කර දෙන ලෙස කොතෙකුත් ඉල්ලීම් කලත් සමාගම සවන් නො දුන් බවත් දෙනියාය එන්සාල් වත්තේ විශ්‍රාමික කම්කරු කාන්තාවක වන ඩී. දේවානී පෙන්වා දුන්නා ය. ලයින් කාමර දෙකක් මුලුමනින් ම බිඳ වැටී ඇත. එහි වැසිකිලි තනා දී ඇත්තේ පුන්‍යායතනයක මැදිහත් වීමෙනි.

දේවානි සහ බිඳ වැටුනු ලයින්.

දුදරුවන්ගේ අධ්‍යාපනය පවත්වා ගැනීමට තරම් ආදායමක් නැති බැවින් ඔවුහු ඉහල අධ්‍යාපනය ලැබීමට පෙර පාසැල් හැරයති. මේ අතර රජයේ වියදම් කැපීමේ ප්‍රතිඵලයක් වන පාසැල්වල නඩත්තු වියදම් දෙමාපියන් මත පැටවීමද සිදු වේ. දරුවන් දෙදෙනා වෙනත් පාසැලක සිට දෙනියාය සාන්ත මැතිවුස් ද්විභාෂා පාසැලට ඇතුලත් කිරීම සඳහා රුපියල් 16,500 වැය කර ගේට්ටුවක් තනා සවි කර දීමට සිදු වූ බව දෙනියාය වත්තේ මුරකරුවකු වන ආනන්ද කුමාර කීය.

“කැඩුනු බිඳුනු තැන්, වැටවල් හා බුදු පිලිම හදන්න රු.100-200 වරින් වර ගෙවීමට සිදුවන නමුත් නිසි අධ්‍යාපනයක් නම් ලැබෙන්නේ නෑ”.

ආනන්ද කුමාර සහ දියනිය නිරෝෂා

නමය වසරේ ශිෂ්‍යාවක් වන දියනිය නිරෝෂා කියා සිටියේ බොහෝ විෂයයන් සඳහා පුහුනු ගුරුවරු නැති නිසා ස්වේච්චා ගුරුවරු යොදා ගන්නා බවය.

ඉඩම් ඔප්පු, ලයිට් බිල් හා වතුර බිල් ඉදිරිපත් කර පදංචිය තහවුරු කිරීමේ ක්‍රමය නිසා පහසුකම් ඇති පාසලකට ලමයි ඇතුලත් කිරීමට වතු කම්කරුවන්ට කිසි විටෙකත් අවස්ථාව නො ලැබෙන බව නාකියාදෙනිය තලංගහවත්තේ වයි. ක්‍රිෂ්නා පැවසුවා ය. මොවුන් මෙම බිල් ගෙවන්නේ වතු සමාගම් හරහාය.

අසනීපයක දී නිවාඩු අනුමත වුවත් වැටුප් හෝ වෙනත් දීමනාවක් නො ගෙවන බැවින් ප්‍රතිකාර සදහා අවශ්‍ය වියහියදම් ද දරා ගැනීමට කම්කරුවන්ට සිදු වේ. එන්සාල් වත්තේ කම්කරුවෝ මරනයකදී රුපියල් 22000ක දීමනාවක් ලබා ගැනීම සදහා මසකට රුපියල් 300 බැගින් සමූපකාර සමිතියට ගෙවති. ක්ෂුද්‍ර නය අලෙවි කිරීමේ ව්‍යාපාරය වතු කම්කරුවන්, විශේෂයෙන් ම කාන්තාවන්, සිය නය ග්‍රහනයට ගන්නේ මෙම කොන්දේසි යටතේය.

දෙනියාය වත්තේ නිලංගනීට අනුව රුපියල් 50,000 ක නය මුදලක් සඳහා රුපියල් 63,600 ක් වසරක් තුල ගෙවන්නට සිදුවේ. “ලමයි ඉස්කෝලෙ යවන්නත්, හැම දේකටමත් ලෝන් ගහන්න සිද්ධ වෙනවා” ඇය පැවසුවාය.

අරුන් දේවී.

තමන්ගේ ම නිවහනක් තනා ගැනීමට උත්සාහ කල අරුන් දේවී කොමර්ෂල් ක්‍රෙඩිට් ආයතනයට වූ රුපියල් 600,000 ක නය මුදල නිසි ලෙස ගෙවා ගැනීමට නො හැකි ව හය මසක් මොනරාගල ඥාති නිවසක සැග වී සිට ඇත. “දවල් රැ දෙකේ ම ඇවිත් ප්‍රෙෂර් කරනවා. අපේ ගෙදර ඒ ගොල්ලට අරගෙන යන්න බඩුවක් මුට්ටුවකුත් නෑ. පුලුවන් විදියට රස්සාව කරල නය බේරනවා“ යයි ඇය පැවසුවා ය.

වතු කම්කරුවන් ඇතුලු සමස්ත කම්කරු-පීඩිත මහජනතාවට එල්ල කෙරී ඇති මෙම ප්‍රහාරයන්ගේ මූලය ලෝක ධනපති ක්‍රමයේ අර්බුදයයි. එබැවින්, එම ප්‍රහාරයන්ට එරෙහි සටන ලෝක ධනවාදයට එරෙහි දේශපාලනික අරගලයකින්, එනම් ජාත්‍යන්තර සමාජවාදය සඳහා කරන සටනක් වියයුතු බව ලෝසවෙඅ වාර්තාකරුවෝ කම්කරුවන්ට පෙන්වා දුන්හ.

එවන් දේශපාලනික අරගලයකට මුලුමනින්ම සතුරුව සිටින වෘත්තීය සමිති වලින් බිඳී, තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී ඡන්දයෙන් තෝරාපත්කර ගැනෙන කම්කරුවන්ගේ ස්වාධීන ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගනිමින්, ජාත්‍යන්තර සමාජවාදී ක්‍රියාමාර්ගයක් මත සටන ඉදිරියට ගෙන යාමේ අවශ්‍යතාව පැහැදිලි කෙරුනු එම සාකච්ඡාවන්ට කම්කරුවෝ උනන්දුවෙන් සහභාගි වූහ.

පසුගිය වතු කම්කරු වැඩ වර්ජනය මධ්‍යයේ, සමාජවාදී සමානතා පක්ෂයේ මැදිහත් වීමෙන්, හැටන් නගරයට ආසන්න ඇබොස්ට්ලී වත්තේ කම්කරුවන් පිහිටුවාගත් ක්‍රියාකාරී කමිටුව පිලිබඳව දැන ගැනීමට ඔවුන් තුල පැවතියේ බලගතු උනන්දුවකි.

Share this article: