වතු කම්කරු දඩයමට එරෙහි උද්ඝෝෂනය:

ඇබෝස්ලී කම්කරුවන්ගෙන් උනුසුම් සහයෝගයක්

අපේ වාර්තාකරුවන් විසිනි, 2019 පෙබරවාරි 16

වැටුප් අරගලයේ යෙදුන වතු කම්කරු ක්‍රියාකාරීන් දඩයම් කිරීමට එරෙහිව, පෙබරවාරි 17 වෙනි දා හැටන් නගරයේ පවත්වනු ලබන පිකට් උද්ඝෝෂනය ට කම්කරුවන් බලමුලු ගැන්වීමේ කොටසක් ලෙස, එය සංවිධානය කරනු ලබන ඇබෝස්ලි වතු කම්කරු ක්‍රියාකාරී කමිටුවේ සහ සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) සමාජිකයන් පිරිසක් පසුගිය බදාදා ඇබෝස්ලී කම්කරුවන් හමුවූහ.

වතු කම්කරු වැටුප් අරගලයට ක්‍රියාකාරීව සහභාගිවීම හේතුවෙන්, දික්ඔය ඈන්ෆීල්ඞ් වත්තේ කම්කරුවකු වන එස්. බාලසුබ්‍රමනියම් දෙසැම්බර් 13 වෙනිදා සිට වැඩ තහනමට ලක් කෙරී ඇත. බාලසුබ්‍රමනියම්, ඈන්ෆීල්ඞ් වත්තේ සෙන්ට් ඒලියස් කොටසේ ලංකා කම්කරු කොංග්‍රසයේ (සීඩබ්ලිව්සී) ශාඛා සභාපති වෙයි.

වත්තේ තේ කම්හලේ ගේට්ටුව වසා කම්හලට තේ දලු ගෙන ඒම අවහිර කිරීමේ චෝදනාව යටතේ ඔහුට සහ තවත් කම්කරුවන් තිදෙනෙකුට විරුද්ධව ඈන්ෆීල්ඞ් වතු පාලකයන් විසින් නඩු පවරා ඇත.

එමෙන් ම, ජනවාරි 10 වෙනිදා, ඇබෝස්ලී කම්කරු ක්‍රියාකාරී කමිටුවේ සභාපති පී. සුන්දරලිංගම්ට, එම වත්තේ සහකාර කලමනාකරුවෙකු ප්‍රසිද්ධියේ තර්ජනය කලේය. වත්තේ වැඩ කඩාකප්පල් කරන බවට චෝදනා කරමින් සුන්දරලිංගම් ගැන “වග බලා ගන්නා බවට” කලමනාකරු තර්ජනය කලේ අනෙකුත් කම්කරුවන් ඉදිරියේ ය.

ආන්ඩුවේ හා පොලීසියේ පිටුබලය සහිත ව වතු කලමනාකාරීත්වය විසින් ගෙනයන මෙම මර්දනීය ක්‍රියා, තම දෛනික වැටුප සියයට 100 කින් වැඩි කරගැනීම සඳහා අධිෂ්ඨානවත් අරගලයක් දියත් කල කම්කරුවන් බියවැද්දීම ඉලක්ක කරගෙන ඇති බවත්, වතු තුල කම්කරු දඩයමට එරෙහි සටන ධනපති පන්තියේ හා එහි ආන්ඩුවේ ප්‍රහාරයෙන් සියලු කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජ අයිතීන් ආරක්ෂා කරගැනීමේ අරගලයේ අත්‍යන්ත කොටසක් බවත් උද්ඝෝෂකයෝ ඇබෝස්ලී කම්කරුවන්ට පැහැදිලි කලහ.

තම වෘත්තීය සමිතියේ ශාඛා නායකයෙකු වන බාලසුබ්‍රමනියම් ට එල්ල කෙරී ඇති දඩයමට එරෙහිව කවර හෝ පියවරක් නොගෙන ඔහු එයට යටත් කිරීම සඳහා කටයුතු කරන සීඩබ්ලිව්සීය සම්බන්ධයෙන් තම බලගතු විරෝධය සහ පිලිකුල පලකල ඇබොස්ලී ක්‍රියාකාරී කමිටු සාමාජිකාවක් වන සිවපාක්‍යම් මෙසේ පැවසුවාය: “මේ සමිති වැඩ කරන ආකාරයෙන්ම පේනව අපේ අයිතීන් රැක ගන්න ක්‍රියාකාරී කමිටුවක් හදන්න අපි ගත්ත තීරනය නිවැරැදියි කියල. මේ දඩයම් වලට විරුද්ධව සටන් කරන්නෙ අපේ ක්‍රියාකාරී කමිටුව සහ සමාජවාදී සමානතා පක්ෂය විතරයි.”

වතු කම්කරු වැටුප් සටන පාවා දෙමින්, සමිති නායකයන් විසින් වතු සමාගම් සමග අත්සන් කල ගිවිසුම සම්බන්ධයෙන් කම්කරුවන් පලකලේ බලගතු විරෝධයකි.

ගිවිසුම අත්සන් කල සීඩබ්ලිව්සී ය සහ ලංකා ජාතික වතු කම්කරු සමිතිය කෙරෙහි පමනක් නොව, වැටුප් අරගලය මධ්‍යයේ නිහඬව සිටිමින් ඊට අනුබලදුන් දෙමල ප්‍රගතිශීලී පෙරමුනට අයත් ජාතික වතු කම්කරු සමිතිය (එන්යූඩබ්ලිව්), ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු කොංග්‍රසය (ඩීඩබ්ලිව්සී) සහ කඳුරට ජනතා පෙරමුන (යූපීඑෆ්) සම්බන්ධයෙන් ද කම්කරුවන්ට ඇත්තේ උතුරා යන කෝපයකි.

සිවපාක්‍යම් මෙසේ ද කීවාය: “ගිවිසුම ගැන පැහැදිලි කරන්න කියල සීඩබ්ලිව්සීි නියෝජිතයො කන්ඩායමක් අපේ වත්තට ආව. ඔවුන්ට මුහුන දෙන්න සිදු වුනෙ ලොකු විරෝධයකට. ඔවුන් අපට කීව අපේ ජීවන කොන්දේසි නගාසිටුවන්න දැනටමත් යම් පියවර ගනිමින් ඉන්න බව. ප්‍රසූත නිවාඩු දීමනාව වැඩි කිරීම එක් පියවරක් කියල ඔවුන් අපට කීව. මේ චාටුකතා වලට දැන් කම්කරුවො රවටන්න බෑ.”

ප්‍රසූත නිවාඩු දීමනාව ගනනය කරනු ලබන්නේ මූලික වැටුපට සාපේක්ෂව ය. මූලික වැටුප රුපියල් 200 කින් වැඩිවී ඇති තතු තුල ප්‍රසූත නිවාඩු දීමනාව වැඩිවීම ගිවිසුමෙන් ලද ජයග්‍රනයක් බව පෙන්වීමට සමිති නියෝජිතයන් දැරූ උත්සාහයට කම්කරුවන් විරුද්ධ වී ඇත.

කලින් තිබූ දීමනා කපා දැමීමට සහ කම්කරුවන් අඳ ගොවියන් බවට පත් කෙරෙන “ආදායම් බෙදා ගැනීමේ ක්‍රමය” පැටවීමට නව ගිවිසුමෙන් පාර කපා ඇති ආකාරය පෙන්වා දෙමින් කම්කරුවන් දැක් වූ කෝපාන්විත ප්‍රතිචාරය හමුවේ සමිති නියෝජිතයන් නිරුත්තර වී ඇත.

කාර්මික පොලීසියක් ලෙස වෘත්තීය සමිති ක්‍රියා කරන ආකාරය පැහැදිලි කරමින් එස්. මුරුගයියා නමැති කම්කරුවා මෙසේ පැවසීය: “සමිති වැඩ කරන්නෙ අපි වෙනුවෙන් නෙවෙයි, සමාගම් වෙනුවෙන්. සමාගම්, ආන්ඩුව සහ සමිති ඔක්කොම එකතු වෙල තමයි අපිට පහර දෙන්නෙ. කවුරු හරි කම්කරුවෙක් මෙම සමිති වල ඇත්ත ස්වභාවය වටහගෙන අනෙකුත් කම්කරුවන් එම සමිති වලට එරෙහිව සංවිධානය කරන්න ගියොත් මේ තුන් ගොල්ලම පොලීසියත් එක්ක එකතු වෙල අර කම්කරුව දඩයම් කරනව.”

මුරුගයියා සමග සාකච්ඡාවට එක් වූ ඇබොස්ලී ක්‍රියාකාරී කමිටුවේ සභාපති සුන්දරලිංගම් ඉහත ත්‍රිත්වයට එරෙහි සටන පෙරට ගන්නා ආකාරය පැහැදිලි කලේය: “අපිට මේ තුන්ගොල්ලො එක්ක සටන් කරන්න නම් සමිති වලින් වෙන්වුනු අපේම සංවිධාන ගොඩ නගා ගන්න ඕන. අපේ ක්‍රියාකාරී කමිටුව හැදුවෙ ඒකට. ඒත් අපිට මේ සටන තනියම ගෙනියන්න බෑ. අනෙක් වතුවල සහෝදර කම්කරුවන්ගෙ සහ අනෙකුත් කම්කරුවන්ගෙ සහයෝගය අපිට අවශ්‍ය යි. අපිට දැනටමත් ජාත්‍යන්තර කම්කරුවන්ගෙ සහාය ප්‍රකාශ වෙල තියෙනව. අනෙකුත් වතුවල, කම්හල්වල සහ වැඩබිම්වල මේ වගේ කමිටු හදල ඒවා එකම වැඩපිලිවෙලක් යටතෙ එකමුතු කරල මෙහෙයවා ගන්න ඕන.”

ධනේශ්වර ප්‍රහාරයන්ට එරෙහිව තම සමාජ සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් සුරක්ෂිත කලහැකි එකම ක්‍රමය වන ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙල සාකච්ඡා කෙරෙන වතු කම්කරු නියෝජිත සමුලුවක් මාර්තු 17 වන දා හැටන් නගර ශාලාවේ පැවැත්වෙන බව සඳහන් කල උද්ඝෝෂකයෝ එයට සහභාගිීවීමේ වැදගත්කම පහදා දුන්හ.

සසප උද්ඝෝෂකයෝ ඊයේ දිනයේ හැටන් හි සිට කිලෝ මීටර් 7 ක් පමන දුරින් පිහිටි ඈන්ෆීල්ඞ් වත්තේ කම්කරුවන් මුන ගැසුනාහ. එම වත්තේ ඈන්ෆීල්ඞ් කොට්ඨාසයේ ස්ථිර කම්කරුවෝ පනහක් පමන ද අනියම් කම්කරුවෝ පනහක් පමන ද සේවයේ යෙදී සිටිති. ඉන් 40ක් පමන දෙනා විශ්‍රාම ගොස් නැවත සේවය කරන අය වන අතර පස් දෙනෙක් හය දෙනෙක් පමන තරුන අය වෙති.

ඉන් එක් අයෙකු වන 37 හැවිරිදි වී. සත්‍යවානි තිදරු මවකි. පෙර ඇය වත්තේ ස්ථිර සේවිකාවක් වූවා ය. ඇයට අනියම් පදනමින් සේවය කිරීමට සිදු ව ඇත්තේ රැකියාවක් කිරීමට කලක් විදෙස් ගත ව සිටි බැවිනි. නිවාඩු ලබා ගෙන විදෙස් ගත වුවත් නැවතත් ස්ථිර කම්කරුවෙකු ලෙස ඇය සේවයේ පිහිටුවීමට වතු කලමනාකාරිත්වය ප්‍රතික්ෂේප කර ඇත.

අනියම් කම්කරුවකුට ගෙවන්නේ තේ දලු කිලෝවකට රුපියල් 35 බැගිනි. අප එ දින ඇය හමු වන විට ඇය වැඩ නිමවා පැමින සිටියා ය. ඇය එ දින තේ දලු කිලෝ 22ක් කඩා ඇත. එනම් ඇගේ දෛනික වැටුප රුපියල් 770 කි.

පසුගිය වැටුප් ගිවිසුම අවසන්වූ දින පටන් ගතවී ඇති මාස තුනකට අදාල හිඟ මුදල නව වැටුප් වැඩි වීමට අනුරූපව ලබා දෙන බවට වැවිලි කර්මාන්ත ඇමති නවීන් දිසානායක කලින් කල ප්‍රකාශය සම්බන්ධයෙන් බොහෝ කම්කරුවන් උනන්දු වූහ. එම මුදල රජයේ අරමුදල් වලින් ලබාදෙන බව දිසානායක පවසා තිබුනි.

මාසයකට දින 30 ගනනේ සේවයේ යෙදී සිටිය ද එක් කම්කරුවෙකුට මාස තුනටම ලැබිය යුතු හිඟ මුදල රුපියල් 18,000 කි. එම මුදලට පවා දක්වන උනන්දුවෙන් පෙන්නුම් කෙරෙන්නේ ඔවුන් මුහුන දී සිටින ආර්ථික දුෂ්කරතාවයේ පරිමාවයි.

කිසිසේත්ම ප්‍රමානවත් නොවන සොච්චම් වැටුප් වැඩිවීම සම්බන්ධයෙන් වර්ධනය වී ඇති බලගතු කම්කරු විරෝධය හමුවේ, දෛනික වැටුප තවත් රුපියල් 50 කින් වැඩි කිරීම සඳහා රුපියල් බිලියන 1.2 ක මුදලක් සමාගම් වලට ලබා දීමට ආන්ඩුව පියවර ගෙන ඇති බව ඇමති දිසානායක පවසා ඇත.

කෙසේ නමුත්, එම වැටුප් වැඩිවීම ලබාදෙන බැවින් හිඟමුදල් සඳහා ප්‍රතිපාදන වෙන්කල නොහැකි බව දිසානායක දැන් පවසයි.

මෙම තතු හමුවේ මර්දනයට එරෙහිව ද තම අයිතීන් සඳහා ද වන අරගලය කම්කරුවන් විසින් තමන් අතට ගෙන සංවිධානය කිරීමේ අවශ්‍යතාව උද්ඝෝෂකයෝ පෙන්වා දුන්හ. පෙබරවාරි 17 වෙනිදා පිකට් උද්ඝෝෂනයට සහ මාර්තු 17 වන දා පැවැත්වෙන වතු කම්කරු සම්මේලනයට සම්බන්ධ වෙන බව බොහෝ කම්කරුවෝ පැවසූහ.

Share this article: